24 November, 2013

පුංචී දෝණී මගේ… දෑස වේ ඔබ මගේ……


අදට හරියටම දවස් 377කට කලින් දවසක හවස පහට කොන්ඩෙ පිස්සෙක්ගෙ ත‍රම් අවුල් වෙච්ච දවස් ගානකින් නොකපපු රැවුල් කොට මුහුණ පුරා විසිරිච්ච කොල්ලෙක් 'කාසල් වීදියෙ කාන්තා රෝහලේ' වාට්ටුවක් දිගේ දුවගෙන යනවා. ඒ දවාලෙ සූතිකාගාරයට ගත්ත තමන්ගෙ බිරිදව දකින්න. ඒ කොල්ලාගෙ අම්මත් කොල්ලත් එක්ක ඉන්නවා.

ඒ යත්දි ඒ කොල්ලා දකිනවා තම බිරිද බිත්තිය අයිනක ඇදක ඉන්නවා. ඒ තනියම නෙමේ රෙද්දකින් ඔතපු පුංචිම පුංචි කිරි කැටියෙක් එයාගෙ පපුවට උණුසුමට තුරුල් වෙලා. ඒ කොල්ලගෙ අම්ම බිරිදගෙන් අහනවා "දුවෙක්ද? පුතෙක්ද?" කියලා. උත්තරේ ලැබෙනවා "දුවෙක්." කියලා.

ඒ කොල්ලා වෙන කවුරුත් නෙමේ 'ප්‍රියා' වෙච්ච මම ම තමයි. මං මගේ පුංචි සුරංගනාවිව දැකපු මුල්ම අවස්ථාවයි ඒ. හරියටම කියනවා නම් 2012 නොවැම්බර් මාසෙ 22 දා. එදා තමා මගේ පුංචි දුව ඉපදුනේ.

ඔන්න ඊට පස්සෙ ආවා නම් ‍තැබීමේ අවස්ථාව. මට ඒ දවස් වල පුදුම පිස්සුවක් තිබුනා අපිට ඉපදෙන දරුවටත් නමට 'ප්‍රිය' කෑල්ල එකතු කරන්න ඕන කියලා. මොකද මගේ නම් චතුරංග 'ප්‍රිය'ශාද්. මගේ 'ප්‍රිය'ම්බිකාවග්ගෙ නම නදීශා 'ප්‍රිය'දර්ශනී. ඒත් දැනට ඔය 'ප්‍රිය' කියන වචනෙ 'ප්‍රිය' උනාට තව අවුරුදු විස්සකින් විතර 'ප්‍රිය' වචනෙ 'අප්‍රිය' විය හැකි නිසා මගේ පූංචි පැටික්කිට නම ලැබෙනවා "දරණි යසස්මි" කියලා.

අවුරුද්දක් ගෙවිච්ච ඉක්මන....... මගේ පුංචි සුරංගනාවිට පෙරේදට අවුරුද්දක්...... මම දැන් අවුරුද්දක ළමයෙක්ගෙ තාත්තා කෙනක්.......

"ජීවිතය 'විදවන්නන්ට' කාලය ගෙවෙන්නේ ඉබි ගමනිනි. නමුත් ජීවිතය 'විදින්නන්ට' කාලය ගෙවෙන්නෙ අධිවේගයෙනි." ඒක මං දැන ගත්තෙ ඔයා ඉපදුනාට පස්සෙයි. ඔයා නිසා මං දැන් ජීවිතය විඳිනව චූටි දුවේ. මේ අවුරුද්ද ගෙවුනා වගේ ඉක්මනට තව අවුරුදු ගානක් ගෙවෙයි. තව අවුරුදු විස්සකින් විසි එකකින් ඔයා තරුණියක්. එදාට මේ 'බ්ලොග්' එක තිබුනොත් ඔයා මේක කියවයි කියලා මං හිතනවා. ඔයාට මං ආදරේ කරන තරම කියන්න බ්ලොග් එකක ලියන්නම ඕන නෑ. මොකද දැනටත් මං ඔයාට ආදරේ තරම ඔයා දන්නවා කියලා මම දන්නවා. ඔයාගෙන් මට ඒක දැනෙනවා. ඒක තමා දරු සෙනෙහස කියන්නෙ.

ඔයා ඔයාගෙ අම්මගෙ කුසට ආවා කියලා අපි දැන ගත්තෙ හරියටම 2012 අප්‍රේල් දෙවෙන්දා එදා ඉදන් ඔයාගෙ අම්මයි තාත්‍තයි විතරක් නෙමේ ඔයාගෙ ආච්චිලා සීයාලා හැමෝම ඔයාව ආරක්ෂා කරපු හැටි ඔයා බලන් ඉන්න ඇති.

දොස්තර මාමලා කිවුවේ ඔයා ඉපදෙන්නෙ නොවැම්බර් 18 කියලා. ඒත් එදා ඔයා අපිව බලන්න ආවෙ නෑ. නොවැම්බර 18 ඉදන් 22 වෙනකම් දවස් හතර ඔයාගෙ අම්මයි තාත්තයි උහුලපු ගින්දර දන්නෙ අපි දෙන්නා විතරයි පුංචි දුවේ. ඒ ගින්දර ඔයාට දැනුනා නම් ඔයාගෙ ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට කොච්චර ආදරේ ක‍රනවද කියලා ඔයාට දැනෙයි. මොකද අපි ඔයාට ආදරේ කරන තරම කියන්න තරම් වචන මේ ලෝකෙ නෑ මගෙ පැටික්කියෙ.

මම කියන්නෑ මම මේ ලෝකෙ ඉන්න 'හොදම' තාත්තා කියලා. මොකද මට වඩා හොද තාත්තලා ඊ‍යෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී. ඒත් මං උත්සහ කරනවා 'හොද' තාත්තා කෙනෙක් වෙන්න. මොකද ඔයා තමා අපේ පණ. අපේ ලෝකෙම ඔයයි පුංචි දුවේ.

දුවගෙ තාත්තා කවියෙක් නම් නෙමේ. මගෙ හිතේ ඔයාට තියෙන ආදරෙන් එක දශමයක් තමා මේ අමුණලා තියෙන පද ටික. මේ කවි ටික ලියවුනේ ඔයා ඉපදුන අලුතමයි.


"දරණි' දුවේ නුඹ නිදනා විටදි ළයේ…
මහද මඩලෙ දරු සෙනෙහස පිරෙනු දැනේ…
පාළුව රජ කලත් පෙරදින අප දිවියේ…
සසරම එළිය ගැන්වී ඇත ඔබ ඇසුරේ…

මල් රොන් වලින් වත්සුනු ගෙන තවරන්නම්…
සඳකැණ් වලින් දෝතක්ගෙන නහවන්නම්…
තරු කැට පෙලක් අමුණා ගෙල පලදන්නම්…
'දරණි' දුවේ නුඹ රැජිණක් කරවන්නම්…

කනට තෝඩු පලදා හැඩ බලන්නම්…
ගෙලට මාල බන්දා හැඩ කරන්නම්…
රන්‍‍‍රිදියෙන් නුඹෙ වත සරසවන්නම්…
'දරණි' දුවේ මගෙ සිහිනය එයයි දැන්…

සිඟිති නෙතේ කඳුලැල් නොම ඇඳේවා…
පුංචි සිතේ දුක් ගිනි නොම දැවේවා…
දුක් වේදනා කිසිදා ලං නොම වේවා…
'දරණි' දුවේ නුඹ සතුටින් ඉදීවා!!…"


මගේ ආදරණීය 'පුංචි සුරංගනාවි'ට නිරෝගී, වාසනාවන්ත, සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!


© ප්‍රියා.

17 November, 2013

මම කාපු සෙරෙප්පු පාර...


(වාසනාවට 'ඇත්ත' කතාවක්)

ලියන්න කියලා හිතන් හිටපු කතා දෙක තුනක්ම තියෙත්දි මේ කතාව ලියන්න හිතුවෙ පසුගිය දිනක උන සිදුවීමක් නිසයි.

ඒ තමයි අර 'ගුරුවරියක් ශිෂ්‍යයකුගෙ එකම කලිසම කපා දැමීම'. මේ සිදුවීම විවිධ කෝණ වලින් අල්ලා ගත් පිරිස විවිධ කතිකාවන් ගොඩ නැගුවත් සැබෑ තො‍රතුරු නැතිව මේ දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකවත් පැත්තක් මට නොහැකිය. නමුත් මේ ශිෂ්‍යයාගේ මානසික, සාමාජීය, ආර්ථික තත්වය හදුනා නොගෙන ඇය තම සීමාව ඉක්මවා ගියාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒත් ඒ වෙච්ච සිද්ධිය හරියට නොදන්න නිසා ඒ කතාව එතනින් නිමි! ;-)

අද මන් කියන්න යන්නෙ මටම උන මගේ අත්දැකීමක්. මුලින්ම මන් කතාවට මෙහෙම එන්නම්.

'ප්‍රියා' ඒ කියන්නෙ මම ඉපදිලා ඔන්න පාසල් දාන කාලෙට ආවම ඔන්න මාව හා හා පුරා කියලා දානවා වත්තල තෙළගපාත 'රත්නපාල' පාසලට. ඒත් අවුරුදු දෙකකට පස්සෙ අපේ ගෙවල් මාරු කරනවා දළුගමින් දෙල්ගොඩ උඩුපිලට. අන්න එතකොට තුන වසරෙ ඉදන් මාව දානවා උඩුපිල කම්මල්වත්ත 'රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයට'. ඒකෙන් 6 වසර්ට එනවා 'දරණගම මහ විද්‍යාලයට' (නෑ නෑ බොලවු ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙමේ. මම ශිෂ්‍යත්වෙ ෆේල්. :-) ) රාජසිංහෙ එකේ ඉදන් පහ වෙනකම් විතරයි පන්ති තියෙන්නෙ ඒකයි දරණගමට ආවේ.

කොහොමින් කොහොම හරි දරණගම විද්‍යාලෙත් එකම අවුරුද්දයි ඉගෙන ගත්‍තෙ හත වසරට පාස් උන ගමන් උඩුපිල ගේ විකුණලා ආයෙත් අපේ ගම් පළාත වෙච්චි කැළණිය දළුගමටම පදිංචියට එනවා. ඊට පස්සෙ මාව උස්සන් ඇවිල්ලා දානවා හත වසරෙ මුල ඉදන් කැළණිය තොරණ හංදියෙ "වෙදමුල්ල මහා විද්‍යාලයට." එහෙම බැලුවම මන් පාසල් හතරක ඉගෙන ගෙන තියෙනවා. ඒ පාසල් හතරම දුප්පත් පොඩි පාසල්. ඒ පාසල් හතරටම මන් ගරු කරනවා.

ඒත් වෙදමුල්ලත් එක්ක මගේ විශේෂිත බැදීමක් තියෙනවා. මොකද මට තේරෙන කාලෙදි මන් හැදුනෙ වැඩුනෙ ඒ පාසලත් එක්ක. මගෙ ජීවිතේට හුගක් දේවල් එකතු කලේ වෙදමුල්ල (ඔව් ඔව් ප්‍රියම්භිකාවත් සෙට් උනේ පාසලෙන්ම තමා. :-D ). ඇත්තෙන්ම කියනවනම් වෙදමුල්ල තමා මගෙ දෙවනි අම්මා වුනේ.

වටේ ගියා ඇති මන් කතාවට එන්නම්කො. හත වසරෙදි ඉස්කෝලෙට ආවට මොකද මන් ඇත්‍තටම ඒ වෙත්දි හරිම පසුගාමී චරිතයක්. සබකෝලය කියන එක උපරිමයි, පාසල් පැමිණීම අන්‍තිමයි, අපිරිසිදු කම ඉහලයි, ඉගෙනීම අජූතයි. කොටින්ම මම පංතියෙ මුල්ලකට වෙලා ඉන්න කොන් උන චරිතයක්. මන් එක්ක කතාවත් කලේ එකම එකයි. ඒ ඌත් මන් වගේම එකෙක් නිසා.

කොහොමින් කොහොම හරි ඔන්න දැන් මම 10 වසරෙ. අවුරුද්ද මුල අපේ පාසලේ කලා උත්සවයක් සංවිධානය වෙනවා 'වසත් සර වැනුම්' කියලා ඔය උත්සවේ සංවිධාන මණ්ඩලේ හිටපු 'කැළණියේ අමිතසිරි' කියන හාමුදුරුවන්ම තමා අපිට බුද්ධ ධර්මයයි සිංහලයි ඉගැන්නුවෙත්. ඔන්න දවසක් හාමුදුරුවො අපේ පංතියෙන් උත්සවයට සමගාමීව පැවැත්වෙන තරග සදහා නම් ගන්නවා. විවිධ තරග සදහා විවිධ අයව ගන්න අතරෙ හාමුදුරුවො ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදලා "චතුරංග නිවේදන වලට ඉන්න." කිවුවා විතරයි මාව හත් පාරක් කරකවලා තුන් පාරක් ටොකු ඇන්නා වගේ උනා. ගත් කටටම මන් කිවුවෙ "බෑ" කියලා. ඒත් තුන් හතර පාරක්ම හාමුදුරුවො හොදින් කිවුවත් තරගෙට ඉන්න කියලා මගේ පව බලවත් නිසා මාත් එළුවා වගේ බෑම කිය කියා හිටියා. ඔය අතරෙ හාමුදුරුවො වෙන වැඩක්ට විදුහල්පති කාර්‍යයාලයට වැඩම කරලා විනාඩි 15 කින් විතර ආයෙ වැඩියා. ඒ ගමන් ආයෙ ඇහුවෙ අර ප්‍රශ්ණෙමයි. මහෙත් නොසැලුන උත්තරේ ඒකමයි.

හාමුදුරුවන්ටත් උපරිම කේන්තියි. එදා මගේ කරුමෙට අපෙ පංතියෙ කොල්ලෙක් තුවාලයක් නිසා දාන් ඇවිත් තිබුනෙ 'බාටා' සෙරෙප්පු දෙකක්. ඒකත් දුහුවිල්ලෙන් පිරිලා හරි ප්‍රියමනාප විදියටයි තිබුනෙ. හාමුදුරුවො ඌට සෙරෙප්පුව ගලවන්න කියලා එක පාරටම ඒ එක බාටා එකක් අරන් දුන්නැත්ද මට ඒකෙන්ම කණේ පාරක් !!.

සෙරෙප්පු පාර කාගෙනම ඇස් දෙකෙ කඳුලු පුරෝගෙන මන් වාඩි උනා. හිතා ගන්න පුළුවන්නෙ තිස් ගානක පිරිසක් ඉදිරියෙ සෙරෙප්පු පාරක් කෑවම තියෙන සනීපෙ. කොහොම හරි මට ගහලා හාමුදුරුවො බලෙන්ම මගෙ නම ලිස්ට් එකට දැම්මා. දවස් දෙකකට පස්සෙ තරගෙ. මන් දන්නෑ මටත් සෙරෙප්පු පාරත් එක්ක හාමුදුරුවොත් එක්ක කේන්තියකුත් එක්ක අමුතුම ගටක් ආවෙ. පුළුවන් තරම් පුරුදුවෙලා ගියා තරගෙට. විශ්වාස කරන්න පුළුවන්ද සබකෝලෙන් පිරිච්ච කොල්ලෙක් නිවේදන තරගෙකින් 'පලවෙනියා' වෙත්දි. ඒත් එක උනා. තරගෙ ප්‍රථිපල ආවට පස්සෙ හාමුදුරුවො මගෙන් ඇහුවා කීවෙනියද කියලා. මන් පලවෙනියා කියත්දි උන්වහන්සෙ හිනා වුනා. එවලෙ මගේ හිතේ ඇතිඋන හැගීම මටම හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම ම නම දාලා 'කෙටි කතා' තරගෙටත් හිටියා ඒකෙනුත් දෙවනි ස්ථානය හම්බ උනා. නිවේදන අංශෙන් පලවෙනියා උන නිසා 'වසත් සර වැනුම්' උත්සවේ නිවේදනය කරන්නත් මාව තෝර ගත්තා.

ඇත්තටම කියනවානම් ඒ සෙරප්පු පාර පුදුමාකාර විදියට ධනාත්මක පැත්තට මාව වෙනස් කලා. මම පුදුමාකාර විදියට සමාජශීලී උනා. පංතියෙ කොන් වෙලා හිටපු මන් යහළුවො ගොඩක් ආශ්‍රය කරන්න ගත්තා. අපි ඇති තරම් පිස්සු නැටුවා, ඉගෙන ගත්තා. මගෙ ජීවිතේ පිලිවෙලක් වෙන්න ගත්තා ඒ වෙත්දි පාසලේ සියලු උත්සව වල නිත්‍ය නිවේදකයා උනේ මම. පාඩම් වැඩ වලටත් උනන්දු උනා. සාමාන්‍ය පෙළ සමත් උනා. අපේ පාසලේ තියෙන්නෙ කළා, වාණිජ අංශ දෙක පමණයි. මාත් වාණිජ අංශය තෝ‍රන් අපේ පාසලේම හිටියා.

10 වසර වෙනකම් මුල්ලක හැංගිලා හිටපු මම ඒ වෙත්දි පාසලේ ජනප්‍රියම චරිතයක්. ශිෂ්‍ය නායකයෙක් වෙලා අන්තිමට 'ප්‍රධාන ශිෂ්‍ය නායක' කම පවා ලැබුනා.

ඇත්තෙන්ම මට කියන්න ඕන උනේ මෙච්චරයි. සබකෝලයෙන් පිරුන කොලු භාෂාවෙන් කියනවනම් 'හිපාටු' චරිතයක් වෙච්ච මං යම් තරමක් හෝ අළු ගසා නැගිටලා ඉගෙනගෙන මෙහෙම ජීවත් වෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සෙරෙප්පු පහර නිසයි.

ගුරුවරයෙක් වශයෙන් උන් වහන්සේ මගේ දුර්වලතා සහ දක්ෂතා හදුනාගෙන ඒ දක්ෂතා එළියට ගන්න උපාය මාර්ගිකව බෙහෙත් කලා. ඒත් ඔය න්‍යාය හැම ගුරුවරයටම් හැම ශිෂ්‍යායාටම හැම අවස්තාවෙම නොගැලපෙන බවත් මතක තබා ගත යුතු‍යි. ඒ වගේම තමා අපෙ අම්මලා ඔය සෙරෙප්පු කතාව දැන ගත්තෙත් මන් පාසලෙන් අස් උනාටත් පස්සෙයි.

මම දැනටත් සමාජයෙ පොඩිම පොඩි චරිතයක්. සාමාන්‍ය පෞද්ගලික ආයතනයක වැඩ පරික්ෂක වරයෙක්. ඒත් අම්මා තාත්තාටත් පුළුවන් විදියට සලකන් පරස්සාවකුත් කරන් දරුවෙකුත් හදාන් කාටත් ණයක් නැතුව කාටත් අත නොපා සමාජයෙ ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්නෙ එකම චරිතයක් නිසා. ඒ තමයි "කැළණියේ අමිතසිරි" හිමි. කොටින්ම එදා උන්වහන්සේගෙ සෙරෙප්පු පාර නොවන්නට අද මේ බ්ලොග් අවකාශයේ 'ප්‍රියා' කෙනෙකුද නැත.

'කැළණියේ අමිතසිරි' හිමි වැනි ගුරුවරු තව දහස් ගුරුවරු මේ පොළව මත සිටී. තම ගෝලයන්ගේ දෑස් පෑදීමට කැපවන 'කැළණියේ අමිතසිරි' හිමි වැනි සියළුම ගුරුවරුන්ට මේ සටහන පූජෝපහාරයක් වේවා!!.

ප. ලි. ~~
දැන් ඉතිං අපේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 'කැළණියේ අමිතසිරි' හිමිව හොයන් ගිහින් මේ මේ කාලෙදි මේ ළමයට සෙරෙප්පුවන් ගහලා 'අපයෝජන‍යට' ලක් කලා කියලා නඩු එහෙම දානවා නෙමේ ඕන්.

ප. ප. ලි. ~~
මෙය කියවන ශිෂ්‍යයෙකු වෙතොත් මේ කතව ආදර්ශයට ගනිත්වා!
සියළු 'ගුරුදෙවිවරුන්ට' මේ සටහන උත්තමාචාරයක් වේවා!
එසේම මෙ බ්ලොග් අවකාශයේ සැරිසරන 'ඩූඩ් අයියා' ඇතුලු බ්ලොග් ලියන, බ්ලොග් කියවන සියලු ගුරුවරුන්ටත් මේ පෝස්ට්ටුව මල් මිටක් වේවා!!!.

10 November, 2013

දරුවා මගෙ නොවෙද?



(සත්‍ය කථාවක් ඇසුරිනි.)

හිමිදිරි උදෑසනම ගාල්ල සිට තමා ඇතුලු දහස් ගනන් පිරිසකුත් ගෙන කොළඹ බලා පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙ හති හරින යකඩ යකා දෙස මොහොතක් බලා සිටි පියුමි තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ සෙනග අතුරෙන් පසෙකට වෙමිනි.

"හලෝ....කොටුව ස්ටේෂන් එකේ....දැනුයි ආවෙ....හරි....හරි....ඉක්මනට එන්න එදා වගේ පරක්කු වෙන්න නම් එපා....හාං...."

ඇමතුම විසන්දි වූ ජංගම දුරක්ථනය තම් අත්බෑගයට දමා ගනිමින්ම දුම්‍‍රියපලින් එළියට පැමිණි පියුමි ගුවන් පදිකමාරුවෙන් පාරෙ අනෙක් පසට පැන ගම්පහ බස් නැවතුම්පල වෙත පැමිණියේ වේගවත් ගමනනි. මීලගට පිටත් වීමට නියමිත බසයට නැගි ඇය පසුපස අසුනට බර වූයේ හති හරිමිනි.

පිටත්වීමට වේලාව ඇති බැවින් තවමත් හතර පස් දෙනකු පමණක් සිටින බසයෙ කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා ගත් ඇගේ මතකය කෙමෙන් අතීතයට පිය මනින්නට වූයේ ඇයටද හොරෙනි.
........................................

නැතිබැරි කම දෝත දරා උපන් පියුමි උසස් පෙළට මුහුණ දීමට අධ්‍යාපනය හදාරමින් සිටියද ඉගෙනීමේ වාසනාව පරදවා නැතිබැරි කමේ අවාසනාව ජය ගත්තේ යන්තම් 18 සම්පූර්ණ වූ සැනින් නිවසටම පැමිණි මංගල යෝජනාවට ඇගේ දෙමාපිය කැමත්ත හිමි වූ බැවිනි. එයට ඇගේ අකමැත්ත ප්‍රකාශ කිරීමට තරම්වත් ඇයට ඇගේ ජීවිතය පිලිබද අයිතියක් නොවුනි.

"මේ බලපන් කෙල්ලෙ අවුරුදු 15ක් කියන්නෙ මහා වයසක්ද බං. අනික බදින පිරිමියා කෝමත් ටිකක් වයස වැඩි උනොත් තමා පවුල් ජීවිතේ සාර්ථක" පියුමිගෙ මව පිටුපස කුස්සි කෑල්ලේ සිට පවසන්නේ කටගොන්නක් බීගත් තම සැමියා පැමිණ එය අසා සිටින බව නොදැනය.

"අවුරුදු 33ක් කියන්නෙ වයසක්ද යකෝ. බොට මතක නැත්ද සුමනො, මන් උඹව ගේනකොට මට 35ක් බොල 35ක්!. අනික ඒ මනුස්සයාට මොනවැයෙන් අඩුවක්ද?. ඉන්න ගේ වත්ත දේපළ... ඔය අනම් මනම් කියවලා මේ මගුල නොකෙරුනොත් තොපි ජීවත් වෙන්න හිතන්න එපා! දැනගන්."

දෛවය පමණක් නොව තම ආදර දෙමාපියන් පවා තමාට එරහි වූ බැවින් අවසන පියුමිට උරුම වූයේ හිරිමල් වියේ සිටින තමාට වඩා අවුරුදු 15ක් වයසැති සරණතිස්ස සමග රන්හුයෙන් දෑගිලි බැද ගන්නටය.

පාරම්පරික වලවුකරුවකු වූ සරණතිස්සට රැකියාවක් කිරීමේ උවමනාවක් නොවීය. අලුතගෙනා රූමත් බිරියත් මවත් සමග විශාල නිවාසේ ජීවත් වූ සරණතිස්ස මත්පැනට ඇබ්බැහි වූවකු නොවූයේ නම් ඇගේ වාසනා ගුණයක් නිසාය.

කාලය කෙමෙන් ගෙවමින් වසර දෙකක් ගත වූයෙ කාටත් හොර රහසේය.

"ඈ මාග්‍රට් අක්කෙ අපේ සරණතිස්ස ලමයා දැන් පෙලවහක් වෙලා සෑහෙන්න කාලයක්නෙ බං. කෝ තාම උඹට මුණුපුරෙක් දෙන්න හිතලා නැතැයි??"

"අර උඩහා ගෙදර කෙලී බැදලා ගිහින් මාස පහයි. අන්න ඒකිට බඩට මාස හතරක්ලු. ඒක නෙමේ මේ අපේ පියුමි කෙල්ලගෙ තාම නැත්ද වෙනසක්??"

තම නිවසේ අළුයට සැගව තිබූ ගිනි පුපුරු තම නෑ හිතමිතුරන් ගොඩ දමන විට සරණතිස්සගේ මවගෙන් පියුමිට හිමි වූයේ සාම්ප්‍රදායික නැන්දම්මෙකුගේ සැලකුම් වලිනුත් ඔම්බට ගිය කෲර සැලකුම්‍‍ය.

"අපේ එකත් ගිහින් ගිහින් කර ගැහුවනෙ දරුවෙක් වදාගන්න බැරි වඳ පීදිච්ච කෙසෙල් ගහකට."

"ටිකක් කට වහගෙන ඉන්න අම්මෙ පිස්සු හැදිලා ඉන්න මාව තවත් පිස්සු වට්ටන් නැතුව."

ස‍රණතිස්සගේ වුවද මත‍ය වූයේ රූප‍යට රැවටී දරු සම්පත් අහිමි පියුමිව කරේ එල්ල ගත්තා වැන්නකි.

"අම්මලා වුනත් ඇත්තනෙ කියන්නෙ. මට දැන් 35ක් තවත් වයසට ගිහින් දරුවෙක් ලැබුනත් ඒ ලමයා ලොකු වෙත්දි මන් හැරමිටියෙන් යයි."

පියුමිට තිබූ එකම සැනසීම වූ බේබද්දෙකු නොවූ සැමියා හොදම බේබද්දෙකු බවට පත් වූයේත් ගෙදර නිතර ඇවිලුන අඩදබර මධ්‍ය‍යේය.

උසස් පෙළ කඩ ඉම ගෙවා ගැනීමට නොහැකි වුවද ඒ දක්වා අධ්‍යාපන‍ය හදාරා සිටි පියුමිට නවීන වෛද්‍ය ක්‍රම පිලිබදව දැනුමක් තිබුනේ වාසනාවටදැයි අවාසනාවටදැයි ඇයවත් නොදැන සිටියා විය යුතුය.

"දැන් ළමයි නෑ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒවටත් බෙහෙත් තියෙනවා. අනේ මාත් එක්ක කොළඹ යන්. කාසල් එකේලු ඒ ක්ලිනික් එක තියෙන්නෙ."

"තමුසෙට ඕන්නම් යනවා මොකද මට ලෙඩක් අඩුපාඩුවක් තියෙනවායෑ බෙහෙත් ගන්න."

තම සැමියා පවා උනන්දු නොවූවද පියුමි ප්‍රතිකාර සදහා කාසල් වීදියේ කාන්තා රෝහල් සායනයට තනිව හෝ යාමට ගන්නේ දරදඩු තීරණයකි. දරුවෙකු නැතයි ඇයට අවලාද නගන නැන්දම්මාවත් අතැගිලි බැදගත් සැමියා වත් ඇයගේ තනියටහෝ ඇය සමග පමිණියේ නැත.

දෙතුන්වර සායන වලටද වෛද්‍ය පරික්ශණ වලටද සහභාගි වූ ඇයට එවායේ ප්‍රථිපල වලින් දන ගැනීමට ලැබුනේ ඇයට දරුවෙකු ලැබීම සදහා කිසිදු අඩු පාඩුවක් නොමැති බවය.

"තිස්ස, අනේ ඊලග පාර ක්ලිනික් එකට මාත් එක්ක යන් ඩොක්ටර් කිවුවා එන පාර හස්බන්ඩ්ව අනිවාර්‍යෙන්ම එක්කන් එන්න කියලා."

"හස්බන්ඩ් කෙනෙක් නෑ කියනව ඉතිං."

"දැන් මේ රෑත් වෙලා කොහෙද යන්නෙ?"

"මගුලෙ... තමුසෙට අනවශ්‍ය දේවල් හොයන්නැතිව ඉන්නවා..." ස‍රණතිස්ස සුපුරුදු ලෙසෙ එදිනද රාත්‍රියේ නිවසින් පිට වූයේ මත්පැනින් සප්පායම් වීමට බව පියුමි නොදැන සිටියා නොවේ. නමුත් වෙනදාට වඩා ඔහු වෙනදාට වඩා ප්‍රමාද වන විට ඇය තම පැරණි පන්නයෙ දුරකතනය අතට ගත්තෙ ඔහුට ඇමතුමක් ගෙන බැලීමටය.

"හලෝ....හලෝ.... තිස්ස...."

"හලෝ කවුද මේ?..."

"හලෝ....තිස්ස...."

"තිස්ස..හි..මම තිස්ස නම් නෙමේ හැබැයි මේ පැත්තෙන් දැන් මුවෙක් නම් දිවුවා...තිස්සත් පස්සෙන් දිවුවද දන්නෑ...හි...හි..."

"සොරි...රෝන් නම්බර් එකක්.." ඇමතුම විසන්දි විය. ඇයට එක් අංකයක් වැරදිනි. එක් අංකයක් වැරදීම ඇයට ජීවිතයම වරදාවි යැයි ඇය සිහිනෙන් වත් නොසිතුවාට සැක නැත.

පසු දිනද එම අංකයෙන් ඇයට ඇමතුමක් පැමිණි අතර ඇයට නිදහසේ ඇමතුමට සම්බන්ද වීමට හැකි වූයේ සුපුරුදු ලෙස සරණතිස්ස දිනපතා නිවසට එන විට අළුයම වන නිසාය.

හුරතල් කතාවෙන් ඇයට ලංවන කසුන් ඇයට සත්‍යම පවසන අතර ඇයද ඔහුට ඇගේ ජීවිත කතාවම පවසන්නෙ ඔහුගේ ආදර වදන් හමුවේ අසරණ වූ මුවැත්තියක ලෙසිනි.

කසුන්ද විවාහා වී දියණියකද සිටින පියෙකි. රාත්‍රි වැඩ මුරය අතර පැමිණි ඇමතුමෙන් හදුනාගත් පියුමි පිලිබද අනුකම්පාව මුසු ආදරයක් ඔහුගේ සිතේද දළුලමින් තිබුනේ ඔහුටද රහසේය.

"මේ 26 මගෙ ඕෆ් එක එදාට ඔයා ක්ලිනික් කියලා එන්න. මට ඔයාව දකින්න ආසයි."

"මටත් දකින්න නම් ආසයි...ඒත් මට බයයි කසුන්.."

දිනක එසේ ඇරඹි කතා බහේ ප්‍රතිපලයක් ලෙස නොදැක සිටි පෙම්වත් යුවල හමුවී තනිවන්නෙ ඔහුන්ගෙම ලොවකය. නමුත් ගැටලුව ඒ ලොව ඉදිවන්නේ අසම්මත ලෙස හෝටල් කාමරයක් තුල වීමය.

ඒ හමුව සිදුවී තවත් මාස හතරකට පසු අද දිනද ඇය සායනයේ නාමයෙන් කොළඹ එන්නේ කසුන් සමග පෙම් සුව විදීමටය. නමුත් ඇයගේ සිතේ තෙරපෙන දේ දන්නේ ඇයම පමණි.

"කිරිබත්ගොඩ..කඩවත..කිරිල්ලවල..බැලුම්මහර..මිරිස්වත්ත..ගම්පහ..ගම්පහ..ගම්පහ...."

කොන්දොස්තරගේ හඩින් අතීතයෙන් මිදුන පියුමි වටපිට බැලුවේ තාමත් තමන්ට නුහුරු නගරයේ තමා සිටින්නේ කවර ස්ථානයේ දැයි දන ගැනීමට මෙනි. තාමත් බසය පසු කරන්නෙ ආමර් වීදිය‍ය.

"මිරිස්වත්ත එකක්"

ටිකට් පතක් ගෙන ඇය නැවතත් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමාගෙන ජීවන ගමනේ තමා පසු කර වේගයෙන් ආපස්සට ඇදීයන නගරයන් දැස බලා සිටියේ හැගුම් විරහිතවය.

"අප්පේ අද නෙමේ ඔයානෙ පරක්කු." මිරිස්වත්ත නැවතුම්පලින් බැසගත් සැනින් කසුන්ව හමුවීම පියුමිට නම් සැනසීමක් ගෙන දුන්නාට සැක නැත.

කාලය ගෙවී යයි සැමට හොරෙන් කාටත් වරදක් නොකල අහිංසක නමුත් අසම්මත පෙම්වතුන් යුවලක් මිරිස්වත්ත නැවතුම් පලක කුඩා කාමරයක් තුල පෙම්සුව විදිමින් සිටී.

පෙම් සුව පමණක් නොව කම් සුවද විදිමින් සිටි දෙදෙනාටම පැය දෙකක කාලය ගෙවීයනු නොදැනීම අරුමයක් නොවේ. දෙදෙනාම නාගෙන පිටත්වීමට සූදානම්වන මොහොතේ පියුමි දින දෙකක්ම තමා මේ පිටස්තර පුද්ගලයෙකුත් සමග යහන් ගත වූ ඒ යහනේම හිද ගත්තේ දිගු කතාවාට මුල පිරීමට බව කසුන්ට තේරුණේ ඉවෙන් මෙනි.

"ඇයි බබා.." කසුන් අසන්නේ පියුමිගේ ඔලුව අතගාන ගමන්ය. ඇගේ දෙනතේ තෙරපෙන කදුලු බිද ඔහු දකින්නෙ ඒ මොහොතේය.

"කසුන්...මට සමාවෙන්න මන් ආයෙ ඔයාව හම්බවෙන්න එන්නෑ.. මට ආයෙ කෝල් කරන්නත් එපා.. මන් ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ. ඇත්තටම...ඇත්තටම කියනව නම් මන් ඔයාට ණ‍ය ගැතීයි..." පියුමිගෙන් පිට වන්නෙ වදන් වලට වඩා ඉකිබිදුමකි.

"මොකක්ද පියුමි ඔයාට වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන්න කියන්න ළමයො..."

"මට සමාවෙන්න කසුන් ඔයා මට දෙවිකෙනෙක්. තිස්ස මට මොනවා දුන්නත් එයාට මට දරු පැටියෙක් දෙන්න බැරි වුනා. ඒ මදිවට ඒ මගේ අඩුවක් කිය කිය හැමෝම මට වද දුන්නා. මන් මේ ආරංචිය මුලින්ම කියන්නෙ ඔයාට....... මම...මම....අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. දැන් මාස හතරයි."

"මොකක්...!!!"

"ඔව්..කසුන් ඔයා බය වෙන්න එපා. මන් දන්නවා ඔයාටත් දරු පවුලක් ඉන්නවා. ඒ වගේම මේ මගෙ බඩේ ඉන්න දරුවත් ඔයාගෙ. ඒත් මේ දරුවාවත් මන්වත් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෑ. අපි දෙන්නම සදහටම ඔයාගෙ ජීවිතෙන් යනවා.... ආයෙ මාව හම්බවෙන්න හදන්න එපා.... ආයෙත් කියන්නෙ මන් ඔයාට ජාති ජාතිත් ණයගැතියි.... ඔයා මට දෙවි කෙනෙක් කසුන්....."

"මට මොනවා කියන්නද තේරෙන්නෑ පියුමි, ඒත් මන් නිසා ඔයාගෙ ජීවිතේට යහපතක් උනානම් මට ඒ ඇති. මාත් ඔයාට ආයෙ කරදර කරන්නෑ. ඒත්.....මගේ දරුවව හොදට බලා ගන්න... තාත්තාගෙ නම මට දෙන්න බැරි උනත් එයාගෙ ඇගේ දුවන්නෙත් මගේ ලේ..... එයාව හොදට බලා ගන්න. ඔයා සංතෝසෙන් ඉන්නවානම් මට ඒ ඇති...."

ගෙවී ගිය තවත් හෝරා කිහිපයකට පසු කසුන්ගෙන් සමු ගනිමින් ඔහුගෙ ලෙයින් සෑදුනු දරු ගැබත් දරා පියුමි ගාල්ල බලා දිවෙන දුම්‍‍රියට ගොඩ වූයේ කසුන්ගේ මතකයන් සියල්ල කොටුව දුම්රිය ස්ථානයේ අතරමං කර දමමිනි.

© ප්‍රියා.


ප. ලි. ~~
මුලින්ම කියන්න ඕන මෙය 'කෙටි කතා' ලේබලෙන් දැම්මට මේ නිර්මාණයට පාදක වුනේ සත්‍ය සිදුවීමක්.
මන් කලින් වැඩ කලේ 'තත්ව සහතික' දෙන ආයතනයක 'ක්ෂේත්‍ර නිළධාරියෙක්' විදියට. ඉතිං ඒ ඉත්දි අපිට විවිධ ආයතන වල පරීක්ශා කිරීම් වලට යන්න වෙනවා. මන් වැඩි පුරම කලෙත් රාත්‍රී සේවා මුරය. එහෙම මන් වැඩිම කලක් පරීක්ශා කිරීම් කල ආයතනයක සේවය කල, එයින්ම හදුනා ගත් මගේ මිත්‍රයෙකුට උන සිදුවීමක් තමා මේ. (ඔය පලමු මිස් කෝල් එක එන වෙලාවෙත් අපි එකට රාත්‍රී සේවයෙ.)

මේ වගේ සමාජයට යමක් ගත හැකි අත්දැකීම්, කතා කිහිපයක්ම තියෙනවා. 'කියවන එක් අයෙකුට හෝ ප්‍රොයෝජනයක් ගත හැකි' යැයි හිතන කතා පමණක් අවස්ථාව ලැබෙන හැටියට ඉදිරිපත් කරන්නම්.

මේ සිදුවීමට දැනට අවුරුදු තුනක් විතර ඇති. ඒ දරුවටත් දැන් අවුරුදු දෙකක්වත් ඇති. එහෙම තියෙත්දි මන් මේ කතාව දැම්මෙ මේකෙ සෑහෙන්න ගත යුත්තක් තියෙන නිසයි. මෙතනදි පෞද්ගලිකව මට කාටවත් ඇගිල්ල දික් කරලා වැරදියි කියන්න බෑ. මන් දකින විදියට වැරද්ද "සමාජ ක්‍රමයෙයි, හණ මිටි අදහස් වලයි'.

මේ මං ඇස් පනා පිට දැකපු එක සිදුවීමක් පමණයි. මේ සමාජයේ තවත් පියුමිලා, සරණතිස්සලා, කසුන්ලා කොතෙක් ඇත්ද??. පියුමිගෙ දරුවො වැනි දරුවන් තව කොතෙක් ඇත්ද??
"වරද කොතැනද ???........"

(නම්, ගම්, ප්‍රදේශ සියල්ලම වෙනස් කරන ලද සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලදි. ඉදිරිපත් කිරීමේ පහසුව උදෙසා සිදුවීමේ යම් යම් ස්ථාන වෙනස් කරන ලදි.)

© ප්‍රියා.

03 November, 2013

රැක ගත යුත්තේ දියණිය පමණද?.

අතීතයේ ශ්‍රි ලංකාව තුල මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි බවට කථාවක් සමාන්‍ය සමාජයේ මුල් බැසගෙන ඇත.

මෙය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නොදනිමි. නමුත් 'මෙය 100%ක් සත්‍යක් නම්' එකල සිට ඇත්තේ නියම මහත්මා ගුණයන්ගෙන් හෙබි සාර්ථකව හැගීම් පාලනය කර ගත හැකි නියම පි‍රිමින් කොටසක් හෙවත් 'රියල් පොරවල්' ටිකකි.

නමුත් වර්ථමානයේ නම් ස්ත්‍රී රත්නයකට එහාකොණ මෙහාකොණ තබා නිවසේ සිට කඩයකට වත් යාමට නොහැකි බවනම් පිලිගත යුතුමය. දිනෙන් දින වාර්ථා වන්නෙ විවිධාකාරයේ දූෂණයන්ය. මාස ගණනක දරුවන්ගේ සිට අවුරුදු 90 ගනනේ වයසක කාන්තාවන් දක්වා විවිධ වයස් පරාසයන්ගේ කාන්තාවන් දූෂණයට ලක් වීම දිනෙන් දිනම ඉහල යයි.

මේ සඛ්‍යා ලේඛන අනුව දූෂණයට ලක්වන්නේ කාන්තාවන් පමණද යන්න ගැටලුවක් මතුවේ. සමජයේ කථා බහට ලක් නොවූවාට පිරිමි දරුවන් අතවරයට ලක්වීම් නැතුවා නොවේ. වාර්තාවන බරපතල ලිංගික අපයෝජන වලින් 75% කම අපයෝජනයට ලක්ව ඇත්තේ පිරිමි දරුවන්ය. නමුත් අප සමාජය වැඩි අවධානයක් යොමු ක‍රන්නේ ගැහැණු දරුවන් කෙරේ පමණි. (එය වරදක් නොවේ. මටත් ඇත්තේ දියණියක් බැවින් මා ඇයගේ අරක්ෂාව පිලිබද වැඩි සැලකිල්ලක් දක්වමි.)

නමුත් පෞද්ගලිකව මා ආශ්‍රය කරන පිරිමි දරුවන් සිටින පවුල් වල ඒ ඒ දරුවන්ගේ ආරක්ශාව පිලිබද ඇති අඩු සැලකිල්ල ගැන නම් මට ඇත්තේ විශාල කලකිරීමකි. ඇතමුන් සිතා සිටින්නේ තමාට ඇත්තේ පුතෙකු නිසා දරුවා ලිංගික අපයෝජනවලින් ආරක්ශා කිරීමේ වගකීමෙන් තමන් නිදහස් බවය.

නමුත් වර්ථමානයේ ගැහැණු දරුවන්ටත් වඩා අතවරයටලක් වන්නේ පි‍රිමි දරුවන්‍‍ය. එසේම එයිනුත්‍ යම් තාක් දුරට හෝ අවධානයට ලක්වන්නේ වැඩිහිටි පිරිමින් අතින් අතවරයට ලක්වන පිරිමි දරුවන් පිලිබදවය. අවධානයට හා කතාබහට ලක් නොවූවාට පිරිමි දරුවන්ට වන අතවරවල තවත් පැතිකඩක් ඇතිබව එනම් කාන්තාවන් අතින් පිරිමි දරුවන් අතවරයට ලක් වීමේ තත්වයක්ද අප රට තුල ඇති බව පසුගිය කාල වකවානුවේ ඇතිවූ සිද්ධීන් කිහිපයකින් පසු රටටම හෙලි විය.

කැළණිය ප්‍රදේශයේ මාස අටක් පමණ වයසැති දරුවෙකුගේ රහස් අවයව තුවාලවීමක් පිලිබද සොයා බැලීමකදී හෙළිදරවු වූයේ නිවසේ මෙහෙකාරිය අතින් ඒ දරුවා ලිංගික අතවරයකට ලක්ව ඇති බවය.

බියගම ප්‍රදේශයේ බෝඩිමක සිටි තරුණියන් පිරිසක් අසල නිවසක පදිංචි අවුරුදු 10ක පමණ පිරිමි දරුවකුට සාමුහික ලිංගික අතවර‍යක් කර ඇති බවටද වාර්ථා විය.

එසේම ඉතාම මෑතකදී 'මහවිලච්චිය' පොලීසියට වාර්ථාවූ සිද්ධිය වූයේ සැමියා හමුදාවේ සේවය කරන 23 හැවිරිදි කාන්තාවක අතින් ඇයගේ තනි නොතනියට පැමිණි අසල්වාසී නිවසක අවුරුදු 14ක පිරිමි දරුවකු වසරකට වැඩි කාලයක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ බවය.

මේ ඉස්මතු වූ සිද්ධීන් තුනක් පමණි. නමුත් හෙළිදරවු නොවන සිද්ධීන් අනන්තවත් අප සමාජයේ සැගවී තිබිය හැක. විවිධ හේතූන් නිසා මෙවන් සිද්ධීන් පිටතට එනවා අඩුය. 'සිද්ධි වා‍ර්ථා වීමඩු වීම අදාල සිද්ධි නොවනවා' යන්න නොවේ.

මෙලස පිරිමි දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන විශාල සමාජ අර්බුද රාශියකට මගපාදන්නකි. එයට හොදම නිදර්ශනය ඉහත දැක්වූ තෙවන සිදුවීම‍ය. එම දරුවා අදාල ලිංගික ක්‍රියා කාරකමට ඇබ්බැහි වී සිටියාට සැක නැත. කිමද ඇය වසරකටත් අධික කාලයක් ඔහුව අපයෝජනයට ලක් කලේ බලෙන් විය නොහැක. එසේ නොවූවානම් එතරම් කාලයක් ඇයට අදාල ක්‍රියාව කරගෙන යා නොහැකි වනු ඇත. එය ඉතා භයානක තත්වයකි. කුඩා කාලයේ පටන් ලිංගිකත්වයට වහල් වී ඇති දැඩි වන මේ දරුවන් ඉදිරියේදී සමාජයට ඉන් පසු බිහිවන අනාගත පරපුරටත් විශාල ලෙස බලපෑම් කරයි.

එයද එම සිදුවීමෙන්ම ඔප්පු කල හැක. එනම් අදාල සිදුවීම හෙළිදරවු වන්නේ අදාල 14හැවිරිදි දරුවා තවත් බාල පිරිමි දරුවකුට යම් ලිංගික ක්‍රියාවක් කිරීමට යාමේදි ඔහුගේ මවට හසුවීමෙනි.

කාන්තාවක තමන්ට හුරු කල ක්‍රියාකාරකම් ඔහු තමාට බාල තවත් අයෙකුට කිරීමටය උත්සහා දැරුවෙ. නොදැන කලද 14 හැවිරිදි දරුවාද කර ඇත්තේ ලිංගික අපයෝජනයකි. මොහුන් දෙදෙනා අදාල මවට හසු නොවුවා නම් අනෙක් කුඩා පිරිමි දරුවාද එම ක්‍රියාවට ඇබ්බැහි වී ඔහු තවත් දරුවෙකුට අදාල ක්‍රියාව පුරුදු නොකරනු ඇතයි සහතික විය හැක්කේ කා හටද??

මෙසේ ලිංගික අපයෝජනයට ලක්වී තම සිතට බලෙන් එන්නත් කල ලිංගික ආශාවනුත් සිත දරා ගත් දරුවන් කොතෙක් නම් සමාජයේ තව සිටිනු ඇත්ද?. අනාගතයේ ඔහුන් අතිනුත් ලිංගික අපයෝජනයන් සහ විවිධ දුරාචාරයන් නොවේ යයි සහතික විය හැක්කේ කාහටද??

ලිංගිකත්වය පිලිබද පාසල තුල හා නිවස තුල මීට වඩා විවෘතව කතාබහට ලක්විය යුතුය. එසේම පාලකයන්ද දැනට වඩා දුර දිග බලා සැලසුමක් සහිතව තීරණ ගත යුතුය.

රජය මෑතකදී සියලුම ලිංගික වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කලේය. අප ඉන් පසු "දැන් අපේ රට මාර හොදයි. දැන් අපේ උන්ට නිල් චිත්‍රපට බලන්න බෑ." කියා සිතා සිටි මුත් මාස කිහිපයකට ගූගල් දෙවියන්ගෙන් 'SEX' යන වදන ඉල්ලා ලෝකයෙන්ම රන් පදක්කම අපේ රට පැලද ගත්හ. එයිනුත් හොදම කොටස වන්නේ 'Sex' වැඩිපුරම සොයා ඇත්තේ පාසල් නිවාඩු කාල සීමවන් තුල වීමය.

කල යුත්තේ තහනම් කිරීම නොව දැනුවත් කිරීම තුලින් මුදා ගැනීමය. එයට දීර්ඝ කාලීන විධිමත් වැඩ පිලිවෙලක් සකස් කල යුතුය. කිමද අප රට තුල කුඩු, ගංජා, කසිප්පු පමණක් නොව ගණිකා වෘත්තිය පවා තහනම්ය. නමුත් වැරදීමකින් හෝ පදුරකට පයින් ගැසුවද අදාල පහසුකම් සියල්ල සපයා ගැනීම අපහසු නොවේ.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙයයි. 'දෙමාපියනි තමාට සිටින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන්න අදාල නොවේ. තම දෑස වන් දරුවන්ගේ ආරක්ශාව තහවුරු කරන්න. එසේම තම දරුවන්ගේ සේම අන් දරුවන්ගේද අනාගතය සුරක්ශිත කිරීමට කැප වෙන්න.'

"දරුවන් මල් වගෙයි. ඒ මල් කලට වේලාවට පිපෙන තුරු පොහොට්ටු ලෙසම ඉන්නට හරින්න. බලෙන් පිපෙන්නට සලස්වා ඒ මලේ පෙති පොඩි නොකරන්න."

© ප්‍රියා.