22 December, 2013
කොට සායයි… හුරතලයයි… හරි අවදානම්……
අද මං කියන්න යන්නෙ මගෙම අත්දැකීමක් උනාට මොකද ඒ සිදුවීම පිලිබදව අදටත් මම කණගාටුවෙනවා. ඒ මොකද මේ කතාවේ එන කථානායකයාට මුහුණට දෙකක් ඇනීමේ වාසනාව අහිමි වීම පිලිබදවය.
අඩි වලින්ම අඩි හයකුත් ඒමදිවට තවත් අඟල් හතරකුත් උස ගිහින් ශරීරයෙන් හයයි හතරෙ පොරක් උනාට මොකද අපි හීනෙන්වත් චන්ඩිනම් නෙමේ. බොහොම අහිංසක බෝ පැල වගේ චරිත. එහෙම වෙලත් මේ සිදුවීමින් සෑහෙන කාලයකට පසුවත් මට තියෙන්නෙ එද සිදුවීමට විරුද්ධව පියවරක් ගැනීමට නොහැකි වීම පිලිබද කණගාටුවකි.
මේක වෙලා දැනට අවුරුදු තුන හතරක් ඇති. ඒ දවස් වල මම වැඩ කලේ අර දරුවා මගෙ නොවෙද? කතාවෙ කියපු තත්ව සහතික දෙන ආයතනයෙයි. දවසක් රාත්‍රී සෙවා මුරයට මීගමු පාරෙ මහබාගෙ කිට්ටුව යම් ආයතනයකට යාමට ආවා 187 (ගුවන්තොටුපල-කොටුව) බසයට නැගීමට අලුත් පාලම උඩට. ඔය පාරෙ යන ඇත්තො දන්නවා නොවැ හවස 5.30ට 6.00ට 187 බස් වල හිරවෙලා තෙරපිලා යත්දි තියෙන සනීපෙ.
ඉතිං එදා අලුත් පාලම උඩින් මාත් සමග සෑහෙන සෙනඟක් බසයට නැගගත්තා ඒ අතර හිටියා අවුරුදු 20ක විතර කෙල්ලෙක්. අනේ පවු හරි දුප්පත් දැරිවියක්. කොයි තරම් දුප්පත්ද කියනවා නම් අවුරුදු 11හ 12කාලෙ ඇදපු සාය කෑල්ලක් ඇදන් ඇවිත්. ඉතිං දෙවියනේ මේක දණිස්සටත් අඟල් ගානක් කොටයි (දැන් අහන්න එපා ඒක මම මැන්නද කියලා. හික්…).
ඒ ගෑණු දැරිවි හිට ගත්තෙ 'පූජ්‍ය පක්ෂයට' වෙන් කර ඇති ආසනය ලගින්මයි. මම හිටියෙ ඇයට දකුණු පසින් ඊලගට. ඒ පූජ්‍ය පක්ෂයෙ ආසනයෙ ඒ වෙලාවෙ හිටියෙ පිරිමි දෙන්නෙක්. ජනේලෙ අයිනෙ එකා නින්දෙයි සැප නින්දෙයි වෙනස තෝරනවා. අනිත් මනුස්සයා අරමුණක් නැතිව ෆෝන් එකක් තියන් ඔහේ ඔබනවා. ගේම් ස්ටාර්ට් කරනවා, කැමරා ඔන් කරනවා, කැලැණ්ඩරේ අරන් දින ගනිනවා එක විකාරයයි (අපි අනුන්ගෙ ෆෝන් දිහා හොරෙන් බලන්නෑ බොලවු. අපිට පේන ඒවා පේන ඒවා).
ටිකක් දුරක් යත්දි අර දැරිවිත් හිටගෙනම ෆෝන් එක කණේ ඔබා ගත්තා. දැන් ඉතිං මෙලෝ සිහියක් නෑ කඩනවා කඩනවා. කඩන මල් බස් එක පුරා විසිරෙනවා. බස් එක ඔලියමුල්ල හරියට ලං උනා වෙත්දි අර ෆෝන් එක ඔබන මෑන් අර කෙල්ලගෙ කකුල් දෙක මැද්දට අත තියලා උඩ පැත්තට හරවලා ගත්තා ෆොටෝ එකක් !!. මෑන්ගෙ කරුම වෙලාවට ෆෝන් එකේ කැමරා සවුන්ඩ් එක විතරක් නෙමේ ෆ්ලෑෂරේ පවා ඔන් කරලා.
ඒ තත්පර ගානට කැමරා සවුන්ඩ් එකයි ෆ්ලෑෂරෙයි විතරක්යෑ සෙනග පිරිච්ච බස් එකේ කකුල් දෙක ඈත් කරන් හිටන් හිටපු ඒ කෙල්ලගෙ කකුල් දෙක මැදට අත තියලා ඌ ෆෝන් එක කොකා ගස්සන එකත් ඔක්කොම මම දැක්කා. ඒත් ඒ කෙල්ල මෙලෝ සිහියක් නැතුව තාමත් මල් කඩ කඩ විසික් කරනවා.
ෆොටෝ එක ගත්තත් කැමරා සවුන්ඩ් එක නිසා මෑන් බය වෙලා වගේ වටපිට බලත්දි පිටිපැස්සෙ හිටපු මං කට ඇරන් පුදුමෙන් බලන් ඉන්නවා දැක්කා. ඇත්තටම වෙච්ච දේ හිතා ගන්න බැරුව හොල්මන් වෙලා හිටපු මම පියවි සිහියට එත්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඔටෝ සේව් ඕෆ් කරලා තිබුන ෆෝන් එකේ ෆොටෝ එක සේව් යස් නෝ කියලා අහලා තියෙත්දි නෝ කරලා රෙඩ් බටන් එකත් ඔබලා දැම්මා.
එතනින් එහාට කවර කතාද? මම මේක ගැන අනිත් උන්ටත් කියලා මූට හොම්බට දෙකක් ඇන්නත් මම කොහොමද ඒක ඔප්පු කරන්නෙ??! ඒ කෙල්ලගෙන් ඇහුවත් නියත වශයෙන්ම ඇය ගත් කටටම "නෑ එහෙම දෙයක් උනේ නෑ." කියනු ඇත. එවිට ඇතම් විට විත්තිකරු නිදොස් වී පැමිණිල්ල වූ මට එල්ලුම් ගහේ දළු කැඩීමට සිදුවනු ඇත.
කොහොම හරි මගේ රැවීමෙන් පස්සෙ මෑන් උතුර දකුණ මාරුවෙලා වගේ ඊලග හෝල්ට් එකෙන්ම බැහැලා ගියා. තමා කරපු වැඩේ දැකපු එකෙක් හරි බස් එකේ ඉත්දි බස් එකේ ඉන්න එක භයානකයි කියලා මෑන්ට හිතෙන්න ඇති. හප්පේ ඉතිං බස් එකේ මෙච්චර තමන්ගෙ කකුල් දෙක මැද්දෙම වෙලත් අර ගෑණු දැරිවි ඒ කිසිම දෙයක් නොදැන අර තමා ඉස්සරහා හිස් වෙච්ච ආසනේට බර වෙලා මල් කඩලා කඩලා දැන් පොහොට්ටුත් කඩනවා.
දැන් මේක කියවලා අපේ බ්ලොග් අවකාශෙ ගෑණු ලමයි කඩු කිණිසි අරන් මට 'පුරුෂෝත්තම වාදියා' කියලා බනින්න කලින් මේ ටිකත් කියවලාම ඉන්න. (ඊට පස්සෙ ඕනම නම් බනින්න.)
ඇත්තෙන්ම ගෑණූ දැරිවියො කොටට ඇදීම පිලිබදව මගේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද අන් අයට හිරිහැරයක් නොවන පරිදි තමා කැමති ඇදුමක් ඇදීමට විලාසිතාවක් කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් තිබිය යුතුය. ඔසරිය ඇදීමට සේම කොට සාය ඇදීමටද කාන්තාවකට හිමිකමක් ඇත. නමුත් ගැටළුව ඇත්තෙ අප සමාජයේ ඇතම් පිරිමින්ට තාමත් දණහිසට තරමක් උඩින් පෙනෙන් කකුලත් ගෙලට මදක් පහලින් පෙනෙන පපුවත් මහා 'පුදුමාකාර' දේවල්ය. කොටින්ම කියනවානම් ඒ අසහන කාරයන්ට නිරුවත යනු මහා 'මැජික්' එකකි.
එවන් පිරිමින් මධ්‍යයේ වුවද ඔබට අවශ්‍යම නම් කොටට ඇන්දාට කම් නැත. නමුත් ඔබගේ ආත්ම ගෞරවය බිලි ගැනීමට මාන බලන පුද්ගලයින් හමුවේ ඔබ ඉතා අවධානයෙන් සිටිය යුතුය. කිමද මා දුටුවා වැනි සිදුවීම් අනන්තවත් සිදුවිය හැක. බොහෝ විට ඒ ජායාරූප නවතින්නෙ අන්තර්ජාලයේ විය හැක. අවසන් ප්‍රථිපලය ඔබගේ ජීවන සහකරුට පමණක් හිමි ඔහු පමණක් දැකිය යුතු බොහෝ දේ ඔබද නොදැනුවත්ව ලොවින් අඩක්ම නැරඹීමයි.
ඔබට රටේ ලෝකෙ සිටින සියලුම පිරිමින් සිතන ආකාරය වෙනස් කිරීමටවත් ඔහුන්ගේ අසහනය සමනය කිරීමටවත් නොහැක. නමුත් ඔබේ ආත්ම ගෞරවය රැකගැනීමට ඔබ දැන ගත යුතුය. එය සදහා ඔබ ඕනෑම ස්ථානයකදී අවධානයෙන් සිටිය යුතුය.
මා මුලින් කොට සාය විවේචනය කල නිසාවෙන් ඔබ තාමත් මා 'පුරුෂෝත්තමවාදියෙක්' ලෙස සිතා සිටිනවා නම් මා මෙයට පෙර ලියූ කොන් වුන කොන්දොස්තර'වරිය' කියවන්න. මා පුරුෂෝත්තමවාදියෙක්වත් කාන්තාවාදියෙක් වත් නොව. නමුත් මාද මාව දහසකුත් දුක් විඳ හදාවඩාගත් මවකගේ පුතෙකි, සහෝදරියන් දෙදෙනෙකුගේ සහෝදරයෙකි, ආදරණීය බිරිඳකගේ සැමියෙකි, හුරතල් දියණියකගේ පියෙකි, මිතුරියන් රැසක් සිටින මිතුරෙකි. මෙය කියවන ඔබ සැමද මා අදහන පරිදි මාගේ මිතුරු මිතුරියන්ය. මෙය ලීවේ ඔබ සැම දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.
අවසන් වශයෙන් කීමට ඇත්තෙ මෙපමණකි. මා දූපත් මානසිකත්වයෙන් පෙලෙන්නෙකු නොවේ ඔබ ඔබට කැමතිනම් කොටට ඇන්දත් දිගට ඇන්දත් ප්‍රශ්ණයක් නැත. එය ඔබට ඇති හිමිකමකි. එයට කිසිදු තර්කයක් නැත. නමුත් කරුණාකර ඔබ කුමන ආකරයේ ඇඳුමක් ඇන්දත් ඔබේ වටපිටාව පිලිබදව අවධානයෙන් පසු වන්න. කිමද 'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය'.
(පින්තූරය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)
© ප්‍රියා.
Subscribe to:
Post Comments (Atom)
සිරාවටම අයියේ..මේ කතාව නම් ඇත්ත.මේ වගේ එකක් මටත් උනා.ඒත් ඉතිං ඒ තුමාගෙ හතර හන්දිනම් එදා බසු එකේ මින්ස්සු කැඩුවා
ReplyDeleteඇත්ත මල්ලි ඔය වගෙ උන් නිසා තමා හැම පිරිමියටම බැනුම් අහන්න වෙන්නෙ
Deleteමටත් තාමත් දුක මූට සලකගන්න බැරි උන එකයි.
'කාන්තාවකගේ වටිනාම වස්තුව ඇයගේ ආත්ම ගෞරවයය' ඒ වුනත් ප්‍රියා අද තරමක් කාන්තාවන් තුල නැත්තේද එයමය.
ReplyDeleteඔව් ඒකට හොදම උදාහරණෙ මම ඒ කියපු කෙලි පොඩ්ඩ.
Deleteඑදා ඒක ඔප්පු කර ගන්න පුලුවන් වෙලා අරූටත් ගේම ඇද්දානම් මන් බස් එකේම තියලා ඒ කෙල්ලටත් හොදවයෙන් දෙකක් කියලයි බහින්නෙ.
හප්පෙ කෝරලේ වැඩේ ඉවරද? ගොඩ කාලෙකින් බ්ලොගේදි දැක්කෙ?
ඔව් ප්‍රියා ඔන්න අයි පෝස්ට් එකක් දැම්මේ. සමහර වෙලාවල් වල අපි අසරණ වෙනවා අසාධාරණේ දැකලත් කිසි දෙයක් කර කියාගන්න බැරිව.
Deleteඔව් කෝරලේ අසාධාරණේ දැකලා ඒක ඉවසන එක තරම් වෙන දෙයක් අමාරු නෑ.
Deleteඅර කතාවකුත් තියෙනවනෙ "වැරදි කරන එකාට වඩා ඒවා ඉවසන එකා වැරදීයි." කියලා.
දැනට ටික කාලෙකට ඉස්සර සූක්ෂම කැමරාවක් තියාගත්තු මනුස්සයෙක් හිටියා ගෑණු ළමයින්ගේ පින්තූර ගන්න.එයා එහෙම පින්තූර එඩිට් කරලා අන්තර්ජාලයට එකතු කරා.පස්සේ මිනිහා පොලිසියට අහු උනා..ඒකෙන් ආත්ම ගෞරවය කියන දේ නැති උන ගෑණු අය කිහිප දෙනෙක්ම හඬා වැලපුනා අන්තිමට..
ReplyDeleteඅවස්ථානුකූලව ඇඳුම් අඳින්න දන්නෙ නැතිකම තමයි මුල්ම වරද..ලංකාවේ දැනට තියන සමාජ තත්ත්වේ ගැන හැමෝම දන්නවනේ.ඉතින් පාරේ බස් එකේ , කෝච්චියේ යනකොට අඳින්න ඕන විදිහ ගැන ගෑණු ළමයෙක් දෙපාරක් හිහන්න ඕනේ...ඒ ගැන පහු ගිය කාලේ හිරු අක්කා පෝස්ට් එකක්ම දාලා තිබුණා..
ඒ පිරිමියා කරපු දේ හරි කියනවා නෙවෙයි....ඒ වගේ අවස්ථාවලට ඉඩ නොලැබෙන හැටියට අවසිහියෙන් ඉන්නෙ නැතුව හැසිරෙන එක කරන්න ඕනේ අපිමයි.සමාජේ හදන්න තනි පුද්ගලයෙකුට බෑ..මම හැමවිටම කියන දෙයක් තමයි සමාජෙට ඕන විදිහටත් අපිට අකමැත්තෙන් හෝ ඉන්න සිද්දවෙන අවස්ථා තියනවා කියන එක.
අනික බස් එක කියන්නේ මල් කඩන්න ඕන තැනක් නෙවේනේ.., ඔච්චර සෙනඟ පිරිච්ච බස් එකක් ඇතුළේ ඔහොම හැසිරුණාම කොට සායකුත් ඇඳගෙන බහුතරයක් හිතන්නේ මේ "බඩු කෑල්ලක්" තමයි කියලා..හිතලා මතලා වැඩ කරන්න කාන්තා අපි පුරුදුවෙන්න ඕනේ ආත්ම ගෞරවය රැකගන්න ඕන නම්..
ඇත්තම තමා රෙහානි ඔයාගෙ අදහසට මං ගරු කරනවා. අපිට අකමැත්තෙන් උනත් සමාජෙට අවශ්‍ය විදියට වෙනස් වෙන්න වෙන අවස්ථා තියෙනවා.ඒකනෙ "වවුලාගෙ ගෙදර ගියා නම් එල්ලිලා හිටපල්ලා" කියන්නෙ.
Deleteඒක මේ ගෑණු දැරිවියො තේරුම් ගන්නවා නම් ප්‍රශ්ණයක් වෙන්නෑ.
මාත් රෙහානි එක්ක එකගයි
Deleteඔව් ඔමා. රෙහානි කියන දේ සම්පූර්ණ ඇත්ත.
Delete+++++++++++ රෙහානි අක්කෝ
Deleteමාත් උඩින්ම එකගයි අක්කේ.ඇයි මතක නැද්ද මීට අවුරුද්දකට දෙකකට කලින් දොස්තර මහත්තුරු දෙන්නෙකුත් මේ වගේ දේවල් කලා.එක්කෙනෙක් කැමරා කාරයෙක් උනා,අනිකා ගෑණු ළමයෙක් රේප් කරලා හොස්පිටල් එකේ උඩම තට්ටුවෙ ඉදන් මරලා අතඇරියා.දැන් උගත්තුත් මේ වගේ වැඩ කරනකොට ඉතිං නූගත්තු ගැන කවර කතාද?
Deleteමටත් කියන්න තියෙන්නේ මේ කතාවට එකඟ යි කියල තමයි. පොඩි දෙයක් එකතු කරන්නම්. මම හිතන්නෙ ගැහැනු වුණත් පිරිමි වුණත් තමන් ගැන බලා ගන්න, තමන්ට සමාජයෙන් ඇඟිල්ල දිගු නොවෙන විදිහට හැසිරෙන්න තමන් දැන ගන්න ඕනෙ කියලා.
Deleteමල් ඔය වගේ වැඩ කරන්නෙ නුගතුන් නෙවෙයි ඔලුව ව්කෘත්ති උන අය ..
Deleteමට ඕකට එකතු කරන්න දෙයක් මතක් උනා නාමල් මල්ලි, මෙ ලගදි මං ගොසිප් සයිට් එකක දැක්කා ත්‍රීවිල් වල පිටිපස්සෙ කැමරා සෙට් කරලා ෆොටෝ ගත්ත සිද්දියකුත්.
Deleteඒක ඇත්ත දිලිනි, තමාගෙ ආත්ම ගෞරවය රැක ගන්න පිරිමි උනත් ගෑණු උනත් දැන ගන්න ඕනි.
Deleteසහෝ කියන කතාවෙනුත් මට යමක් මතක් උනා. මට මතකයි ලංකාවෙ මුලින්ම ඔය කුඩා කැමරා කියන සංකල්පය එලියට ආවෙත් ඉංජියෙක් පෑනක සෙට් කරපු කැමරාවකින් ගත්ත ෆෝටෝ නිසානෙ.
Deleteඔහොම පොස් කමට අදිනවා නම් වාහනයක යන්න ඕන .පොදු ප්‍රවාහන වල යනකොට අනවශ්‍ය ප්‍රශ්න එන එක වලක්වන්න බැහැ.අදින පළදින එකේ අයිතිය හරි නුමුත් ආරක්ෂාව සන අනිකුත් දේවල් වලින් ප්‍රමුකතාවය දෙන්න ඕන කොකටද කියන එකෙන් මම නම් හිතන්නේ අරක්සාව හොදා දෙයක් වෙලා එක එකාට බනින්න තියා ගන්නේ නැතුව.උබ හරි. . .දෙකක් අනින්න කලින් උබත් හැමදේටම කලින් උදේ අරක්සාවට මුල් තැන දියන් . මොකද මේක ලන්කවනේ
ReplyDeleteඔව් බං ඇත්ත සමහර විට මාත් අත් දැම්මා නම් උගෙ පැත්ත අරන් බස් එකම මට නෙලන්න තිබුනා. ඒ ගැන හිතලා තමා මාත් සද්දෙ වහලා හිටියෙ.
Deleteමොකද උඹ කියන්නත් වගේ මේක ලංකාවනෙ. මෙහෙ වදින වදින දේවලේ ඔලුවටමයි වැටෙන්නෙ.
හෙලිවැල්ලෙන් ඉන්න ඕන තැන ඇඳුම් ඇඳගෙන ඉන්න එකයි ඇඳුම් ඇඳගෙන ඉන්න ඕන තැන්වල හෙලිවැල්ලෙන් ඉන්න එකයි හඳුනගන්න බැරිවුනාම අනවශ්‍ය ප්‍රශ්න. විලාසිතා කරන්න ඕන . ලේටස්ට් ෆැෂන් වලට කවුද ආස නැත්තේ..අපේ අය තව හිතන්න ඕන. මොකද ලිංගිකත්වය අපේ බොහෝ අයට තාම මැජික්.
ReplyDeleteඒක නම් ඇත්ත
Deleteඇත්ත අරූ අයියෙ අපෙ සමහරක් කෙල්ලො පංසලකට පල්ලියකට වත් හරියට ඇදන් යන්න දන්නෑ නොවෑ. තැනට අනුව විලාසිතා කරන්න උන් දැන ගන්න ඕන.
Deleteහ්ම්ම් ඔව් ඔමා.
Deleteඔයාට මොනා කියන්නද ප්‍රියා මේ රටවල් එක්ක ඕවා සංසන්දනය කරලා කොමෙන්ට් එකක් දාන්න හිතුවත් දාන්නේ නැහැ .. මේක පුංචි ප්‍රශ්නයක් නෙමේ ගැහැණු තැන අනුව අදින්න ඕනේ කියන එක නෙමේ ඊට කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනේ,..
ReplyDeleteඇත්ත ඔමා ගොඩක් රට වල අපේ කෙල්ලන්ට වඩා කොටට අදිනවනෙ. ඒ වගේම ඊට ශාපේක්ෂව පිරිමිත් නිරුවත ලිංගිකත්වය ගැන හොදට තේරුම් අරන් ඉන්නවා (යම් දුරකට). ඒ අතින්නම් ඇත්තටම අපෙ රට ගැන දුකයි
Deleteඅපෙ මිනිස්සු ආකල්ප හදා ගනීද???
ඔව් හාදාගනී ගැහැණු කියන ජාතිය ලෝකෙන් නෂ්ඨ වෙලා ගියදවසට ,,
Deleteඑදාට අපි ප්‍රමාද වැඩී ඔමා.
Deleteඅපි තේරුම් ගන්න ඕන පිරිමි නැතුව ගෑණුන්ටවත් ගෑණු නැතුව පිරිමින්ට වත් පැවත්මක් නෑ කියලා.
පිරිමින්ගෙ ආකල්ප වෙනස් කරගන්න ගෑණුන්ගෙ ඔය එක එක විකාර බාදාවක්, උන් ඇග පෙන්නන්න අදිනව, අපි බලනව, අපේ අසහනය වැඩි වෙනවා...මන් මේ ජෝක් එකට කිව්ව නෙමේ...
Deleteඅනේ මන්දා සසිදු ඕක වක්‍රයක් විදියට ගිහින් කොහෙන් නවතීද කියන එක තමා ප්‍රශ්ණෙ.
Deleteකෝ මගේ කොමෙන්ට් එක
ReplyDeleteප්‍රියා අයියේ ස්පෑම් වල බලන්න
Deleteස්පෑම් වලත් නෑනෙ ඩොක් අයියෙ.
Deleteතරහා නැතුව කරදරයක් නෙමේ නම් ආපහු දානවද??
ස්පෑම් වලත් බැලුවා. නෑ ඔමා.
Deleteහැබයි මෙහෙම උන පලවෙනි වතාව.
අපි රටේ සංස්කෘතිය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ, ලංකාව වගේ රටක හැසිරෙන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕනේ. මේක යුරෝපිය රටක උනානම් කිසි කෙනෙක්ට ඕක විශේෂ දෙයක් නෙමෙයි, මක්නිසාද ඒක ඒ රට වලට සාමාන්‍ය දෙයක්.
ReplyDeleteමොනවා උනත් මල්ලි මේක පල කරපු එක බොහොම හොඳයි, අඩුගානේ මේවා කියවලා වත් මේ ගැනු හැදෙන්නේ නැතැයි.
අද සමාජේ යන්නේ අපිට පාලනය කර ගන්න බැරි තරමට බොහොම දරුණු පැත්තට, අපි හැමෝගෙම වගකීම මේ ගැන අවධානයෙන් සිටීම. විශ්ෂයෙන් අපි කුඩා දරුවන් ගැන අවධානයෙන් සිටින්න ඕනේ, මොකද සමහර ළමා අපචාර වලට කාන්තාවන් පවා සම්බන්ධ නිසා.
කියන්න කරුණු ගොඩක් තියනවා, නමුත් මේකේ ලියන්න විදිහක් නැහැ
ස්තුති මල්ලියෝ, මේවා ප්‍රසිද්ධියේ කථා කිරීම ගැන.
බොහොම ස්තූතියි අයියෙ. ඒ වගේම කණගාටුයි කලින් කමෙන්ට් එකට උන දේට. ඇත්ත ඩොක් අයියෙ අපි අපේ රටේ කලාපෙ තත්වෙ තේරුම් අරන් අපෙ මිනිස්සු තේරුම් අරන් ජීවත් වෙනවනම් මේ මොකුත් නෑ.
Deleteඅනික අයියෙ ඔයා කියනවා වගේ ගෑණුන්ගෙනුත් දරුවො ආරක්ශා කර ගත යුතුයි මන් ඒ ගැනත් කලින් ලිවුවා.
රැක ගත යුත්තේ දියණිය පමණද?
අලේ මන්දා ප්‍රියෝ... කොටට අඳින එක වරදක් කියනවා නෙමෙයි. ඒත් කොටට ඇඳලා බස් එකේ යද්දි ඔය සාය කෑල්ල අතින් ඇද ඇද හදන්ඩ යන එකම මොන දස දුකක්ද මං අහන්නෙ. ඩෙනිමයි, බැගී ටි ෂර්ට් එකයි තරං සැපතක් තවත් නැතුවා... හැබැයි එහෙම ඇඟේ හැඩයක්කත් නොපෙනෙන සරල ඇඳුමක් ඇඳන් යද්දිත් ජැක් ගහන්ඩ එන පිරිමි ඉන්නව නේද... මමනම් කිසිම අනුකම්පාවක් නැතුව ප්‍රාර්ථනා කොරනව එහෙම උන් ලබන ආත්මෙ ****ම වෙලා උපදින්ට කියල...
Deleteකොටට ඇඳන් යන්ට ආස නම් ඉතින් යටට ස්කර්ට් එකේ ගානටම Tri short එකක් ඇන්දානම් හරි. බලන උන්ට හුළං තමයි. දුකේ බැරුවා නේ ඒ සායට යටින් එබෙන අහිංසක බලාපොරොත්තු ගැන. අවශ්‍ය තැන් හොඳින් වහගෙන කොටට අඳින්ට පුලුවන් බව නොතේරෙන්ට ගෑණු ළමයි බබ්බු නෙමෙයි නේද?
එහෙම අඳින්නෙ නැතුව සබ්බ සකලමනාවම එලියෙ දාගෙන යනවා නම් ඉතින් ඒ ගෑණු ලමයාගෙත් පුරස්නයක් තමයි. මොකද අපි ඉන්නෙ යුරෝපෙ නෙමෙයි නෙව.
හරියට හරි බස්සි, මේ ඔක්කොම ප්‍රශ්ණ වලට මුල දේශෙ හැටියට වාසෙ නොදැනීමයි.
Deleteඅනික මාත් හිතන විදියට අර ෂෝටත් හොද විකල්පයක් තමා ඔය කකුල් මැද්දෙ සිහින ලෝක හොයන උන්ට.
හොද දෙයක් ගැන කතා කරලා තියෙනව.නියමයි ප්‍රියා..
ReplyDeleteස්තූතියි රජ වීදිය මචෝ.
Deleteඋඹ කාටවත් පින්සෙන්ඩු වෙන්න උවමනාවක් නැහැ මල්ලි.
ReplyDeleteලිවිය යුතු දේ ලෙසටම ලියල.
මේ රටවල පාසල් එකිලගේ ජංගිය පවා පේනවා.තරුණ එකීලා ලගේ කියල වැඩක් නැහැ.
නමුත් පොදු ප්‍රවාහන යන පිරිමින්ට කිසිම ගානක් නැත.
මෝල් අමාරුව තියන අයට ඉන,පපුව,පුක cm ගානට මැගසිනයක් බලා තමන්ටම කෝල් කර ගෙන්වා ගත හැකිය.
වැඩේට අමතරව පින්තුර ගන්නවානම් තව කියක් හෝ අතමිට මොලවා කරගත හැකිය.
සදාචාරය ගැන හිතන් මට කියා ගන්න බැරුව හිටපු කතාව කෙන්ජි අයියා කියලා ආරම්භයක් අරන් දුන්නා. ස්තූතියි අයියෙ.
Deleteඅපේ රටෙත් ඉන්නවා ඔය මෝල තදවෙච්ච උන්ට ඕන තරම් කැමැත්තෙන්ම එන ලෝකෙ පැරණිම රස්සාව කරන ගෑණු. ඒත් වැඩේ තියෙන්නෙ මේ අසහන කාරයො සල්ලි වියදම් කරලා ඒ ගෑණු ගාවට යන්නෑ. පාරෙ යන ගෑණුන්ට ඉන්න දෙන්නෙත් නෑ.
එකක් තමා තැනට ගැලපෙන ඇඳුම් අදින්න පුරුදු වෙන්න ඕන. කාර් එකක වගේ පුද්ගලික වාහනයක යනවා නම් ප්‍රශ්නයක් නෑ... නමුත් පොදු වාහනයක යනකොට මෙහෙම ඇඳුම් ඇඳිල්ල එච්චර සුබ නෑ...
ReplyDeleteඅනිත් එක තමා මෙහෙම ඇඳුමක් ඇඳගෙන ගිය පලියට ෆොටෝ ගහන එක අසාධාරණයි. ඕවා තමා අන්තිමේදි සිංහල වැල පින්තූර සිංහල වැල වීඩියෝ කියලා එලියට එන්නේ... මෙහෙම කොට ඇඳුම් අපිට අරුමයක් උනාට පිටරටවල් වල මිනිස්සුන්ට ඒ හැටි ගානක් නෑ..
ඇත්ත මධූ අපිට තමා කොට සාය ස්කිනිය වගේ ඇදුම් මැජික්. පිට රට වල ඒ ඒ සංකෘතීන් එක්ක ඒවා පොඩි කාලෙ ඉදන්ම ඒ විදියට හැඩ ගැහෙනවා.
Deleteඇත්ත පොදු ප්‍රවාහන සේවා වල යන දැරිවියෝ මීට වඩා සැලකිලිමත් විය යුතුයි.
රෙහානි අක්කා කියන්න ඕනේ ඔක්කොම කියලා වගේ :) අපිට දෙයක් ඉතුරු කරලා නෑ. හැබැයි, මෙහෙම දේකුත් තියෙනවා. සමහර ගෑනු ළමයි කැමැති යි තමන්ට තියෙන දේවල් පෙන්නන්න. ඒක දැන් සෑහෙන්න සුලබ දෙයක් වෙලා. එහෙම පරිසරයක් යටතේ පිරිමියෙක්ට පින්තූරයක් ගන්න අදහසක් පහළ වෙන එක අරුමයක් නෙමෙයි. මොකද ලංකාවේ ඉන්නේ රහත් වෙච්ච පිරිමි නෙමෙයිනේ. ඒ නිසා මේ කරණාව හිතන්න ඕනේ දෙපැත්තක් තියෙනවා.
ReplyDeleteඅනිත් එක තමයි ගෑනු ළමයෙක් වුණා ම තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බස් එකේ යනවා නං ඩෙනිම් කලිසමක් අඳින එක තමයි වැඩිය ම හොඳ! මොකද දිග සායක් ඇන්දොත් නගින්න බහින්න අමාරු යි. ඒ වගේ කෙනෙක් බහිනකං බලාගෙන ඉන්න තරම් ඉවසිල්ලකුත් අපේ බස්කාරයන්ට නැහැනේ. අනෙක් අතට කොට සායක් ඇන්දොත් හිටගෙන ගියත් අවුල් :( ඉඳගෙන ගියත් අවුල්. ඔන්න ඕක යි තත්ත්වේ!
ඔව් ධාරා, මාත් හිතන විදියට පොදු ප්‍රවාහන සේවයට නම් ගැලපෙන්නෙ ඩෙනිම වගේ ඇදුමක් තමා.
Deleteඅනික සමහර ගැහැණු ලමයි සාය ඇදන් වැඩට යනවා දැක්කම කොහොමද දෙයියනේ ඔෆීස් එකේ මේවා ඇදන් ඉන්නෙ කියලා හිතෙනවා.
ආත්ම ගෞරවය ගෑණුන්ට නෙමෙයි බන් පිරිමින්ටත් බොහෝම වටිනවා...
ReplyDeleteඔය කතාවට 200%ක් එකඟයි මාතලන් අයියෙ.
Deleteගෑණියෙක්ට විතරක් නෙමේ ආත්ම ගෞරවේ පිරිමින්ටත් වැදගත්. මේ වගේ උන් නිසා තමා ඔක්කොම පිරිමි දිහා මිනිස්සු වැරදි ඇහෙන් බලන්නෙ.
මම නම් හිතන්නෙ කෙල්ලො කොටට අදින්න ඕනී හැබැයි ගැලපෙන තැනට මොකද කෙල්ලො ,අනික මම ඔය සාය කියන ඇදුමට වඩා ගැනු ළමයෙකුට කලිසම ගැලපෙනවා කියලා හිතන පොරක්. අපේ කෙල්ලොත් හිතන්නෙ අගපසග පෙන්නන එක විලාසිතාක් කියලා .අපේ රටේ ඔය පැත්තෙන් අධ්යාපනිකක වශයෙන් පොඩි පසු බැමක් තියෙනවා .උසස් අධ්‍යපනය තුල හැබැයි ඔය අඩුව හැදෙනවා ..අපේ අය වෙරළට අදින එක පාටි වලට අදිනවා පාට් වලට අදින එක පරෙ යන්න අදිනවා .ඉතින් අපේ ඉන්න පිරිමි මද කිපෙන එක නතර කරන්න බෑ ..අහන්න එපා කෙල්ලො කොටට ඇන්දා කියලා ඇයි පිරිමි කුලප්පු වෙන්නෙ කියලා ..ඒ වගේ ගොන් ප්‍රකාශ කරපු අයත් අපේ රටෙ හිටියා ..
ReplyDeleteඔව් සහෝ උපතෙ ඉදන්ම අපේ සමාජෙ ලිංගිකත්වය කියන එක තහනම් මාතෘකාවක් කරපු එක තමා මේ හැම දේටම මුල.
Deleteපාසලේදි සෞඛ්‍යය පාඩම මග හැරලා යන ගුරුවරියො ඉන්න රටක මොන ලිංගික අධ්‍යාපනයක්ද
ඔය කතාවෙ තව පැත්තකුත් මම දැක්ක ප්‍රියා ගෑනු ළමයි බිම ගෑවෙන සයිස් එකට ස්කර්ට් ඇඳගෙන බස්වලින් කෝච්චිවලින් බහිද්දී පස්සෙන් බහින එකා බොහොම පෙරේසම් වුනේ නැත්නං අර ළමයාගේ ඇඳුම පෑගෙනවා,සාරි ඇඳගෙන යන අයත් එහෙමයි සාරිපොට පස්සෙන් ඇදීගෙන යනව පෑගුනොත් රවනව.
ReplyDeleteවාහනවල යද්දී මෙලෝ සිහියක් නැතුව මල් කඩනකොට ඔයවගේ විකෘති ආසාවන් තියෙන එව්වො ප්‍රයෝජන ගන්න බලනව තමයි.
හරියට හරි හැලප අයියෙ. ඔතනදි එහා පැත්තෙ පැට්තෙන් කඩන මල් අහුලන එකාටත් වගකීමක් තියෙනවා තමන්ගෙ ගෑල්ලමයාගෙ රැකවරණය තහවුරු කරන්න.
Deleteඅර දිග ඇදුම් අදින එකත් ප්‍රශ්ණයක් තමා. මේ ඔක්කොටම එකම විසදුම මම හිතන්නෙ මොන ඇදුම ඇන්දත් සිහි බුද්ධියෙන් ගමන් කිරීමයි
ඔය වගේම වැඩක් වෙලා වතාවක් මමයි මගේ මිතුරෙකුයි හයේ හතරෙ සයිස් පොරකට ගැහුවා දුවනකං....මගේ යාලුවා පස්සෙ දවසක ජා-ඇල නගරයට ගියාම..අපෙන් ගුටි කාපු එකා මෙන්න වාහන හසුරවනවලු ජා-ඇල ටවුම මැද්දෙ...
ReplyDeleteහපොයි දෙයියනේ ඒ කියන්නෙ ට්‍රැෆික් බාප්පෙක්.
Deleteඕවට ඉතිං කියන්න වෙන්නෙ "වැටත් නියරත්…………" හිකස්……
හැබැයි නෙලපු එකනම් හොදම වැඩේ.
සිතිවිල්ල නම් හොඳයි මචන්, ඉතාම සද්භාවයෙන් සහ තර්කානුකූල පදනමකින් ලියා තිබෙනවා.. පුද්ගලිකව නම් මට හොන්ඳටම තේරෙනවා උඹේ අරමුණ කාන්තාවන් අතවරයෙන් ආරක්ෂා කර ගැනීම බව.. නමුත් සහෝදරයා, ඒක සමාජයීයව කිසිසේත්ම ස්ථිරසාර විසඳුමක් වෙන්නෙ නැහ.. කොටට අඳින ගැහැණුන් අතවරයට ලක් වන සමාජයකට වඩා "අතවරයට ලක්වීමෙන් වැලකීම සඳහා ගැහැණුන්ට දිගට ඇඳීමට සිදු වන" සමාජයක් කිසිසේත් උසස් හෝ සදාචාරාත්මක වන්නේ නැහැ.. කොටින්ම සමාජයක අපචාර හා දූෂණ වැළකී තියෙන්නේ "පිට පොත්තේ" බාධක ක්‍රම මගින් නම් එම සමාජයට කෙළ වෙලා ඉවරයි.. ඇත්තටම අපචාර සිදු වුණා හෝ නොවුණා කියා වෙනසක් නැහැ..
ReplyDeleteඅපි වෙන උදාහරණයකින් මේක පැහැදිළි කරන්ඩ උත්සාහ කළොත් අපි හිතමු කලකට ඉහත ලංකාවේ වගේම "චේන් කැඩීම" රීතිය කරගත් එක්තරා සමාජයක් තියෙනව කියලා.. උවදුර කොච්චර දරුණු ද කියනවා නම් කාන්තාවන් පාරට බහින විට රන් ආභරණ ගලවා බෑග් එකේ දමාගෙන තමයි යන්නෙ කියමුකො.. ඉතින් සොරකමින් ගැලවීම සඳහා එලෙස ආභරණ ගකවා යාමට කාන්තාවන්ට බල කිරීම යුක්තියුක්ත ද? පුද්ගලිකව දන්නා හඳුනන කාන්තාවන්ගෙන් එලෙස කිරීමට ඉල්ලීම ගැන මට ප්‍රශ්නයක් නැහැ.. නමුත් මාල සොරුන් නිසා සමස්ථ කාන්තා ප්රජාවක්ම පාරට බැසීමට පෙර ආභරණ ගැලවීම කියන්නෙ විකෘතියක්.. එබඳු විකෘතියක් සමාජය තුළ තිබීමම එම සමාජයේ සදාචාර හරයන් ගැන හොඳ කියවීමක්.. කොටින්ම ඒක මාල හොරුන්ට වඩා බරපතල ප්‍රශ්නයක්.. ඇඳුම් සහ ලිංගික අතවර ප්රශ්නය මම දකින්නෙත් එහෙමයි.. තමන් කැමති පරිදි ඇඳුම් ඇඳීම සහ ආභරණ පැළඳීම කාන්තාවන්ගේ මූලික අයිතියක්.. ශිෂ්ට සමාජයක් ගමන් කළයුතු එම අයිතීන් ආරක්ෂා කර දෙන දිශාවට මිසක් දූෂිත අවලමුන්ට බයේ එම අයිතීන් අහිමි කිරීම / හෝ කරගැනීම කියන දිශාවට නෙමෙයි.. කොටින්ම කාන්තාවන්ගේ ආරක්ෂාව වගේම ඔවුන්ගේ නිදසත් සමාජයක ශිෂ්ට බව මැනීමේ පරාමිතියක්.. එයින් එකක් වෙනුවෙන් අනික නැති කරගැනීමට යාමෙන් වෙන්නෙ ඒ දෙකම නැති වෙන එක.. ඒ නිසා "අපචාර වලින් මිදීම සඳහා අසවල් ලෙස අඳින්න පලඳින්න" කියන කතාවට කිසිසේත් එකඟ විය නොහැකියි.. (එලෙස ඉල්ලීම ගැන මට ප්‍රශ්නයක් නැහැ.. නමුත් ඉන් පසුව එම ඉල්ලීමට එකඟ නොවන කාන්තාවකට අතවරයක් සිදු වුවහොත් වරද සහ වගකීම ඔවුන් පිට පැෆවීම සමාජ ඔරවණතාවහක් වෙලා තියෙනවා.. ඒ ප්‍රවණතාවය අප පිටු දැකිය යුතුයි )
ඒ නිසා මෙබඳු ක්‍රියා තිරසාර ලෙස අවම කිරීමට නම් සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීම මිසක් වෙන "ෂෝර්ට් කට්" නැහැ.. එබඳු ෂෝර්ට් කට් වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵලය නොලැබෙනවා මෙන්ම (නිදහස සීමා වීම ආදී ) වෙනත් අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකියි
ඇත්තෙන්ම ඔව් බුද්ධික ප්ලාස්ටර් ඇලවීම වත් ෂෝට් කට් උත්තර වත් නෙමේ මේකට විසදුම. මේ ප්‍රශ්ණ වලට ස්ථීරසාර විසදුමක් තිබිය යුතුයි.
Deleteඒකට මූලිකව කල යුත්තෙ අපේ මිනිස්සුන්ගෙ විශේෂයෙන් පිරිමින්ගෙ ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. එයට ලිංගිකත්වය කියන දේ මැජික් එකක් නොකල යුතුයි. කුඩා කල සිට ධර්මය පැත්තෙන් හෝ අධ්‍යාපනය පැත්තෙන් ඔහුන්ගේ මනස හැදිය යුතුයි.
මට තියෙන ප්‍රශ්නෙ ඔහොම ෆොටො එකක් මානසික රොගියෙකුට ඇර වෙන කාටද ප්‍රයොජනයක් තියෙන්නෙ.ඔනතරම් වැලෆොටො තියෙද්දි.
ReplyDeleteඔව් දමිත් අයියෙ තමන් කැමැත්තෙන්ම ඔය වගේ ෆොටෝ වලට පෙනීි ඉන්න ගෑණුයි තමන්ගෙ ඇඟේ පතේ අමාරුව යවා ගන්න ඕන තරම් රෑ මනමාලියොයි ඉන්න රටක මේ වගේ දේවල් කරන්නෙ මානසික රෝගීන්ම තමා.
Deleteඕවගේ දෙකට විරුද්ධ වෙන එකෙන් අපේ ජීවිතෙත් ගහල යන්න පුළුවන් බං.. ඇයි ඉතින් මානසික අවුල් තියන එවුන් තරහට මොනා කරයිද දන්නේ නෑනේ
ReplyDeleteඒක නම් ඇත්ත රයිටර්. ආයෙ නඩු කියන්නයෑ ඕකුන් එක්ක. කොහොම උනත් දැන්නම් ඔය වගේ දෙයක් දැක්කත් අත් දාන්න කලින් දෙතුන් පාරක් හිතන්න වෙනවා තමා බන්.
Deleteමෝඩ කෙල්ලො අයියෙ, ඕකුන්ට ජැක් එකක් ගැහුවත් දන්නෑ, ඇයි ඉතින් මේ ලෝකෙ නෙමේනෙ ඉන්නෙ...මාත් ඔය කොට සායවල්වලට තදින්ම විරුද්ධයි, එක එකාට ගල පෙන්නන්න මොකට ඇදන් යනවද මන්ද...අනික ඔය වගේ වෙලාවට ඔය වගේ නැහැදිච්ච වැඩ කරන මිනිස්සුත් ඉන්නවා තමා, ඒ උන්ගෙ අසහනය, මිනිස්සුගෙ අසහන සනීප කරන්න කාටවත් බෑනෙ ඒව හදාගන්න උන් දැනගන්න ඕන, අනික ඔය වගේ දෙයක් නොවෙන විදිහට අදින්න පලදින්න කෙල්ලො දැනගන්න ඕන...
ReplyDeleteඒකත් ඇත්ත සසිදු, තමන්ගෙ ආරක්ශාව සලසගන්න මූලිකවම තමන් දැන ගතයුතුයි නෙ.
Deleteමම නම් හිතන විදියට දෙගොල්ලොම සංවර විය යුතුයි.
ප්‍රියා...ඔයාගේ කතාව නම් ඇත්ත මටත් ඔය වගේ සීන් එකක් වෙලා තියෙනව.කෙල්ලෝ ෆෝන් කනේ ගහ ගත්තම මෙලෝ සිහියක් නැතුව බස් එකේ යන්නේ.දවසක් මම බස් එකේ ඉගෙන ඉද්දි කොට ගව්මක් ඇදන් කෙල්ලෙක් බස් එකට නැග්ග එකී හිටගත්තේ මන් ඉන්න තැන.ටික වෙලාවක් යද්දී එකී කකුල් දෙක මගේ ඇගට හේත්තු කරගෙන මල් කඩනවා.බස් එකේ ඉන්න කොල්ලෝ හැම එකාම එකී දිහා බලනවා ඕන එකෙක් දකිනවනේ එකී මගේ ඇගට හේත්තුවෙලා ඉන්නවා කියල මොකද ඒ වෙලාවේ ඒ බස් එකේ සෙනගත් අඩුයි.මන් ඒකිට සීට් එක දෙන්න හදුවහමත් එපා කිව්වා....
ReplyDeleteයකෝ උඹේ පරණ වටින පෝස්ට් මට සෑහෙන්න මඟ ඇරිල නොවැ. හොඳ වෙලාවට උඹ අලුත් එකේ මේකට ලින්ක් එකක් දාල තිබුනේ. ඔය නංගිගේ කකුල් දෙක අස්සෙන් වෙන මොකඛරි රිංගුවත් ගානක් නෑනෙ ඉතින් ඔය විදියට. අනේ අපේ ගෑණු දැරිවියෝ..
ReplyDeleteගහලා ඇයි අයියේ....ඒකට ඒ මල හත්තිලවුවත් වග කියන්න ඔනනේ නේද?
ReplyDelete