10 November, 2013

දරුවා මගෙ නොවෙද?



(සත්‍ය කථාවක් ඇසුරිනි.)

හිමිදිරි උදෑසනම ගාල්ල සිට තමා ඇතුලු දහස් ගනන් පිරිසකුත් ගෙන කොළඹ බලා පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙ හති හරින යකඩ යකා දෙස මොහොතක් බලා සිටි පියුමි තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ සෙනග අතුරෙන් පසෙකට වෙමිනි.

"හලෝ....කොටුව ස්ටේෂන් එකේ....දැනුයි ආවෙ....හරි....හරි....ඉක්මනට එන්න එදා වගේ පරක්කු වෙන්න නම් එපා....හාං...."

ඇමතුම විසන්දි වූ ජංගම දුරක්ථනය තම් අත්බෑගයට දමා ගනිමින්ම දුම්‍‍රියපලින් එළියට පැමිණි පියුමි ගුවන් පදිකමාරුවෙන් පාරෙ අනෙක් පසට පැන ගම්පහ බස් නැවතුම්පල වෙත පැමිණියේ වේගවත් ගමනනි. මීලගට පිටත් වීමට නියමිත බසයට නැගි ඇය පසුපස අසුනට බර වූයේ හති හරිමිනි.

පිටත්වීමට වේලාව ඇති බැවින් තවමත් හතර පස් දෙනකු පමණක් සිටින බසයෙ කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා ගත් ඇගේ මතකය කෙමෙන් අතීතයට පිය මනින්නට වූයේ ඇයටද හොරෙනි.
........................................

නැතිබැරි කම දෝත දරා උපන් පියුමි උසස් පෙළට මුහුණ දීමට අධ්‍යාපනය හදාරමින් සිටියද ඉගෙනීමේ වාසනාව පරදවා නැතිබැරි කමේ අවාසනාව ජය ගත්තේ යන්තම් 18 සම්පූර්ණ වූ සැනින් නිවසටම පැමිණි මංගල යෝජනාවට ඇගේ දෙමාපිය කැමත්ත හිමි වූ බැවිනි. එයට ඇගේ අකමැත්ත ප්‍රකාශ කිරීමට තරම්වත් ඇයට ඇගේ ජීවිතය පිලිබද අයිතියක් නොවුනි.

"මේ බලපන් කෙල්ලෙ අවුරුදු 15ක් කියන්නෙ මහා වයසක්ද බං. අනික බදින පිරිමියා කෝමත් ටිකක් වයස වැඩි උනොත් තමා පවුල් ජීවිතේ සාර්ථක" පියුමිගෙ මව පිටුපස කුස්සි කෑල්ලේ සිට පවසන්නේ කටගොන්නක් බීගත් තම සැමියා පැමිණ එය අසා සිටින බව නොදැනය.

"අවුරුදු 33ක් කියන්නෙ වයසක්ද යකෝ. බොට මතක නැත්ද සුමනො, මන් උඹව ගේනකොට මට 35ක් බොල 35ක්!. අනික ඒ මනුස්සයාට මොනවැයෙන් අඩුවක්ද?. ඉන්න ගේ වත්ත දේපළ... ඔය අනම් මනම් කියවලා මේ මගුල නොකෙරුනොත් තොපි ජීවත් වෙන්න හිතන්න එපා! දැනගන්."

දෛවය පමණක් නොව තම ආදර දෙමාපියන් පවා තමාට එරහි වූ බැවින් අවසන පියුමිට උරුම වූයේ හිරිමල් වියේ සිටින තමාට වඩා අවුරුදු 15ක් වයසැති සරණතිස්ස සමග රන්හුයෙන් දෑගිලි බැද ගන්නටය.

පාරම්පරික වලවුකරුවකු වූ සරණතිස්සට රැකියාවක් කිරීමේ උවමනාවක් නොවීය. අලුතගෙනා රූමත් බිරියත් මවත් සමග විශාල නිවාසේ ජීවත් වූ සරණතිස්ස මත්පැනට ඇබ්බැහි වූවකු නොවූයේ නම් ඇගේ වාසනා ගුණයක් නිසාය.

කාලය කෙමෙන් ගෙවමින් වසර දෙකක් ගත වූයෙ කාටත් හොර රහසේය.

"ඈ මාග්‍රට් අක්කෙ අපේ සරණතිස්ස ලමයා දැන් පෙලවහක් වෙලා සෑහෙන්න කාලයක්නෙ බං. කෝ තාම උඹට මුණුපුරෙක් දෙන්න හිතලා නැතැයි??"

"අර උඩහා ගෙදර කෙලී බැදලා ගිහින් මාස පහයි. අන්න ඒකිට බඩට මාස හතරක්ලු. ඒක නෙමේ මේ අපේ පියුමි කෙල්ලගෙ තාම නැත්ද වෙනසක්??"

තම නිවසේ අළුයට සැගව තිබූ ගිනි පුපුරු තම නෑ හිතමිතුරන් ගොඩ දමන විට සරණතිස්සගේ මවගෙන් පියුමිට හිමි වූයේ සාම්ප්‍රදායික නැන්දම්මෙකුගේ සැලකුම් වලිනුත් ඔම්බට ගිය කෲර සැලකුම්‍‍ය.

"අපේ එකත් ගිහින් ගිහින් කර ගැහුවනෙ දරුවෙක් වදාගන්න බැරි වඳ පීදිච්ච කෙසෙල් ගහකට."

"ටිකක් කට වහගෙන ඉන්න අම්මෙ පිස්සු හැදිලා ඉන්න මාව තවත් පිස්සු වට්ටන් නැතුව."

ස‍රණතිස්සගේ වුවද මත‍ය වූයේ රූප‍යට රැවටී දරු සම්පත් අහිමි පියුමිව කරේ එල්ල ගත්තා වැන්නකි.

"අම්මලා වුනත් ඇත්තනෙ කියන්නෙ. මට දැන් 35ක් තවත් වයසට ගිහින් දරුවෙක් ලැබුනත් ඒ ලමයා ලොකු වෙත්දි මන් හැරමිටියෙන් යයි."

පියුමිට තිබූ එකම සැනසීම වූ බේබද්දෙකු නොවූ සැමියා හොදම බේබද්දෙකු බවට පත් වූයේත් ගෙදර නිතර ඇවිලුන අඩදබර මධ්‍ය‍යේය.

උසස් පෙළ කඩ ඉම ගෙවා ගැනීමට නොහැකි වුවද ඒ දක්වා අධ්‍යාපන‍ය හදාරා සිටි පියුමිට නවීන වෛද්‍ය ක්‍රම පිලිබදව දැනුමක් තිබුනේ වාසනාවටදැයි අවාසනාවටදැයි ඇයවත් නොදැන සිටියා විය යුතුය.

"දැන් ළමයි නෑ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒවටත් බෙහෙත් තියෙනවා. අනේ මාත් එක්ක කොළඹ යන්. කාසල් එකේලු ඒ ක්ලිනික් එක තියෙන්නෙ."

"තමුසෙට ඕන්නම් යනවා මොකද මට ලෙඩක් අඩුපාඩුවක් තියෙනවායෑ බෙහෙත් ගන්න."

තම සැමියා පවා උනන්දු නොවූවද පියුමි ප්‍රතිකාර සදහා කාසල් වීදියේ කාන්තා රෝහල් සායනයට තනිව හෝ යාමට ගන්නේ දරදඩු තීරණයකි. දරුවෙකු නැතයි ඇයට අවලාද නගන නැන්දම්මාවත් අතැගිලි බැදගත් සැමියා වත් ඇයගේ තනියටහෝ ඇය සමග පමිණියේ නැත.

දෙතුන්වර සායන වලටද වෛද්‍ය පරික්ශණ වලටද සහභාගි වූ ඇයට එවායේ ප්‍රථිපල වලින් දන ගැනීමට ලැබුනේ ඇයට දරුවෙකු ලැබීම සදහා කිසිදු අඩු පාඩුවක් නොමැති බවය.

"තිස්ස, අනේ ඊලග පාර ක්ලිනික් එකට මාත් එක්ක යන් ඩොක්ටර් කිවුවා එන පාර හස්බන්ඩ්ව අනිවාර්‍යෙන්ම එක්කන් එන්න කියලා."

"හස්බන්ඩ් කෙනෙක් නෑ කියනව ඉතිං."

"දැන් මේ රෑත් වෙලා කොහෙද යන්නෙ?"

"මගුලෙ... තමුසෙට අනවශ්‍ය දේවල් හොයන්නැතිව ඉන්නවා..." ස‍රණතිස්ස සුපුරුදු ලෙසෙ එදිනද රාත්‍රියේ නිවසින් පිට වූයේ මත්පැනින් සප්පායම් වීමට බව පියුමි නොදැන සිටියා නොවේ. නමුත් වෙනදාට වඩා ඔහු වෙනදාට වඩා ප්‍රමාද වන විට ඇය තම පැරණි පන්නයෙ දුරකතනය අතට ගත්තෙ ඔහුට ඇමතුමක් ගෙන බැලීමටය.

"හලෝ....හලෝ.... තිස්ස...."

"හලෝ කවුද මේ?..."

"හලෝ....තිස්ස...."

"තිස්ස..හි..මම තිස්ස නම් නෙමේ හැබැයි මේ පැත්තෙන් දැන් මුවෙක් නම් දිවුවා...තිස්සත් පස්සෙන් දිවුවද දන්නෑ...හි...හි..."

"සොරි...රෝන් නම්බර් එකක්.." ඇමතුම විසන්දි විය. ඇයට එක් අංකයක් වැරදිනි. එක් අංකයක් වැරදීම ඇයට ජීවිතයම වරදාවි යැයි ඇය සිහිනෙන් වත් නොසිතුවාට සැක නැත.

පසු දිනද එම අංකයෙන් ඇයට ඇමතුමක් පැමිණි අතර ඇයට නිදහසේ ඇමතුමට සම්බන්ද වීමට හැකි වූයේ සුපුරුදු ලෙස සරණතිස්ස දිනපතා නිවසට එන විට අළුයම වන නිසාය.

හුරතල් කතාවෙන් ඇයට ලංවන කසුන් ඇයට සත්‍යම පවසන අතර ඇයද ඔහුට ඇගේ ජීවිත කතාවම පවසන්නෙ ඔහුගේ ආදර වදන් හමුවේ අසරණ වූ මුවැත්තියක ලෙසිනි.

කසුන්ද විවාහා වී දියණියකද සිටින පියෙකි. රාත්‍රි වැඩ මුරය අතර පැමිණි ඇමතුමෙන් හදුනාගත් පියුමි පිලිබද අනුකම්පාව මුසු ආදරයක් ඔහුගේ සිතේද දළුලමින් තිබුනේ ඔහුටද රහසේය.

"මේ 26 මගෙ ඕෆ් එක එදාට ඔයා ක්ලිනික් කියලා එන්න. මට ඔයාව දකින්න ආසයි."

"මටත් දකින්න නම් ආසයි...ඒත් මට බයයි කසුන්.."

දිනක එසේ ඇරඹි කතා බහේ ප්‍රතිපලයක් ලෙස නොදැක සිටි පෙම්වත් යුවල හමුවී තනිවන්නෙ ඔහුන්ගෙම ලොවකය. නමුත් ගැටලුව ඒ ලොව ඉදිවන්නේ අසම්මත ලෙස හෝටල් කාමරයක් තුල වීමය.

ඒ හමුව සිදුවී තවත් මාස හතරකට පසු අද දිනද ඇය සායනයේ නාමයෙන් කොළඹ එන්නේ කසුන් සමග පෙම් සුව විදීමටය. නමුත් ඇයගේ සිතේ තෙරපෙන දේ දන්නේ ඇයම පමණි.

"කිරිබත්ගොඩ..කඩවත..කිරිල්ලවල..බැලුම්මහර..මිරිස්වත්ත..ගම්පහ..ගම්පහ..ගම්පහ...."

කොන්දොස්තරගේ හඩින් අතීතයෙන් මිදුන පියුමි වටපිට බැලුවේ තාමත් තමන්ට නුහුරු නගරයේ තමා සිටින්නේ කවර ස්ථානයේ දැයි දන ගැනීමට මෙනි. තාමත් බසය පසු කරන්නෙ ආමර් වීදිය‍ය.

"මිරිස්වත්ත එකක්"

ටිකට් පතක් ගෙන ඇය නැවතත් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමාගෙන ජීවන ගමනේ තමා පසු කර වේගයෙන් ආපස්සට ඇදීයන නගරයන් දැස බලා සිටියේ හැගුම් විරහිතවය.

"අප්පේ අද නෙමේ ඔයානෙ පරක්කු." මිරිස්වත්ත නැවතුම්පලින් බැසගත් සැනින් කසුන්ව හමුවීම පියුමිට නම් සැනසීමක් ගෙන දුන්නාට සැක නැත.

කාලය ගෙවී යයි සැමට හොරෙන් කාටත් වරදක් නොකල අහිංසක නමුත් අසම්මත පෙම්වතුන් යුවලක් මිරිස්වත්ත නැවතුම් පලක කුඩා කාමරයක් තුල පෙම්සුව විදිමින් සිටී.

පෙම් සුව පමණක් නොව කම් සුවද විදිමින් සිටි දෙදෙනාටම පැය දෙකක කාලය ගෙවීයනු නොදැනීම අරුමයක් නොවේ. දෙදෙනාම නාගෙන පිටත්වීමට සූදානම්වන මොහොතේ පියුමි දින දෙකක්ම තමා මේ පිටස්තර පුද්ගලයෙකුත් සමග යහන් ගත වූ ඒ යහනේම හිද ගත්තේ දිගු කතාවාට මුල පිරීමට බව කසුන්ට තේරුණේ ඉවෙන් මෙනි.

"ඇයි බබා.." කසුන් අසන්නේ පියුමිගේ ඔලුව අතගාන ගමන්ය. ඇගේ දෙනතේ තෙරපෙන කදුලු බිද ඔහු දකින්නෙ ඒ මොහොතේය.

"කසුන්...මට සමාවෙන්න මන් ආයෙ ඔයාව හම්බවෙන්න එන්නෑ.. මට ආයෙ කෝල් කරන්නත් එපා.. මන් ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ. ඇත්තටම...ඇත්තටම කියනව නම් මන් ඔයාට ණ‍ය ගැතීයි..." පියුමිගෙන් පිට වන්නෙ වදන් වලට වඩා ඉකිබිදුමකි.

"මොකක්ද පියුමි ඔයාට වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන්න කියන්න ළමයො..."

"මට සමාවෙන්න කසුන් ඔයා මට දෙවිකෙනෙක්. තිස්ස මට මොනවා දුන්නත් එයාට මට දරු පැටියෙක් දෙන්න බැරි වුනා. ඒ මදිවට ඒ මගේ අඩුවක් කිය කිය හැමෝම මට වද දුන්නා. මන් මේ ආරංචිය මුලින්ම කියන්නෙ ඔයාට....... මම...මම....අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. දැන් මාස හතරයි."

"මොකක්...!!!"

"ඔව්..කසුන් ඔයා බය වෙන්න එපා. මන් දන්නවා ඔයාටත් දරු පවුලක් ඉන්නවා. ඒ වගේම මේ මගෙ බඩේ ඉන්න දරුවත් ඔයාගෙ. ඒත් මේ දරුවාවත් මන්වත් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෑ. අපි දෙන්නම සදහටම ඔයාගෙ ජීවිතෙන් යනවා.... ආයෙ මාව හම්බවෙන්න හදන්න එපා.... ආයෙත් කියන්නෙ මන් ඔයාට ජාති ජාතිත් ණයගැතියි.... ඔයා මට දෙවි කෙනෙක් කසුන්....."

"මට මොනවා කියන්නද තේරෙන්නෑ පියුමි, ඒත් මන් නිසා ඔයාගෙ ජීවිතේට යහපතක් උනානම් මට ඒ ඇති. මාත් ඔයාට ආයෙ කරදර කරන්නෑ. ඒත්.....මගේ දරුවව හොදට බලා ගන්න... තාත්තාගෙ නම මට දෙන්න බැරි උනත් එයාගෙ ඇගේ දුවන්නෙත් මගේ ලේ..... එයාව හොදට බලා ගන්න. ඔයා සංතෝසෙන් ඉන්නවානම් මට ඒ ඇති...."

ගෙවී ගිය තවත් හෝරා කිහිපයකට පසු කසුන්ගෙන් සමු ගනිමින් ඔහුගෙ ලෙයින් සෑදුනු දරු ගැබත් දරා පියුමි ගාල්ල බලා දිවෙන දුම්‍‍රියට ගොඩ වූයේ කසුන්ගේ මතකයන් සියල්ල කොටුව දුම්රිය ස්ථානයේ අතරමං කර දමමිනි.

© ප්‍රියා.


ප. ලි. ~~
මුලින්ම කියන්න ඕන මෙය 'කෙටි කතා' ලේබලෙන් දැම්මට මේ නිර්මාණයට පාදක වුනේ සත්‍ය සිදුවීමක්.
මන් කලින් වැඩ කලේ 'තත්ව සහතික' දෙන ආයතනයක 'ක්ෂේත්‍ර නිළධාරියෙක්' විදියට. ඉතිං ඒ ඉත්දි අපිට විවිධ ආයතන වල පරීක්ශා කිරීම් වලට යන්න වෙනවා. මන් වැඩි පුරම කලෙත් රාත්‍රී සේවා මුරය. එහෙම මන් වැඩිම කලක් පරීක්ශා කිරීම් කල ආයතනයක සේවය කල, එයින්ම හදුනා ගත් මගේ මිත්‍රයෙකුට උන සිදුවීමක් තමා මේ. (ඔය පලමු මිස් කෝල් එක එන වෙලාවෙත් අපි එකට රාත්‍රී සේවයෙ.)

මේ වගේ සමාජයට යමක් ගත හැකි අත්දැකීම්, කතා කිහිපයක්ම තියෙනවා. 'කියවන එක් අයෙකුට හෝ ප්‍රොයෝජනයක් ගත හැකි' යැයි හිතන කතා පමණක් අවස්ථාව ලැබෙන හැටියට ඉදිරිපත් කරන්නම්.

මේ සිදුවීමට දැනට අවුරුදු තුනක් විතර ඇති. ඒ දරුවටත් දැන් අවුරුදු දෙකක්වත් ඇති. එහෙම තියෙත්දි මන් මේ කතාව දැම්මෙ මේකෙ සෑහෙන්න ගත යුත්තක් තියෙන නිසයි. මෙතනදි පෞද්ගලිකව මට කාටවත් ඇගිල්ල දික් කරලා වැරදියි කියන්න බෑ. මන් දකින විදියට වැරද්ද "සමාජ ක්‍රමයෙයි, හණ මිටි අදහස් වලයි'.

මේ මං ඇස් පනා පිට දැකපු එක සිදුවීමක් පමණයි. මේ සමාජයේ තවත් පියුමිලා, සරණතිස්සලා, කසුන්ලා කොතෙක් ඇත්ද??. පියුමිගෙ දරුවො වැනි දරුවන් තව කොතෙක් ඇත්ද??
"වරද කොතැනද ???........"

(නම්, ගම්, ප්‍රදේශ සියල්ලම වෙනස් කරන ලද සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලදි. ඉදිරිපත් කිරීමේ පහසුව උදෙසා සිදුවීමේ යම් යම් ස්ථාන වෙනස් කරන ලදි.)

© ප්‍රියා.

38 comments:

  1. සරණතිස්සයි අම්මයි ඉල්ලං කෑවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි Dude, අම්මගෙ හණ මිටි අදහසුයි සරණතිස්සගෙ උද්දච්ච කමයි නිසා ඒ දෙන්නා රැවටුනා.

      Delete
  2. කෙල්ල නියම වැඩේ කළේ,එහෙම තමයි ඉන්න ඕනෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා හැලප අයියෙ. හණමිටි අදහස්වලටයි උන්ගෙ ලොකු කම් වලටයි පියුමි ලස්සන කණේ පාරක් දුන්නෙ. ඒක නිසා දැන් ඔය වගේ අම්මලා පුතාලට පරිස්සම් වෙන්න වෙනවා.
      :-)

      Delete
  3. හ්ම්, මොනවා උනත් අන්තිමට තිස්සට මොකෝ උනේ. පවුල් ජිවිතේ ඊට පස්සේ හොඳට ගියා ද.

    හොඳට මේක සකස්කරලා තියනවා, ස්තුති මල්ලි අපිත් එක්ක මේක බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. නෑ ඩොක් අයියෙ, මං දන්න තරමින්දරුවා ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්තට පස්සෙ පියුමි කසුන්ගෙ සම්බන්දෙ නැවැත්තුවා. තිස්ස හිතුවෙ ඒ ලැබෙන්න ඉන්න දරුවා එයාගෙ කියලයි.

      Delete
  4. ප්‍රියා //මේ වගේ සමාජයට යමක් ගත හැකි අත්දැකීම්, කතා කිහිපයක්ම තියෙනවා. 'කියවන එක් අයෙකුට හෝ ප්‍රොයෝජනයක් ගත හැකි' යැයි හිතන කතා පමණක් අවස්ථාව ලැබෙන හැටියට ඉදිරිපත් කරන්නම්./// හැම සතියටම එකක්වත් ලියන්න , ඔබ හොදට අදහස් ඉස්මතු කරලා ලියල තියෙනවා ,,

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔමා. ඉඩ ලැබෙන හැටියට දිගටම ලියන්නම්.
      "තිඹිරි ගෙය" බ්ලොග් එකට මොකද උනේ? ඒකට යන්න බෑනෙ remove කලා කියනවා.

      Delete
  5. සුබ පැතුම් ප්‍රියා...ඔයත් ලියනවයි කිව්ව කතා ලියන්න පටන් අරන් සතුටුයි.පියුමිලා, සරණතිස්සලා, කසුන්ලා කොතෙක් ඇත්ද??. පියුමිගෙ දරුවො වැනි දරුවන් තව කොතෙක් ඇත්ද??
    "වරද කොතැනද ???........" වරද තියෙන්නේ එකිනෙකාගේ සිතුම් පැතුම් වල ප්‍රියා .............අවබෝධයකින් ,අවංක ආදරයකින් සිද්ද නොවන විවාහ වලින් ඔයිට වඩා ප්‍රශ්ණ ඇති වෙන්න පුලුවන් සමහර ප්‍රශ්න මිනිමැරුම් කරා පවා ඇදෙන්න පුලුවන් කම තියනවා.........(විවාහය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියන්නේ නිකන් ද )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු සුභ පැතුමට. ලියන්න හිතන් හිටියට කොහොමද ලියන්නෙ කියලා කල්පනා කර කර ඉත්දි ඔයාගෙ පෝස්ට් එකෙන් හොද ආරම්බ‍යක් අරන් දුන්නෙ.
      ඇත්ත ශානු, අාන්‍යොන්‍ය තේරුම් ගැනීමක් නැතුව කෙරෙන කසාද සාර්ථක උනොත් තමා පුදුමෙ.

      Delete
  6. මෙ කතාව වටිනව අහන්නත්...මොඩ මිනිසුන් නිසා කට කතා නිසා මෙ වගෙ දෙවල් වෙන එක පුදුමයක් නෙවෙ...
    දෙන්නම නාස්ති වෙනව මොනවා හරි වුනෙ නෙත්නම්...
    හොන්ද දෙයක් වුනා එත් දවසක ඈත්ත එලි වෙන කොට තමා ගිනි ඈවිලෙන්නෙ....

    ReplyDelete
    Replies
    1. ඇත්ත Celi, ඒගොල්ලන්ගෙ මෝඩකම් නිසයි ඔය දේූනේ (සරණතිස්සලගෙ). මං වැරදි වෙන්න පුලුවන් ඒත් මං ප්‍රාර්ථනා කරනවා ඔය ඇත්ත කවදාවත් එළි නොවේවා කියලා.

      Delete
  7. වරදක් කාගේ වුනත් තියෙන්න පුළුවන්. ළමයි නැහැයි කියල ගෑනිට දොස් කියා කියා ඉන්න එක පිරිමි කමක් නෙවෙයි. අර තිස්සයට වෙච්ච වැඩේ නම් යසයි. මහා ගෑනිටත් අහවල් එක මූට්ටුවෙන්න ඇති ළමයෙක් හම්බවෙන්න එනවා දැක්කම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා කෝරලේ, ඇත්තටම ගැහැණියගෙ අඩුපාඩුවක් නිසා දරුවො අහිමි උනත් පිරිමියාට කොන්ද පණ තියෙන්න ඕන තමන්ගෙ බිරිදව සමාජ‍යෙ අවලාද වලින් බේර ගන්න. තිස්සගෙ අම්මට නම් මරු වැඩේ තමා උනේ.

      Delete
  8. මොනව කියන්න ද කියල තේරෙන්නෙ නෑ ඇත්තට ම. මොනව වුණත් කාන්තාව හැම පැත්තෙන් ම අසරණ යි. මේ කතාව කියෙව්ව ම ඇයට දොසක් කියන්නත් බෑ. මොකද ඇගේ හිතේ කොච්චර පීඩනයක් තියෙන්න ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි, මේ වගෙ ප්‍රශ්ණෙකදි කාන්තාව පුදුම විදියට අසරණ වෙනවා. විශේෂයෙන්ම අපේ වගේ පසුගාමි සමාජයක.

      Delete
  9. සත්‍ය කතාවක් උනත් ඒක අනවශය ප්‍රමාණයට කතාවක ඉලිප්පුවම කතාවේ වටිනාකම නැති වෙනවා. එහෙනං සත්‍ය කතාවක් කියල ඒක දාන්න ඕන.. නිර්මාණයකට තනිකර අත්දැකීම් දැමීමෙන් නිර්මාණය අසාර්ථක වෙනවා. කොහොම උනත් සමාජයට හොද සංඥාවක් ලැබෙන කතාවක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකයෝ උපදෙසට. ඔන්න ඔහොම වැරද්දක් තියේ නම් පෙන්නලා දෙන්න. එතකොට ඊලග පාර ඒක හදාගෙන ලියන්නම්.

      ඔව් දේශකයො,ඔය සරණතිස්සලා වගේ චරිත වලට මේකෙන් පණිවිඩයක් ගියොත් ඇති.

      Delete
  10. මේ වගේ දුක්බර කටුක විනසවුණු ජීවිත මොනතරම්නම් තව ඇතිද?ඒව ගැන දන්නෙ කීයෙන් කීදෙනාද?මොනව වුනත් ප්‍රිය හොද දෙයක් කරලා තියෙනව..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජ වීදිය,
      ඇත්තටම මේ වගේ චරිත අනන්තවත් මේ සමාජයෙ ඇති. අනාගතේදිවත් මේ චරිත බිහි නොවේවා කියලා පතමු!

      Delete
  11. මේකෙන් කවුරු හරි පාඩමක් ඉගෙන ගන්නවා නම් හොඳයි. නමුත් වෙන්නේ අනිත් පැත්තමනේ. මේ වගේ කතාවක් ටෙලි නාට්‍යකත් ගියා වගේ මතකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සුදීක, කවුරුම හරි කෙනෙක් මෙවයෙන් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ හරි ගස්ස ගන්නවනම් ලොකු දෙයක්. ඒත් ඔයා කියන්නා වගෙ ගොඩක් මිනිස්සු මේවත් අනික් පැත්තට තමා බාර ගන්නෙ.

      Delete
  12. කෙල්ල කරපු වැඩේ නම් නියමයි !
    ලස්සන ලියවිල්ලක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූ,
      ඇත්තටම කෙල්ල කරපු වැඩට ඒ කෙල්ලට දොස් කියන්න බෑ තමා කොහෙත්ම.

      Delete
  13. කෙල්ලගේ පැත්තෙන් සාධාරණයි.. ඔහොම දේකදි ඉතින් ඒවගේ උත්තරේකින් ඇරෙන්න කොහොමද ඒක ඔප්පු කරන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනෙශ්අපේ වගේ පසුගාමි සමාජයක ඔය ප්‍රශ්ණෙදි සම්පූර්ණයෙන්ම ඇගිල්ල දික් කරන්නෙ ගැහැණියටයි. ඒක වැරදි බව අපෙ මිනිස්සු පිලි ගන්න කැමති නෑ.

      Delete
  14. උඹ මේ කතාව ලස්සනට ලියලා තියෙනවා ප්‍රියා. ඇත්ත කතාවක්ද නැද්ද කියන එක අදාල නැහැ . මොකද මෙවැනි සිදුවීම් වෙලා තියෙනවා....ඉදිරියටත් වෙනවා තිස්ස වගේ පස්ස පැත්තේ මොලය තියන එවුන් ඉන්නකම්.

    /////"තමුසෙට ඕන්නම් යනවා මොකද මට ලෙඩක් අඩුපාඩුවක් තියෙනවායෑ බෙහෙත් ගන්න."////
    මෙවැනි උත්තරයක් නිසා පසුව ප්‍රියාගේ කතාවේ විදිහම සිද්ධියක් වුන කාන්තාවක් ගැන අරකී මට කියා තිබෙනවා. ඇය බොහෝ කාලයකට පෙර වැඩ කලේ වින්දන නම්වූ IVF Treatment Clinic එකේ

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ, ඔහොම සිද්ධි ඊයෙත් උනා අදත් වෙමින් පවතිනවා. අපේ සමාජෙ මේ විදියටම තිබුනොත් තිස්සලා තමන්ගෙ වැරද්ද තේරුම් නොගත්තොත් මේවා හෙටත් සිද්ධ වෙයි. පියුමිලා කසුන්ලා හෙටත් බිහි වෙයි.
      අපි එහෙම නොවේවා කියලා පතමු!!

      Delete
  15. මේ කතාවෙන් වැඩිපුරම රැවටෙන්නෙ සරණතිස්සවත් එයාගෙ අම්මවත් නෙමේ. කසුන්ගෙ අහිංසක නෝනා. ඒක කොච්චර අසාධාරණ ද? පියුමිගෙ ජීවිතේ දුකක් බව ඇත්ත. ඒත් ඒ දුකින් එයා ගැලවෙන්න හදන්නෙ තවත් අහිංසක ගැහැනියක් අසරණ කරල රවටල. මට නං මේ කතාව කියවපුවම හිතුනෙ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමා සිගිති, මාත් පිලිගන්නවා ඇයටත් විශාල අසාධාරණයක් උනා. ඒත් එතනදි පියුමිට වඩා වැරදි මගෙ යහළුවා උනත් කසුනුයි. පියුමිත් වැරදි නැතුවා නෙමේ ඒත් ඔයා මතු කරන තර්කෙදි වැඩි වගකීම තියෙන්නෙ කසුන්ට නේද?.

      Delete
  16. "අපේ එකත් ගිහින් ගිහින් කර ගැහුවනෙ දරුවෙක් වදාගන්න බැරි වඳ පීදිච්ච කෙසෙල් ගහකට." දරුවෙක් නැති වුනාම හැමතිස්සේම මිනිස්සු බනින්නේ ගැණු ළමයට. මහ අසාධාරනයි අප්පා :(

    ReplyDelete
    Replies
    1. ඇත්ත බඩී, ඕක මහ අසාධාරණ තැනක්. ගෑණු පිරිමි භේදයකින් තොරව මේවට විරුද්ධ විය යුතුයි.

      Delete
  17. ඇත්තටම මේ කතාව කියල සමාජයට ආදර්ශයක් දුන්න එකට මගේ ගව්රවය ප්‍රිය,
    තව එකක් මේ කතාව අර යාළුවගේ පවුලට එහෙම ආරංචි වෙන්න තියන්න එපා ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුමා අයියෙ.

      කොහෙත්ම නෑ කුමා අයියෙ. ඒයාට කොහෙත්ම ආරංචි වෙන්න ඉඩක් තියන් නෑ. මේකේ කසුන්ගෙ අනන්‍යතාව මම දිගටම රකිනවා. ස්තූතියි.

      Delete
  18. කව්රු නැතත් පියුමි ගේ තනියට දැන් දරුවෙක් හරි ඉන්නවා නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒක ඇත්ත මොණරි, කවදා හරි ඒ දරුවා වත් තනි රකීවි පියුමිට.

      Delete
  19. ඇඟ හිරිවැටිල යනව බොල.මෙච්චර හොඳට ලියන උඹනෙ පහුගිය දව්ස් වල ගල් බිල්ලා වගේ හිටියේ..

    ReplyDelete
  20. අර "කපලා දාපු" කතාවේ අනික මේ!! ෆට්ඨ!!! දෙන්න තියෙන හොඳම දඬුවම දීලා තියෙනවා හණමිටි කරගහං ඉන්න ගොඩයොන්ට!!! මරු!!
    කියන්න වදන් නෑ!!

    අර කසුන් ගෙ අනන්‍යතාව රැකහං අයියෙ අෑ!! නැත්නං ඉතිං, කරපු උදව් වලට කල හොඳ පස්සෙං පන්නන්න ගත්තොත් පවුලත් ඉවරයි ජීවිතෙත් ඉවරයි!!

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................