Showing posts with label මට හිතෙන දේවල් (mata vithena hati). Show all posts
Showing posts with label මට හිතෙන දේවල් (mata vithena hati). Show all posts
08 July, 2014
ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?
ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශරීරගත වී ඇතයි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…
කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…
පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……
එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.
තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.
කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…
තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හරක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.
28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් කර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල යුතුය.
එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.
මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.
"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි තියන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………
පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.
© ප්‍රියා. {07/07/2014}
(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)
27 April, 2014
බිකිණියක් ඇන්දත් සාරියක් නම් අදින්න එපා……
වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………
"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"
………………………………………
මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්‍යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්‍ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.
එසේම අද සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ආකාරයේ හෙල්මට් භාවිතා කිරීම තහනම් කර ඇත… මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අප සමඟ සජීවීව සම්බන්ධ පොලොස් මාජ්ජ ප්‍රකා සක සුජිත් අවරෝහණ මහතා…
"මාජ්ජ ප්‍රකා සක තුමනි…"
"ඔව්… 2014දී ෆුල් ෆේස් හෙල්මට් දාල කොල්ලකත්දි ෆුල්ෆේස් හෙල්මට් එක තහනම් කරලා, ඔය දඩ ගහනවා කියලා බය කොරලා පනම් හතක් හොයා ගන්න මඟ පාදපු ලෙසම මේ පාරත් අපිට ඉහලින් නියෝග ලැබිලා තියෙනවා සියළුම වර්ගයේ හෙල්මට් තහනම් කිරීමට…"
"නමුත් මාජ්ජ ප්‍රකා සක තුමනි, ඒ කාලෙ ෆුල්ෆේස් හෙල්මටුත් තහනම් කලා. දැන් දූවිල්ලට ධාවකයො ලේන්සු ගැටගහන විදියට ඇවිත් කොල්ල කනවා කියලා ඒ හෙල්මට් එකත් තහනම් කරනවා… මේවා හරිද…??"
"ඕව් ඉතිං කොල්ල කනවා නම් ඕන දෙයක් තහනම් කරන වෙනවා. හෙල්මට් විතරක් නෙමේ ලේන්සු, රෙදිපටි, අව් කණ්නාඩි ආදී කිසිම දෙයක් හෙට පටන් ප්‍රසිධියේ භාවිතා කිරීම මෙයට සමගාමීව තහනම් වෙනවා… අපි මේ සියල්ල කරන්නෙ මහජනතාවගෙ යහා……………"
"හෝව් හෝව්, එතකොට අර මාර්ලිපේන්තුවෙ ඉන්න මහ හොරු ටික??? කොටින්ම 2014 ෆුල්ෆේස් වලින්ම කොල්ලකාලා ලැජ්ජ නැතිව පළා බබෙක් උන එකත් දැන් ඒ ගොඩේ. ඉතිං උන් ආ නෑ සොරි එතුමන්ලා ප්‍රාඩෝ වලින් ඉගිලෙත්දි මේ ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගන්න පොඩි එකාට නේද මේකෙන් පහර වදින්නෙ????"
"ඒක ඉතිං වාසනාවන්ත අවාසනාවන්ත කමනෙ… වාසනාවන්තයා හොරකම් කලත් උන්වම පත්කරගෙන අවාසනාවන්තයො ටික අරුන්ගෙ වැරදිත් එක්කම කර ගහනවා… 'හිතට දුකයි තමයි, ඒත් ඔව්වා ඔහොම තමයි' තේරුණානෙ…"
"ස්තූතියි මාජ්ජ පර කාසක තුමනි.…"
මෙන්න තවත් දේශීය පුවතක්……
පසු ගිය දිනක ඕනාමි නම් කාන්තාව පිටුවහල් කිරීමෙන් පසු වත්තල ගුවන් තොටුපලට කෝටි 69ක් වටිනා යන්ත්‍රයක් ඉන්දියාවෙන් ගෙන්වීමට 'අපේ ආගම හෝ තොපේ මරණය' සංවිධානය තීරණය කර තිබෙනවා… ඒ අනුව මෙරටට ඇතුළුවන සියළුදෙනා නිර්වස්‍ත්‍රයෙන් එම යන්ත්‍රය තුලින් ගමන් කල යුතු අතර කිසිමාකාරයක ආගමික සංඛේතයක් පච්චයක් ලෙස කොටා තිබුනොත් ඒ අවස්ථාවේම හදුනාගැනීමට එම යන්ත්‍රය ඉවහල්වන බව එම සංවිධානයේ නායකයා අප හා පැවසීය. තවදුරටත් ඔහු පැවසුවේ එසේ පිටු වහල් කරන සැමගේ පශ්චාත් භාගයේ 'අපේ ආගම හෝ තොපේ මරණය' ලෙස පච්චයක්ද කොටන බවය.
දැන් විදෙස් පුවත්……
සිරි ලංකාව විදුලි පුටුව යන වචනය නිතර භාවිතා කරන රටවල් අතර ප්‍රමුඛත්වය ගනී… මෙහි විශේෂත්වය වන්නේ එල්ලුම් ගසවත් නොමැති රටක මේ වදන මෙතරම්ම භාවිතා වීමය… එසේම ඇමරිකානු සමීක්ෂණ වාර්තාවන්ට අනුව එම වදන වැඩි පුරම භාවිත වී ඇත්තේ මෙරට මැතිවරණ කාල සීමාවන් වලදීය.……
අදත් ක්‍රීඩා පුවත් ගෙන එන්නේ සංඛර පංදුසේන…
"ලෝක කුසලාන ගණනාවක් පරාජය වී මෙවරත් පරාද වීමට ඔට්ටු දමමින් සිහින මාළිගා මවමින් සිටි මෙ සිරිලක ක්‍රීඩා ලෝලීන්ගෙ අහිංසක සිහින මාළිගා බිඳ දමා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ වරදට විනය පරික්ෂණයට කැදවූ මසිත් සාලිංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයන් වරද කරුවන් වූ අතර ඔහුන් සියළු දෙනාට එක් අයෙකුට කෝටි දහය බැගින් දඬයකුත් ඊළග ආත්මයටත් බල පැවත්වෙන සේ තරඟ තහනමකුත් නියම කෙරේ.……
හෙටත් එකතු වන්න ක්‍රීඩා පුවත් සමඟින්………
අදට සමුගන්නම් ඔබේ නිවසෙන් හෙටත් මේ වේලාවට… ආ නෑ මේ වෙලාවට නිවුස් ඉවරනෙ… හෙටත් හතට සෙට් වෙමු නිවුස් එන්ජෝයි කරන්න…… එතෙක් ඔබ සැමට ගුඩ් රාත්‍රියක්………
………………………………………
"මදෑ ඔහෙන් ගියා…"
"ඒයි, නිවුස් බලලා ඉවර නම් ඔය කරන්ට් එක මේන් සුවිච් එකෙන් ඕෆ් කරන්න. දැනටම මේ මාසෙට ඒකක විස්ස පැන්නා ඕන්. තිහෙන් වත් නවත්ත ගන්න ඕන නැත්නම් මේ මාසෙත් බිල දහදාහා පන්නයි.…… ඔයා අඳින්නෙ මොකක්ද කියන්නකො… මට මැදලා තියන්න… යකඩ ඉස්තිරික්කෙ පොල්කටු අඟුරු ටික දාලා රත් වෙන්න තිබ්බා…."
"කොහෙ යන්නද…??"
"ඇයි අනේ පුතාගෙ පංති කවයනෙ හෙට…"
"හ්ම්ම්ම් අර කහ පාට කමිසෙයි කළු කලිසමකුයි මදින්න. මතක ඇතිව කමිස සාක්කුවට ලොකු පුළුන් කෑලි දෙකක් දාන්න.…?"
"පුළුන් මොකටද…?"
"ඇයි ඉතිං මේ යෝධයගෙ ටීචර් එක්ක කතා කරත්දි කණ් දෙකේ ගහ ගන්න.… මතකනෙ ගියපාර කණේ ඇඟිලි ගහන් ඉදලා ඇඟිලි හිරි වැටිලා බාරොන් වෙද මහත්තයාගෙන් බෙහෙතුත් ගත්තා……… ඒක නෙමේ තමුසෙ මොකක්ද අඳින්නෙ…?"
"ඇයි අර රෝස පාට සාරිය අඳිනවා…"
"තමුසෙට පිස්සුද ගෑණියෙ සාරි අඳින්න…!!!"
"ඇයි මනුස්සයො ඉස්කෝලෙකට සාරි නේන්නම් අඳින්න ඕන.…"
"තමුසෙට අමතකද ඕයි සාරි වල එල්ලිලා දිවි නසා ගන්නවා වැඩීයි කියලා සාරි අඳින එක තහනම් කලේ ගිය සුමානෙනෙ.…"
"එහෙම කියලා දරුවගෙ ඉස්කෝලෙට ආවට ගියාට ගියහැක් යෑ.……"
"දෙයියන්ගෙ නාමෙට මම උඹෙන් ඉල්ලන්නෙ, බිකිණියක් ඇදන් ගියත් සාරියක් නම් ඇඳන් එන්න එපා මයෙ දෙයියෝ… මොකද අන්තිමේ ඇඳන් යන බොට නෙමේ අරන් දුන්න මටයි හිරේ යන්න වෙන්න…………"
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
movies.sulekha.com)
22 December, 2013
කොට සායයි… හුරතලයයි… හරි අවදානම්……
අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.
අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට තියෙන්නෙ එද සිදුවීමට විරුද්ධව පියවරක් ගැනීමට නොහැකි වීම පිලිබද කණගාටුවකි.
මේක වෙලා දැනට අවුරුදු තුන හතරක් ඇති. ඒ දවස් වල මම වැඩ කලේ අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කියපු තත්ව සහතික දෙන ආයතනයෙයි. දවසක් රාත්‍රී සෙවා මුරයට මීගමු පාරෙ මහබාගෙ කිට්ටුව යම් ආයතනයකට යාමට ආවා 187 (ගුවන්තොටුපල-කොටුව) බසයට නැගීමට අලුත් පාලම උඩට. ඔය පාරෙ යන ඇත්තො දන්නවා නොවැ හවස 5.30ට 6.00ට 187 බස් වල හිරවෙලා තෙරපිලා යත්දි තියෙන සනීපෙ.
ඉතිං එදා අලුත් පාලම උඩින් මාත් සමග සෑහෙන සෙනඟක් බසයට නැගගත්තා ඒ අතර හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක්. අනේ පවු හරි දුප්පත් දැරිවියක්. කොයි තරම් දුප්පත්ද කියනවා නම් අවුරුදු 11හ 12කාලෙ ඇදපු සාය කෑල්ලක් ඇදන් ඇවිත්. ඉතිං දෙවියනේ මේක දණිස්සටත් අඟල් ගානක් කොටයි (දැන් අහන්න එපා ඒක මම මැන්නද කියලා. හික්…).
ඒ ගෑණු දැරිවි හිට ගත්තෙ 'පූජ්‍ය පක්ෂයට' වෙන් කර ඇති ආසනය ලගින්මයි. මම හිටියෙ ඇයට දකුණු පසින් ඊලගට. ඒ පූජ්‍ය පක්ෂයෙ ආසනයෙ ඒ වෙලාවෙ හිටියෙ පිරිමි දෙන්නෙක්. ජනේලෙ අයිනෙ එකා නින්දෙයි සැප නින්දෙයි වෙනස තෝරනවා. අනිත් මනුස්සයා අරමුණක් නැතිව ෆෝන් එකක් තියන් ඔහේ ඔබනවා. ගේම් ස්ටාර්ට් කරනවා, කැමරා ඔන් කරනවා, කැලැණ්ඩරේ අරන් දින ගනිනවා එක විකාරයයි (අපි අනුන්ගෙ ෆෝන් දිහා හොරෙන් බලන්නෑ බොලවු. අපිට පේන ඒවා පේන ඒවා).
ටිකක් දුරක් යත්දි අර දැරිවිත් හිටගෙනම ෆෝන් එක කණේ ඔබා ගත්තා. දැන් ඉතිං මෙලෝ සිහියක් නෑ කඩනවා කඩනවා. කඩන මල් බස් එක පුරා විසිරෙනවා. බස් එක ඔලියමුල්ල හරියට ලං උනා වෙත්දි අර ෆෝන් එක ඔබන මෑන් අර කෙල්ලගෙ කකුල් දෙක මැද්දට අත තියලා උඩ පැත්තට හරවලා ගත්තා ෆොටෝ එකක් !!. මෑන්ගෙ කරුම වෙලාවට ෆෝන් එකේ කැමරා සවුන්ඩ් එක විතරක් නෙමේ ෆ්ලෑෂරේ පවා ඔන් කරලා.
ඒ තත්පර ගානට කැමරා සවුන්ඩ් එකයි ෆ්ලෑෂරෙයි විතරක්‍යෑ සෙනග පිරිච්ච බස් එකේ කකුල් දෙක ඈත් කරන් හිටන් හිටපු ඒ කෙල්ලගෙ කකුල් දෙක මැදට අත තියලා ඌ ෆෝන් එක කොකා ගස්සන එකත් ඔක්කොම මම දැක්කා. ඒත් ඒ කෙල්ල මෙලෝ සිහියක් නැතුව තාමත් මල් කඩ කඩ විසික් කරනවා.
ෆොටෝ එක ගත්තත් කැමරා සවුන්ඩ් එක නිසා මෑන් බය වෙලා වගේ වටපිට බලත්දි පිටිපැස්සෙ හිටපු මං කට ඇරන් පුදුමෙන් බලන් ඉන්නවා දැක්කා. ඇත්තටම වෙච්ච දේ හිතා ගන්න බැරුව හොල්මන් වෙලා හිටපු මම පියවි සිහියට එත්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔටෝ සේව් ඕෆ් කරලා තිබුන ෆෝන් එකේ ෆොටෝ එක සේව් යස් නෝ කියලා අහලා තියෙත්දි නෝ කරලා රෙඩ් බටන් එකත් ඔබලා දැම්මා.
එතනින් එහාට කවර කතාද? මම මේක ගැන අනිත් උන්ටත් කියලා මූට හොම්බට දෙකක් ඇන්නත් මම කොහොමද ඒක ඔප්පු කරන්නෙ??! ඒ කෙල්ලගෙන් ඇහුවත් නියත වශයෙන්ම ඇය ගත් කටටම "නෑ එහෙම දෙයක් උනේ නෑ." කියනු ඇත. එවිට ඇතම් විට විත්තිකරු නිදොස් වී පැමිණිල්ල වූ මට එල්ලුම් ගහේ දළු කැඩීමට සිදුවනු ඇත.
කොහොම හරි මගේ රැවීමෙන් පස්සෙ මෑන් උතුර දකුණ මාරුවෙලා වගේ ඊලග හෝල්ට් එකෙන්ම බැහැලා ගියා. තමා කරපු වැඩේ දැකපු එකෙක් හරි බස් එකේ ඉත්දි බස් එකේ ඉන්න එක භයානකයි කියලා මෑන්ට හිතෙන්න ඇති. හප්පේ ඉතිං බස් එකේ මෙච්චර තමන්ගෙ කකුල් දෙක මැද්දෙම වෙලත් අර ගෑණු දැරිවි ඒ කිසිම දෙයක් නොදැන අර තමා ඉස්සරහා හිස් වෙච්ච ආසනේට බර වෙලා මල් කඩලා කඩලා දැන් පොහොට්ටුත් කඩනවා.
දැන් මේක කියවලා අපේ බ්ලොග් අවකාශෙ ගෑණු ලමයි කඩු කිණිසි අරන් මට 'පුරුෂෝත්තම වාදියා' කියලා බනින්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න. (ඊට පස්සෙ ඕනම නම් බනින්න.)
ඇත්තෙන්ම ගෑණූ දැරිවියො කොටට ඇදීම පිලිබදව මගේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද අන් අයට හිරිහැරයක් නොවන පරිදි තමා කැමති ඇදුමක් ඇදීමට විලාසිතාවක් කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතුය. ඔසරිය ඇදීමට සේම කොට සාය ඇදීමටද කාන්තාවකට හිමිකමක් ඇත. නමුත් ගැටළුව ඇත්තෙ අප සමාජයේ ඇතම් පිරිමින්ට තාමත් දණහිසට තරමක් උඩින් පෙනෙන් කකුලත් ගෙලට මදක් පහලින් පෙනෙන පපුවත් මහා 'පුදුමාකාර' දේවල්‍ය. කොටින්ම කියනවානම් ඒ අසහන කාරයන්ට නිරුවත යනු මහා 'මැජික්' එකකි.
එවන් පිරිමින් මධ්‍යයේ වුවද ඔබට අවශ්‍යම නම් කොටට ඇන්දාට කම් නැත. නමුත් ඔබගේ ආත්ම ගෞරවය බිලි ගැනීමට මාන බලන පුද්ගලයින් හමුවේ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. කිමද මා දුටුවා වැනි සිදුවීම් අනන්තවත් සිදුවිය හැක. බොහෝ විට ඒ ජායාරූප නවතින්නෙ අන්තර්ජාලයේ විය හැක. අවසන් ප්‍රථිපලය ඔබගේ ජීවන සහකරුට පමණක් හිමි ඔහු පමණක් දැකිය යුතු බොහෝ දේ ඔබද නොදැනුවත්ව ලොවින් අඩක්ම නැරඹීමයි.
ඔබට රටේ ලෝකෙ සිටින සියලුම පිරිමින් සිතන ආකාරය වෙනස් කිරීමටවත් ඔහුන්ගේ අසහනය සමනය කිරීමටවත් නොහැක. නමුත් ඔබේ ආත්ම ගෞරවය රැකගැනීමට ඔබ දැන ගත යුතුය. එය සදහා ඔබ ඕනෑම ස්ථානයකදී අවධානයෙන් සිටිය යුතුය.
මා මුලින් කොට සාය විවේචනය කල නිසාවෙන් ඔබ තාමත් මා 'පුරුෂෝත්තමවාදියෙක්' ලෙස සිතා සිටිනවා නම් මා මෙයට පෙර ලියූ කොන් වුන කොන්දොස්තර'වරිය' කියවන්න. මා පුරුෂෝත්තමවාදියෙක්වත් කාන්තාවාදියෙක් වත් නොව. නමුත් මාද මාව දහසකුත් දුක් විඳ හදාවඩාගත් මවකගේ පුතෙකි, සහෝදරියන් දෙදෙනෙකුගේ සහෝදරයෙකි, ආදරණීය බිරිඳකගේ සැමියෙකි, හුරතල් දියණියකගේ පියෙකි, මිතුරියන් රැසක් සිටින මිතුරෙකි. මෙය කියවන ඔබ සැමද මා අදහන පරිදි මාගේ මිතුරු මිතුරියන්ය. මෙය ලීවේ ඔබ සැම දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.
අවසන් වශයෙන් කීමට ඇත්තෙ මෙපමණකි. මා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙකු නොවේ ඔබ ඔබට කැමතිනම් කොටට ඇන්දත් දිගට ඇන්දත් ප්‍රශ්ණයක් නැත. එය ඔබට ඇති හිමිකමකි. එයට කිසිදු තර්කයක් නැත. නමුත් කරුණාකර ඔබ කුමන ආකරයේ ඇඳුමක් ඇන්දත් ඔබේ වටපිටාව පිලිබදව අවධානයෙන් පසු වන්න. කිමද 'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය'.
(පින්තූරය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)
© ප්‍රියා.
Subscribe to:
Posts (Atom)


