16 February, 2014

තිත්ත කරවිල…!!



ක්‍රෑෂ්ෂ්… ගසා කෑ ගසමින් නැවතූ තවත් වාහනයක හඬ ඇසී මද්දුමී හඬාගෙන ගෙට දිව ගියේ බියපත් මුවැත්තියක ලෙසිනි. කෙදිනකවත් පාපැදියක් වත් නොපැමිණි මිදුලේ අද දිනයට නැවතූ තෙවනි වාහනයය. පෙර වාහන දෙකෙන් මෙන්ම මෙයින්ද බසින ලද කළු කලිසමත් සුදු පැහැ කමිසයත් හැදි හැඩි දැඩි මිනිසුන් දකින විට මද්දුමීට මෙන් සැගවිය හැකිනම් කියා සිතුනි.

"තමුන්ද ලසන්ත කියන්නෙ?"

"මමයි මහත්තයා"

"මොනවද මනුස්සයො මේ කරන වැඩ. තමුසෙලා කරන ඒවයෙන් අපෙ මන්ත්‍රීතුමාටයි අයිසෙ හොඳ නැත්තෙ… පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙක් යටතෙ තියෙන පළාතක මෙහෙම උනාම එතුමටයි හොඳ නැත්තෙ.…"

"අනේ බුදු මහත්තයෝ නොදැනුවත්කමට උන දේනෙ… අනේ මම දැන් මක් කරන්නද?…"

"ඒ මඟුල් හිතන්න තිබුනෙ ඔය පණ්ඩිත වැඩ කරන්න කලිනුයි."

ට්‍රීං… ට්‍රීං… ට්‍රීං…

"හෙලෝ… Yes සර්‍…හ්ම්ම් මම කියන්නම් සර්… ඕ කේ සර්… හරි ඒ ගැන හිතන්න එපා, චැනල් එකේ උන්ට එන්න කියන්න.…හරි" ඇමතුම විසන්ධි කල ඔහු නැවත මා දෙසට හැරුනි.

"හරි… තමුසෙට එක ක්‍රමයක් තියෙනවා. තව ටිකකින් TV චැනල් එකකින් කට්ටියක් එයි. එයාලට අපි දැන් කියලා දෙන විදියට කියන්න ඕන."

"හරි මහත්තයො… මන් ඕන දෙයක් කියන්නම්."

"කොහොමත් කියන්න ඕන තමා අයිසෙ. ඒකෙ අහන්න දෙයක් නෑ."

රූපවාහිනි ආයතනයෙන් එන පුද්ගලයින්ට කිවයුතු දේ ගැන උපදෙස් දුන් පිරිස පිටත්ව යන්නට විය. මගේ දෙනෙත බොඳ වෙත්දී ලොකු කෙලී මා අභියස විය.

"කෝ ලොක්කියෙ මද්දුමී…?"

"නංගි දුවන් ඇවිත් හැංඟුනා. දැන්නම් නිදි.… බඩගිනියි තාත්තෙ."
මගෙ පපුව පැත්තක් හිර වෙන්නාක් මෙන් දැනෙන්නට විය. දරුවෙකුගේ මුවින් පිටවෙනා බඩගිනියි යන වදන තරම් පියෙකු විදවනා තවත් වදනක් තිබිය නොහැක. නමුත් මාගේ අවාසනාවට එම වදනම මා දිනපතා කිහිප වරක්ම අසමි.


මාත් විනිතාත් එක වහලක් යටට වූයේ අවුරුදු 15කට පෙරය. ඉන් අවුරුදු 2කට පසු ලොකු දුවත් ඉන් ටික කලකට පසු එක්වූ මද්දුමිත් ඊයේ පෙරේදා එක්වූ නිවුන් දැරියන් දෙදෙනාත් අප නිවසම එළිය කලහ. එකම අවාසනාවට පිරවිය යුතු බඩවල් ගනන වැඩි වන ප්‍රමාණයට මාගේ අතමිට සරු වූයේ නැති නමුදු වැලේ ගෙඩි කෙදිනකවත් වැලට බර නොවූ නිසාම දියණියන් සිවුදෙනාත් බිරිඳත් කුලී වැඩෙන් දිවි සරිකරගත් මා හට බරක් වූයේ නැත.

නමුත් අවාසනාව අප සොයා පැමිණියේ නියඟයේ වෙසිනි. කුලීවැඩක් සොයාගත නොහැකිව දින සති මාස ගතවෙත්දී ඉරි තලා ගිය පොළව මතම අපේ ජීවිතද ඉරි තලා යන්නට විය.

"අදවත් හාල් හුණ්ඩුවක්වත් ගන්න බැරි උනාද ඒයි…"

"වැඩක් හොයා ගන්න බැරි උනා විනිතො… ලොකු උන් දෙන්නට මොකද කලේ…?"

"බලලා බලලා බැරිම තැන වත්ත පහලින් කරවිල ටිකක් කඩලා තම්බලා දුන්නා…"

"කරවිල විතරක්…!!! කෑවද ඒ දෙන්නා?"

"නෑ… කන්න බෑම කියලා හැඬුවා… අන්තිමේ මාත් කාපු නිසා කෑවා… චූටි දෙන්නට කිරිත් දෙන්න එපෑ…"

මෙසේ ඇරබි දින පහක්ම වේල් තුනටම අපගේ එකම ආහාරය වූයේ තම්බාගත් කරවිලය ගෙඩිය. පස්වන දිනයේ දෙවියන්ද අහක බැලූ හෙයින් විනිතාට අජීර්ණයක් සෑදී සිඟිති දියණියන් දෙදෙනාද සමග රෝහල් ගතවීමට සිදුවිය. ඒ අතර පැමිණි පුවත්පතකින් අපගේ සැබෑ ජීවන තත්වය මුළු රටටම හඩගා කීමෙන් වූ එකම සෙත වූයේ පළාතේ මන්ත්‍රීවරයාගේ හෙන්චයියන් විටින් විට පැමිණ අප පවුලටම තර්ජනයකර යාම පමණකි.

"තාත්…හ්හ්…තාත්තෙ…"

"මොකෝ බන් ලොක්කියෙ… උඹ කාට බයේද දුවන් ආවෙ…?"

"අන්න…තවත්…එකක් එනවා……"

ඒත් සමඟ ප්‍රසිද්ධ රජයේ රූපවාහිනී ආයතනයක සංඛේත ගසා ගත් වෑන්රියක් අප මිදුලේ දැක මා දිගු හුස්මකින් ළය පුරවා ගනිමි. මෙතෙක් අප පෙළුවේ දුප්පත් කම පමණකි. නමුත් අද දින ජීවිතය රැකගැනීම උදෙසා මාගේ දුප්පත් ආත්මය මරා දැමීමට මා සූදානම්ය.


………………………………………
………………………………………

දැන් තවත් දේශීය පුවතක්,……
විපක්ෂයේ තවත් අසාර්ථක කුමණ්ත්‍රණයක සුළ මුළ හෙළිවේ.
පසුගිය දින කිහිපය පු‍රා පැතිර ගිය කරවිල පමණක් ආහාරයට ගෙන දිවිගෙවූ පවුලේ කතාව රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් විපක්ෂය ගෙතූවක් බවත්. ****පක්ෂයේ ප්‍රභල නායකයෙකුගේ ආධාරකරුවෙකු වන තමා මේවන් කතාවක් කීවේ එම නායකයාගේ අනුදැනුම මත බවත් එම කරවිල පමණක් කා දිවිගෙවූ බව කී පවුලේ පියා ඊයේ දිනයේ පිළිගත්තේය.
මේ අතර චීන ආධාර මත රුපියල් ලක්ෂ 870ක වියදමින් ඉදිකල මානෙල් පොකුණ රංග පීටය විවෘත කිරීමට එක්වූ ගරු අතිඋත්තම ****** මැතිතුමාද මේ පිලිබඳව අදහස් දැක්වීය.

"ඉදි‍රියේ පැවත්වෙන ජිනීවා සමුළුව ඉලක්ක කරන් රජය අපහසුතාවයට පත්කිරීම විපක්ෂය දැන්ම ආරම්භ කරපු බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහරු රටට විරුද්ධව කේළම් කියනවා. තවත් සමහරු කන්න නෑ කරවිල කාලා ජීවත් උනා කියලා බොරු කියනවා. මේ සියළු කුමණ්ත්‍රණ පරද්දලා ජිනීවා වලට හොඳ උත්තරයක් දෙන්න නම් බස්නාහිර, දකුණ දෙපළාතම නැවතත් රජයට දීමට ජනතාව බුද්ධිමත් විය යුතුමයි."

(පින්තූරයට ස්තූතිය……
http://www.bubblews.com)


© ප්‍රියා.

09 February, 2014

ෆාමසියේ නංගි කෙල්ල……!!!



මම කලින් වැඩ කරපු ආයතනයෙ වෙච්ච පොඩි කතාවක් ලියලා දාන්න හිතුනා. එතන හිටපු මට අදටත් මතක් වෙත්දිත් හිනා ගියාට මේක කියවලා හිනා ගියේ නෑ කියලා මට බනින්නෙ එහෙම නෑ ඕන්.

ඔන්න එකෝමත් එක රටක නෙමේ ලංකාවෙම තමා. මීට අවුරුදු කිහිපයකට කලින් ප්‍රියා රැකියාව කලා නොවැ තත්ව සහතික නිකුත් කරන ආයතනයක. ඉතින් කලිනුත් කියලා තියෙනවා වගේ මගේ පින්මහිමය ප්‍රභල නිසාම මට කරගහන්න උනේම නයිටට. (නයිට යනු රාත්‍රී සේවය මිස නයිටිය නොවේය. හිකස්…) හැබැයි ඉතින් නයිට නිසාම අර සාය යටින් අත් දාලා ෆොටෝ ගහන එක වගේ අත්දැකීමුත් ලැබුවා නොවැ.

වටේ ගියා ඇති දැන් කතාවට එමුකො. මම ඔය කලිනුත් කතා දෙක තුනකම කියපු අර මහබාගෙ කිට්ටු ආයතනයෙ වැඩ කරපු රාත්‍රියක්. ඒකෙ රාත්‍රි සේවය කරත්දි මුරකරුවන්, නිශ්පාදන සේවකයින් හැරුනම ආයතනයෙ සුපවයිසර්වරු දෙදෙනෙක්, ආයතනික තත්ව පරීක්ෂකවරයෙක් සමග තමා මට වැඩ කරන්න වෙන්නෙ. ඔන්න ඉතින් අදාල දවසෙ වැඩ කරපු නසරානියො ටික කියනවා නම් එක සුපර්වයිසර් වරයෙක් අවුරුදු 35ක විතර ඔය පැත්තෙම එකෙක් අපි මෑන්ට සුනිමල් කියමු. අනෙක් සුපර්වයිසර් අවුරුදු 21ක විතර පොළොන්නරුව පැත්තෙ කොල්ලෙක් ඌට ජගත් කියමුකො. තත්ව පරීක්ෂක පෑලියගොඩ පැත්තෙ බුවෙක්. අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කසුන්ම තමා. අපි මෑන්ට කසුන් කියලම කියමු.

ඔය රාත්‍රී සේවය කරත්දි අපේ පුරුද්දක් තිබුනා සල්ලි දාලා කඩෙන් රෑ 8.30ට විතර කොත්තු, රයිස් එහෙම ගෙනත් තියන් ඉදලා යක්කු ගස් නගින වෙලාවට යක්කුත් එක්ක බෙදාගෙන කනවා. (ගෙදරින් ගෙනියන කෑමට අතරව) බඩජහරි කමට නෙමේ බොලවු බඩගින්නට… බඩගින්නට…


ඔය කඩේ යන වැඩේට හැමදාම වගේ සෙට්වෙන්නෙ ජගත් තමා මොකද ඌට බයික් එකක් නැති නිසා මෑන් හරි ආසයි බයික් පදින්න. කොල්ලාගෙ ආසාවනෙ කියලා අපිත් ඌටම වැඩේ භාර දීලා ශේප් වෙනවා.

ඔන්න ඔය කියපු දවසෙ සල්ලිත් අරන් යන්න ලෑස්ති වෙත්දිම කසුන් කොලයක් කුරුටු ගාලා මුගේ අතට දුන්නා.

"ජගත්, මේ බෙහෙත එන ගමන් ෆාමසියෙන් ගෙනෙන්. ඉන්න බෑ උදේ ඉදන් බඩ රිදෙනවා බං.…"

"පිස්සුද බං? මේ වෙලාවට කොහෙද ෆාමසි? අනික ඩොකෙක් සයින් නොකර බෙහෙත් දෙනවද බං?"

"පිස්සු කෙළින්න එපා යකෝ. අර ****යට එහා පැත්තෙ ෆාමසිය රෑ නමය වෙනකම් ඇරලා. අනික ඒකෙ චිට් එක අවුලක් නෑ."

"කෝ… දියන් එහෙනම්…"

ජගතා ඉතින් සල්ලියි චිට් එකයි අරන් ඉගිලුනා. මෙච්චර වෙලාවක් බඩ අල්ලන් ශිල්ප පෙන්නපු කසුන් මෙන්න මෙලෝ ගානක් නැතුව අපි දෙන්නත් එක්ක හිනා වෙවී කතාව. මූට ඉහෙන් බහින රෝගයක් නෑ කියලා තේරුනත් අපිටත් ගානක් උනේ නෑ.

කොහොම හරි විනාඩි විස්සකින් විතර ජගත් ආයෙ එනවා ඈත තියා දැකපු ගමන්ම කසුන් ආයෙ බඩ අල්ල ගත්තා.

"හම්මේ ඉන්න බෑ බං.… මම යනවා… මම යනවා…" මූ වැසිකිළිය පැත්තට දිවුවෙ අඩියට දෙකට. ඒත් එක්කම ජගතුත් එතනට ආවා. ඒත් උගෙ මූණ දැකපු ගමන් අපට තේරුනා මොකක් හරි අවුලක් බව.

"කෝ අරූ?……"

"ඌ අමාරු වෙලා ටොයිලට් එකට දිවුවා බං."

"ඕකා ආපුදෙන්කො ගලාආඳා. ඕකෙ පදිංචි වෙන්න නෙමේනෙ."

"තොට මොන යකෙක් වැහිලද යකෝ ඌව ම‍රන් කන්න හදන්නෙ?"

"ඕකාද? ඕකා කරපු සක්කිලි වැඩේ උඹලා දෙන්නා දන්නෑ."

අනේ ඉතින් එතන ඉදන් දිග හැරෙන්නෙ ජගත්ගෙ වචන වලින්ම උගේ කඳුලු කතාවයි. හිකස්…

………………………………………

""""මම ගිහින් චිට් එක දුන්නා ෆාමසියෙ නංගි කෑල්ලට. ඒකි නිකන් අප්‍රසන්න බැල්මක් දාලා

"සොරි, මේ බ්‍රෑන්ඩ් එක නෑ. වෙන එකක් දෙන්නද" ඇහුවා බිම බලාගෙනම. මාත් ගොනා වගේ කිවුවා
"එපා නංගි දැන්නම් ටොයිලට් එකට යනවා එනවා විතරයි. ඔය වෙනස් ඒවා බීලා ටොයිලට් එකේ නතර වෙලාම ඉන්න වෙයි" කියලා හිනා වෙලාම. මෙන්න මේකි කටත් ඇරන් මයෙ දිහා බලා ඉදලා ගස්සගෙන ඇතුලට ගියා. ගිහින් එක්කගෙන ආවා හෙන දාර සයිස් බුවෙක් මූත් ඇහුවා මගෙ වෙන බ්‍රෑන්ඩ් එකක් දෙන්නද කියලා

"එපා අයියෙ, බඩේඅමාරුව මදිවට තව ලෙඩක් හැදුනොත්?"

"මල්ලි, මේ බෙහෙත කාටද?"

"මයෙ යහළුවෙක්ට. ඌට හොදටම බඩේ අමාරුව." කියපු ගමන් උන් දෙන්නා හැක හැක ගගා හිනා වෙන්න තියා ගත්තා. ඒ නංගි කෑල්ල හිනා වෙන ගමන් මහ කින්ඩි බැල්මක් දාලා ඇතුලට ගියා. ඊට පස්සෙ අරූ තමා මාට මේ ‍රෙද්දෙ විස්තරේ කියලා දුන්නෙ.
යකො මට වෙච්ච ලැජ්ජාව…මට පොලොව පලන් යන්න හිතුනා බං… උන් දෙන්නා මම මුකුත් නොදන්න බබෙක්ගෙ ගානට දාලා හැසුරුනේ.
අර මූසලයා ආපුදෙන්කො එළියට……""""

………………………………………

උගේ ඇඬියාව ඉවරවෙලත් මෑන් තාමත් දත්මිටි කනවා. අපි දෙන්නට කතාව තාමත් ග්‍රීක් වගේ මෙලෝ හසරක් තේරෙන්නෑ.

"කෝ දියන් බලන්න ඔය රෙද්ද……" මම උගෙ අතේ තිබ්බ චිට් එක උදුරන් බලත්දිම සුනිමලුත් ඒකට එබුනා. අන්න එතකොට තමා තොරණෙ කතන්දරේ අපි දෙන්නට පෙනුනෙ. හි… හි… ඒ චිට් එකේ ලියලා තිබුනෙ……………

// CUP** //

ප.ලි. ~~ කසුන් ලියා දී ඇත්තේ සුප්‍රසිද්ධ 'ලිංගික උත්තේජක ඕෂධයකි'. (එම ඕෂධයට ප්‍රචාරණයක් ලබාදීමේ අකමැත්ත නිසාම එහි නමේ කොටසක් පමණක් සඳහන් කරමි. -- දන්නෝ දනිති.)

ප.ප.ලි. ~~ කසුන් දරුවා මගෙ නොවෙද? කතාවටත් සම්බන්ද නිසාම ඔහුගේ අනන්‍යතාවය සැඟවීමේ අරමුණෙන් මා හැර අන් සියළු චරිත වල අනන්‍යතාවය සැඟවීමට සිදුවූ බව කරුණාවෙන් සළකන්න.

(පින්තූරයට ස්තූතිය……
http://www.healthenclave.com)


© ප්‍රියා.

02 February, 2014

පූජා භූමියකදී අහිමි කරගත් ''කන්‍යාභාවය…!!!"




එකම මාතෘකාවක් ඔස්සේ දිගින් දිගටම කතා කි‍රීම නීරස මුත් කතා කල යුතුදේ කතාකල යුතු අවස්ථාවේම කතා කල යුතු නිසා මේ සිතුවිල්ල මෙසේ සටහන් වේ.

මගේ කුසටම… එන්න පුතුනේ…… නමින් මා ගියවර ලියූ කෙටිකතාව මා සිතූ තරම්ම සාර්ථක නොවූ බව මාගෙ පෞද්ගලික හැඟීමයි. කතාව තවත් දිග්ගැස්සී කොටස් කිහිපයකට කැඩීමට සිදුවේ යන බියෙන් මා කතාව කෙටි කිරීමට උත්සහා දැරීම එයට මා දකින හේතුවයි.

මා හට අවැසී වූයේ හයක් හතරක් නොදැන කුසට පැමිණි නූපන් දරුවා හැර මුළුමහත් සමාජයම ඒ දරුවාගේ මරණයට වැරදි කරුවන් බව (යම් යම් ප්‍රමාණයන්ට) පෙන්වීමටය. කෙසේ වෙතත් කියවූ බොහෝ දෙනෙකු කතාව තේරුම් ගත් අතර ඉතාමත් කිහිප දෙනෙකු කතාව ග්‍රහණය කරගෙන තිබුනේ වැරදි ස්ථාන වලින්ය.

විශේෂයෙන්ම බුකියේ සංවාදයකදී එක් අයෙකු පෙන්වා සිටියේ මේවන් කතා අප රටට නොගැලපෙන බවය. එයින් ඔහු අදහස් කලේ බොහෝ විට මෙවන් සිදුවීම් යථාර්තයන් නොවන නිසා අප රටට නොගැලපෙන බව විය යුතුය. නමුත් අවාසනාවට මෙවන් සිදුවීම් අප රට තුලද අනන්තවත් සිදුවේ.

දෛවයේ සරදමක් ලෙස එයට හොදම උදාහරණය අදාල සිතුවිල්ල පබ්ලිශ් කර පැය විසිහතරක් යාමටත් පෙර මටම අසන්නට ලැබුනි.

අප නිවසට ඉතාම ආසන්නයෙ පිහිටි කුඩා හුදකලා විහාරස්ථානයකි (සම්ප්‍රදායන්ට ගරුකර නම සදහන් නොකර සිටින්නම්).

පසුගිය සෙනසුරාදා දිනයේ (25/01/2014) අදාල විහාරස්ථානය ඉදිරියේ සැකසහිත ලෙස දීර්ඝ වේලාවක් නතර කර තිබූ ත්‍රීරෝද රථයක් පිලිබදව සොයා යෑමේදී විහාරයේ සාමනේර හිමි නමකට දක්නට ලැබී ඇත්තේ තරුණ යුවලක් විහාරස්ථානයේ කම් සැප රිසිසේ විදින අයුරකි. හද කම්පිත කරන සිදුවීම නම් ඔහුන් දෙදෙනා සිට ඇත්තේ බුදු මැදුර තුලය. පසුව සියළු දෙනාගේ දායකත්වයෙන් දෙදෙනාව පොලිසියට භාර දී ඇති අතර විහාරයටද පොලිස් ආරක්ශාව ලබා දී ඇත.


ලැබුන විස්තර අනුව මට්ටක්කුලිය ප්‍රදේශ වාසී දෙපලක් වන අදාල ජෝඩුවේ පුරුෂ පරාණය ත්‍රීරෝද රථ රියදුරා වන අතර ස්ත්‍රී පරාණය ලාබාල දැරියකි. කෙසේ වෙතත් අදාල පුරුෂ පරාණයෙත් ස්ත්‍රී පරාණයෙත් ප්‍රේම පුරාණය අවසන් වූයේ පූජා භූමියක බුදු මැදුරක් තුල 'මධුසමය' ගත කිරීමෙනි.

ප්‍රේම කිරීම වරදක් නොවේ. ලිංගිකත්වයද වරදක් නොවේ. පවක්ද නොවේ. මා දකින ආකරයට මෙවන් ජෝඩු වාගේම ඔහුන්ට එවන් තැනකට පාර කපන සමාජයම වැරදි කරුවන්ය. මාගේ කෙටිකතාවෙ සුධාරිටත් කවීෂටත් එවන් තත්වයකට මග පෙන්නුවේද සමාජයය.

මොහොතකට සිතා බලන්න මුහුදු වෙරළක, චිත්‍රපට ශාලාවක, විනෝද උයනක, මල් වත්තක සිටින ආදරවන්තයින් දෙස 'ඉහල පරම්පරාව' දක්වන විරෝධය. අතකින් අල්ලාගෙන දෑස දෙස බලාගෙන ආදර වදනක් දෙඩීම යනු ඇතම් වැඩිහිටියන්ට නම් තුන් වන සිල් පදය ඉහලින්ම කැඩීමකි. වරදවා නොගන්න මා කතා කරන්නෙ ආදරය පසෙකට විසිකර ලිංගිකත්වය වෙනුවෙන් පමණක් එක්වී අයාලේ යන්නන් ගැන නොවේ. නමුත් අවාසනාවට අප සමාජය කරන්නේ සුධාරිලා කවීෂලා වත් මෙසේ අයාලේ යන්නන්ගේ ගොඩට දමා සැබෑ ප්‍රේමවන්තයින්වත් ලැඟුම්හල් තුලට තල්ලු කර දැමීමය.

බොහෝ විට මුලින් කී විහාරස්ථානයේ 'මධුසමය' ගතකල යුවල නම් ප්‍රේමවන්තයින් නොව ඉහත කී අයාලේ යන්නන් දෙදෙනකු පමණක් විය හැක. නමුත් මෙවන් දේ දකින බොහෝ පිරිස සියළුම ආදරවන්තයින් අයාලේ යන්නන් ලෙස පහත් කුලකයකට දමා ඔහුන්ගේ තිබෙන නිදහසත් සීමා කර දමයි. එවන් සිදුවීම් තුල නැවත නැවත සිදු වන්නේ තව තවත් සුධාරිලා කවීෂලා බිහිවීම පමණි.

ගිය ඉරුදින පුවත් පත් වාර්ථාවක දැක්වුනේ පසුගිය වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පමණක් දැරියන් 497 දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බවය ඉන් 27 දෙනෙකුම මේ වනවිටද මවුවරුය. අවාසනාවට එම 27 දෙනාම වයස 18ට අඩු තැනැත්තියකි.


ඉතින් අපි අපට හැකි පමණින් සමාජය දැනුවත් කරමුද? නැතිනම් මෙවන් කතා අප රටට නොගැලපේ. මෙවන් කතා තුලිනුත් ලිංගික නිදහස ඇහිරේ යැයි හෝ මෙවන් කතා මගින්ද ලිංගිකත්වය මැජික් එකක් බවට පත්වේ යැයි කියා මගේ කුසටම… එන්න පුතුනේ…… වැනි කතා වාරණයට ලක් කරමුද ?????

(පින්තූරයට ස්තූතිය……
http://www.rappler.com)


© ප්‍රියා.