25 May, 2014

සුපිරි ගණිකාව………


"වල්…ලවු වෙ ආමුට… කියන…වා මං…
පුංචි ආමුයි මග්ගෙ මන…මාලී
පුල්ලී ගොනා බැඳි…… ආ… අම්මේ……"
"මොකක්ද පුතේ මේකෙ තේරුම… උඹ අදත් බීලා නේද…??"
"බී… බීලා. මගෙ අම්මා මේ පිස්සු කතා කරනවද… මම බීලා නෑ…"
"මොකද බං මේ කවදාවත් නැතිව මා එක්ක හුරතල් වෙන්න එන්නෙ…?"
"මම අම්මගෙ හුරතල් පුතානෙ…"
"ඇයි මොනවත් ඕන වෙලාද මේ හොද පෙන්නන්නෙ…"
"පි… පි… පිස්සුද…??"

පැමිණි ලෙසම වැනි වැනී ගොස් කොටස් තුනකින් යුත් නිවසේ සාලය යැයි කිව හැකි ඉඩේ ඔහු වෙනුවෙන්ම දමා තිබූ රෙද්දේ වැතිර ගත් තම පුත් ජයන්ත දෙස සුමනා බලා සිටියේ සුසුම්ලමිනි. නිවසේ අඩු පාඩු වැඩි වන තරමටම ජයන්තගේ බීමද වැඩි වන්නේ තමාගෙත් තම දියණියගේත් අවාසනවට බව ඇය දැඩිසේ විශ්වාස කලාය.

උදෑසන අවදි වුවද නැඟිටීමට තරම් ශක්තියක් නොවූ ජයන්ත බලා ගත් අත බලා සිටියේ ඊයේ දින අවසන් සිදුවීම් පෙළ මතක් කර ගැනීමටය.

"උඹලගෙ ගමේ කිසි ෆන් එකක් නෑ බං…"
"ෆන් එකක්…???"
"ඔව් බං කිසිම ගතියක් නෑනෙ… කනවා බොනවා ඇර වෙන කිසිම මඟුලක් නෑ…"
"කෑමයි බීමයි තියෙනවා නම් වෙන මොනවද බං…???"
"යකෝ… කාලා බීලා සැපක් අරන් නිදා ගන්න එපෑ. අන්න ඒ වැඩේ…??"
"ආ… අන්න එහෙම සිංහලෙන් අහන්න එපෑ. හ්ම්ම් ඒකට නම් ඉතිං… අර මැරිච්ච කළු ඇල්බාගෙ ගෑණි තමා…… දරුවො දෙන්නෙක් හිටියට මොකෝ…… ඒකි තාම කෙල්ල වගේ බං…"
"කෙල්ලෙක් වගේ… ප්හු… වරකා කාලා නැති උඹලට නම් ඔය වැල ගෙඩිත් වරකා වගේ පේනවා ඇති. ඒත් රස දන්න මිනිහා වෙච්චි මට ඒවා කන්න බෑ බං.… නැත්ද හොද විස්සෙ විසිදෙකේ ඒවා…"
"එච්චර පොඩි කෑලි කොහෙන්ද බං මේවට… අරකිටත් 35කට කිට්ටුයිනෙ."
"එහෙනම් ඉතිං ඒ වැඩේට කොළඹ යන්නම වෙනවා…… එහෙ ඉන්න සුරංඟනා කෑලිත් එක්ක මේවයෙ උන්ට හැරෙන්නත් බෑ. අවුරුදු දාසයෙ ඉදන්. කෙට්ටුද මහතද ඕන එකක්…"
"එච්චර ලස්සන පොඩි උනුත් ඉන්නවද බං…??"
"ජයන්ත… ජයන්ත… ලස්සනයි වයසයි කන්නද බං සල්ලි තියෙනවා නම්… ඒවා සුපිරි බඩු බං…"
"කීයක් විත‍ර වියදම් වෙනවද සුනිල්…??"
"හඃ හඃ හඃ… ඇයි උඹටත් හිතුනද වැල බැහැපුවා නොකා හොද වරකා කෑල්ලක් කන්න. හ්ම්ම්ම්…… මගෙ යහළුවෙක්ගෙ පොට් එකක් තියෙනවා… හෝටලේක… උඹ පන්දාහක් සෙට් කර ගනින්කො……"

ගමට පැමිණ තවමත් මාස දෙක තුනක් වුවද සුනිල් ජයන්තත් සමඟ එක් වූයේ කුණු එකතු වන්නේ කුණුගොඩකටම බව සනාථ කරමිනි. ව්‍යාපාරිකයෙක් යැයි පැවසුවද සුනිල්ගේ ව්‍යාපාර මොනවාදැයි ජයන්ත නොදැන සිටි මුත් ඔහු සමඟ එකතු වී සිටියේ ඔහුගේ මුදලින් ලැබෙන මත්පැන් පොද ගංජා සුරුට්ටුව… ලැබුනොත් පමණක් කුලී වැඩක් කර එයිනුත් බොන නොලැබුනොත් මවගෙන් ගසා කන රස්තියාදු කාරයෙකු වූ ජයන්තට මහමෙරක් වූ නිසාවෙනි.

"මොකෝ පුතේ, නිදි පැඳුරෙ ඉදන්ම කල්පනාව??"
"මුකුත් නෑ……හ්ම්… මේ… මට හෙට රුපියල් හත්දාහක් ඕන.…"
"හෙට…?? කොහෙ තියන සල්ලියක්ද පුතේ…"
කැඩී තිබූ සරම ගැට ගසා ගනිමින්ම නැගිට ගත් ජයන්ත මව දෙස බැලුවේ දවා හළු කරන බැල්මකි.
"කොහෙන් හරි කමක් නෑ මට ඕන.… හෙ…ට ඕ…නෙ. තේරුණානෙ. එච්චරයි."
"උඹට හිතක් පපුවක් නැත්ද බං. අර කෙල්ල අහරෙ දුක් මහන්සි වෙලා හම්බ කර කර එවනවා… උඹ ඒවා කාබාසිනියා කරනවා… උඹට නංඟියෙක් ඉන්නවා අම්මෙක් ඉන්නවා කියලා ගානක් වත් තියේද?… පව් මයෙ කෙල්ල.…"
"ඔයාට කවදත් කෙල්ලනෙ පව්.… මට ඒවා වැඩක් නෑ. මට හෙට හත්දාහක් දෙන්ඩ නැත්නම් ගෙදර නොහිටියට කමක් නෑ…"

කෝපයෙන් පහල ලිඳ දෙසට යන ජයන්ත දෙස සුමනා බලා සිටියේ ශෝකයෙන් සුසුම් ලමිනි. සැමියා මිය ගිය තම පවුලේ බර කරට ගැනීමට සිටින තම පුතා ගමටම බරක් වෙත්දි ඊට බාල දියණිය පවුලේ බර කරට ගත්තේ සුමනාට සැනසීමක් වෙමිනි.

දියණිය අවසන් මස එවූ මුදලෙන් ඉදි‍රි දින කිහිපයේ කෑමටත් ඇගේ හදීසි උවමනා සදහාත් කොයිදේටත් ඉතිරිව තිබුනේ සඟවා තිබූ රුපියල් හාරදහසක් පමණි. ඉතිරි තුන්දහස සොයා ගැනීමට නැතිම තැන ඇය සතු එකම රන් පළදනාව වූ දියණියම මිලට ගෙන දුන් කරාඹු ජෝඩුව හංදියේ මධ්‍යස්ථානයට දී මුදල් කර ගත්තේ ඉල්ලූ රුපියල් හත් දහසට සතයක් හෝ අඩු වුව හොත් ජයන්තගෙන් විසුමක් නොවන බව දන්නා නිසාමය.


"තව දුරද බං සුනිලො…?"
"තව පොඩ්ඩ දුරයි… හික්… බය නැතිව හිටින්. මම උඹටත් එක්ක කෑලි දෙකක්ම එවන්න කියලා තියෙන්නෙ…"
"මට මේ විදිහ පුරුදුත් නෑ බං…"
"ඇයි උඹ අර කළු ඇල්බාගෙ ගෑණි ගාවට……"
"ඒකි ගාවට ගියට මේ වගේ ඒවා……"
"අනෙ උඹ බබා… බය නැතිව හිටින්. උඹ දන්නැති ඒවත් මේකි පුරුදු කොරෝලා වැඩේ කර ගනී.… එහෙමට බඩු මේවා… මතක ඇතිව සල්ලි ඒකිට දෙන්නෙපා. ඩීල් එක කරන එකාටයි ඒක දෙන්නෙ…"
"එතකොට හෝටලේට…??"
"හෝටලේ මගෙ යාළුවෙක්ගෙ බං… සල්ලි ඕන් නෑ…"
"හ්ම්ම් හරි…"
"මේ… තියෙන්නෙ හෝටලේ… උඹ මෙතනම හිටපන්__________________________________________හරි ජයන්ත අර කාමරේට පලයන්. ඒකෙ බඩු ඇති. හඃ හඃ… මම ඉන්නෙ ඊළග එකේ. මතකනෙ පැය තුනයි. ඕන *ත්තක් කර ගනින්. ඒකිව කෑවත් කමක් නෑ. හැබැයි පැය තුනයි.…… එහෙනම් සුබ මංගලම්…… හඃ හඃ හඃ…"

විවෘත වූ දොරෙන් ඇතුලට වන් ජයන්ත දුටුවේ අවුරුදු විසිපහක පමණ සුරූපී යුවතියකි. තිස් පහේ ඇයත් සමඟ සංසන්දනය කර බලත්දී මැය සැබෑවටම සුරංඟනාවකි. තමා මෙතරම් පියකරු යුවතියක් සමඟ සිහිනයක දැයි ඔහු කල්පනා කරන්නට විය.… තම දෑස අදහා ගත නොහැකිව ඇය දෙස බලා සිටින ජයන්ත සිටින්නේ සබකෝළයෙන් බව වටහා ගත් ඇය ඇඳෙන් නැගිට විත් ජයන්තගේ අතින් අල්ලාගෙන කැඳවා ගියේ යහන මතින් දිවෙන ඇගේ නග්න සිරුර මතවූ සුර පුරවරයකට‍ය.……

ඒ සුරලොව කම් සැප විදිමින් වින්දනයේ උපරිම තලයකට ලංව සිටි ජයන්ත පැය තුන අවසානයේ ඇයට අවසන් වරටද හාදුවක් දී පිටව පැමිණ හෝටලේ මිදුලේ නැවතී සිටි අතර සුනිල් පැමිණියේ මිනිත්තු දෙක තුනකට පසුය.…

"කොහොමද… හොදද…??"
"මරු සුනිලා… ශැහ්. නියම කෑල්ල බං."
"මම නම් ඔය ඔක්කොටම **ලා තියෙනවා බං… හඃ හඃ හඃ හඃ ආ අර යන්නෙ උඹ **පු එකත් එක්ක යන අනිත් එක තමා අද මාත් එක්ක හිටියෙ… ඔය සැට් එකේ සුපිරිම බඩුව… සැප දෙනවා කියන්නෙ… හුම්ම්ම් මතක් වෙත්දි ආයෙ පාරක් ඇදන් ගිහින් **න හිතෙනවා……"


සුනිල් කී පසු ජයන්ත හැරී බැලිවේ එතරම්ම සුපිරි යුවතිය බලා ගැනීමේ අටියෙනි… ඉදිරියට පැමිණෙන ඇගේත් ජයන්තගේත් නෙතු ගැටුනේ එකම මොහොතකය… ඇගේ දෑසෙන් ඇරඹි විදුලියක් ජයන්තගේ ශරීරය පුරා ගමන් කර නතර වූයේ හදවතට ආසන්න ස්ථානයකය.…… ඔහුන් දෙස බලා සුදුමැලිව පිටව යන යුවතිය දෙස සුනිල් බලා සිටියේ කාමය වෑහෙන දෙනෙතනි……

………………………………………

"ජයන්ත ළමයො… ජයන්ත ළමයො……"
"ආ ඇයි කුසුමාවතී නැන්දෙ…?"
"අන්න උඹලෑ ගෙවල් පැත්තෙ කළබලයක්…"
"මොකක්ද…??"
"උඹත් කළබල වෙන්න එපා… උඹලෑ නංගි කෝච්චියට හැප්පිලාලු… උඩහා ගෙදරට පොලෝසියෙන් කෝල් කරලා පවුලෙ කෙනෙක්ට එන්න කියලා.… බලහන්කෝ හිටි හැටියෙ හොරු අරන් ගියා වගේනෙ.… උඹලෑ අම්මා පස් කනවා… පොඩ්ඩක් ඉක්මන් කරලා පලයන් කොල්ලො……"

කොළඹ පැය ගානක් ඔහේ ඇවිද ගොස් ගමට පා තැබූ මොහොතේම ජයන්තගේ කණ වැකුණ ආරංචිය එයය. ඉදිරියටම ගමන් ගත් ජයන්ත මදකට නතර වූයේ කුඩා තුංමන් හංදියකය. ඉන් එක් මගක් තමා දැන් පැමිණි මගය. දකුණු පස තම නිවසට ඇදෙන මගය…… නමුත් ජයන්ත ගමන් ගත්තේ වම් පස මග දිගේය…… එනම් කසිප්පු විමලෙගෙ නිවස දෙසට විහිදෙන මඟේය…………………

© ප්‍රියා.
*** 17/05/2014

(පින්තූරයට ස්තූතිය……
dineshumagiliya.blogspot.com)

ප. ලි. ~ සිදුවූ දෝෂයක් නිසා එකම දවසෙ පෝස්ට් දෙකක් පබ්ලිෂ් විය. පෙරළුන පිට හොදයි කියා. මෙසේම ඉමි.  :) :)  සිදුවූ ප්‍රමාද දෝෂයට මාගේ කණගාටුව

ආගන්තුකයා……


ගමනාරම්භ කිරීමට සූදානම් බසයේ පිටුපසම අසුනේ කොනක අසුන්ලාගෙන සිටින ඔහු දෙස සචිත්‍ර ඇතුළු පිරිසේ අවධානය යොමු වූයේ එක් වරමය. ප්‍රධාන පෙළෙ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකුත් එහිම සිසුවියන් සිවු දෙනෙකුත් වූ ඔහුන් වෙනදාට පංති අවසන් වී යන බස් රියේ එක පොකුරට අවසන් අසුනේ හය දෙනාම අසුන් ගෙන යාම පුරුද්දක් කරගෙන සිටිමුත් අද දින සිදුවූ සුළු ප්‍රමාදය මත එම අසුනේ තවත් ආගන්තුකයෙකු වාඩිවී සිටී.

"උඹලා ඔතනින් වාඩි වෙයල්ලා,, අපි මෙතනින් වාඩි වෙන්නම්…" නිශාරා පිරිමි ළමුන් දෙදෙනාට පසුපස අසුනට පෙර අසුන පෙන්නූයෙ ඔහුන් සිවුදෙනා පසුපස අසුනට බ‍ර දෙන ගමන්ය………

වැස්ස නතරවී තරමක් වේලා ගත උවද බස් නැවතුම් පළේ දිරාගිය වහලය දිගේ කඩින් කඩ රූටා විත් බිම පතිත වන වැහි බිඳු දෙස කවුළුවෙන් නෙත් යොමා බලා සිටින පිටස්තරයා දිහා තවත් වරක් බැලූ කොල්ලන් දෙදෙනා ඊට ඉදිරි අසුනේ අසුන් ගත්තද එතනම සිට පසුපස හැ‍රී තම යෙහෙළියන් සමඟ එක්ව සුපුරුදු කෙළිලොල් කතා බහ ආරම්භ කලේ බස් ‍රථයේ ගමනාරම්භයත් සමඟමය.

කවදත් වැඩි සෙනගක් නොයන බස් රියේ අද දින නම් ගමනාරම්භ වී නැවතුම් දෙක තුනකින්ම ආසන සියල්ල පිරී ගොස් තවත් හතර පස් දෙනෙකු හිටගෙන යාමට තරම් සෙනඟක් ගොඩ වූ මුත් තරුණ පිරිසේ ප්‍රීතී ඝෝෂාවවත් කවුළුවෙන් පිටත බලාගත් අමුත්තා අහස පොළව ගැට ගැසීමට දරණ වෑයම වත් අත් හැර නැත………………………

යුවතියන් හතර දෙනාගෙන් නිශාරා පමණක් දිගු කලිසමක් හැඳ සිටි අතර අනෙක් තිදෙනාම සිටියේ සාය බ්ලවුස් හැඳය.… ආගන්තුකයාගෙ ආසන්නයේම ඔහුගේ වම් පසින් වාඩිවී සිටි රුවනි හැඳ සිටි කෙටි සාය ඉහලට ඇදී තිබුනේ දණහිස් දෙකෙනුත් ඉහලට ඇගේ ලා රන්වන් පැහැ දෙපා යුගලේ තරමක පෙදෙසක් නිරාවරණය කරමිනි………

තවත් කෙටි දුරක් ගමන් කරත්දිම ආගන්තුකයාගෙ වම් දණහිස රුවනිගේ දණහිසට ඉහල නිරුවත් කොටසේ තෙරපෙන ආකාරය රුවනිට දැනී ඇය චංචල වුවද එම වෙනස අන් අයට දැන්වූයේ නැත.… ඇය කෙතෙක් සසල වුවද ආගන්තුකයාගෙ නිසල බවට නම් එය බාදාවක් නොවීය.… නමුත් බසය ගමන් කරන දුරට සම කෙරුමට මෙන් තෙරපුමද වැඩි වත්දි ඇගේ ඉවසීමේ සිමාව ඉක්මවා ගොස් අවසන්ය.…

"ගන්නවා අයිසෙ කකුල……"
"ඇයි බං… ඇයි රුවනි…!!!"
"නෑ සචිත්‍ර, දැන් ගොඩවෙලා බැලුවා… මෙයා මේ කකුල අතුල්ලනවා… ඇයි වඳේ……"
"කෙල්ලෙක්ට බස් එහෙකවත් යන්න බෑනෙ යකෝ…"
"ඇයි කෙල්ලන්ගෙ ගල් දැක්කම උඹලට නලියනවද…??"
"මට සමාවෙන්න…… ඔයාලට වැරදීමක් වෙලා…… මට…………"

චටා………ස්………!!!!!!

කීමට ඇරඹූ වදන අවසන් කිරීමට ආගන්තුකයාට ඉඩක් නොලැබුනේ කල්ප ගේ අත ඔහුගේ මුහුණ හරහා ගමන් කල නිසාවෙනි.…

"අනේ කල්ප රංඬු වෙන්න නම් එපා… අනේ ප්ලීස්… අනෙ බස් එකම බලනවා……"
"අත හැරලා දාපන් කල්ප, මේ ඟැරඬි මරලා පව් පුරෝ ගන්නැතිව… තමුසෙ මෙතනට එනවා රුවනි… මට ඔතන දීලා…" සචිත්‍ර සිටි ඉදිරි අසුන රුවනිට දී ඔහු ආගන්තුකයා අසල අසුනට පැමිණියේ එවලේ කල යුතු හොදම දේ එය බව හැඟී ගිය නිසාවෙනි……

කල්පගෙන් හිමිවූ පහරට පිං සිදු වන්නට යටි තොල පුපුරා මතුව තිබූ ලේ බිඳෙන් ආගන්තුකයාගෙ ගුප්ත මුහුණට රුදුරු පෙනුමකුත් එක් කර ඇති නිසාම බස් රියේ ඉදිරි පෙළ අසුන් වල සිටි පිරිස පවා හැරි හැරී ඔහු දෙස හෙළුවෙ අප්‍රසන්න බැල්මකි.

"ඔය වගේ උන්ව නම් පොලීසියට අල්ලලා දෙන්න තියෙන්නෙ…" , "තව දෙක තුනක් ඇනලා එළියට ඇදලා දාන්නයි තිබුනෙ…" ඔවැනි කතාවන් බසය තුල කිහිප පොලකින්ම මුනු මුනු හඬින් ඇසෙන්නට වූ මුත් ආගන්තුකයාට එරහිව තවත් වරක් නැඟී සිටීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම එම සිදුවීම අතීතයට එක් කර දමමින් කාලයත් බස් රියත් හැල්මෙ ඉදිරියට ඇඳෙන්නට විය…


"කෑම්ප් එක ගාව හෝල්ට් එකෙ බහිනවා……" සිදුවීමෙන් පසු ආගන්තුකයාගෙ හඬ පිටවූයේ පළමු වතාවටය…

"බහින අය දොර ගාවට කිට්ටු වෙන්න… ඔය වාඩි වෙලා ඉන්න අය එහෙම කිට්ටු වෙන්න…" කොන්දොස්තරවරයාගෙ හඬ ඇසෙත්දීම තම ගමන් මල්ල කරේ දමාගත් ආගන්තුකයා නැඟී සිටියෙ තම අසුන යට රඳවා තිබූ අත්වාරුවට තම වම්පස බාර දෙමිනි…………!!!!!

ඉහළට ගත් හුස්ම පහලට හෙලා ගත නොහැකිව තරුණ තරුණියන් පිරිස බලා සිටියදී තවත් තත්පර කිහිපයකට පසු බස්‍‍රිය නැවතූ නැවතුම්පලෙන් බැසගත් ආගන්තුකයා වම් කකුල අද්දවමින් යන ගමන දෙස බැලීමට තරම් දිරියක් තරුණ පිරිසට තිබුනේ නැත………

"පව්… ඇවිදින විදිහට නම් මට පේන්නෙ වම් කකුල නෑ.…" , "කෑම්ප් එක පැත්තට ගියෙ, ශුවර් එකටම හමුදාවෙ හිටපු කොල්ලෙක්…" , "අර කාළකණ්නි ටික මරන් කන්න හැදුවෙ මේ මනුස්සයාවනෙ දෙයියනේ…" පෙර පරිදිම තැනින් තැන මුනු මුනු හඬ ඇසෙත්දි ඒවා නෑසූ කණ්ව බස් රිය ඉදිරියටම ඇදෙන්නට විය…………………………………………………

© ප්‍රියා.
*** 24/05/2014

(පින්තූරයට ස්තූතිය……
footage.shutterstock.com)

18 May, 2014

දික්කසාඳය………


"ඔන්න මිසිස් සිරිවර්ධන… අපේ වැඩ ඉවරයි.…… ආ සොරි සොරි මිස් නිම්මි…"
"ඒකට කමක් නෑ මිස්ටර් ජගත්. මටත් ටික කාලයක් යයි දැන් ඕකට ආයෙ හුරු වෙන්න.… මට කරපු උදවු වලට තෑන්ක්ස් මිස්ටර් ජගත්."
"ඒක ඉතිං ලෝයර් කෙනෙක්ගෙ වගකීමනෙ… එහෙනම් මම ගිහින් එන්නම් මිස් නිම්මි… බායි බබා…"
"අංකල්ට බායි කියන්න දූ…"
"බායි අංකල්… … අන්න අම්මි තාත්තා එනවා… මම තාත්තා එන්න කලින් කාර් එකට දුවන්නම්…"
"මෙ..හෙ… ඉන්න ළමයො…… අපි බස් එකේ යමු…"
"ඒ මොකටද? කාර් එක කැඩිලත් නෑනෙ. ඔය තියෙන්නෙ හොදට… අපි යමු…"
"නිම්මි… යමු මාත් ගෙදර යන්නෙ. මට ඇඳුම් ටික ගන්න ඕන… ඔයා එක්ක ටිකක් කතා කරන්නත් ඕන……"
"අපි කතා කරන්න තියෙන හැමදේම කතා කරලා ඉවරයි මිස්ටර් සිරිවර්ධන…"
තිගැස්සී මදෙස බලා සිටි සහන්ගෙ දෙනෙත් යුවල මඟ හැර දමමින් පියවර එසවූ මා දියණියද රැගෙන බස්‍ රියට නැඟුනේ සහන් තවමත් උසාවි බිමේ සිට මදෙස බලා සිටියදීමය.

"මොකද උනේ නෝනා… ඇයි මේ බේබි අඬන්නෙ? තීන්දුවක් දුන්නද?"
"ඔළුව පුපුරන්න වගේ මැගලින්. මට වතුර විදුරුවක් ගෙනත් ඉන්නකො ඉස්සෙල්ලම…… මේ… මහත්තයා ආවද…?"
"ආ ඔව්… ඇවිත් ඇඳුම් ටික බෑග් එකක දාගෙන ගියා. මෙන්න මේ ලියමන නෝනට දෙන්න කිවුවා…"
"ඔන්න ඕක පැත්තකට දාන්න මැගලින්…!!! බේබි කාමරේට දිව්වා නේද පොඩ්ඩක් බලන්න… පවු දුකෙන් ඇත්තෙ…"
"හුම්… දෙමාපියන්ගෙ වැරදි වලට අහිංසක දරුවො තමා පවු ගෙවන්නෙ…"
මැගලින් ඇසෙන නෑසෙන ගානට පාකර එවුවේ මා හටත් කණේ පහරක් උවද මා නිශ්ශබ්දව සිටියේ ඇය පැවසූදේ සත්‍යක් බ්බව මගේ සිතම මට හඬගා කියූ බැවිනි.

හෙමිහිට ගොස් කාමරයට එබී බලත්දී දියණිය නිදිගත් ලීලාව දැක මා හට ඇයට කතා කර තව වරක් ඇය හැඬවීමට සිත් නොදුන් නිසාම උසාවියට උදයේ හැදි සුදු සාරිය පිටින්ම පැමිණ සැටියේ වැතිරුනේ හිසේ අමාරුවටද නොඑසේ නම් හිතේ අමාරුවටදැයි මා නොදනිමි.

පාසල් ප්‍රේමය නිසාම මාපියන්ද හැර දමා යුගදිවිය ඇරඹූ මාත් සහනුත් අතර ගැටුම් නම් නොවූ තරම්. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක නිළධාරියකු වූ සහන් මව පියා අහිමි කරගෙන ඇත්තේ කුඩා කලදිමය. අපේම ලොවක තනිවූ අප දෙදෙනා අතරට මුලින්ම ප්‍රශ්ණ පැන නැඟුනේ මා මවක් වීමට සූදානම් වන අවදියේදිය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ සහන් සිරිවර්ධනගෙ ගෙදරද?…"
"ඔව් මම එයාගෙ වයිෆ්… කවුද මේ…?"
"මම කවුද කියන එකට වඩා වැදගත්… ඔයාගෙ හස්බන්ඩ් අන්න වෙන ගෑණු එක්ක හෝටල් ගා රිංගනවා…"
"ඔය කවුද කියනවද පොඩ්ඩක්… හෙලෝ… හෙලෝ…"
නාඳුනන ඇමතුම ආ දිනයේම සහන් කෙදිනකවත් නොවූ තරම් පමා වීම මාතුල උපන් සැකය නම් ගින්නට වැටුන පිඳුරු ගොඩක් විය.
"කොහෙද අනේ ඔයා ගියේ…?"
"ඔෆිස්නෙ ළමයො…"
"එතකොට මෙච්චර රෑ උනේ…??"
"ආ ඒකයි මේ. බිස්නස් මීටින් එකක් තිබ්බා. සොරි සොරි බබා ඉතිං…"
"ආ දැන් මීටින් තියෙන්නෙ හොටෙල් වලද?"
"කවුද ඔයාට කිවුවෙ…?"
"කවුරු කිවුවත් ඇත්තනෙ…"
"කොහෙ තිබ්බත්, තිබ්බෙ මීටින් එකක් නම් එච්චරනෙ.…"
මෙසේ ඇරඹි ගැටුම් යම් සමථයකට පත් වූයේ අපගේ පුංචි දියණිය උපන් පසුය. නමුත් මාස කිහිපයකින් නැවත ගැටුම් ඇරඹුනේ අළුත් වටයකිනි. ඔහුගේ යම් යම් ගුප්ත වැඩ නිසාම අප අතර ගැටුම් ප්‍රමාණයද වැඩි විය.

"අද ඇයි රෑ උනේ…??"
"හුම්ම්… මට ගෙට එන්න දෙනවද ඉස්සෙල්ලම…"
"කතාව මඟ හරින්න එපා."
"මීටින් එකක් නිම්මි… මට මහන්සියි පස්සෙ කතා කරමු.… දුව කෝ නිදිද?"
"නැතුව ඒ ළමයා මෙච්චර රෑ වෙනකම් ඇහරන් ඉදලා ඒ ජෝගි බලන්නයෑ…"
"මමද ඔයාද ජෝගි දාන්නෙ නිම්මි…"
මෙසේ දිනපතා මාහට පෙනුනේ සහන්ගේ චපලකමම පමණි. ඔහුගේ වැරදි නිසාම අප අතර ගැටුම් නොවූ දිනක් නොවූ තරම්.
"මට දැන් මේක ඇති වෙලා සහන්… අපි වෙන් වෙමු, ප්ලීස්…"
ඉවසා ඉවසා අවසන ගංඟාවක් පිටාර යන්නා සේ මගේ මුවින් එවදන් පිට උනේද ගැටුමක් අතරදීය.

දින කිහිපයක්ම මාගෙ මුහුණවත් නොබැලූ සහන් දිනක හදීසියෙම මා හා කතා කිරීමට වූයේ සෑහෙන තරම් සංයමයකිනි.


"ඇත්තටම ඔයාට මගෙන් වෙන්වෙන්න ඕනද…?"
"ඔව් සහන් මෙහෙම ඉන්නවට වඩා අපි වෙන් වෙමු…!!"
ඉබ්බා දියේ දැම්මා සේ වැඩි කතා බහකින් තොරවම එය එකඟ තාවය පළ කල සහන් පසුදාම නිවසට මෙහෙකාරියක ගෙනා අතර පහසුවෙන්ම මාහට දික්කසාදය ලබා දුනි. කොටින්ම වෙනත් අය ගැටුම් ඇති කර ගන්නා දරුවා සම්බන්ධයෙන් පවා අප අතර වූයේ අමුතුම සිදුවීමකි. සහන් දරුවා කතාවකින් තොරවම මා හට ලබා දුනි. ඒත් ඇයි ඒ…??? සහන් මට කියන්න උත්සහා කලේ මොනවද…??

ඉබි ගමනින් ගෙවි කාලය තුල මට සහන්ව සිහි නොවූ දිනක් සිහි නොවූ රැයක් නොවූ තරම්… ඒත් මාගේ ආදරය මට අහිමිව අවසන්ය. ඔහුගේ චපල කම නිසාම මා දැන් තනිවූ ගැහැණියකි. මාහට සියල්ල ඉවසා ගත හැකි මුත් දියණිය විදින දුක ඉවසා ගත නොහැක. ඇය දැන් අපගේ නොව මාගෙ දියණියය.

ට්‍රීං… ට්‍රීං…
"හෙලෝ"
"මේ නිම්මිද කතා කරන්නෙ… මම සහන්ගෙ ඔෆිස් එකේ රුවනිගෙ හස්බන්ඩ්"
"හ්ම්ම් කියන්න…"
"මම ඔයාලගෙ ප්‍රශ්ණ ගැනනම් දන්නෑ. ඒත් සහන් විනාශ වෙනවා බලන් ඉන්නම බැරි තැනයි මේ කතා කලේ. කොටින්ම ඔෆිස් එකේ බීලා ඉදලා MDට අහු වෙලා මාසෙකට වැඩ තහනම් දැන්."
"ඇයි එයාගෙ ඔෆිස් එකේ සිහින කුමාරි…??"
"මම දන්න කුමාරි‍යෙක් නම් නෑ. එයාගෙ ඔෆිස් එකේ මගෙ වයිෆ් විතරයි ගෑණියෙක්ට ඉන්නෙත්. සහන් රුවනිගෙම සහෝදරයෙක් වගේ. කාත් කවුරුත් නැති අපිව බැන්ඳුවෙත් ඒ මනුස්සයා. එතකොට ඔයාලා බැඳලා වත් නෑ."
"එතකොට අර කෝල්… රෑ… වෙනකම්…"
"නවත්තගන්න නිම්මි… ගෑණියෙක් පිරිමියෙක් ආස්සරේ කරන්නෙ අහවල් වැඩේට විතරක් නෙමේ. ඊට වෙනස් සම්බන්ධකම් පවා මේ ලෝකෙ තියෙනවා. අන්න ඒක තේරුම් නොගත්ත පවට අද ඔයත් විඳවනවා, සහන්නුත් විඳවන්නවා, අර අහිංසක දරුවත් විඳවනවා." වේගයෙන් පැවසූ ඔහු දමා ගැසුවාක් මෙන් ඇමතුම විසන්ධි කලේ මාගෙ කණට ගසන්නාක් මෙනි.

සැබවින්ම මාගේ පවුල් දිවිය ආවුල් වූයේ මාගේ වරදින්ද……? සහන්……?? අදවත් ඔහුගේ ලිපිය කියවිය යුතුය. එයටවත් සිත සාදා ගත යුතුය.……

ආදරණීය නිම්මි,,,,,,,,,,,,,

අපි දෙන්නා ආදරේ කරපු කාලෙ ඔයාට මතකවත් තියෙනවද මම දන්නෑ ඒත්… මම ඔයාට කවදාවත් චපල උනේ නෑ. මම පණ වගේ ආදරේ කරපු ඔයාව තනි කරලා දුක් දෙන්න බැරි උනත් ඔයාගෙ සතුට ඒක නම් මම ඔයාගෙන් ඈතට යන්නම්. අපි දෙන්නගෙ ආදරය වෙච්චි දුවව ඔයාටම බාර දීලා යන්නෙ එයාවත් උදුරගෙන ඔයාට දුකක් දෙන්න බැරි නිසයි රත්තරනෙ. කවදා හරි ඔයා මාව තේරුම් ගනීවි.… මම හැමදාමත් ඔයාගෙ පරණ සහන්මයි. ඔයා මගෙම පරණ නිම්මි උන දාට මාව හොයන් එන්න.…… අපේ දුවව බලා ගන්න.………………………………………

දෙයියනේ සහන්. නැවතත් රුවනිගෙ සැමියාට ඇමතා ඔහුගෙන් සහන්ගෙ නවාතැන අසාගත් මා දුවවද ගෙන එතනට ආවේ කෙසේදැයි මට සිහියක් නැත.
"තාත්තී……"
"දුව… එන්න මගේ රත්තරනේ… මගෙ පැටියා අද ඉස්කෝලෙ ගියෙ නෑ…??"
"ම..ට.. ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන සහන්… "
"දූ පොඩ්ඩක් ඉන්න පැටියෝ… හ්ම්ම් කියන්න…"
"ඔයා තාමත් මා එක්ක තරහෙන්…"
"මට මා එක්ක තරහ උනත් ඔයා එක්ක තරහ වෙන්න බෑ."
"රුවනිගෙ හස්බන්ඩ් කතා කලා. එයා හැමදේම කිවුවා. ඇයි එයා ගැන කලින් නොකීවෙ මට…?"
"මට කියන්න අවස්ථාවක් ලැබුන්නෑනෙ නිම්මි.…"
"මට සමාවෙන්න සහන්… මම ඔයාගෙ පරණ නිම්මිමයි…" මෙතෙක් සඟවාගෙන සිටි කඳුළු වැළ පිටාර ගැළුවේ මටද නොදැනීමය. කවදත් මාගේ කඳුළු හමුවේ තෙත්වන ඒ දෙනතද සුපුරුදු ලෙස තෙත්වී කියා පාන්නේ ඒ තාමත් මගේ සහන් බවය.
"අම්මා අඬන්නෙ ඇයි…??"
"නෑ දූ අම්මා අඬනවා නෙමේ මේ හිනාවෙනවා. අපි හැමෝම හිනා වෙමු.… තාත්තිට ගෙදර යමු කියන්න දුව…"
"ඒත් නිම්මි…"
"නීති නෙමේ හදවතින් කියන්නෙ. ඔයාගෙ නිම්මිට සමාව දෙනවා නේද? ඔයා එනවා නේද?"
දුවවත් මාවත් දෑත් දෙකෙන් ඒ උණුසුම් පපු තුරුලට ගත් සහන් දුවගේ නලලට හාදුවක්දී සුපුරුදු සැහැල්ලු ලෙස සිනහා වෙන්නට විය.

"අපි ආයෙ බඳිමුද…………?"

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.lawattorneyct.com)

11 May, 2014

නීතියද අවනීතියද මේ……


මහ ජනතාවගෙ පහසුව උදෙසා සේවයට කැපවී ඇති නීති ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින නිළධාරින් නිසාම මහ ජනතාව අපහසු තාවයට පත්වන අවස්ථා ඕන තරම්… මෙසේ නීතියේ නාමයෙන් ජනතාව පෙළන්නන් පිළිබද උදාහරණ තොග පිටින් දිය හැකි වට පිටාවක මාගෙ උත්සාහය වැඩිපුර ඇස නොගැටෙන රාජකාරිය යැයි කියමින් ජනතාව පෙළන්නන් පිළිබද ලිපි පෙළක් ලිවීමයි. මේ එහි පළමු දිග හැරුමයි.

උදේ හවා රැකියාවකට යන බොහෝ අයට වාහන තදබදය යනු අලුත් දෙයක් නොවේ. විශේෂයෙන් ප්‍රියා ගමන් ගන්නා නුවර පාරේ විවිධ ස්ථාන වල උදෑසන වාහන තදබදය ඇතිවන අතර එයට අලුතෙන එක්වූයේ කටුනායක අධිවේගී මාර්ගය නිසාම ඇතිවී ඇති අළුත් පාලම පසුකර ගැනීමේ අවහිරයය.

මේ සියළු තත්වයන් සළකා බලා ප්‍රියානම් පෙරවරු 9.00ට රාජකාරියට වාර්තා කළ යුතු උවත් 7.30ත් 7.40ත් අතර නිවසෙන් පිටවන්නේ පොදු ප්‍රාවාහනයත් මහාමාර්ගයත් විශ්වාස කල නොහැකි නිසාමය. කිලෝමීටර 6ක පමණ දුරට ඒ කාලය අධික උවද එය ඇඟට ගුණය. නමුත් රාජකාරියට යන බහුතරය එසේ වෙලාව වැඩිපුර තබා නිවසෙන් පිටවෙන උදවිය නොවේය… එය සාදාරණය…

ඉහත කීවාක් මෙන් විශාල වාහන තදබදයක සිරවී රාජකාරියට යන ඕනෑම පුද්ගලයෙකුගේ වේලාවට පෙර යා හැකිවේද කියා ඇති වෙන මානසික ආතතිය ඔබට සිතා ගැනීමට නොහැකි විය නොහැක. මෙසේ තදබද කිහිප‍යක්ම අසීරුවෙන් පසුකරමින් රාජකාරි වේලාව ප්‍රමාද වේදෝ සිතමින් යන මගීන් පුරවා ගත් බස් ‍රථ පරික්ෂා කිරීමට ඉඟුරු කඩේ හංදියෙදී පරික්ෂකවරු සැදී පැහැදී සිටී. ඔහුන් සෑම බස් රථයක්ම පාහේ පරික්ෂා කරන අතර මා දන්නා පරිදි ඔහුන්ගේ පරික්ෂාවට ලක්වන්නේ බස්‍ රථයේ මාර්ගස්ථ ධාවන අවසර පත, සේවක දෙපලගෙ නිළ ඇඳුම හා ටිකට් පත් නිකුත් කිරීමයි. මේ සඳහා විනාඩි පහක පමණ කාලයක් වැය වේ.

හුදකලාව ගත් කල විනාඩි පහක් යනු ගනන් ගත නොහැකි තරම් කුඩා කාලයක් උවද විශාල වාහන තදබදයක සිරවී නිදහස් වූ සැනින්ම රාජකාරියට වාර්ථා කිරීමා ප්‍රමාදව සිටින තත්වයක් යටතේ නම් මේ විනාඩි පහා උවද මහමෙරකි.

ඇතම් විට ඔබට සිතිය හැක ඔවුන් මහන්සිවී පරික්ෂා කරන්නේ අප වෙනුවෙන්ය කියා… වරදවා නොගන්න එය මගීන්ව කබලෙන් ලිපට තල්ලු කිරීමක් මිස පහසුවක්නම් නොවේ. මා එය කියන්නේ වගකීමෙනි.… කිමද මෙසේ මගීන් පීඩාවට පත් කරමින් කරන පරික්ෂා කිරීම් වල කිසිදු ප්‍රගතියක් නැත. බස් සේවකයන් දෙදෙනාම නිළ ඇඳුම වන කමිසය අඳින්නේ, හැද සිටින ඇඳුම උඩින්ම ඉඟුරු කඩේ හංදියට ආසන්නතම ස්ථානයකදීය. ටිකට් පත් ලබා ගැනීම නම් ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීමට වඩා අපහසුය. එසේම දිනපතා බස් රිය නත‍ර කරවූවාට බලපත්‍රය මිසක දිනපතා ටිකට් පත් පරික්ෂා කිරීමක් නම් සිදු වන්නේ නැත.

නමුත් කළාතුරකින් දිනකදී ඉඟුරු කඩේ හංදියට ආසන්න‍යට ලඟා වත්දී දොරටුව පැත්තේ අසුන්ගෙන සිටින සැමට ටිකට් පත් බෙදා දෙන්නේ අධාර පත් බෙදන්නාක් මෙනි. එදිනට අනිවාර්‍යෙන්ම පරික්ෂකවරු එළියේ සිටම ටිකට් පත් විමසන අතර මේවා බලා සිටින මගීන් දෙකොනින්ම සිනහා වෙන්නේ තම තමන්ටමය. නමුත් මේවා අතර සම්බන්ධතාවක් ඇතයි කියා මා නම් සිහිනයෙන් වත් සිතන්නේ නැත. ඒවා පව් සිතුවිලිය… කිමද අපේ උන්දැලා එතරම්ම උපාසකය… වංචාවෙන් තො‍රය……

තවත් මෙවැනි උදාහරණ රාශියක් ඇත. විශේෂයෙන්ම පොලොස් මාමලා ගැන කතා කරනවා නම් පොතක් උව ලිය හැකිය.…

මේ ආයතන පිහිටුවා ඇත්තේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට උවත්… මේවායෙන් සිදු වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම නොව නීතියේ නාමයෙන් ජනතාව අපහසු තාවයට පත් කිරීමය…… ඔවුන් කරන කැප කිරීමට සරිලන ලෙස නීතිය නිසිආකාරව ක්‍රියාත්මක වනවානම් කිසිම ගැටලුවක් නැත. නමුත් එය සිහිනයක්ම පමණි.……… එය ඔවුනුත් දනී අපත් දනී… නමුත් නොදන්නා සේ සිටිමු……… ඊයෙත් එසේ සිටියෙමු… අදත් එසෙ සිටිමු… හෙටත් එසේම සිටිමුද…………??????

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
blogs.worldbank.org)

04 May, 2014

සිරිපාලගෙ සාස්තරේ……

"ඒයි…"
"හ්ම්ම්…"
"ඔහේ අද වැඩට යන්නැත්ද?"
"ගියා කියලත් වැඩක් තියෙන එකක්යෑ…"
"එහෙම කියලා කොහොමද? වෙන කරන්න දෙයක් තියනවැයි?"
"හරි හරි… පොඩ්ඩක් හිටින්කො මම ගමනක් ගිහින් එනකම්… ආ… ගේ ටිකක් අස් පස් කරලා අර ඉස්සරහා මඩුවත් ටිකක් අස් කරහන්…"
"ඒ මොකටද…?"
"වැඩක් කිවුවම කරලා හිටින්. රෙද්දෙ ප්‍රශ්ණ නාහා…"

උදේම ගෝරනාඩු කර පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ පුදුමයෙනි. දීග පැමිණි දින සිට වසර ගණනාවක් ඔහුගේ අසනීපෙකට දරුවෙකුගෙ අසනීපෙකට තබා තමාගේ දරු ප්‍රසූතියකදී වත් අවම වශයෙන් තමාගේ දෙමාපියන් දෙදෙනාගෙ මළගමදි වත් ඔහු ගෙදර නැවතුනේ නැති බව ඇයට හොදින්ම මතකය.

එයට බලපෑවෙ නිවසේ අඟහිගකම් නොව. යම් මුදලක් ඉතිරි කර තිබූ සිරිපාල තුල වූ තව තවත් මුදල් සෙවීමේ පිපාසාවය.

කියූ ලෙසම ඇය නිවසත් තෙවසරකින් පමණ ප්‍රයෝජනයක් නොගත් කඩාවැටෙමින් තිබූ හොල්මන් ගුහාවක් බඳු මඩුවත් අස්කර දැමූ අතර දහවල සිරිපාලත් ජගත් නම් ගමේම රස්තියාදු ගසමින් සිටි කොල්ලෙකුත් පැමිණියෙ අත් ටැක්ටරයක පටවා ගත් ලෑලි කිහිපයකුත් තවත් බෑග් කිහිපයක්ද සමගිනි.

"ඔය ඔය ලෑලි ටික පරිස්සමෙන් බාගන්න ඕන ජගත්… ටිකක් පරණ නිසා කැඩෙන්න පුළුවන්.…"
"හරි සිරිපාල අයියා…"

මඩුව ලෑලි ගසා ආවරණය කල කල සිරිපාල එය මැදින් රතු ‍රෙද්දක් එළ්ලා තවත් දේව රූප පින්තාරු කල රෙදිත් පහන් ආදී නොයෙක් දේත් පිළිවෙලකට සකසන්නට විය.

"මේ මොනවද ඒයි…?"
"මේ… දේවාලෙට බඩු…"
"දේවාලෙට…???!!!!"
"ඔව්… දේවාලෙට… මගෙ අළුත් බිස්නොස් එක…"
"දැන් එතකොට කපුවා කවුද…?"
"කපුවා…??? හැ… කපු මහත්තයා… ගුරුණ්නාන්සෙ… ඔක්කොම මම තමා.… මේ ඉන්න ජගත් ආවතේව ටික කරයි."
"දැන් එත්කොට ඔහේ ඔය වැඩ දන්නවැයි…??"
"දැන ගන්න දෙයක් නෑ… මට කොහොමත් පොඩි කාලෙ ඉදන් දේව බැල්මක් තිබුනා. මම පාවිච්චි නොකලට…"
"ඔහේ දැන් මොනවද කරන්නෙ?"
"හ්ම්ම් සාස්තර කියනවා.… මළවුන් ගෙන්නනවා… ආරක්ෂාවල් කරනවා… අණවින කොඩිවින උනත් බැරි කමක් නෑ…… ආ… දෙවි දේවතාවුන් වහන්සේලා වැඩියට පස්සෙ ඔහේ කිළි පිටින් එහෙම මේ පැත්තට එනවා නෙමෙයි……"
"හරි හරි… ඕන මඟුලක් කර ගන්න එකයි……"

මෙසේ ඇරඹි දින කිහිපයකින් පසු සිරිපාලගේ දේවාලය තවත් දියුණු වෙන්නට වූයේ පිට පළාත් වල අය අතර සිරිපාල විසින්ම පතුරවා හැරි කටකතා හේතුවෙනි.

"හරි අනුහස් තියෙන දේවාලයක්…… ගුරුණ්නාන්සෙගෙ තාත්තා තමාලු දේව වරමක් අරන් ඇවිත් තියෙන්නෙ…… වැඩි ගාණක් ගන්නෙත් නෑ සාස්තරේකට රුපියල් 101 යිලු…… වැඩක් කලොත් ඉතිං කිරි ගහට කෙටුවා වගේ තමා……" මෙසේ තටු ලැබූ කටකතා වලට පිංසිදු වන්නට දේවාලය බලා සිටියදී දියුණු වන්නට වූයේ වසර පහක් තුල සිරිපාලගෙ පැරණි නිවස වෙනුවට නවීන නිවසකුත් ඉදිකරගත හැකි වන තරමටය.

මේ වන විට ගමේ පවා ඇතමෙක්ට සිරිපාල, සිරිපාල ගුරුන්නාන්සේ වූ හැටි අමතක වෙමින් පැවතියේ දේවාලය වෙත පැමිණෙන සෙනඟ දිනෙන් දිනම වැඩි වෙමින් පවතින නිසාමය.

"ගුරුන්නාන්සෙ, මට මගේ රස්සාව ගැන බලාගන්න ඕන…"
"ඕං… රීං… තට රස්සාව කරන තැන හතුරො වැඩී… අහ්හා… යාදෙන්නෑ"
,,,,,,,,,,,,,,,,,,,,,,
"ගුරුන්නාන්සෙ, අපේ ගෙදර හැමෝටම ලෙඩ කරදර. ටිකක් ඒ ගැන බලාගන්නයි"
"හ්ම්ම් ඕඕඕන් ඒශ්වා… තගේ ළගම ලේ ඥාතියෙක්. උඹෙ සහෝදරයෙක්… යමක් කරලා තියෙනවා…"
"මට සහෝදරයො නෑනෙ ගුරුන්නාන්සෙ??"
"බොට බාප්පලා මහප්පලගෙ දරුවෝත් නැත්ද?"
"ඉන්නවා ඉන්නවා…"
"ඉතිං උන් ලේ ඥාති නෙමේද?"
"ආ ඔව් ඔව් අපෙ බාප්පගෙ පුතා දේපල ප්‍රශ්ණෙකට පොඩ්ඩක් හිත හොද නෑ මයෙ එක්ක…"
,,,,,,,,,,,,,,,,,,,,,,,
"කපු මහත්තයා මට අපෙ පවුල ගැන් පොඩ්ඩක් බලව ගන්න ඕන.…"
"ඕන්ං ‍රීන්ං ඕෂ්ෂ්… තොගෙ ගෑණිට තව මිනිහෙක් ඉන්නවා බොල… ඒකිව මට්ටු කර ගන්.…"

මෙවැනි වදනක් සෑම දිනකම පාහේ සිරිපාලගේ මුවින් පිට වූයේ ඔහුගෙ කාර්‍යබහුල බව මොනවට පෙන්වමිනි. පාරිභෝගිකයාගේ මුහුණ දුටු පමණින් ඔහුගෙ ගැටළුවත් එයට විසදුමත් කීමට තරම් ඔහු දියුණුවී සිටී.


තම සැමියාගේ රැකියාව දෙස උපේක්ෂාවෙන් බලා සිටි කුසුමා දේවාලය අසලකට වත් යාම නවතා දැමුවේ තම සිතේ සිරිපාලගෙ රැකියාව පිළිබද වූ නොසතුට නිසාත් එය වචනයෙන් පැවසුවාට පළක් නොවන නිසාත්ය.

සිරිපාලගේ දේව වරමින් තවත් දෙතුන් මසක් ඉගිල ගියේ කාටත් හොරෙනි.

"ඒයි මේ බලන්නකො පොඩ්ඩක් පත්තරේ…"
"මොකක්ද…??"
"මේ තියෙන්නෙ… මේ මා‍තර පැත්තෙ මිනිහෙක් දරුවො දෙන්නව ගඟට දාලා ඌත් පැනලාලු.… මහ පොළව උහුලන අප‍රාදද දෙයියනේ මේ…"
"ඉතිං ඕක කියන්නද මාව නවත්ත ගත්තෙ… මට දේවාලෙ අරින්න පරක්කු වෙනවා…"
"නෑ… නෑ… ඉන්නකො ටිකක්… ඒකට මුල ඒ මිනිහා අහපු සාස්තරයක් නිසා උන පවුල් ආරවුලක්ලු…"
"මොකක්……!!! කොහෙ මිනිහෙක්ද?"
"වැඩි ඈතක‍යෑ මාතරම තමා. බාබර් කෙනෙක්ලු…… මොකෑ ඔහේ ඔච්චර බය උනේ? ඔහේ වත්ද ඔය සාස්තරේ කිවුවෙ……??"
"පිස්සුද ගෑණියෙ… මම කවද්ද බොරු කිවුවෙ… මම ඔහොම දෙයක් කිවුවොත් කියන්නෙ දෙවි දේවතාවුන් වහන්සේලා පෙන්නුම් කලොත් විතරයි.…"
"අ…නෙ… මම නොදන්න ඔහේගෙ දෙවි දේවතාවුන් වහන්සේලා……"
"මට පරක්කු වෙනවා ඕයි දේවාලෙ අරින්න…" යි කියමින් පිටව යන සිරිපාල දෙස කුසුමා බලා සිටියෙ කේන්තියෙනි.

"කවදා හරි ඕවා ගෙවන්න ගත්තම කොහෙන් ඉවර වෙයිද බලමුකො… අර අහිංසක දරුවොත් මේ කරුම ගෙවයි…" සුසුම් හෙළමින් දැහැන් ගත වූ කුසුමාගෙ දැහැන බිඳ දැමුවෙ සිරිපාලගෙ දේවාලයෙ දෙසින් එකිනෙක පරයමින් ඇසෙන යාතීකා හඬින් සහා සීනු හඬිනි………………………

© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://www.silumina.lk)