26 January, 2014

මගේ කුසටම… එන්න පුතුනේ……




"සුධාරි…සුධාරි…" කවීෂගේ හඩින් අවදි වූ මා වටපිට බැලුවේ අප දෙදෙනා සිටින තැන කුමක්දැයි වටහාගැනීමට මෙනි. කවීෂගේ දෙදණ මත නින්ද යාමට මොහොතකට පෙර ගලා ගිය කඳුල තවමත් වියළී නැති බව තෙත්වූ දෙකොපුල කියා පායි.

අඳුරු පහැ දිගු කොරිඩෝවේ මුල්ලක තබා තිබූ දිගු බංකුවට බරදී මාත් කවීෂත් සිටින්නෙ යම රජුගෙ ආරාධනාව එන තුරු අපායට යන දොරටුව අභියස බව මා කෙසේ අමතක කරන්නද? එය සිහියට නැගෙන විට දෙකොපුල වියළීමට ඉඩක් නොතබා ඇදෙන කඳුළු බිඳුව මා කෙසේ වළකා ගන්නද?.

"තවත් ඔහොම හූල්ලන්න එපා දෙයියනේ. මටත් දුකයි ඒත් අපි මක් කරන්නද?." කවීෂගේ හැඬුම්බර හඩ මට තවත් වේදනාවකි.

"අන්න අර මිස් එනවා. ඔයා කඳුළු පිහදගන්නකො…" එකවරම කවීෂගේ හඩ වෙවුළුම් කන්නට විය.

12 January, 2014

පොලෝසිය හොරු සමග හෙළුවෙන් ………


නව වසර උදාවත් සමග බොහෝ දෙනාගෙ මුවග රැදුන වැකිය වූයේ "සුභ නව වසරක් වේවා" යන්නයි. එසේ වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම ලැබුවා වූ නව වසර සුභ වූවන් මෙන්ම නව වසර ලබත්දීම විවිධ අකරතැබ්බයන්ට මුහුණ පෑවන්ද නැතුවා නොවේ. අද සිතුවිල්ල දිග හැරෙන්නෙ වසරක් ගෙවී නව වසරක් උදා වන මොහොතේ එවන් නපුරු අත්දැකීමකට මුහුණ දුන් පවුලක් පිලිබදවය.

ඒ නිවැසියන්ට මාගේ ඇති ඉතා කිට්ටු ඥාතීත්වය නිසාම ඔහුන්ගෙ අනන්‍යතාවය සගවා කතාව ඉදි‍රියට ගෙන යන්නම් අප නිවසට නුදුරෙන් කොළඹ නුවර මාර්ගයට (A-01) මීටර 50ක් පමණ ඉතා ආසන්නව පිහිටි අදාල නිවසේ දිවි ගෙවන්නෙ මැදි විය ගෙවා දමමින් සිටින මාපිය යුවලක් හා ඒ දෙපලගේ තරුණු එයේ පුත්‍රයාය.

දිනය හරියටම පසුගිය දෙසැම්බර් මස 30 දින මැදියම් රැය ගෙවී 31 එනම් වර්ශයේ අවසන් දිනයේ අළුයමය. එදින නිවසේ පුත්‍රයා රැකියාමය කටයුත්තකට නිවසෙන් පිට රාත්‍රිය ගත කොට ඇත. දෛනික පුරුදට පාන්දර 5.00ට පමණ අවදි වන මවට දැක ගන්නට ලැබෙන්නෙ පිටුපස දොර අඟුලු පන්නා හැර දමා ඇති ආකරයය. එතනින් එහාට සැමියාද සමග නිවස පරික්ෂා කර බලන අතර ඒ වන විටත් විය යුතු දේ වී අවසානය.

එම නිවසේ අල්මාරි දෙකම තබා ඇත්තේ ලොකු කාමරය එනම් පුතුගේ කාමරයේය. වාසනාවට එම මව රන් බඩු කිසිවක්ම අල්මාරියෙ නොතබා වෙනත් ස්ථාන වල සගවන නිසාවෙන් අල්මාරි දෙකම ඇද දමා සොයාගත හැකි වී ඇත්තෙ මුදල් කුඩා ප්‍රමාණයක් පමණි. ඊට අමතරව පියාගෙ ජංගම දුරකතනයද සොරාගෙන ඇත.

එපමණක් නොව නව වසරක උදාවට මිලදී ගත් තිදෙනාගේම අලුත් ඇදුම් සියල්ල පමණක් නොව ඇද ඇති ඇදුම් කිහිපයක්ද ගෙන ගොස් ඇත. එපමණක් නොව සොරාගත් ජංගම දුරකතනයේ කාන්තා නම් වලින් තිබූ බොහෝ අංක වලට පාන්දරම අමතා පණඇති මනුස්සයෙකුට අසා සිටිය නොහැකි තරම් ශුද්ධ සිංහලෙන් කතා කොට ඇත.


දැන් මේ ලයිස්තුව කියවපු හැටියෙ ඔබට සිතිය හැක "මූට පිස්සුද? මේවා බොලොග් වල ලියන්න. මේවට වඩා කෝටි ගනන් නැතිවෙන් නැත්ද?" කියලා. නමුත් මේ සො‍රකම තුල සැගවුන සමාජ ව්‍යසනයක් ඇත.

එනම් ඔහු සොරාගෙන ඇත්තේ එපමණක් නොව. අදාල නිවසේ මවගේ එනම් මැදිවිය ගෙවා දමමින් සිටින නිවැසි කාන්තාවගේ අදින ලද යට ඇදුම්ද ඔහු සොරාගෙන ඇත. එපමණක්ද නොව ඔහු ගෙයි සාලයේ සැටියකට බරවී එම යට ඇදුම් කිහිපයක් සමගින් 'ස්වයං වින්දනයේ' යෙදී ඇත (දැන් අහන්න එපා මම බලන් හිටියද කියලා හි … හි…). ඔහුගේ ඇංජිම ක්‍රියාත්මක වූ බවට සාක්ෂි ලෙස එම යට ඇදුමක් සමග ඔහුගේ ඇංජිමෙන් පිටවූ 'කළුතෙල්' සාලයේම හලා ගොස් ඇත.

අප විවෘතව කතා ක‍රමු, මා නම් 'ස්වයං වින්දනය' හෙලා දකින්නෙක් නොවෙමි. කිමද එය මිනිසාගෙ ඉතා අහිංසක ක්‍රියාවක් වන්නේ නම් පමණි. අවිවාහකයෙක් හෝ බිරිඳ ගෙන් වෙන් වූ අයෙකු තම සිත තුල ලිංගික ආශාවන් සිර කොට තබාගෙන අවසානයේ ස්ත්‍රී දූෂකයන් ළමා අපචාර කරුවන් වනවට වඩා තමාගෙ ආශාව තමාම සංසිදුවා ගැනීම මා දකින ආකාරයට යහපත්ය. (ඔබේ මතය මෙයට විරුද්ධ විය හැක.)

නමුත් ගැටළුව ඉහත කී හොරා එවන් අහිංසකයෙක් නොවේ. සමාන්‍ය ගමෙ ගොඩේ සැරි සරන ජ** හොරෙකි. අදාල පුද්ගලයා බොහෝවිට කුඩ්ඩෙකු වීමට ඉඩ ඇත. කිමද කුඩ්ඩෙකු මිස අන් සොරෙකු ඇදි ඇදුම් සොරකම් කිරීමට ඇති ඉඩ කඩ අවම බැවිනි.

මේ අශික්ඛිතයා තම මුදල් අවශ්‍යතාවය පිරිමහා ගන්න ගමන්ම තම අසහනකාරී ලිංගික අවශ්‍යතාවයද පිරිමසාගෙන ඇත. අනෙක් අතට මොහු අහිංසකයෙකු නොවන්නේ, කාන්තා යට ඇදුම් සොරකම් කර ඒවාත් සමග සතුටු වී තම ආශාව සංතර්පණය කර ගැනීමට තරම් ලිංගික අසහනයකින් මානසික ආබාධයකින් පෙලෙන තැනැත්තා තමාට ගොදුරු කර ගත හැකි නම් තමා අවට සිටින තරුණ කතුන් කුඩා දරුවන් පමණක් නොව මහළු කාන්තාවන් පවා බිලි ගැනීමට දෙවරක් සිතන්නේ නැත. කිමද අප දැන් ජීවත් වන්නේ වයස අවුරුදු අනූවේ තරුණ කතුන් පවා ඇස් පියාගෙන දූෂණය කල තිරිසනුන් සිටින 'අ'මුතු ඇටයක් තුලය. (ඇතම් විට 'චොගම්' එකට රැජිණ නාවේද ආරක්ශාව ගැන සලකා විය හැක. හි… හි……)


කෙල්ලක් කොටට ඇදන් යනවා දුටු ගමන් සායට අස්සෙන් අත දමා ෆොටෝ ගැනීමට සිත් පහල වන්නෙද මෙවන් අවජාතකයන්ටමය.

ඔය සියල්ලම පසෙකට දමා මා සිතුවිල්ලේ උච්චතම අවස්ථාවට එන්නම්. 'පොලෝසිය' හ්ම්ම්ම්… පෑලියගොඩ පොලිසිය. ඉස්සර නම් මා හට පොලිසිය පිලිබදව විශේෂයෙන්ම පෑලියගොඩ පොලීසිය පිලිබදව තිබුනේ යහපත් ආකල්පයකි. කිමද මා පාසල් වියේ සිටම කිහිප වරක්ම පෑලියගොඩ පොලිසියට පය ගසා ඇත. (නෑ…නෑ… රිමාන්ඩ් එකේ හිටියෙ නෑ බොලවු.) මුලින්ම උසස් පෙළ සමයේ කේවල ව්‍යාපෘතිය සදහා තොරතුරු ගැනීමටත් තව වරෙක රැකියාවට යාමට පොලිස් සහතිකය ගැනීමටත් තවත් වරෙක 'ජාතික හැදුනුම්පත' නැතිවූ බවට පැමිණිල්ලක් කි‍රීමටත් ලෙසය. එම අවස්ථාවන් වල ඉතා ප්‍රශස්ත මට්ටමෙන් නැතත් සතුටු දායක සේවාවක් මාහට ඒ පොලිසියෙන් ලැබිනි. ඒ තාප්ප ගසා පොලිසියට වටකොට තැබූ යුගයය. නමුත් මේ ගෙවෙන්නෙ පොලිසිය හා මහජනතාව සමීප කරවීම උදෙසා තාප්ප කඩා දමා මල් පාත්ති වවන යුගයය. අවාසනාවට එදාට වඩා අද පොලීසිය අපට එනම් මහජනයාට දුරස්ය. එයට හොදම නිදර්ශකය මා සතුව ඇත.

ඉහත කී වනචාරියාගේ ආගමනයෙන් පසු අදාල නිවසේ පියා 31 උදෑසනම පැමිණිල්ලක් කිරීම සදහා පෑලියගොඩ පොලීසියට ‍යන අතර එහිදී පැමිණිල්ල ලියා ගැනීමට අයෙකු නැතයි කියා ඔහුව හරවා යැවිනි. තාක්ෂණය මෙතරම් දියුණු යුගයේ සොරාගත් ජංගම දුරකතනයෙ අංකය නිසාම සොරා සොයා ගැනීමට තිබූ අවස්ථාව මග හැරී යන්නේ පොලිසියේ දුර්වල කම නිසාය. එම පියා එදින දහවලෙ එම අංකය විසන්ධි කර දැමීය. එම පැමිණිල්ල දැමීම සදහා නැවත සවසද ඔහු පොලිසියට ගොඩ වැදුන නමුත් ප්‍රථිපලය විශ්වාස කල හැකිද? 'බස්නාහිර (උතුරු) දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාලය' , 'පොලිස් අධිකාරි කාර්‍යාලයක්' යන විශේෂිත කාර්‍යාලය දෙකක් පිහිටා ඇති අවටට ඇති විශාලම පොලිසිය තුල පැමිණිල්ල ලියන්නට අයෙකු නැති කමින් පැමිණිල්ල බාර ගැනෙන්නෙ නැත. (ඇතම් විට ඔහුන් අවුරුද්දට ලක ලෑස්ති වූවා විය හැක - රාජකාරිය අමතක කර දමා.)


පොලෝසිය නියමාකාරව තම රාජකාරිය ඉටු කලේ නම් සොරා අල්ලා ගැනීමට දිනක් හෝ දෙදිනක් වැය විය හැකිව තිබුනි. නමුත් අපෙ රටේත් අපගේත් අවාසනාවට පැමිණිල්ල ලියවෙන්නේම සොරකමින් තුන් වන දිනදීය. එනම් පසුගිය දෙවෙනි දිනදීය. තාප්පය කඩා දැමූ පසු පොලිසිය එතරම මානුශීයව, බුද්ධිමත්ව, කාර්‍යශූරව අප හට ලංවී ඇත. එම කාර්‍යශූර බුද්ධිමත් කළගෙඩි වැනි ඔළු තුල අබ ඇට වැනි මොලයේ තරම තරම පෙනෙන්නෙ පැමිණිල්ල ලියා ගත් පසු පොලිසියෙ අංකය ලබාදී "සොරා ගැන තොරතුරක් ඇතොත් අපට දැනුම් දෙන්න" යැයි කී පසුය.

(පින්තූරය ගූගල් දෙවියාගෙනි.)

ප. ලි. ~ ~
ලියන්නට අද්භූත කතා කිහිපයක්ම ඇතිමුත් මා දෙවියන් සහ හොල්මන් ඈදා සිතුවිලි ලිවීම ටික දිනකට නවතා දමමි. කිමද අහෝ දෙවියනේ ලියූ පසු මාහට උණ සෑදී දින තුනක් ඇදටම වී සිටීමට සිදුවූ අතර පසුගිය සතියේ ලියූ හොල්මන් බිල්ල ගැන ලියා පසු දිනම මා හට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවිය.
නොපෙනෙන බලවේග…… නොපෙනෙන බලවේග…… හිකස්. :-D


© ප්‍රියා.

05 January, 2014

බිල්ලට නොගත් බිල්ලෙක්……




ගිය සතියෙ ලියපු කොටු පනින කතාවෙ කමෙන්ට් පිළිතුරු දෙත්දි මතක් උන පොඩි කතාවකුත් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මම හොල්මන්, අවතාර විශ්වාස කරන්නෑ. ඒ වගේම අවිශ්වාස කරන්නෙත් නෑ. හොල්මන්, අවතාර තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියන එක තමා ඒ පිලිබදව මගේ අදහස.

ඒත් අපි හැමෝම කැමතීයිනෙ අද්භූත කතා අහන්න, කියවන්න. ඉතින් මන් හිතුවා මමත් මුහුණ දීලා තියෙන පොඩි අද්භූත යැයි සැළකිය හැකි අත්දැකීමක් විස්තර කරන්න.

මුලින්ම කියන්න ඕන මේක කියෙවුවට පස්සෙ ඔබ සැමට මේ සිදුවීම පිලිබදව විවිධ අදහස් තිබිය හැකියි. ඇතමෙක්ට මා මිත්‍යාව පතුරන්නෙක් ලෙසද පෙනිය හැක. නමුත් මෙය පිලිබදව මගේ අදහසද අවසානයට කියමි.

ඒ අත්දැකීමට නිධාන කතාව වැටෙන්නෙ මෙහෙමයි. අර තත්ව සහතික දෙන ආයතනයෙ රැකියාවට ගිය මුල් කාලය. ඒ දවස්වල මා ගාව තිබුනා 'HONDA VTF 250CC' දඬුමොණරයක්. රාවණාගෙ එක නෙමේ බොලවු. ඒත් ඒ තරම්ම පරණයි. නම්බරේම 111-****. ඒත් ධාවනය සහා පෙනුම 100% යි. (ඔය පින්තූරෙ ඉන්නෙත් ප්‍රියා සහා දඬුමොණරය. ලයිසන් ගන්න කලින් 'L' බෝඩ් ගහන් පැදපු කාලෙ හි…හි…)

මම වැඩිපුරම වැඩ කලෙ මහබාගෙ කිට්ටුව ආයතනයක රාත්‍රී සේව‍ය. ඒ ආයතනයෙ පාන්දර 4.30ට නිශ්පාදන යන්ත්‍ර දෛනික සේවාව සදහා නවතා දමන නිසාත් අපට අදාල නිශ්පාදනයෙ තත්ව පරික්ෂා කිරීම් පමණක් නිසාත් එහි සේවය කරන් විට අපට අවශ්‍යනම් ඒ වේලාවට ඕෆ් වෙලා ගෙදර එන්න පුළුවන්.

ඉතින් මුල් දවස් වල මම වැඩට ගියෙ ආවෙ ඔය බයික් එකෙයි. ඔය දළුගම පැත්ත දන්න අය දන්නවා ඇති අපේ හංදියෙ ඉදන් මීගමු පාරෙ හැඳල හංදියට අතුරු පාරක් තියෙනවා ජයන්තිමහල් හංදිය, හුණුපිටිය හරහා 'දිප්පිටිගොඩ' පාරෙන් ඔය පාරෙ යත්දි නියම පාරෙ යනවට වඩා කිලෝමිටර් 3ක් 4ක් විතර අඩුයි. ඒ නිසා මන් පාවිච්චි කලේම ඔය පාර. (අපි කවද්ද හරි පාරෙ ගියෙ හිකස්…)

ඒ පාර ගැනත් විස්තර කරනවානම් පාන්දර 5.00ට විතර එළිය වැටිලා තිබුනත් 6.30, 7.00 වෙනකම් ඔය පාර සාමාන්‍‍යෙන් පාළුයි. පාළුයි කියන්නෙ පට්ටම පාළුයි. ඒ මදිවට පාළු වෙලක් මැද්දෙන් යන්න තියෙනවා ටික දුරක්. ඒ ටිකේ ගෙවල් ඇත්තෙම නෑ. ඒ පාළු වෙල ඉවර වෙනවත් එක්කම වංගුවක් එක්කම පොඩි පන්සලක් තියෙනවා. (ඔය පන්සලේ හාමුදුරුනමක් J.V.P. කළබල දවස් වල ඝාතනය කරලා පංසල පිටිපස්සෙ හංගලා තිබිලා හොයා ගත්තා'ලු'.) ඒ විතරක් යෑ අපි A/L කරන දවස් ඔය වංගුවෙ TZR එකක් හැප්පිලා අපි අදුරන කොල්ලෙකුත් මැරුනා.

ඉතින් අර මහබාගෙ ආයතනෙ වැඩ කරන දවස් වලට 4.30ට මැෂින් නැවැත්තුව ගමන් ඔය පාරෙන් තමා ගෙදර එන්නෙ. කොහොම හරි ඇරලා දාලා එන ඒමට 4.40, 4.45 විතර වෙත්දි ඔය පන්සල පහු කරනවා. සතියක් දෙක තුනක් කිසි කතන්දරයක් නැතුව ආවා ගියා.

එකදවසක් පාන්දර එත්දි හරියටම ඔය පන්සලට මීට‍ර් 200ක් විතර තියෙත්දි බයික් එක නිකම්ම නතර උනා. මගේ කරුමෙට ඒකෙ කික් ස්ටාර්ට් නෑ සෙල්ෆ් ස්ටාර්ට් විතරයි මාත් දන්න ශිල්පෙ දාලා ස්ටාර්ට් කරන්න බලනවා බලනවා හරියන්නෑ. පෙට්‍රලුත් ඇති වෙන්න තියෙනවා (නෑ නෑ ෆුල් ටෑංක් ගහන්න තරම් අපි වැඩ්ඩො නෙමේ. යාන්තම් ලීටර් තුන හතරක් වත් තිබුනා.) ඒ ටික ඇති සෑහෙන්න දුරක් යන්න.
බලලා බලලා බැරිම තැන තල්ලුවක් දාලා බැලුවා. තර්ඩ් එකට දැම්මා…සෙකන්ඩ් එකට දැම්මා…බැරිම තැන ෆ්‍රස්ට් එකටත් දාල තල්ලු කරලා බැලුවා නෑ. දන්න ශිල්පෙ දාලා බැරිම තැන ඉතුරු කිලෝමීටරයකට වැඩි දුර බයික් එක තල්ලු කරගෙනම ආවා ගෙදරට.

රෑ නිදිමරාගෙන වැඩ කරලා පාන්දර බයික් එකකුත් තල්ලු කරන් ගෙදර එත්දි තියෙන සනීපෙනම් කියලා වැඩක් නෑ. මතක් වෙත්දිත් ඇග ගැහෙනවා. ඔක්කොමත් හරි ගෙදර ඇවිත් බල්ලා වගේ හති අරිත්දි අපෙ මලයා හිනා වෙත්දි හිතට එන ශාන්තිය…

කොහොම හරි පහුවදත් ඔය සෙල්ලම ඔතනදිම උනා තල්ලු කරලා කරලා ස්ටාර්ට් නොවුනම කලින්දා වගේම තල්ලු කර ගෙනම ගෙදර එන්න ආවා. ඔහොම එත්දි පන්සල පහු කරලා ටික දුරක් එත්දි තියෙනවා පොඩි බෝක්කුවක්. ඒක පහුකරලා මට මහන්සි වැඩි කමටම ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකේම වාඩි වෙලා විනාඩි 3ක් විතර මහන්සි හැරියා. ඒ ඉන්න ගමන් යතුර දාල නිකමට ස්ටාර්ට් කරලා බැලුවා. තල්ලු ක‍රලාවත් ස්ටාර්ට් නොවුන මේ මඟුල මෙන්න බොලෙ ස්විච් එකෙන්ම ස්ටාර්ට් වෙනවා. ඒ ගමන මුකුත් බැලුවෙ නෑ කෙලින්ම ඉගිලුනා ගෙදරට.

ඔහොම ඔහොම දවස් හත අටක්ම ගෙවුනා දිගටම ඔය සෙල්ලම උනා. එකම තැනදි නතර වෙනවා මොක කලත් ස්ටාර්ට් නොවෙන බයික් එක බෝක්කුව පැනපු ගමන් මුකුත් නොවුන ගානට ස්ටාර්ට් වෙනවා. බැරිම තැන ගැරේජ් එකට ගෙනිහින් ECG, ස්කෑන්, රුධිර පරීක්ෂණ ආදිය කල පසු යතුරු පදියට හෝ බැටරියට ඉහෙන් බහින රෝගයක් නොමැති බව බාසුන්නැහැ විසින් තහවුරු කරනවා. ඊටත් පහුවෙනිදා ඉන්ධන පුරස්නයක්දැයි සැක නෑර දැනගැනීමට වැඩිපුරත් පෙට්‍රල් ලීටර් දෙකක් ගහගෙන වැඩා ගියා. සුපුරුදු ප්‍රථිපලේම තමා පුරුදු තැනම නතර උනා පුරුදු තැනම ස්ටාර්ට් උනා.

ඔහොම තවත් දින දෙක තුනක් ගිහින් මම ඔය සම්පූර්ණ විස්තරයම අපෙ අම්මා ඉස්සරහා දිග හරිනවා. ඉන්පසු අපෙ අම්මගෙ අදහස උනේ වහාම ක්‍රියාත්මක වන පරිදි මාගේ දඬුමොණරා නිවසේ සිර ගත කල යුතු බවය. මා ගෙනගිය විරෝධතා ව්‍යාපාරය මධ්‍යයේම එම තීරණය ක්‍රියාවට නැංවිය. මා දන්නා හදුනන සැමගේ අදහස වූයේද 111 අංකයද අසුභ බවත් අදාල පාරේ ඉතිහාසයද යහපත් නොවන නිසා යමක් සිදුවිය හැකි බවයි. එබැවින් යතුරු පැදිය හදීසිම අවශ්‍යතාවයකට පමණක් ධාවනය කිරීමට අවසර ලැබුන අතර අදාල පාරේ ධාවනය සපුරා තහනම් විය.

ඉන් ටික කලකින් පසු රැකියාවට යාමේදි බස් රථයට සීමා විය. ඇත්තෙන්ම එය යහපත් දෙයක් වූයේ කොට සායෙ අත්දැකීම ඇතුළු විවිධාකාර අත්දැකීම් ලැබූ දැනටද ලබන නිසාය. අවසානයේ වසරකට අධික කාලයක් සිර දඬුවම් විදි යතුරු පැදියද විකුණා දැමිනි. ඊටත් වසර ගණනකට පසු දැනට මාස කිහිපයකට පෙර ඒ අදාල පන්සල අසල වංගුවේදී වයස 60ක පමණ පුද්ගලයෙකු මිය ගිය අතර ඒ අනතුර සිදු වූයේද වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනි.


මේ සිදුවීම පිලිබදව මේ වන විට මගේ අදහස නම් ‍යතුරු පැදිය නතරවූයේ මාගේ යටි සිතේ බලපෑමක් නිසා විය හැකි බවය. කිමද මා කුඩා කල සිට අසා තිබූ හාමුදුරුවන්ව ඝාතනය කිරීමේ සිදුවීම (හොල්මන් පිලිබදව මා විශ්වාස නොකලත්) මාගේ යටි සිතේ තදින් සටහන් වී තිබුනා විය හැක. එසේම අර අනතුරු දෙකක් සිදුවී මරණ දෙකක් සිදුවූයේද ස්වාභාවිකවම ඒ වංගුවේ ඇති භයානක පිහිටීම නිසා විය හැකිය.

අවසන් වශයෙන්ද කීමට ඇත්තේ මා මිත්‍යාව පතුරන්නෙක් නොවෙමි. හොල්මන් පිලිබදව මට ඇත්තේ විවෘත අදහසකි. ඒවා සිදුවීමට ඇති ඉඩකඩම සිදු නොවීමටද ඇත. 'මෙය පෞද්ගලිකව මා ලැබූ අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමට ගත් වෑයමක් පමණි.


ප. ලි. ~
මට ඇති තවත් ගැටළුවක් වන්නේ මේ ස්ථානය බොහෝ දෙනා කියනා පරිදි සැබැවින්ම 'බිලි ගන්නා ස්ථානයක්' නම් මාව බිලි නොගෙන යතුරු පැදිය පමණක් නවතා එවුවේ අදාල හොල්මනට බිලි ගැනීමට තරම් වත් මා නුසුදුසු නිසාද?????


© ප්‍රියා.