29 December, 2013

කොටුවක සිරවී කොටුවක් පනිමුද…??


හ්ම්ම්ම්…… 2013 අවුරුද්දත් ඉවරයි මේ අවුරුද්ද පටන් ගත්දි අපේ හිත් වල කොයි ත‍රම් හීන තියෙන්න ඇත්ද? මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? කීයක් බොඳ උනාද?

ඒ කතාව පෝඩ්ඩකට පැත්තකින් තියලා අද සිතුවිල්ලට හැරුනොත් දැනට සති දෙකකට පමණ පෙර රෑක යම් නාළිකාවක ගියා වැඩසටහනක්. මේකෙ සාකච්චා උනේ 'හදහන්, අත්ල රේඛා සහා එය විවාහයට බලපාන ආකාරය' පිලිබදවය. මාහට එතරම් 'ප්‍රිය' මාතෘකාවක් නොවූයෙන් කිසිම හැඟීමකින් තොරව බලා සිටියත් එවලෙහි ඒ සාකච්චාව වැදගත් පැමිණීමෙන් කුතුහලය නිසාම යම් උනන්දුවකින් එය නරඹන්නට විය.

ඒ වන විට සාකච්චා වෙමින් තිබුනේ විවාහයට නුසුදුසු යැයි සැලකෙන හදහන් පිලිබදවයි. ඒ පුද්ගල‍යා දැක්වූ ආකාරයට හදහන ඇති පුද්ගලයින්ට විවාහ වීමෙන් පලක් නැතැයිද එවැනි විවාහ අසාර්ථක වේ යැයිද ඔහු මුලින් කියන ලදි. එවිට නිවේදකයා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු නැවත කීවේ "එවන් හදහන් ඇති පුද්ගලන්ටද සාර්ථක විවාහ දිවියක් ගෙවීමට ක්‍රමයක් ඇත." කියාය.

සැබවින්ම මා හිතුවේ ඔහු එවන් පුද්ගලයින්ට ධනාත්මක පිළිතුරක් දෙයි කියාය. නමුත් ඔහුගෙ පිළිතුර වූයේ. "මෙවන් හදහන් ඇති අය තමන්ගෙ ආශාවන් බලාපොරොත්තු පැත්තකට දාන්න. කොහෙන් හරි හොයලා තමන්ගෙ හදහනට ගැලපෙන අයෙකුම විවාහ කර ගන්න. නැත්නම් අවිවාහකව ඉන්න." කියාය. ඔහු විශේෂයෙන් සදහන් කල තව දෙයක් වූයේ "ආදර විවාහයක් නම් කර නොගන්න" ලෙසය.

නැකත්, හදහන්, අත්ල රේඛා වැනි දේ පිලිබදව මා හට දැනුමක් නැත. ඒවායෙ සත්‍ය අසත්‍යතාව පිලිබදව නොදන්නවා සේම ඒ පිලිබදව මාගෙ උනන්දුවක්ද නැත. නමුත් මේ පුද්ගලයින් පවසන ආකාරයට නිකම්ම කොටු කිහිපයකට අපේ ජීවිතය පරාජය කල යුතුද? (මා දන්නා පරිදි හදහන සෑදී ඇත්තේ කොටු කිහිපයකිනි.)

මෙය කියවන හදහන පිලිබද විස්වාසයක් හා දැනුමක් ඇති පිරිස මා හට විරුද්ධ විය හැක. නමුත් වරදවා නොගන්න මා කිසි විටකත් හදහන් වැනි දේ බොරු යැයි නොකියමි. කිමද අදාල විශය පිලිබද මා හට අල්ප මාත්‍ර දැනුමක් වත් නොමැති නිසාය.

නමුත් එක දෙයක් මා දනිමි දෙදෙනකු ගතින් එක් කරන අත්ල රේඛා, හදහනට වඩා කොටින්ම නීතියෙන් එක් කරන විවාහයටත් වඩා මනසින් එක් කරන 'ආදරය' යන බැදීම බලවත් බවය.

ආදරය කර ඇතිවූ විවාහයක් බිඳ වැටිය නොහැක. දැන් ඔබට තර්ක කල හැක 'ආදරය කල ජෝඩුත් අනන්තවත් දික්කසාද වී ඇත' කියා. මා එය මෙසේ තේරුම් කරන්නම්. මා අදහන පරිදි විවාහයට ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇත.

1. ආදරය - එකිනෙකා පිලිබද ආදරයක් නොමැතිනම් ඒ පිලිබදව කතා වත් කර වැඩක් නැත.

2. තේරුම් ගැනීම - දෙදෙනාගෙ වුවමනා එපා කම්, රුචි අරුචිකම්, අදහස් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය.

3. විශ්වාසය - තම සහකරු සහකාරිය පිලිබද විශ්වාසයක් තිබිය යුතුය.

4. ඉවසීම - මෙය ඉතා වැදගත් පොරොන්දමකි. සුළු සුළු අතපසුවීම් ඉවසීම වගේම ඉවසීමෙන් යුතුව එකිනෙකාට ඇහුම්කන් දීම ආදිය මෙයින් අදහස් කෙරේ

5. ආශාව - මෙය පලටවා නොගත යුතු අතිශයින්ම වැදගත් තැනකි. දෙදෙනෙකුගේ විවාහයක් සාර්ථක වීමට නම් අධ්‍යාත්මික මෙන්ම ශාරීරික බැදීමද වැදගත්‍‍ය. එය හුදෙක් වනචර කමක් හෝ ලිංගික ආශාවක් නොව ආදරය මුසු වූ ශෘංගාරාත්මක හැඟීමකි. දෙදෙනාට එකිනෙකා පිලිබදව ශෘංගාරාත්මක හැඟීමක් එනම් ආශාවක් තිබිය යුතුය.

ඉහත දැක්වූ පොරොන්දම් ගැලපීමෙන් පසු ඇතිවන විවාහයක් දෙදරා යා නොහැක. ආදර‍ය කර දෙදෙනකුගේ විවාහය බිද වැටුන කල හොදින් සොයා බැලුවොත් ඉහත පොරොන්දම් එකක් හෝ කිහිපයක නොගැලපීමක් දෙදෙනා අතර තිබිය යුතුය.

පෙර කියූ රූපවාහිනී වැඩසටහනෙ දැක්වූ විවාහයට නුසුදුසු හදහනක් ඇත්තෙකුට වුවද ඉහත කාරණා 5 සම්පූර්ණ කල අයෙකු හමුවුව හොත් ඉතාම සා‍ර්ථක විවාහ දිවියක් ගත කල හැක.

එසේම හදහන් 100% ගැලපුනද තම විවාහ දිවිය අසාර්ථක කරගත් ජෝඩුද අනන්තවත් සමාජයේ ඇත. තවද හදහන් ගලපා විවාහ වී සමාජ තත්වය, ලැජ්ජාව හෝ දරුවන් යන කුමන හෝ සාධකයක් නිසා වෙන් වී ගත නොහැකිව විදීම වෙනුවට ජීවිතය විදවමින් එකට වසන ජෝඩුද අප අනන්තවත් දැක ඇත.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මා හදහන් ගැලපීම සත්‍ය අස්ත්‍ය බාවය නොදනිමි. ඒවා විශ්වාසද නොකරමි. කොටින්ම මාගේ විවාහය වූයේද හදහන්, පොරොන්දම් කිසිවක් ගැලපීමෙන් නොවේ. එසේ කියා ඔබටත් ඒවා බැලීමට එපා කියනවා නොවේ. නමුත් විවාහයකදී හදහනට වඩා වැදගත් මූලිකත්වය දිය යුතු අවශ්‍යතා රාශියක් තිබේ.

එසේ නොමැතිව හදහන 'පමණක්' ගලපා විවාහ වීම තුලින් සිදු වන්නේ තම සහකරුගෙන් සහකාරියගෙන් නොලැබෙන ආදරය, ලිංගිකත්වය සොයා ජීවිත කාලයම හොර අඹුවන්, හොර සැමියන් සොයා යාමට සිදුවීමයි. සැහැල්ලු භාෂාවෙන් කියනවානම්
"අදහස් නොගැලපෙන දෙදෙනෙකුට හදහනේ කොටු පමණක් ගලපා විවාහ වී ජීවිත කාලයම 'කොටු පනිමින්' ජීවත් විය හැක."
එබැවින් ඔබත් ඔබේ ජීවිතය කොටුවක් තුල සිරගත නොකරන්න.

සැ. යු. -
1. ඉහත කාරණා 5න් එකක් දෙකක් නොගැලපුනද උවමනාව ඇත්නම් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
2. හදහන් පමණක් ගලපා විවාහ වූ ජෝඩුද පසුව ආදරෙන් බැදී එකිනෙකා තේරුම් ගෙන ක්‍රියා කලහොත් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
3. සාර්ථක විවාහ දිවිය යනු ගැටුම් කිසිවක්ම නොමැති ඔහේ ගලා යන සුරංගනා කතාවක් නොවේ. විවාහ දිවිය නම් ගංඟාව හැඩ වීමට ගල්, මුල්, වංගු, දිය ඇලි වැනී බාධකද පැමිණිය යුතුමය. බාධක හමු වූවාට මුහුද බලා යන ගංඟ නවතින්නේ නැත.

ප. ලි. -
මා විවාහ දිවිය අරඹා තවමත් මුල් අවදියය. මා හට ඇති අත්දැකීම්ද අල්පය. මා හැකි පමණින් අමුනා ලියූ මේ පොරොන්දම් 5ට අමතරව ඔබ හිතෙත් ගැලපිය යුතු පොරොන්දම් පවතී නම් අන් අයටත් දැන ගැනීමට සටහන් කර තබන්න.

ප. ප. ලි. -
අර මුලින්ම කියපු 2013දී බොඳ වුන සිහිනත් 2014දීි ඉටුකරගැනීමට දකින සිහිනත් සැබෑකරගත හැකි ධෛ‍ර්‍යවන්ත වූ
……සුභම සුභ නව වසරක් වේවා!………යි පතමි.


(පින්තූ‍රය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)


© ප්‍රියා.

22 December, 2013

කොට සායයි… හුරතලයයි… හරි අවදානම්……


අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.

අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට තියෙන්නෙ එද සිදුවීමට විරුද්ධව පියවරක් ගැනීමට නොහැකි වීම පිලිබද කණගාටුවකි.

මේක වෙලා දැනට අවුරුදු තුන හතරක් ඇති. ඒ දවස් වල මම වැඩ කලේ අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කියපු තත්ව සහතික දෙන ආයතනයෙයි. දවසක් රාත්‍රී සෙවා මුරයට මීගමු පාරෙ මහබාගෙ කිට්ටුව යම් ආයතනයකට යාමට ආවා 187 (ගුවන්තොටුපල-කොටුව) බසයට නැගීමට අලුත් පාලම උඩට. ඔය පාරෙ යන ඇත්තො දන්නවා නොවැ හවස 5.30ට 6.00ට 187 බස් වල හිරවෙලා තෙරපිලා යත්දි තියෙන සනීපෙ.

ඉතිං එදා අලුත් පාලම උඩින් මාත් සමග සෑහෙන සෙනඟක් බසයට නැගගත්තා ඒ අතර හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක්. අනේ පවු හරි දුප්පත් දැරිවියක්. කොයි තරම් දුප්පත්ද කියනවා නම් අවුරුදු 11හ 12කාලෙ ඇදපු සාය කෑල්ලක් ඇදන් ඇවිත්. ඉතිං දෙවියනේ මේක දණිස්සටත් අඟල් ගානක් කොටයි (දැන් අහන්න එපා ඒක මම මැන්නද කියලා. හික්…).

ඒ ගෑණු දැරිවි හිට ගත්තෙ 'පූජ්‍ය පක්ෂයට' වෙන් කර ඇති ආසනය ලගින්මයි. මම හිටියෙ ඇයට දකුණු පසින් ඊලගට. ඒ පූජ්‍ය පක්ෂයෙ ආසනයෙ ඒ වෙලාවෙ හිටියෙ පිරිමි දෙන්නෙක්. ජනේලෙ අයිනෙ එකා නින්දෙයි සැප නින්දෙයි වෙනස තෝරනවා. අනිත් මනුස්සයා අරමුණක් නැතිව ෆෝන් එකක් තියන් ඔහේ ඔබනවා. ගේම් ස්ටාර්ට් කරනවා, කැමරා ඔන් කරනවා, කැලැණ්ඩරේ අරන් දින ගනිනවා එක විකාරයයි (අපි අනුන්ගෙ ෆෝන් දිහා හොරෙන් බලන්නෑ බොලවු. අපිට පේන ඒවා පේන ඒවා).

ටිකක් දුරක් යත්දි අර දැරිවිත් හිටගෙනම ෆෝන් එක කණේ ඔබා ගත්තා. දැන් ඉතිං මෙලෝ සිහියක් නෑ කඩනවා කඩනවා. කඩන මල් බස් එක පුරා විසිරෙනවා. බස් එක ඔලියමුල්ල හරියට ලං උනා වෙත්දි අර ෆෝන් එක ඔබන මෑන් අර කෙල්ලගෙ කකුල් දෙක මැද්දට අත තියලා උඩ පැත්තට හරවලා ගත්තා ෆොටෝ එකක් !!. මෑන්ගෙ කරුම වෙලාවට ෆෝන් එකේ කැමරා සවුන්ඩ් එක විතරක් නෙමේ ෆ්ලෑෂරේ පවා ඔන් කරලා.

ඒ තත්පර ගානට කැමරා සවුන්ඩ් එකයි ෆ්ලෑෂරෙයි විතරක්‍‍යෑ සෙනග පිරිච්ච බස් එකේ කකුල් දෙක ඈත් කරන් හිටන් හිටපු ඒ කෙල්ලගෙ කකුල් දෙක මැදට අත තියලා ඌ ෆෝන් එක කොකා ගස්සන එකත් ඔක්කොම මම දැක්කා. ඒත් ඒ කෙල්ල මෙලෝ සිහියක් නැතුව තාමත් මල් කඩ කඩ විසික් කරනවා.

ෆොටෝ එක ගත්තත් කැමරා සවුන්ඩ් එක නිසා මෑන් බය වෙලා වගේ වටපිට බලත්දි පිටිපැස්සෙ හිටපු මං කට ඇරන් පුදුමෙන් බලන් ඉන්නවා දැක්කා. ඇත්තටම වෙච්ච දේ හිතා ගන්න බැරුව හොල්මන් වෙලා හිටපු මම පියවි සිහියට එත්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔටෝ සේව් ඕෆ් කරලා තිබුන ෆෝන් එකේ ෆොටෝ එක සේව් යස් නෝ කියලා අහලා තියෙත්දි නෝ කරලා ‍රෙඩ් බටන් එකත් ඔබලා දැම්මා.

එතනින් එහාට කවර කතාද? මම මේක ගැන අනිත් උන්ටත් කියලා මූට හොම්බට දෙකක් ඇන්නත් මම කොහොමද ඒක ඔප්පු කරන්නෙ??! ඒ කෙල්ලගෙන් ඇහුවත් නියත වශයෙන්ම ඇය ගත් කටටම "නෑ එහෙම දෙයක් උනේ නෑ." කියනු ඇත. එවිට ඇතම් විට විත්තිකරු නිදොස් වී පැමිණිල්ල වූ මට එල්ලුම් ගහේ දළු කැඩීමට සිදුවනු ඇත.

කොහොම හරි මගේ රැවීමෙන් පස්සෙ මෑන් උතුර දකුණ මාරුවෙලා වගේ ඊලග හෝල්ට් එකෙන්ම බැහැලා ගියා. තමා කරපු වැඩේ දැකපු එකෙක් හරි බස් එකේ ඉත්දි බස් එකේ ඉන්න එක භයානකයි කියලා මෑන්ට හිතෙන්න ඇති. හප්පේ ඉතිං බස් එකේ මෙච්චර තමන්ගෙ කකුල් දෙක මැද්දෙම වෙලත් අර ගෑණු දැරිවි ඒ කිසිම දෙයක් නොදැන අර තමා ඉස්සරහා හිස් වෙච්ච ආසනේට බර වෙලා මල් කඩලා කඩලා දැන් පොහොට්ටුත් කඩනවා.

දැන් මේක කියවලා අපේ බ්ලොග් අවකාශෙ ගෑණු ලමයි කඩු කිණිසි අරන් මට 'පුරුෂෝත්තම වාදියා' කියලා බනින්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න. (ඊට පස්සෙ ඕනම නම් බනින්න.)

ඇත්තෙන්ම ගෑණූ දැ‍රිවියො කොටට ඇදීම පිලිබදව මගේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද අන් අයට හිරිහැරයක් නොවන පරිදි තමා කැමති ඇදුමක් ඇදීමට විලාසිතාවක් කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතුය. ඔසරිය ඇදීමට සේම කොට සාය ඇදීමටද කාන්තාවකට හිමිකමක් ඇත. නමුත් ගැටළුව ඇත්තෙ අප සමාජයේ ඇතම් පිරිමින්ට තාමත් දණහිසට තරමක් උඩින් පෙනෙන් කකුලත් ගෙලට මදක් පහලින් පෙනෙන පපුවත් මහා 'පුදුමාකාර' දේවල්‍‍ය. කොටින්ම කියනවානම් ඒ අසහන කාරයන්ට නිරුවත යනු මහා 'මැජික්' එකකි.

එවන් පිරිමින් මධ්‍යයේ වුවද ඔබට අවශ්‍යම නම් කොටට ඇන්දාට කම් නැත. නමුත් ඔබගේ ආත්ම ගෞරවය බිලි ගැනීමට මාන බලන පුද්ගලයින් හමුවේ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. කිමද මා දුටුවා වැනි සිදුවීම් අනන්තවත් සිදුවිය හැක. බොහෝ විට ඒ ජායාරූප නවතින්නෙ අන්තර්ජාලයේ විය හැක. අවසන් ප්‍රථිපලය ඔබගේ ජීවන සහකරුට පමණක් හිමි ඔහු පමණක් දැකිය යුතු බොහෝ දේ ඔබද නොදැනුවත්ව ලොවින් අඩක්ම නැරඹීමයි.

ඔබට රටේ ලෝකෙ සිටින සියලුම පිරිමින් සිතන ආකාරය වෙනස් කිරීමටවත් ඔහුන්ගේ අසහනය සමනය කි‍රීමටවත් නොහැක. නමුත් ඔබේ ආත්ම ගෞරවය රැකගැනීමට ඔබ දැන ගත යුතුය. එය සදහා ඔබ ඕනෑම ස්ථානයකදී අවධානයෙන් සිටිය යුතුය.

මා මුලින් කොට සාය විවේචනය කල නිසාවෙන් ඔබ තාමත් මා 'පුරුෂෝත්තමවාදියෙක්' ලෙස සිතා සිටිනවා නම් මා මෙයට පෙර ලියූ කොන් වුන කොන්දොස්තර'වරිය' කි‍යවන්න. මා පුරුෂෝත්තමවාදියෙක්වත් කාන්තාවාදියෙක් වත් නොව. නමුත් මාද මාව දහසකුත් දුක් විඳ හදාවඩාගත් මවකගේ පුතෙකි, සහෝදරියන් දෙදෙනෙකුගේ සහෝදරයෙකි, ආදරණීය බිරිඳකගේ සැමියෙකි, හුරතල් දියණියකගේ පියෙකි, මිතුරියන් රැසක් සිටින මිතු‍රෙකි. මෙය කියවන ඔබ සැමද මා අදහන පරිදි මාගේ මිතුරු මිතුරියන්ය. මෙය ලීවේ ඔබ සැම දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.

අවසන් වශයෙන් කීමට ඇත්තෙ මෙපමණකි. මා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙකු නොවේ ඔබ ඔබට කැමතිනම් කොටට ඇන්දත් දිගට ඇන්දත් ප්‍රශ්ණයක් නැත. එය ඔබට ඇති හිමිකමකි. එයට කිසිදු තර්කයක් නැත. නමුත් කරුණාක‍ර ඔබ කුමන ආකරයේ ඇඳුමක් ඇන්දත් ඔබේ වටපිටාව පිලිබදව අවධානයෙන් පසු වන්න. කිමද 'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය'.

(පින්තූරය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

© ප්‍රියා.

15 December, 2013

උසස් වීම…


"ආ කල්ප… අන්න උඹට ලොක්කා එන්න කිවුවා."

"ලොක්කා කිවුවෙ මෙ පතිරණ මහත්ත‍යා?. ඒ ගමන මොන ම‍රාල‍යක්ද දන්නෑ."

"මග ඉදන් පේන බලන්නැතුව ගිහින් බලපන්කො."

නාමල් ගෙනා හදීසි පණිවිඩය ඇසූ මා පුදුම වූයේ වසරව් එකොලහක් වූ මාගේ සේවා කාලය තුල මා අප ආයතනයෙ කළමණාකරු පෞද්ගලිකව මුන ගැසී තිබුනේ නැති තරම්.

"සර්… මට එන්න කියලා තිබුනා."

"ආ කල්ප එන්න.. එන්න.. වාඩි වෙන්නකො ඉස්සෙල්ලම."

"තැන්ක් යූ සර්."

"මන් කල්පට එන්න කිවුවෙ වැදගත් වැඩකට. කල්පට දෙන්න ගුඩ් නිවුස් එකක් තියෙනවා."

"ඒ මොකක්ද සර්?"

"දන්නවානෙ මිස්ට‍ර් ගුණවර්ධණ ගියාට පස්සෙ අපි තීරණය කලා ඒ පෝස්ට් එකට පිටින් කෙනෙක් නොගෙන ඇතුලෙ කෙනෙක්ව එතන්ට දාන්න.
ඉතිං අපි තීරණ‍ය කලා මාර්කටිං මැනේජර් විදියට ප්‍රොමෝශන් එකක් දීලා කල්පව එතන්ට දාන්න… නිකම්ම නෙමේ හොද ඉන්ක්‍රිමන්ට් එකකුත් එක්ක."

හදිසියේ ලද පණිවිඩ‍ය නිසා කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා විනාඩි කිහිපයක් කළමණාකාරතුමාගෙ මුහුණ දෙස බලා නිහඩව සිටියෙමි.

"බොහොම ස්තූතියි සර්…"

"හරි දැන් ගිහින් HR මැනේජර් මිස්ටර් පියුමාල්ව හම්බ වෙන්න. මම කල්පට විශ් කරනවා. ඒ වගේම ඉදිරියට වෙන්න ඕන දේවල් ගැන පියුමාල් කල්පට තේරුම් කරලා දෙයි."

"තැන්ක් යූ සර්. මං දැන්ම ගිහින් හම්බ වෙන්නම්."

…………………………………………………

"ආ මේ ඉන්නෙ. මොකෝ උඹට ලොක්කා එන්න කියලා තියෙන්නෙ?" මානව සම්පත් කළමණාකරුගේ කුටියෙන් පිටතට පැමිණි විගස මුණ ගැසුන නාමක් ඇසීය.

නාමල් යනු මාගේ පාසල් වියේ සිටම මිතුරෙකි. මෙම රැකියාව මා හට ලැබුනේද මෙම ආයතනයේ මට වඩා වසර තුනක අත්දැකීම් ඇති ඔහුගේ උදවුවෙනි.

"උඹ දන්නවද? මට ප්‍රොමෝශන් එකක් ඇවිත් මාර්කටිං මැනේජර් විදියට"

"ආ ඇත්තද?.. මගේ සුභ පැතුම්"

මා ඔහුගෙන් බලාපොරොත්තු වූයේ මෙවන් ප්‍රතිචාරයක් නොවේ. පාසල් වියේ සිටම අප ඇසුරු කල හැටියට ඔහු මේ ආරංචිය අසා සතුටින් පිනා යා යුතුය. නමුත් නිකම්ම නිකම් සුභ පැතුමක්.

මිනිස් සිත පුදුමාකාරය. ඇතම් විට නාමල් මට ඉරිසියා කරනවා වත්ද? ඔව් එයට බොහෝ ඉඩ ඇත. ආයතනය තුල ඔහු මට වඩා වසර තුනක්ම පැරණිය. මාව වැඩට දැම්මේද ඔහුය. එසේ තිබියදීත් ඔහුට හිමි නොවූ අවස්ථාවක් මට හිමිව තිබීමම ඉරිසියාවට කරුණකි. 'බලමුකො මොකද වෙන්නෙ කියලා' මගේ යටි සිත මා සනසවයි.

…………………………………………………

"ආ කල්ප. කොහොමද මචං?"

"රුවන් මං කලින් ඔයාලත් එක්ක එකට වැඩ කරපු එක හරි. ඒත් මං දැන් මෙතන මැනේජර් කෙනෙක්. උඹ බං බොලන් කියලා කතා කරලා මාවත් ඔයාලගෙ ගොඩට දා ගන්න එපා. මාව වැරදයට තේරුම් ගන්න එපා."

මා එසේ පවසන ගමන් ඇසයටින් බැලුවේ නාමල් දෙසය. සැබවින්ම මා හට උවමනා රුවන්ට නොව නාමල්ට මා දැන් ලොක්කෙකු බව හැගවීමටය. ඔහු මට ඉරිසියා ක‍රනවා නම් මා ඔහුව කරේ තබාගෙන පලක් නැත. නමුත් ඔහුගේ හැගුම් විරහිත මුහුණ මා අධෛරයට පත් කල නිසාවෙන් මා ඒ ස්ථානයෙන් පිටවී ගියෙමි නමුත් මාගේ වෑයම සාර්ථක බව හැගුනේ සවස නාමල් මා ඇමතීමට 'සර්' යන වදන භාවිතා කල හෙයිනි. ඒ වදන ඇසෙන විට මා ලබන්නේ අහංකාර සතුටකි.

…………………………………………………

කාලය කෙමෙන් ගෙවමින් තිබේ. නමුත් මා පසු කරමින් පවතින්නේ ඉතා අපහසු කාල සීමාවකි. මා අළවි කළමණාකරු ලෙස වැඩ බාර ගත් දින සිට ආයතනයේ ලාභය පහල බසිමින් තිබේ. එයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ නාමල්‍‍ය. ඔහුත් ඇතුලු අළවි අංශයේ සේවකයින් ඔහුන් සමග එකට වැඩකල මා ඔහුන්ගේ ප්‍රධානියා ලෙස පිලිගැනීමට අකමැතිය. ඒ සියලු දෙනා උසිගන්වන්නේ නාමල් බවට සැක නැත.

"සර්ගෙ හිත හොද නිසයි ඔය ඔක්කොම. නමල් කොහොමත් සර් එක්ක ඉරිසියයි. ඔහොම ඉන්න එපා සර් පතිරණ සර්ව හම්බ වෙලා ඔය ඔක්කොම කියන්න"

මුළු ආයතනයෙන්ම මා හට හිතවත් එකම සේවකයාවූ කාර්‍යාල කාර්‍ය සහයක පියල්ගේ උපදෙස් මත පතිරණ මහතා හමුවීමට හිත හදා ගත්තේ අමාරුවෙනි.

"සර් මට ටිකක් පර්සනල් කතා කරන්න ඕන."

"ඔව් කියන්න කල්ප."

"මං මෙහෙම කියනවට මං ගැන වැරදියට හිතන එපා සර්. පහුගිය ටිකේ කම්පැණි එකේ ලාභෙ අඩු උන එකට හේතුව මම දන්නවා."

"මොකක්…ඒ මොකක්ද ඒ?"

"මට මේක කියන්නත් මොකක්ද වගෙ සර්. මේ ඔක්කොටම මුල නාමල්. මම මාර්කටිං මැනේජර් උන එකට මෑන් ඉරිසියයි. මෑන්ම තමා අනිත් අයවත් උසි ගන්වලා මේකෙ පාඩු කරන්නෙ."

"ඉතිං නාමල් මේවා කරලා අන්තිමෙ මොනවද බලාපොරොත්තු වෙන්නෙ?"

"වෙන මුකුත් නෙමේ සර් මාව වට්ටන්න. මමනෙ දැන් මාර්කටිං මැනේජර්.."

"හ්ම්ම් හර්…හරි… මං මේකට ඇක්ෂන් එකක් ගන්නම් කල්ප"

"හරි සර්…තැන්ක් යූ."

සියල්ල කියා හිත නිදහස් කරගත් මුත් මාගේ ඔලුව හතරට පැලෙන තරම් වේදනාවක් ගෙන දුනි. මාගේ කැබිනයට පැමිණි මා මේසයට හිස ගසා ගත්තේ හිස කැක්කුම දරා ගත නොහැකිවය.

"සර්… සර්… අන්න අරූ පතිරණ සර්ගෙ කැබින් එක පැත්තට ගියා. ඕකා ෂුවර් එකටම කතාව අනෙක් පැත්ත ගහලා සර්ව අමාරුවෙ දානවා." කැබින් එකට දුවගෙන පැමිණි පියල් පවසන්නෙ රහසිනි.

හිසේ කැක්කුමට කුමක් උවත් ඔහු කියන දේ අසා ගත යුතු නිසා මා පතිරණ මහතගෙ කැබිනය ආසන්නයට ගියේ දුවමිනි. වායුසමීක‍රණය නොකල අප ආයතනයේ කැබින් තුල කතා වෙන දේ පිටට ඇසීම මේ වේලාවට නම් ඇත්තෙන්ම වාසනාවකි.

"නෑ…නෑ…සර් මම කියන දේ පොඩ්ඩක් අහන්න."

"නෑ නාමල් අයි ඇම් වෙරි…සොරි."

"සර් ප්ලීස් එක චාන්ස් එකක් දෙන්න. ප්ලීස්…"

නාමල් පතිරණ මහතා ඉදිරියේ වැද වැටෙන ආකාරය අසා මගේ සතුට නිම් හිම් නැති විය.

"බලනවා අයිසෙ ඔය මනුස්සයට වඩා අත්දැකීම් වලිනුයි විශ්වාසවන්ත කමෙනුයි හැම එකෙන්ම ඔය පෝස්ට් එකට සුදුස්සා තමුසෙයි. කොටින්ම මේ කම්පැණි එකේ මං 100% විශ්වාස කරන එකම මනුස්සයා තමා නාමල්. අපි ඔක්කොම ඔය පෝස්ට් එකට තෝර ගත්තෙ නාමල්වයි. එදා ඒක දැනුම් දෙන දවසෙ නාමල්මයි මට කිවුවෙ ඔයාට වඩා කල්පයි ඒකට සුදුසු අනික කල්ගෙ ෆැමිලි ප්‍රොබ්ලම් වගයක් තියෙන නිසා ඉන්ක්‍රිමන්ට් ලැබෙන නිසා මේ චාන්ස් එක කල්පට දීලා බලන්න කියලා."

"හරි සර් ඒත්…"

"පොඩ්ඩක් ඉන්න නාමල් තාම ඉවර නෑ…… ඒ මනුස්සයව එතනට දැම්මා විතරයි ලොකුකම ඔලුවට ගැහුවා. ඔක්කොම උන්ට ගෑස් පෙන්නුවා. තමුසෙ ඒ යකාගෙ යහළුවා උනාට අනිත් මිනිස්සු එහෙම නෑනෙ. ඒක තමා මේ ටිකේ ප්‍රොපිට් අඩු උනේ."

"හරි සර් මං ඒ ඔක්කොම හ‍රිගස්සනම්. කල්පට තව එක චාන්ස් එකක් දෙන්න."

"වෙරි සොරි නාමල් මමයි ටොප් මැනේජ්මන්ට් එකට උත්තර දෙන්න ඕන. හරි ඒ ඔක්කොම පැත්තකට දාමු මිනිහා අද ක‍රපු වැඩේ. නෑ නෑ… නාමල් දන්නවනෙ මට කේලම් කාරයෝ පේන්න බෑ කියලා…"

"අනේ සර්… ප්ලීස් මේ වතාවට………"

ඔහුන් දෙදෙනා තවමත් කතා කරමින් සිටී. මා දැන් මගේම දෙකණින් ඇසූ දේවල් සත්‍යද? මා ඉබාගාතේ ඇවිදමින් පැමිණ ඇත්තේ ආයතනය ඉදිරිපස බුදු මැදුර ඉදිරියටය. බුදු මැදුර තුලට ගිය මට බුදුරජාණන් වහන්සේගේ පසෙකින් වැඩ සිටින දේව රූප තුලින් දුටුවේ නාමල්ගේ රුවය. මා දෙඅත නලලට ගියේ කෙසේ දැයි මා නොදනිමි.

"මට සමාවෙන්න නාමල්……
මට සමාවෙන්න දෙවියනේ…………"



© ප්‍රියා.

(පින්තූරය ගූගල් දෙවියන්ගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

01 December, 2013

අහෝ දෙවියනේ ඔබ කොහෙ ගියාදෝ…


ලිපිය ලිවීමට පෙර පලමුව කිව යුත්තේ මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණකින් නොවන අතර අප රටේ සාමාජීය දේශපාලනික පමණක් නොව ආගමික පරිහානිය පිලිබද කළකිරීමෙනි.

මා කතාවට මෙසේ එන්නම්. "අපේ ගම් පළාත වෙච්ච 'කැළණිය' කියපු ගමන් මතක් වෙන්නෙ බුදුන් වැඩිය කැළණිය පුරව‍රයයි."… මං එහෙම කියයි කියලා හිතුවද… පුහු…… ඒ ඉස්සර. දැන් මතක් වෙන්නෙ ආචාර්‍‍ය තුමාව (ඔව්..ඔව් එතුමා තමා.).

එතුමා අපේ ප්‍රදේශයට පැමිණි පසු අප පළාතේ විවිධ වෙනස්කම් සිදුවිය. ඉන් එකක් නම් දළුගම 6කණුවෙ දර්ශනීය විශ්ණු දේවාලයක් ඉදිවිය. අපගේම බදු මුදලින් ඉදිකලත් එය කරවීම පිලිබදවනම් එතුමන්ට ස්තූතී වන්ත විය යුතුය. සිදුවූ තවත් වෙනසක් නම් කැළණිය ප්‍රදේශයෙන් ගව ඝාතනය නවතා දැමීමය. එතුමන්ට අනුව ගව ඝාතනය 'මාරම' පවකි. කොහොමත් සත්ව වේවා මිනිස් වේවා ඝාතනය යනු පවකි. එහි කිසිම තර්කයක් තිබිය නොහැක.

එසේම ගවයා යනු විශාල සතෙකු නිසාත් කකුල් හතරක්ම ඇති සතකු නිසාත් ගවයා මැ‍රීම යනු පණ පිටින් අපාගත වන පාප කර්මයකි.

කුකුලා කුඩා සතෙකු නිසාත් එළුවා සහ ඌරාට කකුල් 4ක් තිබුනාට ශරීරයෙන් ගවයාට වඩා කුඩා නිසාත් හාල්මැස්සන් ඇතුලු සියළුම් මත්සයින්ට එකදු පාදයක් හෝ නොමැති නිසාත් ඒ කවර සතකු ඝාතනය කලත් කම් නැත. කොටින්ම කකුල් දෙකක් පමණක් ඇති නිසා මිනිසෙකු ඝාතනය කලද කකුල් හතරේ ගවයෙකු ඝාතනය කිරීම තරම් පවක් නොවනු ඇත. එයට හොදම උදාහරණය එකදු ගවයෙක් හෝ ඝාතනය නොවන සිල් සුවද දස අතේ විසිරෙන පුන්‍ය භූමියේ 'හසිත මඩවල' ඝාතනය වීමය. එය ගනන් ගත යුතු තරම් පවක් නොවේ.

මෙම ලිපියේ අරමුණ ගව ඝාතනය පිලිබද කතා කිරීම නොවන නිසාත් එය ගැඹුරින් වෙනම සාකච්චා කලයුතු කරුණක් නිසාත් ඒ පිලිබදව කතා බහා එතනින් නවතා දමමි.

මෙම ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණට එන්නේ නම් ආචාර්‍යය තුමා භක්තිය උතුරා යමින් සැදු ශ්‍රී උපුල්වන් විශ්ණු දේවාලයට මීටර් 100ක් වත් නැති තරම් ආසන්නයේ නුවර පාර අයිනේම මදි අඩුපාඩුවට 'බියර් ශොප්' එකක්ද විවෘත විය.

එය බලපත්‍ර සහිතව පවත්වාගෙන යන්නක් බව සත්‍යකි. නමුත් පලමු සිල් පදය කැඩෙන නිසා කැළණිය හතර සීමාව තුල ගව ඝාතනයට බලපත් නොදෙන පිරිසම පස්වන සිල් පදය කැඩීමට බා‍ර් විවෘත කිරීමට බලපත්‍ර දෙන්නේ තම තමන්ම ගොඩනැගූ පුන්‍ය භූමි වලට වලට මීටර සියයක් වත් නොමැති දුරිනි. මේ සියල්ල බලා සිටින්නන්ට හිනා යන්නේ කටින් පමණක්නම් විය නොහැක.

මා දන්නා නීතිය පරිදි 'ප්‍රසිද්ධියේ' දුම්බීම හෝ මත්පැන් පානය දඩුවම් ලැබිය හැකි වරදකි. සාමන්‍ය පුද්ගලයෙකු කාටත් කරදරයක් නොමැති තැනක 'අප්‍රසිද්ධියේ' තොල කට ගෑවත් එය පොලීසියට ලොකු 'කේස්' එකකි. මෑතකදි එවන් අත්දැකීමක් තමා 'නොබී' තම මිතුරන් පිරිසක් බොන ස්ථානයක සිටි 'රජ වීදිය' බ්ලොග් අඩවිය ලියන රජ වීදියද ලබා තිබුනි. [ රජ වීදියෙ අත්දැකීම (මෙතනින්) කියවන්න. ]. එය මා ඔබ වැනි සාමාන්‍ය පුද්ගලයින්ට බලපාන නීතියයි. ලොකු ලොක්කන්ගේ ආශිර්වාද සහිතව පවත්වාගෙන යන බාර් වලට එම නීති වලංගු නැත.

එයට ඉහත කියූ බාර් එක හොද නිදසුනකි. එහි පාරිභෝගිකයින් බියර් පානය කරන්නේ ලංකාවේ ප්‍රධානම පාර (A 01) වන නුවර-කොළඹ පාරේ යන දහසකුත් ජනතාවට අතවනන ගමන්ය. ඒ බොහෝ විට බියර් බෝතලය කටේ තබාගෙනමය. එපමණක් ඇතමෙක් බියර් සැර මදි නිසා තවත් මීටර 500ක් වත් දුර නැති ෆුඩ් සිටියේ බාර් එකෙන් සැරබීමද ගෙනවිත් පානය ක‍රන්නේ විශ්ණු දෙවියන්ගේ මුහුණ වුවද පෙනෙන තරම් ලගින් පිහිටි දේවාල භූමියටම අයත් නුවර පාරටද පෙනෙන විවෘත ස්ථානයකය.

ඒ බොන පුද්ගලයින් 'බයිට්' එකට පූජා භූමියට ගෙනෙන්නේ ඇතම් විට හරක් මස්ම විය හැක. කිමද ඝාතනය හා විකිණීම තහනම් වූවාට මෙහි අනුභවය තහනම් නොමැති නිසාවෙනි.

පෞද්ගලිකව මා මත්පැනට හා දුම්වැටියට විරුද්ධ අයෙකි. මා ඒ කිසිවක් භාවිතා නොකරන මුත් වෙනත් අය තමන්ගේ පාඩුවේ සෙට් වී පොඩි සොට් එකක් දමා ෆන් එකක් ගන්නේ නම් එයට උදැල්ල දැමීමට තරම් මට මානසික ආබාධයක් නැත. (යහළුවන් සෙට් වෙන තැන සෙට් වී 'නොබී' බයිට් එකට වග කියන ජාති‍යෙ බුවෙක් තමා මාත්.). නමුත් මේ ස්ථානයේ සිටින බේබද්දන්ගෙන් පූජා භූමියට පැමිණෙන සහ අවට මාර්ගයෙ ගමන් ගන්නා පිරිස් වලට හිරිහැර සිදුවීම නම් ඉවසාගත නොහැක.

මේ විනාශ වන්නේ අප ගමය, අප රටය. "නීතිය සැමට සමානයි" යන්න යල් පැන ගිය කියමනකි. නීතිය ඕනෑ ප්‍රමාණයටත් වඩා තදින් ක්‍රියාත්මක වන්නේ මා ඔබ වැනි සාමාන්‍ය මිනිසුන් කෙරේ පමණි. ලොකු ලොක්කන්ට අදාල නීති ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ වන්නේ පොලිසියේ වත්මන් තේමාව "උස් තැන් දැක හැකිලෙන්නෙ… මිටි තැන් දැක පුප්පන්නේ…" වන නිසාය. පෞද්ගලිකව මා පවා එක් වරක් '119' අමතා පැමිණිලි කර මේ ස්ථානයට පොලිසිය ගෙන්වා ඇතිමුත් නීතිය ක්‍රියාත්මක වීමක් තබා වැ‍රදිකරුවන්ට අවවාද කි‍රීමක්වත් ඒ එන 'ඇවිදින පොල්පිති' වලින් සිදු වන්නේ නැත.

තත්වය මෙසේ තිබියදී පසුගිය නොවැම්බර් 18 දිනට යෙදුන අප කීර්තිමත් ශ්‍රී රාජෝත්තමයානන් වහන්සේගේ (ඔව්.. ඔව්.. මහ රජතුමා තමා) උපන් දිනයට එතුමා විශ්ණු දෙවියන් බැහැදැකීමට පැමිණි අතර එතුමාට නිදහසේ වන්දනා උදෙසා එදින නම් අදාල බාර් එක වසා දමා තිබුනි. මට ඇති ප්‍රධානම ගැටලුව 'මහ රජානන් වහන්සේට වන්දනා මාන කිරීමට බාධාවක් වූ බාර් එක සාමාන්‍ය ජනතාවට බාධාවක් නොවන්නේ කෙසේද? යන්නය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ නීතිය ක්‍රියාත්මක වනවානම් සැමට සමානව ක්‍රියාත්මක විය යුතුය. එයට ඇති නැති බලවත් දුබල ලෙස භේද තිබිය නොහැක. නමුත් අප රටේ පිරිහෙන සාමාජීය දේශපාලනික වටපිටාව තුල සිදු වන්නේම එයයි. ඉතාම දුඛ්කදායක කරුණ නම් ඒ ජරාජීර්ණ තත්වය ආගමික පරිසරය තුලටද කා වැදෙමින් පැවතීමයි.


ප. ලි. ~~~~

කාලය ශ්‍රමය පමණක් නොව මුදල්ද(දත්ත) වැය කරමින් මෙවන් ලිපියක් ලීවේ ගව ඝාතනය නැවැත්වීමට විරෝධය පල කිරීමටවත් මත්පැන් පානයට විරෝධය පල කිරීමටවත් නොව හුදෙක් "නීතිය සාදාරණත්වය රජයන හෙටක් බලාපොරොත්තුවෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන්" පමණි.

නමුත් මෙය පලවීමෙන් පසු මාගේ කිසිදු ප්‍රථිචාරයක් නොමැති වුවහොත් මා විශ්ණු දෙවියන්ගේ දේව උදහසට කෙසේ වෙතත් මහ රජතුමාගේ හෝ ප්‍රාදේශීය රජෙකුගේ රාජ උදහසට ලක්වී සුදු පැහැති දෝලාවක විනෝද චාරිකාවක් ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


© ප්‍රියා.