05 January, 2014

බිල්ලට නොගත් බිල්ලෙක්……




ගිය සතියෙ ලියපු කොටු පනින කතාවෙ කමෙන්ට් පිළිතුරු දෙත්දි මතක් උන පොඩි කතාවකුත් ලියලා දාන්න හිතුනා. ඇත්තටම මම හොල්මන්, අවතාර විශ්වාස කරන්නෑ. ඒ වගේම අවිශ්වාස කරන්නෙත් නෑ. හොල්මන්, අවතාර තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් කියන එක තමා ඒ පිලිබදව මගේ අදහස.

ඒත් අපි හැමෝම කැමතීයිනෙ අද්භූත කතා අහන්න, කියවන්න. ඉතින් මන් හිතුවා මමත් මුහුණ දීලා තියෙන පොඩි අද්භූත යැයි සැළකිය හැකි අත්දැකීමක් විස්තර කරන්න.

මුලින්ම කියන්න ඕන මේක කියෙවුවට පස්සෙ ඔබ සැමට මේ සිදුවීම පිලිබදව විවිධ අදහස් තිබිය හැකියි. ඇතමෙක්ට මා මිත්‍යාව පතුරන්නෙක් ලෙසද පෙනිය හැක. නමුත් මෙය පිලිබදව මගේ අදහසද අවසානයට කියමි.

ඒ අත්දැකීමට නිධාන කතාව වැටෙන්නෙ මෙහෙමයි. අර තත්ව සහතික දෙන ආයතනයෙ රැකියාවට ගිය මුල් කාලය. ඒ දවස්වල මා ගාව තිබුනා 'HONDA VTF 250CC' දඬුමොණරයක්. රාවණාගෙ එක නෙමේ බොලවු. ඒත් ඒ තරම්ම පරණයි. නම්බරේම 111-****. ඒත් ධාවනය සහා පෙනුම 100% යි. (ඔය පින්තූරෙ ඉන්නෙත් ප්‍රියා සහා දඬුමොණරය. ලයිසන් ගන්න කලින් 'L' බෝඩ් ගහන් පැදපු කාලෙ හි…හි…)

මම වැඩිපුරම වැඩ කලෙ මහබාගෙ කිට්ටුව ආයතනයක රාත්‍රී සේව‍ය. ඒ ආයතනයෙ පාන්දර 4.30ට නිශ්පාදන යන්ත්‍ර දෛනික සේවාව සදහා නවතා දමන නිසාත් අපට අදාල නිශ්පාදනයෙ තත්ව පරික්ෂා කිරීම් පමණක් නිසාත් එහි සේවය කරන් විට අපට අවශ්‍යනම් ඒ වේලාවට ඕෆ් වෙලා ගෙදර එන්න පුළුවන්.

ඉතින් මුල් දවස් වල මම වැඩට ගියෙ ආවෙ ඔය බයික් එකෙයි. ඔය දළුගම පැත්ත දන්න අය දන්නවා ඇති අපේ හංදියෙ ඉදන් මීගමු පාරෙ හැඳල හංදියට අතුරු පාරක් තියෙනවා ජයන්තිමහල් හංදිය, හුණුපිටිය හරහා 'දිප්පිටිගොඩ' පාරෙන් ඔය පාරෙ යත්දි නියම පාරෙ යනවට වඩා කිලෝමිටර් 3ක් 4ක් විතර අඩුයි. ඒ නිසා මන් පාවිච්චි කලේම ඔය පාර. (අපි කවද්ද හරි පාරෙ ගියෙ හිකස්…)

ඒ පාර ගැනත් විස්තර කරනවානම් පාන්දර 5.00ට විතර එළිය වැටිලා තිබුනත් 6.30, 7.00 වෙනකම් ඔය පාර සාමාන්‍‍යෙන් පාළුයි. පාළුයි කියන්නෙ පට්ටම පාළුයි. ඒ මදිවට පාළු වෙලක් මැද්දෙන් යන්න තියෙනවා ටික දුරක්. ඒ ටිකේ ගෙවල් ඇත්තෙම නෑ. ඒ පාළු වෙල ඉවර වෙනවත් එක්කම වංගුවක් එක්කම පොඩි පන්සලක් තියෙනවා. (ඔය පන්සලේ හාමුදුරුනමක් J.V.P. කළබල දවස් වල ඝාතනය කරලා පංසල පිටිපස්සෙ හංගලා තිබිලා හොයා ගත්තා'ලු'.) ඒ විතරක් යෑ අපි A/L කරන දවස් ඔය වංගුවෙ TZR එකක් හැප්පිලා අපි අදුරන කොල්ලෙකුත් මැරුනා.

ඉතින් අර මහබාගෙ ආයතනෙ වැඩ කරන දවස් වලට 4.30ට මැෂින් නැවැත්තුව ගමන් ඔය පාරෙන් තමා ගෙදර එන්නෙ. කොහොම හරි ඇරලා දාලා එන ඒමට 4.40, 4.45 විතර වෙත්දි ඔය පන්සල පහු කරනවා. සතියක් දෙක තුනක් කිසි කතන්දරයක් නැතුව ආවා ගියා.

එකදවසක් පාන්දර එත්දි හරියටම ඔය පන්සලට මීට‍ර් 200ක් විතර තියෙත්දි බයික් එක නිකම්ම නතර උනා. මගේ කරුමෙට ඒකෙ කික් ස්ටාර්ට් නෑ සෙල්ෆ් ස්ටාර්ට් විතරයි මාත් දන්න ශිල්පෙ දාලා ස්ටාර්ට් කරන්න බලනවා බලනවා හරියන්නෑ. පෙට්‍රලුත් ඇති වෙන්න තියෙනවා (නෑ නෑ ෆුල් ටෑංක් ගහන්න තරම් අපි වැඩ්ඩො නෙමේ. යාන්තම් ලීටර් තුන හතරක් වත් තිබුනා.) ඒ ටික ඇති සෑහෙන්න දුරක් යන්න.
බලලා බලලා බැරිම තැන තල්ලුවක් දාලා බැලුවා. තර්ඩ් එකට දැම්මා…සෙකන්ඩ් එකට දැම්මා…බැරිම තැන ෆ්‍රස්ට් එකටත් දාල තල්ලු කරලා බැලුවා නෑ. දන්න ශිල්පෙ දාලා බැරිම තැන ඉතුරු කිලෝමීටරයකට වැඩි දුර බයික් එක තල්ලු කරගෙනම ආවා ගෙදරට.

රෑ නිදිමරාගෙන වැඩ කරලා පාන්දර බයික් එකකුත් තල්ලු කරන් ගෙදර එත්දි තියෙන සනීපෙනම් කියලා වැඩක් නෑ. මතක් වෙත්දිත් ඇග ගැහෙනවා. ඔක්කොමත් හරි ගෙදර ඇවිත් බල්ලා වගේ හති අරිත්දි අපෙ මලයා හිනා වෙත්දි හිතට එන ශාන්තිය…

කොහොම හරි පහුවදත් ඔය සෙල්ලම ඔතනදිම උනා තල්ලු කරලා කරලා ස්ටාර්ට් නොවුනම කලින්දා වගේම තල්ලු කර ගෙනම ගෙදර එන්න ආවා. ඔහොම එත්දි පන්සල පහු කරලා ටික දුරක් එත්දි තියෙනවා පොඩි බෝක්කුවක්. ඒක පහුකරලා මට මහන්සි වැඩි කමටම ස්ටෑන්ඩ් එක ගහලා බයික් එකේම වාඩි වෙලා විනාඩි 3ක් විතර මහන්සි හැරියා. ඒ ඉන්න ගමන් යතුර දාල නිකමට ස්ටාර්ට් කරලා බැලුවා. තල්ලු ක‍රලාවත් ස්ටාර්ට් නොවුන මේ මඟුල මෙන්න බොලෙ ස්විච් එකෙන්ම ස්ටාර්ට් වෙනවා. ඒ ගමන මුකුත් බැලුවෙ නෑ කෙලින්ම ඉගිලුනා ගෙදරට.

ඔහොම ඔහොම දවස් හත අටක්ම ගෙවුනා දිගටම ඔය සෙල්ලම උනා. එකම තැනදි නතර වෙනවා මොක කලත් ස්ටාර්ට් නොවෙන බයික් එක බෝක්කුව පැනපු ගමන් මුකුත් නොවුන ගානට ස්ටාර්ට් වෙනවා. බැරිම තැන ගැරේජ් එකට ගෙනිහින් ECG, ස්කෑන්, රුධිර පරීක්ෂණ ආදිය කල පසු යතුරු පදියට හෝ බැටරියට ඉහෙන් බහින රෝගයක් නොමැති බව බාසුන්නැහැ විසින් තහවුරු කරනවා. ඊටත් පහුවෙනිදා ඉන්ධන පුරස්නයක්දැයි සැක නෑර දැනගැනීමට වැඩිපුරත් පෙට්‍රල් ලීටර් දෙකක් ගහගෙන වැඩා ගියා. සුපුරුදු ප්‍රථිපලේම තමා පුරුදු තැනම නතර උනා පුරුදු තැනම ස්ටාර්ට් උනා.

ඔහොම තවත් දින දෙක තුනක් ගිහින් මම ඔය සම්පූර්ණ විස්තරයම අපෙ අම්මා ඉස්සරහා දිග හරිනවා. ඉන්පසු අපෙ අම්මගෙ අදහස උනේ වහාම ක්‍රියාත්මක වන පරිදි මාගේ දඬුමොණරා නිවසේ සිර ගත කල යුතු බවය. මා ගෙනගිය විරෝධතා ව්‍යාපාරය මධ්‍යයේම එම තීරණය ක්‍රියාවට නැංවිය. මා දන්නා හදුනන සැමගේ අදහස වූයේද 111 අංකයද අසුභ බවත් අදාල පාරේ ඉතිහාසයද යහපත් නොවන නිසා යමක් සිදුවිය හැකි බවයි. එබැවින් යතුරු පැදිය හදීසිම අවශ්‍යතාවයකට පමණක් ධාවනය කිරීමට අවසර ලැබුන අතර අදාල පාරේ ධාවනය සපුරා තහනම් විය.

ඉන් ටික කලකින් පසු රැකියාවට යාමේදි බස් රථයට සීමා විය. ඇත්තෙන්ම එය යහපත් දෙයක් වූයේ කොට සායෙ අත්දැකීම ඇතුළු විවිධාකාර අත්දැකීම් ලැබූ දැනටද ලබන නිසාය. අවසානයේ වසරකට අධික කාලයක් සිර දඬුවම් විදි යතුරු පැදියද විකුණා දැමිනි. ඊටත් වසර ගණනකට පසු දැනට මාස කිහිපයකට පෙර ඒ අදාල පන්සල අසල වංගුවේදී වයස 60ක පමණ පුද්ගලයෙකු මිය ගිය අතර ඒ අනතුර සිදු වූයේද වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙනි.


මේ සිදුවීම පිලිබදව මේ වන විට මගේ අදහස නම් ‍යතුරු පැදිය නතරවූයේ මාගේ යටි සිතේ බලපෑමක් නිසා විය හැකි බවය. කිමද මා කුඩා කල සිට අසා තිබූ හාමුදුරුවන්ව ඝාතනය කිරීමේ සිදුවීම (හොල්මන් පිලිබදව මා විශ්වාස නොකලත්) මාගේ යටි සිතේ තදින් සටහන් වී තිබුනා විය හැක. එසේම අර අනතුරු දෙකක් සිදුවී මරණ දෙකක් සිදුවූයේද ස්වාභාවිකවම ඒ වංගුවේ ඇති භයානක පිහිටීම නිසා විය හැකිය.

අවසන් වශයෙන්ද කීමට ඇත්තේ මා මිත්‍යාව පතුරන්නෙක් නොවෙමි. හොල්මන් පිලිබදව මට ඇත්තේ විවෘත අදහසකි. ඒවා සිදුවීමට ඇති ඉඩකඩම සිදු නොවීමටද ඇත. 'මෙය පෞද්ගලිකව මා ලැබූ අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීමට ගත් වෑයමක් පමණි.


ප. ලි. ~
මට ඇති තවත් ගැටළුවක් වන්නේ මේ ස්ථානය බොහෝ දෙනා කියනා පරිදි සැබැවින්ම 'බිලි ගන්නා ස්ථානයක්' නම් මාව බිලි නොගෙන යතුරු පැදිය පමණක් නවතා එවුවේ අදාල හොල්මනට බිලි ගැනීමට තරම් වත් මා නුසුදුසු නිසාද?????


© ප්‍රියා.

67 comments:

  1. ඒක නං හොම්මං සීන් එකක් තමා.. උඹව හොල්මනකටවත් නොවටින ගානයි. ඒකයි ඔප්පු වෙන්නේ.. හැක් හැක්..


    ඔය වගේ පරණ දඩුමොනර අපේ පැත්තෙත් තියෙනවා කිරිටොයියෝ වගේ.. දැක්කම ආසයි..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා දේශො ඇඩෙනවා බොල තනි ඇහැට :'( මාව වටින් නැත්ද එහෙනම්.

      දැන්නම් ඔය බයික් එක ධාවනයෙන් ඉවත් කරලා දේශකයො. මම ඕක බලා ගත්තෙ දරුවෙක් වගේ. ඒත් ඕක විකුණත්දි ගත්තෙ අපෙම නැදෑ බුවෙක්. ඌ මාසයයි පැද්දෙ බීලා ගිහින් ලයිට් කණුවකට අඩ තියලා බයික් එක කුඩු.

      Delete
    2. අපරාදේ නෙව අර තරං ඇන්ටික් බාන්ඩයක් විනාස වෙච්චි එක..

      මං බය නැතිව කියනවා හොල්මන් වලට උඹව වටින්නේ නැහැ කියලා.. හැක්..

      Delete
    3. ඔව් දේශො, මටත් ඇත්තටම දුකයි ඕක ගැන. ඒත් මෑන්ට උවමනාවක් නෑ ඒක හදා ගන්න.

      අදෙ අප්පේ හොම්මනකටවත් මාව වතින්නෑලු.
      ටිකක් හිටු හොටු ටික හූරලා එනකම් :'( :'( :'(

      Delete
  2. හෝම්මන් තමයි කතා දෙකක් නැහැ ,මාත් ආසකලා හොල්මනක් දකින්න ,එත් කවදාවත් දකින්න බැරිවුනා. උසස් පෙළ කරලා රිශාල්ට් එනකල් මන් ජොබ් එකක් කළා මාස කීපයක් ,, එකේ ශිෆ්ට් එකට තමයි යන්න ඕනේ, උදේ 6-2 හවස 2-10 විදියට .. හැමදාම පාන්දර සහ එද්දී ලොකු වෙල් යායවල් දෙකක් සහ මිනි කනතු 3ක් තියෙනවා.. කාටුනයක ඉදල අපේ ගෙදරට එන පාරේ, අන්තිම වෙල් යායේ පයින් එනවනම් දුර විනාඩි 15 ක් වගේ ,, බයික් එකේ විනාඩි 2න් වගේ ,, වෙල් යාය මැද්දේ බූක්කුවක් තියෙනවා ,ඔතන සතියට දවසක් දෙකක් අර පෙරේත ගොටු කියන ඒවා පුහුල් අනම් මනම් ගෙනත් දානවා මිනිස්සු.. ඕවා නිසා මන් 100 ට එහා ස්පීඩ් එකේ තමයි ගෙදරට එන්නේ .. මාව යාළුවො බය කරනවා කෝල් කරලත් ... ගස් උඩ ඉදන් හොල්මන් බයික් වලට පනිනවා ...යද්දී පිටිපස්ස බරට දැනෙයි කියා කියා... හි හි ... දවස් දෙකක් බයික් එක වෙල පටන් ගද්දි නැවතුනේ.. මොනාකරන්නද කරන්න තියෙන ඔක්කොම කලත් ස්ටාර්ට් උනේ නැහැ ,තල්ලු කරන් ආවා ... අර අමුතු ගදක් එන්නේ .. පෙරේත ගද කියලා අන්න එකා පාර පුරාම ,,, මං තාත්තව මතක් කර කර ආවා ,, එයා කියලා තිබ්බා හොල්මනක් එක්ක උනත් බය නොවී කෙලින් කතා කරොත් ප්‍රශ්නයක් නැහැ එයාලා අපිට වඩා දුර්වල ශරීර තියෙන අය කියලා ... ඉති අද වෙනකල් මන් නම් හොල්මන් දැකලා නැහැ

    ඒත් එයාලා අපේ දෘශ්‍ය පරාශයට ග්‍රහණය වෙන්නේ නැති නිසා අපිට පෙන්නේ නැතුව ඇති කියලා මන් හිතන්නේ ,, අපිට නොපෙනෙන ඉන්ෆරෙඩ් , අල්ට්‍රා වයලට් වගේ පරාස වල කොහේ හරි තැනකදී හොදට පේනවා ඇති .. හි හි ... මොනාට බය වෙන්නද .. මන් ආසයි කවදාහරි දකින්න හොල්මනක් හෝ බුතයෙක්

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා ඔමා තාත්තා කියපු කතාව ඇත්ත වෙන්න ඇති කියලා. මොකද හොල්මන් කියලා දෙයක් ඇත්තටම තියෙනවානම් අපි කෙලින්ම කතා කරලා අපේ අදහස හුවමාරු කරගන්නවා නම් හොල්මන උනත් අපට අවනත වෙයි.

      ඒත් වැඩේ තියෙන්නෙ අපිට විශ්වාස කරන්න හරි මේ පිස්සු යක්කු අපේ ඉස්සරහට එන්නෑ නෙ.

      අර භූතයෙක් බලන්න ආසයි කිවුවා නේද? ඔය උඩම තියෙන ෆොටෝ කෑල්ල බලන්න. ඒකෙ බයික් එකක වාඩි වෙලා භූතයෙක් ඉන්නවා. හි…හි… :-D

      Delete
    2. උබ මෝහිනී වගේ ඉද්දි මොකටද බන් අනිත් හොල්මන් වලට බය වෙන්නෙ :P
      හොද කෙප්පයකුත් අතෑරල ඒ මදිවට අනේ උබ යන 100kmph :P :P :P :P

      Delete
    3. මෝහිනී නෙමේ සසිඳු කුවේණි කුවේණි හි… හි…

      අරක බොරුවක් වෙන්න බෑ මචන් මොකද 'බය' කියන දේ හිතට ආවම කරන්න බැරිදෙයක් නෑනෙ. කොටින්ම බයික් එක නතර වෙලා තියෙත්දි මාත් හොම්මන් චා‍යාවක් දැක්කනම් බයික් එක කරේ තියාන් දුවයි. හි,…

      Delete
    4. හරි ලබන අප්‍රියල් ආවම 600 cc වලින් එහා එකක් බයික් අරන් එන්නකෝ 200 ට ගිහින් පෙන්නන්න පතෝලයා :) බොරු නෙමේ මල්ලි ඇත්ත..මං හරි බයයි බයටම තමයි කරගන්න දෙයක් නැතිකමට හොල්මනක් හම්බෙනකල් කියලා ආවේ..

      Delete
    5. හපුයි මෙන්න සසිඳු, ඔමා ලංකාවට ඇවිත් Dhoom - 4 රඟපාන්නයි යන්නෙ.

      ඇත්ත ඔමා, 'බය' කියලා කියන්නෙ ශරීරයට පුදුමාකාර උත්තේජනයක් ලැබෙන දෙයක්නෙ.

      Delete
    6. //මාත් ආසකලා හොල්මනක් දකින්න ,එත් කවදාවත් දකින්න බැරිවුනා//
      උදේටවත් කණ්නාඩිය ඉස්සරහට යන්නෙ නැද්ද?

      Delete
  3. අර රේල් පාර ළඟදී ඉන්ජින් නතර වෙන්නේ කෝච්චිය දැක්කම. අන්න ඒ වගේ වැඩක් වුණාද දන්නේ නෑ. අපි දැකලා නැති නිසා මේක බොරුවක් කියන්නම බෑ. බොහෝ ය තමන් දකපේ දේ විස්තර කරන නිසා, එක පාරටම ප්‍රතික්ෂේප කරන්නත් බෑනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අයියෙ මාත් ඉන්නෙ මේක හොල්මනක්දෝ නොවෙදෝ කියලා හිතා ගන්න බැරි තැනකයි.

      Delete
  4. අත්දැකීම බෙදා ගැනුම සතුටුයි..
    අර ඔමා වගේ අත්දැකීම් කියනවනම් තවත් රසවත්.
    අපේ හැත්තගේ ජරා සිරිතක් තමා බැලුවට අකුරු දෙකක් කොටලා නොයන එක.
    උඹ ලියපන් හිතට එන දේ..අපි එනවා ...කියවන්න...

    ReplyDelete
    Replies
    1. සික් විතරක් උදේ පාන්දරම බීලා බ්ලා බ්ලා..

      Delete
    2. හැක..හැක ...දේශා තොට නෙමේ කිව්වෙ යකෝ...
      උඹ ඉඩ ලැබෙන විදියට වනසගෙන යන එකා බව දන්නවා බන්...
      කොහොමත් අද සොදුරු Sunday නේ බන් ..

      Delete
    3. @ කෙන්ජි අයියා -
      ඔයාලගෙ දිරි ගැන්වීම් දිගටම තියෙනකම් මාත් දිගටම ලියනවා.
      මාත් කැමතියි අත්දැකීම්, පාරෙ තොටේ අහන දකින දේවල් ගැන මට හිතෙන දේවල් ලියන්න.

      අද සුන්දර ඉරිදා සුන්දරම ඉරිදාවක් වේවා කියා පතනවා කෙන්ජි අයියෙ.

      Delete
    4. @ දේශකයා -
      අඩේ කෙන්ජි අයියා ට්‍රැෆික් පොලිස් අංකල් කෙනෙක්ට අහු උනා වගේ. බැලුමක් පුම්බන්න දෙනවද? හැක් හැක්.… :-D

      Delete
  5. හොම්මන් හෙහ්,,,හෙහ්,,,,හෙහ්.......හොම්මන් ගැන මාත් ඉන්නේ විශ්වාස කරනවා,නොකරනවා කියන දෙක මැද ඔය වගේ සිද්ධි බොරුත් නෙමේ ඈ.....මාත් උදේ හවා වසන්නේ හොම්මන් ගුහාවක පස්සේ වෙලාවක ලියන්නම් .....

    ReplyDelete
    Replies
    1. ගොම්මන් වෙලාවේ එන හොම්මන්……

      ඒ හොම්මන් ගුහාවෙ කතාවත් ලියන්න ශානු. ඒ වගේ කතා කියවන්න නම් මාත් ගොඩක් ආසයි.

      Delete
  6. එක අත්තෙ වහන්නෙ එක ජාතියෙ කුරුල්ලොලු..උයාට කියන්න මෙයා ඒත් මං දැකලා නෑනෙ ඔය හොම්මං...ඔමාට වගේ මටත් ආසයි හොම්මං බලන්ට...සැක්

    මම නම් ඔය හොම්මං වලට යකෙකුට තරම්වත් බය නෑ....හදිසියේවත් එලි පහලියට රෑට තනියම යන්ට සිද්ද උනොත් මම තනියම කියවනවා.... "හොම්මං..............ආ වරකො බලන්ඩ හොම්මං....හ: දන්නෑ මගෙ හැටි" ඔහොම ඉද්දී යන්තන්වත් කොලයක් හෙල්ලුනොත්..."ඉතිපිසෝ භගවා...." :D :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රෙහානි කටින් මාත් මොන දේ කිවුවත්, ඇත්තටම ඔතන හොල්මනක් ඉදලා මගෙ ඉස්සරහට ආවානම් බයික් එක තියන් බම්බු ගහා ගනින් කියලා පණ කඩාගෙන දුවන්නත් ඉඩ තිබුනා.

      හොල්මනක් දකින්න ඔය තරම් ආස නම් ඉතින් ඔය උඩ ෆොටෝ කෑල්ල බලන්නකො. හැබැයි බය වෙලා නූල් බඳින්න උනොත් අපි නෑ ඕන්.

      Delete
  7. අඩේ සමහර වාහන තියනවා ඔය වගේ.ඒවා ථල දෙන්නෙ නෑ.අපේ ගමෙත් එකක් තිබුනා.මුලින්ම පාවිච්චි කල එකා බෙල්ලෙ වැල දාගෙන.ඊලග එකා වහ බීලා.අයිතිකාරයට මාරක අපල කියලා හෙන කොට ගානකට අන්තිමට ගත්තෙ අපේ ගමේ එකා.ඌ මියුසිකල් එකක් බලලා පාන්දර තව යාලුවෙක් එක්ක එද්දි නිදිමතේ බටඅත ෆාම් එක ලගදී ඉස්සරහින් ආව වාහනේ හැපිලා මලා.මලගෙදර ඉවර උන ගමන්ම බයික් එක විකුනල පටවල ඇරියා කොලඹ පැත්තට.මාත් ඕවා විස්වාස කරන්නෙ නෑ.ඒත් මේ වගේ කතා හංදා බොරුවක් කියලා අත අරින්නත් බෑ..
    ඕන දෙයක් ලියන්න අයියෙ.අපි එනවා කියවන්න

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ එහෙම බලත්දි නම් මන් බේරිලා තියෙන්නෙ පරණ කරපු පිනකටම තමා.

      මේකත් එහෙම එකක් වෙන්න ඇති මල්ලියා. මට අනතුරක් නොවුනට ඒක ඊලගට ගත්ත කෙනාටත් හරියට මාසයක් වත් පැද ගන්න බැරි උනානෙ.

      ඔයාලා දිගටම එනකම් මන් ලියනවා මල්ලි.

      Delete
  8. මෙහෙමයි ප්‍රියා....මේ වගේ සිදුවීමක් මොන හොල්මන්ද...මොන විකාරද කියලා කෙනෙකුට බැහැර කරන්න පුලුවන්. ඒත් නූතන විද්‍යාවට හසු වුනේ නැති බොහෝ ශක්ති ප්‍රභවයන් මේ ලෝකය තුල තියෙනවා...මල ගිය ආත්ම හෝ හොල්මන් කියන දේවලුත් ඒ වගේ අනාවරණය නොවුන දෑ...කාලෙකට පෙර බණ්ඩාරවෙල ප්‍රදේශයෙත් ඔහොම තැනක් තියෙනවා කියලා මගේ මිත්තරයෙකු කිව්වා. අතුරු පාරෙ ඒ ඉසව්වෙදි වාහන එන්ජින් නතර වෙනවාය කියලා...බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස තමයි කථාව අන්තිමට මතක් වුනේ....මේ බයික් එකේ ලීටරේට 35 ක්වත් දිව්වද ?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා අපේ ඇහැට නොපෙනෙන, කණට නොඇසෙන හැම දේම බොරුයි කියන්න බෑ. ඒ වගේම ඇහැට නොපෙනෙන නිසාම එහෙම ඒවා නැහැයි කියලා තීරණය කරන්නත් බෑ.

      හප්පේ පෙට්‍රල් ගැන නම් කියලා වැඩක් නෑ උපරිම 30 තමයි. ඒකත් ට්‍රැෆික් එහෙකට අහු උනොත් සොරි තමා.

      Delete
  9. ඔය හොල්මන් ගැන නම් මගේ ලොකු විශ්වාසයක් නෑ අවිශ්වාසයකුත් නෑ ,ඇත්තම කිව්වොත් වෙලා තියෙන එවා මටම හිතා ගන්න බෑ මොන මගුල් ද කියලා ..මොකද ඔය වගේ කතා වලට විද්‍යාත්මක පැත්තක් තියෙනවා නේ එ පැත්ත බලනකොට මම ,අතරමං වෙනවා ....

    ReplyDelete
    Replies
    1. මටත් ඒ වගේ තමා සහෝ, ලොකු විශ්වාසයක් නෑ වගේම අවිශ්වාසෙකුත් නෑ.
      විද්‍යාත්මකව බැලුවොත්නම් අතරමං වෙනවා තමා.

      Delete
  10. හොල්මන් නේද, හ්ම්. මමනම් ඕවා විශ්වාස කරන්නේ නැහැ. හැබැයි හොල්මන් නැහැ කියලා කියන්නෙත් නැහැ. මොකද ඔය හොල්මන් කියන්නේ අද්භූත බලවේග, අපි අවට ක්‍රියා කරන, ස්වර්ගයෙන් වැටුන දේවදුතයන්, මනුෂ්‍යාට අවහිරකම් කරන්න, දෙවියන්වහන්සේට අපහසකරන්න තමයි ඔය දේ කරන්නේ. හැබැයි මම නම් තාම දැකලා නැහැ. දකින්න ආසයි. දැනගන්න මුන් කොයිවගේද කියලා.

    හොඳයි මල්ලි මේක ලියපු එක, තවත් මේ වගේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩොක් ආයියෙ, ආගමික පැත්තෙන් බැලුවත් ඔය ඇහැට නොපෙනෙන දේවල් අනන්තවත් ත්ියෙනවානෙ. එහෙම දේවල් අපිට එක පාරම බොරුයි කියන්න බෑ.

      කියවන ඔයාලා ඉන්නකම් මන් දිගටම ලියනවා අයියෙ.

      Delete
  11. ප්‍රියාගේ පාරෙ විස්තරේ කියෙව්වම මම කාලයක් හැඳල ලාදුරු ඉස්පිරිතාලෙ වැඩ කරද්දී හැමදාම උදේ හුණුපිටිය ස්ටේෂන් එකෙන් බැහැල ඔය පාර දිගේ හැඳල හන්දියට පයින්ම ගිය හැටි මතක්වුනා.
    බිලිගන්න උඹ මදි නිසා බිලිගත්තෙ නෑ සයිකලේ විතරක් ලෙඩකරලා නිකා හිටිය.

    ReplyDelete
    Replies
    1. අන්න හරි හැලප අයියෙ, හැඳල හංදියෙන් හුණුපිටිය පහුකරන් උඩට යත්දි හම්බවෙන ජයන්තිමහල් හන්දියෙන් පටන් ගන්න දිප්පිටිගොඩ පාර තමා. ඒක කෙලවර වෙන්නෙ දළුගම හයේ කණුවෙන් නුවර පාරෙ.

      හප්පේ බිල්ලට මම මදී කිවුවෙ?? ඒ දවස් වල මන් කෙට්ටුයි තමා ඉතින්. හි :-D

      Delete
  12. ප්‍රශ්නේ කියන්නේ මටත් හොල්මන් සීන් දෙක තුනක් තියෙනවා. හැබැයි මට පිළිගන්න හිතෙන්නේ නැහැ ප්‍රියාට හිතුන වගේම මට හිතෙන්නෙත් මගේ හිතේ කේස් එකක් කියලයි

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෝරලේ බොහෝ විට මේවා හිතේ පාලනයෙන් වෙන දේවල් විය හැකියි. ඒ වගේම සැබෑවටම වෙන දේවල් වෙන්නත් පුලුවන්.

      කොහොම උනත් අර අත්දැකීම් ටිකත් ලියන්න කෝරලේ. මොකද අපෙ බොහෝ අය ඔහොම අත්දැකීම් කියවන්න කැමතියි.

      Delete
  13. ඒ දවස්වල කෙට්ටු ශරීර කූඩුවක්ද තිබුනේ ? එහෙනං හිතෙන්ඩ ඇති මෙකව බිලිගන්නවට වඩා හොඳයි නිකා ඉන්නෙක කියලා.හික්ස් :) විහිලු ඈ.

    අපේ හංදිය කිව්වේ තොරණ හන්දිය වෙන්ඩෑ... හික්ස් :)

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව් මධූ, ඒ දවස්වල බිලි ගන්නවා නම් ගන්න වෙන්නෙ මස් ටිකක් අලවලා තමා. (අපිටත් හොදට විහිලු තේ‍රෙනෙවා බොලවු. :-D )

      තොරණ හංදිය නෙමේ. තොරණ හංදි‍යෙ ඉදන් කිරිබත්ගොඩ පැත්තට තුන්වෙනි හෝල්ට් එක. දළුගම හයේ කණුව. හි… හි……

      Delete
  14. මාත් සමහර දවස් වලට රෑට කනත්තක් ලගින් යද්දි බලන් යනව හොල්මනක්වත් බලාගන්න කියල, කොහෙද බලන හින්දමද මන්ද මුන් එකෙක්වත් පේන්න එන්නෑනෙ :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සසිඳු. මොකද ඔය හොල්මන් දැක්කා කියන ඔක්කොම දැකලා තියෙන්නෙ නොහිතපු වෙලාවක. දකින්න ඕන කියලා හිතන වෙලාවට පේන්නෑ. :-D

      Delete
  15. ඔය සිද්ධිය ඔය විදියටම අපේ ඔපීසියෙ ඩයල් එකකටත් උනා(හැබැයි එක දවසක් විතරයි). මෑන් ටිකක් විතර බයත් උනා. ස්ටාට් නොවුන බයික් එක උදේ ස්ටාර්ට් වෙලා.

    ReplyDelete
    Replies
    1. යහළුවා වත් දවසක මේ පාරෙන් යවලා බැලුවා නම් හරි රාජ්.

      මාව වගේම මෑන්වත් බිල්ලක‍ට සුදුසු නැතුව ඇති.

      Delete
  16. ඇග හීතල වෙනව බොල උබ කියන කතා වලට..අම්මෝ ඔන්න එහෙනම් අපි හැංගුනා..අපි බයයි ඕවට..

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් හිටු මම මේ බිත්තර කට්ටක් ගේන්න‍යි යන්නෙ. හි … හි …

      Delete
  17. බයයි අයියෝ... මේ බ්ලොග් කස්ටිය හොම්මන් කතා ලියන්නෙ කාත් කවුරුත් නැතුව මම බෝඩිමේ තනි වෙච්චි දවසටමනෙ. :(

    ReplyDelete
    Replies
    1. අනෙ හප්පේ සොරි බස්සි. දැන් ඉතින් ඉතිපිසෝ ගාථාවෙ පිහිට තමයි නේද? :-D

      Delete
  18. දවසක් දෙකක් නම් කමක් නෑ කියන්න පුළුවන්. මොකක් හරි අනිවා තිබිලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පුමා, ඒකම තමා මන් බයික් එක චෙක් කරගෙනත් ගිහින් බැලුවෙ.

      Delete
  19. හොම්මන් ගැනනම් මගේ තියෙන්නේ මද්‍යස්‍ථ මතයක්.. බලන්න ගිහිල්ලත් බලාගන්න බැරි වුනානේ.. හොම්මන ප්‍රියාට බය වුනාද දන්නේ නෑ හැබැයි..

    ReplyDelete
    Replies
    1. ඒ පෝස්ට් දෙක මාත් ආසාවෙන් බැලුවෙ පිටරටක හොම්මනක් ගැන දැන ගන්න. ඒත් එදා ඒ හොම්මන ආවෙ නෑනෙ නේද?

      Delete
  20. ඔය කියපු පාරේ මාත් ගිහින් තියෙනවා .... ඒ දවාලක.. කතාව අහුවහම නම් හිතට ටිකක බය හිතුනා ..

    ReplyDelete
    Replies
    1. හප්පේ තුශානි එහෙනම් ගොම්මන් වෙලාවක තනියමම ගිහින් බලන්නකො. එතකොට පෙනෙයි හොම්මන. :-D

      Delete
  21. කලින් කතාවත් කියෙව්වා. මෙහෙම යි. අපි දෙයක් ප්‍රතික්ෂේප කරන්න නම් ඉස්සරලම ඒ දේ ගැන හදාරලා ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන්න ඕනෙ. මට නම් හිතෙන්නෙ වෙලා තියෙන්නෙ ඒ දේවල්වල ප්‍රමිතියක් නැති එක. අපි හිතුවොත් මෙහෙම... ඕනෙ ම කෙනෙකුට කඩ කෑල්ලක් අරන් පොත් ටිකක් තියන් නැකත් බලන්න බැරිකමක් නෑ. එහෙම කරල වැරදුණා ම එයා ළඟට එන අය කියනවා ඕව බොරු කියල. මගෙත් අත්දැකීම් කීපයක් නිසා මම මේව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්නෙ නෑ, හැබැයි මෙවගෙ බැහැගෙන ඉන්නෙත් නෑ. මොකද බුදු දහමට අනුව කම්ම නියම කියන්නෙ නියාම පහෙන් එකක් විතර යි නේ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි දිලිනි, මාත් ඕවා හදාරලා නැති නිසා ඒවා බොරුමයි කියලා ප්‍රතික්ශේප කරන්නෑ. ඒත් බාගෙටවත් ඕවා හදාරලා නැති ඇතමෙක් නිසා තමා ඕවා පහත් වෙන්නෙ.

      Delete
  22. පුදුම සිදුවීමක්නේ ඒක! විශ්වාස කරන්නත් අමාරු තරම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ් අයියෙ. ඇත්තටම මටත් වෙච්ච දේ අදහගන්න අමාරුයි. මොකද කොච්චර පරණ උනත් ඔය බයික් එක වෙන කොහෙවත් මාව අතරමන් කරලා නෑ.

      Delete
  23. බයික් එක ළොකු නිසා තද පොරක් කියලා හිතන්න ඇති. හොල්මන් උනත් කෙලින්නේ පොඩි එකාටම තමයි..

    ReplyDelete
    Replies
    1. අන්න කතාව මාතලන් අයියෙ.

      මම අහන්නෙ නිකමට අර ආචාරිය තුමා ඔය පැත්තෙ කැරකෙත්දි ඔය හොම්මන ඒ උන්දැව බය කොරේ නෑ නොවැ.

      Delete
  24. ඇත්තටම ප්‍රියෝ මට කියන්න තියෙන්නෙ මම හොල්මන් දකින්න ආසයි.. නමුත් දැකලනම් නෑ... ඇයිද මන්ද පේන්නෙ නැත්තෙ...

    අපූර්වි කිවුව වගේ මමත් ඔය වගේ පාරක තමා ඉස්සර වැඩට ගියේ... හොල්මනක් කියා එක බල්ලෙක් පේන්න නෑ..(බල්ලෝ හිටිය)

    මට හිතෙන්නෙ සුදීක අයියා කියපු විදියට උනාද දන්නෙ නෑ.. මොකද මනස කියන්නෙ දෙයක් හිතුවොත් ඒ දේ වෙනව... දැනුවත්ව හෝ නිදැනුවත්ව...



    ReplyDelete
    Replies
    1. ඇත්ත ගාලූ, මටත් වෙලාවකට හිතෙනවා ඔය සිද්ධියට මානසික බලපෑමකුත් තියෙන්න ඇති කියලා.

      මාත් ඇස් දෙකෙන්නම් හොල්මනක් තාම දැකලා නෑ දකින්න නම් ආසයි.

      Delete
  25. පලමුව සියළු දෙනාගෙන් සමාව අයදිමි රිප්ලයි පරක්කු වීම පිලිබදව.

    රෝහලේ සිට පැමිණියේ අදය. එම නිසා හැකිික්මනින් සියළුදෙනාට පිලිතුරු සපයමි.

    ReplyDelete
  26. සමහර විට හොල්මන උබව පරිස්සම් කළා වන්න පුළුවන්. ඔබේ යතුරුපැදිය නැවතුනේ නැතිව ඔය වංගුවේ කෙළගෙන කියානම් ඔබව බිල්ල වෙන්න තිබුනා. මමත් ඉන්නේ ඔය පළාතේ තමයි. වෙලාවක ගිහින් බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුළුවන් සිංහලයො. එතන වංගුවෙ කඩාගෙන බිදගෙන ඇවිල්ලා කර ගන්න ගිය විනාශයකින් මාව ආරක්ශා කලා වෙන්නත් පුළුවන්.

      Delete
  27. උඹට වඩා කොහෙද බං තව හොල්මනක්.... :P

    මගේ තර්කෙට අනුව නම් සැකයක් එනවා එම ස්ථානයේ භූගෝලීය පිහිටීම සම්බන්ධව... බර්මියුඩා වගේ සීන් එකක්ද දන්න නෑ

    ReplyDelete
    Replies
    1. අහිංසක කොල්ලෙක්ව ඔය තරමට අඩවන්න එපා බන්. :'(

      ඒකත් කියන්න බෑ ‍රයිටර්, ඔතන වංගුවත් එක්ක මොකක් හරි බලපෑමක් තියේද දන්නෑ.

      Delete
  28. ඔයාගේ බයික් එක ඔතන හැමදාම රෑට නතරවෙලා තියෙනවා දැකලා, කීදෙනෙක් බය උනාද දන්නේ නෑ. :D

    තමන්ගේ අත් දැකීමක් කියන එක ප්‍රචාරයක් නෙමේ. හැමදේම තේරුම්ගන්ට ඕනි අත් දැකීමෙන්ලු.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. ඒ දවස් වල මාත් හොල්මනක් වගේ තමා. හි… හි……
      දැනටත් කියලා ඒ තරම්ම වෙනසක් නෑ හැබැයි හි……

      ස්තූතියි කුමාරිහාමි

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................