
(වාසනාවට 'ඇත්ත' කතාවක්)
ලියන්න කියලා හිතන් හිටපු කතා දෙක තුනක්ම තියෙත්දි මේ කතාව ලියන්න හිතුවෙ පසුගිය දිනක උන සිදුවීමක් නිසයි.
ඒ තමයි අර 'ගුරුවරියක් ශිෂ්‍යයකුගෙ එකම කලිසම කපා දැමීම'. මේ සිදුවීම විවිධ කෝණ වලින් අල්ලා ගත් පිරිස විවිධ කතිකාවන් ගොඩ නැගුවත් සැබෑ තොරතුරු නැතිව මේ දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකවත් පැත්තක් මට නොහැකිය. නමුත් මේ ශිෂ්‍යයාගේ මානසික, සාමාජීය, ආර්ථික තත්වය හදුනා නොගෙන ඇය තම සීමාව ඉක්මවා ගියාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒත් ඒ වෙච්ච සිද්ධිය හරියට නොදන්න නිසා ඒ කතාව එතනින් නිමි! ;-)
අද මන් කියන්න යන්නෙ මටම උන මගේ අත්දැකීමක්. මුලින්ම මන් කතාවට මෙහෙම එන්නම්.
'ප්‍රියා' ඒ කියන්නෙ මම ඉපදිලා ඔන්න පාසල් දාන කාලෙට ආවම ඔන්න මාව හා හා පුරා කියලා දානවා වත්තල තෙළගපාත 'රත්නපාල' පාසලට. ඒත් අවුරුදු දෙකකට පස්සෙ අපේ ගෙවල් මාරු කරනවා දළුගමින් දෙල්ගොඩ උඩුපිලට. අන්න එතකොට තුන වසරෙ ඉදන් මාව දානවා උඩුපිල කම්මල්වත්ත 'රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයට'. ඒකෙන් 6 වසර්ට එනවා 'දරණගම මහ විද්‍යාලයට' (නෑ නෑ බොලවු ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙමේ. මම ශිෂ්‍යත්වෙ ෆේල්. :-) ) රාජසිංහෙ එකේ ඉදන් පහ වෙනකම් විතරයි පන්ති තියෙන්නෙ ඒකයි දරණගමට ආවේ.
කොහොමින් කොහොම හරි දරණගම විද්‍යාලෙත් එකම අවුරුද්දයි ඉගෙන ගත්‍තෙ හත වසරට පාස් උන ගමන් උඩුපිල ගේ විකුණලා ආයෙත් අපේ ගම් පළාත වෙච්චි කැළණිය දළුගමටම පදිංචියට එනවා. ඊට පස්සෙ මාව උස්සන් ඇවිල්ලා දානවා හත වසරෙ මුල ඉදන් කැළණිය තොරණ හංදියෙ "වෙදමුල්ල මහා විද්‍යාලයට." එහෙම බැලුවම මන් පාසල් හතරක ඉගෙන ගෙන තියෙනවා. ඒ පාසල් හතරම දුප්පත් පොඩි පාසල්. ඒ පාසල් හතරටම මන් ගරු කරනවා.
ඒත් වෙදමුල්ලත් එක්ක මගේ විශේෂිත බැදීමක් තියෙනවා. මොකද මට තේරෙන කාලෙදි මන් හැදුනෙ වැඩුනෙ ඒ පාසලත් එක්ක. මගෙ ජීවිතේට හුගක් දේවල් එකතු කලේ වෙදමුල්ල (ඔව් ඔව් ප්‍රියම්භිකාවත් සෙට් උනේ පාසලෙන්ම තමා. :-D ). ඇත්තෙන්ම කියනවනම් වෙදමුල්ල තමා මගෙ දෙවනි අම්මා වුනේ.
වටේ ගියා ඇති මන් කතාවට එන්නම්කො. හත වසරෙදි ඉස්කෝලෙට ආවට මොකද මන් ඇත්‍තටම ඒ වෙත්දි හරිම පසුගාමී චරිතයක්. සබකෝලය කියන එක උපරිමයි, පාසල් පැමිණීම අන්‍තිමයි, අපිරිසිදු කම ඉහලයි, ඉගෙනීම අජූතයි. කොටින්ම මම පංතියෙ මුල්ලකට වෙලා ඉන්න කොන් උන චරිතයක්. මන් එක්ක කතාවත් කලේ එකම එකයි. ඒ ඌත් මන් වගේම එකෙක් නිසා.
කොහොමින් කොහොම හරි ඔන්න දැන් මම 10 වසරෙ. අවුරුද්ද මුල අපේ පාසලේ කලා උත්සවයක් සංවිධානය වෙනවා 'වසත් සර වැනුම්' කියලා ඔය උත්සවේ සංවිධාන මණ්ඩලේ හිටපු 'කැළණියේ අමිතසිරි' කියන හාමුදුරුවන්ම තමා අපිට බුද්ධ ධර්මයයි සිංහලයි ඉගැන්නුවෙත්. ඔන්න දවසක් හාමුදුරුවො අපේ පංතියෙන් උත්සවයට සමගාමීව පැවැත්වෙන තරග සදහා නම් ගන්නවා. විවිධ තරග සදහා විවිධ අයව ගන්න අතරෙ හාමුදුරුවො ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදලා "චතුරංග නිවේදන වලට ඉන්න." කිවුවා විතරයි මාව හත් පාරක් කරකවලා තුන් පාරක් ටොකු ඇන්නා වගේ උනා. ගත් කටටම මන් කිවුවෙ "බෑ" කියලා. ඒත් තුන් හතර පාරක්ම හාමුදුරුවො හොදින් කිවුවත් තරගෙට ඉන්න කියලා මගේ පව බලවත් නිසා මාත් එළුවා වගේ බෑම කිය කියා හිටියා. ඔය අතරෙ හාමුදුරුවො වෙන වැඩක්ට විදුහල්පති කාර්‍යයාලයට වැඩම කරලා විනාඩි 15 කින් විතර ආයෙ වැඩියා. ඒ ගමන් ආයෙ ඇහුවෙ අර ප්‍රශ්ණෙමයි. මහෙත් නොසැලුන උත්තරේ ඒකමයි.
හාමුදුරුවන්ටත් උපරිම කේන්තියි. එදා මගේ කරුමෙට අපෙ පංතියෙ කොල්ලෙක් තුවාලයක් නිසා දාන් ඇවිත් තිබුනෙ 'බාටා' සෙරෙප්පු දෙකක්. ඒකත් දුහුවිල්ලෙන් පිරිලා හරි ප්‍රියමනාප විදියටයි තිබුනෙ. හාමුදුරුවො ඌට සෙරෙප්පුව ගලවන්න කියලා එක පාරටම ඒ එක බාටා එකක් අරන් දුන්නැත්ද මට ඒකෙන්ම කණේ පාරක් !!.
සෙරෙප්පු පාර කාගෙනම ඇස් දෙකෙ කඳුලු පුරෝගෙන මන් වාඩි උනා. හිතා ගන්න පුළුවන්නෙ තිස් ගානක පිරිසක් ඉදිරියෙ සෙරෙප්පු පාරක් කෑවම තියෙන සනීපෙ. කොහොම හරි මට ගහලා හාමුදුරුවො බලෙන්ම මගෙ නම ලිස්ට් එකට දැම්මා. දවස් දෙකකට පස්සෙ තරගෙ. මන් දන්නෑ මටත් සෙරෙප්පු පාරත් එක්ක හාමුදුරුවොත් එක්ක කේන්තියකුත් එක්ක අමුතුම ගටක් ආවෙ. පුළුවන් තරම් පුරුදුවෙලා ගියා තරගෙට. විශ්වාස කරන්න පුළුවන්ද සබකෝලෙන් පිරිච්ච කොල්ලෙක් නිවේදන තරගෙකින් 'පලවෙනියා' වෙත්දි. ඒත් එක උනා. තරගෙ ප්‍රථිපල ආවට පස්සෙ හාමුදුරුවො මගෙන් ඇහුවා කීවෙනියද කියලා. මන් පලවෙනියා කියත්දි උන්වහන්සෙ හිනා වුනා. එවලෙ මගේ හිතේ ඇතිඋන හැගීම මටම හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම ම නම දාලා 'කෙටි කතා' තරගෙටත් හිටියා ඒකෙනුත් දෙවනි ස්ථානය හම්බ උනා. නිවේදන අංශෙන් පලවෙනියා උන නිසා 'වසත් සර වැනුම්' උත්සවේ නිවේදනය කරන්නත් මාව තෝර ගත්තා.
ඇත්තටම කියනවානම් ඒ සෙරප්පු පාර පුදුමාකාර විදියට ධනාත්මක පැත්තට මාව වෙනස් කලා. මම පුදුමාකාර විදියට සමාජශීලී උනා. පංතියෙ කොන් වෙලා හිටපු මන් යහළුවො ගොඩක් ආශ්‍රය කරන්න ගත්තා. අපි ඇති තරම් පිස්සු නැටුවා, ඉගෙන ගත්තා. මගෙ ජීවිතේ පිලිවෙලක් වෙන්න ගත්තා ඒ වෙත්දි පාසලේ සියලු උත්සව වල නිත්‍ය නිවේදකයා උනේ මම. පාඩම් වැඩ වලටත් උනන්දු උනා. සාමාන්‍ය පෙළ සමත් උනා. අපේ පාසලේ තියෙන්නෙ කළා, වාණිජ අංශ දෙක පමණයි. මාත් වාණිජ අංශය තෝරන් අපේ පාසලේම හිටියා.
10 වසර වෙනකම් මුල්ලක හැංගිලා හිටපු මම ඒ වෙත්දි පාසලේ ජනප්‍රියම චරිතයක්. ශිෂ්‍ය නායකයෙක් වෙලා අන්තිමට 'ප්‍රධාන ශිෂ්‍ය නායක' කම පවා ලැබුනා.
ඇත්තෙන්ම මට කියන්න ඕන උනේ මෙච්චරයි. සබකෝලයෙන් පිරුන කොලු භාෂාවෙන් කියනවනම් 'හිපාටු' චරිතයක් වෙච්ච මං යම් තරමක් හෝ අළු ගසා නැගිටලා ඉගෙනගෙන මෙහෙම ජීවත් වෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සෙරෙප්පු පහර නිසයි.
ගුරුවරයෙක් වශයෙන් උන් වහන්සේ මගේ දුර්වලතා සහ දක්ෂතා හදුනාගෙන ඒ දක්ෂතා එළියට ගන්න උපාය මාර්ගිකව බෙහෙත් කලා. ඒත් ඔය න්‍යාය හැම ගුරුවරයටම් හැම ශිෂ්‍යායාටම හැම අවස්තාවෙම නොගැලපෙන බවත් මතක තබා ගත යුතුයි. ඒ වගේම තමා අපෙ අම්මලා ඔය සෙරෙප්පු කතාව දැන ගත්තෙත් මන් පාසලෙන් අස් උනාටත් පස්සෙයි.
මම දැනටත් සමාජයෙ පොඩිම පොඩි චරිතයක්. සාමාන්‍ය පෞද්ගලික ආයතනයක වැඩ පරික්ෂක වරයෙක්. ඒත් අම්මා තාත්තාටත් පුළුවන් විදියට සලකන් පරස්සාවකුත් කරන් දරුවෙකුත් හදාන් කාටත් ණයක් නැතුව කාටත් අත නොපා සමාජයෙ ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්නෙ එකම චරිතයක් නිසා. ඒ තමයි "කැළණියේ අමිතසිරි" හිමි. කොටින්ම එදා උන්වහන්සේගෙ සෙරෙප්පු පාර නොවන්නට අද මේ බ්ලොග් අවකාශයේ 'ප්‍රියා' කෙනෙකුද නැත.
'කැළණියේ අමිතසිරි' හිමි වැනි ගුරුවරු තව දහස් ගුරුවරු මේ පොළව මත සිටී. තම ගෝලයන්ගේ දෑස් පෑදීමට කැපවන 'කැළණියේ අමිතසිරි' හිමි වැනි සියළුම ගුරුවරුන්ට මේ සටහන පූජෝපහාරයක් වේවා!!.
ප. ලි. ~~
දැන් ඉතිං අපේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 'කැළණියේ අමිතසිරි' හිමිව හොයන් ගිහින් මේ මේ කාලෙදි මේ ළමයට සෙරෙප්පුවන් ගහලා 'අපයෝජනයට' ලක් කලා කියලා නඩු එහෙම දානවා නෙමේ ඕන්.
ප. ප. ලි. ~~
මෙය කියවන ශිෂ්‍යයෙකු වෙතොත් මේ කතව ආදර්ශයට ගනිත්වා!
සියළු 'ගුරුදෙවිවරුන්ට' මේ සටහන උත්තමාචාරයක් වේවා!
එසේම මෙ බ්ලොග් අවකාශයේ සැරිසරන 'ඩූඩ් අයියා' ඇතුලු බ්ලොග් ලියන, බ්ලොග් කියවන සියලු ගුරුවරුන්ටත් මේ පෝස්ට්ටුව මල් මිටක් වේවා!!!.
අපේ කාලේ බොහෝ ගුරුවරු දෙවිවරු වගෙයි ප්‍රියා.....මටත් ඔයිට ඇබිත්තක් සමාන කමක් තියෙන සීන් කෝන් එකක් උනා 11 ඉන්න කාලේ ඒ දවස් වල මට ඇලජික් විෂයක් තිබුනා ඒ සිංහළ සාහිතය.උම්මංගේයි,ගුත්තිලයයි පේන්න බෑ.අන්තිම වාර විබාගෙට ලකුණු 21 ඇඩෙනවනේ ඉතින් ඔය දවස් වල අපේ 11 වසර පන්ති ප්‍රධාන හෝල් ගත කරලා තිබුන කාලේ ඉපන්ති එකින් එකට ඈත් කරලා තිබුනා විතරයි.එදා කට්ටියටම පේපර් බෙදපු අපේ සිංහළ ගුරුතුමි මාව ලගට අඩ ගහාලා 230 දෙනෙක්ට අහෙන්ඩ ආඩපාලි කියද්දි දැනුන ලැජ්ජාව මට එදා නම ගට ආවා.උම්මන්ගෙයි,ගුත්තිලයයි, සාහිතය අත් පොතයි කට පාඩම් කරන්න.ඔන්න ඊට මාස ගානකට පස්සේ සා.පෙ. ලියලා ගෙදරත් ඉදලා රිසාල්ස් ගන්ට ගියා සිංහලයි සාහිතයයි කෙලින්ම ගියේ සිංහල ගුරුතුමි ලගට කකුල් දෙක අල්ලලා වැදලා මන් කිව්වේ මිස් මට අච්චර දෙනෙක් ඉස්සරහා නොබැන්න නම් සිංහල ෆෙල් වෙනවා කියලයි.
ReplyDeleteමෙහෙට ආවයින් පස්සේ සිංහල නම් සෑහෙන්න අමතක වෙලා ගිහින් එත් බොග හින්දා අයෙත් හැමදෙයක්ම යථා තත්වෙට පත්වෙමින් පවතිනවා.ඔයාලගේ දිරි ගැන්විම් එක්ක මන් සුට්ටෙන් සුට්ට ඉදිරියට ඇදෙනවා........
ඇත්ත ශානු, මන් හිතන්නෙ ඔනම දඩුවමක් හොද පැත්තට අරන් හැදෙන ළමයෙක්ට හැදෙන්න පුළුවන්.
Deleteනැතුව තවත් ටිකක් කඩා වැටීම නෙමෙ කල යුත්තේ
hmm ow
Deleteමොනව කියන්ඩද අනේ මන්දා බං
ReplyDeleteඒ ඇයි අටම්?
Deleteමන් හිතන්නෙ ඔයා කල්පනා කරන්නෙ අර කලිසමෙ සිද්දිය ගැන. ඔව් ඒ සිද්දියයි මගෙ සිද්දියයි එකට දාලා බලන්න බෑ.
ඒත් මගේ සිද්දියෙදි නම් මට උනේ හොදක්.
e සෙරප්පු පාර ඔයාට ආශිර්වාදයක් වුනා නේද..
Deleteඔව් ඔමා, ඇත්තටම ආශිර්වාදයක් උනා. ඒ සෙරෙප්පු පාර නැත්නම් අද 'ප්‍රියා' කෙනෙක් නෑ.
Deleteඅඩේ අෆ්ෆා මුන්දැ ඉන්නෙ අපේ ටෙම්පරි ගම්පලාතෙ නෙව. කැලණිය පැත්තෙන් යනකොට ටටා පාරක් දාගෙන යන්ටකෝ....
ReplyDeleteපෝස්ටුව නම් කීයත් වටී ප්‍රියෝ... :)
මේ පොඩි ලංකාව ඇතුලෙ අපි ඔක්කොම එක පාරක් හරි හම්බ වෙලා ඇති නේද බස්සි. විශේෂයෙන්ම එකම ගම් පලාතෙ වෙච්චි කොට.
Deleteබලන් ගියාම කැළණියත් බ්ලොග් නවාතැනක් වේගෙන එනවානෙ.
අනිවාර්‍යෙන් දැක්ක ගමන් අත වනන්නම්.
ඒත් අද කාලෙ ගොඩක් ගුරුවරු කොරන්නෙ දක්ෂ එකාගෙ කනට සෙරෙප්පු පාර දීල මුල්ලකට කරල පන්දමාට තැන දෙන එකනෙ ප්‍රියෝ... මේ හාමුදුරුවො වගේ ගුරුවරු වාසනාවන්...
ReplyDeleteඒකත් සම්පූර්ණ ඇත්ත බස්සි, අද කාලෙ 'සමහරක්' ගුරුවරු ඉන්නව ළමයිට සලකන්නෙ ගුරු දිනේට තමන්ට දෙන තෑග්ග දිහා බලලයි.
Deleteඒත් ඒ ඉතාම අතලොස්සයි. හොද ගුරුවරුත් මඩ නාන්නෙ ඒ අය නිසයි.
අපි මීට කාලෙකට කලින් ඉස්කෝලෙන් අයින් වුන එක හොදයි කියලා හිතෙනවා බං දැන් වෙන දේවල් දැක්කමනම්.. මම නම් ඉතින් උඹට ගහපු එක ගැන වරදක් දකින්නේ නෑ.. අන්තිමේ උඹට හොදක්නේ වෙලා තියෙන්නෙත්..
ReplyDeleteඅනිවා දිනෙශ්, දැන් වෙන දේවල් වල හැටියට නම් ලබන ආත්මෙ ඉස්කෝලෙ යන්නත් බයයි. (පොඩි කොටසක් නිසා). ඇත්තටම හාමුදුරුවො මට කලේ හොදක්.
Delete/////මම දැනටත් සමාජයෙ පොඩිම පොඩි චරිතයක්. සාමාන්‍ය පෞද්ගලික ආයතනයක වැඩ පරික්ෂක වරයෙක්.///////
ReplyDeleteප්‍රියා.......ඇයි මෙහෙම හිතන්නේ......ඇයි මෙහෙම ලියන්නේ...? පොඩිද ලොකුද කියලා තීරනය වෙන්නේ කරන රැකියාවෙන් නොවේ....අමිතසිරි හාමුදුරුවන්ට තව සෙරෙප්පුවක් දීලා ගෙවල් පැත්තේ එවන්නද?
ඇත්ත අරූ අයියෙ, එතනත් පොඩි වැටුන මානසික තත්වයක් තියෙනවා කියලා තේරුනේ පබ්ලිශ් කලාටත් පස්සෙයි.
Deleteඒත් මන් දැන් සතුටෙන්.
ඇත්තෙන්ම මාත් ඉන්නෙ රැකියාවෙන් මිනිස්සු මැනිය යුතු නෑ කියන තැනයි.
රැකියාවෙන් මිනිස්සු මැන්නේ රජකාලේ
Deleteඇත්තනෙ කෝරලේ, ඒ කාලෙනෙ ඒ ඒ රස්සා වලට අනුව ගම්, ප්‍රදේශ පවා බෙදලාතිබුනෙ දැනටත් සමහර පැති තියෙනවලු එහෙම. ඒත් මන් හිතන්නෙ දැන්නම් ඒ නමට විතරයි.
Deleteදැන් කාලේ එහෙම සෙරෙප්පු පාරක් කෑවා නං හාමුදුරුවෝ ඉස්පිරිතාලේ. එක්කෝ මානව හිමිකම් කඩවීමක් කියලා රිමාන්ඩ් එකේ !
ReplyDeleteඒක නම් ඇත්ත. මොනව වුණත් මේ සටහන අද ඒ හාමුදුරුවො දැක්කොත් කොච්චර සතුටු හිතෙයි ද?
Deleteඔව් මධූ ඒකම තමා මන් ප.ලි. කියලා අරම කෑල්ලක් එකතු කලෙත්. දැන් ඔහොම දෙයක් උනා නම් මටත් TV එකේ ඉදලා මාර පබ්ලිසිටියක් දෙයි.
Deleteඔව් දිලිනි, හාමුදුරුවො ඔය සිද්ධියෙන් පස්සෙ මාත් එක්ක පුදුම විදියට එකතු උනා. A/L වලදි හාමුදුරුවි අපිට ඉගැන්නුවෙ නැතුවාට ශිෂ්‍ය නායක භාර අචාර්‍ය මණ්ඩලෙ හිටපු නිසා අපේ සම්බන්දෙ දිගටම තිබුනා.
Deleteඇත්තටම හාමුදුරුවො මේක දැක්කොත් සතුටු හිතෙයි.
ඇත්තටම ගුරුවරු අතර ඉන්නවා ගුරුහොරුත් ඒ නිසයි මේවගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ. ඇත්තටම අපේ ඩුඩ් අයියල, blue lotus වගේ උදවිය ගුරු සේවයේ අගය කල යුතු උදවිය කියලයි මම හිතන්නේ.
ReplyDeleteඇත්තම කතාව කෝරලේ, අතරින් පතර ඉන්න ගුරුහොරු නිසා තමා බහුතරයක් ගුරුවරු ගැරහුම් ලබන්නෙ.
Deleteඇත්තටම අපි ඩූඩ් අයියලා වගේ අයව අගය කල යුතුයි. මොකද ඒ වගේ ප්‍රතිපත්ති ගරුක ගුරුවරු අඩුයි.
ප්‍රියා ...bata කියන එක atab කියලද වැදුනෙ..අපිත් ගුටි කල තියෙනවා හොද පදමට..එකෙත් පොඩි ගතියක් තියෙනවා බං...
ReplyDeleteහපොයි දුහුවිලි පාර නම් ලස්සනට තිබුනා. මන් ඇස් වල කදුලු පුරවන් කණ අත ගගා හිටියා පැය භාගයක් විතරම. හි... හි...
Deleteඇත්තටම රජ වීදිය, ගුටි කෑමත් එවලෙ වේදනාත්මක උනාට පස්සෙ මතක්කරත්දිත් සනීපයක් දැනෙන ගුටි කෑමත් තියෙනවා. :-)
ප්‍රියාව කියවවන්න මම මේ ආවමද කොහෙද..මම මෙතෙක් කලක් හිතාන උන්නෙ බොලා ලියන කෙනෙක් නොවෙයි කියා...
ReplyDeleteකොහොම උනත් මේ කථාව අස්සෙ මගේ අතීතයත් මට මතක් වුනා...අපේ පන්තියෙ හිටිය 40 ඉදිරිපිට ගීතයක් කියාගන්න බැරුව හිටිය මට ඒ සබකෝලය නැති කරගන්න උදව් උනේ මම නියෝජනය කරපු තූර්ය වාදක ඛණ්ඩය...ඒ ඔස්සේ ඉදිරියට ගිහිල්ලා විද්‍යාලයේ සංගීත කණ්ඩායමත් නියෝජනය කරලා ගායනයෙන් සමස්ත ලංකා සහතිකත් අරගෙනයි එදා සිරා කොලුවා පස්ස බැලුවෙ...
මේ වගේ ගුරු දෙවිවරු අදත් ඉන්නවා...නගරාශ්‍රිතව අපි දකින්නෙ පොඩ්ඩක් උනාට ගම්බදව වැඩි වැඩියෙන් දකින්න පුලුවන්...ඒ හැමෝටම මේ කථාව උපහාරයක්ම වේවා...
මමත් අපේ ගුරුදෙවියෙක් ගැන වතාවක් ලිව්වා...මෙතැනින් ඒක කියවන්න
සාදරයෙන් පිලිගන්නවා සිරා සිතුවිල්ලට. දිගටම එන්න කියලත් ආරාධනා කරනවා.
Deleteඇත්තමටම බලත්දි මේ වගේ ගුරුදෙවිවරු නිසා ජීවිතේ ගොඩ දා ගත්ත කී දෙනෙක් නම් අපි අතර ඉනවද?.
ඒ අය නැත්නම් කැලේම පිපිලා කැලේම පරවෙන මල් කොච්චරක්ද?
ලිංක් එක දුන්නට ස්‍තූතියි මන් ඒක දැන්ම කියවන්නම්.
මටනම් මෙහෙම ගුරු දෙවි වරු හම්බ වෙලා නැහැ ප්‍රියා. අපේ ගුරු වරු කලෙ පොශ් ලමයින්ගෙ සපත්තු පිහදාලා දීලා එයාලව වේදිකාවට නග්ගපු එකයි.
ReplyDeleteඇත්ත සප්‍රි. ඇතම්ක් ගුරුවරු මුදල් මත තමාගෙ රැකියාවෙ ගෞරවයම පාවා දෙනවා
Deleteඅප්පට සිරි මාර ගුටි කැමක් නේ ..මම නම් පොල් පිති වලින්,කොසු ඉදල් වලින් කලා තියෙනවා එත් සෙරෙප්පු පාරක් තාම කලා නැනෙ ...මම මෙකෙ ආසම අපි පොඩි කලේ හීටපු විදිය කියන කොටසට .මාත් පොඩි කලේ හොටු පෙරාගෙන එවා කට දිගෙ එවා කලාත් ඇති ...එහෙම හිටපු පොරක් මෙහෙම් හැදුවෙ අපේ ගුරුවරු ..
ReplyDeleteඇත්තටම ඔව් සහෝ. අපිව හැදුවෙ අපෙ ගුරුවරු.
Delete