Showing posts with label ජීවන මග (Jeewana maga). Show all posts
Showing posts with label ජීවන මග (Jeewana maga). Show all posts

23 October, 2014

ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද?



බාත්රූම් එකකට යත්දි ගෙනියන බඩු භාණ්ඩ ගැන ඇහුවොත් මොන මොනවා මතක් වෙයිද? එක එක බඩු භාණ්ඩ ඇති. ඒත් ඉතිං මගෙනම් අත්‍යාවශ්‍යම භාණ්ඩය හෑන්ඩ් ෆෝන් එක.!! …… "නිවසෙන් පිට තැනක බාත්රූම් එකකට යනවා නම් ජංගමයා රැගෙන යාම" මම නම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ කෙටූ කාරණාවක්.

ඒ ඇයි කියන එකටත් ලොකූ නැති පොඩී නිධාන කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම කලින් වැඩ කරපු තැනදි. මම කලිනුත් කියලා තියෙනවා වගේ මේ ආයතනය ආනයන/ අපනයන භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක් නොවැ. ඉතිං ක්ෂේත්‍ර නිළධාරින් වෙච්චි අපිට වැඩ කරන්න උනෙත් අපේ සේවය ලබන එක එක ආයතන වල. බොහෝ දවස් වලට දිවාරාත්‍රී දෙකම වැඩ කරන්නත් උනා. ඇතම් දවස් වල රාත්‍රී සේවයත් කලයුතුයි කියා පණිවිඩය ලැබෙන්නෙ දවලුත් වැඩ කරලා හවස හයට විතර. අනේ ඒ වෙලාවට අපේ බොසා වෙච්චි පළාත් පාළක වරයාගේ මවුපියන්ට පිංදිදී අපි දිවාසේවය නිම කරලා එහෙම්ම රාත්‍රී සේවය කරන තැනට බඩගානවා. එහෙම යන බොහෝ තැන්වල අපිට පවිත්‍ර වීමට පහසුකම් සපයා තිබෙන අතර අපෙත් බෑග් වල කොයි වෙලෙත් පොඩි තුවායක් ආදී අත්‍යාවශ්‍ය දේ තියෙනවා.

ඉතිං මේ කියපු පිංවත් දවසේ මම දහවල එක තැනක වැඩ කරලා රෑ වැඩට ආවා අර කෙල්ලෙක්ගෙ සායට යටින් අත් දාලා ෆොටෝ ගත්තු දවසෙ ගිය මහබාගෙ කිට්ටු ආයතනයට. ඔය ආයතනය මම නිතර ආගිය තැනක් නිසාම ඕකෙ පිස්සො ටික මම පිස්සත් එක්ක හොදට ෆිට්. ඕකෙ වැඩ කරත්දි එක එකාට දිරච්ච ලණුදෙන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. මතකනෙ අර එකෙක්ව යවලා කෙල්ලෙක්ගෙන් වාජිකර්ණ ඉල්ලපු සීන් එක.!

කියන්න සතුටුයි පිංවතුනේ මේ කියන දවසෙ ලොතරැයි දිනුම ඇදුනෙ වෙන කාටවත්ම නෙමේ, ප්‍රියාට… අනේ ඉතිං මමත් රාත්‍රීසේවයට වාර්ථා කොරලා ප්‍රඩක්ෂන් රූම් එකෙත් පැයක් හමාරක් රවුම් ගහලා මුහුණ එහෙම හෝදන් අර පිස්සො සෙට් එකත් එක්කම රෑ 8ට විතර කෑමත් කාලා ආයෙත් ටිකක් වෙලා ප්‍රඩක්ෂන් චෙක් කරලා හිටියා.

එදා දවසෙ ඔය ආයතනයෙ සේවය කරපු මණ්ඩලේ කචල් උනු කාර්‍ය මණ්ඩලය ටිකක් බිසී නිසත් මට ක‍රන්න තරම් වැඩක් එදා නොතිබුන නිසත් උදේ ඉදන් වැඩ කරලා මහන්සියට ගියා පොඩ්ඩක් නාගන්න බාත්රූම් එකට. මේ බාත්රූම් එක ටිකක් ඈතට වෙන්නයි තියෙන්නෙ. අරුන් ටික බිසී නිසා උන්ටත් නොකියා, මගේ හෑන්ඩ් ෆෝන් එකත් චාජරේට ගහලා මම ගියා දියකෙළියට.

අනේ මගේ කරුමෙට ඒ දියකෙළිය, මළකෙළියක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ ඕන්!. මමත් නාගෙන ඇඟපතත් පිහදගෙන දවල් ඇදන් හිටපු ඇඳුම් ටිකම ආයෙ ඇදගෙන (දහඬිය ඇදුම් තමා ඉතිං, මක් කරන්නද) අනේ එළියට එන්න බලත්දි කියන්න සංතෝෂයි සහෝදරවරුනි, මටත් වැඩේ සිද්ධ වෙලා.…… ඔව් ඔව් මොකෙක් හරි යකෙක් බාත්රූම් එක එළියෙන් ලොක් කරලා.

මටත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඇතිබව මගේ බොක්කට දැනෙත්දි විණාඩි දහයක් පමණ සිංහනාද කරමින් "දොර ඇරපන් යකෝ!" කියමින් කෑගැසුවත් සිංහනාදය බලුකෙඳිරියක් වීමට කලින් මම නිශ්ෂබ්ද උනේ මගෙ මියුරු හඬ ඇසෙන මානෙ එකෙක් තියා යකෙක් වත් නොවූ බව මගේ ටිකිරි මොලේට වැටහුන නිසයි.

අනේ ඊට පස්සෙ මක්කරන්නද?? නැව ගිළුනත් ගැට්ටෙ බජවු කියලා මාත් මට නෙමේ වගේ අයිනට වෙන්න තියෙන කොමඩ් එක උඩ වාඩි වෙලා පොඩීම පොඩියට නින්දෙයි සුවනින්දෙයි වෙනස හෙවුවා…!!

කොහොමින් කොහොම හරි දවසම බිසී වෙලා පස්ස කැඩිච්ච කඩියො රැල වගෙ හිටපු අරුන් ටිකට ඉස්පාවුවක් ලැබිලා තියෙන්නෙ රෑ 12ට කිට්ටුවෙත්දි. ඉතිං ඒ වෙලාවට එන පොඩි බඩගින්නට මොනාහරි බඩට දාගමු කියලා සෙට් වෙත්දි තමා උන්ට මම අතුරුදහන් නේද කියලා මීටර් වෙලා තියෙන්නෙ.… අනේ අපරාදෙ කියන්න කෂ්ටිය සික්කො ටිකත් කැඳවලා හැම අස්සක් මුල්ලක් ගානෙම හොයලා අන්තිමේ මහා මෙහෙයුමක් කරලා මාව බාත්රූම් එකෙන් මුදා ගත්දිත් මම මදි නොකියන්න නිදි.

ඒත් ඉතිං ඔය මහා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරපු උන් අතරෙ මේ අවලම් වැඩේ කරපු එකා හිටියා කියන එක හෙටත් ඉර පායනවා වගේ විශ්වාසෙන් දැනන් හිටියත් ඌව හොයා ගන්න එක නිධානයක් හොයා ගන්නවට වඩා අමාරු බව දන්න නිසාම වැඩේ අතහැරලා දැම්මා.………

කොහොම උනත් එදායින් පස්සෙ නම් මම ගෙදරින් පිට කොහෙ බාත්රූම් එකකට ගියත් හෑන්ඩ් ෆෝන් එක ගෙනියන්න නම් අමතක කරන්නෑ………………… අහවල් දේකට නෙමේ බොලවු අර වගේ වැඩක් උනොත් එළියෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දෙන්න…!!!.




© ප්‍රියා. [22/10/2014]

(පින්තූරයට ස්තූතිය……
www.fnbworld.com / www.numbertwoguide.com)

08 July, 2014

ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?


ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශ‍රීරගත වී ඇත‍යි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…

කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…

පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……

එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.

තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.

කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…

තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හ‍රක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.

28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එ‍ය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් ක‍ර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල ‍යුතුය.

එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.

මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.

"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි ති‍යන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………

පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.

© ප්‍රියා. {07/07/2014}

(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)

09 February, 2014

ෆාමසියේ නංගි කෙල්ල……!!!



මම කලින් වැඩ කරපු ආයතනයෙ වෙච්ච පොඩි කතාවක් ලියලා දාන්න හිතුනා. එතන හිටපු මට අදටත් මතක් වෙත්දිත් හිනා ගියාට මේක කියවලා හිනා ගියේ නෑ කියලා මට බනින්නෙ එහෙම නෑ ඕන්.

ඔන්න එකෝමත් එක රටක නෙමේ ලංකාවෙම තමා. මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රියා රැකියාව කලා නොවැ තත්ව සහතික නිකුත් කරන ආයතනයක. ඉතින් කලිනුත් කියලා තියෙනවා වගේ මගේ පින්මහිමය ප්‍රභල නිසාම මට කරගහන්න උනේම නයිටට. (නයිට යනු රාත්‍රී සේවය මිස නයිටිය නොවේය. හිකස්…) හැබැයි ඉතින් නයිට නිසාම අර සාය යටින් අත් දාලා ෆොටෝ ගහන එක වගේ අත්දැකීමුත් ලැබුවා නොවැ.

වටේ ගියා ඇති දැන් කතාවට එමුකො. මම ඔය කලිනුත් කතා දෙක තුනකම කියපු අර මහබාගෙ කිට්ටු ආයතනයෙ වැඩ කරපු රාත්‍රියක්. ඒකෙ රාත්‍රි සේවය කරත්දි මුරකරුවන්, නිශ්පාදන සේවකයින් හැරුනම ආයතනයෙ සුපවයිසර්වරු දෙදෙනෙක්, ආයතනික තත්ව පරීක්ෂකවරයෙක් සමග තමා මට වැඩ කරන්න වෙන්නෙ. ඔන්න ඉතින් අදාල දවසෙ වැඩ කරපු නසරානියො ටික කියනවා නම් එක සුපර්වයිසර් වරයෙක් අවුරුදු 35ක විතර ඔය පැත්තෙම එකෙක් අපි මෑන්ට සුනිමල් කියමු. අනෙක් සුපර්වයිසර් අවුරුදු 21ක විතර පොළොන්නරුව පැත්තෙ කොල්ලෙක් ඌට ජගත් කියමුකො. තත්ව පරීක්ෂක පෑලියගොඩ පැත්තෙ බුවෙක්. අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කසුන්ම තමා. අපි මෑන්ට කසුන් කියලම කියමු.

ඔය රාත්‍රී සේවය කරත්දි අපේ පුරුද්දක් තිබුනා සල්ලි දාලා කඩෙන් රෑ 8.30ට විතර කොත්තු, රයිස් එහෙම ගෙනත් තියන් ඉදලා යක්කු ගස් නගින වෙලාවට යක්කුත් එක්ක බෙදාගෙන කනවා. (ගෙදරින් ගෙනියන කෑමට අතරව) බඩජහරි කමට නෙමේ බොලවු බඩගින්නට… බඩගින්නට…


ඔය කඩේ යන වැඩේට හැමදාම වගේ සෙට්වෙන්නෙ ජගත් තමා මොකද ඌට බයික් එකක් නැති නිසා මෑන් හරි ආසයි බයික් පදින්න. කොල්ලාගෙ ආසාවනෙ කියලා අපිත් ඌටම වැඩේ භාර දීලා ශේප් වෙනවා.

ඔන්න ඔය කියපු දවසෙ සල්ලිත් අරන් යන්න ලෑස්ති වෙත්දිම කසුන් කොලයක් කුරුටු ගාලා මුගේ අතට දුන්නා.

"ජගත්, මේ බෙහෙත එන ගමන් ෆාමසියෙන් ගෙනෙන්. ඉන්න බෑ උදේ ඉදන් බඩ රිදෙනවා බං.…"

"පිස්සුද බං? මේ වෙලාවට කොහෙද ෆාමසි? අනික ඩොකෙක් සයින් නොකර බෙහෙත් දෙනවද බං?"

"පිස්සු කෙළින්න එපා යකෝ. අර ****යට එහා පැත්තෙ ෆාමසිය රෑ නමය වෙනකම් ඇරලා. අනික ඒකෙ චිට් එක අවුලක් නෑ."

"කෝ… දියන් එහෙනම්…"

ජගතා ඉතින් සල්ලියි චිට් එකයි අරන් ඉගිලුනා. මෙච්චර වෙලාවක් බඩ අල්ලන් ශිල්ප පෙන්නපු කසුන් මෙන්න මෙලෝ ගානක් නැතුව අපි දෙන්නත් එක්ක හිනා වෙවී කතාව. මූට ඉහෙන් බහින රෝගයක් නෑ කියලා තේරුනත් අපිටත් ගානක් උනේ නෑ.

කොහොම හරි විනාඩි විස්සකින් විතර ජගත් ආයෙ එනවා ඈත තියා දැකපු ගමන්ම කසුන් ආයෙ බඩ අල්ල ගත්තා.

"හම්මේ ඉන්න බෑ බං.… මම යනවා… මම යනවා…" මූ වැසිකිළිය පැත්තට දිවුවෙ අඩියට දෙකට. ඒත් එක්කම ජගතුත් එතනට ආවා. ඒත් උගෙ මූණ දැකපු ගමන් අපට තේරුනා මොකක් හරි අවුලක් බව.

"කෝ අරූ?……"

"ඌ අමාරු වෙලා ටොයිලට් එකට දිවුවා බං."

"ඕකා ආපුදෙන්කො ගලාආඳා. ඕකෙ පදිංචි වෙන්න නෙමේනෙ."

"තොට මොන යකෙක් වැහිලද යකෝ ඌව ම‍රන් කන්න හදන්නෙ?"

"ඕකාද? ඕකා කරපු සක්කිලි වැඩේ උඹලා දෙන්නා දන්නෑ."

අනේ ඉතින් එතන ඉදන් දිග හැරෙන්නෙ ජගත්ගෙ වචන වලින්ම උගේ කඳුලු කතාවයි. හිකස්…

………………………………………

""""මම ගිහින් චිට් එක දුන්නා ෆාමසියෙ නංගි කෑල්ලට. ඒකි නිකන් අප්‍රසන්න බැල්මක් දාලා

"සොරි, මේ බ්‍රෑන්ඩ් එක නෑ. වෙන එකක් දෙන්නද" ඇහුවා බිම බලාගෙනම. මාත් ගොනා වගේ කිවුවා
"එපා නංගි දැන්නම් ටොයිලට් එකට යනවා එනවා විතරයි. ඔය වෙනස් ඒවා බීලා ටොයිලට් එකේ නතර වෙලාම ඉන්න වෙයි" කියලා හිනා වෙලාම. මෙන්න මේකි කටත් ඇරන් මයෙ දිහා බලා ඉදලා ගස්සගෙන ඇතුලට ගියා. ගිහින් එක්කගෙන ආවා හෙන දාර සයිස් බුවෙක් මූත් ඇහුවා මගෙ වෙන බ්‍රෑන්ඩ් එකක් දෙන්නද කියලා

"එපා අයියෙ, බඩේඅමාරුව මදිවට තව ලෙඩක් හැදුනොත්?"

"මල්ලි, මේ බෙහෙත කාටද?"

"මයෙ යහළුවෙක්ට. ඌට හොදටම බඩේ අමාරුව." කියපු ගමන් උන් දෙන්නා හැක හැක ගගා හිනා වෙන්න තියා ගත්තා. ඒ නංගි කෑල්ල හිනා වෙන ගමන් මහ කින්ඩි බැල්මක් දාලා ඇතුලට ගියා. ඊට පස්සෙ අරූ තමා මාට මේ ‍රෙද්දෙ විස්තරේ කියලා දුන්නෙ.
යකො මට වෙච්ච ලැජ්ජාව…මට පොලොව පලන් යන්න හිතුනා බං… උන් දෙන්නා මම මුකුත් නොදන්න බබෙක්ගෙ ගානට දාලා හැසුරුනේ.
අර මූසලයා ආපුදෙන්කො එළියට……""""

………………………………………

උගේ ඇඬියාව ඉවරවෙලත් මෑන් තාමත් දත්මිටි කනවා. අපි දෙන්නට කතාව තාමත් ග්‍රීක් වගේ මෙලෝ හසරක් තේරෙන්නෑ.

"කෝ දියන් බලන්න ඔය රෙද්ද……" මම උගෙ අතේ තිබ්බ චිට් එක උදුරන් බලත්දිම සුනිමලුත් ඒකට එබුනා. අන්න එතකොට තමා තොරණෙ කතන්දරේ අපි දෙන්නට පෙනුනෙ. හි… හි… ඒ චිට් එකේ ලියලා තිබුනෙ……………

// CUP** //

ප.ලි. ~~ කසුන් ලියා දී ඇත්තේ සුප්‍රසිද්ධ 'ලිංගික උත්තේජක ඕෂධයකි'. (එම ඕෂධයට ප්‍රචාරණයක් ලබාදීමේ අකමැත්ත නිසාම එහි නමේ කොටසක් පමණක් සඳහන් කරමි. -- දන්නෝ දනිති.)

ප.ප.ලි. ~~ කසුන් දරුවා මගෙ නොවෙද? කතාවටත් සම්බන්ද නිසාම ඔහුගේ අනන්‍යතාවය සැඟවීමේ අරමුණෙන් මා හැර අන් සියළු චරිත වල අනන්‍යතාවය සැඟවීමට සිදුවූ බව කරුණාවෙන් සළකන්න.

(පින්තූරයට ස්තූතිය……
http://www.healthenclave.com)


© ප්‍රියා.

22 December, 2013

කොට සායයි… හුරතලයයි… හරි අවදානම්……


අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.

අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට තියෙන්නෙ එද සිදුවීමට විරුද්ධව පියවරක් ගැනීමට නොහැකි වීම පිලිබද කණගාටුවකි.

මේක වෙලා දැනට අවුරුදු තුන හතරක් ඇති. ඒ දවස් වල මම වැඩ කලේ අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කියපු තත්ව සහතික දෙන ආයතනයෙයි. දවසක් රාත්‍රී සෙවා මුරයට මීගමු පාරෙ මහබාගෙ කිට්ටුව යම් ආයතනයකට යාමට ආවා 187 (ගුවන්තොටුපල-කොටුව) බසයට නැගීමට අලුත් පාලම උඩට. ඔය පාරෙ යන ඇත්තො දන්නවා නොවැ හවස 5.30ට 6.00ට 187 බස් වල හිරවෙලා තෙරපිලා යත්දි තියෙන සනීපෙ.

ඉතිං එදා අලුත් පාලම උඩින් මාත් සමග සෑහෙන සෙනඟක් බසයට නැගගත්තා ඒ අතර හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක්. අනේ පවු හරි දුප්පත් දැරිවියක්. කොයි තරම් දුප්පත්ද කියනවා නම් අවුරුදු 11හ 12කාලෙ ඇදපු සාය කෑල්ලක් ඇදන් ඇවිත්. ඉතිං දෙවියනේ මේක දණිස්සටත් අඟල් ගානක් කොටයි (දැන් අහන්න එපා ඒක මම මැන්නද කියලා. හික්…).

ඒ ගෑණු දැරිවි හිට ගත්තෙ 'පූජ්‍ය පක්ෂයට' වෙන් කර ඇති ආසනය ලගින්මයි. මම හිටියෙ ඇයට දකුණු පසින් ඊලගට. ඒ පූජ්‍ය පක්ෂයෙ ආසනයෙ ඒ වෙලාවෙ හිටියෙ පිරිමි දෙන්නෙක්. ජනේලෙ අයිනෙ එකා නින්දෙයි සැප නින්දෙයි වෙනස තෝරනවා. අනිත් මනුස්සයා අරමුණක් නැතිව ෆෝන් එකක් තියන් ඔහේ ඔබනවා. ගේම් ස්ටාර්ට් කරනවා, කැමරා ඔන් කරනවා, කැලැණ්ඩරේ අරන් දින ගනිනවා එක විකාරයයි (අපි අනුන්ගෙ ෆෝන් දිහා හොරෙන් බලන්නෑ බොලවු. අපිට පේන ඒවා පේන ඒවා).

ටිකක් දුරක් යත්දි අර දැරිවිත් හිටගෙනම ෆෝන් එක කණේ ඔබා ගත්තා. දැන් ඉතිං මෙලෝ සිහියක් නෑ කඩනවා කඩනවා. කඩන මල් බස් එක පුරා විසිරෙනවා. බස් එක ඔලියමුල්ල හරියට ලං උනා වෙත්දි අර ෆෝන් එක ඔබන මෑන් අර කෙල්ලගෙ කකුල් දෙක මැද්දට අත තියලා උඩ පැත්තට හරවලා ගත්තා ෆොටෝ එකක් !!. මෑන්ගෙ කරුම වෙලාවට ෆෝන් එකේ කැමරා සවුන්ඩ් එක විතරක් නෙමේ ෆ්ලෑෂරේ පවා ඔන් කරලා.

ඒ තත්පර ගානට කැමරා සවුන්ඩ් එකයි ෆ්ලෑෂරෙයි විතරක්‍‍යෑ සෙනග පිරිච්ච බස් එකේ කකුල් දෙක ඈත් කරන් හිටන් හිටපු ඒ කෙල්ලගෙ කකුල් දෙක මැදට අත තියලා ඌ ෆෝන් එක කොකා ගස්සන එකත් ඔක්කොම මම දැක්කා. ඒත් ඒ කෙල්ල මෙලෝ සිහියක් නැතුව තාමත් මල් කඩ කඩ විසික් කරනවා.

ෆොටෝ එක ගත්තත් කැමරා සවුන්ඩ් එක නිසා මෑන් බය වෙලා වගේ වටපිට බලත්දි පිටිපැස්සෙ හිටපු මං කට ඇරන් පුදුමෙන් බලන් ඉන්නවා දැක්කා. ඇත්තටම වෙච්ච දේ හිතා ගන්න බැරුව හොල්මන් වෙලා හිටපු මම පියවි සිහියට එත්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔටෝ සේව් ඕෆ් කරලා තිබුන ෆෝන් එකේ ෆොටෝ එක සේව් යස් නෝ කියලා අහලා තියෙත්දි නෝ කරලා ‍රෙඩ් බටන් එකත් ඔබලා දැම්මා.

එතනින් එහාට කවර කතාද? මම මේක ගැන අනිත් උන්ටත් කියලා මූට හොම්බට දෙකක් ඇන්නත් මම කොහොමද ඒක ඔප්පු කරන්නෙ??! ඒ කෙල්ලගෙන් ඇහුවත් නියත වශයෙන්ම ඇය ගත් කටටම "නෑ එහෙම දෙයක් උනේ නෑ." කියනු ඇත. එවිට ඇතම් විට විත්තිකරු නිදොස් වී පැමිණිල්ල වූ මට එල්ලුම් ගහේ දළු කැඩීමට සිදුවනු ඇත.

කොහොම හරි මගේ රැවීමෙන් පස්සෙ මෑන් උතුර දකුණ මාරුවෙලා වගේ ඊලග හෝල්ට් එකෙන්ම බැහැලා ගියා. තමා කරපු වැඩේ දැකපු එකෙක් හරි බස් එකේ ඉත්දි බස් එකේ ඉන්න එක භයානකයි කියලා මෑන්ට හිතෙන්න ඇති. හප්පේ ඉතිං බස් එකේ මෙච්චර තමන්ගෙ කකුල් දෙක මැද්දෙම වෙලත් අර ගෑණු දැරිවි ඒ කිසිම දෙයක් නොදැන අර තමා ඉස්සරහා හිස් වෙච්ච ආසනේට බර වෙලා මල් කඩලා කඩලා දැන් පොහොට්ටුත් කඩනවා.

දැන් මේක කියවලා අපේ බ්ලොග් අවකාශෙ ගෑණු ලමයි කඩු කිණිසි අරන් මට 'පුරුෂෝත්තම වාදියා' කියලා බනින්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න. (ඊට පස්සෙ ඕනම නම් බනින්න.)

ඇත්තෙන්ම ගෑණූ දැ‍රිවියො කොටට ඇදීම පිලිබදව මගේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද අන් අයට හිරිහැරයක් නොවන පරිදි තමා කැමති ඇදුමක් ඇදීමට විලාසිතාවක් කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතුය. ඔසරිය ඇදීමට සේම කොට සාය ඇදීමටද කාන්තාවකට හිමිකමක් ඇත. නමුත් ගැටළුව ඇත්තෙ අප සමාජයේ ඇතම් පිරිමින්ට තාමත් දණහිසට තරමක් උඩින් පෙනෙන් කකුලත් ගෙලට මදක් පහලින් පෙනෙන පපුවත් මහා 'පුදුමාකාර' දේවල්‍‍ය. කොටින්ම කියනවානම් ඒ අසහන කාරයන්ට නිරුවත යනු මහා 'මැජික්' එකකි.

එවන් පිරිමින් මධ්‍යයේ වුවද ඔබට අවශ්‍යම නම් කොටට ඇන්දාට කම් නැත. නමුත් ඔබගේ ආත්ම ගෞරවය බිලි ගැනීමට මාන බලන පුද්ගලයින් හමුවේ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. කිමද මා දුටුවා වැනි සිදුවීම් අනන්තවත් සිදුවිය හැක. බොහෝ විට ඒ ජායාරූප නවතින්නෙ අන්තර්ජාලයේ විය හැක. අවසන් ප්‍රථිපලය ඔබගේ ජීවන සහකරුට පමණක් හිමි ඔහු පමණක් දැකිය යුතු බොහෝ දේ ඔබද නොදැනුවත්ව ලොවින් අඩක්ම නැරඹීමයි.

ඔබට රටේ ලෝකෙ සිටින සියලුම පිරිමින් සිතන ආකාරය වෙනස් කිරීමටවත් ඔහුන්ගේ අසහනය සමනය කි‍රීමටවත් නොහැක. නමුත් ඔබේ ආත්ම ගෞරවය රැකගැනීමට ඔබ දැන ගත යුතුය. එය සදහා ඔබ ඕනෑම ස්ථානයකදී අවධානයෙන් සිටිය යුතුය.

මා මුලින් කොට සාය විවේචනය කල නිසාවෙන් ඔබ තාමත් මා 'පුරුෂෝත්තමවාදියෙක්' ලෙස සිතා සිටිනවා නම් මා මෙයට පෙර ලියූ කොන් වුන කොන්දොස්තර'වරිය' කි‍යවන්න. මා පුරුෂෝත්තමවාදියෙක්වත් කාන්තාවාදියෙක් වත් නොව. නමුත් මාද මාව දහසකුත් දුක් විඳ හදාවඩාගත් මවකගේ පුතෙකි, සහෝදරියන් දෙදෙනෙකුගේ සහෝදරයෙකි, ආදරණීය බිරිඳකගේ සැමියෙකි, හුරතල් දියණියකගේ පියෙකි, මිතුරියන් රැසක් සිටින මිතු‍රෙකි. මෙය කියවන ඔබ සැමද මා අදහන පරිදි මාගේ මිතුරු මිතුරියන්ය. මෙය ලීවේ ඔබ සැම දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.

අවසන් වශයෙන් කීමට ඇත්තෙ මෙපමණකි. මා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙකු නොවේ ඔබ ඔබට කැමතිනම් කොටට ඇන්දත් දිගට ඇන්දත් ප්‍රශ්ණයක් නැත. එය ඔබට ඇති හිමිකමකි. එයට කිසිදු තර්කයක් නැත. නමුත් කරුණාක‍ර ඔබ කුමන ආකරයේ ඇඳුමක් ඇන්දත් ඔබේ වටපිටාව පිලිබදව අවධානයෙන් පසු වන්න. කිමද 'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය'.

(පින්තූරය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)

© ප්‍රියා.

17 November, 2013

මම කාපු සෙරෙප්පු පාර...


(වාසනාවට 'ඇත්ත' කතාවක්)

ලියන්න කියලා හිතන් හිටපු කතා දෙක තුනක්ම තියෙත්දි මේ කතාව ලියන්න හිතුවෙ පසුගිය දිනක උන සිදුවීමක් නිසයි.

ඒ තමයි අර 'ගුරුවරියක් ශිෂ්‍යයකුගෙ එකම කලිසම කපා දැමීම'. මේ සිදුවීම විවිධ කෝණ වලින් අල්ලා ගත් පිරිස විවිධ කතිකාවන් ගොඩ නැගුවත් සැබෑ තො‍රතුරු නැතිව මේ දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකවත් පැත්තක් මට නොහැකිය. නමුත් මේ ශිෂ්‍යයාගේ මානසික, සාමාජීය, ආර්ථික තත්වය හදුනා නොගෙන ඇය තම සීමාව ඉක්මවා ගියාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා. ඒත් ඒ වෙච්ච සිද්ධිය හරියට නොදන්න නිසා ඒ කතාව එතනින් නිමි! ;-)

අද මන් කියන්න යන්නෙ මටම උන මගේ අත්දැකීමක්. මුලින්ම මන් කතාවට මෙහෙම එන්නම්.

'ප්‍රියා' ඒ කියන්නෙ මම ඉපදිලා ඔන්න පාසල් දාන කාලෙට ආවම ඔන්න මාව හා හා පුරා කියලා දානවා වත්තල තෙළගපාත 'රත්නපාල' පාසලට. ඒත් අවුරුදු දෙකකට පස්සෙ අපේ ගෙවල් මාරු කරනවා දළුගමින් දෙල්ගොඩ උඩුපිලට. අන්න එතකොට තුන වසරෙ ඉදන් මාව දානවා උඩුපිල කම්මල්වත්ත 'රාජසිංහ ප්‍රාථමික විද්‍යාලයට'. ඒකෙන් 6 වසර්ට එනවා 'දරණගම මහ විද්‍යාලයට' (නෑ නෑ බොලවු ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙමේ. මම ශිෂ්‍යත්වෙ ෆේල්. :-) ) රාජසිංහෙ එකේ ඉදන් පහ වෙනකම් විතරයි පන්ති තියෙන්නෙ ඒකයි දරණගමට ආවේ.

කොහොමින් කොහොම හරි දරණගම විද්‍යාලෙත් එකම අවුරුද්දයි ඉගෙන ගත්‍තෙ හත වසරට පාස් උන ගමන් උඩුපිල ගේ විකුණලා ආයෙත් අපේ ගම් පළාත වෙච්චි කැළණිය දළුගමටම පදිංචියට එනවා. ඊට පස්සෙ මාව උස්සන් ඇවිල්ලා දානවා හත වසරෙ මුල ඉදන් කැළණිය තොරණ හංදියෙ "වෙදමුල්ල මහා විද්‍යාලයට." එහෙම බැලුවම මන් පාසල් හතරක ඉගෙන ගෙන තියෙනවා. ඒ පාසල් හතරම දුප්පත් පොඩි පාසල්. ඒ පාසල් හතරටම මන් ගරු කරනවා.

ඒත් වෙදමුල්ලත් එක්ක මගේ විශේෂිත බැදීමක් තියෙනවා. මොකද මට තේරෙන කාලෙදි මන් හැදුනෙ වැඩුනෙ ඒ පාසලත් එක්ක. මගෙ ජීවිතේට හුගක් දේවල් එකතු කලේ වෙදමුල්ල (ඔව් ඔව් ප්‍රියම්භිකාවත් සෙට් උනේ පාසලෙන්ම තමා. :-D ). ඇත්තෙන්ම කියනවනම් වෙදමුල්ල තමා මගෙ දෙවනි අම්මා වුනේ.

වටේ ගියා ඇති මන් කතාවට එන්නම්කො. හත වසරෙදි ඉස්කෝලෙට ආවට මොකද මන් ඇත්‍තටම ඒ වෙත්දි හරිම පසුගාමී චරිතයක්. සබකෝලය කියන එක උපරිමයි, පාසල් පැමිණීම අන්‍තිමයි, අපිරිසිදු කම ඉහලයි, ඉගෙනීම අජූතයි. කොටින්ම මම පංතියෙ මුල්ලකට වෙලා ඉන්න කොන් උන චරිතයක්. මන් එක්ක කතාවත් කලේ එකම එකයි. ඒ ඌත් මන් වගේම එකෙක් නිසා.

කොහොමින් කොහොම හරි ඔන්න දැන් මම 10 වසරෙ. අවුරුද්ද මුල අපේ පාසලේ කලා උත්සවයක් සංවිධානය වෙනවා 'වසත් සර වැනුම්' කියලා ඔය උත්සවේ සංවිධාන මණ්ඩලේ හිටපු 'කැළණියේ අමිතසිරි' කියන හාමුදුරුවන්ම තමා අපිට බුද්ධ ධර්මයයි සිංහලයි ඉගැන්නුවෙත්. ඔන්න දවසක් හාමුදුරුවො අපේ පංතියෙන් උත්සවයට සමගාමීව පැවැත්වෙන තරග සදහා නම් ගන්නවා. විවිධ තරග සදහා විවිධ අයව ගන්න අතරෙ හාමුදුරුවො ටිකක් වෙලා මගෙ දිහා බලන් ඉදලා "චතුරංග නිවේදන වලට ඉන්න." කිවුවා විතරයි මාව හත් පාරක් කරකවලා තුන් පාරක් ටොකු ඇන්නා වගේ උනා. ගත් කටටම මන් කිවුවෙ "බෑ" කියලා. ඒත් තුන් හතර පාරක්ම හාමුදුරුවො හොදින් කිවුවත් තරගෙට ඉන්න කියලා මගේ පව බලවත් නිසා මාත් එළුවා වගේ බෑම කිය කියා හිටියා. ඔය අතරෙ හාමුදුරුවො වෙන වැඩක්ට විදුහල්පති කාර්‍යයාලයට වැඩම කරලා විනාඩි 15 කින් විතර ආයෙ වැඩියා. ඒ ගමන් ආයෙ ඇහුවෙ අර ප්‍රශ්ණෙමයි. මහෙත් නොසැලුන උත්තරේ ඒකමයි.

හාමුදුරුවන්ටත් උපරිම කේන්තියි. එදා මගේ කරුමෙට අපෙ පංතියෙ කොල්ලෙක් තුවාලයක් නිසා දාන් ඇවිත් තිබුනෙ 'බාටා' සෙරෙප්පු දෙකක්. ඒකත් දුහුවිල්ලෙන් පිරිලා හරි ප්‍රියමනාප විදියටයි තිබුනෙ. හාමුදුරුවො ඌට සෙරෙප්පුව ගලවන්න කියලා එක පාරටම ඒ එක බාටා එකක් අරන් දුන්නැත්ද මට ඒකෙන්ම කණේ පාරක් !!.

සෙරෙප්පු පාර කාගෙනම ඇස් දෙකෙ කඳුලු පුරෝගෙන මන් වාඩි උනා. හිතා ගන්න පුළුවන්නෙ තිස් ගානක පිරිසක් ඉදිරියෙ සෙරෙප්පු පාරක් කෑවම තියෙන සනීපෙ. කොහොම හරි මට ගහලා හාමුදුරුවො බලෙන්ම මගෙ නම ලිස්ට් එකට දැම්මා. දවස් දෙකකට පස්සෙ තරගෙ. මන් දන්නෑ මටත් සෙරෙප්පු පාරත් එක්ක හාමුදුරුවොත් එක්ක කේන්තියකුත් එක්ක අමුතුම ගටක් ආවෙ. පුළුවන් තරම් පුරුදුවෙලා ගියා තරගෙට. විශ්වාස කරන්න පුළුවන්ද සබකෝලෙන් පිරිච්ච කොල්ලෙක් නිවේදන තරගෙකින් 'පලවෙනියා' වෙත්දි. ඒත් එක උනා. තරගෙ ප්‍රථිපල ආවට පස්සෙ හාමුදුරුවො මගෙන් ඇහුවා කීවෙනියද කියලා. මන් පලවෙනියා කියත්දි උන්වහන්සෙ හිනා වුනා. එවලෙ මගේ හිතේ ඇතිඋන හැගීම මටම හිතා ගන්න බෑ. ඊට පස්සෙ මම ම නම දාලා 'කෙටි කතා' තරගෙටත් හිටියා ඒකෙනුත් දෙවනි ස්ථානය හම්බ උනා. නිවේදන අංශෙන් පලවෙනියා උන නිසා 'වසත් සර වැනුම්' උත්සවේ නිවේදනය කරන්නත් මාව තෝර ගත්තා.

ඇත්තටම කියනවානම් ඒ සෙරප්පු පාර පුදුමාකාර විදියට ධනාත්මක පැත්තට මාව වෙනස් කලා. මම පුදුමාකාර විදියට සමාජශීලී උනා. පංතියෙ කොන් වෙලා හිටපු මන් යහළුවො ගොඩක් ආශ්‍රය කරන්න ගත්තා. අපි ඇති තරම් පිස්සු නැටුවා, ඉගෙන ගත්තා. මගෙ ජීවිතේ පිලිවෙලක් වෙන්න ගත්තා ඒ වෙත්දි පාසලේ සියලු උත්සව වල නිත්‍ය නිවේදකයා උනේ මම. පාඩම් වැඩ වලටත් උනන්දු උනා. සාමාන්‍ය පෙළ සමත් උනා. අපේ පාසලේ තියෙන්නෙ කළා, වාණිජ අංශ දෙක පමණයි. මාත් වාණිජ අංශය තෝ‍රන් අපේ පාසලේම හිටියා.

10 වසර වෙනකම් මුල්ලක හැංගිලා හිටපු මම ඒ වෙත්දි පාසලේ ජනප්‍රියම චරිතයක්. ශිෂ්‍ය නායකයෙක් වෙලා අන්තිමට 'ප්‍රධාන ශිෂ්‍ය නායක' කම පවා ලැබුනා.

ඇත්තෙන්ම මට කියන්න ඕන උනේ මෙච්චරයි. සබකෝලයෙන් පිරුන කොලු භාෂාවෙන් කියනවනම් 'හිපාටු' චරිතයක් වෙච්ච මං යම් තරමක් හෝ අළු ගසා නැගිටලා ඉගෙනගෙන මෙහෙම ජීවත් වෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සෙරෙප්පු පහර නිසයි.

ගුරුවරයෙක් වශයෙන් උන් වහන්සේ මගේ දුර්වලතා සහ දක්ෂතා හදුනාගෙන ඒ දක්ෂතා එළියට ගන්න උපාය මාර්ගිකව බෙහෙත් කලා. ඒත් ඔය න්‍යාය හැම ගුරුවරයටම් හැම ශිෂ්‍යායාටම හැම අවස්තාවෙම නොගැලපෙන බවත් මතක තබා ගත යුතු‍යි. ඒ වගේම තමා අපෙ අම්මලා ඔය සෙරෙප්පු කතාව දැන ගත්තෙත් මන් පාසලෙන් අස් උනාටත් පස්සෙයි.

මම දැනටත් සමාජයෙ පොඩිම පොඩි චරිතයක්. සාමාන්‍ය පෞද්ගලික ආයතනයක වැඩ පරික්ෂක වරයෙක්. ඒත් අම්මා තාත්තාටත් පුළුවන් විදියට සලකන් පරස්සාවකුත් කරන් දරුවෙකුත් හදාන් කාටත් ණයක් නැතුව කාටත් අත නොපා සමාජයෙ ඔලුව කෙලින් තියන් ජීවත් වෙන්නෙ එකම චරිතයක් නිසා. ඒ තමයි "කැළණියේ අමිතසිරි" හිමි. කොටින්ම එදා උන්වහන්සේගෙ සෙරෙප්පු පාර නොවන්නට අද මේ බ්ලොග් අවකාශයේ 'ප්‍රියා' කෙනෙකුද නැත.

'කැළණියේ අමිතසිරි' හිමි වැනි ගුරුවරු තව දහස් ගුරුවරු මේ පොළව මත සිටී. තම ගෝලයන්ගේ දෑස් පෑදීමට කැපවන 'කැළණියේ අමිතසිරි' හිමි වැනි සියළුම ගුරුවරුන්ට මේ සටහන පූජෝපහාරයක් වේවා!!.

ප. ලි. ~~
දැන් ඉතිං අපේ මානව හිමිකම් ක්‍රියාකාරීන් 'කැළණියේ අමිතසිරි' හිමිව හොයන් ගිහින් මේ මේ කාලෙදි මේ ළමයට සෙරෙප්පුවන් ගහලා 'අපයෝජන‍යට' ලක් කලා කියලා නඩු එහෙම දානවා නෙමේ ඕන්.

ප. ප. ලි. ~~
මෙය කියවන ශිෂ්‍යයෙකු වෙතොත් මේ කතව ආදර්ශයට ගනිත්වා!
සියළු 'ගුරුදෙවිවරුන්ට' මේ සටහන උත්තමාචාරයක් වේවා!
එසේම මෙ බ්ලොග් අවකාශයේ සැරිසරන 'ඩූඩ් අයියා' ඇතුලු බ්ලොග් ලියන, බ්ලොග් කියවන සියලු ගුරුවරුන්ටත් මේ පෝස්ට්ටුව මල් මිටක් වේවා!!!.