29 December, 2013

කොටුවක සිරවී කොටුවක් පනිමුද…??


හ්ම්ම්ම්…… 2013 අවුරුද්දත් ඉවරයි මේ අවුරුද්ද පටන් ගත්දි අපේ හිත් වල කොයි ත‍රම් හීන තියෙන්න ඇත්ද? මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? කීයක් බොඳ උනාද?

ඒ කතාව පෝඩ්ඩකට පැත්තකින් තියලා අද සිතුවිල්ලට හැරුනොත් දැනට සති දෙකකට පමණ පෙර රෑක යම් නාළිකාවක ගියා වැඩසටහනක්. මේකෙ සාකච්චා උනේ 'හදහන්, අත්ල රේඛා සහා එය විවාහයට බලපාන ආකාරය' පිලිබදවය. මාහට එතරම් 'ප්‍රිය' මාතෘකාවක් නොවූයෙන් කිසිම හැඟීමකින් තොරව බලා සිටියත් එවලෙහි ඒ සාකච්චාව වැදගත් පැමිණීමෙන් කුතුහලය නිසාම යම් උනන්දුවකින් එය නරඹන්නට විය.

ඒ වන විට සාකච්චා වෙමින් තිබුනේ විවාහයට නුසුදුසු යැයි සැලකෙන හදහන් පිලිබදවයි. ඒ පුද්ගල‍යා දැක්වූ ආකාරයට හදහන ඇති පුද්ගලයින්ට විවාහ වීමෙන් පලක් නැතැයිද එවැනි විවාහ අසාර්ථක වේ යැයිද ඔහු මුලින් කියන ලදි. එවිට නිවේදකයා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු නැවත කීවේ "එවන් හදහන් ඇති පුද්ගලන්ටද සාර්ථක විවාහ දිවියක් ගෙවීමට ක්‍රමයක් ඇත." කියාය.

සැබවින්ම මා හිතුවේ ඔහු එවන් පුද්ගලයින්ට ධනාත්මක පිළිතුරක් දෙයි කියාය. නමුත් ඔහුගෙ පිළිතුර වූයේ. "මෙවන් හදහන් ඇති අය තමන්ගෙ ආශාවන් බලාපොරොත්තු පැත්තකට දාන්න. කොහෙන් හරි හොයලා තමන්ගෙ හදහනට ගැලපෙන අයෙකුම විවාහ කර ගන්න. නැත්නම් අවිවාහකව ඉන්න." කියාය. ඔහු විශේෂයෙන් සදහන් කල තව දෙයක් වූයේ "ආදර විවාහයක් නම් කර නොගන්න" ලෙසය.

නැකත්, හදහන්, අත්ල රේඛා වැනි දේ පිලිබදව මා හට දැනුමක් නැත. ඒවායෙ සත්‍ය අසත්‍යතාව පිලිබදව නොදන්නවා සේම ඒ පිලිබදව මාගෙ උනන්දුවක්ද නැත. නමුත් මේ පුද්ගලයින් පවසන ආකාරයට නිකම්ම කොටු කිහිපයකට අපේ ජීවිතය පරාජය කල යුතුද? (මා දන්නා පරිදි හදහන සෑදී ඇත්තේ කොටු කිහිපයකිනි.)

මෙය කියවන හදහන පිලිබද විස්වාසයක් හා දැනුමක් ඇති පිරිස මා හට විරුද්ධ විය හැක. නමුත් වරදවා නොගන්න මා කිසි විටකත් හදහන් වැනි දේ බොරු යැයි නොකියමි. කිමද අදාල විශය පිලිබද මා හට අල්ප මාත්‍ර දැනුමක් වත් නොමැති නිසාය.

නමුත් එක දෙයක් මා දනිමි දෙදෙනකු ගතින් එක් කරන අත්ල රේඛා, හදහනට වඩා කොටින්ම නීතියෙන් එක් කරන විවාහයටත් වඩා මනසින් එක් කරන 'ආදරය' යන බැදීම බලවත් බවය.

ආදරය කර ඇතිවූ විවාහයක් බිඳ වැටිය නොහැක. දැන් ඔබට තර්ක කල හැක 'ආදරය කල ජෝඩුත් අනන්තවත් දික්කසාද වී ඇත' කියා. මා එය මෙසේ තේරුම් කරන්නම්. මා අදහන පරිදි විවාහයට ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇත.

1. ආදරය - එකිනෙකා පිලිබද ආදරයක් නොමැතිනම් ඒ පිලිබදව කතා වත් කර වැඩක් නැත.

2. තේරුම් ගැනීම - දෙදෙනාගෙ වුවමනා එපා කම්, රුචි අරුචිකම්, අදහස් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය.

3. විශ්වාසය - තම සහකරු සහකාරිය පිලිබද විශ්වාසයක් තිබිය යුතුය.

4. ඉවසීම - මෙය ඉතා වැදගත් පොරොන්දමකි. සුළු සුළු අතපසුවීම් ඉවසීම වගේම ඉවසීමෙන් යුතුව එකිනෙකාට ඇහුම්කන් දීම ආදිය මෙයින් අදහස් කෙරේ

5. ආශාව - මෙය පලටවා නොගත යුතු අතිශයින්ම වැදගත් තැනකි. දෙදෙනෙකුගේ විවාහයක් සාර්ථක වීමට නම් අධ්‍යාත්මික මෙන්ම ශාරීරික බැදීමද වැදගත්‍‍ය. එය හුදෙක් වනචර කමක් හෝ ලිංගික ආශාවක් නොව ආදරය මුසු වූ ශෘංගාරාත්මක හැඟීමකි. දෙදෙනාට එකිනෙකා පිලිබදව ශෘංගාරාත්මක හැඟීමක් එනම් ආශාවක් තිබිය යුතුය.

ඉහත දැක්වූ පොරොන්දම් ගැලපීමෙන් පසු ඇතිවන විවාහයක් දෙදරා යා නොහැක. ආදර‍ය කර දෙදෙනකුගේ විවාහය බිද වැටුන කල හොදින් සොයා බැලුවොත් ඉහත පොරොන්දම් එකක් හෝ කිහිපයක නොගැලපීමක් දෙදෙනා අතර තිබිය යුතුය.

පෙර කියූ රූපවාහිනී වැඩසටහනෙ දැක්වූ විවාහයට නුසුදුසු හදහනක් ඇත්තෙකුට වුවද ඉහත කාරණා 5 සම්පූර්ණ කල අයෙකු හමුවුව හොත් ඉතාම සා‍ර්ථක විවාහ දිවියක් ගත කල හැක.

එසේම හදහන් 100% ගැලපුනද තම විවාහ දිවිය අසාර්ථක කරගත් ජෝඩුද අනන්තවත් සමාජයේ ඇත. තවද හදහන් ගලපා විවාහ වී සමාජ තත්වය, ලැජ්ජාව හෝ දරුවන් යන කුමන හෝ සාධකයක් නිසා වෙන් වී ගත නොහැකිව විදීම වෙනුවට ජීවිතය විදවමින් එකට වසන ජෝඩුද අප අනන්තවත් දැක ඇත.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මා හදහන් ගැලපීම සත්‍ය අස්ත්‍ය බාවය නොදනිමි. ඒවා විශ්වාසද නොකරමි. කොටින්ම මාගේ විවාහය වූයේද හදහන්, පොරොන්දම් කිසිවක් ගැලපීමෙන් නොවේ. එසේ කියා ඔබටත් ඒවා බැලීමට එපා කියනවා නොවේ. නමුත් විවාහයකදී හදහනට වඩා වැදගත් මූලිකත්වය දිය යුතු අවශ්‍යතා රාශියක් තිබේ.

එසේ නොමැතිව හදහන 'පමණක්' ගලපා විවාහ වීම තුලින් සිදු වන්නේ තම සහකරුගෙන් සහකාරියගෙන් නොලැබෙන ආදරය, ලිංගිකත්වය සොයා ජීවිත කාලයම හොර අඹුවන්, හොර සැමියන් සොයා යාමට සිදුවීමයි. සැහැල්ලු භාෂාවෙන් කියනවානම්
"අදහස් නොගැලපෙන දෙදෙනෙකුට හදහනේ කොටු පමණක් ගලපා විවාහ වී ජීවිත කාලයම 'කොටු පනිමින්' ජීවත් විය හැක."
එබැවින් ඔබත් ඔබේ ජීවිතය කොටුවක් තුල සිරගත නොකරන්න.

සැ. යු. -
1. ඉහත කාරණා 5න් එකක් දෙකක් නොගැලපුනද උවමනාව ඇත්නම් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
2. හදහන් පමණක් ගලපා විවාහ වූ ජෝඩුද පසුව ආදරෙන් බැදී එකිනෙකා තේරුම් ගෙන ක්‍රියා කලහොත් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
3. සාර්ථක විවාහ දිවිය යනු ගැටුම් කිසිවක්ම නොමැති ඔහේ ගලා යන සුරංගනා කතාවක් නොවේ. විවාහ දිවිය නම් ගංඟාව හැඩ වීමට ගල්, මුල්, වංගු, දිය ඇලි වැනී බාධකද පැමිණිය යුතුමය. බාධක හමු වූවාට මුහුද බලා යන ගංඟ නවතින්නේ නැත.

ප. ලි. -
මා විවාහ දිවිය අරඹා තවමත් මුල් අවදියය. මා හට ඇති අත්දැකීම්ද අල්පය. මා හැකි පමණින් අමුනා ලියූ මේ පොරොන්දම් 5ට අමතරව ඔබ හිතෙත් ගැලපිය යුතු පොරොන්දම් පවතී නම් අන් අයටත් දැන ගැනීමට සටහන් කර තබන්න.

ප. ප. ලි. -
අර මුලින්ම කියපු 2013දී බොඳ වුන සිහිනත් 2014දීි ඉටුකරගැනීමට දකින සිහිනත් සැබෑකරගත හැකි ධෛ‍ර්‍යවන්ත වූ
……සුභම සුභ නව වසරක් වේවා!………යි පතමි.


(පින්තූ‍රය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)


© ප්‍රියා.

22 December, 2013

කොට සායයි… හුරතලයයි… හරි අවදානම්……


අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.

අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට තියෙන්නෙ එද සිදුවීමට විරුද්ධව පියවරක් ගැනීමට නොහැකි වීම පිලිබද කණගාටුවකි.

මේක වෙලා දැනට අවුරුදු තුන හතරක් ඇති. ඒ දවස් වල මම වැඩ කලේ අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කියපු තත්ව සහතික දෙන ආයතනයෙයි. දවසක් රාත්‍රී සෙවා මුරයට මීගමු පාරෙ මහබාගෙ කිට්ටුව යම් ආයතනයකට යාමට ආවා 187 (ගුවන්තොටුපල-කොටුව) බසයට නැගීමට අලුත් පාලම උඩට. ඔය පාරෙ යන ඇත්තො දන්නවා නොවැ හවස 5.30ට 6.00ට 187 බස් වල හිරවෙලා තෙරපිලා යත්දි තියෙන සනීපෙ.

ඉතිං එදා අලුත් පාලම උඩින් මාත් සමග සෑහෙන සෙනඟක් බසයට නැගගත්තා ඒ අතර හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක්. අනේ පවු හරි දුප්පත් දැරිවියක්. කොයි තරම් දුප්පත්ද කියනවා නම් අවුරුදු 11හ 12කාලෙ ඇදපු සාය කෑල්ලක් ඇදන් ඇවිත්. ඉතිං දෙවියනේ මේක දණිස්සටත් අඟල් ගානක් කොටයි (දැන් අහන්න එපා ඒක මම මැන්නද කියලා. හික්…).

ඒ ගෑණු දැරිවි හිට ගත්තෙ 'පූජ්‍ය පක්ෂයට' වෙන් කර ඇති ආසනය ලගින්මයි. මම හිටියෙ ඇයට දකුණු පසින් ඊලගට. ඒ පූජ්‍ය පක්ෂයෙ ආසනයෙ ඒ වෙලාවෙ හිටියෙ පිරිමි දෙන්නෙක්. ජනේලෙ අයිනෙ එකා නින්දෙයි සැප නින්දෙයි වෙනස තෝරනවා. අනිත් මනුස්සයා අරමුණක් නැතිව ෆෝන් එකක් තියන් ඔහේ ඔබනවා. ගේම් ස්ටාර්ට් කරනවා, කැමරා ඔන් කරනවා, කැලැණ්ඩරේ අරන් දින ගනිනවා එක විකාරයයි (අපි අනුන්ගෙ ෆෝන් දිහා හොරෙන් බලන්නෑ බොලවු. අපිට පේන ඒවා පේන ඒවා).

ටිකක් දුරක් යත්දි අර දැරිවිත් හිටගෙනම ෆෝන් එක කණේ ඔබා ගත්තා. දැන් ඉතිං මෙලෝ සිහියක් නෑ කඩනවා කඩනවා. කඩන මල් බස් එක පුරා විසිරෙනවා. බස් එක ඔලියමුල්ල හරියට ලං උනා වෙත්දි අර ෆෝන් එක ඔබන මෑන් අර කෙල්ලගෙ කකුල් දෙක මැද්දට අත තියලා උඩ පැත්තට හරවලා ගත්තා ෆොටෝ එකක් !!. මෑන්ගෙ කරුම වෙලාවට ෆෝන් එකේ කැමරා සවුන්ඩ් එක විතරක් නෙමේ ෆ්ලෑෂරේ පවා ඔන් කරලා.

ඒ තත්පර ගානට කැමරා සවුන්ඩ් එකයි ෆ්ලෑෂරෙයි විතරක්‍‍යෑ සෙනග පිරිච්ච බස් එකේ කකුල් දෙක ඈත් කරන් හිටන් හිටපු ඒ කෙල්ලගෙ කකුල් දෙක මැදට අත තියලා ඌ ෆෝන් එක කොකා ගස්සන එකත් ඔක්කොම මම දැක්කා. ඒත් ඒ කෙල්ල මෙලෝ සිහියක් නැතුව තාමත් මල් කඩ කඩ විසික් කරනවා.

ෆොටෝ එක ගත්තත් කැමරා සවුන්ඩ් එක නිසා මෑන් බය වෙලා වගේ වටපිට බලත්දි පිටිපැස්සෙ හිටපු මං කට ඇරන් පුදුමෙන් බලන් ඉන්නවා දැක්කා. ඇත්තටම වෙච්ච දේ හිතා ගන්න බැරුව හොල්මන් වෙලා හිටපු මම පියවි සිහියට එත්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔටෝ සේව් ඕෆ් කරලා තිබුන ෆෝන් එකේ ෆොටෝ එක සේව් යස් නෝ කියලා අහලා තියෙත්දි නෝ කරලා ‍රෙඩ් බටන් එකත් ඔබලා දැම්මා.

එතනින් එහාට කවර කතාද? මම මේක ගැන අනිත් උන්ටත් කියලා මූට හොම්බට දෙකක් ඇන්නත් මම කොහොමද ඒක ඔප්පු කරන්නෙ??! ඒ කෙල්ලගෙන් ඇහුවත් නියත වශයෙන්ම ඇය ගත් කටටම "නෑ එහෙම දෙයක් උනේ නෑ." කියනු ඇත. එවිට ඇතම් විට විත්තිකරු නිදොස් වී පැමිණිල්ල වූ මට එල්ලුම් ගහේ දළු කැඩීමට සිදුවනු ඇත.

කොහොම හරි මගේ රැවීමෙන් පස්සෙ මෑන් උතුර දකුණ මාරුවෙලා වගේ ඊලග හෝල්ට් එකෙන්ම බැහැලා ගියා. තමා කරපු වැඩේ දැකපු එකෙක් හරි බස් එකේ ඉත්දි බස් එකේ ඉන්න එක භයානකයි කියලා මෑන්ට හිතෙන්න ඇති. හප්පේ ඉතිං බස් එකේ මෙච්චර තමන්ගෙ කකුල් දෙක මැද්දෙම වෙලත් අර ගෑණු දැරිවි ඒ කිසිම දෙයක් නොදැන අර තමා ඉස්සරහා හිස් වෙච්ච ආසනේට බර වෙලා මල් කඩලා කඩලා දැන් පොහොට්ටුත් කඩනවා.

දැන් මේක කියවලා අපේ බ්ලොග් අවකාශෙ ගෑණු ලමයි කඩු කිණිසි අරන් මට 'පුරුෂෝත්තම වාදියා' කියලා බනින්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න. (ඊට පස්සෙ ඕනම නම් බනින්න.)

ඇත්තෙන්ම ගෑණූ දැ‍රිවියො කොටට ඇදීම පිලිබදව මගේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද අන් අයට හිරිහැරයක් නොවන පරිදි තමා කැමති ඇදුමක් ඇදීමට විලාසිතාවක් කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතුය. ඔසරිය ඇදීමට සේම කොට සාය ඇදීමටද කාන්තාවකට හිමිකමක් ඇත. නමුත් ගැටළුව ඇත්තෙ අප සමාජයේ ඇතම් පිරිමින්ට තාමත් දණහිසට තරමක් උඩින් පෙනෙන් කකුලත් ගෙලට මදක් පහලින් පෙනෙන පපුවත් මහා 'පුදුමාකාර' දේවල්‍‍ය. කොටින්ම කියනවානම් ඒ අසහන කාරයන්ට නිරුවත යනු මහා 'මැජික්' එකකි.

එවන් පිරිමින් මධ්‍යයේ වුවද ඔබට අවශ්‍යම නම් කොටට ඇන්දාට කම් නැත. නමුත් ඔබගේ ආත්ම ගෞරවය බිලි ගැනීමට මාන බලන පුද්ගලයින් හමුවේ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. කිමද මා දුටුවා වැනි සිදුවීම් අනන්තවත් සිදුවිය හැක. බොහෝ විට ඒ ජායාරූප නවතින්නෙ අන්තර්ජාලයේ විය හැක. අවසන් ප්‍රථිපලය ඔබගේ ජීවන සහකරුට පමණක් හිමි ඔහු පමණක් දැකිය යුතු බොහෝ දේ ඔබද නොදැනුවත්ව ලොවින් අඩක්ම නැරඹීමයි.

ඔබට රටේ ලෝකෙ සිටින සියලුම පිරිමින් සිතන ආකාරය වෙනස් කිරීමටවත් ඔහුන්ගේ අසහනය සමනය කි‍රීමටවත් නොහැක. නමුත් ඔබේ ආත්ම ගෞරවය රැකගැනීමට ඔබ දැන ගත යුතුය. එය සදහා ඔබ ඕනෑම ස්ථානයකදී අවධානයෙන් සිටිය යුතුය.

මා මුලින් කොට සාය විවේචනය කල නිසාවෙන් ඔබ තාමත් මා 'පුරුෂෝත්තමවාදියෙක්' ලෙස සිතා සිටිනවා නම් මා මෙයට පෙර ලියූ කොන් වුන කොන්දොස්තර'වරිය' කි‍යවන්න. මා පුරුෂෝත්තමවාදියෙක්වත් කාන්තාවාදියෙක් වත් නොව. නමුත් මාද මාව දහසකුත් දුක් විඳ හදාවඩාගත් මවකගේ පුතෙකි, සහෝදරියන් දෙදෙනෙකුගේ සහෝදරයෙකි, ආදරණීය බිරිඳකගේ සැමියෙකි, හුරතල් දියණියකගේ පියෙකි, මිතුරියන් රැසක් සිටින මිතු‍රෙකි. මෙය කියවන ඔබ සැමද මා අදහන පරිදි මාගේ මිතුරු මිතුරියන්ය. මෙය ලීවේ ඔබ සැම දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.

අවසන් වශයෙන් කීමට ඇත්තෙ මෙපමණකි. මා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙකු නොවේ ඔබ ඔබට කැමතිනම් කොටට ඇන්දත් දිගට ඇන්දත් ප්‍රශ්ණයක් නැත. එය ඔබට ඇති හිමිකමකි. එයට කිසිදු තර්කයක් නැත. නමුත් කරුණාක‍ර ඔබ කුමන ආකරයේ ඇඳුමක් ඇන්දත් ඔබේ වටපිටාව පිලිබදව අවධානයෙන් පසු වන්න. කිමද 'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය'.

(පින්තූරය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

© ප්‍රියා.

15 December, 2013

උසස් වීම…


"ආ කල්ප… අන්න උඹට ලොක්කා එන්න කිවුවා."

"ලොක්කා කිවුවෙ මෙ පතිරණ මහත්ත‍යා?. ඒ ගමන මොන ම‍රාල‍යක්ද දන්නෑ."

"මග ඉදන් පේන බලන්නැතුව ගිහින් බලපන්කො."

නාමල් ගෙනා හදීසි පණිවිඩය ඇසූ මා පුදුම වූයේ වසරව් එකොලහක් වූ මාගේ සේවා කාලය තුල මා අප ආයතනයෙ කළමණාකරු පෞද්ගලිකව මුන ගැසී තිබුනේ නැති තරම්.

"සර්… මට එන්න කියලා තිබුනා."

"ආ කල්ප එන්න.. එන්න.. වාඩි වෙන්නකො ඉස්සෙල්ලම."

"තැන්ක් යූ සර්."

"මන් කල්පට එන්න කිවුවෙ වැදගත් වැඩකට. කල්පට දෙන්න ගුඩ් නිවුස් එකක් තියෙනවා."

"ඒ මොකක්ද සර්?"

"දන්නවානෙ මිස්ට‍ර් ගුණවර්ධණ ගියාට පස්සෙ අපි තීරණය කලා ඒ පෝස්ට් එකට පිටින් කෙනෙක් නොගෙන ඇතුලෙ කෙනෙක්ව එතන්ට දාන්න.
ඉතිං අපි තීරණ‍ය කලා මාර්කටිං මැනේජර් විදියට ප්‍රොමෝශන් එකක් දීලා කල්පව එතන්ට දාන්න… නිකම්ම නෙමේ හොද ඉන්ක්‍රිමන්ට් එකකුත් එක්ක."

හදිසියේ ලද පණිවිඩ‍ය නිසා කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ මා විනාඩි කිහිපයක් කළමණාකාරතුමාගෙ මුහුණ දෙස බලා නිහඩව සිටියෙමි.

"බොහොම ස්තූතියි සර්…"

"හරි දැන් ගිහින් HR මැනේජර් මිස්ටර් පියුමාල්ව හම්බ වෙන්න. මම කල්පට විශ් කරනවා. ඒ වගේම ඉදිරියට වෙන්න ඕන දේවල් ගැන පියුමාල් කල්පට තේරුම් කරලා දෙයි."

"තැන්ක් යූ සර්. මං දැන්ම ගිහින් හම්බ වෙන්නම්."

…………………………………………………

"ආ මේ ඉන්නෙ. මොකෝ උඹට ලොක්කා එන්න කියලා තියෙන්නෙ?" මානව සම්පත් කළමණාකරුගේ කුටියෙන් පිටතට පැමිණි විගස මුණ ගැසුන නාමක් ඇසීය.

නාමල් යනු මාගේ පාසල් වියේ සිටම මිතුරෙකි. මෙම රැකියාව මා හට ලැබුනේද මෙම ආයතනයේ මට වඩා වසර තුනක අත්දැකීම් ඇති ඔහුගේ උදවුවෙනි.

"උඹ දන්නවද? මට ප්‍රොමෝශන් එකක් ඇවිත් මාර්කටිං මැනේජර් විදියට"

"ආ ඇත්තද?.. මගේ සුභ පැතුම්"

මා ඔහුගෙන් බලාපොරොත්තු වූයේ මෙවන් ප්‍රතිචාරයක් නොවේ. පාසල් වියේ සිටම අප ඇසුරු කල හැටියට ඔහු මේ ආරංචිය අසා සතුටින් පිනා යා යුතුය. නමුත් නිකම්ම නිකම් සුභ පැතුමක්.

මිනිස් සිත පුදුමාකාරය. ඇතම් විට නාමල් මට ඉරිසියා කරනවා වත්ද? ඔව් එයට බොහෝ ඉඩ ඇත. ආයතනය තුල ඔහු මට වඩා වසර තුනක්ම පැරණිය. මාව වැඩට දැම්මේද ඔහුය. එසේ තිබියදීත් ඔහුට හිමි නොවූ අවස්ථාවක් මට හිමිව තිබීමම ඉරිසියාවට කරුණකි. 'බලමුකො මොකද වෙන්නෙ කියලා' මගේ යටි සිත මා සනසවයි.

…………………………………………………

"ආ කල්ප. කොහොමද මචං?"

"රුවන් මං කලින් ඔයාලත් එක්ක එකට වැඩ කරපු එක හරි. ඒත් මං දැන් මෙතන මැනේජර් කෙනෙක්. උඹ බං බොලන් කියලා කතා කරලා මාවත් ඔයාලගෙ ගොඩට දා ගන්න එපා. මාව වැරදයට තේරුම් ගන්න එපා."

මා එසේ පවසන ගමන් ඇසයටින් බැලුවේ නාමල් දෙසය. සැබවින්ම මා හට උවමනා රුවන්ට නොව නාමල්ට මා දැන් ලොක්කෙකු බව හැගවීමටය. ඔහු මට ඉරිසියා ක‍රනවා නම් මා ඔහුව කරේ තබාගෙන පලක් නැත. නමුත් ඔහුගේ හැගුම් විරහිත මුහුණ මා අධෛරයට පත් කල නිසාවෙන් මා ඒ ස්ථානයෙන් පිටවී ගියෙමි නමුත් මාගේ වෑයම සාර්ථක බව හැගුනේ සවස නාමල් මා ඇමතීමට 'සර්' යන වදන භාවිතා කල හෙයිනි. ඒ වදන ඇසෙන විට මා ලබන්නේ අහංකාර සතුටකි.

…………………………………………………

කාලය කෙමෙන් ගෙවමින් තිබේ. නමුත් මා පසු කරමින් පවතින්නේ ඉතා අපහසු කාල සීමාවකි. මා අළවි කළමණාකරු ලෙස වැඩ බාර ගත් දින සිට ආයතනයේ ලාභය පහල බසිමින් තිබේ. එයට ප්‍රධානම හේතුව ලෙස මා දකින්නේ නාමල්‍‍ය. ඔහුත් ඇතුලු අළවි අංශයේ සේවකයින් ඔහුන් සමග එකට වැඩකල මා ඔහුන්ගේ ප්‍රධානියා ලෙස පිලිගැනීමට අකමැතිය. ඒ සියලු දෙනා උසිගන්වන්නේ නාමල් බවට සැක නැත.

"සර්ගෙ හිත හොද නිසයි ඔය ඔක්කොම. නමල් කොහොමත් සර් එක්ක ඉරිසියයි. ඔහොම ඉන්න එපා සර් පතිරණ සර්ව හම්බ වෙලා ඔය ඔක්කොම කියන්න"

මුළු ආයතනයෙන්ම මා හට හිතවත් එකම සේවකයාවූ කාර්‍යාල කාර්‍ය සහයක පියල්ගේ උපදෙස් මත පතිරණ මහතා හමුවීමට හිත හදා ගත්තේ අමාරුවෙනි.

"සර් මට ටිකක් පර්සනල් කතා කරන්න ඕන."

"ඔව් කියන්න කල්ප."

"මං මෙහෙම කියනවට මං ගැන වැරදියට හිතන එපා සර්. පහුගිය ටිකේ කම්පැණි එකේ ලාභෙ අඩු උන එකට හේතුව මම දන්නවා."

"මොකක්…ඒ මොකක්ද ඒ?"

"මට මේක කියන්නත් මොකක්ද වගෙ සර්. මේ ඔක්කොටම මුල නාමල්. මම මාර්කටිං මැනේජර් උන එකට මෑන් ඉරිසියයි. මෑන්ම තමා අනිත් අයවත් උසි ගන්වලා මේකෙ පාඩු කරන්නෙ."

"ඉතිං නාමල් මේවා කරලා අන්තිමෙ මොනවද බලාපොරොත්තු වෙන්නෙ?"

"වෙන මුකුත් නෙමේ සර් මාව වට්ටන්න. මමනෙ දැන් මාර්කටිං මැනේජර්.."

"හ්ම්ම් හර්…හරි… මං මේකට ඇක්ෂන් එකක් ගන්නම් කල්ප"

"හරි සර්…තැන්ක් යූ."

සියල්ල කියා හිත නිදහස් කරගත් මුත් මාගේ ඔලුව හතරට පැලෙන තරම් වේදනාවක් ගෙන දුනි. මාගේ කැබිනයට පැමිණි මා මේසයට හිස ගසා ගත්තේ හිස කැක්කුම දරා ගත නොහැකිවය.

"සර්… සර්… අන්න අරූ පතිරණ සර්ගෙ කැබින් එක පැත්තට ගියා. ඕකා ෂුවර් එකටම කතාව අනෙක් පැත්ත ගහලා සර්ව අමාරුවෙ දානවා." කැබින් එකට දුවගෙන පැමිණි පියල් පවසන්නෙ රහසිනි.

හිසේ කැක්කුමට කුමක් උවත් ඔහු කියන දේ අසා ගත යුතු නිසා මා පතිරණ මහතගෙ කැබිනය ආසන්නයට ගියේ දුවමිනි. වායුසමීක‍රණය නොකල අප ආයතනයේ කැබින් තුල කතා වෙන දේ පිටට ඇසීම මේ වේලාවට නම් ඇත්තෙන්ම වාසනාවකි.

"නෑ…නෑ…සර් මම කියන දේ පොඩ්ඩක් අහන්න."

"නෑ නාමල් අයි ඇම් වෙරි…සොරි."

"සර් ප්ලීස් එක චාන්ස් එකක් දෙන්න. ප්ලීස්…"

නාමල් පතිරණ මහතා ඉදිරියේ වැද වැටෙන ආකාරය අසා මගේ සතුට නිම් හිම් නැති විය.

"බලනවා අයිසෙ ඔය මනුස්සයට වඩා අත්දැකීම් වලිනුයි විශ්වාසවන්ත කමෙනුයි හැම එකෙන්ම ඔය පෝස්ට් එකට සුදුස්සා තමුසෙයි. කොටින්ම මේ කම්පැණි එකේ මං 100% විශ්වාස කරන එකම මනුස්සයා තමා නාමල්. අපි ඔක්කොම ඔය පෝස්ට් එකට තෝර ගත්තෙ නාමල්වයි. එදා ඒක දැනුම් දෙන දවසෙ නාමල්මයි මට කිවුවෙ ඔයාට වඩා කල්පයි ඒකට සුදුසු අනික කල්ගෙ ෆැමිලි ප්‍රොබ්ලම් වගයක් තියෙන නිසා ඉන්ක්‍රිමන්ට් ලැබෙන නිසා මේ චාන්ස් එක කල්පට දීලා බලන්න කියලා."

"හරි සර් ඒත්…"

"පොඩ්ඩක් ඉන්න නාමල් තාම ඉවර නෑ…… ඒ මනුස්සයව එතනට දැම්මා විතරයි ලොකුකම ඔලුවට ගැහුවා. ඔක්කොම උන්ට ගෑස් පෙන්නුවා. තමුසෙ ඒ යකාගෙ යහළුවා උනාට අනිත් මිනිස්සු එහෙම නෑනෙ. ඒක තමා මේ ටිකේ ප්‍රොපිට් අඩු උනේ."

"හරි සර් මං ඒ ඔක්කොම හ‍රිගස්සනම්. කල්පට තව එක චාන්ස් එකක් දෙන්න."

"වෙරි සොරි නාමල් මමයි ටොප් මැනේජ්මන්ට් එකට උත්තර දෙන්න ඕන. හරි ඒ ඔක්කොම පැත්තකට දාමු මිනිහා අද ක‍රපු වැඩේ. නෑ නෑ… නාමල් දන්නවනෙ මට කේලම් කාරයෝ පේන්න බෑ කියලා…"

"අනේ සර්… ප්ලීස් මේ වතාවට………"

ඔහුන් දෙදෙනා තවමත් කතා කරමින් සිටී. මා දැන් මගේම දෙකණින් ඇසූ දේවල් සත්‍යද? මා ඉබාගාතේ ඇවිදමින් පැමිණ ඇත්තේ ආයතනය ඉදිරිපස බුදු මැදුර ඉදිරියටය. බුදු මැදුර තුලට ගිය මට බුදුරජාණන් වහන්සේගේ පසෙකින් වැඩ සිටින දේව රූප තුලින් දුටුවේ නාමල්ගේ රුවය. මා දෙඅත නලලට ගියේ කෙසේ දැයි මා නොදනිමි.

"මට සමාවෙන්න නාමල්……
මට සමාවෙන්න දෙවියනේ…………"



© ප්‍රියා.

(පින්තූරය ගූගල් දෙවියන්ගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

01 December, 2013

අහෝ දෙවියනේ ඔබ කොහෙ ගියාදෝ…


ලිපිය ලිවීමට පෙර පලමුව කිව යුත්තේ මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණකින් නොවන අතර අප රටේ සාමාජීය දේශපාලනික පමණක් නොව ආගමික පරිහානිය පිලිබද කළකිරීමෙනි.

මා කතාවට මෙසේ එන්නම්. "අපේ ගම් පළාත වෙච්ච 'කැළණිය' කියපු ගමන් මතක් වෙන්නෙ බුදුන් වැඩිය කැළණිය පුරව‍රයයි."… මං එහෙම කියයි කියලා හිතුවද… පුහු…… ඒ ඉස්සර. දැන් මතක් වෙන්නෙ ආචාර්‍‍ය තුමාව (ඔව්..ඔව් එතුමා තමා.).

එතුමා අපේ ප්‍රදේශයට පැමිණි පසු අප පළාතේ විවිධ වෙනස්කම් සිදුවිය. ඉන් එකක් නම් දළුගම 6කණුවෙ දර්ශනීය විශ්ණු දේවාලයක් ඉදිවිය. අපගේම බදු මුදලින් ඉදිකලත් එය කරවීම පිලිබදවනම් එතුමන්ට ස්තූතී වන්ත විය යුතුය. සිදුවූ තවත් වෙනසක් නම් කැළණිය ප්‍රදේශයෙන් ගව ඝාතනය නවතා දැමීමය. එතුමන්ට අනුව ගව ඝාතනය 'මාරම' පවකි. කොහොමත් සත්ව වේවා මිනිස් වේවා ඝාතනය යනු පවකි. එහි කිසිම තර්කයක් තිබිය නොහැක.

එසේම ගවයා යනු විශාල සතෙකු නිසාත් කකුල් හතරක්ම ඇති සතකු නිසාත් ගවයා මැ‍රීම යනු පණ පිටින් අපාගත වන පාප කර්මයකි.

කුකුලා කුඩා සතෙකු නිසාත් එළුවා සහ ඌරාට කකුල් 4ක් තිබුනාට ශරීරයෙන් ගවයාට වඩා කුඩා නිසාත් හාල්මැස්සන් ඇතුලු සියළුම් මත්සයින්ට එකදු පාදයක් හෝ නොමැති නිසාත් ඒ කවර සතකු ඝාතනය කලත් කම් නැත. කොටින්ම කකුල් දෙකක් පමණක් ඇති නිසා මිනිසෙකු ඝාතනය කලද කකුල් හතරේ ගවයෙකු ඝාතනය කිරීම තරම් පවක් නොවනු ඇත. එයට හොදම උදාහරණය එකදු ගවයෙක් හෝ ඝාතනය නොවන සිල් සුවද දස අතේ විසිරෙන පුන්‍ය භූමියේ 'හසිත මඩවල' ඝාතනය වීමය. එය ගනන් ගත යුතු තරම් පවක් නොවේ.

මෙම ලිපියේ අරමුණ ගව ඝාතනය පිලිබද කතා කිරීම නොවන නිසාත් එය ගැඹුරින් වෙනම සාකච්චා කලයුතු කරුණක් නිසාත් ඒ පිලිබදව කතා බහා එතනින් නවතා දමමි.

මෙම ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණට එන්නේ නම් ආචාර්‍යය තුමා භක්තිය උතුරා යමින් සැදු ශ්‍රී උපුල්වන් විශ්ණු දේවාලයට මීටර් 100ක් වත් නැති තරම් ආසන්නයේ නුවර පාර අයිනේම මදි අඩුපාඩුවට 'බියර් ශොප්' එකක්ද විවෘත විය.

එය බලපත්‍ර සහිතව පවත්වාගෙන යන්නක් බව සත්‍යකි. නමුත් පලමු සිල් පදය කැඩෙන නිසා කැළණිය හතර සීමාව තුල ගව ඝාතනයට බලපත් නොදෙන පිරිසම පස්වන සිල් පදය කැඩීමට බා‍ර් විවෘත කිරීමට බලපත්‍ර දෙන්නේ තම තමන්ම ගොඩනැගූ පුන්‍ය භූමි වලට වලට මීටර සියයක් වත් නොමැති දුරිනි. මේ සියල්ල බලා සිටින්නන්ට හිනා යන්නේ කටින් පමණක්නම් විය නොහැක.

මා දන්නා නීතිය පරිදි 'ප්‍රසිද්ධියේ' දුම්බීම හෝ මත්පැන් පානය දඩුවම් ලැබිය හැකි වරදකි. සාමන්‍ය පුද්ගලයෙකු කාටත් කරදරයක් නොමැති තැනක 'අප්‍රසිද්ධියේ' තොල කට ගෑවත් එය පොලීසියට ලොකු 'කේස්' එකකි. මෑතකදි එවන් අත්දැකීමක් තමා 'නොබී' තම මිතුරන් පිරිසක් බොන ස්ථානයක සිටි 'රජ වීදිය' බ්ලොග් අඩවිය ලියන රජ වීදියද ලබා තිබුනි. [ රජ වීදියෙ අත්දැකීම (මෙතනින්) කියවන්න. ]. එය මා ඔබ වැනි සාමාන්‍ය පුද්ගලයින්ට බලපාන නීතියයි. ලොකු ලොක්කන්ගේ ආශිර්වාද සහිතව පවත්වාගෙන යන බාර් වලට එම නීති වලංගු නැත.

එයට ඉහත කියූ බාර් එක හොද නිදසුනකි. එහි පාරිභෝගිකයින් බියර් පානය කරන්නේ ලංකාවේ ප්‍රධානම පාර (A 01) වන නුවර-කොළඹ පාරේ යන දහසකුත් ජනතාවට අතවනන ගමන්ය. ඒ බොහෝ විට බියර් බෝතලය කටේ තබාගෙනමය. එපමණක් ඇතමෙක් බියර් සැර මදි නිසා තවත් මීටර 500ක් වත් දුර නැති ෆුඩ් සිටියේ බාර් එකෙන් සැරබීමද ගෙනවිත් පානය ක‍රන්නේ විශ්ණු දෙවියන්ගේ මුහුණ වුවද පෙනෙන තරම් ලගින් පිහිටි දේවාල භූමියටම අයත් නුවර පාරටද පෙනෙන විවෘත ස්ථානයකය.

ඒ බොන පුද්ගලයින් 'බයිට්' එකට පූජා භූමියට ගෙනෙන්නේ ඇතම් විට හරක් මස්ම විය හැක. කිමද ඝාතනය හා විකිණීම තහනම් වූවාට මෙහි අනුභවය තහනම් නොමැති නිසාවෙනි.

පෞද්ගලිකව මා මත්පැනට හා දුම්වැටියට විරුද්ධ අයෙකි. මා ඒ කිසිවක් භාවිතා නොකරන මුත් වෙනත් අය තමන්ගේ පාඩුවේ සෙට් වී පොඩි සොට් එකක් දමා ෆන් එකක් ගන්නේ නම් එයට උදැල්ල දැමීමට තරම් මට මානසික ආබාධයක් නැත. (යහළුවන් සෙට් වෙන තැන සෙට් වී 'නොබී' බයිට් එකට වග කියන ජාති‍යෙ බුවෙක් තමා මාත්.). නමුත් මේ ස්ථානයේ සිටින බේබද්දන්ගෙන් පූජා භූමියට පැමිණෙන සහ අවට මාර්ගයෙ ගමන් ගන්නා පිරිස් වලට හිරිහැර සිදුවීම නම් ඉවසාගත නොහැක.

මේ විනාශ වන්නේ අප ගමය, අප රටය. "නීතිය සැමට සමානයි" යන්න යල් පැන ගිය කියමනකි. නීතිය ඕනෑ ප්‍රමාණයටත් වඩා තදින් ක්‍රියාත්මක වන්නේ මා ඔබ වැනි සාමාන්‍ය මිනිසුන් කෙරේ පමණි. ලොකු ලොක්කන්ට අදාල නීති ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ වන්නේ පොලිසියේ වත්මන් තේමාව "උස් තැන් දැක හැකිලෙන්නෙ… මිටි තැන් දැක පුප්පන්නේ…" වන නිසාය. පෞද්ගලිකව මා පවා එක් වරක් '119' අමතා පැමිණිලි කර මේ ස්ථානයට පොලිසිය ගෙන්වා ඇතිමුත් නීතිය ක්‍රියාත්මක වීමක් තබා වැ‍රදිකරුවන්ට අවවාද කි‍රීමක්වත් ඒ එන 'ඇවිදින පොල්පිති' වලින් සිදු වන්නේ නැත.

තත්වය මෙසේ තිබියදී පසුගිය නොවැම්බර් 18 දිනට යෙදුන අප කීර්තිමත් ශ්‍රී රාජෝත්තමයානන් වහන්සේගේ (ඔව්.. ඔව්.. මහ රජතුමා තමා) උපන් දිනයට එතුමා විශ්ණු දෙවියන් බැහැදැකීමට පැමිණි අතර එතුමාට නිදහසේ වන්දනා උදෙසා එදින නම් අදාල බාර් එක වසා දමා තිබුනි. මට ඇති ප්‍රධානම ගැටලුව 'මහ රජානන් වහන්සේට වන්දනා මාන කිරීමට බාධාවක් වූ බාර් එක සාමාන්‍ය ජනතාවට බාධාවක් නොවන්නේ කෙසේද? යන්නය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ නීතිය ක්‍රියාත්මක වනවානම් සැමට සමානව ක්‍රියාත්මක විය යුතුය. එයට ඇති නැති බලවත් දුබල ලෙස භේද තිබිය නොහැක. නමුත් අප රටේ පිරිහෙන සාමාජීය දේශපාලනික වටපිටාව තුල සිදු වන්නේම එයයි. ඉතාම දුඛ්කදායක කරුණ නම් ඒ ජරාජීර්ණ තත්වය ආගමික පරිසරය තුලටද කා වැදෙමින් පැවතීමයි.


ප. ලි. ~~~~

කාලය ශ්‍රමය පමණක් නොව මුදල්ද(දත්ත) වැය කරමින් මෙවන් ලිපියක් ලීවේ ගව ඝාතනය නැවැත්වීමට විරෝධය පල කිරීමටවත් මත්පැන් පානයට විරෝධය පල කිරීමටවත් නොව හුදෙක් "නීතිය සාදාරණත්වය රජයන හෙටක් බලාපොරොත්තුවෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන්" පමණි.

නමුත් මෙය පලවීමෙන් පසු මාගේ කිසිදු ප්‍රථිචාරයක් නොමැති වුවහොත් මා විශ්ණු දෙවියන්ගේ දේව උදහසට කෙසේ වෙතත් මහ රජතුමාගේ හෝ ප්‍රාදේශීය රජෙකුගේ රාජ උදහසට ලක්වී සුදු පැහැති දෝලාවක විනෝද චාරිකාවක් ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


© ප්‍රියා.

24 November, 2013

පුංචී දෝණී මගේ… දෑස වේ ඔබ මගේ……


අදට හරියටම දවස් 377කට කලින් දවසක හවස පහට කොන්ඩෙ පිස්සෙක්ගෙ ත‍රම් අවුල් වෙච්ච දවස් ගානකින් නොකපපු රැවුල් කොට මුහුණ පුරා විසිරිච්ච කොල්ලෙක් 'කාසල් වීදියෙ කාන්තා රෝහලේ' වාට්ටුවක් දිගේ දුවගෙන යනවා. ඒ දවාලෙ සූතිකාගාරයට ගත්ත තමන්ගෙ බිරිදව දකින්න. ඒ කොල්ලාගෙ අම්මත් කොල්ලත් එක්ක ඉන්නවා.

ඒ යත්දි ඒ කොල්ලා දකිනවා තම බිරිද බිත්තිය අයිනක ඇදක ඉන්නවා. ඒ තනියම නෙමේ රෙද්දකින් ඔතපු පුංචිම පුංචි කිරි කැටියෙක් එයාගෙ පපුවට උණුසුමට තුරුල් වෙලා. ඒ කොල්ලගෙ අම්ම බිරිදගෙන් අහනවා "දුවෙක්ද? පුතෙක්ද?" කියලා. උත්තරේ ලැබෙනවා "දුවෙක්." කියලා.

ඒ කොල්ලා වෙන කවුරුත් නෙමේ 'ප්‍රියා' වෙච්ච මම ම තමයි. මං මගේ පුංචි සුරංගනාවිව දැකපු මුල්ම අවස්ථාවයි ඒ. හරියටම කියනවා නම් 2012 නොවැම්බර් මාසෙ 22 දා. එදා තමා මගේ පුංචි දුව ඉපදුනේ.

ඔන්න ඊට පස්සෙ ආවා නම් ‍තැබීමේ අවස්ථාව. මට ඒ දවස් වල පුදුම පිස්සුවක් තිබුනා අපිට ඉපදෙන දරුවටත් නමට 'ප්‍රිය' කෑල්ල එකතු කරන්න ඕන කියලා. මොකද මගේ නම් චතුරංග 'ප්‍රිය'ශාද්. මගේ 'ප්‍රිය'ම්බිකාවග්ගෙ නම නදීශා 'ප්‍රිය'දර්ශනී. ඒත් දැනට ඔය 'ප්‍රිය' කියන වචනෙ 'ප්‍රිය' උනාට තව අවුරුදු විස්සකින් විතර 'ප්‍රිය' වචනෙ 'අප්‍රිය' විය හැකි නිසා මගේ පූංචි පැටික්කිට නම ලැබෙනවා "දරණි යසස්මි" කියලා.

අවුරුද්දක් ගෙවිච්ච ඉක්මන....... මගේ පුංචි සුරංගනාවිට පෙරේදට අවුරුද්දක්...... මම දැන් අවුරුද්දක ළමයෙක්ගෙ තාත්තා කෙනක්.......

"ජීවිතය 'විදවන්නන්ට' කාලය ගෙවෙන්නේ ඉබි ගමනිනි. නමුත් ජීවිතය 'විදින්නන්ට' කාලය ගෙවෙන්නෙ අධිවේගයෙනි." ඒක මං දැන ගත්තෙ ඔයා ඉපදුනාට පස්සෙයි. ඔයා නිසා මං දැන් ජීවිතය විඳිනව චූටි දුවේ. මේ අවුරුද්ද ගෙවුනා වගේ ඉක්මනට තව අවුරුදු ගානක් ගෙවෙයි. තව අවුරුදු විස්සකින් විසි එකකින් ඔයා තරුණියක්. එදාට මේ 'බ්ලොග්' එක තිබුනොත් ඔයා මේක කියවයි කියලා මං හිතනවා. ඔයාට මං ආදරේ කරන තරම කියන්න බ්ලොග් එකක ලියන්නම ඕන නෑ. මොකද දැනටත් මං ඔයාට ආදරේ තරම ඔයා දන්නවා කියලා මම දන්නවා. ඔයාගෙන් මට ඒක දැනෙනවා. ඒක තමා දරු සෙනෙහස කියන්නෙ.

ඔයා ඔයාගෙ අම්මගෙ කුසට ආවා කියලා අපි දැන ගත්තෙ හරියටම 2012 අප්‍රේල් දෙවෙන්දා එදා ඉදන් ඔයාගෙ අම්මයි තාත්‍තයි විතරක් නෙමේ ඔයාගෙ ආච්චිලා සීයාලා හැමෝම ඔයාව ආරක්ෂා කරපු හැටි ඔයා බලන් ඉන්න ඇති.

දොස්තර මාමලා කිවුවේ ඔයා ඉපදෙන්නෙ නොවැම්බර් 18 කියලා. ඒත් එදා ඔයා අපිව බලන්න ආවෙ නෑ. නොවැම්බර 18 ඉදන් 22 වෙනකම් දවස් හතර ඔයාගෙ අම්මයි තාත්තයි උහුලපු ගින්දර දන්නෙ අපි දෙන්නා විතරයි පුංචි දුවේ. ඒ ගින්දර ඔයාට දැනුනා නම් ඔයාගෙ ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට කොච්චර ආදරේ ක‍රනවද කියලා ඔයාට දැනෙයි. මොකද අපි ඔයාට ආදරේ කරන තරම කියන්න තරම් වචන මේ ලෝකෙ නෑ මගෙ පැටික්කියෙ.

මම කියන්නෑ මම මේ ලෝකෙ ඉන්න 'හොදම' තාත්තා කියලා. මොකද මට වඩා හොද තාත්තලා ඊ‍යෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී. ඒත් මං උත්සහ කරනවා 'හොද' තාත්තා කෙනෙක් වෙන්න. මොකද ඔයා තමා අපේ පණ. අපේ ලෝකෙම ඔයයි පුංචි දුවේ.

දුවගෙ තාත්තා කවියෙක් නම් නෙමේ. මගෙ හිතේ ඔයාට තියෙන ආදරෙන් එක දශමයක් තමා මේ අමුණලා තියෙන පද ටික. මේ කවි ටික ලියවුනේ ඔයා ඉපදුන අලුතමයි.


"දරණි' දුවේ නුඹ නිදනා විටදි ළයේ…
මහද මඩලෙ දරු සෙනෙහස පිරෙනු දැනේ…
පාළුව රජ කලත් පෙරදින අප දිවියේ…
සසරම එළිය ගැන්වී ඇත ඔබ ඇසුරේ…

මල් රොන් වලින් වත්සුනු ගෙන තවරන්නම්…
සඳකැණ් වලින් දෝතක්ගෙන නහවන්නම්…
තරු කැට පෙලක් අමුණා ගෙල පලදන්නම්…
'දරණි' දුවේ නුඹ රැජිණක් කරවන්නම්…

කනට තෝඩු පලදා හැඩ බලන්නම්…
ගෙලට මාල බන්දා හැඩ කරන්නම්…
රන්‍‍‍රිදියෙන් නුඹෙ වත සරසවන්නම්…
'දරණි' දුවේ මගෙ සිහිනය එයයි දැන්…

සිඟිති නෙතේ කඳුලැල් නොම ඇඳේවා…
පුංචි සිතේ දුක් ගිනි නොම දැවේවා…
දුක් වේදනා කිසිදා ලං නොම වේවා…
'දරණි' දුවේ නුඹ සතුටින් ඉදීවා!!…"


මගේ ආදරණීය 'පුංචි සුරංගනාවි'ට නිරෝගී, වාසනාවන්ත, සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!


© ප්‍රියා.

17 November, 2013

මම කාපු සෙරෙප්පු පාර...


(වාසනාවට 'ඇත්ත' කතාවක්)

ලියන්න කියලා හිතන් හිටපු කතා දෙක තුනක්ම තියෙත්දි මේ කතාව ලියන්න හිතුවෙ පසුගිය දිනක උන සිදුවීමක් නිසයි.

ඒ තමයි අර 'ගුරුවරියක් ශිෂ්‍යයකුගෙ එකම කලිසම කපා දැමීම'. මේ සිදුවීම විවිධ කෝණ වලින් අල්ලා ගත් පිරිස විවිධ කතිකාවන් ගොඩ නැගුවත් සැබෑ තො‍රතුරු නැතිව මේ දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකවත් පැත්තක් මට නොහැකිය. නමුත් මේ ශිෂ්‍යයාගේ මානසික, සාමාජීය, ආර්ථික තත්වය හදුනා නොගෙන ඇය තම සීමාව ඉක්මවා ගියාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒත් ඒ වෙච්ච සිද්ධිය හරියට නොදන්න නිසා ඒ කතාව එතනින් නිමි! ;-)

අද මන් කියන්න යන්නෙ මටම උන මගේ අත්දැකීමක්. මුලින්ම මන් කතාවට මෙහෙම එන්නම්.

'ප්‍රියා' ඒ කියන්නෙ මම ඉපදිලා ඔන්න පාසල් දාන කාලෙට ආවම ඔන්න මාව හා හා පුරා කියලා දානවා වත්තල තෙළගපාත 'රත්නපාල' පාසලට. ඒත් අවුරුදු දෙකකට පස්සෙ අපේ ගෙවල් මාරු කරනවා දළුගමින් දෙල්ගොඩ උඩුපිලට. අන්න එතකොට තුන වසරෙ ඉදන් මාව දානවා උඩුපිල කම්මල්වත්ත 'රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයට'. ඒකෙන් 6 වසර්ට එනවා 'දරණගම මහ විද්‍යාලයට' (නෑ නෑ බොලවු ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙමේ. මම ශිෂ්‍යත්වෙ ෆේල්. :-) ) රාජසිංහෙ එකේ ඉදන් පහ වෙනකම් විතරයි පන්ති තියෙන්නෙ ඒකයි දරණගමට ආවේ.

කොහොමින් කොහොම හරි දරණගම විද්‍යාලෙත් එකම අවුරුද්දයි ඉගෙන ගත්‍තෙ හත වසරට පාස් උන ගමන් උඩුපිල ගේ විකුණලා ආයෙත් අපේ ගම් පළාත වෙච්චි කැළණිය දළුගමටම පදිංචියට එනවා. ඊට පස්සෙ මාව උස්සන් ඇවිල්ලා දානවා හත වසරෙ මුල ඉදන් කැළණිය තොරණ හංදියෙ "වෙදමුල්ල මහා විද්‍යාලයට." එහෙම බැලුවම මන් පාසල් හතරක ඉගෙන ගෙන තියෙනවා. ඒ පාසල් හතරම දුප්පත් පොඩි පාසල්. ඒ පාසල් හතරටම මන් ගරු කරනවා.

ඒත් වෙදමුල්ලත් එක්ක මගේ විශේෂිත බැදීමක් තියෙනවා. මොකද මට තේරෙන කාලෙදි මන් හැදුනෙ වැඩුනෙ ඒ පාසලත් එක්ක. මගෙ ජීවිතේට හුගක් දේවල් එකතු කලේ වෙදමුල්ල (ඔව් ඔව් ප්‍රියම්භිකාවත් සෙට් උනේ පාසලෙන්ම තමා. :-D ). ඇත්තෙන්ම කියනවනම් වෙදමුල්ල තමා මගෙ දෙවනි අම්මා වුනේ.

වටේ ගියා ඇති මන් කතාවට එන්නම්කො. හත වසරෙදි ඉස්කෝලෙට ආවට මොකද මන් ඇත්‍තටම ඒ වෙත්දි හරිම පසුගාමී චරිතයක්. සබකෝලය කියන එක උපරිමයි, පාසල් පැමිණීම අන්‍තිමයි, අපිරිසිදු කම ඉහලයි, ඉගෙනීම අජූතයි. කොටින්ම මම පංතියෙ මුල්ලකට වෙලා ඉන්න කොන් උන චරිතයක්. මන් එක්ක කතාවත් කලේ එකම එකයි. ඒ ඌත් මන් වගේම එකෙක් නිසා.

කොහොමින් කොහොම හරි ඔන්න දැන් මම 10 වසරෙ. අවුරුද්ද මුල අපේ පාසලේ කලා උත්සවයක් සංවිධානය වෙනවා 'වසත් සර වැනුම්' කියලා ඔය උත්සවේ සංවිධාන මණ්ඩලේ හිටපු 'කැළණියේ අමිතසිරි' කියන හාමුදුරුවන්ම තමා අපිට බුද්ධ ධර්මයයි සිංහලයි ඉගැන්නුවෙත්. ඔන්න දවසක් හාමුදුරුවො අපේ පංතියෙන් උත්සවයට සමගාමීව පැවැත්වෙන තරග සදහා නම් ගන්නවා. විවිධ තරග සදහා විවිධ අයව ගන්න අතරෙ හාමුදුරුවො ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදලා "චතුරංග නිවේදන වලට ඉන්න." කිවුවා විතරයි මාව හත් පාරක් කරකවලා තුන් පාරක් ටොකු ඇන්නා වගේ උනා. ගත් කටටම මන් කිවුවෙ "බෑ" කියලා. ඒත් තුන් හතර පාරක්ම හාමුදුරුවො හොදින් කිවුවත් තරගෙට ඉන්න කියලා මගේ පව බලවත් නිසා මාත් එළුවා වගේ බෑම කිය කියා හිටියා. ඔය අතරෙ හාමුදුරුවො වෙන වැඩක්ට විදුහල්පති කාර්‍යයාලයට වැඩම කරලා විනාඩි 15 කින් විතර ආයෙ වැඩියා. ඒ ගමන් ආයෙ ඇහුවෙ අර ප්‍රශ්ණෙමයි. මහෙත් නොසැලුන උත්තරේ ඒකමයි.

හාමුදුරුවන්ටත් උපරිම කේන්තියි. එදා මගේ කරුමෙට අපෙ පංතියෙ කොල්ලෙක් තුවාලයක් නිසා දාන් ඇවිත් තිබුනෙ 'බාටා' සෙරෙප්පු දෙකක්. ඒකත් දුහුවිල්ලෙන් පිරිලා හරි ප්‍රියමනාප විදියටයි තිබුනෙ. හාමුදුරුවො ඌට සෙරෙප්පුව ගලවන්න කියලා එක පාරටම ඒ එක බාටා එකක් අරන් දුන්නැත්ද මට ඒකෙන්ම කණේ පාරක් !!.

සෙරෙප්පු පාර කාගෙනම ඇස් දෙකෙ කඳුලු පුරෝගෙන මන් වාඩි උනා. හිතා ගන්න පුළුවන්නෙ තිස් ගානක පිරිසක් ඉදිරියෙ සෙරෙප්පු පාරක් කෑවම තියෙන සනීපෙ. කොහොම හරි මට ගහලා හාමුදුරුවො බලෙන්ම මගෙ නම ලිස්ට් එකට දැම්මා. දවස් දෙකකට පස්සෙ තරගෙ. මන් දන්නෑ මටත් සෙරෙප්පු පාරත් එක්ක හාමුදුරුවොත් එක්ක කේන්තියකුත් එක්ක අමුතුම ගටක් ආවෙ. පුළුවන් තරම් පුරුදුවෙලා ගියා තරගෙට. විශ්වාස කරන්න පුළුවන්ද සබකෝලෙන් පිරිච්ච කොල්ලෙක් නිවේදන තරගෙකින් 'පලවෙනියා' වෙත්දි. ඒත් එක උනා. තරගෙ ප්‍රථිපල ආවට පස්සෙ හාමුදුරුවො මගෙන් ඇහුවා කීවෙනියද කියලා. මන් පලවෙනියා කියත්දි උන්වහන්සෙ හිනා වුනා. එවලෙ මගේ හිතේ ඇතිඋන හැගීම මටම හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම ම නම දාලා 'කෙටි කතා' තරගෙටත් හිටියා ඒකෙනුත් දෙවනි ස්ථානය හම්බ උනා. නිවේදන අංශෙන් පලවෙනියා උන නිසා 'වසත් සර වැනුම්' උත්සවේ නිවේදනය කරන්නත් මාව තෝර ගත්තා.

ඇත්තටම කියනවානම් ඒ සෙරප්පු පාර පුදුමාකාර විදියට ධනාත්මක පැත්තට මාව වෙනස් කලා. මම පුදුමාකාර විදියට සමාජශීලී උනා. පංතියෙ කොන් වෙලා හිටපු මන් යහළුවො ගොඩක් ආශ්‍රය කරන්න ගත්තා. අපි ඇති තරම් පිස්සු නැටුවා, ඉගෙන ගත්තා. මගෙ ජීවිතේ පිලිවෙලක් වෙන්න ගත්තා ඒ වෙත්දි පාසලේ සියලු උත්සව වල නිත්‍ය නිවේදකයා උනේ මම. පාඩම් වැඩ වලටත් උනන්දු උනා. සාමාන්‍ය පෙළ සමත් උනා. අපේ පාසලේ තියෙන්නෙ කළා, වාණිජ අංශ දෙක පමණයි. මාත් වාණිජ අංශය තෝ‍රන් අපේ පාසලේම හිටියා.

10 වසර වෙනකම් මුල්ලක හැංගිලා හිටපු මම ඒ වෙත්දි පාසලේ ජනප්‍රියම චරිතයක්. ශිෂ්‍ය නායකයෙක් වෙලා අන්තිමට 'ප්‍රධාන ශිෂ්‍ය නායක' කම පවා ලැබුනා.

ඇත්තෙන්ම මට කියන්න ඕන උනේ මෙච්චරයි. සබකෝලයෙන් පිරුන කොලු භාෂාවෙන් කියනවනම් 'හිපාටු' චරිතයක් වෙච්ච මං යම් තරමක් හෝ අළු ගසා නැගිටලා ඉගෙනගෙන මෙහෙම ජීවත් වෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සෙරෙප්පු පහර නිසයි.

ගුරුවරයෙක් වශයෙන් උන් වහන්සේ මගේ දුර්වලතා සහ දක්ෂතා හදුනාගෙන ඒ දක්ෂතා එළියට ගන්න උපාය මාර්ගිකව බෙහෙත් කලා. ඒත් ඔය න්‍යාය හැම ගුරුවරයටම් හැම ශිෂ්‍යායාටම හැම අවස්තාවෙම නොගැලපෙන බවත් මතක තබා ගත යුතු‍යි. ඒ වගේම තමා අපෙ අම්මලා ඔය සෙරෙප්පු කතාව දැන ගත්තෙත් මන් පාසලෙන් අස් උනාටත් පස්සෙයි.

මම දැනටත් සමාජයෙ පොඩිම පොඩි චරිතයක්. සාමාන්‍ය පෞද්ගලික ආයතනයක වැඩ පරික්ෂක වරයෙක්. ඒත් අම්මා තාත්තාටත් පුළුවන් විදියට සලකන් පරස්සාවකුත් කරන් දරුවෙකුත් හදාන් කාටත් ණයක් නැතුව කාටත් අත නොපා සමාජයෙ ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්නෙ එකම චරිතයක් නිසා. ඒ තමයි "කැළණියේ අමිතසිරි" හිමි. කොටින්ම එදා උන්වහන්සේගෙ සෙරෙප්පු පාර නොවන්නට අද මේ බ්ලොග් අවකාශයේ 'ප්‍රියා' කෙනෙකුද නැත.

'කැළණියේ අමිතසිරි' හිමි වැනි ගුරුවරු තව දහස් ගුරුවරු මේ පොළව මත සිටී. තම ගෝලයන්ගේ දෑස් පෑදීමට කැපවන 'කැළණියේ අමිතසිරි' හිමි වැනි සියළුම ගුරුවරුන්ට මේ සටහන පූජෝපහාරයක් වේවා!!.

ප. ලි. ~~
දැන් ඉතිං අපේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 'කැළණියේ අමිතසිරි' හිමිව හොයන් ගිහින් මේ මේ කාලෙදි මේ ළමයට සෙරෙප්පුවන් ගහලා 'අපයෝජන‍යට' ලක් කලා කියලා නඩු එහෙම දානවා නෙමේ ඕන්.

ප. ප. ලි. ~~
මෙය කියවන ශිෂ්‍යයෙකු වෙතොත් මේ කතව ආදර්ශයට ගනිත්වා!
සියළු 'ගුරුදෙවිවරුන්ට' මේ සටහන උත්තමාචාරයක් වේවා!
එසේම මෙ බ්ලොග් අවකාශයේ සැරිසරන 'ඩූඩ් අයියා' ඇතුලු බ්ලොග් ලියන, බ්ලොග් කියවන සියලු ගුරුවරුන්ටත් මේ පෝස්ට්ටුව මල් මිටක් වේවා!!!.

10 November, 2013

දරුවා මගෙ නොවෙද?



(සත්‍ය කථාවක් ඇසුරිනි.)

හිමිදිරි උදෑසනම ගාල්ල සිට තමා ඇතුලු දහස් ගනන් පිරිසකුත් ගෙන කොළඹ බලා පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙ හති හරින යකඩ යකා දෙස මොහොතක් බලා සිටි පියුමි තම ජංගම දුරකථනය ගෙන ඇමතුමක් ගත්තේ සෙනග අතුරෙන් පසෙකට වෙමිනි.

"හලෝ....කොටුව ස්ටේෂන් එකේ....දැනුයි ආවෙ....හරි....හරි....ඉක්මනට එන්න එදා වගේ පරක්කු වෙන්න නම් එපා....හාං...."

ඇමතුම විසන්දි වූ ජංගම දුරක්ථනය තම් අත්බෑගයට දමා ගනිමින්ම දුම්‍‍රියපලින් එළියට පැමිණි පියුමි ගුවන් පදිකමාරුවෙන් පාරෙ අනෙක් පසට පැන ගම්පහ බස් නැවතුම්පල වෙත පැමිණියේ වේගවත් ගමනනි. මීලගට පිටත් වීමට නියමිත බසයට නැගි ඇය පසුපස අසුනට බර වූයේ හති හරිමිනි.

පිටත්වීමට වේලාව ඇති බැවින් තවමත් හතර පස් දෙනකු පමණක් සිටින බසයෙ කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා ගත් ඇගේ මතකය කෙමෙන් අතීතයට පිය මනින්නට වූයේ ඇයටද හොරෙනි.
........................................

නැතිබැරි කම දෝත දරා උපන් පියුමි උසස් පෙළට මුහුණ දීමට අධ්‍යාපනය හදාරමින් සිටියද ඉගෙනීමේ වාසනාව පරදවා නැතිබැරි කමේ අවාසනාව ජය ගත්තේ යන්තම් 18 සම්පූර්ණ වූ සැනින් නිවසටම පැමිණි මංගල යෝජනාවට ඇගේ දෙමාපිය කැමත්ත හිමි වූ බැවිනි. එයට ඇගේ අකමැත්ත ප්‍රකාශ කිරීමට තරම්වත් ඇයට ඇගේ ජීවිතය පිලිබද අයිතියක් නොවුනි.

"මේ බලපන් කෙල්ලෙ අවුරුදු 15ක් කියන්නෙ මහා වයසක්ද බං. අනික බදින පිරිමියා කෝමත් ටිකක් වයස වැඩි උනොත් තමා පවුල් ජීවිතේ සාර්ථක" පියුමිගෙ මව පිටුපස කුස්සි කෑල්ලේ සිට පවසන්නේ කටගොන්නක් බීගත් තම සැමියා පැමිණ එය අසා සිටින බව නොදැනය.

"අවුරුදු 33ක් කියන්නෙ වයසක්ද යකෝ. බොට මතක නැත්ද සුමනො, මන් උඹව ගේනකොට මට 35ක් බොල 35ක්!. අනික ඒ මනුස්සයාට මොනවැයෙන් අඩුවක්ද?. ඉන්න ගේ වත්ත දේපළ... ඔය අනම් මනම් කියවලා මේ මගුල නොකෙරුනොත් තොපි ජීවත් වෙන්න හිතන්න එපා! දැනගන්."

දෛවය පමණක් නොව තම ආදර දෙමාපියන් පවා තමාට එරහි වූ බැවින් අවසන පියුමිට උරුම වූයේ හිරිමල් වියේ සිටින තමාට වඩා අවුරුදු 15ක් වයසැති සරණතිස්ස සමග රන්හුයෙන් දෑගිලි බැද ගන්නටය.

පාරම්පරික වලවුකරුවකු වූ සරණතිස්සට රැකියාවක් කිරීමේ උවමනාවක් නොවීය. අලුතගෙනා රූමත් බිරියත් මවත් සමග විශාල නිවාසේ ජීවත් වූ සරණතිස්ස මත්පැනට ඇබ්බැහි වූවකු නොවූයේ නම් ඇගේ වාසනා ගුණයක් නිසාය.

කාලය කෙමෙන් ගෙවමින් වසර දෙකක් ගත වූයෙ කාටත් හොර රහසේය.

"ඈ මාග්‍රට් අක්කෙ අපේ සරණතිස්ස ලමයා දැන් පෙලවහක් වෙලා සෑහෙන්න කාලයක්නෙ බං. කෝ තාම උඹට මුණුපුරෙක් දෙන්න හිතලා නැතැයි??"

"අර උඩහා ගෙදර කෙලී බැදලා ගිහින් මාස පහයි. අන්න ඒකිට බඩට මාස හතරක්ලු. ඒක නෙමේ මේ අපේ පියුමි කෙල්ලගෙ තාම නැත්ද වෙනසක්??"

තම නිවසේ අළුයට සැගව තිබූ ගිනි පුපුරු තම නෑ හිතමිතුරන් ගොඩ දමන විට සරණතිස්සගේ මවගෙන් පියුමිට හිමි වූයේ සාම්ප්‍රදායික නැන්දම්මෙකුගේ සැලකුම් වලිනුත් ඔම්බට ගිය කෲර සැලකුම්‍‍ය.

"අපේ එකත් ගිහින් ගිහින් කර ගැහුවනෙ දරුවෙක් වදාගන්න බැරි වඳ පීදිච්ච කෙසෙල් ගහකට."

"ටිකක් කට වහගෙන ඉන්න අම්මෙ පිස්සු හැදිලා ඉන්න මාව තවත් පිස්සු වට්ටන් නැතුව."

ස‍රණතිස්සගේ වුවද මත‍ය වූයේ රූප‍යට රැවටී දරු සම්පත් අහිමි පියුමිව කරේ එල්ල ගත්තා වැන්නකි.

"අම්මලා වුනත් ඇත්තනෙ කියන්නෙ. මට දැන් 35ක් තවත් වයසට ගිහින් දරුවෙක් ලැබුනත් ඒ ලමයා ලොකු වෙත්දි මන් හැරමිටියෙන් යයි."

පියුමිට තිබූ එකම සැනසීම වූ බේබද්දෙකු නොවූ සැමියා හොදම බේබද්දෙකු බවට පත් වූයේත් ගෙදර නිතර ඇවිලුන අඩදබර මධ්‍ය‍යේය.

උසස් පෙළ කඩ ඉම ගෙවා ගැනීමට නොහැකි වුවද ඒ දක්වා අධ්‍යාපන‍ය හදාරා සිටි පියුමිට නවීන වෛද්‍ය ක්‍රම පිලිබදව දැනුමක් තිබුනේ වාසනාවටදැයි අවාසනාවටදැයි ඇයවත් නොදැන සිටියා විය යුතුය.

"දැන් ළමයි නෑ කියලා බය වෙන්න දෙයක් නෑ. ඒවටත් බෙහෙත් තියෙනවා. අනේ මාත් එක්ක කොළඹ යන්. කාසල් එකේලු ඒ ක්ලිනික් එක තියෙන්නෙ."

"තමුසෙට ඕන්නම් යනවා මොකද මට ලෙඩක් අඩුපාඩුවක් තියෙනවායෑ බෙහෙත් ගන්න."

තම සැමියා පවා උනන්දු නොවූවද පියුමි ප්‍රතිකාර සදහා කාසල් වීදියේ කාන්තා රෝහල් සායනයට තනිව හෝ යාමට ගන්නේ දරදඩු තීරණයකි. දරුවෙකු නැතයි ඇයට අවලාද නගන නැන්දම්මාවත් අතැගිලි බැදගත් සැමියා වත් ඇයගේ තනියටහෝ ඇය සමග පමිණියේ නැත.

දෙතුන්වර සායන වලටද වෛද්‍ය පරික්ශණ වලටද සහභාගි වූ ඇයට එවායේ ප්‍රථිපල වලින් දන ගැනීමට ලැබුනේ ඇයට දරුවෙකු ලැබීම සදහා කිසිදු අඩු පාඩුවක් නොමැති බවය.

"තිස්ස, අනේ ඊලග පාර ක්ලිනික් එකට මාත් එක්ක යන් ඩොක්ටර් කිවුවා එන පාර හස්බන්ඩ්ව අනිවාර්‍යෙන්ම එක්කන් එන්න කියලා."

"හස්බන්ඩ් කෙනෙක් නෑ කියනව ඉතිං."

"දැන් මේ රෑත් වෙලා කොහෙද යන්නෙ?"

"මගුලෙ... තමුසෙට අනවශ්‍ය දේවල් හොයන්නැතිව ඉන්නවා..." ස‍රණතිස්ස සුපුරුදු ලෙසෙ එදිනද රාත්‍රියේ නිවසින් පිට වූයේ මත්පැනින් සප්පායම් වීමට බව පියුමි නොදැන සිටියා නොවේ. නමුත් වෙනදාට වඩා ඔහු වෙනදාට වඩා ප්‍රමාද වන විට ඇය තම පැරණි පන්නයෙ දුරකතනය අතට ගත්තෙ ඔහුට ඇමතුමක් ගෙන බැලීමටය.

"හලෝ....හලෝ.... තිස්ස...."

"හලෝ කවුද මේ?..."

"හලෝ....තිස්ස...."

"තිස්ස..හි..මම තිස්ස නම් නෙමේ හැබැයි මේ පැත්තෙන් දැන් මුවෙක් නම් දිවුවා...තිස්සත් පස්සෙන් දිවුවද දන්නෑ...හි...හි..."

"සොරි...රෝන් නම්බර් එකක්.." ඇමතුම විසන්දි විය. ඇයට එක් අංකයක් වැරදිනි. එක් අංකයක් වැරදීම ඇයට ජීවිතයම වරදාවි යැයි ඇය සිහිනෙන් වත් නොසිතුවාට සැක නැත.

පසු දිනද එම අංකයෙන් ඇයට ඇමතුමක් පැමිණි අතර ඇයට නිදහසේ ඇමතුමට සම්බන්ද වීමට හැකි වූයේ සුපුරුදු ලෙස සරණතිස්ස දිනපතා නිවසට එන විට අළුයම වන නිසාය.

හුරතල් කතාවෙන් ඇයට ලංවන කසුන් ඇයට සත්‍යම පවසන අතර ඇයද ඔහුට ඇගේ ජීවිත කතාවම පවසන්නෙ ඔහුගේ ආදර වදන් හමුවේ අසරණ වූ මුවැත්තියක ලෙසිනි.

කසුන්ද විවාහා වී දියණියකද සිටින පියෙකි. රාත්‍රි වැඩ මුරය අතර පැමිණි ඇමතුමෙන් හදුනාගත් පියුමි පිලිබද අනුකම්පාව මුසු ආදරයක් ඔහුගේ සිතේද දළුලමින් තිබුනේ ඔහුටද රහසේය.

"මේ 26 මගෙ ඕෆ් එක එදාට ඔයා ක්ලිනික් කියලා එන්න. මට ඔයාව දකින්න ආසයි."

"මටත් දකින්න නම් ආසයි...ඒත් මට බයයි කසුන්.."

දිනක එසේ ඇරඹි කතා බහේ ප්‍රතිපලයක් ලෙස නොදැක සිටි පෙම්වත් යුවල හමුවී තනිවන්නෙ ඔහුන්ගෙම ලොවකය. නමුත් ගැටලුව ඒ ලොව ඉදිවන්නේ අසම්මත ලෙස හෝටල් කාමරයක් තුල වීමය.

ඒ හමුව සිදුවී තවත් මාස හතරකට පසු අද දිනද ඇය සායනයේ නාමයෙන් කොළඹ එන්නේ කසුන් සමග පෙම් සුව විදීමටය. නමුත් ඇයගේ සිතේ තෙරපෙන දේ දන්නේ ඇයම පමණි.

"කිරිබත්ගොඩ..කඩවත..කිරිල්ලවල..බැලුම්මහර..මිරිස්වත්ත..ගම්පහ..ගම්පහ..ගම්පහ...."

කොන්දොස්තරගේ හඩින් අතීතයෙන් මිදුන පියුමි වටපිට බැලුවේ තාමත් තමන්ට නුහුරු නගරයේ තමා සිටින්නේ කවර ස්ථානයේ දැයි දන ගැනීමට මෙනි. තාමත් බසය පසු කරන්නෙ ආමර් වීදිය‍ය.

"මිරිස්වත්ත එකක්"

ටිකට් පතක් ගෙන ඇය නැවතත් කවුළුවෙන් පිටතට දෙනෙත් යොමාගෙන ජීවන ගමනේ තමා පසු කර වේගයෙන් ආපස්සට ඇදීයන නගරයන් දැස බලා සිටියේ හැගුම් විරහිතවය.

"අප්පේ අද නෙමේ ඔයානෙ පරක්කු." මිරිස්වත්ත නැවතුම්පලින් බැසගත් සැනින් කසුන්ව හමුවීම පියුමිට නම් සැනසීමක් ගෙන දුන්නාට සැක නැත.

කාලය ගෙවී යයි සැමට හොරෙන් කාටත් වරදක් නොකල අහිංසක නමුත් අසම්මත පෙම්වතුන් යුවලක් මිරිස්වත්ත නැවතුම් පලක කුඩා කාමරයක් තුල පෙම්සුව විදිමින් සිටී.

පෙම් සුව පමණක් නොව කම් සුවද විදිමින් සිටි දෙදෙනාටම පැය දෙකක කාලය ගෙවීයනු නොදැනීම අරුමයක් නොවේ. දෙදෙනාම නාගෙන පිටත්වීමට සූදානම්වන මොහොතේ පියුමි දින දෙකක්ම තමා මේ පිටස්තර පුද්ගලයෙකුත් සමග යහන් ගත වූ ඒ යහනේම හිද ගත්තේ දිගු කතාවාට මුල පිරීමට බව කසුන්ට තේරුණේ ඉවෙන් මෙනි.

"ඇයි බබා.." කසුන් අසන්නේ පියුමිගේ ඔලුව අතගාන ගමන්ය. ඇගේ දෙනතේ තෙරපෙන කදුලු බිද ඔහු දකින්නෙ ඒ මොහොතේය.

"කසුන්...මට සමාවෙන්න මන් ආයෙ ඔයාව හම්බවෙන්න එන්නෑ.. මට ආයෙ කෝල් කරන්නත් එපා.. මන් ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ. ඇත්තටම...ඇත්තටම කියනව නම් මන් ඔයාට ණ‍ය ගැතීයි..." පියුමිගෙන් පිට වන්නෙ වදන් වලට වඩා ඉකිබිදුමකි.

"මොකක්ද පියුමි ඔයාට වෙලා තියෙන්නෙ. කියන දෙයක් තේරෙන්න කියන්න ළමයො..."

"මට සමාවෙන්න කසුන් ඔයා මට දෙවිකෙනෙක්. තිස්ස මට මොනවා දුන්නත් එයාට මට දරු පැටියෙක් දෙන්න බැරි වුනා. ඒ මදිවට ඒ මගේ අඩුවක් කිය කිය හැමෝම මට වද දුන්නා. මන් මේ ආරංචිය මුලින්ම කියන්නෙ ඔයාට....... මම...මම....අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. දැන් මාස හතරයි."

"මොකක්...!!!"

"ඔව්..කසුන් ඔයා බය වෙන්න එපා. මන් දන්නවා ඔයාටත් දරු පවුලක් ඉන්නවා. ඒ වගේම මේ මගෙ බඩේ ඉන්න දරුවත් ඔයාගෙ. ඒත් මේ දරුවාවත් මන්වත් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෑ. අපි දෙන්නම සදහටම ඔයාගෙ ජීවිතෙන් යනවා.... ආයෙ මාව හම්බවෙන්න හදන්න එපා.... ආයෙත් කියන්නෙ මන් ඔයාට ජාති ජාතිත් ණයගැතියි.... ඔයා මට දෙවි කෙනෙක් කසුන්....."

"මට මොනවා කියන්නද තේරෙන්නෑ පියුමි, ඒත් මන් නිසා ඔයාගෙ ජීවිතේට යහපතක් උනානම් මට ඒ ඇති. මාත් ඔයාට ආයෙ කරදර කරන්නෑ. ඒත්.....මගේ දරුවව හොදට බලා ගන්න... තාත්තාගෙ නම මට දෙන්න බැරි උනත් එයාගෙ ඇගේ දුවන්නෙත් මගේ ලේ..... එයාව හොදට බලා ගන්න. ඔයා සංතෝසෙන් ඉන්නවානම් මට ඒ ඇති...."

ගෙවී ගිය තවත් හෝරා කිහිපයකට පසු කසුන්ගෙන් සමු ගනිමින් ඔහුගෙ ලෙයින් සෑදුනු දරු ගැබත් දරා පියුමි ගාල්ල බලා දිවෙන දුම්‍‍රියට ගොඩ වූයේ කසුන්ගේ මතකයන් සියල්ල කොටුව දුම්රිය ස්ථානයේ අතරමං කර දමමිනි.

© ප්‍රියා.


ප. ලි. ~~
මුලින්ම කියන්න ඕන මෙය 'කෙටි කතා' ලේබලෙන් දැම්මට මේ නිර්මාණයට පාදක වුනේ සත්‍ය සිදුවීමක්.
මන් කලින් වැඩ කලේ 'තත්ව සහතික' දෙන ආයතනයක 'ක්ෂේත්‍ර නිළධාරියෙක්' විදියට. ඉතිං ඒ ඉත්දි අපිට විවිධ ආයතන වල පරීක්ශා කිරීම් වලට යන්න වෙනවා. මන් වැඩි පුරම කලෙත් රාත්‍රී සේවා මුරය. එහෙම මන් වැඩිම කලක් පරීක්ශා කිරීම් කල ආයතනයක සේවය කල, එයින්ම හදුනා ගත් මගේ මිත්‍රයෙකුට උන සිදුවීමක් තමා මේ. (ඔය පලමු මිස් කෝල් එක එන වෙලාවෙත් අපි එකට රාත්‍රී සේවයෙ.)

මේ වගේ සමාජයට යමක් ගත හැකි අත්දැකීම්, කතා කිහිපයක්ම තියෙනවා. 'කියවන එක් අයෙකුට හෝ ප්‍රොයෝජනයක් ගත හැකි' යැයි හිතන කතා පමණක් අවස්ථාව ලැබෙන හැටියට ඉදිරිපත් කරන්නම්.

මේ සිදුවීමට දැනට අවුරුදු තුනක් විතර ඇති. ඒ දරුවටත් දැන් අවුරුදු දෙකක්වත් ඇති. එහෙම තියෙත්දි මන් මේ කතාව දැම්මෙ මේකෙ සෑහෙන්න ගත යුත්තක් තියෙන නිසයි. මෙතනදි පෞද්ගලිකව මට කාටවත් ඇගිල්ල දික් කරලා වැරදියි කියන්න බෑ. මන් දකින විදියට වැරද්ද "සමාජ ක්‍රමයෙයි, හණ මිටි අදහස් වලයි'.

මේ මං ඇස් පනා පිට දැකපු එක සිදුවීමක් පමණයි. මේ සමාජයේ තවත් පියුමිලා, සරණතිස්සලා, කසුන්ලා කොතෙක් ඇත්ද??. පියුමිගෙ දරුවො වැනි දරුවන් තව කොතෙක් ඇත්ද??
"වරද කොතැනද ???........"

(නම්, ගම්, ප්‍රදේශ සියල්ලම වෙනස් කරන ලද සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලදි. ඉදිරිපත් කිරීමේ පහසුව උදෙසා සිදුවීමේ යම් යම් ස්ථාන වෙනස් කරන ලදි.)

© ප්‍රියා.

03 November, 2013

රැක ගත යුත්තේ දියණිය පමණද?.

අතීතයේ ශ්‍රි ලංකාව තුල මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි බවට කථාවක් සමාන්‍ය සමාජයේ මුල් බැසගෙන ඇත.

මෙය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නොදනිමි. නමුත් 'මෙය 100%ක් සත්‍යක් නම්' එකල සිට ඇත්තේ නියම මහත්මා ගුණයන්ගෙන් හෙබි සාර්ථකව හැගීම් පාලනය කර ගත හැකි නියම පි‍රිමින් කොටසක් හෙවත් 'රියල් පොරවල්' ටිකකි.

නමුත් වර්ථමානයේ නම් ස්ත්‍රී රත්නයකට එහාකොණ මෙහාකොණ තබා නිවසේ සිට කඩයකට වත් යාමට නොහැකි බවනම් පිලිගත යුතුමය. දිනෙන් දින වාර්ථා වන්නෙ විවිධාකාරයේ දූෂණයන්ය. මාස ගණනක දරුවන්ගේ සිට අවුරුදු 90 ගනනේ වයසක කාන්තාවන් දක්වා විවිධ වයස් පරාසයන්ගේ කාන්තාවන් දූෂණයට ලක් වීම දිනෙන් දිනම ඉහල යයි.

මේ සඛ්‍යා ලේඛන අනුව දූෂණයට ලක්වන්නේ කාන්තාවන් පමණද යන්න ගැටලුවක් මතුවේ. සමජයේ කථා බහට ලක් නොවූවාට පිරිමි දරුවන් අතවරයට ලක්වීම් නැතුවා නොවේ. වාර්තාවන බරපතල ලිංගික අපයෝජන වලින් 75% කම අපයෝජනයට ලක්ව ඇත්තේ පිරිමි දරුවන්ය. නමුත් අප සමාජය වැඩි අවධානයක් යොමු ක‍රන්නේ ගැහැණු දරුවන් කෙරේ පමණි. (එය වරදක් නොවේ. මටත් ඇත්තේ දියණියක් බැවින් මා ඇයගේ අරක්ෂාව පිලිබද වැඩි සැලකිල්ලක් දක්වමි.)

නමුත් පෞද්ගලිකව මා ආශ්‍රය කරන පිරිමි දරුවන් සිටින පවුල් වල ඒ ඒ දරුවන්ගේ ආරක්ශාව පිලිබද ඇති අඩු සැලකිල්ල ගැන නම් මට ඇත්තේ විශාල කලකිරීමකි. ඇතමුන් සිතා සිටින්නේ තමාට ඇත්තේ පුතෙකු නිසා දරුවා ලිංගික අපයෝජනවලින් ආරක්ශා කිරීමේ වගකීමෙන් තමන් නිදහස් බවය.

නමුත් වර්ථමානයේ ගැහැණු දරුවන්ටත් වඩා අතවරයටලක් වන්නේ පි‍රිමි දරුවන්‍‍ය. එසේම එයිනුත්‍ යම් තාක් දුරට හෝ අවධානයට ලක්වන්නේ වැඩිහිටි පිරිමින් අතින් අතවරයට ලක්වන පිරිමි දරුවන් පිලිබදවය. අවධානයට හා කතාබහට ලක් නොවූවාට පිරිමි දරුවන්ට වන අතවරවල තවත් පැතිකඩක් ඇතිබව එනම් කාන්තාවන් අතින් පිරිමි දරුවන් අතවරයට ලක් වීමේ තත්වයක්ද අප රට තුල ඇති බව පසුගිය කාල වකවානුවේ ඇතිවූ සිද්ධීන් කිහිපයකින් පසු රටටම හෙලි විය.

කැළණිය ප්‍රදේශයේ මාස අටක් පමණ වයසැති දරුවෙකුගේ රහස් අවයව තුවාලවීමක් පිලිබද සොයා බැලීමකදී හෙළිදරවු වූයේ නිවසේ මෙහෙකාරිය අතින් ඒ දරුවා ලිංගික අතවරයකට ලක්ව ඇති බවය.

බියගම ප්‍රදේශයේ බෝඩිමක සිටි තරුණියන් පිරිසක් අසල නිවසක පදිංචි අවුරුදු 10ක පමණ පිරිමි දරුවකුට සාමුහික ලිංගික අතවර‍යක් කර ඇති බවටද වාර්ථා විය.

එසේම ඉතාම මෑතකදී 'මහවිලච්චිය' පොලීසියට වාර්ථාවූ සිද්ධිය වූයේ සැමියා හමුදාවේ සේවය කරන 23 හැවිරිදි කාන්තාවක අතින් ඇයගේ තනි නොතනියට පැමිණි අසල්වාසී නිවසක අවුරුදු 14ක පිරිමි දරුවකු වසරකට වැඩි කාලයක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වූ බවය.

මේ ඉස්මතු වූ සිද්ධීන් තුනක් පමණි. නමුත් හෙළිදරවු නොවන සිද්ධීන් අනන්තවත් අප සමාජයේ සැගවී තිබිය හැක. විවිධ හේතූන් නිසා මෙවන් සිද්ධීන් පිටතට එනවා අඩුය. 'සිද්ධි වා‍ර්ථා වීමඩු වීම අදාල සිද්ධි නොවනවා' යන්න නොවේ.

මෙලස පිරිමි දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන විශාල සමාජ අර්බුද රාශියකට මගපාදන්නකි. එයට හොදම නිදර්ශනය ඉහත දැක්වූ තෙවන සිදුවීම‍ය. එම දරුවා අදාල ලිංගික ක්‍රියා කාරකමට ඇබ්බැහි වී සිටියාට සැක නැත. කිමද ඇය වසරකටත් අධික කාලයක් ඔහුව අපයෝජනයට ලක් කලේ බලෙන් විය නොහැක. එසේ නොවූවානම් එතරම් කාලයක් ඇයට අදාල ක්‍රියාව කරගෙන යා නොහැකි වනු ඇත. එය ඉතා භයානක තත්වයකි. කුඩා කාලයේ පටන් ලිංගිකත්වයට වහල් වී ඇති දැඩි වන මේ දරුවන් ඉදිරියේදී සමාජයට ඉන් පසු බිහිවන අනාගත පරපුරටත් විශාල ලෙස බලපෑම් කරයි.

එයද එම සිදුවීමෙන්ම ඔප්පු කල හැක. එනම් අදාල සිදුවීම හෙළිදරවු වන්නේ අදාල 14හැවිරිදි දරුවා තවත් බාල පිරිමි දරුවකුට යම් ලිංගික ක්‍රියාවක් කිරීමට යාමේදි ඔහුගේ මවට හසුවීමෙනි.

කාන්තාවක තමන්ට හුරු කල ක්‍රියාකාරකම් ඔහු තමාට බාල තවත් අයෙකුට කිරීමටය උත්සහා දැරුවෙ. නොදැන කලද 14 හැවිරිදි දරුවාද කර ඇත්තේ ලිංගික අපයෝජනයකි. මොහුන් දෙදෙනා අදාල මවට හසු නොවුවා නම් අනෙක් කුඩා පිරිමි දරුවාද එම ක්‍රියාවට ඇබ්බැහි වී ඔහු තවත් දරුවෙකුට අදාල ක්‍රියාව පුරුදු නොකරනු ඇතයි සහතික විය හැක්කේ කා හටද??

මෙසේ ලිංගික අපයෝජනයට ලක්වී තම සිතට බලෙන් එන්නත් කල ලිංගික ආශාවනුත් සිත දරා ගත් දරුවන් කොතෙක් නම් සමාජයේ තව සිටිනු ඇත්ද?. අනාගතයේ ඔහුන් අතිනුත් ලිංගික අපයෝජනයන් සහ විවිධ දුරාචාරයන් නොවේ යයි සහතික විය හැක්කේ කාහටද??

ලිංගිකත්වය පිලිබද පාසල තුල හා නිවස තුල මීට වඩා විවෘතව කතාබහට ලක්විය යුතුය. එසේම පාලකයන්ද දැනට වඩා දුර දිග බලා සැලසුමක් සහිතව තීරණ ගත යුතුය.

රජය මෑතකදී සියලුම ලිංගික වෙබ් අඩවි වලට පිවිසීම තහනම් කලේය. අප ඉන් පසු "දැන් අපේ රට මාර හොදයි. දැන් අපේ උන්ට නිල් චිත්‍රපට බලන්න බෑ." කියා සිතා සිටි මුත් මාස කිහිපයකට ගූගල් දෙවියන්ගෙන් 'SEX' යන වදන ඉල්ලා ලෝකයෙන්ම රන් පදක්කම අපේ රට පැලද ගත්හ. එයිනුත් හොදම කොටස වන්නේ 'Sex' වැඩිපුරම සොයා ඇත්තේ පාසල් නිවාඩු කාල සීමවන් තුල වීමය.

කල යුත්තේ තහනම් කිරීම නොව දැනුවත් කිරීම තුලින් මුදා ගැනීමය. එයට දීර්ඝ කාලීන විධිමත් වැඩ පිලිවෙලක් සකස් කල යුතුය. කිමද අප රට තුල කුඩු, ගංජා, කසිප්පු පමණක් නොව ගණිකා වෘත්තිය පවා තහනම්ය. නමුත් වැරදීමකින් හෝ පදුරකට පයින් ගැසුවද අදාල පහසුකම් සියල්ල සපයා ගැනීම අපහසු නොවේ.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මෙයයි. 'දෙමාපියනි තමාට සිටින්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද යන්න අදාල නොවේ. තම දෑස වන් දරුවන්ගේ ආරක්ශාව තහවුරු කරන්න. එසේම තම දරුවන්ගේ සේම අන් දරුවන්ගේද අනාගතය සුරක්ශිත කිරීමට කැප වෙන්න.'

"දරුවන් මල් වගෙයි. ඒ මල් කලට වේලාවට පිපෙන තුරු පොහොට්ටු ලෙසම ඉන්නට හරින්න. බලෙන් පිපෙන්නට සලස්වා ඒ මලේ පෙති පොඩි නොකරන්න."

© ප්‍රියා.

27 October, 2013

සමාවෙන්න අම්මේ.....

"නෑ බං මම නම් කියන්නෙම ඔහොම උන්ට කවදා හරි සහ ගහනවා. කාට උනත් ඒක පොදුයි. යකෝ තමන්ගෙ අම්මා තාත්තාට සලකගන්න බැරි දරුවො දරුවොද බං" රුවන්ගේ උද්වේගකාරී හඩින් ආපනශාලාවෙ අසල සිටි දෙතුන් දෙනකුම එදෙස බලා නැවතත් හැරුනෙ සිනා මුසු මුහුණෙනි

"ඒත් රුවා බලපන් තමන්ට බලාගන්න අමාරුයි නම් ඉතිං වැඩිහිටි නිවාසයකට හරි දාන්න වෙනවනෙ බං. මහපාරට දානවට වඩා ඒක හරි වටිනවනෙ. උඹට ඕවා තෙරෙන්නෑ උඹ බැඳලා ළමයි හම්බවෙන කාලෙදි උඹේ අම්මා තාත්තා දෙන්නම නැති වෙලා ඒ වගේද බං අපිට?" ශාන්ත පවසන්නෙ හඩ බාල කරමිනි.

කෑම පැයෙදී ඇතිවෙන මෙවන් කතා බහට ජගත්ද සක්‍රීයව දායක වන නමු‍ත් අද දින ඔහුගේ නිහඩ බව මිතුරන්ට ගැටළුවක් නොවූයේ ඔහු දින දෙක තුනක පටන් වැඩි කතාවක් බහක් නොමැති නිසාවෙනි.


"මේ ඒක නෙමේ අපෙ ලොක්කන්ටත් පිස්සු මචං අර මග යන්න පණ නැති වයසක මනුස්සයෙක්ව ක්ලීනින් වලට අරන් තියෙන්නෙ."

"අන්න බලපං මන් කිවුවෙ බොරුද දැන් ඒ ගෑණු මනුස්සයාගෙ දරුවො ඒ මනුස්සයව පාරට දාපු නිසානෙ ඒ මනුස්සයට යන එන මන් නැති වෙලා තියෙන්නෙ. මඩමකටවත් දාලා තිබ්බා නම් ඔහොම වෙන්නෑනෙ" ශාන්ත තවමත් සිටින්නෙ තමා කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාව සාදාරණීකරනය කරමිනි.

'දඩාස්' හඩ නන්වමින් භාගයක් ඉතිරිව තිබූ කෑම එකත් ගෙන නැගී සිටි ජගත් ආපන ශාලාවෙන් පිටව ගියේ වේගයෙනි.

"මොකෙක්ද බං ඌට වැහුන යකා"

"අනේ මංදා රුවා ඕකා දවස් දෙක තුනක ඉදන් ඔහොම්මයි."

................................................

"මේ මගේ මේසේ යට පොඩ්ඩක් මොප් කරලා දෙන්න කුසුමා. මගෙ අතින් තේ ටිකක් හැලුනා. ඉන්න හම්බවෙන්නෑ දැන් ඇඹලයො වහයි." කාන්ති වයසක පිරිසිදු කිරීමේ සේවිකාවට පවසමින්ම නැගී සිටියහ.


"කුසුමාට ළමයි එහෙම නැත්ද?" එහා මේසයේ සිටින ශාන්තගෙන් පැනයකි. "අනේ මගෙන් ඒ ගැන අහන්න එපා රත්තරන් මහත්තයෝ."

"ඇයි ඒ දරුවෝ සලකන්නැත්ද?"

"අනේ එහෙම නෑ මහත්තයෝ ඒ දරුවන්ටත් ඒ දරුවන්ගෙ පවුල් තියෙනවා නොවැ."

"අනුන්ගෙ මගුල් හොයන්නැතුව වැඩක් කර ගනිල්ලා බං" හිදගෙන සිටි පුටුව පසෙකට ඇද දමමින් නැගී සිටි ජගත් කාර්‍යාලයෙන් පිටතට ගියේ කේන්තිය සිතේ දරා ගනිමිනි.

.............................................................

"කොහෙද සමන් මේ ගාල කඩා ගෙන වගේ දුවන්නෙ?"
"හරි වැඩේනෙ ශාන්ත මහත්තයා අර කුසුමා බාත්රූම් එක හෝදන්න ගිහින් ලෙස්සිලා වැටිලානෙ. GM මහත්තයාගෙ වාහනේට දාලා ඉස්පි‍රිතාලෙට යැවුවා රුවන් මහත්තයත් එක්ක."

"එහෙමද? අපේ ජගත්ව දැක්කෙ නැත්ද?"

"හ්ම්ම්.. කුසුමාව ගෙනිච්ච වෙලාවෙ ඔෆිස් එකේ දැක්කා.. ඊට පස්සෙ නම් නෑ"

............................................................

කාර්‍යාලය තුලට පිවිසෙන ශාන්තට දක්නට ලැබෙන්නෙ තම මේසයට වී ඔළුව තබාගෙන සිටින ජගත්‍‍ය.

"මොකෝ මචං අසනීපයක්ද?." "නෑ බං ඔළුව ටිකක් කකියනවා කැරකිල්ල වගේ."
"පැන්ඩෝල් දෙකක් ගහනවද? ගෙනත් දෙන්නද්ද?"

ට්‍රීං...ට්‍රීං... ට්‍රීං...ට්‍රීං...

නාද වෙන කාර්‍යාල දුරකථනයට පිළිතුරු ලැබෙන්නේද ශාන්තගෙනි.

"හෙලෝ....ආ...ඇත්තද මචන් හරි හරි මං කියන්නම්...... ඕකේ උඹ ඔය වැඩ ටික කරලා දාලම වරෙන්.....ඕකේ රුවා ඕකේ."

"හරි වැඩේනෙ ජගා.... අර කුසුමා වැටිලා රුවන් ඉස්පිරිතාලෙ ගෙනිහින්නෙ. ඒ මනුස්සයා දැන් නැති වෙලා. GM ස‍ර්ට කියන්නලු. උඹ ඔහොම්ම හිටපන් මම සර්ට පණිවිඩේ දීලා එන්නම්"

"මො...මො...මොකක්ද උඹ කිවුවෙ".
"අර කුසුමා නැති වෙලා බං.......ඒ උඹට මොන යකෙක් වැහුනද?....ජගත්....ජගත් නැගිටපන් බං...මොකද මේ.. ඇයි මේ නැගිටපන් මනුස්සයෝ.....අර කාන්තිලත් මේ පැත්තට එනවා........ඇයි බං මේ....??"

ජගත් කතා කි‍රීමට උත්සහා ගත්තද ඔහුගේ වදන් පිට වන්නේ කඩින් කඩය "ඒ....ඒ....කුසුමා...කුසුමා වෙන කවුරුත් නෙමේ.....වෙන කවුරුත් නෙමේ.... මගේ.... මගෙ.... අම්මා... මගෙ අම්මා."

"මොකක්!!"

ඉගිල ගිය විනාඩි දෙක තුනකින් පසු ඔහුන් දෙදෙනාම යම් දුරකට සංසුන් වී සිටි අතර දෙදෙනාම එකවර මුහුණට මුහුණ බලා ගත්තේ මීට දින දෙක තුනකට පෙර තමන් දෙදෙනා ඇසූ යම් කතාවක් දෙදෙනාටම එක්වර මතක් වීමෙනි.


"මම නම් කි‍යන්නෙම ඔහොම උන්ට සහ ගහනවා."



© ප්‍රියා *
ප්

20 October, 2013

වැදගත් වංචාකරු.......


මෙම සටහන තැබීමට පෙර පැවසිය යුතු දෙයක් ඇත. එනම් මේ සටහන තබන්නේ පෞද්ගලිකව අප නිවැසියන් මුහුණ දුන් අත්දැකීමක් නිසාවත් අපට අහිමි වූ මුදල (එයද අද කාලයෙ හැටියට ඉතාමත් සොච්චම් මුදලකි) නිසාවත් නොව මා අදහන දෙයකි 'වරදනම් කවුරු කලත් වරද වරදමයි' යන්න. එසේම වංචාවකට ලොකු පොඩි කියා භේදයක් නැත. එබැවින් මා මේ සටහන තබන්නෙ මෙවැනි වංචාකරුවෙක්ගෙන් සමාජයේ තව එක් පුද්ගලයෙකු හෝ ගලවා ගැනීමට සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.

කථාව නම් මෙසේය. මීට මසකට පමණ පෙර දිනක දහවල් 11ට පමණ යතුරු පැදියක් තල්ලු කර ගෙන අප නිවසට පැමිණ ඇත්තේ හොදින් හැද පැලද ටයි පටයක්ද දමාගත් වැදගත් පෙනුමැති අයෙකි. මොහු අපගේ මවට පවසා ඇත්තේ "තමා කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි කිරිබත්ගොඩ රැකියාව කරන අයෙකු බවත් තම මාස ගණනක් වයසැති දරුවා නෝනා වාට්ටුවෙ (රිජ්වේ ආර්‍යා ළමා රෝහල) ප්‍රථිකාර ලබන බවත් කෙටි නිවාඩුවක් දමා දරුවා බැලීමට යන අතර තුර පෙට්‍රල් ඉවරවීම නිසා පෙට්‍රල් ගැසීමට බලන විට තම පසුම්බිය රැකියා ස්ථානයේ දමා ආ බව දැන ගත් බවත් තමා ප්‍රමාද වුවහොත් තමාට දරුවා බැලීමට නොහැකි වී දරුවා ලග සිටින තම බිරිදටද කුස ගින්නේ සිටීමට සිදුවන බැවින් පෙට්‍රල් ගසා ගැනීමටත් කෑම පාර්සලයක් ගැනීමටත් රු.500ක මුදලක් ඉල්ලා ඇති අතර එය පසු දින උදෑසනම නැවත ලබා දෙන බවට දස අතේ දිවුරා ඇත." ඒ මුළු කථාවම ඔහු කර ඇත්තේ හැඩූ කදුළෙනි. කුඩා දරුවෙකු ගැන පැවසූ නිසාත් අප නිවසේද කුඩා දරුවෙකු (මගේ පුංචි සුරංගනාවි) සිටින නිසාත් වැදගත් පෙනුමැති පිරිමියකු මෙසේ හඩා වැළපෙන නිසාත් මව රු.500 ඉක්මනින් ලබා දී ඇත.

රාත්‍රියේ අප සමග සිද්දිය පැවසූ මව ඔහු පිලිබදව දුක් වූ අතර අප කථා වූයේ ඔහු මුදල් ගෙන ආවත් එය භාර නොගැනීමටය. නමුත් ඔහු ඉන්පසු පැමිණියේ නැත. කෙසේ වෙතත් ඒ මුදල අප මව පිං තකා දුන් මුදලක් සේ සලකා සිටි නිසා අපටද එය අමතකම විය.

ටික දිනකින් දැන ගන්නට ලැබුනේ අප නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි අපගේම ඥාති නිවසකටද පෙර දැක්වූ 'මහත්මයා' එදිනම 11.30ට පමණ ගොස් ඇත. ඒ නිවැසියන්‍ට ඔහු පවසා ඇත්තේ "තමා කිරිල්ලවල බවත් රැකියාව කරන්නේ පෑලියගොඩ බවත් කිරිබත්ගොඩ පෙර පාසලක ඉගෙනුම ලබන තම දරුවා ගෙන නිවසේ අසනීපයෙන් සිටින තම බිරියට කෑම එකකුත් රැගෙන යා යුතු නමුත් තම පසුම්බිය රැකියා ස්ථානයේ දමා ආ බවත් යතුරු පැදියේ පැට්‍රල්ද ඉවර වී ඇති බැවින් රු.500ක් ඉල්ලා ඇත්තේ නැවතත් එදින සවසම ගෙනවිත් දෙන පොරොන්දුව පිටය". නමුත් ඒ නිවසටද ඔහු පැමිණ නැත.

මෙය දැන ගැනීමෙන් අප ඔහුගේ වංචාව දැනගත් අතර මෙයින් අප මව විශාල ලෙස කළකිරිනි. ඒ අදාල මුදල පිලිබදව නම් නොවේ කිමද යත් අදාල මුදල ඉතා කුඩා මුදලක් නිසාත් නැවත දුන්නද එය භාර නොගැනීමට සිතා සිටි නිසාත් මුදල පිලිබද ඇයට කිසිදු ගැටළුවක් නැත. ඇත්තේ වංචාකරුවෙකුට රැවටීම නිසා ඇතිවූ කළකිරීමය.

මා හට ඇති ගැටළුව මොහු වැන්නන් තව කොතෙක් නම් සමාජයේ ඇත්ද? අපෙන් වංචා කලේ රු.500ක මුදලක් වුවාට ඊට වඩා විශාල මුදල් වංචාවන් ඔහු වැන්නන් නොකරයිද? වැදගත් පෙනුමෙන් තව දුරටත් මිනිසුන් මැනිය නොහැකිද?

මොහු මේ වංචාව කලේ ඇතම් විට යහළුවන් සමග 'සෙට් වීමට' විය හැක. නැත්නම් තම පෙම්වතිය සමග පොඩි රවුමක් ගැසීමට විය හැක. නමුත් මොහුන්ට රැවටෙන්නන් මුදල් ලබා දෙන්නෙ බොහෝවිට තමන්ට අත්‍යාවශ්‍ය කටයුත්තකට තබාගෙන සිටි මුදලක් විය හැක.

අනෙක් ගැටළුව වන්නෙ මෙසේ රැවටෙන පුද්ගලයින් නැවතත් සැබැවින්ම අසරණ වූ පුද්ගලයෙකු උපකාරයක් ඉල්ලා පැමිණි විට අහක බලා ගැනීමය. බොහෝ විට අප මවගෙන් වුවද එවන් තත්වයක් ඇති විය හැක.

අනෙක් අතට මොහු තම පිරිමි කඳුළින් සෝදා හැර ඇත්තේ තම දරු පෙමයි. පිරිමියකු ලෙසත් දරුවෙකුගේ පියකු හැටියටත් මට ඇති ගැටළුවක් වන්නේ පිරිමියකුට මෙසේ බොරුවට හඩා වැලපිය හැකිද යන්නත් තම වංචාවන් වෙනුවෙන් තම දරුවන් භාවිතා කල හැකිද ‍යන්න‍ත්‍‍ය (මොහු පියකු නොවීමටද හැක.)

එසේම එදින මොහු මේ වංචාව කලේ අප නිවාස දෙකට පමණක් විය නොහැක. රු500 බැගින් නිවාස පහකින් වංචා කලත් රු.2500කි. ඇතම් විට මෙය මොහුගේ ස්ථී‍ර රැකියාවම විය හැක.

මෙවන් වංචා කරුවන් ඔබ අවටද සැරිසැරිය හැක ඔහුන් ඔබටද දැල එළිය හැක. මෙවන් වංචා කරුවන්ට හසුනොවන්න. ප්‍රවේසම් වන්න.

"වරද නම් කවුරු කලත් වරද ව‍රදම‍ය."
එසේම
"ලොකු වුවත් පොඩි වුවත් වංචාව වංචාවම‍‍ය."

අවශන් වශ‍යෙන් මාගේ බාල සහෝද‍ර‍යා මතක‍යේ රදවාගෙන තිබූ මේ 'වැදගත් වංචාකාර මහත්ම‍යා' ගේ යතුරු පැදි අංක‍ය මෙසේ සටහන් කර තබමි.

{ XJ - 9540 }


© ප්‍රි‍යා *

18 October, 2013

ඇදහීම සහ බලෙන් ඇදහවීම.



මෙවන් ලිපියක් ලිපියක් ලිවීමට බොහෝ කලක සිට සිතා කාලය හරස් වූ බැවින් ලිවීම කල් ගිය මුත් 02/10/2013 සිදුවූ සිදුවීමක් නිසා කෙසේ හෝ කාලය සොයාගෙන මෙම ලිපිය ලිවීමට සිත් විය.

එම සිදුවීම නම් ඉවැන්ජලික ආගමක් පතුරවමින් සිටි කාන්තාවන් පිරිසක් භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ අතුරුගිරිය ගම් වාසින් විසින් අත් අඩංගුවට ගෙන පාර දිගේ පෙරහැරෙන් ගෙන ගොස් පොලිසියට භාර දීමයි.

පලමුව පැවසිය යුත්තේ මාද බෞද්ධයෙකි. එසේම මා සියළුම අන්තවාදයන්ට විරුද්ධ අයෙක්මි. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ බෞද්ධ යන සියළුම ජාතියේ අන්තවාදින්ව මා කොන්දේසි විරහිතව විවේචනය කලේ කලක සිටය.

අප බොහෝ දෙනකු පටලවා ගන්නා දෙයකි මේ ඉවැන්ජලික ආගම් බොහෝ විට ක්‍රිස්තියානි ස්වරූපයෙන් පැමිනෙණ මුත් මේ ක්‍රිස්තියානි ආගම නොවේ. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නමින් ගෙන් ගෙට සැරි සරමින් තම දහම පතුරවන මේ පි‍රිස නිසා මා දකින ආකාරයට වැඩිම හානියක් සිදු වන්නේද ක්‍රිස්තියානි ධර්මයටය.

මා දකින ආකාරයට කිසිදු ආගමක් බලෙන් ඇදහවීම කල නොහැකිය. එය සම්පූර්ණයෙන්ම විශ්වාසය මත පදනම් ක්‍රියාවලියකි. ඒ ඒ පුද්ගලයා අදහන ආගම ඒ ඒ පුද්ගලයාගේ විශ්වාසය මත තීරණය වෙයි. නිරාගමිකයෙකු ගෙන බැලුවද එයද ඔහුගේ විශ්වාසයය. විශ්වාසය යනු බලෙන් ඇති කල හැකි දෙයක් නොවේ.

තත්වය එසේනම් බලෙන් ආගමකට හැරවීම යන්න කෙතරම් ප්‍රායෝගිකදැයි යන්න සිතා බැලිය යුතුය. යම් අයෙකුට මෙසේ තර්ක කල හැක. 'මුල් ආගම මුසාවක් යැයි පවසා අනෙක් ආගම ඉගැන්වීම' බලෙන් ආගමට හැරවීමක් යන්නය. නමුත් සත්‍ය ලෙසම එසේ පැවසීමෙන් යම් අයෙක් අර දෙවැනි ආගමට යනවා යනු ඔහු තුල පලමු ආගම පිලිබද ඉහත දැක්වූ කිසිම විශ්වාසයක්වත් දැනුමක්වත් නොතිබූ අයෙකි. එනම් ඔහු මුල් ආගමේ සිට ඇත්තේ ඉන්නන් වාලෙ නාමිකව පමණි.

නිදසුනක් ලෙස බෞද්ධයෙකු වන මා හට යම් අයෙකු පැමිණ බුදු දහම බොරුවක් ලෙසත් තම ආගම වැලද ගන්නා ලෙසත් ඇරයුම් කලහොත් මා ඒ තීරණය ගත යුත්තේ විශ්වාසය හා බුද්ධිය තුලිනි. එහිදී අනිවාර්‍‍යෙන්ම තරාදියේ බුදු දහමේ පෙදෙස බර වැඩි වනු ඇත. ඒ මාගේ බුදු දහම පිලිබද ඇති දැනුම හා විශ්වාසයයි.

එසේම තවත් සිදුවන දෙයකි මුදල් දී හා වෙනත් වරප්‍රසාද දී මෙම ඉවැන්ජලික ආගම් වලට හරවා ගැනීම. එය නම් සෑහෙන දුරට කල්පනා කල යුතු ගැටළුවකි. එනම් මෙසෙ මුදල් දුන් පලියට තම ආගම වෙනස් කරන පුද්ගලයන් යනු මුදලට තම ආත්මය වුවද පාවා දීමට කැමති පුද්ගලයන්‍‍ය. එවන් පුද්ගලයින් රදවා ගැනීමෙන් අදාල මුල් ආගමට අගතියක් මිස කිසිදු සුගතියක් නම් සිදු නොවේ.

නිදසුනක් ලෙස යම් ආගමක් රු.10,000ක් දුන් විට ඒ ආගමට යන පුද්ගලයා තවත් ආගමක් රු20,000ක් දුන් විට ඒ ආගමටද අනිවාර්යෙන්ම යයි. එවන් පුද්ගලයින් මුල් ආගමේ රදවා ගැනීමෙන් ඒ ආගමට කිසිදු සෙතක් නැත.

පසුගිය කාලයේ විශාල ලෙස කථා බහට ලක්වූ මාතෘකාවකි 'අන්‍යාගමීකරනය වැලක්වීමේ පනත' නමුත් මානම් මෙය දකින්නේ අනවශ්‍ය ක්‍රියාවක් ලෙසටය. කිමද ඉහත දැක්වූ ලෙස තම ආගම ධර්මය පිලිබද කිසිදු දැනුමක් විශ්වාසයක් නැති පුද්ගලයින්ව වත් මොණර කොල දෙක තුනකට තම ආගම වුවද අතහැර යාමට සුදානම් පුද්ගලයින් මෙසෙ නීති වලින් බැද දමා ආගමේ රදවා ගත්තාට කිසිදු පලක් නැත.

ඔළු ගෙඩි ගණන වැඩි පමණින් ආගමක් රැකෙන්නෙවත් බැබලෙන්නෙවත් නැත. අවශ්‍ය වන්නේනියමාකාරව ධර්මය අදහන පිළිපදින පිරිසය. එම පි‍රිස නීති මගින් ගොඩ නැගිය නොහැක. එය අධ්‍යාත්මයෙන්ම ඇති විය යුතු දෙයකි.

මා සිතන ආකාරයට තමා අදහන ආගම නීතිය මගින් තීරණය කිරීම යනු මානව හිමිකම් කඩකිරීමකි. එය එසේ විය යුතු නැත. තමන්ට කැමති සහා විශ්වාසය ඇති ආගමක් ඇදහීමට ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබිය යුතුය. මෙහිදී මා බෞද්ධ භික්ෂූන් වහන්සේලාටද යම් චෝදනාවක් කිරීමට කැමත්තෙමි. නමුත් එය සියලුම භික්ෂූන් වහන්සේලාට අදාල නොවේ.

වර්ථමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා 'රට ජාතිය බේරා ගැනීම' වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ඔහුන්ගේ මූලික වගකීම අමතක කොට දමාය. එනම් ධර්ම ප්‍රචාරණයයි. ගමේ පංසලෙන් හාමුදුරුනමක් බණට වැඩියත් උන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය නොවේ දේශපාලනයය. බණ අසන්නන්ට ධර්මය කා වැද්දීමක් උන්වහන්සේලා නොකරයි. එසේ කර වෙනත් පි‍රිස් නිසි ධර්ම අවබෝධයක් නැති බෞද්ධයන් ඩැහැ ගෙන ගිය විට බෞද්ධාගම විනාස කරනවා යැයි කෑ මොර දෙයි.

එසේම මා හට මෙවන් ගැටළුවක්ද ඇතිවේ. "අපේ රට බෞද්ධ රටක් අපේ රටේ වෙනත් ආගම් වලට ඉඩ නෑ. අපේ රටේ වෙනත් ආගම් පතුරවන්න ඇතම් පිරිස් උත්සහ දරනවා. ඔහුන් හදන්නේ බුදු දහම විනාස කිරීමටයි" යන්න පවසන පිරිසම ඇමරිකා වැනි බටහිර රටවල බෞද්ධ විහාරස්ථාන ගොඩ නැගීමට විශාල වෙහෙසක් දරයි. ඒ රටවල ධර්මය ප්‍රචාරණය කිරීමට මහත් වෙහෙසක් දරයි (එය වැරද්දක් නොවේ. විය යුත්තේද එයයි. 'සියළු දාන‍යන් ප‍රදවා ධ‍ර්ම දාන‍ය ජ‍ය ගනී') දිනෙන් දින බුදු දහම වැලද ගන්නා සුද්දන් ගැන මහා ඉහලින් කතා කරයි.

බුදු දහමේත් අන් ධර්මයන්ගේත් යථාර්තය හා ගෙනයන ප්‍රචාරක ක්‍රමවේදය හාත්පසින්ම වෙනස් වුවත් මේ දෙකෙදිම සිදුවන්නෙ ධර්ම ප්‍රචාරයක්‍‍ය, ධර්මය පැතිරවීමක්‍‍ය. මේ ක්‍රියාවන් දෙක එකම තරාදියකට දමා මැන බැලීමට අදාල පි‍රිසට නොහැකිවීම සැබවින්ම අභාග්‍යකි.

එසේම මේ පිරිස ගෙන එන තවත් තර්කයකි 'සෞදිය' ඇතුලු අරාබි රටවල අන්‍ය ආගමික රූපයක් වැනි දෙයක්වත් තබා ගැනීමට නොහැකිය යන්නයි. ඒ ඔහුන්ගේ ගෝත්‍රීක භාවයයි ඔහුන්ගේ රට තුල නිදහස නැතයි ඔහුන්ව විවේචනය කරන ගමන් අපද ගමන් කිරීමට උත්සහ දරන්නෙ ඔහුන්ගේම මාර්ගයේද?

නැවතත් පැවසීමට ඇත්තේ ඔලු ගෙඩි ගණන වැඩි වූ පමණින් කිසිම ආගමකට සුගතියක් සිදු නොවේ අවශ්‍ය වන්නේ නියමාකා‍රව ධර්මය අදහන පිරිසය. ඒ සදහා බෞද්ධ වේව ක්‍රිස්තියානි වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ඒ ඒ ආගමික පූජකයින් තම ආගමිකයින්ට නිසි ධර්මාවබෝධය ලබා දිය යුතුය. ඕනෑම ආගමක් රැකෙන්නෙ නමට ආගම අදහන පිරිස නිසා නොව අවබෝධයෙන් ධර්මය තේරුම් ගන්නා පි‍රිස අනුවය. නියමාකාරව තිසරණ සරණ ගිය නිසි ධර්මාවබෝධය ඇති බෞද්ධ එක් පුද්ගලෙකුවත් අන්‍යාගමීකරනය කල නොහැකිය. එය මා පවසන්නෙ ඉතා වගකීමෙනි.

එසේම මේ ආගම් පතුරවන්නන් කරන අනෙක් ආගමට අපහාස කිරීමේ පිලිවෙතද ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. කුමන ආගමකට වුවද අපහාස කිරීමෙ අයිතියක් කවරෙකුටවත් නැත. එයට යම් දඩුවමක් ලබා දිය 'යුතුම නම්' එය නීත්‍යානුකූලව සිදු විය යුතුය. එසේ නැතිව අප ඔහුන්ටත් වඩා පහත් තත්වයට වැටී කාන්තාවන් අල්ලා අපහාස කරමින් පාර දිගෙ ඇදගෙන යාම වැනි විකාර ක්‍රියා වලින් දඩුවම් දිය යුතු නොවේ. කිමද නියම බෞද්ධයින් අටලෝදහමින් කම්පිත නොවේ. 'නින්දා' යන්නද අටලෝ දහමේම එක් දහමකි.

අවසන් වශයෙන් මෙසෙ පවසනු කැමැත්තෙමි

"පිං මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ...
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ..."
එසේම මෙසේද පවසනු කැමතිය
"නමට ආගමිකයින් දාහකට වඩා එක් නියමාකාර ධාර්මික පුද්ගලෙකු අගනේය."

© ප්‍රියා *

06 October, 2013

කොන් වුන කොන්දොස්තර'වරිය'.

~~කොන් වුන කොන්දොස්තර'වරිය'~~

පසු ගිය දිනක උතුරුමැද පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් කාන්තාවකට කොන්දොස්තරවරියක් ලෙස සේවය කි‍රීමට තාවකාලික බලපත්‍රයක් ලබාදී තිබුනි. ඒ 48 හැවිරිදි ඇයගේ ඉල්ලීමක් පරිදිය.
මෙම පුවත් බුකියේ පලවූ අතර එයට මා දැක්වූ "මා නම් මෙහි කිසිදු වරදක් දකින් නෑ" යන ඉතා කෙටි කොමෙන්ටුවට ලැබී තිබූ ඉතා 'අශිඛ්කිත' ප්‍රති උත්තර කිහිපයක් නිසා අමන්දානන්දයට පත් වීමේ සටහන තැබීමට සිත් විය.
පලමුව කිව යුත්තේ මෙම සිදුවීම පිලිබදව මාගේ අදහස ඉහල දැක්වූ අදහසම වන අතර මෙසේ කාන්තාවන් කොන්දොස්තරවරියන් වීමේ කිසිදු වරදක් මා දකින්නේ නැත. පුරුශෝත්ථමවාදයේ අන්තයටම ගිය පිරිසටනම්ෙය ඇසෙ කටු ඇනීමක් බව මා දනිමි.
පලමුව සලකා බැලිය යු‍ත්තේ කාන්තාවක රැකියාවකට යාමට ඇයට බලපාන සාධකය. මා සිතනා පරිදි ඉතාසාධාරණ හේතුවකින් තොරව කිසිම කාන්තාවක කොන්දොස්තර කමක් වැනි රැකියාව තෝරා ගනීවියැයි සිතිය නොහැකිය.
මාගේ පෞද්ගලික මතයට අනුව 'නිසි රැකවරණයක් ලබන කාන්තාවක රැකියාවක් කලයුතු නැත. නමුත් මවුපිය, සහෝදර, නෑහිතමිතුරු, ස්වාමි පුරුෂ හෝ දරුවන් ‍යන කවරෙකුගෙන්වත් ‍රැකවරණය අහිමි කාන්තාවක ඇයව බිලි ගැනීමට මාන බලන සමාජයෙ අසම්මත යැයි සැලකෙන දුරාචාරයකට යොමු නොවී කොන්දොස්තරකමක් නොව හැකිනම් බර වාහන රියදුරු කමක් වැනි රැකියාවක් තෝරා ගත්තද මා නම් සතුටු වෙමි.
මා දකින ආකාරයට එළිපිට නොපෙන්නුවාට අප පිරිමි සමාජය සිටින්නෙ ඉන්දීය පිරිමින්ටත් වඩා කාන්තාව පිළිකුල් ක‍රන තත්වයකය (ඉන්දීය කාන්තා හිංසන‍ය පිලිබද වෙනම ලිපියකින් කතා කිරීමට බලාපොරොත්තු වෙමි) ඒකිමද යත් ඉංදියාවේ කාන්තා ත්‍රිරෝදරථ රියදුරුවරියන් පමණක් නොව බස්රථ රියදුරුව‍රියන්ද සිටින තත්ව‍යක අප කාන්තා කොන්දොස්ත‍රව‍රියන් දෙස ව්ප‍රැසින් බැලීම ‍යනු පැරණි බමුණු අදහස් තුලින් අපි ඉංදි‍යාවටත් වඩා අඩි ගනනක් ඉදිරියෙන් බවට නිදසුනකි.
ගෙද‍ර බුදුන් අම්මා කියා පවසන අපම 48 වියැති කාන්තාවක ‍රැකියාවක් තෝරා ගත් විට ඇයට ගරහයි නින්දා දෙයි. එය කෙතරම් සාදාරණද?
එපමණක් නොව එම තීරණය ගනු ලැබූවන්ට හා එම තීරණයට එකග වූවන්ට 'නපුංසකයන්' යැයි බැන වැදීමට තරම් ඔහුන් පුරුෂෝත්ථමවාදයෙන් මත් වී ඇත.
නමුත් තම මවව, බිරියව 'රට විරුවන්' කටු ඔටුන්නක් පලදා අරාබිකරයේ හාම්පුතුන් ලග බැලමෙහෙවරට ‍යවා ඇය දුක් මහන්සියෙන් හම්බක‍ර එවන තුට්ටු දෙකෙන් හොදට කාබී පමණක් නොව හොද කෑල්ලක් කාම‍ර‍යකට ගෙන ගොස් සැපක් ගැනීමට මාසෙ පඩිය එවන තුරු බලා සිටින නියම 'නපුංසක‍යින්' ඔහුන්ට නියම පිරිමින්‍‍ය වීර‍යන්‍‍ය.
මෙම පුරුෂෝත්තමවාදීන්ට අනුව කාන්තාවනට කොන්දොස්තව‍රියක් ‍රැකියාව දීම ‍යනු කාන්තාවාද‍යට පාර කැපීමකි. මොවුන් පුරුෂෝත්තමවාදයේ අන්ත‍යටම ගොස් ඇති බව මොවුන්ට අමතක වූ සෙයකි. එසේම ඔහුන්ගෙ තවත් ත‍ර්ක‍යක් වන්නෙ මේ තුලින් ‍රට සමලිංගිකත්ව‍යකට ගමන් ක‍රනවා යන්නයි. මට නොතේරෙන්නෙ කාන්තාවකගේ කොන්දොස්ත‍ර ‍රැකියාවත් සමලිංගිකත්වයත්අත‍රැති සබදතාව‍ය‍යි මා සිතන ප‍රිදි සමලිංගිකත්ව‍යට ‍රැකි‍යාව බලපෑමක් සිදු නොක‍ර‍යි. එය මානසික කාරණයකි.
මොහුන් මේ ක්‍රියාවට මෙත‍රම් විරුධ්ද වන්නේ ලිංගිකත්ව‍ය මුල් ක‍රගෙන නම් මා දකින ඔහුන්ගේ ප්‍රධාන දුර්වලතාව‍යද එය‍යි. ඒ කිමද‍යත් මොහුන් එසේ නම් කාන්තාව දකින්නේ තම ලිංගිකාශාවන් සංත‍ර්පණ‍ය ක‍ර ගැනීම උදෙසා නිර්මාණ‍යවූ ‍යන්ත්‍රයන් කි‍යාය. එම ‍යනත්‍රවලටත් හැගීම් දැනීම් ඇති බව‍ත් පුරුෂ‍යන්ට ඉහලින් හෝ පහලින් සම තත්ව‍යේ ජීව‍ත් වීමට අයිතියක් ඇති බවත් පිලිගැනීමට ඔහුන් තුල ඇත්තෙ පුදුමාකා‍ර අකමැත්තකි.ල්
මොහුන් නගන තවත් ත‍ර්ක‍යක් වන්නෙ මෙම ක්‍රියාව තුලින් ‍රස්තියාදුකාර කාන්තා සමාජ‍යක් බිහිවන බව‍ය. එසේනම් මේ පුරුෂෝත්තමවාදි මහා ප්‍රඥයින් උගතුන් නොකියා කියන්නෙ 'කොන්දොස්තරවරු' යනු මහා අශික්කිත ‍රස්තියාදුකාරයන් බව‍ය.
‍රැකියාවක් මුල් කරගෙන මිනිසුන් මැනීම කෙතරම් සාධාරණදැයි මා නොදනිමි. විශේෂයෙන්ම උගත් ඉහල රැකියාවකැයි සැලකෙන විදුහල්පතිවරයෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලන සමාජ‍යක නූගත්‍‍යැයි සැලකෙන‍ ‍රස්තියාදුකාර‍යැයි කොන් ක‍රන ත්‍රීරෝද‍රථ ‍රියදුරෙකු 25/09/13 දින තමජීවිත‍ය පවා අවධානමේ දමා කාන්තාවකගේ ලක්ෂ 5ක මුදලක් කොලලකරුවන්ගෙන් බේරා දීම මගින්ම එය සනාථ වේ.
මා පෞද්ගලිකව පුරුෂෝත්මවාදින්ව මෙන්ම කුරුදුවත්තෙ ජීවත් වෙමින් ‍‍‍රෑට නයිට් ක්ලබ් වල සෙට් වෙමින් කාන්තා සංවිධාන යැයි ඇටමගුල් අටවගෙන අහිංසක කාන්තාවන්ගෙ අස‍රණක උගසට තබා විනෝද වන ඊනියා කාන්තා ක්‍රියාකාරින්ද ප්‍රතික්ශේප කරමි.
එසේම අප සැබෑ පිරිමින් ලෙස කල ‍යුතු වන්නේ "මෙන්න ගැහැණු අපේ තැන ගන්න එනෝ මෙන්න ගෑනු අපට විරුද්ධව යන්න එනෝ" කියා අදෝනා තබමින් හඩා වැටීම නොව නියම පිරිමින් ලෙස කාන්තාවන්ගේ සම තත්වයේ ජීවත් වීමට ඇති අයිතිය තහවුරු කිරීමත් අස‍රණ වුන කාන්තාවන් තවත් අසරණ නොකර රැක ගැනීමත්ය. නොමැතිව අසරණ වූ කාන්තාවන් කාටත් අතනොපා ජීවත් වීමට රැකියාවක් තෝරා ගත් විට එයට ගැරහීමම මා දකින ආකාරයට පිරිමින්ටත් නැති ගැහැණුන්ටත් නැති නපුංසකයන්ටත් නැති කාලකණ්නි කමකි. (මේ අන්තවාදි පුරුශෝත්තමවාදින්ව මෙසේ ඇමතීමෙන් නපුංසක ජනයාට අපහාසයක් නොවේවා. කිමද මා දකින ආකාරයට කාන්තාවන්ට මෙන්ම නපුංසකයන්ටද සමාජයෙ ඔළුව කෙලින් තබාගෙන ජීවත් වීමට අයිතියක් ඇත.)
මෙම කාන්තාව රැකියාවෙ යෙදෙන්නෙ තමාටම හිමි බස් ‍රියක තම සැමියා සමග බව දැන ගන්නට ඇත. මා දකින ආකාරය්ට් කාන්තාවන් වෙනුවෙන් ගෙන ඇත්තේ හොද ාඅරම්භයකි.
අවසන් වශයෙන් මේ මෝඩ තකතීරු පුරුශෝත්තමවාදීන්ට පැවසීමට ඇත්තේ මෙපමණකි.


මතක තබා ගනිවු!

"දසමසක් කුස දරා...
තම ළයේ කිරි පොවා...
අපව හැඩි දැඩි කෙරූ...
ප්‍රාණ සම සේ තබා...
අපව රැක බලා ගත්...
අපෙ ආදර මෑණියන්..." ද මේ ලෝකෙ තවත් එක් 'කාන්තාවක්' බව පමණක්.

© ප්‍රියා *

02 October, 2013

මෙන්න තවත් ශිෂ්‍යත්ව ප්‍රථිපලයක්.

~~මෙන්න තවත් ශිෂ්‍යත්ව ප්‍රථිපලයක්~~

අද දින පුවතකින් දැන ගන්නට ලැබුනේ බුත්තල ප්‍රදේශයේ ශිෂ්‍යත්වයට පෙනී සිටි දැරියක විභාගයෙන් අසමත් වීම හේතුවෙන් ඇයගේ 'ආදරණීය දෙමාපියන්' විසින් ඇයව ඇදුම් බෑගයක්ද අතට දී නිවසින් පිටමන් කල පුවතකි.

ආඩම්බරයි මිනිසුනේ. මහ ලොකුවට ලෝක ළමා දිනය සමරන අපි ළමුන්ගෙ සිතැගි හදුනාගත නොහැකිව අවුරුදු 10 ක් තරම් කෙළිලොල් වයසේ පසු වන දරුවන්ගේ ළමා මනසත් සමග සෙල්ලම් කලා තවත් මදිද??

මවු වරුන්ගේ විභාගයක් වෙනුවෙන් අහිංසක දරුවන් පෙර පාසලේ සිටම කෙරෙන සූදානම් කී‍රීම ලෙස හදුන්වන ශිෂ්‍යත්ව ටියුශන් කඩ මුදලාලිල ලග තනි කිරීම අසරණ කිරීම දැන්වත් නැවතිය නොහැකිද??

තරගය නමින් තමාගේ හොදම යහළුවටත් වඩා එක් ලකුණක් හෝ වැඩිපුර ගැනීමට පොලබවන හොරෙන්ම ළමා මනසට ඇතුල් කරන වෛරයේ ගිනි දැල් දැන් වත් නිවා දැමිය යුතු නොවේද??

© ප්‍රි‍යා *

21 September, 2013

~~ඔබ නමින් මියෙමි මා~~

~~~ඔබ නමින් මියෙමි මා~~~



හැගුම් රළ කැළබිලා...
වදන් වැල ගොළු වෙලා...
නෙතින් නෙත පටලලා...
කෙසේ ඉමු සැනසිලා...

ලොවම අප දෙස බලා...
වැහැසි බස් දොඩවනා...
අප දෙදෙන එක් වීම...
ඔවුන් නොම ඉවසනා...

රුපු දෙනෙත් සිය ගනන්...
අප දෙසට යොමු වෙලා...
සියුම් ඉරියවු පවා...
ඔහුන් ලුහු බදින්නා...

මතු භවෙක අපි අපේ...
වී යලිත් ඉපදෙනා...
ඒ භවේ එනතුරා...
ඔබ නමින් මියෙ
ම් මා...
©චතුරංග ප්‍රියශාද්*

(11/04/2013)

15 April, 2013

සිතුවිල්ලක ඇරඹුම......

සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.....
සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන......