23 October, 2014

ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද?



බාත්රූම් එකකට යත්දි ගෙනියන බඩු භාණ්ඩ ගැන ඇහුවොත් මොන මොනවා මතක් වෙයිද? එක එක බඩු භාණ්ඩ ඇති. ඒත් ඉතිං මගෙනම් අත්‍යාවශ්‍යම භාණ්ඩය හෑන්ඩ් ෆෝන් එක.!! …… "නිවසෙන් පිට තැනක බාත්රූම් එකකට යනවා නම් ජංගමයා රැගෙන යාම" මම නම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ කෙටූ කාරණාවක්.

ඒ ඇයි කියන එකටත් ලොකූ නැති පොඩී නිධාන කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම කලින් වැඩ කරපු තැනදි. මම කලිනුත් කියලා තියෙනවා වගේ මේ ආයතනය ආනයන/ අපනයන භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක් නොවැ. ඉතිං ක්ෂේත්‍ර නිළධාරින් වෙච්චි අපිට වැඩ කරන්න උනෙත් අපේ සේවය ලබන එක එක ආයතන වල. බොහෝ දවස් වලට දිවාරාත්‍රී දෙකම වැඩ කරන්නත් උනා. ඇතම් දවස් වල රාත්‍රී සේවයත් කලයුතුයි කියා පණිවිඩය ලැබෙන්නෙ දවලුත් වැඩ කරලා හවස හයට විතර. අනේ ඒ වෙලාවට අපේ බොසා වෙච්චි පළාත් පාළක වරයාගේ මවුපියන්ට පිංදිදී අපි දිවාසේවය නිම කරලා එහෙම්ම රාත්‍රී සේවය කරන තැනට බඩගානවා. එහෙම යන බොහෝ තැන්වල අපිට පවිත්‍ර වීමට පහසුකම් සපයා තිබෙන අතර අපෙත් බෑග් වල කොයි වෙලෙත් පොඩි තුවායක් ආදී අත්‍යාවශ්‍ය දේ තියෙනවා.

ඉතිං මේ කියපු පිංවත් දවසේ මම දහවල එක තැනක වැඩ කරලා රෑ වැඩට ආවා අර කෙල්ලෙක්ගෙ සායට යටින් අත් දාලා ෆොටෝ ගත්තු දවසෙ ගිය මහබාගෙ කිට්ටු ආයතනයට. ඔය ආයතනය මම නිතර ආගිය තැනක් නිසාම ඕකෙ පිස්සො ටික මම පිස්සත් එක්ක හොදට ෆිට්. ඕකෙ වැඩ කරත්දි එක එකාට දිරච්ච ලණුදෙන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. මතකනෙ අර එකෙක්ව යවලා කෙල්ලෙක්ගෙන් වාජිකර්ණ ඉල්ලපු සීන් එක.!

කියන්න සතුටුයි පිංවතුනේ මේ කියන දවසෙ ලොතරැයි දිනුම ඇදුනෙ වෙන කාටවත්ම නෙමේ, ප්‍රියාට… අනේ ඉතිං මමත් රාත්‍රීසේවයට වාර්ථා කොරලා ප්‍රඩක්ෂන් රූම් එකෙත් පැයක් හමාරක් රවුම් ගහලා මුහුණ එහෙම හෝදන් අර පිස්සො සෙට් එකත් එක්කම රෑ 8ට විතර කෑමත් කාලා ආයෙත් ටිකක් වෙලා ප්‍රඩක්ෂන් චෙක් කරලා හිටියා.

එදා දවසෙ ඔය ආයතනයෙ සේවය කරපු මණ්ඩලේ කචල් උනු කාර්‍ය මණ්ඩලය ටිකක් බිසී නිසත් මට ක‍රන්න තරම් වැඩක් එදා නොතිබුන නිසත් උදේ ඉදන් වැඩ කරලා මහන්සියට ගියා පොඩ්ඩක් නාගන්න බාත්රූම් එකට. මේ බාත්රූම් එක ටිකක් ඈතට වෙන්නයි තියෙන්නෙ. අරුන් ටික බිසී නිසා උන්ටත් නොකියා, මගේ හෑන්ඩ් ෆෝන් එකත් චාජරේට ගහලා මම ගියා දියකෙළියට.

අනේ මගේ කරුමෙට ඒ දියකෙළිය, මළකෙළියක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ ඕන්!. මමත් නාගෙන ඇඟපතත් පිහදගෙන දවල් ඇදන් හිටපු ඇඳුම් ටිකම ආයෙ ඇදගෙන (දහඬිය ඇදුම් තමා ඉතිං, මක් කරන්නද) අනේ එළියට එන්න බලත්දි කියන්න සංතෝෂයි සහෝදරවරුනි, මටත් වැඩේ සිද්ධ වෙලා.…… ඔව් ඔව් මොකෙක් හරි යකෙක් බාත්රූම් එක එළියෙන් ලොක් කරලා.

මටත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඇතිබව මගේ බොක්කට දැනෙත්දි විණාඩි දහයක් පමණ සිංහනාද කරමින් "දොර ඇරපන් යකෝ!" කියමින් කෑගැසුවත් සිංහනාදය බලුකෙඳිරියක් වීමට කලින් මම නිශ්ෂබ්ද උනේ මගෙ මියුරු හඬ ඇසෙන මානෙ එකෙක් තියා යකෙක් වත් නොවූ බව මගේ ටිකිරි මොලේට වැටහුන නිසයි.

අනේ ඊට පස්සෙ මක්කරන්නද?? නැව ගිළුනත් ගැට්ටෙ බජවු කියලා මාත් මට නෙමේ වගේ අයිනට වෙන්න තියෙන කොමඩ් එක උඩ වාඩි වෙලා පොඩීම පොඩියට නින්දෙයි සුවනින්දෙයි වෙනස හෙවුවා…!!

කොහොමින් කොහොම හරි දවසම බිසී වෙලා පස්ස කැඩිච්ච කඩියො රැල වගෙ හිටපු අරුන් ටිකට ඉස්පාවුවක් ලැබිලා තියෙන්නෙ රෑ 12ට කිට්ටුවෙත්දි. ඉතිං ඒ වෙලාවට එන පොඩි බඩගින්නට මොනාහරි බඩට දාගමු කියලා සෙට් වෙත්දි තමා උන්ට මම අතුරුදහන් නේද කියලා මීටර් වෙලා තියෙන්නෙ.… අනේ අපරාදෙ කියන්න කෂ්ටිය සික්කො ටිකත් කැඳවලා හැම අස්සක් මුල්ලක් ගානෙම හොයලා අන්තිමේ මහා මෙහෙයුමක් කරලා මාව බාත්රූම් එකෙන් මුදා ගත්දිත් මම මදි නොකියන්න නිදි.

ඒත් ඉතිං ඔය මහා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරපු උන් අතරෙ මේ අවලම් වැඩේ කරපු එකා හිටියා කියන එක හෙටත් ඉර පායනවා වගේ විශ්වාසෙන් දැනන් හිටියත් ඌව හොයා ගන්න එක නිධානයක් හොයා ගන්නවට වඩා අමාරු බව දන්න නිසාම වැඩේ අතහැරලා දැම්මා.………

කොහොම උනත් එදායින් පස්සෙ නම් මම ගෙදරින් පිට කොහෙ බාත්රූම් එකකට ගියත් හෑන්ඩ් ෆෝන් එක ගෙනියන්න නම් අමතක කරන්නෑ………………… අහවල් දේකට නෙමේ බොලවු අර වගේ වැඩක් උනොත් එළියෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දෙන්න…!!!.




© ප්‍රියා. [22/10/2014]

(පින්තූරයට ස්තූතිය……
www.fnbworld.com / www.numbertwoguide.com)

09 October, 2014

වර්ෂාව සහ සහන්‍යා……


උදේ පටන් වැටෙමින් තිබූ වර්ශාව යන්තමින් අතුරුදන් වුවද වැහි අදුරත් ශීත කාළගුණයත් පරිසරයට එක් කර ඇත්තේ මහා ගුප්ත බවකි. අහසේ වර්ශාව නතර වී තිබුනත් බසයක් එනතුරු බස් නැවතුමක් නොමැති නැවතුමේ මඟ බලා සිටින ඇය නම් තවමත් කුඩය දිග හැරගත් ගමන්ය.

දිගු සායත් චාම් බ්ලවුසයත් හැඟීම් විරහිත මුහුණත් ඇයට එක් කර ඇත්තේ මහා පරිණත ගැහැණියකගේ පෙනුම මිස උසස් පෙළ සිසුවියකගේ පෙනුමක් නම් නොව… තරමක වේලාවකින් පසු පැමිණි බස් රියේ ආසනයක් නොමැතිව හිටගෙන යාමට සිදු වුවද ඇය තම අත රැදි පංති පොත් කිහිපය දමාගත් අත් බෑගය කිසිවෙකුටත් නොදී ඉදිරිය බලාගෙනම ගමන් කලහ.
********************

සහන්‍යා කුඩා කල සිටම ඉගෙනීමට ලැදි ඉතා නිවුනු චරිතයකි. රජයේ ආයතනයක ලිපිකරුවෙකු මූලික කරගෙන ගොඩ නැගී තිබූ පවුලේ එකම දරුවා නිසාවෙන්දෝ පවුලට වද දුන් කොතරම් අගහිග කම් තිබුනත් ඇයට හැකිතාක් ඉගැන්වීමට මවුපියනුත් අපමණ වෙහෙසක් දැරීය.… තම පවුලට තිබෙන අඩුපාඩු වල නිමක් දැකිය හැක්කේද තම අධ්‍යාපනයෙන් පමණක් බව හොදින් තේරුම් ගෙන සිටි සහන්‍යා තම යොවුන් සිතට එබී බැලූ සියළු පෙම් හීස‍රයන්ට පිටුපෑවේ තම හැඟීම් උපන් ගෙයිම මරා දමමිනි.

"චාමර ළමයා ගමේ ඇවිත්…!!"
"කවද්ද?"
"දන්නෙ නෑ… වැඩ ඇරිලා එත්දි හම්බ උනේ…"
"ඒක නෙමේ කෙල්ලගෙ සපත්තු දෙක දැන්නම් දාන්නම බැරි ගානයි,"
"හ්ම්ම්… බලමු මේ පඩියෙන් වත් මුකුත් කරන්න."
කාමරය තුලට වී පාඩම් කරමින් සිටි සහන්‍යාට චාමර ගමේ පැමිණි ආරංචිය අනියමින් කණ වැකුන මොහොතේ පටන් පාඩම් කීරිමට තරම් හිතේ නිදහසක් නම් තිබුනේ නැත.

චාමර ‍යනු නෑකමක් නොතිබුනත් සහන්‍යා සමඟ සහෝදරයෙක් මෙන් හැදී වැඩුනු තරුණයෙකි ආරක්ෂක අංශ සේවකයකු වන ඔහු ගම පැමිණෙන්නේ මාස කිහිපයකට වරකි. චාමරගේ මෙවර ගම පැමිණීම මේ තරම්ම සහන්‍යාගේ සිත සසල කර වූයේ චාමර ගියවර ගමේ පැමිණි විට සිදුවූ සිදුවීම හේතුවෙනි.…… මෙතෙක් කල් සහෝදරයන් මෙන් සිටි චාමරගේ සිත තුල තවදුරටත් තමා පිළිබඳව ඇත්තේ සහෝදර පෙමක් නොවන බව ඇය දැන ගත්තේ චාමරගෙන් ඉදිරිපත්වූ තමාගෙන් ප්‍රතික්ෂේපවූ යෝජනාව හේතුවෙනි. ඔහු ගියවර තම ආදරය අයදමින් පසුපස ආ හැටි මතක් වන විට තව දු‍රටත් පාඩම් කිරීමට තරම් නිදහසක් හිමි වූයේ නැත.
………………………………………

"ඔයත් එන්න දෝණි, මාමා ඔයාව බලන්නත් ආසාවෙන් හිටියෙ…"
"අනේ ඔය දෙන්නා ගිහින් එන්න අම්මෙ. මට අද පාඩම් වැඩ ගොඩ ගැහිලා අනේ."
"ඔය ළමයා හිටපුදෙන් ජයන්ති. අද වැස්සකුත් දෙන්න වගේ. තෙමිලා ලෙඩ උනොත් පාඩම් වැඩත් පාඩුයි.…"
රෝහල්ගතව ප්‍රතිකාර ලබන මවගේ සහෝදරයා බැලීමට මවත් පියත් පිටවූ පසු ඇය තම පාඩම් වැඩ සමඟ තනි විය.… සිදු නොවිය යුතු දෙ‍යක් සිදු වීමට යන විට ඊට එරෙහි වීමට නොහැකිව කඳුළු සලන්නාක්සේ ඇද වැටෙමින් තිබූ පොද වැස්ස මහ වැස්සක් බවට පත්වීමට ගත වූයේ නිමේෂයකි.…

ටොක්… ටොක්… ටොක්… ටොක්…
"මේ වෙලාවෙ කවුද?… අනික මේ මහ වැස්සෙ,,,,,, අහ්හ්හා!!! චාමර අයියා! අ..අයියෙ අම්මලා නම් ගෙදර නෑනෙ!!"
"අම්මලව නෙවේ මම ඔයාව හම්බවෙන්නයි ආවෙ…"
"ආ… කියන්න අයියෙ.!"
"මෙතන තෙමෙනවා ළමයො, පොඩ්ඩක් ගේ ඇතුලට එන්න්නද?"
"හ්ම්ම්… හ්හ් ඒත්… හුම් එන්න…"
"ඔයාගේ තීරණේ මොකක්ද නංගි?"
"කීපාරක් ඇහුවත් මට තියෙන්නෙ එකම උත්තරයයි අයියෙ"
"මගෙ මොකක්ද තියෙන අඩුව??"
"මට සමාවෙන්න අයියෙ!"
"කියනවා මට……"
"අනේ ඇයි මේ? කවදාවත් නැතුව මොකෝ චාමර අයියෙ මේ?"
"නෑ මට අද දෙකෙන් එකක් විසද ගන්න ඕන සහන්‍යා…"
"අනේ අයියෙ ළඟට එන්න එපා!! අනෙ ප්ලීස් මාව අත හරින්න…!"
"අද මේ අත අල්ල ගත්තෙ අත හරින්න නෙමේ කෙල්ලෙ…"
"අනේ එපා අයියෙ ප්ලීස්… අනේ අයියෙ දෙයියන්ගෙ නාමෙට මාව අත හරින්න අනේ…!!"

චාමර තුල දැවෙමින් තිබූ කාම ගින්න නිවා දැමීමට තරම් නිවසෙන් පිට ඇඳ හැලෙන මොර සූරන වර්ශාවවත් නිවස තුල සහන්‍යාගේ දෙනතින් ඇද වැටෙන කඳුළු වර්ශාවවත් ප්‍රභල වූයේ නැත.

ඇගේ අවසරයකින් තොරවම නිරුවත්කල ඇගේ සිරුරෙන් ඔහුගේ ගත සනසා ගත් චාමර මහ වර්ශාවේම පිටව ගියේ ඇයගේ සෝ සුසුම් කුණාටුවට මුහුණ දීමට මහ වර්ශාවට මුහුණ දීම පහසු නිසාවෙනි.…… කාන්තාවන්ගේ වටිනාම දෙය ‍යැයි බොහෝ දෙනා ලංසු තබන ඇගේ පිරිසිදුභාවය නම් කන්‍යා පටලය සොරාගත් සොරා පසුදාම ගමෙන් පිටව ගියේ කිසිවක් වූ බවක් නොදන්නා අයෙකු මෙනි. කාටත් හොරා ඔහු අතින් කෙළසුන ජීවිතයත් දරාගෙන සිටින ඇයට දින සති මාස ගෙවුනේ කල්ප කාලයෙනි.…

කිසිවක් නොදත් මවුපියන් නිසා අරමුණකින් තොරව කය පමණක් අධ්‍යාපන කටයුතු වල යොදවා සිටි සහන්‍යාට චාමර නගරයේ ලොකු මුදලාලි කෙනෙකුගේ දුවක විවාහ කර ගැනීමට යන ආරංචිය කණ වැකෙන්නේ චාමරගේ ඊළග ගම පැමිණීමෙදිය.
********************

"හරි මල්ලි. ඔය දිග සායක් ඇදලා බහින්නෙ, ඒ ළමයව තමා ගන්න ඕන. මතකනෙ කොල්ලො, වැඩිවෙලා රැදෙන්න නම් බෑ!"
"හරි මහත්තයා, ඔයාම ගෑණු ළමයට කතා කරන්න. නැත්නම් ත්‍රීවිල් එක කකුල් දෙක ගාව නතර කරත්දි ඒ ළමයත් බය වෙයි. හි…හි…"……………………………………
"නඟින්න ඉක්මනට…!"
"චාමර අයියා…"
…………………………………………

"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන කිවුවෙ……!!" සමනළ ගෙස්ට් නාම පුවරුව පසුකර නැවැත්තූ ත්‍රීරෝද රථයෙන් බසිමින් ඇය පැවසුවෙ කේන්තියත්, කණගාටුවත් මුසු හැඟීමෙනි.
"හරි ළමයො, එහෙම කියලා අපිට පාරවල් ගානෙ කතා කරන්න බෑනෙ! මේ මගෙ යාළුවෙක්ගෙ තැනක්. බය නැතුව එන්න.… එන්න ඉතිං ඇතුලට."
"මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕන චාමර අයියෙ…"
"හරි කෙල්ලෙ අපි ඒකටනෙ ආවෙ. අපි ටිකක් ඉදලා ඇති තරම් කතා කරමු.…" හැද සිටි ඉරි කමිසය උනා දමමින් සහන්‍යාට ලංවූ චාමර ඇඟේ තොල් පෙති සිප ගැනීමට අසාර්ථක වෑයමකය……
"මට පැය දෙකයි තියෙන්නෙ… මම ගෙදරට කිවුවෙ පංති කියලා… අනේ ප්ලීස් මාව තේරුම් ගන්න"
"ආ…පෝ… මේ වැඩේට පැය දෙකක් වැඩිත් එක්ක කෙල්ලෙ."
"දෙ‍යියන්ගෙ නාමෙට මේ සෙල්ලම දැන්වත් ඇති!! මට කියන්න, ඔයා බඳින්න යන්නෙ ඔයා අතින් උන වැරද්ද ඔයාට දැන් අමතකද? ඇයි මට මෙහෙම අපරාධයක් කලේ!! ඔයා දැන් ඔය මම වගේම තවත් කෙල්ලෙක්ව විනාශ කරන්න නේද යන්නෙ…??"
"මම ඔයාව කවදාවත් අමතක කරන්නෑ වස්තුව…"
"මම අහන්නෙ ඔහේ මට කරපු අපරාධෙ ගැන. දැන් අර තවත් කෙල්ලෙක්ට කරන්න යන අපරාධෙ ගැන!!"
"හම්මේ… පුංචි කෙල්ලගෙ සැර! මම ඉන්දීවරීව බැන්දත් ඔයාව අමතක කරන්නෑ වස්තු. මම ඔයාව රැජිණක් වගේ බලාගන්නවා."
"ඒ කියන්නෙ… ඒ කියන්නෙ මම ඔහේගෙ හොර,,,……" ඇගේ කේන්තිය හැඬුමක් සමග මුසු වීමට ගතවූයේ තත්පරෙන් පංගුවක කාලයකි.
"අපි හැමෝටම අපිට ඕන දේවල් අපිට ඕන විදිහට ලැබෙන්නෑ. ඒක තමා ඇත්ත. මම මුහුණ හෝදන් එන්නම්. ඔයා ‍රෙඩි වෙලා ඉන්න. නැත්නම් පැය දෙක අපරාදෙ! හ්ඃ හ්ඃ…" චාමර නානකාමරයට වැදුනේ නිරුවතින් සිටින උඩුකයට තුවාය දමා ගනිමිනි.

ශෝකය, කෝපය, ආත්මානුකම්පාව මුසු හැඟීමෙන් නානකාමරයේ දොර දෙස බලා සිටි ඇය නැඟී සිටියේ නිවසේ සිටම සැලසුම් කර පැමිණි ගතයුතු අවසන් තීරණය ස්ථීර කර ගැනීමෙන් පසුය.

මේසය මත තබා තිබූ ඔහුගේ ජංගම දුරකථනයෙන් ගත් යම් ඇමතුමකට මවාගත් කළබලයකින් යුතුව පණිවිඩයක් දී දුරකථනය තිබූ තැනම තැබූ ඇය නැවත ඇදේ වාඩි වූයේ තම අත්බෑගයද උකුලට ගෙනය.

නිදහසේ ඇරගත් උඩුකයත්, තුවායකින් පමණක් වසාගත් යටිකයත්, අතින්ගත් කලිසමත් ගෙන කාමය වෑහෙන දෙනතින් පැමිණි චාමර කලිසම ඇඳුම් රාක්කයේ එල්ලා සහන්‍යා දෙස බැලීය…….
තම උණුසුම පහකර ගැනීමට මදක් ලිහිල් කර තිබූ බ්ලවුසයෙන් පෙනෙන තිසර පටෙයෙන් වැසුන ඇගේ පිරිපුන් ළැම දුටුවේ තමන්ගේ රාගයට අත වනන හංස ජෝඩුවක් ලෙසිනි.… ඇයට අවශ්‍යව ඇත්තේද එයයි!

ඇද ආසන්නයටම පැමිණි චාමර හැඳ සිටි එකම වස්ත්‍රයවූ තුවාය ගලවා ඇය වෙත ලංවූයේ පෙර දින බලෙන් විඳි කම්සුව අදදින සිත්සේ විඳ ගැනීමටය……………

"මගෙ අම්මෝ…!! මොකක්ද යකෝ මේ කලේ?? අනේ මාව බේරගනියෝ…!" ඇගේ දකුණතේ නිවසේ සිටම ගෙනා අත්බෑගයේ සඟවාගෙන සිටි මුවහත් පිහියය. වමතේ මොහොතකට පෙර චාමර සතුව තිබූ ඇය අමාරුවේ දැමූ අවයව‍යය…!!!!!

"නෑ මම උඹව මරන්නෑ. මම මැරෙන්නෙත් නෑ. උඹ හිතුවද මම උඹට බයවෙලා උඹෙ හොරගෑණි වෙයි කියලා? තුක්ඃ! මම උඹට මැරෙන්න දෙන්නෑ. ඔය එන්නෙ කට්ටිය මම අවශ්‍ය තැන්වලට කතාකරලා තියෙන්නෙ. හහ් හහ් හාඃ…" ඈතින් ඇසෙන ගිලන් රථයේ හඬ පරයා ඇගේ රුදුරු හඬ ඇසෙන්නට විය.

සිහිසුන්ව වැටුන චාමරගේ ඇඟට උඩින් පැන නාන කාමරයට ගිය සහන්‍යා තම වමතේ සිරඟතව සිටින චාමරගේ ලිඟුව වැසිකිළියට මුදා හැරියේ කඳුළු පිරි දෙනෙතනි.…
"උඹ මාව විනාශ කලා. දැන් උඹත් ඉවරයි… අපි දෙන්නම ජීවත් වෙමු… විඳව විඳව ජීවත් වෙමු!!"
දඩාස්… දඩාස්…
"කරුණාකරලා මේ දොර අරින්න. නැත්නම් අපිට වෙනවා මේ දොර කඩන්න." සහන්‍යා පියවි සිහියට එළඹියේ කාමරයට පිටතින් ඇසෙන හඬත් සමඟිනි.

අහස නැවතත් දෙදරා යමින් තිබේ. ඇගේ ජීවිතයට තවත් මහ වැස්සක් වැටීමට නියමිතය. නමුත් ඕනෑම කුණාටුවකට මුහුණ දීමට ඇය දැන් සූදානම්ය.



©ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://tuyetdinhsinhvat.deviantart.com)

08 July, 2014

ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?


ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශ‍රීරගත වී ඇත‍යි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…

කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…

පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……

එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.

තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.

කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…

තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හ‍රක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.

28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එ‍ය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් ක‍ර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල ‍යුතුය.

එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.

මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.

"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි ති‍යන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………

පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.

© ප්‍රියා. {07/07/2014}

(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)

19 June, 2014

සුහදානනේ… සුබ සාමයේ… තීරකයා ඔබම තමයි……


"ඉගෙන ගන්ට අපි යන මේ පංතියට……
යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට……
කට් පාරක් දැමුමට අද ක්ලෑසියට……
පිංවත ඔබේ අදහස් මට පවසන්න……"
"ආ…ආ… පිස්සු නම් කෙළින්න එපා සුමියා, ගිය සතියෙ ගියෙත් නෑ. යමන් යකෝ ක්ලාස්…"
"සුමියා කියන්නත් වගේ මටත් අද කම්මැලී කම්මැලී වගේ බං…"
"තොපි දෙන්නටම පිස්සුද යකුනේ… මෙන්න මෙහෙ වර…"
"ඔය කිවුවට ECON කියත්දි මටත් ඇලජික් කියලා උඹලා දන්නවනෙ, ඒත් ගිය සතියෙත් නොගි‍ය එකේ අද යමන්ලා…"
එකම පාසල සිසු පිරිසක් වූ අප හතර පස් දෙනා කිරිබත්ගොඩ පෞද්ගලික පංති පැවත්වෙන ගොඩනැගිල්ලට යන අතර වූ වාදයට තිත තැබුනේ සියළු දෙනා පංති යාමට එකඟ වීමත් සමඟය.

"හප්පට ඩෙඟ… කළු සුමනව බල්ලො කන්ඩ. යකෝ මම පංති කාඩ් ගත්තෙ නෑ. ගිය සතියෙ පංති සල්ලිත් වියදම්…"
"තෝ වෙනුරයා මොකක් හරි *ත්තක් කියලා කට් එක දාන්න නේ හදන්නෙ… වර චිට් එකක් ගමු කාඩ් එක ගෙනාවෙ නෑ කියලා…"
"අද මොලේ ඇලේ දාලද ආවෙ ගොනෝ… නොගත්ත කාඩ් එක ගෙදර කියලා චිට් ගන්නෙ කොහොමද?"
"තොගේ එක නෙමේ මගේ එක ගෙනාවෙ නෑ කියලා චිට් එක අරන් මම ඒකෙන් යන්නම්. ඉදා උඹ මගෙ කාඩ් එකෙන් වර…"
මත ගැටුම් හැළහැප්පීම් මැද අතක් පයක් නොකඩාගෙන තවත් විනාඩි කිහිපයකින් අපි ආර්ථික විද්‍යාව පංතියේ අපිට සුපුරුදු දෙවනි පේළියේ… එනම් පංතිය මුල සිට බැලූ විට අවසන් පේළියට පෙර අසුනට වැටුනේ සුපුරුදු වල්පල් මැදමය…

"අඩෝ උඹලා දන්නවද වැඩක්… අර අරූ බං… ලොයිඩා……"
"ඇයි ඌ ගෙට වෙලාද…?"
"නෑ ඌ බඩ වෙලා…… අහපියලකො… මෑනුත් ආමි එකට ගිහින්ලු බං…" ඒ සුමිත්ගේ ගොරහැඬි හඬය.

"බොට කියලා තියෙනවා නේද නයි අරිත්දි පෙර දැනුම් දෙන්න කියලා අපිට කකුල් උස්සගන්න…"
"බොරු නෙමේ යකුනේ සිරාවටම… ඇයි ඌ එක පාරක් අපි එක්කත් කිව්වෙ… අනික ඌ අපෙගෙවල් හරියෙනෙ. ට්‍රේනිං ඉවර වෙලා ඩියුටිත් දාලා. ඊයෙ මට හම්බ උනේ නිවාඩු ඇවිත් ඉත්දි…"
"කොහෙද ඩියුටි…?"
"දැන් ඉතිං ගන්න ඔක්කොම යවනවා ඇත්තෙ ගේමටනෙ බං…"
"පිස්සුද බං… ඔය වගේ උන්ව ගනීද යුද්ධ කරන්න.… මූව ගන්න ඇති යුද්ධෙ කරන කොල්ලන්ට තේ හදන්න…"

විදුරගෙ හඬ පිට වූයේ අප සැම සිනහ සයුරක ගිල්වමිනි… ඒ හඬ අවසන් වීමට පෙර ගුරුවරයා පැමිණි හෙයින් ඒ කතාබහා එතකින් අවසන් උවද ආර්ථික විද්‍යාව කියනා විටම ඇඟේ අසාත්මිකතාවක් හට ගන්නා මාගේ සිතුවිලි දැහැනට නම් එය බාදාවක් නොවීය…

ලොයිඩ් යනු අප පාසලේම අප වයසේම අපේ පංති වලම සිටි ශිෂ්‍යෙයෙකි. කුඩා කල මාද සබකෝලයෙන් පිරි, අමුතු හිපාටු චරිතයක් උවද දහය වසරෙන් පසු ඒ සියල්ල වෙනස් වූ මුත් ඒ චරිත ලක්ෂණ වලින්ම හෙබි ලොයිඩ් නම් උපන්ගෙයි සිටම ගෙන ආ කොන් වීමට තිබූ ආශාවත් සමඟම වැඩෙන්නට විය.

ඇතම් අවස්ථා වල අප කරන වැරදි වලට පවා ඔහු දඬුවම් වින්දේ බලෙන්මය. ඒ ඉගෙනීමට තිබූ අකමැත්ත මත පංතියෙන් එළියට වී සීටීමට තිබූ උවමනාව නිසාය. ඇතම් විටක ගුරුවරිය පංතියට ඒමට පෙර රටහුණු කැබැල්ල කුඩු කර ගුරු පුටුවෙ අතුරා තැබීම, කොහෙන් හෝ ඔසවාගෙන පැමිණි හිස් මල් පෝච්චියක් ගුරු පුටුව යටින් තැබීම වැනි වැඩද ඔහු අතින් සිදු විය. කෙසේ උවද අපට සිංහල හා බුදුදහම ඉගැන්වූ හාමුදුරුවන් හැර අන් බොහෝ ගුරුවරු ඔහු හදුනාගෙන සිටියේ දඬබ්බරයෙකු ලෙස පමණි.

කෙසේ හෝ අවසානයේ සියළු දෙනා සාමාන්‍ය පෙළ ලියූ අතර ඇතමෙක් උසස් පෙළට ගණිතය හෝ විද්‍යා විශය ධාරාවන් තෝරාගෙන වෙනත් පාසල් වලට ගිය අතර, වාණිජ්‍ය තෝරා ගත් අපත් කලාව තෝරා ගත් පිරිසත්, තවත් අවට පාසල් කිහිපයකින් පැමිණි සිසු පිරිස සමඟ තනි කරමින් කිහිප දෙනකු සාමාන්‍ය පෙළ අසමත් වී තිබුනි. අවාසනාවට ලොයිඩ් සිටියේද අවසන් ගොඩේය.

විභාගයෙන් පසු මුලින්ම අප හට ලොයිඩ්ව මුණගැසුනේ උසස් පෙළ අරඹා ටික කලකිනි.

"ආ… ඩෝ… ලොයිඩා… කොහෙද මේ…?"
"පොඩි ගමනක් ගියා බං…"
"දැන් මොකෝ කරන්නෙ…?"
"මම දහ අට සම්පූර්ණ උන ගමන ආමි එකට යන්නයි ඉන්නෙ…"
"නෑ… හප්පට සිරි වෙනවා… හරි හරි ඕන එකක්. පරිස්සමෙන්.… මේ අපිට පරක්කු උනා… එහෙනම් අපි ගියාවෙ ඈ…"

"ඕකගෙ කෙප්ප බං.… ඔහොම චාටර් යක්කු හමුදාවලට ගන්නවද බං… මූව යවන්න ඕන ඉතියෝපියාවට"
"එහෙම්ම කියන්නත් එපා බං.… මොක උනත් මෑන් හිත හොද එකා…"…………………………………………………………

"යකෝ… තෝ සර්ගෙ මූණ බලාගෙන පිළිකුල් භාවනාව වඩනවද……?? මනෝ ගහලා ඉන්නැතිව නෝට් ටික ලියා ගනින්……" ඉබාගාතෙ දිවූ සිතුවිලි වලට සීමා වැටුනෙ කණ ළගම ඇසුන වෙනුරගේ කෙඳිරිලි හඬිනි.……………

තවත් මාස කිහිපයක් ගෙවී යනු නොදැනුනේ විභාගය නිසාවෙන් දිවා රෑ නොබලා මහන්සි වූ නිසා නම් නොව සුපුරුදු කෙළිලොල් දිවිපෙවතම ගෙවූ අපට දිවා රෑ ගෙවී යාම නොදැනුනු නිසාය.……

සෑම වර්ශයක මෙන්ම අපද විභාගයට ආසන්න වෙත්දී පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර දැමුවේ විභාගයට පාඩම් කිරීම අරමුණු කරගෙන උවද ජීවිත පාඩම් ලබා ගත්තා මිස පොත පත පාඩමක් නම් නොවූ තරම්ය.

"කෝ බං මේ හිපාටුවා… තාම නෑනෙ?"
"මුගෙ ෆෝන් එකත් ඕෆ් බං… රෙද්ද…"
විභාගය පෙනි පෙනිත් නොනැවතුන අපගේ රස්තියාදුව නිසාම රාගම තේවත්තට යාමට සිටි ගමන කැළණිය දුම්රියපලේ ප්‍රමාද වූයේ සුමිත්ගේ සුපුරුදු ප්‍රමාදය හේතුවෙනි.…

"ආ අර එන්නෙ… අස්සයා විකුණපු කව්බෝයි වගේ දුවගෙන…"
"මොකක්ද මීමො, තෝ කරන්නෙ… ෆෝන් එකත් ඕෆ් කරගෙන"
"ඒ රෙද්ද බැට්රි බැහැලා බං… මේ වරෙල්ලා පොඩි ගමනක් යන්න… හදීසියක්…"
"හදීසියක්!!! ඇයි උඹට බොගක් සෙට් වෙලාද… *ත්තො ස්ටේෂමෙ ටොයිලට් පිරිසිදු නෑ. කරගන්න මඟුලක් ගෙදරින් කරන් එන්න එපෑ…"
"උඹලට ආරංචි නැත්ද බං…??"
"මොකක්ද…?? බොට බොගක් සෙට් වෙලා කියලද? හි… හි…"
"බං මේ ලොයිඩ්… නැතිවෙලා බං…!!!!!!"

වනවාසල දෙස සිට කොටුව බලා ඇදෙන දුම්‍‍රියේ නළා හඬත් සමඟම කණ වැකුණු ආරංචිය එක්වරම භාර ගැනීමට තරම් අප කාගේවත් සිත් නැමුනේ නැත. යාමට පැමිණි ගමන දුම්‍‍රිය පලේම දමා පට්ටිය හංදියෙන් හැරී යා යුතු ලොයිඩ්ලාගේ නිවස කරා දිව ගියේ ඒ ආරංචිය කාගේ හෝ විහිළුවක් වේවායි පතමිනි.…… නමුදු ඒ පැතුම ඉටුනොවනා බවට පළමු සාධකය දුන්නේ ලොයිඩ්ගේ නිවසට හැරෙන අතුරු පාරේ ඉහල ලෙල දෙමින් තිබූ සුදු පැහැ කොඩි කිහිපයය………


නිවසට ලං වන විට ඇස හතර වටේ දිව ගියේ යුධ හමුදාවේ බැනරයන් මතය… ඉදිරිපස දොරෙන් ඇතුලු වූ අප දුටුවේ මිනීපෙට්ටියකි. ගෙවුනු තත්පර කිහිපයකින් පසු අප ඒ පෙට්ටිය වටාය…

එකල හිපාටුවෙක් ලෙස හංවඬු ගැසී සිටි අපිළිවෙල ලොයිඩා එහි නැත. ඒ වෙනුවට නිවසෙ සාලය මැද මිනි පෙට්ටියක නිදන්නේ නිළ ඇඳුමක් හැඳගත් ගාම්බීර පෙනුමැති සොල්දාදුවෙකි.… අප නිදහසේ විනෝද වන විට, අධ්‍යාපනය ලබන විට ඒ වෙනුවෙන් අපේම වයසේ කොල්ලන්ද ඇතුලුව දහස් ගණනක් දිවි කැප කොට ඇත.

'වගකීමක් නැති එකා… , මහ පොළවටත් බරක් උන එකා' ලෙස නම් ලැබූ ඔහුට ඒ නම් පැළදූ ඇතම් ගුරුවරියන්, ගුරුවරුන් පවා පැමිණ ගරු බුහුමන් දක්වා යනු දුටු විට. එපමණක් නොව ඔහු ලද හමුදා උත්තමාචාරයන් දුටු විට දැනුනේ අමුතුම හැඟීමකි. අප අතරම සිටි ඔහුව අපි හදුනා නොගත්තාට ඔහු දැන් රටටම විරුවෙකි.

ජීවිත ගඟ ඉදිරියටම ගලයි.… ගෙවෙනා හැම තත්පරයක්ම ජීවිතයේ ඉදිරි ගමනට අත්දැකීමකි… ඔහුගේ මරණයද අප ලැබූ දුක්ඛිත අත්දැකීමකි… එයින් අප මිල කල නොහැකි ජීවිත පාඩමක් උගත්තෙමු.…

ලොයිඩ් කසුන් සංජීව මිතුර… ඔබට නිවන් සුව පතමි.……!!!!!

ප. ලි. ~ හදීසියෙම මේ අත්දැකීම අකුරු උනේ පීරෙගෙ මේ පෝස්ටුව නිසයි.

ප. ප. ලි. ~ මා සිතනා පරිදි අවුරුදු ගණනාවක යුද්ධයක් අවසානයේ අසා බැලුවොත් බොහෝ අයට තමන්ගෙ ඥාතියෙක්, මිතුරෙක්, හිතවතෙක් කුරිරු යුද්ධය නිසා අහිමි උනා. ආයෙත් පාරක් යුද්ධයක් අපිට අවශ්‍යද????

සැ. යු. ~ අපි යනුවෙන් ආමන්ත්‍රණය කෙරුවේ සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා තවත් ජන කොටස් වේවා සියළුම ආකාරයේ මනුස්ස ජාතියටයි.

© ප්‍රියා.
** 18/06/2014

(පින්තූරයට ස්තූතිය……
https://www.flickr.com)

09 June, 2014

මම නම් පාවිච්චියක් නෑ.……


සමහරක් මිනිස්සු සමහරක් අවස්ථා වල හැසිරෙන විදිහ දැක්කම ඇත්තෙන්ම ඇතිවෙන්නෙ නිකම් මූට පිස්සුද නැත්නම් වෙන කාට හරි පිස්සුද වගේ පිස්සු හැඟීමක්… කොටින්ම සමහරක් හිතන්නෙ බස් රථ වල දුම්‍‍රිය වල මුදල් දීලා හරි විදිහට යන්නෙ තමුන් විතරයි කියලා. අනිත් ඔක්කොම යන්නෙ උගේ සල්ලි වලින් පිනට කියලා.… ඕවා මේවා කල්පනා කරන්න ගියොත් අපිටත් පිස්ස්සු හැදෙන්න පුළුවන් නිසා කෙලින්ම එමුකො අද සිතුවිල්ලට.

මේක උනේ ගිය බ්‍රහස්පතින්දා. ප්‍රියා සුපුරුදු ලෙස වැඩට යන්න ආවා පාරට. සාමාන්‍යයෙන් ඉතිං උදේ හතත් නමයත් අතර කොළඹට එන බස් එකක වාඩි වෙලා යනවා කියන්නෙ කාලාන්තරයක් පෙරුම්පුරලා පුරලා අන්තිමේ රුපියල් 500ක ලොත‍රයියක් ඇදුනා වගේ තමයි. හැබැයි ඉතිං ඔය ලොතරයිය එදා මට ඇදුනා……

ඒ බස් එකට නැවතුමෙන් එවලෙ නැඟපු එකම මඟියා එකම මඟියා උනෙත් මම. ඉදිරි දොරෙන් නැඟලා බස් රිය පුරා එක බැල්මක් දාපු මගේ ඇහැට අහු උනේ බස් රියේ වම්පස මැදට වෙන්න අවුරුදු හතලිහකට ආසන්න යැයිකිව හැකි කෙට්ටු පොඩි නපුරු පෙනුමක් තියෙන, හිනාවක් අවුරුදු ගානකින් නොදැකපු මනුස්සයෙක් ජනේලය අසල නොව අනෙක් පස වාඩි වී සිටින අයුරුයි. ඔහුගේ වම් පස ජනේලය අයිනෙ ආසනය හිස්… මාත් එතනට ඇවිත් වාඩි වෙන්න බැලුවට මිනිහගෙ නෑ කිසිම ප්‍රතිචාරයක්.…

බලන් ඉදලා බැරිම තැන "පොඩ්ඩක් වාඩි වෙන්න ඉඩ දෙනවද?" කියලා ඇහුවම නම් ගස්සලා පපුව ඉස්සරහට දාලා උරහිස ඉස්සුවට කකුල් දෙක හෙල්ලුවෙ වත් නෑ.… හරියට කෙල්ලෙක්ගෙන් 'පොඩ්ඩක් ඔයාගෙ උකුළෙන් වාඩි වෙන්නද?' කියලා ඇහැවුවා වගේ.… :) කොහොමින් කොහොම හරි ප්‍රියත් ඔතනින් වාඩි උනා කියමුකො.… අනේ ඉතිං පොඩ්ඩ දුරයි යන්න ලැබුනෙ, මේ මනුස්සයා එන්න එන්න මගේ පැත්තට බර වෙවී මාව ජනේලෙ පැත්තට හිර කරනවා. ටික දුරක් ගිහින් බලත්දි මට හේත්තු වෙන්නත් නැතිව මම ඉන්නෙ දණිස් දෙක උඩ වැළමිට තියාගෙන වකුටු වෙලා.… මටම දුකයි මම ගැන.…

ඔන්න ඉතිං බලන් ඉදලා බැරිම තැන ප්‍රියත් ප්‍රියාගෙ සික්ස් පැක් එක පොඩ්ඩක් විතර පිම්ඹුවා… :o හරි හරි බොලවු අපිට කොහෙන්ද සික්ස් පැක්. ඒත් ඉතිං මාත් අහිංසක විදිහට අඩි හයයි අඟල් හතරක් උස මගේ ඇඟේ හයිය පෝඩ්ඩක් පෙන්නලා ටික දුරක් නිදහසේ ගියා.

ටික දුරකින් බැලින්නම් අර මනුස්සයා ආයෙම මගෙ කරේ. මේ පාර කලින් වතාවටත් වඩා මිනිහගෙ ප්‍රහාරය දැඩි කරලා. මාව තල්ලු කරන් තද කරන ගමන් සැරෙන් සැරේ මගෙ දිහා රවලා බලනවත් මම දැක්කා.… මම නම් හිතන්නෙම මේ මගෙ ආත්මයක් පාසා පතාගෙන ආපු වෛරක්කාරයෙක්. නැත්නම් මේ මනුස්සයට වෙන මොනවා හරි පිස්සුවක් තියෙනවා.… අනේ ඒත් ඉතිං මෙහෙම ස්ටිකරේ වගේ බස් එකක ජනේලෙ ඇලිලා ඉන්න එකේ සීමාවකුත් තියෙන්න එපෑ…

මම හිමීට රබර් ඇහැ දාලා බැලුවා, මගේ ශරීර කූඩුව නිසා මිනිහටත් සීට් එකේ ඉඩ මදි වෙලාද මෙච්චර දත කන්නෙ කියලා… අනේ ඒත් මම දැක්කා මේ මනුස්සයා මගේ ඇඟේ නැඟ ගෙන ඉන්න තරම කොච්චරක්ද කියනවා නම් දෙයියනේ කියලා එහා පැත්තෙ තව අඟල් ගානක්ම ඉතුරුයි.… ඒ දර්ශණය දැකපු ගමන් මටත් මේ මනුස්සයව පණපිටින් මරලා වළදන්න තරම් පුණ්‍යවන්ත හිතක් පහල උනත් මේ උදේ පාන්දරම වළියක් දාගෙන දවසම නසරානි කරගන්න තිබ්බ අකමැත්ත නිසාම පෝඩ්ඩක් විතර කල්පනා කරලා චූට්ටක් විතර අර මනුස්සයගෙ කණට කරලා ඉතාම සුහද ලීලාවෙන් පොඩීත්තන් වචන ටිකක් අත හැරියා.

මම කියපු දේ තේරුම් ගන්න බැරිව ටික වෙලාවක් කල්පනා කර කර හිටපු මිනිහගෙ ටියුබ් ලයිට් එක පෝඩ්ඩක් ගැහිලා එක පාරටම පත්තු වෙලා මගේ බස් ගමන ඒකාලෝක උනා……

ඒ කිවුවෙ මිනිහා හැරෙන තැපෑලෙන් සීට් එකේ තමන්ට නියමිත තැනට ගියේ විදුලි වේගෙන්.… ඊට පස්සෙ නම් බස් එකෙන් බහිනකල්ම දෙන්නා කිසිම අපහසුතාවයකින් තොරව වාඩි වෙලා හිටියත් අර මනුස්සයා නෙමේ ඔළුව උස්සලා වත් බැලුවේ… කොටින්ම බස් එකෙන් බැහැලා මිනිහා දිව්වෙත් තරඟෙකට වගේ.……


නෑ… නෑ… බොලවු. මම ඒ මනුස්ස පරාණෙට කුණුහබ්බෙන් නෙමේ බැන්නෙ… අනික අපි ඒවා දන්නෙත් නෑ නොවෑ… මම කිව්වෙ… "මගෙ ඇඟේ නැගගෙන ඔච්චර ට්‍රයි කලාට වැඩක් වෙන්නෑ.. මම කොල්ලො පාවිච්චි කරන් නෑ…!!!!!" කියලා විතරමයි ඕන්…………

:D :D :D

© ප්‍රියා.
**08/06/2014

(පින්තූරයට ස්තූතිය……
http://www.funnyjunk.com)

01 June, 2014

නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……



කඳුලු පිරී තෙරපෙන මගේ දෙනෙතට පෙනෙන ඒ බොඳ උන රුව ඇගේම දැයි හදුනාගැනීමට මට අපහසු නැත. මා රැවටුනාට මාගේ දෙනෙත රැවටී නැත. ඒ ඇයමය. මා පණසේ ආදරය කල ඇයමය, මා දෑසසේ ආරක්ෂා කල ඇයමය. මාගේ දෙනෙත රැවටී නැත නමුත් මා රැවටී ඇති බව මා දනිමි.

ඈත අනුරාධපුරයේ ඉපදි හැදීවැඩෙන මා කොළඹට පා තබන්නේ මෙයට වසර පහකට පමණ පෙරය. ඒද බියගම වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවක් සොයාය.

"සුමිත්ගෙ වැඩ හොදයි කියලා මං බොස්ටත් කියලා තියෙන්නෙ. ඔහොම වැඩ කරන් ඉන්න. ඔයාට දියුණු වෙන්න පුලුවන්."

සහයකයකු ලෙස එක්වූ මා ක්‍රමයෙන් ලයින් ලීඩර් ලෙසත් පසුව වැඩ පරික්ෂකයකු ලෙසත් උසස් වීම් ලැබුවෙ මා තුල රැකියාව පිලිබඳ වූ උනන්දුව නිසාද මාගෙ හැකියාව නිසාද එසේත් නොමැතිනම් මාගේ අසරණ දෙමාපියන්ගේ වාසනා මහිමය නිසාදැයි මා අදටත් නොදනිමි.

උසස් වීම් වලට සමගාමීව ඉහල යන මාගේ වැටුපෙන් සෑහෙන්න කොටසක් වෙන් වූයෙ මාගෙ දුප්පත් දෙමාපියන් වෙනුවෙනි. මා මාගේ දෙමාපියන්ට එතරම්ම ආදරය කලෙමි. ඒ ආදරය බෙදාදීමට කෙනෙකු මට ඒ දිනය වනතෙක් මෙලොව සිටියෙ නැත. නමුත් එදිනෙන් පසු…………………

"ආ මෙන්න සුමිත්ගෙ ටීම් එකට අලුත් ළමයෙක්… නම කාව්‍යා… සුමේධාගෙ ලයින් එකට දාන්න හෙල්පර් කෙනෙක් විදියට. කලින් වැඩ නම් කරලා නෑ…"

"හරි මිස්… අපි හදලා ගමු…"

"මොකක්ද නංඟි නම කිවුවෙ?"

"සර්, මම කාව්‍යා…"

"මට සර් කියන්න එපා ළමයො මාත් ඔයාලා වගෙ හෙල්පර් තමා ආවෙ… මට සුමිත් කියන්න ඒ ඇති…"

ම්ම්ම් ඒ දිනය අදටත් මගේ මතකයේ ඉහලම ස්ථානයක තැන්පත්ව ඇත්තේ මාගෙ දිවියම වෙනස් කල දිනය එදින වන බැවිනි. නිතඹෙන් පහලට වැටුන දිගු වරලස තනි කරලට ගොතා, චීත්ත ගවුමක් ඇඳ සිටි ඇය මා දුටුවේ මා වෙනුවෙන්ම ඉපදුන එකියක ලෙසිනි.

මෘදු සිනහවෙන් කෝල කතාවෙන් දිනෙන් දින මා සිත් ගත් ඇය අවසානයෙ මගෙ අදරවන්තිය වූයේ මාගේ බලාපොරොත්තුවේ පහන් දල්වමිනි.

මා ගෙවමින් තිබූ සරල සැහැල්ලු ජීවිතය කෙමෙන් වෙනස් වෙමින් පුහු ආඨෝපයෙන් පිරි දිවියකට මා කෙමෙන් හැඩ ගැහෙමින් සිටියේ ඇගේ වුවමනාවටය.

කෙමෙන් කෙමෙන් ඈ තුල සිටි මල් මල් චීත්ත ගවුම් ඇදි අහිංසකාවිය පලාගොස් ඇත. ඒ තනිවම නොව වයසක දෙමාපියන්ට සලකමින් අහිංසක දිවි පෙවතක් ගෙවූ සුමිත් නම් මාගේ සැහැල්ලුවද රැගෙනය. නමුත් මට ඇයව අතහැර දැමීමටද නොහැක. මා එතරම්ම ඇයට බැඳී ඇත.

ඇය වැනිම තවත් කෙල්ලන් දෙදෙනකු සමග බෙදාගන්නා ඇගේ බෝඩිම් ගාස්තුවේ සිට ඇයගේ සියලු වියදම් පමණක් නොව ඇගේ දෙමාපියන්ට සහා අධ්‍යාපනය හදාරන සහෝදරයාට යන වියදම පවා පියවී ගියෙ මගෙ පඩි පතෙනි. එයට මා එතෙක් ආදරයෙන් බලාගත් දෙමාපියන්ගෙ කෑමට තිබූ මුදල් පවා අඩු වීම මට කොතෙක්ම ගැටළුවක් වූයේ නැත.

මා එතරම්ම ඇයට ආදරය කලෙමි. ඇය මාගේ පණ වීමට එතරම් කලක් ගත වූයේ නැත.

"මොනවද සුමිත් මේ වෙන්නෙ, බලන්න මේ පාරත් ඔයාගෙ ටීම් එකේ ප්‍රඩක්ෂන් අඩුයි. මේ පිට පිට දෙවනි වතාව. ටාගට් වත් කවර් කරගන්න බැරිනම් සුපවයිසර් කමෙන් වැඩක් නෑනෙ… අනික ඔයාලගෙ පෞද්ගලික සම්බන්ධකම් පිට තියා ගන්න. ඒවා මෙතනට ගෙනත් වැඩ පාඩුකරගන්න එපා…"

"සොරි මිස්… ආයෙ එහෙම වෙන්නෙ නෑ. මම බලා ගන්නම්…"

"එහෙම කියලා බැහැනෙ සුමිත්, මේ දෙවනි වතාව බොස්ලා මගෙනුයි අහන්නෙ. මම මේක ඇතුලෙ වෙන ඔක්කොම දන්නවා. මට කරන්න දෙයක් නෑ… කාව්‍යා ඔයා යන්න රුවන්ගෙ ටීම් එකට, රුවන්ගෙන් චන්ද්‍රලතාව දාන්නම් සුමිත්ගෙ ටීම් එකට."

මා එතෙක් උනන්දුවෙන් කල රැකියාවෙන්ද මා පසු බැස්සේ ඇය නිසාය. එදිනනම් මට දැනුනේ සියල්ලන් ඉදිරියේ මා නිරුවත් වූවා වැනි හැඟීමකි. එයටත් වඩා දුක කාව්‍යා මගෙ කණ්ඩායමෙන් වෙන් වීමය.

"මම සුමිත් අයියව හම්බ වෙන්නමයි හිටියෙ… මේක කොහොම කියන්නද මට තේරෙන්නෑ…"

"කියන්න උත්පලා, මොකක්ද ප්‍රශ්ණෙ…?"

"මම කියන දේ අහලා දුක් වෙන්න එපා, මං ගැන වැරදියට හිතන්නත් එපා!"

"හරි… හරි කියන්නකො."

"සුමිත් අයියා පොඩ්ඩක් හොයලා බලන්න කාව්‍යා ගැන…… අපිට දැන් එයාගෙ පොඩි වෙනසක් තේරෙනවා…"

"ඒ කිවුවේ……!!!"

"මේ…කයි…… කාව්‍යා රුවන් සර් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. පොඩ්ඩක් හොයලා බලන්න…"

"හ්ම්… ආ… හරි… හරි උත්පලා… මම බලන්නම්…"


කාව්‍යාගේ කාමරය බෙදාගත් මිතුරියකගේ පණිවිඩය හමුවේ මා කාව්‍යා සමග සැදූ සිහින මාලිගය බිඳ නොවැටුනේ මා එතරම්ම ඇයව විශ්වාස කල නිසාද, නැත්නම් මා ආදරයෙදි මෝඩ අඥානයෙකු වූ නිසාද?

නමුත් අද… අද… අද සවස මා දැක්කේ සිහිනයක්ද… නැත මා දුටුවේ සිහිනයක් නම් නොවේ…

මා අද සවස කාව්‍යාගේ බෝඩිමට ගියේ ඇය සමග නිදහසේ කතා කිරීමට ඇයත් සමග කොහේ හෝ යාමටය. ඒ ඇයගේ බෝඩිම් සහයිකාවන් දෙදෙනාම වැඩට ගොස් බැවින් කාව්‍යා තනියෙන් සිටින නිසාවෙනි. නමුත් ඇය අද සිටියේ තනිව නම් නොවේ. මා පණ සේ ආදරය කල ඈ මා දෑස මෙන් රැක ගත් ඈ මාගේ දෑස ඉදි‍රිපිටම සිටියේ රුවන්ගේ තුරුලේය.

සිටි තැනම ගල් ගැසුන මා දුටු ඇයව මා දුටුවේ දඩයම්කරුවෙකු දැක සැඟවෙන මුවැත්තියක මෙනි. මා හට මුහුණ දී ගත නොහැකිව රුවන්ද ඇයද මුහුණ බිමට බර කරන් සිටි අයුරු මට දැනුදු මැවී පෙනේ.

එකඳු වදනක් හෝ පිටකරගත නොහැකිව මා අසරණ උන තරමක් දන්නේ මා පමණකි. අවසාන‍යේ වචනයක් හෝ නොදොඬා කඳුලු පිරි දෙනතින්ම මා මාගෙ නවාතැන් පලට පැමිණි අයුරු කෙසේ දැයි මට මතකයක් නැත.

මා දැන් කලයුත්තේ කුමක්ද? වසර පහක් පමණ තිස්සෙ දුක් මහන්සි වී හම්බ කල සතයක්වත් මා හට නැත. මාගේ රැකියාව පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. ඒ සියල්ල ඇයට පිංසිදු වීමටය.

නමුදු මා එකම එක කාරණයක් දනිමි. එනම් මා පණසේ ආදරය කල ඇයට වෛර කිරීමට නම් මා සිත එකඟ නොවන බව පමණි.


දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

© ප්‍රියා.
*13/11/2013

ප. ලි. ~  ලියවී මාස ගණනක් පසු උවද පබ්ලිෂ් කි‍රීමට සිත නොදුන් එකම කතාව මෙයය. ඒ සැබැවින්ම මෙවන් පෙම්වතුන් මේ කාලෙයේ මෙළොව සිටීද යන පැනය නිසාය.
(පින්තූරයට ස්තූතිය……pastorchrisjordan.wordpress.com)

25 May, 2014

සුපිරි ගණිකාව………


"වල්…ලවු වෙ ආමුට… කියන…වා මං…
පුංචි ආමුයි මග්ගෙ මන…මාලී
පුල්ලී ගොනා බැඳි…… ආ… අම්මේ……"
"මොකක්ද පුතේ මේකෙ තේරුම… උඹ අදත් බීලා නේද…??"
"බී… බීලා. මගෙ අම්මා මේ පිස්සු කතා කරනවද… මම බීලා නෑ…"
"මොකද බං මේ කවදාවත් නැතිව මා එක්ක හුරතල් වෙන්න එන්නෙ…?"
"මම අම්මගෙ හුරතල් පුතානෙ…"
"ඇයි මොනවත් ඕන වෙලාද මේ හොද පෙන්නන්නෙ…"
"පි… පි… පිස්සුද…??"

පැමිණි ලෙසම වැනි වැනී ගොස් කොටස් තුනකින් යුත් නිවසේ සාලය යැයි කිව හැකි ඉඩේ ඔහු වෙනුවෙන්ම දමා තිබූ රෙද්දේ වැතිර ගත් තම පුත් ජයන්ත දෙස සුමනා බලා සිටියේ සුසුම්ලමිනි. නිවසේ අඩු පාඩු වැඩි වන තරමටම ජයන්තගේ බීමද වැඩි වන්නේ තමාගෙත් තම දියණියගේත් අවාසනවට බව ඇය දැඩිසේ විශ්වාස කලාය.

උදෑසන අවදි වුවද නැඟිටීමට තරම් ශක්තියක් නොවූ ජයන්ත බලා ගත් අත බලා සිටියේ ඊයේ දින අවසන් සිදුවීම් පෙළ මතක් කර ගැනීමටය.

"උඹලගෙ ගමේ කිසි ෆන් එකක් නෑ බං…"
"ෆන් එකක්…???"
"ඔව් බං කිසිම ගතියක් නෑනෙ… කනවා බොනවා ඇර වෙන කිසිම මඟුලක් නෑ…"
"කෑමයි බීමයි තියෙනවා නම් වෙන මොනවද බං…???"
"යකෝ… කාලා බීලා සැපක් අරන් නිදා ගන්න එපෑ. අන්න ඒ වැඩේ…??"
"ආ… අන්න එහෙම සිංහලෙන් අහන්න එපෑ. හ්ම්ම් ඒකට නම් ඉතිං… අර මැරිච්ච කළු ඇල්බාගෙ ගෑණි තමා…… දරුවො දෙන්නෙක් හිටියට මොකෝ…… ඒකි තාම කෙල්ල වගේ බං…"
"කෙල්ලෙක් වගේ… ප්හු… වරකා කාලා නැති උඹලට නම් ඔය වැල ගෙඩිත් වරකා වගේ පේනවා ඇති. ඒත් රස දන්න මිනිහා වෙච්චි මට ඒවා කන්න බෑ බං.… නැත්ද හොද විස්සෙ විසිදෙකේ ඒවා…"
"එච්චර පොඩි කෑලි කොහෙන්ද බං මේවට… අරකිටත් 35කට කිට්ටුයිනෙ."
"එහෙනම් ඉතිං ඒ වැඩේට කොළඹ යන්නම වෙනවා…… එහෙ ඉන්න සුරංඟනා කෑලිත් එක්ක මේවයෙ උන්ට හැරෙන්නත් බෑ. අවුරුදු දාසයෙ ඉදන්. කෙට්ටුද මහතද ඕන එකක්…"
"එච්චර ලස්සන පොඩි උනුත් ඉන්නවද බං…??"
"ජයන්ත… ජයන්ත… ලස්සනයි වයසයි කන්නද බං සල්ලි තියෙනවා නම්… ඒවා සුපිරි බඩු බං…"
"කීයක් විත‍ර වියදම් වෙනවද සුනිල්…??"
"හඃ හඃ හඃ… ඇයි උඹටත් හිතුනද වැල බැහැපුවා නොකා හොද වරකා කෑල්ලක් කන්න. හ්ම්ම්ම්…… මගෙ යහළුවෙක්ගෙ පොට් එකක් තියෙනවා… හෝටලේක… උඹ පන්දාහක් සෙට් කර ගනින්කො……"

ගමට පැමිණ තවමත් මාස දෙක තුනක් වුවද සුනිල් ජයන්තත් සමඟ එක් වූයේ කුණු එකතු වන්නේ කුණුගොඩකටම බව සනාථ කරමිනි. ව්‍යාපාරිකයෙක් යැයි පැවසුවද සුනිල්ගේ ව්‍යාපාර මොනවාදැයි ජයන්ත නොදැන සිටි මුත් ඔහු සමඟ එකතු වී සිටියේ ඔහුගේ මුදලින් ලැබෙන මත්පැන් පොද ගංජා සුරුට්ටුව… ලැබුනොත් පමණක් කුලී වැඩක් කර එයිනුත් බොන නොලැබුනොත් මවගෙන් ගසා කන රස්තියාදු කාරයෙකු වූ ජයන්තට මහමෙරක් වූ නිසාවෙනි.

"මොකෝ පුතේ, නිදි පැඳුරෙ ඉදන්ම කල්පනාව??"
"මුකුත් නෑ……හ්ම්… මේ… මට හෙට රුපියල් හත්දාහක් ඕන.…"
"හෙට…?? කොහෙ තියන සල්ලියක්ද පුතේ…"
කැඩී තිබූ සරම ගැට ගසා ගනිමින්ම නැගිට ගත් ජයන්ත මව දෙස බැලුවේ දවා හළු කරන බැල්මකි.
"කොහෙන් හරි කමක් නෑ මට ඕන.… හෙ…ට ඕ…නෙ. තේරුණානෙ. එච්චරයි."
"උඹට හිතක් පපුවක් නැත්ද බං. අර කෙල්ල අහරෙ දුක් මහන්සි වෙලා හම්බ කර කර එවනවා… උඹ ඒවා කාබාසිනියා කරනවා… උඹට නංඟියෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා කියලා ගානක් වත් තියේද?… පව් මයෙ කෙල්ල.…"
"ඔයාට කවදත් කෙල්ලනෙ පව්.… මට ඒවා වැඩක් නෑ. මට හෙට හත්දාහක් දෙන්ඩ නැත්නම් ගෙදර නොහිටියට කමක් නෑ…"

කෝපයෙන් පහල ලිඳ දෙසට යන ජයන්ත දෙස සුමනා බලා සිටියේ ශෝකයෙන් සුසුම් ලමිනි. සැමියා මිය ගිය තම පවුලේ බර කරට ගැනීමට සිටින තම පුතා ගමටම බරක් වෙත්දි ඊට බාල දියණිය පවුලේ බර කරට ගත්තේ සුමනාට සැනසීමක් වෙමිනි.

දියණිය අවසන් මස එවූ මුදලෙන් ඉදි‍රි දින කිහිපයේ කෑමටත් ඇගේ හදීසි උවමනා සදහාත් කොයිදේටත් ඉතිරිව තිබුනේ සඟවා තිබූ රුපියල් හාරදහසක් පමණි. ඉතිරි තුන්දහස සොයා ගැනීමට නැතිම තැන ඇය සතු එකම රන් පළදනාව වූ දියණියම මිලට ගෙන දුන් කරාඹු ජෝඩුව හංදියේ මධ්‍යස්ථානයට දී මුදල් කර ගත්තේ ඉල්ලූ රුපියල් හත් දහසට සතයක් හෝ අඩු වුව හොත් ජයන්තගෙන් විසුමක් නොවන බව දන්නා නිසාමය.


"තව දුරද බං සුනිලො…?"
"තව පොඩ්ඩ දුරයි… හික්… බය නැතිව හිටින්. මම උඹටත් එක්ක කෑලි දෙකක්ම එවන්න කියලා තියෙන්නෙ…"
"මට මේ විදිහ පුරුදුත් නෑ බං…"
"ඇයි උඹ අර කළු ඇල්බාගෙ ගෑණි ගාවට……"
"ඒකි ගාවට ගියට මේ වගේ ඒවා……"
"අනෙ උඹ බබා… බය නැතිව හිටින්. උඹ දන්නැති ඒවත් මේකි පුරුදු කොරෝලා වැඩේ කර ගනී.… එහෙමට බඩු මේවා… මතක ඇතිව සල්ලි ඒකිට දෙන්නෙපා. ඩීල් එක කරන එකාටයි ඒක දෙන්නෙ…"
"එතකොට හෝටලේට…??"
"හෝටලේ මගෙ යාළුවෙක්ගෙ බං… සල්ලි ඕන් නෑ…"
"හ්ම්ම් හරි…"
"මේ… තියෙන්නෙ හෝටලේ… උඹ මෙතනම හිටපන්__________________________________________හරි ජයන්ත අර කාමරේට පලයන්. ඒකෙ බඩු ඇති. හඃ හඃ… මම ඉන්නෙ ඊළග එකේ. මතකනෙ පැය තුනයි. ඕන *ත්තක් කර ගනින්. ඒකිව කෑවත් කමක් නෑ. හැබැයි පැය තුනයි.…… එහෙනම් සුබ මංගලම්…… හඃ හඃ හඃ…"

විවෘත වූ දොරෙන් ඇතුලට වන් ජයන්ත දුටුවේ අවුරුදු විසිපහක පමණ සුරූපී යුවතියකි. තිස් පහේ ඇයත් සමඟ සංසන්දනය කර බලත්දී මැය සැබෑවටම සුරංඟනාවකි. තමා මෙතරම් පියකරු යුවතියක් සමඟ සිහිනයක දැයි ඔහු කල්පනා කරන්නට විය.… තම දෑස අදහා ගත නොහැකිව ඇය දෙස බලා සිටින ජයන්ත සිටින්නේ සබකෝළයෙන් බව වටහා ගත් ඇය ඇඳෙන් නැගිට විත් ජයන්තගේ අතින් අල්ලාගෙන කැඳවා ගියේ යහන මතින් දිවෙන ඇගේ නග්න සිරුර මතවූ සුර පුරවරයකට‍ය.……

ඒ සුරලොව කම් සැප විදිමින් වින්දනයේ උපරිම තලයකට ලංව සිටි ජයන්ත පැය තුන අවසානයේ ඇයට අවසන් වරටද හාදුවක් දී පිටව පැමිණ හෝටලේ මිදුලේ නැවතී සිටි අතර සුනිල් පැමිණියේ මිනිත්තු දෙක තුනකට පසුය.…

"කොහොමද… හොදද…??"
"මරු සුනිලා… ශැහ්. නියම කෑල්ල බං."
"මම නම් ඔය ඔක්කොටම **ලා තියෙනවා බං… හඃ හඃ හඃ හඃ ආ අර යන්නෙ උඹ **පු එකත් එක්ක යන අනිත් එක තමා අද මාත් එක්ක හිටියෙ… ඔය සැට් එකේ සුපිරිම බඩුව… සැප දෙනවා කියන්නෙ… හුම්ම්ම් මතක් වෙත්දි ආයෙ පාරක් ඇදන් ගිහින් **න හිතෙනවා……"


සුනිල් කී පසු ජයන්ත හැරී බැලිවේ එතරම්ම සුපිරි යුවතිය බලා ගැනීමේ අටියෙනි… ඉදිරියට පැමිණෙන ඇගේත් ජයන්තගේත් නෙතු ගැටුනේ එකම මොහොතකය… ඇගේ දෑසෙන් ඇරඹි විදුලියක් ජයන්තගේ ශරීරය පුරා ගමන් කර නතර වූයේ හදවතට ආසන්න ස්ථානයකය.…… ඔහුන් දෙස බලා සුදුමැලිව පිටව යන යුවතිය දෙස සුනිල් බලා සිටියේ කාමය වෑහෙන දෙනෙතනි……

………………………………………

"ජයන්ත ළමයො… ජයන්ත ළමයො……"
"ආ ඇයි කුසුමාවතී නැන්දෙ…?"
"අන්න උඹලෑ ගෙවල් පැත්තෙ කළබලයක්…"
"මොකක්ද…??"
"උඹත් කළබල වෙන්න එපා… උඹලෑ නංගි කෝච්චියට හැප්පිලාලු… උඩහා ගෙදරට පොලෝසියෙන් කෝල් කරලා පවුලෙ කෙනෙක්ට එන්න කියලා.… බලහන්කෝ හිටි හැටියෙ හොරු අරන් ගියා වගේනෙ.… උඹලෑ අම්මා පස් කනවා… පොඩ්ඩක් ඉක්මන් කරලා පලයන් කොල්ලො……"

කොළඹ පැය ගානක් ඔහේ ඇවිද ගොස් ගමට පා තැබූ මොහොතේම ජයන්තගේ කණ වැකුණ ආරංචිය එයය. ඉදිරියටම ගමන් ගත් ජයන්ත මදකට නතර වූයේ කුඩා තුංමන් හංදියකය. ඉන් එක් මගක් තමා දැන් පැමිණි මගය. දකුණු පස තම නිවසට ඇදෙන මගය…… නමුත් ජයන්ත ගමන් ගත්තේ වම් පස මග දිගේය…… එනම් කසිප්පු විමලෙගෙ නිවස දෙසට විහිදෙන මඟේය…………………

© ප්‍රියා.
*** 17/05/2014

(පින්තූරයට ස්තූතිය……
dineshumagiliya.blogspot.com)

ප. ලි. ~ සිදුවූ දෝෂයක් නිසා එකම දවසෙ පෝස්ට් දෙකක් පබ්ලිෂ් විය. පෙරළුන පිට හොදයි කියා. මෙසේම ඉමි.  :) :)  සිදුවූ ප්‍රමාද දෝෂයට මාගේ කණගාටුව

ආගන්තුකයා……


ගමනාරම්භ කිරීමට සූදානම් බසයේ පිටුපසම අසුනේ කොනක අසුන්ලාගෙන සිටින ඔහු දෙස සචිත්‍ර ඇතුළු පිරිසේ අවධානය යොමු වූයේ එක් වරමය. ප්‍රධාන පෙළෙ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකුත් එහිම සිසුවියන් සිවු දෙනෙකුත් වූ ඔහුන් වෙනදාට පංති අවසන් වී යන බස් රියේ එක පොකුරට අවසන් අසුනේ හය දෙනාම අසුන් ගෙන යාම පුරුද්දක් කරගෙන සිටිමුත් අද දින සිදුවූ සුළු ප්‍රමාදය මත එම අසුනේ තවත් ආගන්තුකයෙකු වාඩිවී සිටී.

"උඹලා ඔතනින් වාඩි වෙයල්ලා,, අපි මෙතනින් වාඩි වෙන්නම්…" නිශාරා පිරිමි ළමුන් දෙදෙනාට පසුපස අසුනට පෙර අසුන පෙන්නූයෙ ඔහුන් සිවුදෙනා පසුපස අසුනට බ‍ර දෙන ගමන්ය………

වැස්ස නතරවී තරමක් වේලා ගත උවද බස් නැවතුම් පළේ දිරාගිය වහලය දිගේ කඩින් කඩ රූටා විත් බිම පතිත වන වැහි බිඳු දෙස කවුළුවෙන් නෙත් යොමා බලා සිටින පිටස්තරයා දිහා තවත් වරක් බැලූ කොල්ලන් දෙදෙනා ඊට ඉදිරි අසුනේ අසුන් ගත්තද එතනම සිට පසුපස හැ‍රී තම යෙහෙළියන් සමඟ එක්ව සුපුරුදු කෙළිලොල් කතා බහ ආරම්භ කලේ බස් ‍රථයේ ගමනාරම්භයත් සමඟමය.

කවදත් වැඩි සෙනගක් නොයන බස් රියේ අද දින නම් ගමනාරම්භ වී නැවතුම් දෙක තුනකින්ම ආසන සියල්ල පිරී ගොස් තවත් හතර පස් දෙනෙකු හිටගෙන යාමට තරම් සෙනඟක් ගොඩ වූ මුත් තරුණ පිරිසේ ප්‍රීතී ඝෝෂාවවත් කවුළුවෙන් පිටත බලාගත් අමුත්තා අහස පොළව ගැට ගැසීමට දරණ වෑයම වත් අත් හැර නැත………………………

යුවතියන් හතර දෙනාගෙන් නිශාරා පමණක් දිගු කලිසමක් හැඳ සිටි අතර අනෙක් තිදෙනාම සිටියේ සාය බ්ලවුස් හැඳය.… ආගන්තුකයාගෙ ආසන්නයේම ඔහුගේ වම් පසින් වාඩිවී සිටි රුවනි හැඳ සිටි කෙටි සාය ඉහලට ඇදී තිබුනේ දණහිස් දෙකෙනුත් ඉහලට ඇගේ ලා රන්වන් පැහැ දෙපා යුගලේ තරමක පෙදෙසක් නිරාවරණය කරමිනි………

තවත් කෙටි දුරක් ගමන් කරත්දිම ආගන්තුකයාගෙ වම් දණහිස රුවනිගේ දණහිසට ඉහල නිරුවත් කොටසේ තෙරපෙන ආකාරය රුවනිට දැනී ඇය චංචල වුවද එම වෙනස අන් අයට දැන්වූයේ නැත.… ඇය කෙතෙක් සසල වුවද ආගන්තුකයාගෙ නිසල බවට නම් එය බාදාවක් නොවීය.… නමුත් බසය ගමන් කරන දුරට සම කෙරුමට මෙන් තෙරපුමද වැඩි වත්දි ඇගේ ඉවසීමේ සිමාව ඉක්මවා ගොස් අවසන්ය.…

"ගන්නවා අයිසෙ කකුල……"
"ඇයි බං… ඇයි රුවනි…!!!"
"නෑ සචිත්‍ර, දැන් ගොඩවෙලා බැලුවා… මෙයා මේ කකුල අතුල්ලනවා… ඇයි වඳේ……"
"කෙල්ලෙක්ට බස් එහෙකවත් යන්න බෑනෙ යකෝ…"
"ඇයි කෙල්ලන්ගෙ ගල් දැක්කම උඹලට නලියනවද…??"
"මට සමාවෙන්න…… ඔයාලට වැරදීමක් වෙලා…… මට…………"

චටා………ස්………!!!!!!

කීමට ඇරඹූ වදන අවසන් කිරීමට ආගන්තුකයාට ඉඩක් නොලැබුනේ කල්ප ගේ අත ඔහුගේ මුහුණ හරහා ගමන් කල නිසාවෙනි.…

"අනේ කල්ප රංඬු වෙන්න නම් එපා… අනේ ප්ලීස්… අනෙ බස් එකම බලනවා……"
"අත හැරලා දාපන් කල්ප, මේ ඟැරඬි මරලා පව් පුරෝ ගන්නැතිව… තමුසෙ මෙතනට එනවා රුවනි… මට ඔතන දීලා…" සචිත්‍ර සිටි ඉදිරි අසුන රුවනිට දී ඔහු ආගන්තුකයා අසල අසුනට පැමිණියේ එවලේ කල යුතු හොදම දේ එය බව හැඟී ගිය නිසාවෙනි……

කල්පගෙන් හිමිවූ පහරට පිං සිදු වන්නට යටි තොල පුපුරා මතුව තිබූ ලේ බිඳෙන් ආගන්තුකයාගෙ ගුප්ත මුහුණට රුදුරු පෙනුමකුත් එක් කර ඇති නිසාම බස් රියේ ඉදිරි පෙළ අසුන් වල සිටි පිරිස පවා හැරි හැරී ඔහු දෙස හෙළුවෙ අප්‍රසන්න බැල්මකි.

"ඔය වගේ උන්ව නම් පොලීසියට අල්ලලා දෙන්න තියෙන්නෙ…" , "තව දෙක තුනක් ඇනලා එළියට ඇදලා දාන්නයි තිබුනෙ…" ඔවැනි කතාවන් බසය තුල කිහිප පොලකින්ම මුනු මුනු හඬින් ඇසෙන්නට වූ මුත් ආගන්තුකයාට එරහිව තවත් වරක් නැඟී සිටීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම එම සිදුවීම අතීතයට එක් කර දමමින් කාලයත් බස් රියත් හැල්මෙ ඉදිරියට ඇඳෙන්නට විය…


"කෑම්ප් එක ගාව හෝල්ට් එකෙ බහිනවා……" සිදුවීමෙන් පසු ආගන්තුකයාගෙ හඬ පිටවූයේ පළමු වතාවටය…

"බහින අය දොර ගාවට කිට්ටු වෙන්න… ඔය වාඩි වෙලා ඉන්න අය එහෙම කිට්ටු වෙන්න…" කොන්දොස්තරවරයාගෙ හඬ ඇසෙත්දීම තම ගමන් මල්ල කරේ දමාගත් ආගන්තුකයා නැඟී සිටියෙ තම අසුන යට රඳවා තිබූ අත්වාරුවට තම වම්පස බාර දෙමිනි…………!!!!!

ඉහළට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව තරුණ තරුණියන් පිරිස බලා සිටියදී තවත් තත්පර කිහිපයකට පසු බස්‍‍රිය නැවතූ නැවතුම්පලෙන් බැසගත් ආගන්තුකයා වම් කකුල අද්දවමින් යන ගමන දෙස බැලීමට තරම් දිරියක් තරුණ පිරිසට තිබුනේ නැත………

"පව්… ඇවිදින විදිහට නම් මට පේන්නෙ වම් කකුල නෑ.…" , "කෑම්ප් එක පැත්තට ගියෙ, ශුවර් එකටම හමුදාවෙ හිටපු කොල්ලෙක්…" , "අර කාළකණ්නි ටික මරන් කන්න හැදුවෙ මේ මනුස්සයාවනෙ දෙයියනේ…" පෙර පරිදිම තැනින් තැන මුනු මුනු හඬ ඇසෙත්දි ඒවා නෑසූ කණ්ව බස් රිය ඉදිරියටම ඇදෙන්නට විය…………………………………………………

© ප්‍රියා.
*** 24/05/2014

(පින්තූරයට ස්තූතිය……
footage.shutterstock.com)

18 May, 2014

දික්කසාඳය………


"ඔන්න මිසිස් සිරිවර්ධන… අපේ වැඩ ඉවරයි.…… ආ සොරි සොරි මිස් නිම්මි…"
"ඒකට කමක් නෑ මිස්ටර් ජගත්. මටත් ටික කාලයක් යයි දැන් ඕකට ආයෙ හුරු වෙන්න.… මට කරපු උදවු වලට තෑන්ක්ස් මිස්ටර් ජගත්."
"ඒක ඉතිං ලෝයර් කෙනෙක්ගෙ වගකීමනෙ… එහෙනම් මම ගිහින් එන්නම් මිස් නිම්මි… බායි බබා…"
"අංකල්ට බායි කියන්න දූ…"
"බායි අංකල්… … අන්න අම්මි තාත්තා එනවා… මම තාත්තා එන්න කලින් කාර් එකට දුවන්නම්…"
"මෙ..හෙ… ඉන්න ළමයො…… අපි බස් එකේ යමු…"
"ඒ මොකටද? කාර් එක කැඩිලත් නෑනෙ. ඔය තියෙන්නෙ හොදට… අපි යමු…"
"නිම්මි… යමු මාත් ගෙදර යන්නෙ. මට ඇඳුම් ටික ගන්න ඕන… ඔයා එක්ක ටිකක් කතා කරන්නත් ඕන……"
"අපි කතා කරන්න තියෙන හැමදේම කතා කරලා ඉවරයි මිස්ටර් සිරිවර්ධන…"
තිගැස්සී මදෙස බලා සිටි සහන්ගෙ දෙනෙත් යුවල මඟ හැර දමමින් පියවර එසවූ මා දියණියද රැගෙන බස්‍ රියට නැඟුනේ සහන් තවමත් උසාවි බිමේ සිට මදෙස බලා සිටියදීමය.

"මොකද උනේ නෝනා… ඇයි මේ බේබි අඬන්නෙ? තීන්දුවක් දුන්නද?"
"ඔළුව පුපුරන්න වගේ මැගලින්. මට වතුර විදුරුවක් ගෙනත් ඉන්නකො ඉස්සෙල්ලම…… මේ… මහත්තයා ආවද…?"
"ආ ඔව්… ඇවිත් ඇඳුම් ටික බෑග් එකක දාගෙන ගියා. මෙන්න මේ ලියමන නෝනට දෙන්න කිවුවා…"
"ඔන්න ඕක පැත්තකට දාන්න මැගලින්…!!! බේබි කාමරේට දිව්වා නේද පොඩ්ඩක් බලන්න… පවු දුකෙන් ඇත්තෙ…"
"හුම්… දෙමාපියන්ගෙ වැරදි වලට අහිංසක දරුවො තමා පවු ගෙවන්නෙ…"
මැගලින් ඇසෙන නෑසෙන ගානට පාකර එවුවේ මා හටත් කණේ පහරක් උවද මා නිශ්ශබ්දව සිටියේ ඇය පැවසූදේ සත්‍යක් බ්බව මගේ සිතම මට හඬගා කියූ බැවිනි.

හෙමිහිට ගොස් කාමරයට එබී බලත්දී දියණිය නිදිගත් ලීලාව දැක මා හට ඇයට කතා කර තව වරක් ඇය හැඬවීමට සිත් නොදුන් නිසාම උසාවියට උදයේ හැදි සුදු සාරිය පිටින්ම පැමිණ සැටියේ වැතිරුනේ හිසේ අමාරුවටද නොඑසේ නම් හිතේ අමාරුවටදැයි මා නොදනිමි.

පාසල් ප්‍රේමය නිසාම මාපියන්ද හැර දමා යුගදිවිය ඇරඹූ මාත් සහනුත් අතර ගැටුම් නම් නොවූ තරම්. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියකු වූ සහන් මව පියා අහිමි කරගෙන ඇත්තේ කුඩා කලදිමය. අපේම ලොවක තනිවූ අප දෙදෙනා අතරට මුලින්ම ප්‍රශ්ණ පැන නැඟුනේ මා මවක් වීමට සූදානම් වන අවදියේදිය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ සහන් සිරිවර්ධනගෙ ගෙදරද?…"
"ඔව් මම එයාගෙ වයිෆ්… කවුද මේ…?"
"මම කවුද කියන එකට වඩා වැදගත්… ඔයාගෙ හස්බන්ඩ් අන්න වෙන ගෑණු එක්ක හෝටල් ගා රිංගනවා…"
"ඔය කවුද කියනවද පොඩ්ඩක්… හෙලෝ… හෙලෝ…"
නාඳුනන ඇමතුම ආ දිනයේම සහන් කෙදිනකවත් නොවූ තරම් පමා වීම මාතුල උපන් සැකය නම් ගින්නට වැටුන පිඳුරු ගොඩක් විය.
"කොහෙද අනේ ඔයා ගියේ…?"
"ඔෆිස්නෙ ළමයො…"
"එතකොට මෙච්චර රෑ උනේ…??"
"ආ ඒකයි මේ. බිස්නස් මීටින් එකක් තිබ්බා. සොරි සොරි බබා ඉතිං…"
"ආ දැන් මීටින් තියෙන්නෙ හොටෙල් වලද?"
"කවුද ඔයාට කිවුවෙ…?"
"කවුරු කිවුවත් ඇත්තනෙ…"
"කොහෙ තිබ්බත්, තිබ්බෙ මීටින් එකක් නම් එච්චරනෙ.…"
මෙසේ ඇරඹි ගැටුම් යම් සමථයකට පත් වූයේ අපගේ පුංචි දියණිය උපන් පසුය. නමුත් මාස කිහිපයකින් නැවත ගැටුම් ඇරඹුනේ අළුත් වටයකිනි. ඔහුගේ යම් යම් ගුප්ත වැඩ නිසාම අප අතර ගැටුම් ප්‍රමාණයද වැඩි විය.

"අද ඇයි රෑ උනේ…??"
"හුම්ම්… මට ගෙට එන්න දෙනවද ඉස්සෙල්ලම…"
"කතාව මඟ හරින්න එපා."
"මීටින් එකක් නිම්මි… මට මහන්සියි පස්සෙ කතා කරමු.… දුව කෝ නිදිද?"
"නැතුව ඒ ළමයා මෙච්චර රෑ වෙනකම් ඇහරන් ඉදලා ඒ ජෝගි බලන්නයෑ…"
"මමද ඔයාද ජෝගි දාන්නෙ නිම්මි…"
මෙසේ දිනපතා මාහට පෙනුනේ සහන්ගේ චපලකමම පමණි. ඔහුගේ වැරදි නිසාම අප අතර ගැටුම් නොවූ දිනක් නොවූ තරම්.
"මට දැන් මේක ඇති වෙලා සහන්… අපි වෙන් වෙමු, ප්ලීස්…"
ඉවසා ඉවසා අවසන ගංඟාවක් පිටාර යන්නා සේ මගේ මුවින් එවදන් පිට උනේද ගැටුමක් අතරදීය.

දින කිහිපයක්ම මාගෙ මුහුණවත් නොබැලූ සහන් දිනක හදීසියෙම මා හා කතා කිරීමට වූයේ සෑහෙන තරම් සංයමයකිනි.


"ඇත්තටම ඔයාට මගෙන් වෙන්වෙන්න ඕනද…?"
"ඔව් සහන් මෙහෙම ඉන්නවට වඩා අපි වෙන් වෙමු…!!"
ඉබ්බා දියේ දැම්මා සේ වැඩි කතා බහකින් තොරවම එය එකඟ තාවය පළ කල සහන් පසුදාම නිවසට මෙහෙකාරියක ගෙනා අතර පහසුවෙන්ම මාහට දික්කසාදය ලබා දුනි. කොටින්ම වෙනත් අය ගැටුම් ඇති කර ගන්නා දරුවා සම්බන්ධයෙන් පවා අප අතර වූයේ අමුතුම සිදුවීමකි. සහන් දරුවා කතාවකින් තොරවම මා හට ලබා දුනි. ඒත් ඇයි ඒ…??? සහන් මට කියන්න උත්සහා කලේ මොනවද…??

ඉබි ගමනින් ගෙවි කාලය තුල මට සහන්ව සිහි නොවූ දිනක් සිහි නොවූ රැයක් නොවූ තරම්… ඒත් මාගේ ආදරය මට අහිමිව අවසන්ය. ඔහුගේ චපල කම නිසාම මා දැන් තනිවූ ගැහැණියකි. මාහට සියල්ල ඉවසා ගත හැකි මුත් දියණිය විදින දුක ඉවසා ගත නොහැක. ඇය දැන් අපගේ නොව මාගෙ දියණියය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ"
"මේ නිම්මිද කතා කරන්නෙ… මම සහන්ගෙ ඔෆිස් එකේ රුවනිගෙ හස්බන්ඩ්"
"හ්ම්ම් කියන්න…"
"මම ඔයාලගෙ ප්‍රශ්ණ ගැනනම් දන්නෑ. ඒත් සහන් විනාශ වෙනවා බලන් ඉන්නම බැරි තැනයි මේ කතා කලේ. කොටින්ම ඔෆිස් එකේ බීලා ඉදලා MDට අහු වෙලා මාසෙකට වැඩ තහනම් දැන්."
"ඇයි එයාගෙ ඔෆිස් එකේ සිහින කුමාරි…??"
"මම දන්න කුමාරි‍යෙක් නම් නෑ. එයාගෙ ඔෆිස් එකේ මගෙ වයිෆ් විතරයි ගෑණියෙක්ට ඉන්නෙත්. සහන් රුවනිගෙම සහෝදරයෙක් වගේ. කාත් කවුරුත් නැති අපිව බැන්ඳුවෙත් ඒ මනුස්සයා. එතකොට ඔයාලා බැඳලා වත් නෑ."
"එතකොට අර කෝල්… රෑ… වෙනකම්…"
"නවත්තගන්න නිම්මි… ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා. අන්න ඒක තේරුම් නොගත්ත පවට අද ඔයත් විඳවනවා, සහන්නුත් විඳවන්නවා, අර අහිංසක දරුවත් විඳවනවා." වේගයෙන් පැවසූ ඔහු දමා ගැසුවාක් මෙන් ඇමතුම විසන්ධි කලේ මාගෙ කණට ගසන්නාක් මෙනි.

සැබවින්ම මාගේ පවුල් දිවිය ආවුල් වූයේ මාගේ වරදින්ද……? සහන්……?? අදවත් ඔහුගේ ලිපිය කියවිය යුතුය. එයටවත් සිත සාදා ගත යුතුය.……

ආදරණීය නිම්මි,,,,,,,,,,,,,

අපි දෙන්නා ආදරේ කරපු කාලෙ ඔයාට මතකවත් තියෙනවද මම දන්නෑ ඒත්… මම ඔයාට කවදාවත් චපල උනේ නෑ. මම පණ වගේ ආදරේ කරපු ඔයාව තනි කරලා දුක් දෙන්න බැරි උනත් ඔයාගෙ සතුට ඒක නම් මම ඔයාගෙන් ඈතට යන්නම්. අපි දෙන්නගෙ ආදරය වෙච්චි දුවව ඔයාටම බාර දීලා යන්නෙ එයාවත් උදුරගෙන ඔයාට දුකක් දෙන්න බැරි නිසයි රත්තරනෙ. කවදා හරි ඔයා මාව තේරුම් ගනීවි.… මම හැමදාමත් ඔයාගෙ පරණ සහන්මයි. ඔයා මගෙම පරණ නිම්මි උන දාට මාව හොයන් එන්න.…… අපේ දුවව බලා ගන්න.………………………………………

දෙයියනේ සහන්. නැවතත් රුවනිගෙ සැමියාට ඇමතා ඔහුගෙන් සහන්ගෙ නවාතැන අසාගත් මා දුවවද ගෙන එතනට ආවේ කෙසේදැයි මට සිහියක් නැත.
"තාත්තී……"
"දුව… එන්න මගේ රත්තරනේ… මගෙ පැටියා අද ඉස්කෝලෙ ගියෙ නෑ…??"
"ම..ට.. ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන සහන්… "
"දූ පොඩ්ඩක් ඉන්න පැටියෝ… හ්ම්ම් කියන්න…"
"ඔයා තාමත් මා එක්ක තරහෙන්…"
"මට මා එක්ක තරහ උනත් ඔයා එක්ක තරහ වෙන්න බෑ."
"රුවනිගෙ හස්බන්ඩ් කතා කලා. එයා හැමදේම කිවුවා. ඇයි එයා ගැන කලින් නොකීවෙ මට…?"
"මට කියන්න අවස්ථාවක් ලැබුන්නෑනෙ නිම්මි.…"
"මට සමාවෙන්න සහන්… මම ඔයාගෙ පරණ නිම්මිමයි…" මෙතෙක් සඟවාගෙන සිටි කඳුළු වැළ පිටාර ගැළුවේ මටද නොදැනීමය. කවදත් මාගේ කඳුළු හමුවේ තෙත්වන ඒ දෙනතද සුපුරුදු ලෙස තෙත්වී කියා පාන්නේ ඒ තාමත් මගේ සහන් බවය.
"අම්මා අඬන්නෙ ඇයි…??"
"නෑ දූ අම්මා අඬනවා නෙමේ මේ හිනාවෙනවා. අපි හැමෝම හිනා වෙමු.… තාත්තිට ගෙදර යමු කියන්න දුව…"
"ඒත් නිම්මි…"
"නීති නෙමේ හදවතින් කියන්නෙ. ඔයාගෙ නිම්මිට සමාව දෙනවා නේද? ඔයා එනවා නේද?"
දුවවත් මාවත් දෑත් දෙකෙන් ඒ උණුසුම් පපු තුරුලට ගත් සහන් දුවගේ නලලට හාදුවක්දී සුපුරුදු සැහැල්ලු ලෙස සිනහා වෙන්නට විය.

"අපි ආයෙ බඳිමුද…………?"

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.lawattorneyct.com)

11 May, 2014

නීතියද අවනීතියද මේ……


මහ ජනතාවගෙ පහසුව උදෙසා සේවයට කැපවී ඇති නීති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින නිළධාරින් නිසාම මහ ජනතාව අපහසු තාවයට පත්වන අවස්ථා ඕන තරම්… මෙසේ නීතියේ නාමයෙන් ජනතාව පෙළන්නන් පිළිබද උදාහරණ තොග පිටින් දිය හැකි වට පිටාවක මාගෙ උත්සාහය වැඩිපුර ඇස නොගැටෙන රාජකාරිය යැයි කියමින් ජනතාව පෙළන්නන් පිළිබද ලිපි පෙළක් ලිවීමයි. මේ එහි පළමු දිග හැරුමයි.

උදේ හවා රැකියාවකට යන බොහෝ අයට වාහන තදබදය යනු අලුත් දෙයක් නොවේ. විශේෂයෙන් ප්‍රියා ගමන් ගන්නා නුවර පාරේ විවිධ ස්ථාන වල උදෑසන වාහන තදබදය ඇතිවන අතර එයට අලුතෙන එක්වූයේ කටුනායක අධිවේගී මාර්ගය නිසාම ඇතිවී ඇති අළුත් පාලම පසුකර ගැනීමේ අවහිරයය.

මේ සියළු තත්වයන් සළකා බලා ප්‍රියානම් පෙරවරු 9.00ට රාජකාරියට වාර්තා කළ යුතු උවත් 7.30ත් 7.40ත් අතර නිවසෙන් පිටවන්නේ පොදු ප්‍රාවාහනයත් මහාමාර්ගයත් විශ්වාස කල නොහැකි නිසාමය. කිලෝමීටර 6ක පමණ දුරට ඒ කාලය අධික උවද එය ඇඟට ගුණය. නමුත් රාජකාරියට යන බහුතරය එසේ වෙලාව වැඩිපුර තබා නිවසෙන් පිටවෙන උදවිය නොවේය… එය සාදාරණය…

ඉහත කීවාක් මෙන් විශාල වාහන තදබදයක සිරවී රාජකාරියට යන ඕනෑම පුද්ගලයෙකුගේ වේලාවට පෙර යා හැකිවේද කියා ඇති වෙන මානසික ආතතිය ඔබට සිතා ගැනීමට නොහැකි විය නොහැක. මෙසේ තදබද කිහිප‍යක්ම අසීරුවෙන් පසුකරමින් රාජකාරි වේලාව ප්‍රමාද වේදෝ සිතමින් යන මගීන් පුරවා ගත් බස් ‍රථ පරික්ෂා කිරීමට ඉඟුරු කඩේ හංදියෙදී පරික්ෂකවරු සැදී පැහැදී සිටී. ඔහුන් සෑම බස් රථයක්ම පාහේ පරික්ෂා කරන අතර මා දන්නා පරිදි ඔහුන්ගේ පරික්ෂාවට ලක්වන්නේ බස්‍ රථයේ මාර්ගස්ථ ධාවන අවසර පත, සේවක දෙපලගෙ නිළ ඇඳුම හා ටිකට් පත් නිකුත් කිරීමයි. මේ සඳහා විනාඩි පහක පමණ කාලයක් වැය වේ.

හුදකලාව ගත් කල විනාඩි පහක් යනු ගනන් ගත නොහැකි තරම් කුඩා කාලයක් උවද විශාල වාහන තදබදයක සිරවී නිදහස් වූ සැනින්ම රාජකාරියට වාර්ථා කිරීමා ප්‍රමාදව සිටින තත්වයක් යටතේ නම් මේ විනාඩි පහා උවද මහමෙරකි.

ඇතම් විට ඔබට සිතිය හැක ඔවුන් මහන්සිවී පරික්ෂා කරන්නේ අප වෙනුවෙන්ය කියා… වරදවා නොගන්න එය මගීන්ව කබලෙන් ලිපට තල්ලු කිරීමක් මිස පහසුවක්නම් නොවේ. මා එය කියන්නේ වගකීමෙනි.… කිමද මෙසේ මගීන් පීඩාවට පත් කරමින් කරන පරික්ෂා කිරීම් වල කිසිදු ප්‍රගතියක් නැත. බස් සේවකයන් දෙදෙනාම නිළ ඇඳුම වන කමිසය අඳින්නේ, හැද සිටින ඇඳුම උඩින්ම ඉඟුරු කඩේ හංදියට ආසන්නතම ස්ථානයකදීය. ටිකට් පත් ලබා ගැනීම නම් ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීමට වඩා අපහසුය. එසේම දිනපතා බස් රිය නත‍ර කරවූවාට බලපත්‍රය මිසක දිනපතා ටිකට් පත් පරික්ෂා කිරීමක් නම් සිදු වන්නේ නැත.

නමුත් කළාතුරකින් දිනකදී ඉඟුරු කඩේ හංදියට ආසන්න‍යට ලඟා වත්දී දොරටුව පැත්තේ අසුන්ගෙන සිටින සැමට ටිකට් පත් බෙදා දෙන්නේ අධාර පත් බෙදන්නාක් මෙනි. එදිනට අනිවාර්‍යෙන්ම පරික්ෂකවරු එළියේ සිටම ටිකට් පත් විමසන අතර මේවා බලා සිටින මගීන් දෙකොනින්ම සිනහා වෙන්නේ තම තමන්ටමය. නමුත් මේවා අතර සම්බන්ධතාවක් ඇතයි කියා මා නම් සිහිනයෙන් වත් සිතන්නේ නැත. ඒවා පව් සිතුවිලිය… කිමද අපේ උන්දැලා එතරම්ම උපාසකය… වංචාවෙන් තො‍රය……

තවත් මෙවැනි උදාහරණ රාශියක් ඇත. විශේෂයෙන්ම පොලොස් මාමලා ගැන කතා කරනවා නම් පොතක් උව ලිය හැකිය.…

මේ ආයතන පිහිටුවා ඇත්තේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට උවත්… මේවායෙන් සිදු වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නොව නීතියේ නාමයෙන් ජනතාව අපහසු තාවයට පත් කිරීමය…… ඔවුන් කරන කැප කිරීමට සරිලන ලෙස නීතිය නිසිආකාරව ක්‍රියාත්මක වනවානම් කිසිම ගැටලුවක් නැත. නමුත් එය සිහිනයක්ම පමණි.……… එය ඔවුනුත් දනී අපත් දනී… නමුත් නොදන්නා සේ සිටිමු……… ඊයෙත් එසේ සිටියෙමු… අදත් එසෙ සිටිමු… හෙටත් එසේම සිටිමුද…………??????

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
blogs.worldbank.org)

04 May, 2014

සිරිපාලගෙ සාස්තරේ……

"ඒයි…"
"හ්ම්ම්…"
"ඔහේ අද වැඩට යන්නැත්ද?"
"ගියා කියලත් වැඩක් තියෙන එකක්යෑ…"
"එහෙම කියලා කොහොමද? වෙන කරන්න දෙයක් තියනවැයි?"
"හරි හරි… පොඩ්ඩක් හිටින්කො මම ගමනක් ගිහින් එනකම්… ආ… ගේ ටිකක් අස් පස් කරලා අර ඉස්සරහා මඩුවත් ටිකක් අස් කරහන්…"
"ඒ මොකටද…?"
"වැඩක් කිවුවම කරලා හිටින්. රෙද්දෙ ප්‍රශ්ණ නාහා…"

උදේම ගෝරනාඩු කර පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ පුදුමයෙනි. දීග පැමිණි දින සිට වසර ගණනාවක් ඔහුගේ අසනීපෙකට දරුවෙකුගෙ අසනීපෙකට තබා තමාගේ දරු ප්‍රසූතියකදී වත් අවම වශයෙන් තමාගේ දෙමාපියන් දෙදෙනාගෙ මළගමදි වත් ඔහු ගෙදර නැවතුනේ නැති බව ඇයට හොදින්ම මතකය.

එයට බලපෑවෙ නිවසේ අඟහිගකම් නොව. යම් මුදලක් ඉතිරි කර තිබූ සිරිපාල තුල වූ තව තවත් මුදල් සෙවීමේ පිපාසාවය.

කියූ ලෙසම ඇය නිවසත් තෙවසරකින් පමණ ප්‍රයෝජනයක් නොගත් කඩාවැටෙමින් තිබූ හොල්මන් ගුහාවක් බඳු මඩුවත් අස්කර දැමූ අතර දහවල සිරිපාලත් ජගත් නම් ගමේම රස්තියාදු ගසමින් සිටි කොල්ලෙකුත් පැමිණියෙ අත් ටැක්ටරයක පටවා ගත් ලෑලි කිහිපයකුත් තවත් බෑග් කිහිපයක්ද සමගිනි.

"ඔය ඔය ලෑලි ටික පරිස්සමෙන් බාගන්න ඕන ජගත්… ටිකක් පරණ නිසා කැඩෙන්න පුළුවන්.…"
"හරි සිරිපාල අයියා…"

මඩුව ලෑලි ගසා ආවරණය කල කල සිරිපාල එය මැදින් රතු ‍රෙද්දක් එළ්ලා තවත් දේව රූප පින්තාරු කල රෙදිත් පහන් ආදී නොයෙක් දේත් පිළිවෙලකට සකසන්නට විය.

"මේ මොනවද ඒයි…?"
"මේ… දේවාලෙට බඩු…"
"දේවාලෙට…???!!!!"
"ඔව්… දේවාලෙට… මගෙ අළුත් බිස්නොස් එක…"
"දැන් එතකොට කපුවා කවුද…?"
"කපුවා…??? හැ… කපු මහත්තයා… ගුරුණ්නාන්සෙ… ඔක්කොම මම තමා.… මේ ඉන්න ජගත් ආවතේව ටික කරයි."
"දැන් එත්කොට ඔහේ ඔය වැඩ දන්නවැයි…??"
"දැන ගන්න දෙයක් නෑ… මට කොහොමත් පොඩි කාලෙ ඉදන් දේව බැල්මක් තිබුනා. මම පාවිච්චි නොකලට…"
"ඔහේ දැන් මොනවද කරන්නෙ?"
"හ්ම්ම් සාස්තර කියනවා.… මළවුන් ගෙන්නනවා… ආරක්ෂාවල් කරනවා… අණවින කොඩිවින උනත් බැරි කමක් නෑ…… ආ… දෙවි දේවතාවුන් වහන්සේලා වැඩියට පස්සෙ ඔහේ කිළි පිටින් එහෙම මේ පැත්තට එනවා නෙමෙයි……"
"හරි හරි… ඕන මඟුලක් කර ගන්න එකයි……"

මෙසේ ඇරඹි දින කිහිපයකින් පසු සිරිපාලගේ දේවාලය තවත් දියුණු වෙන්නට වූයේ පිට පළාත් වල අය අතර සිරිපාල විසින්ම පතුරවා හැරි කටකතා හේතුවෙනි.

"හරි අනුහස් තියෙන දේවාලයක්…… ගුරුණ්නාන්සෙගෙ තාත්තා තමාලු දේව වරමක් අරන් ඇවිත් තියෙන්නෙ…… වැඩි ගාණක් ගන්නෙත් නෑ සාස්තරේකට රුපියල් 101 යිලු…… වැඩක් කලොත් ඉතිං කිරි ගහට කෙටුවා වගේ තමා……" මෙසේ තටු ලැබූ කටකතා වලට පිංසිදු වන්නට දේවාලය බලා සිටියදී දියුණු වන්නට වූයේ වසර පහක් තුල සිරිපාලගෙ පැරණි නිවස වෙනුවට නවීන නිවසකුත් ඉදිකරගත හැකි වන තරමටය.

මේ වන විට ගමේ පවා ඇතමෙක්ට සිරිපාල, සිරිපාල ගුරුන්නාන්සේ වූ හැටි අමතක වෙමින් පැවතියේ දේවාලය වෙත පැමිණෙන සෙනඟ දිනෙන් දිනම වැඩි වෙමින් පවතින නිසාමය.

"ගුරුන්නාන්සෙ, මට මගේ රස්සාව ගැන බලාගන්න ඕන…"
"ඕං… රීං… තට රස්සාව කරන තැන හතුරො වැඩී… අහ්හා… යාදෙන්නෑ"
,,,,,,,,,,,,,,,,,,,,,,
"ගුරුන්නාන්සෙ, අපේ ගෙදර හැමෝටම ලෙඩ කරදර. ටිකක් ඒ ගැන බලාගන්නයි"
"හ්ම්ම් ඕඕඕන් ඒශ්වා… තගේ ළගම ලේ ඥාතියෙක්. උඹෙ සහෝදරයෙක්… යමක් කරලා තියෙනවා…"
"මට සහෝදරයො නෑනෙ ගුරුන්නාන්සෙ??"
"බොට බාප්පලා මහප්පලගෙ දරුවෝත් නැත්ද?"
"ඉන්නවා ඉන්නවා…"
"ඉතිං උන් ලේ ඥාති නෙමේද?"
"ආ ඔව් ඔව් අපෙ බාප්පගෙ පුතා දේපල ප්‍රශ්ණෙකට පොඩ්ඩක් හිත හොද නෑ මයෙ එක්ක…"
,,,,,,,,,,,,,,,,,,,,,,,
"කපු මහත්තයා මට අපෙ පවුල ගැන් පොඩ්ඩක් බලව ගන්න ඕන.…"
"ඕන්ං ‍රීන්ං ඕෂ්ෂ්… තොගෙ ගෑණිට තව මිනිහෙක් ඉන්නවා බොල… ඒකිව මට්ටු කර ගන්.…"

මෙවැනි වදනක් සෑම දිනකම පාහේ සිරිපාලගේ මුවින් පිට වූයේ ඔහුගෙ කාර්‍යබහුල බව මොනවට පෙන්වමිනි. පාරිභෝගිකයාගේ මුහුණ දුටු පමණින් ඔහුගෙ ගැටළුවත් එයට විසදුමත් කීමට තරම් ඔහු දියුණුවී සිටී.


තම සැමියාගේ රැකියාව දෙස උපේක්ෂාවෙන් බලා සිටි කුසුමා දේවාලය අසලකට වත් යාම නවතා දැමුවේ තම සිතේ සිරිපාලගෙ රැකියාව පිළිබද වූ නොසතුට නිසාත් එය වචනයෙන් පැවසුවාට පළක් නොවන නිසාත්ය.

සිරිපාලගේ දේව වරමින් තවත් දෙතුන් මසක් ඉගිල ගියේ කාටත් හොරෙනි.

"ඒයි මේ බලන්නකො පොඩ්ඩක් පත්තරේ…"
"මොකක්ද…??"
"මේ තියෙන්නෙ… මේ මා‍තර පැත්තෙ මිනිහෙක් දරුවො දෙන්නව ගඟට දාලා ඌත් පැනලාලු.… මහ පොළව උහුලන අප‍රාදද දෙයියනේ මේ…"
"ඉතිං ඕක කියන්නද මාව නවත්ත ගත්තෙ… මට දේවාලෙ අරින්න පරක්කු වෙනවා…"
"නෑ… නෑ… ඉන්නකො ටිකක්… ඒකට මුල ඒ මිනිහා අහපු සාස්තරයක් නිසා උන පවුල් ආරවුලක්ලු…"
"මොකක්……!!! කොහෙ මිනිහෙක්ද?"
"වැඩි ඈතක‍යෑ මාතරම තමා. බාබර් කෙනෙක්ලු…… මොකෑ ඔහේ ඔච්චර බය උනේ? ඔහේ වත්ද ඔය සාස්තරේ කිවුවෙ……??"
"පිස්සුද ගෑණියෙ… මම කවද්ද බොරු කිවුවෙ… මම ඔහොම දෙයක් කිවුවොත් කියන්නෙ දෙවි දේවතාවුන් වහන්සේලා පෙන්නුම් කලොත් විතරයි.…"
"අ…නෙ… මම නොදන්න ඔහේගෙ දෙවි දේවතාවුන් වහන්සේලා……"
"මට පරක්කු වෙනවා ඕයි දේවාලෙ අරින්න…" යි කියමින් පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ කේන්තියෙනි.

"කවදා හරි ඕවා ගෙවන්න ගත්තම කොහෙන් ඉවර වෙයිද බලමුකො… අර අහිංසක දරුවොත් මේ කරුම ගෙවයි…" සුසුම් හෙළමින් දැහැන් ගත වූ කුසුමාගෙ දැහැන බිඳ දැමුවෙ සිරිපාලගෙ දේවාලයෙ දෙසින් එකිනෙක පරයමින් ඇසෙන යාතීකා හඬින් සහා සීනු හඬිනි………………………

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.silumina.lk)

27 April, 2014

බිකිණියක් ඇන්දත් සාරියක් නම් අදින්න එපා……



වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………

"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"

………………………………………

මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්‍යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්‍ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.

එසේම අද සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ආකාරයේ හෙල්මට් භාවිතා කිරීම තහනම් කර ඇත… මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අප සමඟ සජීවීව සම්බන්ධ පොලොස් මාජ්ජ ප්‍රකා සක සුජිත් අවරෝහණ මහතා…

"මාජ්ජ ප්‍රකා සක තුමනි…"
"ඔව්… 2014දී ෆුල් ෆේස් හෙල්මට් දාල කොල්ලකත්දි ෆුල්ෆේස් හෙල්මට් එක තහනම් කරලා, ඔය දඩ ගහනවා කියලා බය කොරලා පනම් හතක් හොයා ගන්න මඟ පාදපු ලෙසම මේ පාරත් අපිට ඉහලින් නියෝග ලැබිලා තියෙනවා සියළුම වර්ගයේ හෙල්මට් තහනම් කිරීමට…"
"නමුත් මාජ්ජ ප්‍රකා සක තුමනි, ඒ කාලෙ ෆුල්ෆේස් හෙල්මටුත් තහනම් කලා. දැන් දූවිල්ලට ධාවකයො ලේන්සු ගැටගහන විදියට ඇවිත් කොල්ල කනවා කියලා ඒ හෙල්මට් එකත් තහනම් කරනවා… මේවා හරිද…??"
"ඕව් ඉතිං කොල්ල කනවා නම් ඕන දෙයක් තහනම් කරන වෙනවා. හෙල්මට් විතරක් නෙමේ ලේන්සු, රෙදිපටි, අව් කණ්නාඩි ආදී කිසිම දෙයක් හෙට පටන් ප්‍රසිධියේ භාවිතා කිරීම මෙයට සමගාමීව තහනම් වෙනවා… අපි මේ සියල්ල කරන්නෙ මහජනතාවගෙ යහා……………"

"හෝව් හෝව්, එතකොට අර මාර්ලිපේන්තුවෙ ඉන්න මහ හොරු ටික??? කොටින්ම 2014 ෆුල්ෆේස් වලින්ම කොල්ලකාලා ලැජ්ජ නැතිව පළා බබෙක් උන එකත් දැන් ඒ ගොඩේ. ඉතිං උන් ආ නෑ සොරි එතුමන්ලා ප්‍රාඩෝ වලින් ඉගිලෙත්දි මේ ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගන්න පොඩි එකාට නේද මේකෙන් පහර වදින්නෙ????"
"ඒක ඉතිං වාසනාවන්ත අවාසනාවන්ත කමනෙ… වාසනාවන්තයා හොරකම් කලත් උන්වම පත්කරගෙන අවාසනාවන්තයො ටික අරුන්ගෙ වැරදිත් එක්කම කර ගහනවා… 'හිතට දුකයි තමයි, ඒත් ඔව්වා ඔහොම තමයි' තේරුණානෙ…"
"ස්තූතියි මාජ්ජ ප‍ර කාසක තුමනි.…"

මෙන්න තවත් දේශීය පුවතක්……
පසු ගිය දිනක ඕනාමි නම් කාන්තාව පිටුවහල් කිරීමෙන් පසු වත්තල ගුවන් තොටුපලට කෝටි 69ක් වටිනා යන්ත්‍රයක් ඉන්දියාවෙන් ගෙන්වීමට 'අපේ ආගම හෝ තොපේ මරණය' සංවිධානය තීරණය කර තිබෙනවා… ඒ අනුව මෙරටට ඇතුළුවන සියළුදෙනා නිර්වස්‍ත්‍රයෙන් එම යන්ත්‍රය තුලින් ගමන් කල යුතු අතර කිසිමාකාරයක ආගමික සංඛේතයක් පච්චයක් ලෙස කොටා තිබුනොත් ඒ අවස්ථාවේම හදුනාගැනීමට එම යන්ත්‍රය ඉවහල්වන බව එම සංවිධානයේ නායකයා අප හා පැවසීය. තවදුරටත් ඔහු පැවසුවේ එසේ පිටු වහල් කරන සැමගේ පශ්චාත් භාගයේ 'අපේ ආගම හෝ තොපේ මරණය' ලෙස පච්චයක්ද කොටන බවය.

දැන් විදෙස් පුවත්……
සිරි ලංකාව විදුලි පුටුව යන වචනය නිතර භාවිතා කරන ‍රටවල් අතර ප්‍රමුඛත්වය ගනී… මෙහි විශේෂත්වය වන්නේ එල්ලුම් ගසවත් නොමැති රටක මේ වදන මෙතරම්ම භාවිතා වීමය… එසේම ඇමරිකානු සමීක්ෂණ වාර්තාවන්ට අනුව එම වදන වැඩි පුරම භාවිත වී ඇත්තේ මෙරට මැතිවරණ කාල සීමාවන් වලදීය.……

අදත් ක්‍රීඩා පුවත් ගෙන එන්නේ සංඛර පංදුසේන…
"ලෝක කුසලාන ගණනාවක් පරාජය වී මෙවරත් පරාද වීමට ඔට්ටු දමමින් සිහින මාළිගා මවමින් සිටි මෙ සිරිලක ක්‍රීඩා ලෝලීන්ගෙ අහිංසක සිහින මාළිගා බිඳ දමා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ වරදට විනය පරික්ෂණයට කැදවූ මසිත් සාලිංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයන් වරද කරුවන් වූ අතර ඔහුන් සියළු දෙනාට එක් අයෙකුට කෝටි දහය බැගින් දඬයකුත් ඊළග ආත්මයටත් බල පැවත්වෙන සේ තරඟ තහනමකුත් නියම කෙරේ.……
හෙටත් එකතු වන්න ක්‍රීඩා පුවත් සමඟින්………


අදට සමුගන්නම් ඔබේ නිවසෙන් හෙටත් මේ වේලාවට… ආ නෑ මේ වෙලාවට නිවුස් ඉවරනෙ… හෙටත් හතට සෙට් වෙමු නිවුස් එන්ජෝයි කරන්න…… එතෙක් ඔබ සැමට ගුඩ් රාත්‍රියක්………

………………………………………

"මදෑ ඔහෙන් ගියා…"
"ඒයි, නිවුස් බලලා ඉවර නම් ඔය කරන්ට් එක මේන් සුවිච් එකෙන් ඕෆ් කරන්න. දැනටම මේ මාසෙට ඒකක විස්ස පැන්නා ඕන්. තිහෙන් වත් නවත්ත ගන්න ඕන නැත්නම් මේ මාසෙත් බිල දහදාහා පන්නයි.…… ඔයා අඳින්නෙ මොකක්ද කියන්නකො… මට මැදලා තියන්න… යකඩ ඉස්තිරික්කෙ පොල්කටු අඟුරු ටික දාලා රත් වෙන්න තිබ්බා…."
"කොහෙ යන්නද…??"
"ඇයි අනේ පුතාගෙ පංති කවයනෙ හෙට…"
"හ්ම්ම්ම් අර කහ පාට කමිසෙයි කළු කලිසමකුයි මදින්න. මතක ඇතිව කමිස සාක්කුවට ලොකු පුළුන් කෑලි දෙකක් දාන්න.…?"
"පුළුන් මොකටද…?"
"ඇයි ඉතිං මේ යෝධයගෙ ටීචර් එක්ක කතා කරත්දි කණ් දෙකේ ගහ ගන්න.… මතකනෙ ගියපාර කණේ ඇඟිලි ගහන් ඉදලා ඇඟිලි හිරි වැටිලා බාරොන් වෙද මහත්තයාගෙන් බෙහෙතුත් ගත්තා……… ඒක නෙමේ තමුසෙ මොකක්ද අඳින්නෙ…?"
"ඇයි අර රෝස පාට සාරිය අඳිනවා…"
"තමුසෙට පිස්සුද ගෑණියෙ සාරි අඳින්න…!!!"
"ඇයි මනුස්සයො ඉස්කෝලෙකට සාරි නේන්නම් අඳින්න ඕන.…"
"තමුසෙට අමතකද ඕයි සාරි වල එල්ලිලා දිවි නසා ගන්නවා වැඩීයි කියලා සාරි අඳින එක තහනම් කලේ ගිය සුමානෙනෙ.…"
"එහෙම කියලා දරුවගෙ ඉස්කෝලෙට ආවට ගියාට ගියහැක් යෑ.……"
"දෙයියන්ගෙ නාමෙට මම උඹෙන් ඉල්ලන්නෙ, බිකිණියක් ඇදන් ගියත් සාරියක් නම් ඇඳන් එන්න එපා මයෙ දෙයියෝ… මොකද අන්තිමේ ඇඳන් යන බොට නෙමේ අරන් දුන්න මටයි හිරේ යන්න වෙන්න…………"

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
movies.sulekha.com)

13 April, 2014

නෑණන්ඩිය…………


ට්‍රීං… ට්‍රීං… ට්‍රීං………
"හෙලෝ…"

"ලොකු අයියෙ… මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන…"

"අද නම් මම නයිට් එක පොඩි මල්ලි… හෙට ඉන්නවා. මම එන්නද ඔයාගෙ බෝඩිමට…?"

"එපා ලොකූ ඔයා මහන්සි වෙන්න එපා… මම එන්නම් ඔයාගෙ බෝඩිමට…"

"හා පොඩී ඔයා එන්න එහෙනම්…"

………………………………………

"ආ එන්න පොඩී… කාලද ඉන්නෙ…?"

"ඔව් ලොකූ… කොත්තුවක් කෑවා එන ගමන්. ඔයා කෑවද…?"

"නෑ පොඩී, මම තව ටිකකින් කන්නම්. සුගත්ලා නයිට් මම විතරයි ඩේ එක නිසා අද උයා ගත්තෙත් නෑ.… ඔයා මොනවද කියන්න තියෙනවා කිවුවෙ…?"

"ඔයාගෙන් පොඩි උදවුවක් ඕන ලොකූ…"

"මොකක්ද…??"

"මේ…මේ… මේ ගෑණු ළමයෙක් ගැන ගෙදරට කියන්න ඕන… ඔයා හිමීට අම්මට කිවුවොත් අම්මා අහයි, නැත්නම් දන්නවනෙ අම්මගෙ හැටි…"

"හ්ම්ම්… ඒකත් එහෙමද…? කොහෙ ළම‍යෙක්ද…?"

"අපේ කැම්පස් ළමයෙක්, අපෙ වගේම ටිකක් දුප්පත් පවුලක්…"

"පවුලෙ දුප්පත් පොහොසත් කම නෙමේ වටින්නෙ, හැදියාවයි වැදගත්කමයි."

"එයා හොද ළමයෙක් අයියෙ…"

"හ්ම්… දැන් කොච්චර කල්ද…?"

"මාස හයක් විතර ඇති…"

"ඉතිං… ඔයත් තාම කැම්පස්නෙ…"

"නෑ අ‍යියෙ… මම කැමති නෑ මේවා ඔයාලට හංඟන් ඉන්න… ඒකයි…"

"හරි මම අම්මාට කියන්නම්… එයාලගෙ ගෙදරින් මේක දන්නවද…?"

"එයත් ඒක ඉක්මනටම කියන්න ඉන්නෙ… ඒ ගෙදරිනුත් අකමැතිවෙන්නෑ…"

පොඩි මල්ලි පිටව යන විට ඔහුත් සමඟම ගොස් මිරිස් හොදිත් සමඟ පාන් භාගයක් කා ප්ලේන්ටිකුත් බී බෝඩිමට පැමිණි මා ලෑලි ඇඳ මත දමා තිබූ දිරාගිය කොහු මෙට්ටයට මත නිදි දෙවු දුව සෙවූ මුත් මොහොතකට හෝ ඇය හමු නොවූ දෑස් පියන් අඬවන් කර අයාලේ දුවන සිතුවිලි දැහැන ගමන් අරඹමින් සිටී.

ිදෛවය නම් පුදුමාකාර දෙයකි. අධ්‍යාපනය යන සාධකය මත ආදරය අහිමිවූ මාහට අධ්‍යාපනයෙන් ඉහලට ගිය දෙදෙනකුගෙ ආදරයට උදවු කිරීමට වරම් ලැබී ඇත. කුරුණෑගල ගම්පෙදෙස කරගෙන දුප්පත් පවුලක උපන් පිරිමි දරුවන් තිදෙනෙකුගේ වැඩිමලා වූයේ මමය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවද ගමේ පාසලේම හයේ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටියදී උපත ලද පොඩි මල්ලි ඉපදී මාස කිහිපයකට පසු අප පියා මිය ගියේ ඔහුගේ ආයුෂ ඉවරවීද…? අපගේ අවාසනාවන්ත භාවය නිසා දැයි තෝරා ගැනීමට තරම් මා දිවි ගමනේ පරිණත වී සිටියේ නැත.

දරුවන් තිදෙනෙකුගේ බර කරට ගත් මවගේ සියුමැලි දෑතට බරක් වන්නට මට සිත් නොදුන් නිසාම ඔළුවට නොව පපුවට ඉඩදී අකමැත්තෙන් උවද අධ්‍යාපනයට තිත තබා රැකියා පසුපස හඹායාමට වූයේ දොලොස්වැනි වියේ සිටමය. නමුත් මට අහිමිවූ සම්පත මාගෙ බාල සොයුරන් දෙදෙනාට ලබා දීම මාගේ ඒකායන අරමුණ වී තිබුනි. බඩගිනි දැනෙන කුසවල් හතරක් පිරවීමට මව වෙහෙසෙත්දී දැනුම සොයන ඔළුගෙඩි දෙකක් පිරවීමට මා වෙහෙසිනි.

දින සති මාස ගණන් වලට පෙරලමින් ඉගිලෙමින් සිටී, මා කරමින් සිටි රැකියාවට ආයුබෝවන් කියා නව රැකියාවකට බියගමට පැමිණෙත්දී මා තරුණෙකි. බියගම ප්‍රදේශයේම බෝඩිමක තනි වූ මා හදවත ජීවිතයේ ප්‍රථම වරට ආදරයකින් පිබිදෙන්නේ එම බෝඩිමේ හිමිකරුගේ දියණිය සමඟය.

//රුවන් අයියේ,
මට අපි ගැන ටිකක් කතාකරන්න ඕන. අද මට Econ පංති 6.00ට ඉවරයි. ඔයා හය වෙත්දි වාසිටිය ළගට එන්න.
--සචී.… //

"කියන්න සචී…"
"බස් එකට නැගලම කතා කරමුද…?"

ි"ඉස්සරැහෙන් ගැඟපු අප සල්ලි ගන්න…"
"සියඹලාපෙ හංදිය දෙකක්…………… ආ හරි. දැන් ඉතිං කියන්න…"
"මේකයි… ඔයා මම කියන දෙයින් අවුල් වෙන්න නම් එපා. මම මේක ගොඩක් කල්පනා කලා…"
"කියන්න දරුවෝ…"
"හ්ම්ම් මේකයි රුවන් අයියෙ, අපී… අපි මේ කරන දේ වැරදියි.…"
"මොකක්ද සචී…"
"අපි… අපි මේ සම්බන්දෙ නවත්තමු අයියෙ… අපි දෙන්නා ගැළපෙන්නෑ… මම තාමත් ඉගෙන ගන්නවා…"
"මොකක්……!! ඉතිං සචී මම ඔයාට ඉගෙනගන්න එපා කිවුවයෑ… අනෙක මා තාම ඔයාගෙ අතකින් වත් අල්ලලා තියෙනවද…??"
"නෑ ඔයා වැරදි කෙනෙක් නෙමේ දෙවියනේ… මම ඔයාට ආදරෙයි… ඒත් අපි ගැළපෙන්නෑ කියලා මට හිතෙනවා…"
"ඒ ඇයි…?"
"නෑ… ඒවා ඕන්නෑ. අපි වෙන් වෙමු… එච්චරයි" ඇඟේ කටහඩ පෙර නොවූ විරු තරම් ආයාචනාත්මක බවකුත් තර්ජනාත්මක බවකුත් අතර අතරමන් වෙමින් පවතී.
"නෑ සචී මට දැනගන්න ඕන හේතුව…"
"නැහැ අයියෙ අපි ගැළපෙන්නෑ දෙවියනේ…"
"මො..ක..ක්..ද.. හේතුව…"
"කෑ ගහන්නඑපා දෙයියනේ… මේක බස් එක… මම කියන්නම්……… ඔය හයට විතරයි ඉඟෙන ගෙන තියෙන්නෙ මම තාමත් ඉඟෙන ගන්නවා.… ඕවා කවදා හරි ප්‍රශ්ණ…"
"ඔයාට දැන්ද දෙවියනේ ඕවා මතක් වෙන්නේ…? අහක හිටපු මට බලාපොරොත්තු දීලා මේක පටන් ගත්දී ඔයාට මේවා හිතුන් නැත්ද…?"
"මට… මට සමාවෙන්න… රුවන් අයියෙ……!!"


පසුදිනම එම නවාතැනට සමු දුන් මා මාගේ ප්‍රථම ප්‍රේමය වූ සචීට සමු දුන්නේ නම් හදවතින් නොවේ. කෙටි කලකින් දැනගන්නට ලැබුනේ සචීලාද නිවාස මාරුකර ගොස් ඇති බවය.

මේ වන විටද මම මගේ ප්‍රධාන අරමුණ යම්තාක් දු‍රකට ඉටුකර ගනිමින් සිටිමි. මද්දු මල්ලි උසස් පෙළ සමත්වී රට රැකියාවකට ඉගිල ගිය අතර පොඩි මල්ලි උසස් පෙළ සමත්ව කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටී. කෙසේ හෝ මා මාගේ බාලම සොයුරාගේ ආදරයට අනුමැතිය මවගෙන් ලබාදිය යුතුය.

………………………………………

බීප්… බිප්… බීප්…
"හෙලෝ ලොකූ… කියන්න…"
"පොඩී මම ඊයෙ අම්මට කතා කලා… අර ගැන…"
"අම්මා මොකද කියන්නෙ…?"
"හප්පේ… මුලින් බැනලා බැනලා පස්සෙ යන්තම් හරි"
"බැන්නද……??"
"හ්ම්ම්… ඔව් ටිකක්… දැන් ඒවා හරි… අර ළමයගෙ ගෙදර මොකද…?"
"ඒ ගෙදර ශේප්… පුළුවන්නම් අම්මව ටිකක් එක්ක එන්න කිවුවලු. කතා කරන්න.…"
"ඇයි එයාලා ඉක්මන් කරනවද…?"
"නෑ…නෑ… එහෙම ඒකට නෙමේ… කතා කරලා තියන්න…"
"…… හරි මේ සෙනසුරාදා මාත් නිවාඩු දාන්නම්… දෙන්නම ගමේ යමු. ඉරිදට අම්මත් එක්කන් එහෙ යමු…"
"හා ලොකූ එහෙනම් එහෙම කරමු…"

මාගේ අරමුණු එකිනෙක ඉටු වෙමින් පවතී. අප වෙනුවෙන් මෑතක් වන තුරුම රැකියාවන් කරමින් වෙහෙසුන මවට හොඳ ලේලියක් මාගෙ අධ්‍යාපනය කැප කර ඉගැන්නූ සොයුරන් දෙදෙනාට යහපත් හෙට දිනකුත් මුණ ගැසෙමින් පවතී.

අප කුරුණෑගලින් පිටත්වී කිරිබත්ගොඩට පැම්ණ කරාඹුගස් හංදිය බලා පිටත් උනේ පොඩි මල්ලිගේ අනු දැනුමෙනි.

"තව දුරද පොඩි පුතේ……?"

"නෑ අම්මෙ තව ටිකයි… මේ ටික පයින් යන දුර…"

"මම කිවුවා මතකනෙ ලොකු පුතේ… මම උඹේ බල කිරීමටයි මේකට කැමති උනේ…"

"හරි අම්මෙ මේවා දැන්ම කතා කරලා තියන එක ලේසීනෙ.…" කවදත් ගමන් කිරීමේදි බිම බලා සෙමින් ගමන් කිරීම පුරුද්දක් කර ගත් මා මවට පිළිතුරු දුන්නේද බිමට බර කරගත් දෙනතින් යුතුවය.


"මේ වංගුවෙන් හතරවෙනි ගේ…"

"ඈ පොඩි පුතේ උඹට මෙච්චර මේවා මතක උඹ මෙහෙ නිතරම යනවා එනවද…?"

"මම ගේ දන්නවා උනාට අද තමා මුලින්ම යන්නෙම… මම හංදියෙන් බහිත්දි කෝල් එකක් දුන්නා…… ආ අර ඉන්නෙ ගේ දොරකඩ… අර එයයි අම්මයි තාත්ත‍යි.…"

බිමට නැඹුරුවූ දෙනත ඉහලට එසවී ගමන් ඇරඹූයේ මාගෙ අනාගත නෑණන්ඩිය සොයාය.……… ඇගේ දෑසත් මගේ දෑසත් එකට පැටළුනේ එකම මොහොතකටය.… මාගේ දෑසින් ශරීර ගතවූ විදුලියක් මාගෙ රෝම කූප පවා දවාලනු දැනී මා සිටි තැනම සිට ගත්තේ ඇය කඳුළු පුරෝගත් දෙනත දරාගෙන නිවස තුලට දිව යත්දිමය.

"සචිත්‍රා………" යැයි කෑ ගසමින් ඇගේ මවද ඈ පිටුපස දිවයත්දී ඇගේ පියාත් මගේ මවත් පොඩි මල්ලිත් පුදුමයෙන් බලා සිටිනු සිහිනයෙන් මෙන් පෙනුනි……………………………

© ප්‍රියා.

පසු සටහන ~~ මතකනෙ දවස… ලබන ඉරිදා, ඒ කියන්නෙ හරියටම 2014 අප්‍රේල් 20 වෙනිදා උදේම හම්බවෙමු. හා හා මතක නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතනින් විස්තරේ බලා ගන්න………………

එතෙක් සිතුවිල්ල කියවන/නොකියවන සැමටම සුබ නව වසරක් වේවා…………!!!!!

(පින්තූරයට ස්තූතිය……
http://www.theatlantic.com)

06 April, 2014

අහිමි රැකියාව………



කර්‍යබහුල නගරයේ තවත් වෙහෙසකර දිනක නිමාව සනිටුහන් කරමින් නිවෙස් කරා ඇදෙන දෙනොදහක් අතර අතරමං වෙමින් මා ඉදිරියටම ඇදෙන්නෙ නිවසට නම් නොව. සියළු දෙනා රාජකාරි අවසන් කරන මොහොතේ මා ගමන් කරන්නෙ සුපුරුදු ලෙස රාජකාරි ඇරඹීමටය.

"හප්පට සිරි…අදත් උඹද බං නයිට…? මොකෝ සංඛ… මේ දවස් වල උඹටද දැඩි දඬුවම්?"

"අනේ මන්දා බං මඟුල… දවල්ට වැඩ කරලා නිදහසේ ගෙදර ගිය කාලයක් මතක නෑ…"

"ඇයි උඹත් ලොක්කත් එක්ක කොක්කක් දාගත්තද…?"

"අපෝ නෑ බං… එහෙම මුකුත් උනෙත් නෑ…"

"ඒකත් එහෙමද? මේ මම උඹෙන් අහන්නමයි හිටියෙ. මොකක්ද බං අර සීනි සීන් එක? මට එහෙන් මෙහෙන් ආරංචි උනා විතරයි."

ආනයනික සහ අපනයනික භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරියට එක්වී වසර දෙකක කාලයක් තුල සෑම අවස්ථාවකම රටවල් දෙකක සමාගම් දෙකකට වගකිව යුතු රැකියාව කිසිමාකාරයක පැමිණිල්ලකින් තොරව කල නිසාම බොහෝ ප්‍රධානින්ගෙ පැසසුමත් තම සම තත්වයෙ මිතුරන්ගෙ නොමද ඉරිසියාවටත් සමසේ භාජනය වෙමින් දිවි ගෙවූ මා අවසන් මාස කිහිපය ගෙවා දැමුවෙ කවදාකවත් නොමැති තරම් වෙහෙසක‍රවය.

එය කිසිසේත්ම ස්වාභාවිකවූ කාර්‍යබහුලත්වයක් නොවීය. කොටින්ම අවසන් මස මා නිවසේ රාත්‍රිය ගත කොට ඇත්තේ දින 3ක් පමණි. ඉතිරි දින 27ම රාත්‍රී සේවය එක් එක් තැන්වලය. මා කිසියම් අදූෂමාණ හස්තයක සියුම් පලිගැනීමකට ලක් වෙන බව මා හට රහසක් නොවීය.

සේවා ස්ථානයේ එකාකාරීව ක්‍රියාත්මක වන යන්ත්‍ර‍යක් දිගේ මගේ මතකය ආපස්සට ගමන් ඇරඹූයේ කොතෙක් සැඟවුවද මා සිතට වද දෙන සිදුවීම යලිදු මතක් කිරීමටය.

සීනි ආනයනය කරන සමාගමක කලක සිට ආනයනයේදී බහලුම තුලම සිදුවූ සීනි තොග අතුරුදන් වීමක් නිසා එය පරික්ෂා කිරීමට අප ආයතනයට භාරවූ අතර නොසිතූ ලෙස එය භාර වූයේ මෙවැනි පරීක්ෂණ වලට නම් දරා සිටි පතාක යෝධයින් අතර ලිලිපුට්ටෙකු බදු වූ මා හටය.

"සංඛ… පොඩි අප්සට් එකක්…"

"ඒ මොකක්ද…"

"ඊයෙ ආපු ටැංකි 5න් දෙකක් ඔයා එන්න කලින් අපේ උන් දන්නැතිව අන්ලෝඩ් කරලා…"

"මොකක්…!! දැන් අනිත් ටැංකි තුන කෝ…?"

"ඒවානම් තියෙනවා… අර ටැංකි දෙකේ කේස් එක…… ඒවයෙ දෙකේම බෑග් 30කට වැඩිය අඩුයි."

"විනාසයි…!! ඒ කියන්නෙ කිලෝ 1500කට වැඩී.… දැන් මොකද කරන්නෙ…?"

"හ්ම්ම් කරන්න පුළුවන් දේ නම් තියෙන්නෙ සංඛගෙ අතේ තමා…"

"ඒ මොකක්ද…?"

"මෙහෙමයි…ඔයාට… ටැංකි පහටම රිපෝට් දෙන්න පුළුවන්නම්……"

"එහෙම කොහොමද…? ටැංකි තුනනෙ. අනික මට පහම බලන්න ඕන. ඒවයෙ ෆොටෝස් ඕන."

"ඒක අවුලක් නෑ. ඔයාට රිපෝට් දෙන්න පුළුවන්නම් මම යාඩ් එකෙන් ටැංකිය පැය දෙකකට අරන් දෙන්නම්.… මගෙ රස්සාව බේර ගන්න වියදම් නොකරන සල්ලිද…? ප්ලීස් සංඛ… මට මේ උදවුව කරන්න… මම… ඔයාටත්… සළකනවා.…"

"බැහැ බැහැ… ඒක නම් කරන්න විදියක් නෑ. ටැංකි 3ක් චෙක් කරලා මම කොහොමද 5කට ‍රිපෝට් දෙන්නෙ…?"

"ප්ලීස් සංඛ… මගෙ රස්සාව උනත් මේකෙන් ගහලා යන්න පුළුවන්…!!"

අවසානයේ වූයේ මා පරික්ෂා කල බහලුම් 3ට පමණක් වාර්ථා ලබා දීමෙනි. ඔහු වංචා කරුවෙකුද නැත්ද යන්න කෙසේ වෙතත් ඔහුගෙ රැකියාමය වගකීම නිසියාකාරව ඉටු නොකිරීමේ වරදට ඔහුට තම රැකියාවෙන් වන්දි‍ය ගෙවා දැමීමට සිදු විය.

යන්ත්‍රයක් සමඟ තරඟ වදිමින් සිතුවිලි රැහැනේ වෙලී සිටි මා ඉන් මිදුනේ ජංගම දුරකථනයෙ කම්පනය ශරීරයට දැනීමෙනි.

"හෙලෝ…"

"සංඛ මල්ලියා… මම… මාර වැඩේ බං. NNS එකෙන් ඩැමේජ් වගයක් ගිහින්. අන්න කේස් එක ෆයිල් වෙලා… උඹෙන් තමා කේස් එක වෙලා තියෙන්නෙ…"

"මොකක්…!! කවද්ද…??"

"ගිය මාසෙ දාහත් වෙන්දා.…"

"පෝඩ්ඩක් ඉන්න………… නෑ නෑ. මම එදා NNS එක පැත්තෙ ගියෙ නෑ… මා ගාව ඩයිරියත් තියෙනවා…"

"අනේ මන්දා බං… කේස් එක තියෙන්නෙ නම් උඹේ නමට… හෙට උදේම ඔෆිස් එකට එන්න කියලා ලොක්කා කිවුවා…"

"හ්ම්ම්… හරි මම ගිහින් බලන්නම්. තෑන්ක්ස් අයියා…"

………………………………………


"ගුඩ් මෝනින් සර්…"

"ආ සංඛ… මොනවද මනුස්සයො මේ කරන වැඩ…??"

"සොරි ස‍ර්… ඔය කියන දවසෙ මම නෙමේ NNS එකේ ඩියුටි.…"

"නෑ කියන්නෙ කොහොමද…? මේ NNS එකේ Attendance බුක් එක තියෙන්නෙ… මේ බලනවා…"

"ඔහ්හෝ… !! සර් මේ මගෙ අකුරු නෙමේ. මේ සයින් එකත් මගෙ නෙමේ. බොරු නම් චෙක් කරවලා බලන්න."

"අයිසෙ සංඛ… තමුසෙ එතකොට දැන් කියන්නෙ එදා ඩියුටි හිටියෙ තමුසෙ නෙමේ කියලද…?"

"ඔව් සර්… මට ඒක ඔප්පු කරන්න පුළුවන්… NNS එකේ එදා මම නම් හිටියෙ එදා දවසට දාපු චෙක් ලිස්ට්, රිපෝට් දාලා තියෙන්නෙත් මම වෙන්න එපෑ. ඒවා කෝ……??"

"ඔහේ මගෙන් ප්‍රශ්ණ කරන්න හදනවද…?"

"එහෙම නෙමේ සර්… මේකේ සාධාරණේ…"

"කතා කරන්න එපා තමුසෙ… HR එකෙන් ලෙටර් එක අරන් යනවා. තමුසෙව මම සතියකට Interdict කරනවා. මාත් එක්ක කට ගැහුවට. සතියක පස්සෙ බලමු NNS එකේ කේස් එකට දෙන දඬුවම…"

"සොරි සර්… මම අදහස් කලේ එහෙම දෙයක් නෙමේ. ඒත් මම නොකල වරදකට මෙහෙම දඬුවමක් විදින්න ඕනද…??"

දිගින් දිගට ඇදී ගිය වාදය අවසන් වූයේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් වැඩ තහනමට ලක්වූ ලිපිය ලබාගෙන නොව මාගේ කැමත්තෙන්ම ඉල්ලා අස්වීමේ ලිපියක් එම අංශයට භාර දීමෙනි.

මා නොකල වරදකට දඬුවම් නියම වීම නිසා මා විසින්ම අහිමි කර ගත් රැකියාව වෙනුවෙන් මා නව රැකියාවක් සොයා ගත යුතුව ඇත. රැකියාව අහිමි වූවාට මාගෙ ආත්ම ශක්තිය අහිමිවී නැත.

නමුත් මගේ හිතට වද දෙන එකම ගැටළුව මා හට මෙසේ වූයේ මා කල කිනම් වරදක් නිසාද… අවංකකම උගසට තැබූ මිනිසුන් මැද උඩුගම් බලා පිහිනීමේ වරදද…??, මිනිසෙකුගේ රැකියාවක් අහිමි කිරීමේ පවද…??, රාජකාරිය දේවකාරිය ලෙස සිතා හැකි පමණ නිවැරදිව වැඩ කිරීමේ වරදද……?????


© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.livingonadime.com)

30 March, 2014

ඔබ හරකෙක්ද බලන්න පොඩ්ඩක් 'උම්බෑ…' කියන්න……

Add caption

පහුගිය ටිකේම දරුවො නැති ගෑණු ගැනයි බ්ලූ බලපු කෙල්ලො ගැනයි ඒ මදිවට ස්ත්‍රී දූෂක කොල්ලො ගැනයි ලියපු නිසා මේ සතියෙ වෙනසකටත් එක්ක ඉස්සර කරපු තවත් දහදුරා වැඩක් ගැන ලියන්න හිතුනා.

අර ෆාමසි වල කෙල්ලන්ගෙන් වාජිකර්ණ බෙහෙත් ඉල්ලන එකයි නඩාව මඩවපු එකයි උනේ මම ජොබ් කරත්දි උනාට මේක නම් ජොබ් නොකරන ඉස්කෝලෙ කොල්ලො එක්ක අවලමේ යන… ආ නෑ සොරි ගම වටා සංචාරෙ යන කාලෙ කරපු එකක්.

ඔය මහා සද්දයක් දාලා ශාලුක් අංකලුත් කියලා අපේ සංගාටත් දෙක මාරු වෙලා එයාටෙල් ලංකාවට ගොඩ බැහැපු කාලෙ. ඉතිං අපිත් නිකන් ඉන්න බැරිවට අපෙත් දෙක මාරු වෙයිද බලන්න (දෙක යනු සිම් දෙකය) එයාටෙල් සිම් තොග පිටින් අරන් තියා ගත්තා. (නිකන් දුන්න නිසා බොලවු.)

ඔය කාලෙ කොහොමත් 075 මුලට එන අංකය අපේ උන්දැලට ටිකක් මැජික් වගේ උන කාලෙ… අපිත් සිම් ගත්තට කාටවත් ඒවයෙ අංක දුන්නෑ. පරණ සිම්ම තමා පාවිච්චි කොලේ.

කොහොමින් කොහොම හරි දවසක් අපේ සැට් එකේ එක පඩත්තලයෙක්ට පහල උන පුණ්‍යවන්ත අදහසක් නිසා අපි දවසක් එකෙක්ගෙ ගෙදරකට සෙට් වෙලා අපි හොයා ගත්ත අංක වලට කතා කරලා මනුස්සයො 20ක් විතර නිවාඩු පාඩුවෙ බයිට් කොරා. අපේ ප්‍රධාන කාර්‍යය උනේ එයාටෙල් අංකෙකින් කාටහෝ අමතා එයාටෙල් පාරිභෝගික අංශයෙන් කතා කරන ලෙස කතා කිරීමය.

පාරිභෝගික නිළධාරියා විදිහට කතා කරන්න සෙට් උනෙත් සෙරෙප්පු පාරවල් කාලා පාසලේ ජන'අ'ප්‍රියම නිවේදක බුවා වෙච්චි අහිංසක 'ප්‍රියා'ම තමා. බොහෝ අවස්ථාවල සිදුවූ සංවාදය සටහන් කරනවානම්…(බහුතරයක් දෙනා එකම විදිහට තමා උත්තර දුන්නෙ)

මම ÷ ආයූබෝවන්… එයාටෙල් පාරිභෝගික සේවා අංශයෙන් කතා කරන්නෙ… මට ඔබතුමා/තුමී එක්ක විනාඩියක් කතා කරන්න පුළුවන්ද…?

බයිට ÷ ඔව් කියන්න… [කවුරුත් බෑ කිවුවෙනම් නෑ.]

මම ÷ ස්තූතියි… මහත්මයා/මිය අපේ විශේෂ ප්‍රවර්ධන වැඩ සටහනකට අපි ඔබත් ඇතුළුව තවත් 50ස් දෙනෙකු තෝරන් තියෙනවා…

බයිට ÷ හ්ම්ම්/ඔව්…/හා…

මම ÷ අපි ඔබට ලබාගන්නා සහා ලැබෙන ඇමතුම් සම්පූර්ණයෙන්ම නොමිලේ සිම්පතක් ලබා දෙනවා…

බයිට ÷ සිම් එකක් කියක් වෙනවද…?/ සිම් එකත් නොමිලේද?

මම ÷ අපි සම්පූර්ණයෙන්ම නොමිලේ තමා සිම් පතත් සම්බන්ධතාවයත් ලබා දෙන්නෙ… ඒ වෙනුවෙන් ඔබට ලගම තියෙන අපේ බ්‍රාන්ච් එකට ඇවිත් පොඩි වැඩක් කරන්න තියෙනවා…

බයිට ÷ හරි මොකක්ද කරන්න තියෙන්නෙ…? [මෙතනදි දෙතුන් දෙනෙක් "රස්තියාදු වෙන්න බෑ" කියලා කියපු නිසා ඒ ටික බේරුනා.]

මම ÷ මේකයි මහත්මයා/මිය කරන්න තියෙන්නෙ… අපේ පොඩී සමීක්ෂණයකට සහය දක්වන්න ඕන.…… "මෙහෙමයි මහත්මයා/මිය අපිට ඔයා හරකෙක්ද කියලා බලා ගන්න පොඩ්ඩක් 'උම්බෑ…' කියන්න ඕන.".……
ඔය මුළු කතාවම කෙරෙන්නෙ ස්පීකර් දාලයි. ඔක්කොමට ටික මීක් සද්දයක් නැතිව අහන් ඉන්න අපේ නසරානි සෙට් එක එතනින් පස්සෙ තමා ගේමට බහින්නෙ. ඒකත් ඉතිං "බක… බක…'' ගගා තමා… අනේ අනිච්චේ කියලා එතනින් එහාට බයිට් වෙන බුවාගෙ/බුවීගෙ ප්‍රතිචාර විවිධාකාරයි.

"පිස්සෙක්" , "තියපන් බූරුවා ෆෝන් එක" , "තමුසෙ කවුද කියනවා" , "අනෙ පලයන් යකෝ යන්න" , "යනවා ඕයි යන්න" , "මේ නම්බරේ පොලිසියට දෙන්නද" ඔන්න ඔය විදිහට ගරු නම්බුනාම දීලා තමයි බොහෝ අය ඇමතුම විසන්දි කලේ. ඒත් ඉතිං දෙතුන් දෙනෙක් අපේ අහිංසක මවුදෙමාපියන්ට පුණ්‍යානුමෝදනා කරන්න ආවම නම් අපිටත් ශුද්ධ හිංගලෙන්ම දෝශාභියෝගයක් නිකුත් කරන්න නිකුත් කි‍රීමට සිදු නොවුනා මත් නොවේ.


ඉතිං ඒ කාලෙ කරපු දහජරා වැඩ අතරෙ මට ඔය කතාවම හදීසියෙ මතක් උනෙ ගිය ඉරිදා හවස අපේ මලයා අපිට සද්ද කරන්න එපා කියලා ගත්තා කෝල් එකක් අපේ ඥාති ගෙදරකට. අනේ කරුමෙට ටෙලිකොම් ලයින් එකක් තියෙන එහෙට C.L.I. නෑ. කොහොම හරි කෝල් එකට උත්තර් දුන්නෙ අපෙ ඥාති සහෝදරියක්. මේ තියෙන්නෙ එතනින් එහාට දෙබස.

ඇය ÷ හෙලෝ…
මල්ලි ÷ හෙලෝ… මගෙ නම රුවන්. අපි කතා කලේ කැම්පස් එකේ පොඩි සමීක්ෂණයකට… මිස්ට පුළුවන්ද පොඩ්ඩක් උදවු කරන්න…
ඇය ÷ හ්ම්ම් මම න්ම් දැන් ටිකක් බිසී… කමක් නෑ කියන්නකො.…
මල්ලි ÷ ස්තූතියි මිස්… මට මිස්ගෙ නම දැන ගන්න පුළුවන්ද?
ඇය ÷ මම *****
මල්ලි ÷ මිස්**** රැකියාවක් කරනවද…?
ඇය ÷ නෑ මම ගෙදර ඉන්නෙ…
මල්ලි ÷ හ්ම්ම්… එහෙනම් දවල්ට රේඩියෝ එහෙම අහනවා ඇති.
ඇය ÷ ආ ඔව් ඔව්… [හරිම උනන්දුවෙන්]
මල්ලි ÷ මිස්***** සාමාන්‍යෙන් අහන චැනල් එක මොකක්ද…?
ඇය ÷ හිරු FM
මල්ලි ÷ ආ ඇත්තද…? සොරි මිස් අපි දෙරණ FM එකෙන්… මම තියන්නම්… බොහොම ස්තූතියි…
ඇය ÷ හයියෝ… අනෙ අපරාදෙ අප්ප… චික් විතරක්… අයියෝ… [ඇය තාමත් දුක් වෙනවා.]


© ප්‍රි‍යා.


(පින්තූරයට ස්තූතිය……
http://www.sickandwrongpodcast.com)

23 March, 2014

ස්ත්‍රී දූෂකයා………


දෙනෙතින් ගිලිහී මගේම දෑතට කඩා වැටුන කඳුළු බිඳ මා තවමත් මියගොස් නැතයි කියා මා හටම මතක් කර දේ. අළුයම දෙක පසු වුවත් නින්ද අසලටවත් නොආ දෙනතට කඳුළු උනන්නේ සවස උන සිදුවීම මටත් හොරෙන් මාගේ සිත මෙනෙහි කරන නිසාවෙන් විය යුතුය. සිතත් නෙතත් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි.

අළුයමද ගෙවමින් සිටියත් තවමත් වෙනසක් නොමැතිව වාහන ගමන් කරන ගුවන් පාලම යට අඳුරු කොනකට වී මා රාත්‍රිය ගෙවමින් සිටිමි. මා මෙතනින් නැඟිටිය යුත්තේ අලුත් මිනිසකු ලෙස නමුත් එම සිදුවීම කෙලස අමතක කරන්නද…?

මා දන්නා පරිදි මෙයට වසර 25කට පෙර මා උපත ලබා ඇත්තේ මේ ගෙන්දගම් පොළවේමය. දරුවන් බිහි කිරීමට මිස ඔහුන් රැකීමට නොදත්තාවූ මගේ පියාට දාව උපන් දරුවන් හය දෙනෙකුගෙන් අංක හය හිමි වූයේ මටය. මට පෙර සහෝදරයින් දෙදෙනකු සිටින මුත් ඔහුන් මා දෑහටවත් දැක නැත්තේ ඒ පියාගෙන් වෙන්වූ ඔහුගේ පෙර බිරියගේ දරුවන් බැවිනි. මගේ මවගේ පළමු දරුවා වූ මට පසුව සොහොයුරෙකුත් ඔහුටත් පසු සොයුරියන් දෙදෙනෙකුත් උපන් මුත් වැඩි වන සාමාජික ප්‍රමාණයට සරිලන ලෙස ඉහල නොගිය අප පැල්පත් නිවසේ අඩි ප්‍රමාණයත්, පහල නොගිය අප පියාගේ බීමත්ත නිසා සැපවත් දිවියක් යන්න අපට සිහිනයක් පමණක්ම විය.

යන්තම් වසර තුනක් පමණ පාසල් භූමියක පහස ලැබූ මා අවුරුදු 11 වන විටම විවිධ රැකියාවන් සොයමින් යන්නට වූයේ තදින්ම බීමට ඇබ්බැහි වී සිටි පියා දිවි ගමනට නවතා දැමූ බැවිනි. එදින පටන් අද දිනයේ සවස වනතුරු මා දිවිගෙවූයේ මාගේ පවුල වෙනුවෙන්ම පමණි.

මට මගේ ජීවිතය අහිමි වූවාට මට අවැසි වූයේ මාගේ සොයුරියන්ට හිමි ලොව ඔහුන්ට සොයා දීමටය. මගේ පණ වූයේ මගේ නැගණියන් දෙදෙනාය. නමුත් මගේ ආශාව සුන් වූයේ ලොකු නැගණියගේ පෙම්වතා යැයි කියමින් තරුණයෙක් පැමිණි දිනය.

"ඔයා කොහෙද මල්ලි පදිංචි…?"

"මම දහඅටේ වත්තෙ…"

"ලොකූ තාම ඉගෙන ගන්නවනෙ… අනික මේ වගේ දේවල් අපි කතා කරන්න ඕන වැඩිහිටියො එක්කනෙ…"

"අපේ අම්මලා නම් මේකට කැමති වෙන්නෑ. ඒත් මම කල්පනාව බඳිනවා…"

"ඒක හරිනෑනෙ මල්ලි. මේවා පිළිවෙලකට කෙරෙන්න ඕන. එක්කො ඔයා දෙමාපියො එක්ක එන්න නැත්නම් නංඟිගෙ ඉගෙනීමෙන් පස්සෙ බලමු…" මාගේ දැඩි බව හමුවේ සිත් අමනාපයට පත් වූයේ කේන්තියෙන් පිටව ගිය ඔහුත් ලොකු නංගිත් පමණක් නොව අම්මා පවා මා සමඟ අමනාප වී ඇති බවක් දැනුනි.

ඒ අදට දින පහකට පෙරය. අද දින හවස මා වැඩ ඇරී නිවසට පැමිණෙන මොහොතේ කුඩා පැල්පත් නිවසේ කුඩා කල සිට හුරතලේට හැදුන ලොකු නැගණිය පෙම්වතා තුරුලේ හුරතල් වනු දැකීමට තරම් මා සොයුරෙකු ලෙස අවාසනාවන්ත විය.

"ලොකූ… මම උඹලට කිවුවා නේද බඳිනකම් ඉන්න කියලා…… කො… කෝ… අම්මා…"

"ඇයි… ඇයි මේ කෙල්ලව කන්න හදන්නෙ…?" එවිටම කොහේදෝ සිට නිවසට කඩා වැදුන මවගේ කෝපය නොසිතූ ලෙස මා දෙසට යොමු වෙත්දී නැගණියගේ පෙම්වතාද හොර රහසේම පලා ගොස් අවසන්ය.

"ඔයා මුන් හිටපු විදිය දැක්කෙ නෑනෙ. තාම මුන් බැඳලත් නෑ… මේවා හරිද…?"

"අම්මා වෙච්චි මට නැති අමාරුවක් උඹට කොහෙන්ද…?"

"මොකක්ද ඒකෙ තේරුම…?"

"මගේ මඟුල් තමුසෙට වැඩක් නෑ. තමුසෙට ලවු ගැන තේරෙන්න තමුසෙ ජීවිතේට කාටවත් ලවු කරලා තියෙන එකක්‍‍යෑ…"

"ඔව් මම උඹලා ගැන බැලුවා මිසක් මම ගැන බැලුවෙ නෑ තමා…"

"තෝ කාළකණ්නියා කන්න දීපුවා කියලා පෙන්නනවද යකෝ…" එතනින් එහාට මට හිමි වූයේ මවගේ ගුටි බැට පූජාවක්ය. එය මාහට අමතක කර දැමිය හැක. ඒ මාගේ මවය. නමුත් මා ඉගැන්නූ මා ආදරයෙන් හදාගත් මගේම නැඟණිය මා හට අත එසවීම මා කෙසේ ඉවසන්නද? මා ඇය හට අත් එසවූයේ ඇයට ගැසීමට නොව ඇය ගැසූ පහරක් වැළක්වීමටය.


"මෙන්න මූ මගේ කෙල්ලව මරන්න හදනවා. බේරගනියෝ……" එතනින් එහාට සිදුවූ සියල්ල සිහිනයක්ම පමණි. නිවසෙන් එලියට බට මා දුටුවේ නිවාස පේළියේ කට හැකර ගැහැණුන්, අබිලිං වැනි පිරිමින් එලියට බැස බලා සිටිනාකාරයය. මා පිස්සෙකු මෙන් ඇවිද ගොස් නැවතුනේ වත්ත කෙළවර පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසේය.

"මම ගිහින් ඒ පැත්ත බැලුවා… දැන්නම් ෂේප්. ඒ…ත්…… උඹලගෙ අම්මා පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා…"

"මම ගිහින් බාර වෙනවා බං…"

"උඹ දන්නවනෙ අලුත් OIC කාරයගෙ හැටි… අනික…… අනික උඹලෑ අම්මා ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උඹ නංඟිව දූෂණය කරන්න ආවා කියලා……… ඔය දැන් උඹ කොහෙද යන්න හදන්නෙ…"

"……බලමුකො මොකද වෙන්නෙ කියලා… මම වැරදී නෑ කියලා මගෙ පපුව දන්නවනෙ…"

"පිස්සු නොකෙළ මෙහෙන් හිටපං… උඹට ස්ත්‍රී දූෂණ කේස් එකක් තියෙන්නෙ… තොගෙ අඬු කඩයි යකෝ…"

"ඒ රෑට බාර උනොත්නෙ… උඹ බය වෙන්න එපා……" ඔහුගේ නිවසෙන් එළියට බට මා අවසානයේ නතර උනේ ගුවන් පාළම යටය. හෙට උදෑසනම මා පොලිසියට බාර විය යුතුය. පැල්පත් පේළි නිවාසයක මුඩුක්කු ජීවිතයක් ගත කල අප පවුලට යහපත් හෙට දිනක් උදා කරලීමට උඩුගම් බලා පිහිනූ මට ඒ ගත් වෙහෙස වෙනුවෙන් ස්ත්‍රී දූෂකයා නම් ගෞරව නාමය ලැබී ඇත. දුක මා මෙලොවට බිහිකල අම්මාම මට එම නාමය ලබා දීමය.

"මට ඔයාගෙ ලේ කිරි කරලා පොවන්නැතිව ඔය ලේම වහ කරලා පොවලා පොඩි කාලෙම මරලා නොදැම්මෙ ඇයි අම්මෙ……………………………"


පසු සටහන ~~ ඇහුන්කන් දෙන්න ඔබ අවට සිටින රජතුමාගේ සිට යාචකයා දක්වා ඕනෑම තරාතිරමක අයෙකුට වෙනසක් නැතිවම… බලන්න නිරික්ෂණාත්මක දෑසින් ලෝකය දෙස…… දකීවී… ඇසේවි… මෙවන් දේ අනන්තවත්………

මෙයත් එවැනිම මේ පුණ්‍යවන්ත මිහිතලය මතම සිදුවූ තවත් එක් අවාසනාවන්ත සත්‍ය කතාවකි.

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
http://postgradproblems.com)

16 March, 2014

කාම ධේනුවකවූ යුවතිය…!!


පසුගිය දිනෙක සති අන්ත 'මවුබිම' පුවත්පතේ පලවූ විශේෂාංග ලිපියක් නිසාවෙන් මෙවන් සිතුවිල්ලක් ලිවීමට සිත් විය.

එම විශේෂාංගයෙ සදහන් වූ කතාව නම් එක් සාර්ථක ව්‍යාපා‍රිකයෙක් හා අතිශය ක්‍රියාකාරී සමාජ සේවිකාවක වන අඹුසැමි යුවලකට දාව උපදින දියණියගේ කතාවය. එයට අනුව ඇය තම ව්‍යාපාරික පියාව දකින්නෙම දින කිහිපයකට වරකි. සමාජයටම මවක් වූ සමාජයටම සේවය කරන මවද එසේමය. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හැදෑරූ ඇය මවව දකින්නේද ඉදහිටය. ඒ දිනය උදාවන්නේද ඇයගේ රැස්වීම් උත්සව හෝ සරීර සුවතා ව්‍යායාම සදහා වෙන් කල දිනක් නොවේ නම් පමණි.

මෙසේ තිබියදී ක්‍රමයෙන් වැඩි වියට පත් දියණියට නිවසටම ගෙන්වා තරුණ ගුරුවරයෙකු ලවා ටියුෂන් දීමටද දෙමාපියන් පෙලඹී ඇත.

කෙසේ හෝ ඇයට දිනක ඇගේ පාසල් මිතුරියකගෙන් නිල් චිත්‍රපටයක් ලැබෙන අතර මව පියා නොමැතිව අසීමිත නිදහසක් ඇති නිවසේ ඇය එය නරඹන අතර ක්‍රමයෙන් ඇය අසභ්‍ය දර්ශණ නැරඹීමට ඇබ්බැහි වී ඇත. එපමණකින් නොනැවතුන ඇය ඇගේ ටියුෂන් ගුරුවරයා ගෙන් ඇගේ ආශාවන් සපුරා ගැනීමට පෙලඹී ඇත.

පසුව ඇගේ මව මෙය දැනගෙන අදාල සම්බන්දය බිද දැමූ පසු අදාල යුවතිය තවත් පි‍රිමින් පස් දෙනකු සමග නිවසින් පිටදී කම් සුව සොයා තහනම් ගහේ බඩ ගා ඇත.

මෙම සියලු විස්තර සවිස්තරාත්මකව දක්වන අදාල පුවත්පත් විශේෂාංගය තම මුග්ධ බාවය ප්‍රදර්ශණය කරමින් අවසානයේ මෙහි සියළුම වගකීම කැරෙනුයේ කොහේවත් සිටින 'අවතාරයකටය'. එයට අනුව යුවතියගේ ඇඟට රිංගා සිටින භූතයෙකුගේ ආනූභාවයෙන් දකින දකින පිරිමියා සමඟ ලිංගික ඇසුරක් පැවත්වීමට ඉඩ සලසා ඇත.

'ලිංගිකත්වය මැජික් එකක් විය යුතු නැත' යන තර්කය අපද පිළිගනී. නමුදු යෞවන යෞවනියන් එය අවබෝධයෙන් කල යුතුය. නැත්නම් සිදු වන්නේ කොතනකදී හෝ විනාශ වී යන්නටය.

මෙම යුවතියගේ ජීවිතය විනාශ වීම පිළිබඳව වගකිව යුත්තේ මූලික වශයෙන්ම ඇගේ දෙමාපියන් බවට අවිවාදිතය. නමුදු අවාසනාවට වගකීම් සහගත පුවත් පතකින් කර ඇත්තේ මෙවන් වරදකාරී දෙමාපියන්ට සුදු හුණු ගා කොහේවත් යන භූතයෙක්ගේ කර පිටට වරද දමා අත පිහදා ගැනීමයි.

කොහොටමත් අපේ මිනිසුන් නොපෙනෙන බලවේගවල එල්ලී තම ගෝත්‍රික බාවය බව පෙන්වීමට දක්ෂය. මෑතකදී සහෝදරද ඒ පිළිබද සටහනක් තබා තිබුනි.

මේ වන විට මුද්‍රිත මාධ්‍ය තොග වශයෙන් ගෙඩිය පිටින් මිත්‍යාව පතුරවමින් සිටී. අවාසනාව නම් ඉහත කී සිදුවීම වැනි කතිකාවතක් ඇරඹිය යුතු, අනෙක් දෙමාපියනුත් ආදර්ශයට ගත යුතු ගැටළු පවා ඔහුන්ගේ වාසිය තකා මිත්‍යාවේ කඩතුරාවෙන් වසා දැමීමය.

සැබවින්ම ඉහත කී සිදුවීමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ එම යුවතියගේ දෙමාපියන් දෙපළය. ඇය පිලිබද නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඇය ඇයගේ ආශාවන් සපුරා ගැනීමට දකින දකින පිරිමියා සමඟ නිදි වැදීමට කැමති යුවතියක බවට පත් විය.

මෙසේ තම එකම දියණියගේ අනාගතය අඳුරු වනතෙක් ඇස් පියා විසූ දෙමාපිය දෙදෙනාට තමන් කල වරද කොහේවත් යන භූතයෙක්ට පවරා ලෝක අපවාදයෙන් බේරුනත් තම හෘදය සාක්ෂියෙන් බේරිය හැකි වේවිද?????

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
http://sacredjourney.tv)

10 March, 2014

වඳ ගෑණී……….....


"ඇයි අනේ ඔයා තාමත් කතා නැත්තෙ…?"

"හ්ම් කතා කරන්නයි වාහන පදින්නයි දෙකක් බෑනෙ."

"ඔයා අකමැත්තෙන්ද මේ ගමන එන්නෙ…? ඔයාට දරුවෙක් එපාද?"

"මට දරුවෙක් ඕන. ඒත් ඒ දේ ඔහේගෙන් නොලැබෙන එක තමා ප්‍රශ්ණෙ…"

කේන්තියටම මාගේ දෑතට හිරවූ සුක්කානම තවත් තදට හසු වත්දී මාගේ දෑසම කුඩා විය.

"මොකක්ද සුමේධ… මට විශ්වාසයි අපි දෙන්නා ඒ තරම් අවාසනාවන්ත නෑ…"

"ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත… මට දැනටත්……" මාගේ මුවින්ම පිට වීමට ගිය රහස ගිලගත්තේ ඉතාම අපහසුවෙනි.
………………………………………

"O.K. Mr. සුමේධ… දවස් තුනකින් රිපෝට් එයි. ඔයාලා Next Week එන්න."

"සොරි ඩොක්ටර්… සතියක් ඉන්නැතුව මට කලින් රිපෝට් ගන්න බැරිද…?"

"හ්ම්ම්ම් හරි… සාමාන්‍ය‍යෙන් අපි එහෙම කරන්නෑ. ඒත් Mr. සුමේධට උදවු කරන්නත් එපෑ… මම ඔයාට කෝල් කරන්නම්."

"තැන්ක් යූ ඩොක්ටර්…"
නවලෝක රෝහලෙන් පිටතට පැමිණි මා ගයනිව බස්නැවතුම් පලෙන් දමා මෝටර් රියට නැගී කාර්‍යාලය බලා ඉගිලුනේ හිතේ ආවේගය නිසාමය.

"ගුඩ් මෝර්නින් මචං"

"මොර්නින් බං… මෝර්නින්…"

"හි… ඇයි උඹට ගුඩ් නැත්ද?"

"මොන ගුඩ්ද බං? අර මළහෝන්තුවත් එක්ක උදේ පාන්දරම ටෙස්ට් එකකට ගියා"

"යකෝ… ගයනි කියන්නෙ තෝ ලවු කරලා බැඳපු කෙල්ල නේද? අනික් උඹලා දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ටෙස්ට් එකකට යන එකේ වැරැද්ද මොකක්ද?"

"උඹත් හොදටම දන්නවනෙ මට එහෙම ආබාධයක් නැති බව. ශානිකාට පුලුවන් උනා මාව තාත්තා කෙනෙක් කරන්න. ගයනිට අවුරුදි 4ක් වෙලත් තාමත් බෑ…"

"මචං, ශානිකා ගැන නම් කතා කරන්න එපා. අනික උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ ළමයා උඹෙයි කියලා…"

"කැත කතා කියන්න එපා බං. ඒ දරුවා මගෙයි… මගේ කරුමෙට ශානිකාව හම්බවෙන්න කලින් ගයනිව කරගහා ගත්තෙ…"

"බැඳපු ගෑණි ඉත්දි තව ගෑණු එක්ක නිදියන එක හරි ලස්සන වැඩක්නෙ… හික්… උඹ ශානිකා පත්තිනි අම්මා කෙනෙක් කියලද හිතන්නෙ? බොල බූරුවො… මම පෙරේදත් දැක්කා ඒකිව ෆුඩ් සිටියෙ. නිකන් නෙමේ අර කොට තඩියගෙ අතේ එල්ලිලා…"

"ඒ ශානිකාගෙ මල්ලි කෙනෙක් යකෝ… ගෙදර කවුරුත් නැති නිසා මමයි ආරක්ෂාවට ඌව එහෙ නතර කලේ…"

"පුහ්හු… බලමුකො… ඒකි උඹේ කරේ එල්ලිලා ඉන්නෙ උඹෙ සල්ලි කඩා ගන්න කියන එක උඹට තේරෙන්නැ…?"

"උඹට විකාර බං…"

"ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං. මට බය එදාට උඹ ලග අර අහිංසකිත් නැති වෙයි කියලයි…"
………………………………………

"ඔයාට නාන්න උණු වතුර එකක් රත් කරන්නද?" මා කෙතරම් වෙනස්කම් කර මැයව හැර දමා ශානිකාවත් මගේ දරුවා වත් මාලගට ගැනීමට තැත් කලද ගයනිගෙ ගතිගුණ වෙනස් නොවීම මා හට හිසරදයකි.

"නාන්න ගෙනෙන් මට ගිනි වතුර එකක්."

"ඔයා තාමත් තරහින්ද අනේ…"

"නැතුව… තමුසෙට තියෙන අසනීප වලට මාව ටෙස්ට් වලට ඇඳගෙන යත්දි කේන්ති යන්නැත්ද ඕයි…"

"මොකක්ද අනේ ඔය කතා කරන කැත… අනික කාට අඩුපාඩුවක් තිබුනත් දැන් බෙහෙත් තියෙනවා…"

"තමුසෙම ඔය බෙහෙත් බී ගන්නවා."

"කාට උනත් බෙහෙත් තියෙනවා…"

"වහගනින් කට… මට බෙහෙත් බීලා ළමයි හදන්න දෙයක් නෑ ඕයි. මට දැනටත් ළමයෙක් ඉන්නවා." එතැන් පටන් මාගෙ මුවින් පිටවූ හැම වදනක්ම අසමින් ඇය මා දෙස බලා සිටියෙ කඳුලකින් තෙත්වූ දෙනෙතනි.

පසුදා උදෑසන දෙනෙත හැර බලනවිට සුපුරුදු තේ කෝප්පය ඇති මුත් ඒ තේ කෝප්පය හැදූ තැනැත්තිය පේන්නට නැත.… ඇය ඇගේ මහ ගෙදර යන්නට ඇත. හ්ම්ම් කමක් නැත මා ඇගේ බන්ධනයෙන් නිදහස්වීමම ලොකු දෙයකි.
………………………………………

ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙලෝ…"

"සුමේධ පුතා…"

"ආ… ඔව්… ඔව් අංකල් කියන්න…"

"පුතා පොඩි කරදරයක්… ගයනිව ජෙනරල් එකේ ඇඩ්මිට් කලා…"

"ගයනි එහෙද හිටියෙ…?"

"ඇ‍යි පුතා, දුව කිවුවෙ පුතා ඔෆිස් වැඩකට පිට යන නිසා පුතාම එයාව එවුවා කියලනෙ…"

"ආ… ආ… ඕ… ඔව්… ගයනිට මොකද අංකල්…?"

"මේ පිස්සි කෙල්ලෙ නිදි පෙති වගයක් බීලා පුතා… හේතුවක් දන්නෑ…ඔයා ටිකක් එනවද පුතා…"

"හ හරි… හරි අංකල් මම් දැන් එන්නම්…"
………………………………………

"කෝ අංකල්… ගයනි"

"එන්න එන්න අමාරු වෙනවා පුතා… දැන් ICU දැම්මා… මේ ලිවුම ඔයාගෙ නම ලියලා කවරෙ අලවලා තිබුනෙ…"


ඇලවූ ලිවුමද අතින් ගෙන මා පසෙකට වූයේ ගැහෙන හදිනි.

'මගෙ සුමේධ,,,,,,,,
මම ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ රත්තරන්. මම දන්නවා ඔයා ඔයාගෙම දරුවෙක්ට කොයි තරම් ආසද කියලා. ඔයාට ඒ සතුට දෙන්න මට බැරි උනා. මම මහ කාළකණ්නි ගෑණියෙක්. ඔයා ඔයාගෙ දරුවයි එයාගෙ අම්මයි එක්ක සතුටින් ඉන්න. මේ කාළකණ්න් වඳ ගෑණි ඔයාගෙන් සදහටම ඈතට යනවා………
ඔයාට තෙරුවණ් සරණයි රත්තරනේ……………………'

මට කිසිවක්ම සිතාගත නොහැක. පසුව කෙසේ වුවද මේ මා කලක් මගෙ පණ දෙවැනි කොට ආදරය කර බැඳගත් කෙල්ලය.

ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙ..ලෝ…"

"හෙලෝ Mr. සුමේධ, මා ඩොක්ටර් ජයතිලක… ඔයාලගෙ රිපෝට් නම් ඇවිත්… හ්ම්ම්……"

"ප්‍රශ්ණයක් නෑ. කියන්න ඩොක්ටර්…"

"හ්ම්ම්… ඔයාගෙ වයිෆ්ගෙ රිපෝට් එකෙ හැටියට එයාට කිසිම ප්‍රශ්ණයක් නෑ… එයාට දරුවෙක් හදන්න පුලුවන්. ඒත්……"

"ඔව් ඩොක්ටර්……"

"ඔයාගෙ රිපෝට් එක ගොඩක් දුර්වලයි… මේකෙ හැටියට ඔයාට දරුවෙක් බලාපොරොත්තු වෙන්න අමරුයි. ඒත් දැම්ම ප්‍රතිකාර ගත්තොත්…………

මාගේ දෑතින් ගිලිහුන දුරකථනය තුලින් වෛද්‍යවරයාගෙ හඩ සිහින්ව ඇසේ. මා වියරුවෙන් මෙන් පිය නගා ඇත්තේ දැඩි සත්කාර ඒකකය දෙසටය.

"පුතේ… මගෙ දුව අපිව දාලා ගියා පුතේ… ඔයාගෙ ගයනි අපි ඔක්කොමව දාලා ගියා දරුවෝ………"

ගයනිගේ පියාගෙ විලාපය හමුවෙ මුළු රෝහලම මා වටා භ්‍රමණය වන්නක් සේ දැනෙන්නට විය. මීට දින තුනකට පෙ‍ර කපිල මා හමුවේ දෙඩූ වදන් නැවත මා දෙසවන රැවු පිළිරැවු දෙන්නට විය.

"""ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං… මට බය එදාට උඹේ ලඟ අර අහිංසකිත් නැති වෙයි කියලයි………"""

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
http://smoothfox-stock.deviantart.com)

16 February, 2014

තිත්ත කරවිල…!!



ක්‍රෑෂ්ෂ්… ගසා කෑ ගසමින් නැවතූ තවත් වාහනයක හඬ ඇසී මද්දුමී හඬාගෙන ගෙට දිව ගියේ බියපත් මුවැත්තියක ලෙසිනි. කෙදිනකවත් පාපැදියක් වත් නොපැමිණි මිදුලේ අද දිනයට නැවතූ තෙවනි වාහනයය. පෙර වාහන දෙකෙන් මෙන්ම මෙයින්ද බසින ලද කළු කලිසමත් සුදු පැහැ කමිසයත් හැදි හැඩි දැඩි මිනිසුන් දකින විට මද්දුමීට මෙන් සැගවිය හැකිනම් කියා සිතුනි.

"තමුන්ද ලසන්ත කියන්නෙ?"

"මමයි මහත්තයා"

"මොනවද මනුස්සයො මේ කරන වැඩ. තමුසෙලා කරන ඒවයෙන් අපෙ මන්ත්‍රීතුමාටයි අයිසෙ හොඳ නැත්තෙ… පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් යටතෙ තියෙන පළාතක මෙහෙම උනාම එතුමටයි හොඳ නැත්තෙ.…"

"අනේ බුදු මහත්තයෝ නොදැනුවත්කමට උන දේනෙ… අනේ මම දැන් මක් කරන්නද?…"

"ඒ මඟුල් හිතන්න තිබුනෙ ඔය පණ්ඩිත වැඩ කරන්න කලිනුයි."

ට්‍රීං… ට්‍රීං… ට්‍රීං…

"හෙලෝ… Yes සර්‍…හ්ම්ම් මම කියන්නම් සර්… ඕ කේ සර්… හරි ඒ ගැන හිතන්න එපා, චැනල් එකේ උන්ට එන්න කියන්න.…හරි" ඇමතුම විසන්ධි කල ඔහු නැවත මා දෙසට හැරුනි.

"හරි… තමුසෙට එක ක්‍රමයක් තියෙනවා. තව ටිකකින් TV චැනල් එකකින් කට්ටියක් එයි. එයාලට අපි දැන් කියලා දෙන විදියට කියන්න ඕන."

"හරි මහත්තයො… මන් ඕන දෙයක් කියන්නම්."

"කොහොමත් කියන්න ඕන තමා අයිසෙ. ඒකෙ අහන්න දෙයක් නෑ."

රූපවාහිනි ආයතනයෙන් එන පුද්ගලයින්ට කිවයුතු දේ ගැන උපදෙස් දුන් පිරිස පිටත්ව යන්නට විය. මගේ දෙනෙත බොඳ වෙත්දී ලොකු කෙලී මා අභියස විය.

"කෝ ලොක්කියෙ මද්දුමී…?"

"නංගි දුවන් ඇවිත් හැංඟුනා. දැන්නම් නිදි.… බඩගිනියි තාත්තෙ."
මගෙ පපුව පැත්තක් හිර වෙන්නාක් මෙන් දැනෙන්නට විය. දරුවෙකුගේ මුවින් පිටවෙනා බඩගිනියි යන වදන තරම් පියෙකු විදවනා තවත් වදනක් තිබිය නොහැක. නමුත් මාගේ අවාසනාවට එම වදනම මා දිනපතා කිහිප වරක්ම අසමි.


මාත් විනිතාත් එක වහලක් යටට වූයේ අවුරුදු 15කට පෙරය. ඉන් අවුරුදු 2කට පසු ලොකු දුවත් ඉන් ටික කලකට පසු එක්වූ මද්දුමිත් ඊයේ පෙරේදා එක්වූ නිවුන් දැරියන් දෙදෙනාත් අප නිවසම එළිය කලහ. එකම අවාසනාවට පිරවිය යුතු බඩවල් ගනන වැඩි වන ප්‍රමාණයට මාගේ අතමිට සරු වූයේ නැති නමුදු වැලේ ගෙඩි කෙදිනකවත් වැලට බර නොවූ නිසාම දියණියන් සිවුදෙනාත් බිරිඳත් කුලී වැඩෙන් දිවි සරිකරගත් මා හට බරක් වූයේ නැත.

නමුත් අවාසනාව අප සොයා පැමිණියේ නියඟයේ වෙසිනි. කුලීවැඩක් සොයාගත නොහැකිව දින සති මාස ගතවෙත්දී ඉරි තලා ගිය පොළව මතම අපේ ජීවිතද ඉරි තලා යන්නට විය.

"අදවත් හාල් හුණ්ඩුවක්වත් ගන්න බැරි උනාද ඒයි…"

"වැඩක් හොයා ගන්න බැරි උනා විනිතො… ලොකු උන් දෙන්නට මොකද කලේ…?"

"බලලා බලලා බැරිම තැන වත්ත පහලින් කරවිල ටිකක් කඩලා තම්බලා දුන්නා…"

"කරවිල විතරක්…!!! කෑවද ඒ දෙන්නා?"

"නෑ… කන්න බෑම කියලා හැඬුවා… අන්තිමේ මාත් කාපු නිසා කෑවා… චූටි දෙන්නට කිරිත් දෙන්න එපෑ…"

මෙසේ ඇරබි දින පහක්ම වේල් තුනටම අපගේ එකම ආහාරය වූයේ තම්බාගත් කරවිලය ගෙඩිය. පස්වන දිනයේ දෙවියන්ද අහක බැලූ හෙයින් විනිතාට අජීර්ණයක් සෑදී සිඟිති දියණියන් දෙදෙනාද සමග රෝහල් ගතවීමට සිදුවිය. ඒ අතර පැමිණි පුවත්පතකින් අපගේ සැබෑ ජීවන තත්වය මුළු රටටම හඩගා කීමෙන් වූ එකම සෙත වූයේ පළාතේ මන්ත්‍රීවරයාගේ හෙන්චයියන් විටින් විට පැමිණ අප පවුලටම තර්ජනයකර යාම පමණකි.

"තාත්…හ්හ්…තාත්තෙ…"

"මොකෝ බන් ලොක්කියෙ… උඹ කාට බයේද දුවන් ආවෙ…?"

"අන්න…තවත්…එකක් එනවා……"

ඒත් සමඟ ප්‍රසිද්ධ රජයේ රූපවාහිනී ආයතනයක සංඛේත ගසා ගත් වෑන්රියක් අප මිදුලේ දැක මා දිගු හුස්මකින් ළය පුරවා ගනිමි. මෙතෙක් අප පෙළුවේ දුප්පත් කම පමණකි. නමුත් අද දින ජීවිතය රැකගැනීම උදෙසා මාගේ දුප්පත් ආත්මය මරා දැමීමට මා සූදානම්ය.


………………………………………
………………………………………

දැන් තවත් දේශීය පුවතක්,……
විපක්ෂයේ තවත් අසාර්ථක කුමණ්ත්‍රණයක සුළ මුළ හෙළිවේ.
පසුගිය දින කිහිපය පු‍රා පැතිර ගිය කරවිල පමණක් ආහාරයට ගෙන දිවිගෙවූ පවුලේ කතාව රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් විපක්ෂය ගෙතූවක් බවත්. ****පක්ෂයේ ප්‍රභල නායකයෙකුගේ ආධාරකරුවෙකු වන තමා මේවන් කතාවක් කීවේ එම නායකයාගේ අනුදැනුම මත බවත් එම කරවිල පමණක් කා දිවිගෙවූ බව කී පවුලේ පියා ඊයේ දිනයේ පිළිගත්තේය.
මේ අතර චීන ආධාර මත රුපියල් ලක්ෂ 870ක වියදමින් ඉදිකල මානෙල් පොකුණ රංග පීටය විවෘත කිරීමට එක්වූ ගරු අතිඋත්තම ****** මැතිතුමාද මේ පිලිබඳව අදහස් දැක්වීය.

"ඉදි‍රියේ පැවත්වෙන ජිනීවා සමුළුව ඉලක්ක කරන් රජය අපහසුතාවයට පත්කිරීම විපක්ෂය දැන්ම ආරම්භ කරපු බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහරු රටට විරුද්ධව කේළම් කියනවා. තවත් සමහරු කන්න නෑ කරවිල කාලා ජීවත් උනා කියලා බොරු කියනවා. මේ සියළු කුමණ්ත්‍රණ පරද්දලා ජිනීවා වලට හොඳ උත්තරයක් දෙන්න නම් බස්නාහිර, දකුණ දෙපළාතම නැවතත් රජයට දීමට ජනතාව බුද්ධිමත් විය යුතුමයි."

(පින්තූරයට ස්තූතිය……
http://www.bubblews.com)


© ප්‍රියා.