19 June, 2014

සුහදානනේ… සුබ සාමයේ… තීරකයා ඔබම තමයි……


"ඉගෙන ගන්ට අපි යන මේ පංතියට……
යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට……
කට් පාරක් දැමුමට අද ක්ලෑසියට……
පිංවත ඔබේ අදහස් මට පවසන්න……"
"ආ…ආ… පිස්සු නම් කෙළින්න එපා සුමියා, ගිය සතියෙ ගියෙත් නෑ. යමන් යකෝ ක්ලාස්…"
"සුමියා කියන්නත් වගේ මටත් අද කම්මැලී කම්මැලී වගේ බං…"
"තොපි දෙන්නටම පිස්සුද යකුනේ… මෙන්න මෙහෙ වර…"
"ඔය කිවුවට ECON කියත්දි මටත් ඇලජික් කියලා උඹලා දන්නවනෙ, ඒත් ගිය සතියෙත් නොගි‍ය එකේ අද යමන්ලා…"
එකම පාසල සිසු පිරිසක් වූ අප හතර පස් දෙනා කිරිබත්ගොඩ පෞද්ගලික පංති පැවත්වෙන ගොඩනැගිල්ලට යන අතර වූ වාදයට තිත තැබුනේ සියළු දෙනා පංති යාමට එකඟ වීමත් සමඟය.

"හප්පට ඩෙඟ… කළු සුමනව බල්ලො කන්ඩ. යකෝ මම පංති කාඩ් ගත්තෙ නෑ. ගිය සතියෙ පංති සල්ලිත් වියදම්…"
"තෝ වෙනුරයා මොකක් හරි *ත්තක් කියලා කට් එක දාන්න නේ හදන්නෙ… වර චිට් එකක් ගමු කාඩ් එක ගෙනාවෙ නෑ කියලා…"
"අද මොලේ ඇලේ දාලද ආවෙ ගොනෝ… නොගත්ත කාඩ් එක ගෙදර කියලා චිට් ගන්නෙ කොහොමද?"
"තොගේ එක නෙමේ මගේ එක ගෙනාවෙ නෑ කියලා චිට් එක අරන් මම ඒකෙන් යන්නම්. ඉදා උඹ මගෙ කාඩ් එකෙන් වර…"
මත ගැටුම් හැළහැප්පීම් මැද අතක් පයක් නොකඩාගෙන තවත් විනාඩි කිහිපයකින් අපි ආර්ථික විද්‍යාව පංතියේ අපිට සුපුරුදු දෙවනි පේළියේ… එනම් පංතිය මුල සිට බැලූ විට අවසන් පේළියට පෙර අසුනට වැටුනේ සුපුරුදු වල්පල් මැදමය…

"අඩෝ උඹලා දන්නවද වැඩක්… අර අරූ බං… ලොයිඩා……"
"ඇයි ඌ ගෙට වෙලාද…?"
"නෑ ඌ බඩ වෙලා…… අහපියලකො… මෑනුත් ආමි එකට ගිහින්ලු බං…" ඒ සුමිත්ගේ ගොරහැඬි හඬය.

"බොට කියලා තියෙනවා නේද නයි අරිත්දි පෙර දැනුම් දෙන්න කියලා අපිට කකුල් උස්සගන්න…"
"බොරු නෙමේ යකුනේ සිරාවටම… ඇයි ඌ එක පාරක් අපි එක්කත් කිව්වෙ… අනික ඌ අපෙගෙවල් හරියෙනෙ. ට්‍රේනිං ඉවර වෙලා ඩියුටිත් දාලා. ඊයෙ මට හම්බ උනේ නිවාඩු ඇවිත් ඉත්දි…"
"කොහෙද ඩියුටි…?"
"දැන් ඉතිං ගන්න ඔක්කොම යවනවා ඇත්තෙ ගේමටනෙ බං…"
"පිස්සුද බං… ඔය වගේ උන්ව ගනීද යුද්ධ කරන්න.… මූව ගන්න ඇති යුද්ධෙ කරන කොල්ලන්ට තේ හදන්න…"

විදුරගෙ හඬ පිට වූයේ අප සැම සිනහ සයුරක ගිල්වමිනි… ඒ හඬ අවසන් වීමට පෙර ගුරුවරයා පැමිණි හෙයින් ඒ කතාබහා එතකින් අවසන් උවද ආර්ථික විද්‍යාව කියනා විටම ඇඟේ අසාත්මිකතාවක් හට ගන්නා මාගේ සිතුවිලි දැහැනට නම් එය බාදාවක් නොවීය…

ලොයිඩ් යනු අප පාසලේම අප වයසේම අපේ පංති වලම සිටි ශිෂ්‍යෙයෙකි. කුඩා කල මාද සබකෝලයෙන් පිරි, අමුතු හිපාටු චරිතයක් උවද දහය වසරෙන් පසු ඒ සියල්ල වෙනස් වූ මුත් ඒ චරිත ලක්ෂණ වලින්ම හෙබි ලොයිඩ් නම් උපන්ගෙයි සිටම ගෙන ආ කොන් වීමට තිබූ ආශාවත් සමඟම වැඩෙන්නට විය.

ඇතම් අවස්ථා වල අප කරන වැරදි වලට පවා ඔහු දඬුවම් වින්දේ බලෙන්මය. ඒ ඉගෙනීමට තිබූ අකමැත්ත මත පංතියෙන් එළියට වී සීටීමට තිබූ උවමනාව නිසාය. ඇතම් විටක ගුරුවරිය පංතියට ඒමට පෙර රටහුණු කැබැල්ල කුඩු කර ගුරු පුටුවෙ අතුරා තැබීම, කොහෙන් හෝ ඔසවාගෙන පැමිණි හිස් මල් පෝච්චියක් ගුරු පුටුව යටින් තැබීම වැනි වැඩද ඔහු අතින් සිදු විය. කෙසේ උවද අපට සිංහල හා බුදුදහම ඉගැන්වූ හාමුදුරුවන් හැර අන් බොහෝ ගුරුවරු ඔහු හදුනාගෙන සිටියේ දඬබ්බරයෙකු ලෙස පමණි.

කෙසේ හෝ අවසානයේ සියළු දෙනා සාමාන්‍ය පෙළ ලියූ අතර ඇතමෙක් උසස් පෙළට ගණිතය හෝ විද්‍යා විශය ධාරාවන් තෝරාගෙන වෙනත් පාසල් වලට ගිය අතර, වාණිජ්‍ය තෝරා ගත් අපත් කලාව තෝරා ගත් පිරිසත්, තවත් අවට පාසල් කිහිපයකින් පැමිණි සිසු පිරිස සමඟ තනි කරමින් කිහිප දෙනකු සාමාන්‍ය පෙළ අසමත් වී තිබුනි. අවාසනාවට ලොයිඩ් සිටියේද අවසන් ගොඩේය.

විභාගයෙන් පසු මුලින්ම අප හට ලොයිඩ්ව මුණගැසුනේ උසස් පෙළ අරඹා ටික කලකිනි.

"ආ… ඩෝ… ලොයිඩා… කොහෙද මේ…?"
"පොඩි ගමනක් ගියා බං…"
"දැන් මොකෝ කරන්නෙ…?"
"මම දහ අට සම්පූර්ණ උන ගමන ආමි එකට යන්නයි ඉන්නෙ…"
"නෑ… හප්පට සිරි වෙනවා… හරි හරි ඕන එකක්. පරිස්සමෙන්.… මේ අපිට පරක්කු උනා… එහෙනම් අපි ගියාවෙ ඈ…"

"ඕකගෙ කෙප්ප බං.… ඔහොම චාටර් යක්කු හමුදාවලට ගන්නවද බං… මූව යවන්න ඕන ඉතියෝපියාවට"
"එහෙම්ම කියන්නත් එපා බං.… මොක උනත් මෑන් හිත හොද එකා…"…………………………………………………………

"යකෝ… තෝ සර්ගෙ මූණ බලාගෙන පිළිකුල් භාවනාව වඩනවද……?? මනෝ ගහලා ඉන්නැතිව නෝට් ටික ලියා ගනින්……" ඉබාගාතෙ දිවූ සිතුවිලි වලට සීමා වැටුනෙ කණ ළගම ඇසුන වෙනුරගේ කෙඳිරිලි හඬිනි.……………

තවත් මාස කිහිපයක් ගෙවී යනු නොදැනුනේ විභාගය නිසාවෙන් දිවා රෑ නොබලා මහන්සි වූ නිසා නම් නොව සුපුරුදු කෙළිලොල් දිවිපෙවතම ගෙවූ අපට දිවා රෑ ගෙවී යාම නොදැනුනු නිසාය.……

සෑම වර්ශයක මෙන්ම අපද විභාගයට ආසන්න වෙත්දී පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර දැමුවේ විභාගයට පාඩම් කිරීම අරමුණු කරගෙන උවද ජීවිත පාඩම් ලබා ගත්තා මිස පොත පත පාඩමක් නම් නොවූ තරම්ය.

"කෝ බං මේ හිපාටුවා… තාම නෑනෙ?"
"මුගෙ ෆෝන් එකත් ඕෆ් බං… රෙද්ද…"
විභාගය පෙනි පෙනිත් නොනැවතුන අපගේ රස්තියාදුව නිසාම රාගම තේවත්තට යාමට සිටි ගමන කැළණිය දුම්රියපලේ ප්‍රමාද වූයේ සුමිත්ගේ සුපුරුදු ප්‍රමාදය හේතුවෙනි.…

"ආ අර එන්නෙ… අස්සයා විකුණපු කව්බෝයි වගේ දුවගෙන…"
"මොකක්ද මීමො, තෝ කරන්නෙ… ෆෝන් එකත් ඕෆ් කරගෙන"
"ඒ රෙද්ද බැට්රි බැහැලා බං… මේ වරෙල්ලා පොඩි ගමනක් යන්න… හදීසියක්…"
"හදීසියක්!!! ඇයි උඹට බොගක් සෙට් වෙලාද… *ත්තො ස්ටේෂමෙ ටොයිලට් පිරිසිදු නෑ. කරගන්න මඟුලක් ගෙදරින් කරන් එන්න එපෑ…"
"උඹලට ආරංචි නැත්ද බං…??"
"මොකක්ද…?? බොට බොගක් සෙට් වෙලා කියලද? හි… හි…"
"බං මේ ලොයිඩ්… නැතිවෙලා බං…!!!!!!"

වනවාසල දෙස සිට කොටුව බලා ඇදෙන දුම්‍‍රියේ නළා හඬත් සමඟම කණ වැකුණු ආරංචිය එක්වරම භාර ගැනීමට තරම් අප කාගේවත් සිත් නැමුනේ නැත. යාමට පැමිණි ගමන දුම්‍‍රිය පලේම දමා පට්ටිය හංදියෙන් හැරී යා යුතු ලොයිඩ්ලාගේ නිවස කරා දිව ගියේ ඒ ආරංචිය කාගේ හෝ විහිළුවක් වේවායි පතමිනි.…… නමුදු ඒ පැතුම ඉටුනොවනා බවට පළමු සාධකය දුන්නේ ලොයිඩ්ගේ නිවසට හැරෙන අතුරු පාරේ ඉහල ලෙල දෙමින් තිබූ සුදු පැහැ කොඩි කිහිපයය………


නිවසට ලං වන විට ඇස හතර වටේ දිව ගියේ යුධ හමුදාවේ බැනරයන් මතය… ඉදිරිපස දොරෙන් ඇතුලු වූ අප දුටුවේ මිනීපෙට්ටියකි. ගෙවුනු තත්පර කිහිපයකින් පසු අප ඒ පෙට්ටිය වටාය…

එකල හිපාටුවෙක් ලෙස හංවඬු ගැසී සිටි අපිළිවෙල ලොයිඩා එහි නැත. ඒ වෙනුවට නිවසෙ සාලය මැද මිනි පෙට්ටියක නිදන්නේ නිළ ඇඳුමක් හැඳගත් ගාම්බීර පෙනුමැති සොල්දාදුවෙකි.… අප නිදහසේ විනෝද වන විට, අධ්‍යාපනය ලබන විට ඒ වෙනුවෙන් අපේම වයසේ කොල්ලන්ද ඇතුලුව දහස් ගණනක් දිවි කැප කොට ඇත.

'වගකීමක් නැති එකා… , මහ පොළවටත් බරක් උන එකා' ලෙස නම් ලැබූ ඔහුට ඒ නම් පැළදූ ඇතම් ගුරුවරියන්, ගුරුවරුන් පවා පැමිණ ගරු බුහුමන් දක්වා යනු දුටු විට. එපමණක් නොව ඔහු ලද හමුදා උත්තමාචාරයන් දුටු විට දැනුනේ අමුතුම හැඟීමකි. අප අතරම සිටි ඔහුව අපි හදුනා නොගත්තාට ඔහු දැන් රටටම විරුවෙකි.

ජීවිත ගඟ ඉදිරියටම ගලයි.… ගෙවෙනා හැම තත්පරයක්ම ජීවිතයේ ඉදිරි ගමනට අත්දැකීමකි… ඔහුගේ මරණයද අප ලැබූ දුක්ඛිත අත්දැකීමකි… එයින් අප මිල කල නොහැකි ජීවිත පාඩමක් උගත්තෙමු.…

ලොයිඩ් කසුන් සංජීව මිතුර… ඔබට නිවන් සුව පතමි.……!!!!!

ප. ලි. ~ හදීසියෙම මේ අත්දැකීම අකුරු උනේ පීරෙගෙ මේ පෝස්ටුව නිසයි.

ප. ප. ලි. ~ මා සිතනා පරිදි අවුරුදු ගණනාවක යුද්ධයක් අවසානයේ අසා බැලුවොත් බොහෝ අයට තමන්ගෙ ඥාතියෙක්, මිතුරෙක්, හිතවතෙක් කුරිරු යුද්ධය නිසා අහිමි උනා. ආයෙත් පාරක් යුද්ධයක් අපිට අවශ්‍යද????

සැ. යු. ~ අපි යනුවෙන් ආමන්ත්‍රණය කෙරුවේ සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා තවත් ජන කොටස් වේවා සියළුම ආකාරයේ මනුස්ස ජාතියටයි.

© ප්‍රියා.
** 18/06/2014

(පින්තූරයට ස්තූතිය……
https://www.flickr.com)

09 June, 2014

මම නම් පාවිච්චියක් නෑ.……


සමහරක් මිනිස්සු සමහරක් අවස්ථා වල හැසිරෙන විදිහ දැක්කම ඇත්තෙන්ම ඇතිවෙන්නෙ නිකම් මූට පිස්සුද නැත්නම් වෙන කාට හරි පිස්සුද වගේ පිස්සු හැඟීමක්… කොටින්ම සමහරක් හිතන්නෙ බස් රථ වල දුම්‍‍රිය වල මුදල් දීලා හරි විදිහට යන්නෙ තමුන් විතරයි කියලා. අනිත් ඔක්කොම යන්නෙ උගේ සල්ලි වලින් පිනට කියලා.… ඕවා මේවා කල්පනා කරන්න ගියොත් අපිටත් පිස්ස්සු හැදෙන්න පුළුවන් නිසා කෙලින්ම එමුකො අද සිතුවිල්ලට.

මේක උනේ ගිය බ්‍රහස්පතින්දා. ප්‍රියා සුපුරුදු ලෙස වැඩට යන්න ආවා පාරට. සාමාන්‍යයෙන් ඉතිං උදේ හතත් නමයත් අතර කොළඹට එන බස් එකක වාඩි වෙලා යනවා කියන්නෙ කාලාන්තරයක් පෙරුම්පුරලා පුරලා අන්තිමේ රුපියල් 500ක ලොත‍රයියක් ඇදුනා වගේ තමයි. හැබැයි ඉතිං ඔය ලොතරයිය එදා මට ඇදුනා……

ඒ බස් එකට නැවතුමෙන් එවලෙ නැඟපු එකම මඟියා එකම මඟියා උනෙත් මම. ඉදිරි දොරෙන් නැඟලා බස් රිය පුරා එක බැල්මක් දාපු මගේ ඇහැට අහු උනේ බස් රියේ වම්පස මැදට වෙන්න අවුරුදු හතලිහකට ආසන්න යැයිකිව හැකි කෙට්ටු පොඩි නපුරු පෙනුමක් තියෙන, හිනාවක් අවුරුදු ගානකින් නොදැකපු මනුස්සයෙක් ජනේලය අසල නොව අනෙක් පස වාඩි වී සිටින අයුරුයි. ඔහුගේ වම් පස ජනේලය අයිනෙ ආසනය හිස්… මාත් එතනට ඇවිත් වාඩි වෙන්න බැලුවට මිනිහගෙ නෑ කිසිම ප්‍රතිචාරයක්.…

බලන් ඉදලා බැරිම තැන "පොඩ්ඩක් වාඩි වෙන්න ඉඩ දෙනවද?" කියලා ඇහුවම නම් ගස්සලා පපුව ඉස්සරහට දාලා උරහිස ඉස්සුවට කකුල් දෙක හෙල්ලුවෙ වත් නෑ.… හරියට කෙල්ලෙක්ගෙන් 'පොඩ්ඩක් ඔයාගෙ උකුළෙන් වාඩි වෙන්නද?' කියලා ඇහැවුවා වගේ.… :) කොහොමින් කොහොම හරි ප්‍රියත් ඔතනින් වාඩි උනා කියමුකො.… අනේ ඉතිං පොඩ්ඩ දුරයි යන්න ලැබුනෙ, මේ මනුස්සයා එන්න එන්න මගේ පැත්තට බර වෙවී මාව ජනේලෙ පැත්තට හිර කරනවා. ටික දුරක් ගිහින් බලත්දි මට හේත්තු වෙන්නත් නැතිව මම ඉන්නෙ දණිස් දෙක උඩ වැළමිට තියාගෙන වකුටු වෙලා.… මටම දුකයි මම ගැන.…

ඔන්න ඉතිං බලන් ඉදලා බැරිම තැන ප්‍රියත් ප්‍රියාගෙ සික්ස් පැක් එක පොඩ්ඩක් විතර පිම්ඹුවා… :o හරි හරි බොලවු අපිට කොහෙන්ද සික්ස් පැක්. ඒත් ඉතිං මාත් අහිංසක විදිහට අඩි හයයි අඟල් හතරක් උස මගේ ඇඟේ හයිය පෝඩ්ඩක් පෙන්නලා ටික දුරක් නිදහසේ ගියා.

ටික දුරකින් බැලින්නම් අර මනුස්සයා ආයෙම මගෙ කරේ. මේ පාර කලින් වතාවටත් වඩා මිනිහගෙ ප්‍රහාරය දැඩි කරලා. මාව තල්ලු කරන් තද කරන ගමන් සැරෙන් සැරේ මගෙ දිහා රවලා බලනවත් මම දැක්කා.… මම නම් හිතන්නෙම මේ මගෙ ආත්මයක් පාසා පතාගෙන ආපු වෛරක්කාරයෙක්. නැත්නම් මේ මනුස්සයට වෙන මොනවා හරි පිස්සුවක් තියෙනවා.… අනේ ඒත් ඉතිං මෙහෙම ස්ටිකරේ වගේ බස් එකක ජනේලෙ ඇලිලා ඉන්න එකේ සීමාවකුත් තියෙන්න එපෑ…

මම හිමීට රබර් ඇහැ දාලා බැලුවා, මගේ ශරීර කූඩුව නිසා මිනිහටත් සීට් එකේ ඉඩ මදි වෙලාද මෙච්චර දත කන්නෙ කියලා… අනේ ඒත් මම දැක්කා මේ මනුස්සයා මගේ ඇඟේ නැඟ ගෙන ඉන්න තරම කොච්චරක්ද කියනවා නම් දෙයියනේ කියලා එහා පැත්තෙ තව අඟල් ගානක්ම ඉතුරුයි.… ඒ දර්ශණය දැකපු ගමන් මටත් මේ මනුස්සයව පණපිටින් මරලා වළදන්න තරම් පුණ්‍යවන්ත හිතක් පහල උනත් මේ උදේ පාන්දරම වළියක් දාගෙන දවසම නසරානි කරගන්න තිබ්බ අකමැත්ත නිසාම පෝඩ්ඩක් විතර කල්පනා කරලා චූට්ටක් විතර අර මනුස්සයගෙ කණට කරලා ඉතාම සුහද ලීලාවෙන් පොඩීත්තන් වචන ටිකක් අත හැරියා.

මම කියපු දේ තේරුම් ගන්න බැරිව ටික වෙලාවක් කල්පනා කර කර හිටපු මිනිහගෙ ටියුබ් ලයිට් එක පෝඩ්ඩක් ගැහිලා එක පාරටම පත්තු වෙලා මගේ බස් ගමන ඒකාලෝක උනා……

ඒ කිවුවෙ මිනිහා හැරෙන තැපෑලෙන් සීට් එකේ තමන්ට නියමිත තැනට ගියේ විදුලි වේගෙන්.… ඊට පස්සෙ නම් බස් එකෙන් බහිනකල්ම දෙන්නා කිසිම අපහසුතාවයකින් තොරව වාඩි වෙලා හිටියත් අර මනුස්සයා නෙමේ ඔළුව උස්සලා වත් බැලුවේ… කොටින්ම බස් එකෙන් බැහැලා මිනිහා දිව්වෙත් තරඟෙකට වගේ.……


නෑ… නෑ… බොලවු. මම ඒ මනුස්ස පරාණෙට කුණුහබ්බෙන් නෙමේ බැන්නෙ… අනික අපි ඒවා දන්නෙත් නෑ නොවෑ… මම කිව්වෙ… "මගෙ ඇඟේ නැගගෙන ඔච්චර ට්‍රයි කලාට වැඩක් වෙන්නෑ.. මම කොල්ලො පාවිච්චි කරන් නෑ…!!!!!" කියලා විතරමයි ඕන්…………

:D :D :D

© ප්‍රියා.
**08/06/2014

(පින්තූරයට ස්තූතිය……
http://www.funnyjunk.com)

01 June, 2014

නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……



කඳුලු පිරී තෙරපෙන මගේ දෙනෙතට පෙනෙන ඒ බොඳ උන රුව ඇගේම දැයි හදුනාගැනීමට මට අපහසු නැත. මා රැවටුනාට මාගේ දෙනෙත රැවටී නැත. ඒ ඇයමය. මා පණසේ ආදරය කල ඇයමය, මා දෑසසේ ආරක්ෂා කල ඇයමය. මාගේ දෙනෙත රැවටී නැත නමුත් මා රැවටී ඇති බව මා දනිමි.

ඈත අනුරාධපුරයේ ඉපදි හැදීවැඩෙන මා කොළඹට පා තබන්නේ මෙයට වසර පහකට පමණ පෙරය. ඒද බියගම වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවක් සොයාය.

"සුමිත්ගෙ වැඩ හොදයි කියලා මං බොස්ටත් කියලා තියෙන්නෙ. ඔහොම වැඩ කරන් ඉන්න. ඔයාට දියුණු වෙන්න පුලුවන්."

සහයකයකු ලෙස එක්වූ මා ක්‍රමයෙන් ලයින් ලීඩර් ලෙසත් පසුව වැඩ පරික්ෂකයකු ලෙසත් උසස් වීම් ලැබුවෙ මා තුල රැකියාව පිලිබඳ වූ උනන්දුව නිසාද මාගෙ හැකියාව නිසාද එසේත් නොමැතිනම් මාගේ අසරණ දෙමාපියන්ගේ වාසනා මහිමය නිසාදැයි මා අදටත් නොදනිමි.

උසස් වීම් වලට සමගාමීව ඉහල යන මාගේ වැටුපෙන් සෑහෙන්න කොටසක් වෙන් වූයෙ මාගෙ දුප්පත් දෙමාපියන් වෙනුවෙනි. මා මාගේ දෙමාපියන්ට එතරම්ම ආදරය කලෙමි. ඒ ආදරය බෙදාදීමට කෙනෙකු මට ඒ දිනය වනතෙක් මෙලොව සිටියෙ නැත. නමුත් එදිනෙන් පසු…………………

"ආ මෙන්න සුමිත්ගෙ ටීම් එකට අලුත් ළමයෙක්… නම කාව්‍යා… සුමේධාගෙ ලයින් එකට දාන්න හෙල්පර් කෙනෙක් විදියට. කලින් වැඩ නම් කරලා නෑ…"

"හරි මිස්… අපි හදලා ගමු…"

"මොකක්ද නංඟි නම කිවුවෙ?"

"සර්, මම කාව්‍යා…"

"මට සර් කියන්න එපා ළමයො මාත් ඔයාලා වගෙ හෙල්පර් තමා ආවෙ… මට සුමිත් කියන්න ඒ ඇති…"

ම්ම්ම් ඒ දිනය අදටත් මගේ මතකයේ ඉහලම ස්ථානයක තැන්පත්ව ඇත්තේ මාගෙ දිවියම වෙනස් කල දිනය එදින වන බැවිනි. නිතඹෙන් පහලට වැටුන දිගු වරලස තනි කරලට ගොතා, චීත්ත ගවුමක් ඇඳ සිටි ඇය මා දුටුවේ මා වෙනුවෙන්ම ඉපදුන එකියක ලෙසිනි.

මෘදු සිනහවෙන් කෝල කතාවෙන් දිනෙන් දින මා සිත් ගත් ඇය අවසානයෙ මගෙ අදරවන්තිය වූයේ මාගේ බලාපොරොත්තුවේ පහන් දල්වමිනි.

මා ගෙවමින් තිබූ සරල සැහැල්ලු ජීවිතය කෙමෙන් වෙනස් වෙමින් පුහු ආඨෝපයෙන් පිරි දිවියකට මා කෙමෙන් හැඩ ගැහෙමින් සිටියේ ඇගේ වුවමනාවටය.

කෙමෙන් කෙමෙන් ඈ තුල සිටි මල් මල් චීත්ත ගවුම් ඇදි අහිංසකාවිය පලාගොස් ඇත. ඒ තනිවම නොව වයසක දෙමාපියන්ට සලකමින් අහිංසක දිවි පෙවතක් ගෙවූ සුමිත් නම් මාගේ සැහැල්ලුවද රැගෙනය. නමුත් මට ඇයව අතහැර දැමීමටද නොහැක. මා එතරම්ම ඇයට බැඳී ඇත.

ඇය වැනිම තවත් කෙල්ලන් දෙදෙනකු සමග බෙදාගන්නා ඇගේ බෝඩිම් ගාස්තුවේ සිට ඇයගේ සියලු වියදම් පමණක් නොව ඇගේ දෙමාපියන්ට සහා අධ්‍යාපනය හදාරන සහෝදරයාට යන වියදම පවා පියවී ගියෙ මගෙ පඩි පතෙනි. එයට මා එතෙක් ආදරයෙන් බලාගත් දෙමාපියන්ගෙ කෑමට තිබූ මුදල් පවා අඩු වීම මට කොතෙක්ම ගැටළුවක් වූයේ නැත.

මා එතරම්ම ඇයට ආදරය කලෙමි. ඇය මාගේ පණ වීමට එතරම් කලක් ගත වූයේ නැත.

"මොනවද සුමිත් මේ වෙන්නෙ, බලන්න මේ පාරත් ඔයාගෙ ටීම් එකේ ප්‍රඩක්ෂන් අඩුයි. මේ පිට පිට දෙවනි වතාව. ටාගට් වත් කවර් කරගන්න බැරිනම් සුපවයිසර් කමෙන් වැඩක් නෑනෙ… අනික ඔයාලගෙ පෞද්ගලික සම්බන්ධකම් පිට තියා ගන්න. ඒවා මෙතනට ගෙනත් වැඩ පාඩුකරගන්න එපා…"

"සොරි මිස්… ආයෙ එහෙම වෙන්නෙ නෑ. මම බලා ගන්නම්…"

"එහෙම කියලා බැහැනෙ සුමිත්, මේ දෙවනි වතාව බොස්ලා මගෙනුයි අහන්නෙ. මම මේක ඇතුලෙ වෙන ඔක්කොම දන්නවා. මට කරන්න දෙයක් නෑ… කාව්‍යා ඔයා යන්න රුවන්ගෙ ටීම් එකට, රුවන්ගෙන් චන්ද්‍රලතාව දාන්නම් සුමිත්ගෙ ටීම් එකට."

මා එතෙක් උනන්දුවෙන් කල රැකියාවෙන්ද මා පසු බැස්සේ ඇය නිසාය. එදිනනම් මට දැනුනේ සියල්ලන් ඉදිරියේ මා නිරුවත් වූවා වැනි හැඟීමකි. එයටත් වඩා දුක කාව්‍යා මගෙ කණ්ඩායමෙන් වෙන් වීමය.

"මම සුමිත් අයියව හම්බ වෙන්නමයි හිටියෙ… මේක කොහොම කියන්නද මට තේරෙන්නෑ…"

"කියන්න උත්පලා, මොකක්ද ප්‍රශ්ණෙ…?"

"මම කියන දේ අහලා දුක් වෙන්න එපා, මං ගැන වැරදියට හිතන්නත් එපා!"

"හරි… හරි කියන්නකො."

"සුමිත් අයියා පොඩ්ඩක් හොයලා බලන්න කාව්‍යා ගැන…… අපිට දැන් එයාගෙ පොඩි වෙනසක් තේරෙනවා…"

"ඒ කිවුවේ……!!!"

"මේ…කයි…… කාව්‍යා රුවන් සර් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. පොඩ්ඩක් හොයලා බලන්න…"

"හ්ම්… ආ… හරි… හරි උත්පලා… මම බලන්නම්…"


කාව්‍යාගේ කාමරය බෙදාගත් මිතුරියකගේ පණිවිඩය හමුවේ මා කාව්‍යා සමග සැදූ සිහින මාලිගය බිඳ නොවැටුනේ මා එතරම්ම ඇයව විශ්වාස කල නිසාද, නැත්නම් මා ආදරයෙදි මෝඩ අඥානයෙකු වූ නිසාද?

නමුත් අද… අද… අද සවස මා දැක්කේ සිහිනයක්ද… නැත මා දුටුවේ සිහිනයක් නම් නොවේ…

මා අද සවස කාව්‍යාගේ බෝඩිමට ගියේ ඇය සමග නිදහසේ කතා කිරීමට ඇයත් සමග කොහේ හෝ යාමටය. ඒ ඇයගේ බෝඩිම් සහයිකාවන් දෙදෙනාම වැඩට ගොස් බැවින් කාව්‍යා තනියෙන් සිටින නිසාවෙනි. නමුත් ඇය අද සිටියේ තනිව නම් නොවේ. මා පණ සේ ආදරය කල ඈ මා දෑස මෙන් රැක ගත් ඈ මාගේ දෑස ඉදි‍රිපිටම සිටියේ රුවන්ගේ තුරුලේය.

සිටි තැනම ගල් ගැසුන මා දුටු ඇයව මා දුටුවේ දඩයම්කරුවෙකු දැක සැඟවෙන මුවැත්තියක මෙනි. මා හට මුහුණ දී ගත නොහැකිව රුවන්ද ඇයද මුහුණ බිමට බර කරන් සිටි අයුරු මට දැනුදු මැවී පෙනේ.

එකඳු වදනක් හෝ පිටකරගත නොහැකිව මා අසරණ උන තරමක් දන්නේ මා පමණකි. අවසාන‍යේ වචනයක් හෝ නොදොඬා කඳුලු පිරි දෙනතින්ම මා මාගෙ නවාතැන් පලට පැමිණි අයුරු කෙසේ දැයි මට මතකයක් නැත.

මා දැන් කලයුත්තේ කුමක්ද? වසර පහක් පමණ තිස්සෙ දුක් මහන්සි වී හම්බ කල සතයක්වත් මා හට නැත. මාගේ රැකියාව පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. ඒ සියල්ල ඇයට පිංසිදු වීමටය.

නමුදු මා එකම එක කාරණයක් දනිමි. එනම් මා පණසේ ආදරය කල ඇයට වෛර කිරීමට නම් මා සිත එකඟ නොවන බව පමණි.


දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

© ප්‍රියා.
*13/11/2013

ප. ලි. ~  ලියවී මාස ගණනක් පසු උවද පබ්ලිෂ් කි‍රීමට සිත නොදුන් එකම කතාව මෙයය. ඒ සැබැවින්ම මෙවන් පෙම්වතුන් මේ කාලෙයේ මෙළොව සිටීද යන පැනය නිසාය.
(පින්තූරයට ස්තූතිය……pastorchrisjordan.wordpress.com)