26 January, 2014

මගේ කුසටම… එන්න පුතුනේ……




"සුධාරි…සුධාරි…" කවීෂගේ හඩින් අවදි වූ මා වටපිට බැලුවේ අප දෙදෙනා සිටින තැන කුමක්දැයි වටහාගැනීමට මෙනි. කවීෂගේ දෙදණ මත නින්ද යාමට මොහොතකට පෙර ගලා ගිය කඳුල තවමත් වියළී නැති බව තෙත්වූ දෙකොපුල කියා පායි.

අඳුරු පහැ දිගු කොරිඩෝවේ මුල්ලක තබා තිබූ දිගු බංකුවට බරදී මාත් කවීෂත් සිටින්නෙ යම රජුගෙ ආරාධනාව එන තුරු අපායට යන දොරටුව අභියස බව මා කෙසේ අමතක කරන්නද? එය සිහියට නැගෙන විට දෙකොපුල වියළීමට ඉඩක් නොතබා ඇදෙන කඳුළු බිඳුව මා කෙසේ වළකා ගන්නද?.

"තවත් ඔහොම හූල්ලන්න එපා දෙයියනේ. මටත් දුකයි ඒත් අපි මක් කරන්නද?." කවීෂගේ හැඬුම්බර හඩ මට තවත් වේදනාවකි.

"අන්න අර මිස් එනවා. ඔයා කඳුළු පිහදගන්නකො…" එකවරම කවීෂගේ හඩ වෙවුළුම් කන්නට විය.



"සුධාරි නේද?."
"ඔව් මිස්."
"හරි එන්න මාත් එක්ක."
"මාත් එන්නද මිස්."
"ඔයා මොකටද?… මෙතනම වාඩි වෙලා ඉන්න. මම ඕන උනොත් කතා කරන්නම්."

කවීෂව බංකුවේම රදවා තැබූ ඇය මාද කැටිව පැරණි පන්නයේ විශාල නිවාසය තුලට ගමන් කරන්නට විය. වසා දමා තිබූ කාමර කිහිපයක් පසු කරමින් ගමන් කල ඇය එක් කාමරයක් ඉදිරියේ නතරව බිත්තියට පිටතින් සවිකර තිබූ සීනුව දෙවරක් නාද කරන්නට විය.

"යන්න ඇතුලට… ඩොක්ට ඇතුලෙ ඇති." යැයි අහක බලාගෙනම පැවසූ ඇය ඉදිරියටම ගමන් කරන්නට විය.

"Excuse Me ඩොක්ට"

"Yes… ආ… සුධාරි නේද?"

"ඔව් ඩොක්ට"

"හරි… ඔයා අර ඇඳෙන් ඉන්න. මම එන්නම්."
මා නිහඩවම ගොස් ඇඳ මත වාඩිවී සිටියමි. ගෙවී ගිය විනාඩි දෙකතුනකට පසු වෛද්‍යවරයා මා ඉදිරියේ සිටි බැවින් මා ඇඳෙන් බැස බිමට බර කරගත් නෙතින්ම සිටියෙමි.

"සුධාරි… ඔය ඇඳුම් ටික අයින් කර ගන්නකො…"

"ඩොක්ට‍ර්……!!!!"

"බය වෙන්න එපා ළමයො… පොඩි වැඩක්නෙ තියෙන්නෙ… ඔයාට ඉක්මනට යන්න පුළුවන්." වෛද්‍යවරයාගෙ සුරත මාගෙ උරහිසේ නැවතුන අතර දබරඟිල්ලෙන් ගෙල පිරිමැදෙද්දී මා ගත් පෙලාගත්තෙ කියා ගත නොහී හිරිකිතයකිනි.


මා පියවරක් එහාට වූයේ ඒ හිරිකිතයද හිත දරාගෙනය.

"සුධාරි… නහයට උඩින් වතුර ගියාට පස්සෙ කොණ්ඩෙ තෙමෙන එක ගැන කල්පනා කරලා වැඩක් නෑ.… ඔයා දැන් ඉන්න තත්වෙ හැටියට මට විතරයි ඔයාට උදවු කරන්න පුළුවන්… ඒත් ඔයා අකමැතිනම් මට කිසි ප්‍රශ්ණයක් නෑ. ඔයාට යන්න පුළුවන්……"

ඔහුගේ අවසන් වැකි කිහිපය මා උදෙසා එල්ල කල විශාල බර අවි ප්‍රහාරයක් වැනිය. එය… එය… කර ගත නොහැකි නම් මාද හදවතින්ම කැමතිය. නමුත් දෛවය අනුව එය සිදුවිය යුතු දෙයකි. සමාජය ගැනත් අපගේ අනාගතය ගැනත් සිතා කවීෂත් මමත් මේ තීරණය ගත්තේ වේදනාවෙන් වූවාට එය ක්‍රියාත්මක විය යුතුම තීරණයකි.

බිමට නැඹුරු ක‍රගත් දෙනෙත නැවත අළුත් කඳුළකින් පිරීයත්දි මා හැදසිටි කෙටි ඩෙනිම් සාය පොලව සිපගත් සැනින් මාවෙත ලං වූ වෛද්‍යවරයා මා ඇඳ වෙත නැවත ගෙන ගිය අතර තවත් සුළු මොහොතකින් ජීවිතයේ දෙවන වරටද පිරිමියෙකුගේ පහස විදීමට සිදුවන බව මා හට සක්සුදක් සේ පැහැදිලිය.

අහම්බෙන් නමුදු කැමැත්තෙන් විඳි පළමු පුරුෂ ඇසුර නිසාම අකමැත්තෙන් වුව නන්නාදුනන පිටස්තරයෙකු සමග මෙසේ යහනක තනි වීමට සිදු වෙතැයි මා මොහොතකටවත් සිතා නොතිබිනි. කඳුළු පිරිනු දෙනෙත හැකි පමණ දැඩිව පියාගෙන හිරිකිතය කළකිරීම සහා ආත්මානුකම්පාව තුලින් මා අතීතයට ගමන් අරඹමි.

සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත්වූ මා උසස් පෙළ හැදෑරීම සදහා ඇතුලත් වූයෙ නගරයේ ඇති ප්‍රසිද්ධම බාලිකා පාසලකටය. ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවකවූ මාගෙ නිහඬ හුදෙකලා දිවියට තිත තැබෙන්නේ ඔහු අතිනි.

කවීෂ…… මට වඩා අවුරුද්දක් වැඩිමල් කටකාර දඟකාරයා මට මුලින්ම මුණ ගැහෙන්නෙ උසස් පෙළ දෙවැනි වර්ශයේ ඇරඹි පුනරීක්ෂණ පංතියකිනි. පංතියට පැමිණි දිනම අප පංතියෙ කෙල්ලන් විශාල ප්‍රමාණයකගෙ සිහින කුමරා වූ කවීෂගේ කඩවසම් බව හමුවේ මෙතෙක් කිසිම පිරිමියෙකු අභිමුව නොසැලුන මාගෙ සිතද හෙල්ලුම් කන්නට විය.


මෙලොව සිටින වාසනාවන්තිය මා බව පසක් කරමින් කවීෂගේ ආදරය හිමි වූයේ මාහටය. මගේ ආදරය අයදිමින් කවීෂ මා පසු පස පැමිණි මුත් දෙමසක් පුරාවටම ඔහුව රස්තියාදුකර අවසානයේ මගේ ආදරය පැවසුවේ මින් පෙර ආදරයේ පාඩම් නොදැන සිටි මාගෙ සිතෙ ඇතිවූ චකිතය නිසා විය හැක.

කවීෂගේ ආදරය හමුවේ දුක් කඳුළෙන් තොරව තෙමසක් ගෙවුනේ ඇසිපිය සලන වේගයෙනි.

"කවීෂ…"
"හ්ම්…"
"අහන්නකො…"
"හ්ම්ම්…"

"මොකද අනේ හැම එකටම හ්ම්…හ්ම්… ගාන්නෙ. බකමූණෙක් වගේ."

"හරි එහෙනම් දැන් ඉදන් මන් හ්ම්ම් ගාන්නැතුව එළුවා වගෙ බෑ කියන්නම්."

"ඊට වඩා හොදයි වස්සා වගේ උම්බෑ කිවුවනම්"

"උම්බෑ කියනවට වඩා ලේසියි උම්මා… කියලා කිස් එකක් දෙන එක."

"එන්න එපා හරිද ඕවට විතරක්.…හිතේ ඇති…" මගේ අතින් කවීෂට පහරක් වදින්නෙ මවා ගත් කේන්තියකින් යුතුවය.

"ලබන ඉරිදා දවස මතකද?"

"මට මොකද අමතක වෙන්නෙ. මගෙ පුංචි කෙල්ල මගේ වෙලා මාස තුනයි… ඒක නෙමේ. මම අහන්න හිටියෙ සුධාරි. එදාට අපි පොඩි ගමනක් යමුද?."

"අනේ කවීෂ ඔයා දන්නවනෙ අපේ ගෙදර තත්වෙ… අයියලා දෙන්නට අහු උනොත් මාව නොමරා මරයි."

"හයියෝ ඒවා මං බලාගන්නම් කෙල්ලෙ… අනික වැරදි ගමනක් නෙමේනෙ අපි යන්නෙ. මල්වත්තටනෙ යන්නෙ."

"ඒත් මං කොහොමද එන්නෙ? මට ඉරිදට ක්ලාස් නෑනෙ."

"හ්ම්ම්… රයිට් ඔයා මෙහෙම කියන්න ඉරිදට ලොකු සෙමිනා එකක් කියලා. උදේ නමයෙ ඉදන් හය වෙනකම්. එතකොට අපිට දවසම මල්වත්තෙ ඉන්න පුළුවන්."

"හ්ම්ම්… බලමුකො බලමුකො.…"

………………………………………

කවීෂ රෝල් කර සාක්කුවෙ දමාගෙන පැමිණි නිබන්ධන දෙක ගෙන මාගෙ අත් බෑගය තුල දමාගෙන ඔහුගේ වමතේ එල්ලී ගමන් ඇරඹුවේ කවීෂ සමග ආදර වදන් අසන දොඩන දිනක් ගෙවීමේ අරමුණෙනි අප දෙදෙනා මල්වත්තට ලගාවනවිටද තවත් ජෝඩු කිහිපයක්ම ඔහුන්ගේ ලෝක වල තනිවී සිටි බව මතකය. උද්‍යානය ආරම්භක ස්ථානයේම පිහිටි බුදු මැදුරට ගොඩ වී බුදුන් වැඳ ප්‍රාර්ථනාවන් එක් කල අප දෙදෙනා කෘතිමව සෑදු පොකුණට මුහුණලා වාඩි වූයෙ අත්වැල් පටලාගෙනය.


"බුදුන් වැදලා මොනවද පැතුවෙ?."

"ඒවා කියන්න හොඳ නෑ."

"ඒ ඇයි…?"

"එතකොට ඒවා ඉශ්ඨ වෙන්නෙ නෑ."

"පිස්සු කෙල්ල."

"පිස්සු නෙමේ අනේ ඇත්ත කියන්නෙ.……"

"ඔය ඔක්කොම නැගිටිනවලා…" නිළ ඇඳුම් ඇදගත් මුරකරුවන්ගේ ගෝරනාඩුවට කවීෂගේ වමත තුල සිරවී සිටි මාගෙ සුරත ඉවතට ඇදුනේ වේගයෙනි.

"යනවලා… යනවලා… මේක තියෙන්නෙ තමුසෙලාට මඟුල් නටන්න නෙමේ. මෙතන පොඩි උනුත් ඉන්නවා… ලැජ්ජාවක් නැති හැත්ත……"

"පොඩි ළමයි හිටියට අපි මෙතන වැරදි විදියට හැසිරුන්නෑනෙ.…ඇයි අත් අල්ලන් ඉන්න එකත් වැරැද්දක්ද…?"

"අනේ කවීෂ කෑ ගහන්න එපා.… මට බයයි."

"අත අල්ලලා පටන් අරන් තමා අන්තිමට වෙන වෙන ඒවා අල්ලලා ඉවර කරන්නෙ… යනවලා යනවලා… නීති කතා නොකර…"

"මුන්ට පිස්සු බං…" ජෝඩු දෙක තුනේම කොල්ලන් විවිධ දේ කියමින් මුරකරුවන්ට බනිමින් මල්වත්තෙන් පිටවෙත්දි අපිද මල්වත්තෙ දොරටුව අභියස අසරණ උනෙමි.

"අනේ දැන් මොකද කරන්නෙ කවීෂ…?"

"ඒක තමා ළමයො මාත් කල්පනා කරන්නෙ…පොඩ්ඩක් ඉන්නකො…"

"අනේ කියලා ආපු බොරුවෙ හැටියට මට දැන්ම ගෙදර යන්නත් බෑ.…"

"එහෙම කියලා මෙහෙම පාරෙ ඉත්දි ඔයාලගෙ අයියලා දෙන්නගෙන් කෙනෙක් දැක්කොත්…"

"අනේ මට නම් තේරෙන්නෑ කවීෂ…"

"හරි එක වැඩක් නම් තියෙනවා… ඒත්…ඔයා මාව වැරදියට හිතන් නැත්නම්…"

"ඒ කොහෙද……?"

නිවසටද යා ගත නොහැකිව යාමට තැනක්ද නොමැතිව අසරණ උන අප දෙදෙනා නවතින්නෙ නවාතැන්පලක කුඩා කාමරයකය. සියළු දෙනාගේ ආශිර්වාදයෙන් මඟුල් කා කවීෂ සමග ගත කිරීමට සිහින මැවූ පැය කිහිපය කිසි විටෙක නොපැතූ නොසිතූ ලෙස ඔහුත් සමගම මෙසේ ලොවට හොරෙන් කුඩා නවාතැන්පලක ගෙවී ගියහ.

………………………………………

"අනේ මට බයයි කවීෂ…"

"පොඩ්ඩක් ඉන්නකො… ලැබ් එකට යමුකො ඉස්සෙල්ලම"


"මිස් අර යූරින් ටෙස්ට් එකේ රිසාල්ට් එක ගන්න පුළුවන්ද?… පැයකින් එන්න කියලයි කිවුවෙ."

"මොකක්ද නම?"

"L.M. සුධාරි වත්සලා."

"ආ හරි ඇවිත්…… ආ… මේක පොසිටිවු…" මාගෙ හිස භ්‍රමණය වූයෙ මා අවට ලෝකයම අඳුරු කර දමමිනි. මාගෙ කුසට දරු පැටවෙකු පැමිණ ඇත. මා මවක කරන්නට කවීෂගේ ලෙයින් සැදුනු පුංචිම පුංචි කිරි කැටියෙකු මා කුස තුල වැඩෙමින් සිටී. නමුදු තාමත් පාසල් වියේ සිටින අප දෙදෙනා අපේ පුංචි පැටියව කොහොම හදා ගන්නද?

මා වැඩිවියට පත් වූ දින ලොකු අයියා මා ගෙල බැදි රන් මාලය නැතිවිනැයි නිවසට පවසා එය තිස්දහසක මුදලකට උගස් තැබූ අප ඒ මුදලද ගෙන මේ හොර ගුහාවේ සිටින වෛද්‍යවරයෙකුගේ වෙසින් සිටින පාපතරයාගෙ පිහිට පැතුවේ වෙන කිරීමට කිසිම දෙයක් නැති නිසා මිස එය කල යුතු හොදම දේ නිසා නොවේ. අවසානයේ මා හට සිදුවූයෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ පාපතරයාගෙ කාම ගින්නට දැවෙන්නටය.

………………………………………

එකලග ගත් වේගවත් හුස්ම දෙක තුනක අවසානයෙ දිගැති එක් හුස්මක් පිටකල ඔහු මළකඳක් සේ සිටින නිරුවත් මාගේ සිරුර මතම විනාඩි දෙකතුනක් විඩානිවූ වෛද්‍යවරයා නැගිට ඔහුගේ මේසය මත තිබූ සීනුවක් නාද කර ඇතුල් කාමරයකට ගිය පසු මුලින්ම මා සමග පැමිණි හෙදියක් වැනි කාන්තාව විත් මාගෙ පිටකොන්දට විශාල බෙහෙතක් එන්නත් කරන ලදින් මාගෙ ඉනෙන් පහල කොටස තවදුරටත් මා හට නතු නොවන බව දැනෙන්නට විය. නමුදු තවමත් මා පියවි සිහියෙන් සිටිමි.

ඇතුල් කාමරයේ දොර හැරගෙන පැමිණෙන වෛද්‍යවරයාගෙ රබර් අත් වැසුම් වලින් ආවරණය වී ඇති දෑතේ දිලිසෙමින් මට ඔච්චම් කරන අසාමාන්‍ය අකාරයට දිගු මිටක් සහිතව සෑදූ අඬුවක් වැනි උපකරණය දැක නැවතත් අලුත් කඳුළකට සැරසෙන මාගෙ දෙනෙත් තදින් පියා ගනිමි.………………………


එළිය දැකුමට මගේ තුරුලේ……
වරම් නැතිවෙද ඔබට පුතුනේ……
පෙරුම් නොපුරා පැමිණි ඔබ ගැන……
අහිතකින් නැත මෙමා බැලුවේ……
දෙතනෙ ලේ බිඳු කිරට හරවා……
නුඹට දෙන්නට කැමති මුත් මම……
සමාජය නැත ඉඩක් දෙන්නේ……
එළිය දැකුමට නුඹට මෙලොවේ……

ඉපදෙනා මතු භවෙක සසරේ……
මගේ කුසටම එන්න පුතුනේ……


පසු සටහන ~~ මේ සිතුවිල්ල ඉපදුනේ ශානුගෙ මේ පෝස්ට් එක කියවලයි.


© ප්‍රියා.

(පින්තූරයට ස්තූතිය……
http://choices4life.org/understandnow/)

74 comments:

  1. හ්ම්ම්.....කියනවා ඇරෙන්න මොනවා කියන්නද ප්‍රියා...
    ඕව අද සාමාන්‍ය දේවල් වෙලා නොවේද......?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්‍ත කෙන්ජි අයියෙ. මේවා දැන් බොහොම සාමාන්‍ය දේවල් තාරමටම සමාජගත වෙලා. අනාගත පරම්පරාවේ අවාසනාව.

      Delete
  2. පාරක් පාරක් ගානේ ලමයි දාලා යන හැටි දැක්කම නම් ගබ්සාව නීතිගත කරන එක හොඳයි කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමිල පාරෙ දාලා යන ඉපදුන ගමන් ම‍රපු ළමයි දකින කොට එහෙම හිතෙනවා. ඒත් මන් හිතන්නෙ වෙන්න කලින් ඒදෙ වලක්ව ගන්න එක ඊට වඩා යහපත් නේද?

      Delete
    2. parak parak gane lamai daala yannne koheda..?

      Delete
    3. @ ඇනෝ ~~ ඔබතුමා ලංකාවෙ ජීවත් වෙන හෝ ජීවත් වූ කෙනෙක්ද?. ඇස් ඇරලා වට පිටාව බලන්න එතකොට පෙනෙයි.

      Delete
  3. කෙනෙක් අම්මා කියන්න දරු පැටියෙක් නැතුව ඉද්දි , මෙහෙම දේවල් කරලා අහින්සක දරු පැටියෙක් නැති කර ගන්නවා , ජිවිතේ ඒ ඒ කාලයට කරන්න තියෙන දේවල් වැරදි කාලවලදි කෙරුවාම අසරන වෙන්න වෙනවා මුලු ජිවීත කාලයටම , ගබ්සාව නීතී ගත කරන එක නෙමේ කරන්න තියෙන්නේ , ඒ තැනට වැටෙන්නේ නැතුව ඉන්න හරි මග පෙන්නීමක් කුඩා කාලේ ඉදලම ලමයින්ට පුරුදු කරන්න ඕනා , සමාජයේ ජීවත් වෙන්න පොත පතෙ දැනුම වගෙම අම්මා තාත්තා දෙන්නගෙන් ලැබෙන අවවාද අනුසාසනත් ගොඩක් බලපනවා . ඔයාට ගොඩක් ස්තුතියි අයියේ කතාව මටත් පෝස්ට් කලාට .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නංගා ඔය අදහසේ තමා මාත් ඉන්නෙ. ඒකට මූලිකම හේතුව අපේ තියෙන කාලකණ්නි ක්‍රමය අපේ උන්ට පොඩි කාලෙ ඉදන්ම ලිංගිකත්වය තහනම් අන්තිමට දෙන්නෙක් යාළු උන ගමන් උන් අර මැජික් එකක් වෙච්ච සෙක්ස් තමා හොයන්නෙ. අපේ සමාජයමයි එතනට තරුණ පරපුර තල්ලු කරන්නෙ.

      Delete
  4. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ ගබ්සාව කරන්න ගිය ගෑනිට ඩොකත් ගේම දෙනඑකනම් මහ කාලකන්නි වැඩක්...මේ කතාවෙ හැටියට හිරිවට්ටල කලා උනාට ඇත්තට කරද්දි සමහරු සිහි නැතිකරල කරන්ඩ ඕන හැමදේම කරල දාන මිනිස්සුත් ඉන්නව..අනේ මන්ද ගෑනුත් මේවට උදව් කරන එකයි පුදුමෙ..මේ වගේ කාලකන්නි ඉන්න නිසා ගබ්සාව නීතිගත කරන එකත් වටිනව, ඒත් එහෙම කලොත් රටේ වෙන අපචාර තවත් වැඩිවෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සසිඳු ඩොක්ටගෙ වැඩේ නම් කොහෙත්ම අනුමත කරන්න බෑ. ඔය හිරි වට්ටන කතාව දැම්මෙ කතාව ඉස්සරහට ගෙනියන්නයි.

      මමත් හිතන්නෙ ගබ්සාවට වඩා අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමය වටින්නෙ. ඒකට සමාජය දැනුවත් කල යුතුයි.

      Delete
  5. ඉස්සර වගේ නෙමේ අඬු විකුණන්න තියෙන්නේ සෙට් පිටින්. එහෙම තිබිලත් අත පුච්චගන්න එකටනම් සමාව දෙන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අරූ අයියෙ ඛේදජනකම තත්වය. අපේ උන් අත පුච්ච ගන්නෙම අඬුව තියාගෙන.

      Delete
  6. මේකේ වැරැද්ද ගැනු ළමයගේම කියන්නේ නැහැ, නමුත් ඇයට තිබුණා මීට වඩා සංයමයෙන් කටයුතු කරන්න. අද කාලේ ළමයින්ගේ ජිවිත රටාව ගැන බලනකොට අපි ඒ වයසේ ඉන්න කොට මොනවද කලේ කියලා හිතෙනවා, උසස් පෙළ කරනකම් අපේ හිතේ තිබුණ එකම පරමාර්ථය හොඳට ඉගෙනගෙන කැම්පස් යන එක. රටේ උගතෙක් වෙන්න, දෙමවුපියන්ට බරක් නැතිව අපිටම කියලා අදායම් මාර්ගයක් හදාගන්න. යම් තැනකට එන්න, සමහර විට ඒක නිසා වෙන්න ඇති අපි අද මේ තත්වේ ඉන්නේ, නමුත් අද සමාජේ ගත්තම අනාගතේ මොනවා වෙයිද කියලා දන්නේ දෙවියන්වහන්සේම විතරයි මල්ලි.
    අනිත් කාරණය, ඔය ගබ්සා කිරීම නීති විරෝදී නිසා, ඕවා බොහෝ විට කරන්නේ නිත්‍යානුකුල නොවන හොර දොස්තරලා, ඉතින් එවැනි එවුන් ඔය වගේ දේවල් කරන එක ගැන මොකට කතාද, අද කාලේ තරුණ නිත්‍යානුකුල දොස්තරලා පවා ඔවැනි දේවල් කරලා අපිට කොච්චර අහන්න ලැබුනද, මම නම් ඔය ගැන පුදුම වෙන්නේ නැහැ.
    හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මේ හැම දෙයකටම සමාජෙට දොස් කියනවට වඩා, දෙමවුපියන් හැටියට අපගේ වගකීම තමයි, දරුවන්ගේ අනාගතය ගැන සිතා වැඩ කිරීම, නිතර ඔවුන් යන එන තැන ඇසුරු කරන අය සොයා බැලීම, ඒ වගේම එයාලට හොඳ මිතුරන් වීම වගේම සැම දෙයක් ගැනම උපදෙස් දීම. ඔය වගේ තව ගොඩක් දේවල් තියනවා. ඒවා අපේ වගකීම් සහ යුතුකම්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩොක් අයියෙ. මේවා හිතේ මැවුන කතාම නෙමේ. ගම්පහ නගරයෙම මේ වෙත්දි පුදුමාකාර විදියට හොර ලැගුම් පලවල් වැහි වැහලා ඒ ඔක්කොම තියෙන්නෙ ටියුෂන් පංති ඉලක්ක කරගෙන.(ටියුෂන් වලට දොස් කීමක් නොවේ)

      එක අතකට අයියා කියන්නත් වගේ ඒවා නිවැරදි විය යුත්තෙ නිවස තුලින්මයි. මොකද අපේ දරුවන් ගැන සමාජෙට වඩා වගකීමක් ති‍යෙන්නෙ අපිට නිසයි.

      අනික මේ වගේ හොර වෙද්දු නම් රටේ වැහි වැහැලා. මේ වගේ උන් හන්දා නින්දා අපහස විඳින්නෙ ඇත්තටම උගත් සහ මනුශ්‍යත්වක් ඇති දෙවිවරු වන් වෛද්‍යවරුයි.

      Delete
  7. අම්මා කියන උත්තරීතර පදවිය ලබා ගන්න දරුවන් නැති කාන්තාවන් දුක් විදින හැටි මමත් වතාවක් ලිව්වා බොට මතක ඇති....මොනවා උනත් මෙවැනි කථා පුවත් මේ සමාජය තුල අපට බොහෝ වෙලාවට හමුවෙනවා...තමන්ගෙ ප්‍රේමවන්තයා විශ්වාස කරලා අමාරුවෙ වැටුන මේ වගේ සුධාරිලා කී දෙනෙකු මේ ඉර හද යට ඇතිද....අගේ ඇති ලියමනක් ප්‍රියා...බොහොම රහයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියෙ දහසක් මවුවරු දරුවො නැතුව වැලපෙත්දි දහසක් මවුවරු දරුවනව මරා දමනවා.

      අපේ ගෑනු දරුවන්ගෙ සමාජ නොදැනුවත්බාවය නිසා තමා සුධාරිලා බිහි වෙන්නෙ.
      ස්තූතියි අයියෙ අගය කිරීමට.

      අර ලිපිය ලියත්දි මන් බ්ලොග් වල නෑ මන් හිතන්නෙ . තරහා නැතුව පුළුවන්නම් ලිංක් එක දෙනවද අයියෙ?

      Delete
    2. http://siragekamare.blogspot.com/2013/10/blog-post_20.html

      Delete
  8. මේ වගේ සිද්දි වලදි කෙල්ලො කොල්ලො මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන.මේ වගේ අවස්ථාවාදී දොස්තරල නිසා කෙල්ලො කොච්චර ගබ්සාව කරගෙනත් හිතින් දුක්විදිනවද...කතාවෙ මාතෘකාව මව්සෙනෙහේ ගැන කියන්න හැදුවට අපිට මෙතන කතාකරන්න වෙන්නෙ මේ වගේ නීතිවිරෝධි වැඩ කරන දොස්තරල ගැනයි..
    අනික මේ වගේ අඩුයොදාගෙන කරන ගබ්සා කිරීම්වලදි යම්විදිහකින් හරි ගැණුළමයගෙ ප්‍රජනන පද්ධතියට හානි උනානම් සමහරවිට ජීවිත කාලයටම දරුසම්පත අහිමි වෙන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත සිංහයෝ....ඒ වුනාට ඔය තත්වෙට පත්වුනාම්, ප්‍රජනන පද්ධතිය නෙමේ ජීවිතේ විනාශ වුනත් ඔය තැන්වලට යනවා. අපේ සමාජය එල්ල කරන බැලපෑම සියදිවි නසාගන්නා තැනටම ලං කරනවා. මේ සඳහා කිසිම උපදේශන සේවයක් අපේ රටේ තියනවාද මම දන්නේ නැහැ. සමාජය විසින් ඇති කරන පීඩනය දිරවා ගැනීමට නොහැකිවීම තවත් ප්‍රශ්නයක්. පසුගාමී සමාජ ලක්ෂන වෙනස් විය යුතු බවත් මම හිතනවා.

      Delete
    2. ඒක හරි සිංහයො මටත් ඕන උනේ ඒකම තමා එකම කතාවෙන් ඔය ඔක්කොම ගැන කතා කරන්න.

      අර ඩොක් අයියා මතුකලා වගේ ඔහොම වැඩවලට බොහෝ දුරට යොමු වෙන්නෙ 'හොර ඩොක්ටර්ස්'ලා තමා. අර කියන්නත් වගේ ගර්භාස‍ය තුවාල කරන් ජීවිතේම තුවාලයක් කරගන්න කාන්තාවො කොපමණ ඇත්ද?

      Delete
    3. @ අරූ අයියා ~~ ඔව් අරූ අයියෙ ඔය තත්වෙට පත් උනාට පස්සෙ ඔය තීරණය මොන තත්වයක් යටතෙ හො ක්‍රියාත්මක කරන්න‍යි ඔහුන් බලන්නෙ.

      ඒත් විය යුත්තෙ තමන්ට ගැබ් ගැනීම අනවශ්‍යනම් ඒ සදහා ක්‍රමයක් අනුගමනය කිරීමයි. ඒ සදහ ඇති තරම් ක්‍රම තියෙනවා. ගබ්සාව වගෙ මෝඩ පවුකාර තීරණ නොහන්න නම් දුර බලලා වැඩ කල යුතුයි.

      Delete
  9. දෙයක් උනාට පස්සෙ ඒ ගැන පසුතැවෙන එකට වඩා දුර දිග හිතල වැඩ කරන එකයි වටින්නෙ. ඒත් ගොඩක් අය කරන්නේ ඒකේ අනිත් පැත්ත. මේ කථාවෙ ඉන්න ප්‍රධාන චරිත තුනම වැරදියි. ඒ වැරදිවලින් අන්තිමේදි ජීවිතේ අහිමිවෙන්නෙ කිසිම වැරැද්දක් නොකරපු අහිංසක දරුවෙක්ගෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත Chams ලෙඩේ හැදුනට පස්සෙ බෙහෙත් ගන්නවට වඩා වටින්නෙ ලෙඩේ වලක්ව ගන්න එකයි.

      ඔව් ඔයා කිවුවා හරි මම නම් දකින්නෙ අර නූපන් දරුවා හැර අන් සියළුම චරිත යම් යම් ප්‍රමාණයන්ට වැරදි කරුවන්.

      Delete
    2. "අද පන්තියේ ඉන්නකොට අම්මා කෙනෙක් ආව පන්තියට.ඒ අම්ම හෙව්වේ එයාගේ දුව.ඒත් ඒකි අද පන්තියේ ඉදියේ නෑ.පව් ඒ අම්ම.ළමයි හැමෝම ඉස්සරහ තමන්ගේ ළමය පන්තියේ නැති බව දැන ගත්තම ඒ අම්මා කොච්චර අසරණ වෙන්න ඇත්ද?"

      මේ වයසේදීම මෙහෙම දේවල් වෙනවා නම් තවත් මොන කතාද?දරුවෝ කරන වැරදි වලින් දුක් විදින්නේ අහිංසක අම්මල.ඒ වගේම මේ ලෝකෙට එන්න බලන් ඉන්න පුංචි එකෙක්.තමන්ගේම ලෙයින් හැදුන දරුවෙක්ව මරන්න තරම් තිරිසන් වෙන්න පුලුවන්ද අම්ම කෙනෙක්ට,තාත්ත කෙනෙක්ට.පව් කාරයෝ

      Delete
    3. @ ගයාන් ~~ ඔව් ගයාන් එහෙම වෙලාවකදි ඒ අහිංසක අම්මා කොයි තරම් අසරණ වෙන්න ඇත්ද කියලා හිතා ගන්න පුළුවන්. පවු ඒ අම්මා.

      ඇත්තටම අම්මෙක්ට තාත්තෙක්ට තමන්ගෙ දරුවා මරනවා වගේ තීරණයක් ගන්නවා කියන එක මට ඇත්තටම හිතන්න අමාරුයි.

      Delete
  10. කොමෙන්ට් ටිකයි පෝස්ට් එකයි සේරම කියෙවුවා මං මොනා කියන්නද අයියේ ඉතින් :(

    ReplyDelete
    Replies
    1. ඔව් ඔමා කියන්න වචන හිර වෙන තැනක් තමා මේ මාතෘකාව. :-(

      Delete
  11. මේ වගේ කතාවල් ගෑනු ළමයි කියවලා දැන ගන්න එක ඇත්තට ම හොඳ යි. මේ දේවල් හංගගෙන ඉන්න එකෙන් වෙන්නේ මෙහෙම දේවල් වැඩි වෙන එක. ඒ නිසා 16+ විය යුතු නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් දිලිනි මේවා විශේෂයෙන්ම දැන් ගත් යුත්තෙ පාසල් වියෙ නංගිලා මල්ලිලා. ඒත් මන් 16+ දැම්මෙ යම් යම් කොටස් නිසා 16 පහල අයට නුසුදුසු වේදෝ කියලා හිතලයි.

      Delete
  12. අම්මෝ අයියේ ඇග හීතල වෙලා ගියා මේක කියවද්දි.ඔය තැං තැං වලට යන්න වෙන්නෙ අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද නිසා.ලිංගික අධ්‍යාපනය සුදුසු විදියකින් නිවරිදිව දෙන්න ඕන.පෙම්වතුන්ට තනියම කතාබස් කරන්න,එකට වැදගත් විදියට කාලෙ ගත කරන්න ඉඩ මේ සමාජෙ නැති හංදා තමයි මේ වගේ ඒවා ගොඩක් සිද්ධ වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත මල්ලි නිකමට හිතලා බලන්න බස් එකක ජෝඩුවක් යත්දි අපේ වැඩිහිටි පරම්පරාවෙ ප්‍රතිචාරය. නිදහසේ පෙම් කිරීමට නිදහස අහිමි කීරිමත් මේවට හේතුවක් තමා.

      Delete
    2. ඒකත් ඇත්ත තමයි, ඒත්.........
      ඔය පෙම්වතුන් කියලා ජෝඩු වෙලා ඉන්න හැමෝම ඇත්තටම පෙම්වතුන්මද? දැං කාලේ, කෙල්ලන්ව බොරු ආදරයක් පෙන්නලා රවට්ටලා අයුතු ප්‍රයෝජන අරන් මග හරින අයත් බොහොමයි. එවුන්ගෙනුත් පරිස්සං වෙන්න දැනගන්න ඕනේ.

      නිකමට හිතන්න, අපේ බෞද්ධ අයනම් දන්නවා ඇති සිදුහත් කුමරු යශෝදරා කුමරිය දෙදෙනා එක් වුණේ ඔවුන්ට වයස දහසයේදි. නේද? ඒකත් නීත්‍යානුකූලව, සහ වැඩිහිටියන්ගේ කැමැත්ත +අනුදැනුම සහිතව නේ?
      එහෙම වෙලත් පිලිසිඳගැනීමක් වුණේ ඔවුන්ට වයස විසි පහක් හෝ විසි හයක් පමණ වූ විට බවත් දන්නවා ඇතිනේද?

      බැඳලත් දරුවො හදාගන්න සුදුසු තත්වයට එනකල් එච්චරකල් ඉඳලා එයාලා දීපු ආදර්ශය පිලිපදින්න පුලුවන්නම් ඒකම ලොකු දෙයක් නේද???

      වයස දහ අටක් විස්සක් උණා කියලා, ශාරීරිකව දරු ප්‍රසූතියකට සූදානම් නෑ. ඒකට ටිකක් ශාරීරික පරිණත බවක් අවශ්‍යයි. මම කියන්නෙ නාකි වෙනකල් ඉන්න කියලා නෙවෙයි. ක්‍රමයක් පිලිවෙලක් ඇතුව, හොයලා බලලා, සුදුසු විදිහට සුදුසු කාලෙදි කරන දෙයක් සුදුසු විදිහට කරන්න ඕනේ.

      අර කිව්වත් වගේ, දැං අඬු සෙට් පිටිං ගන්න තියෙද්දි අතපුච්චාගන්න එකනම් ඇත්තටම ලැජ්ජාවට කරුණක්.

      Delete
    3. අනික වැඩිහිටියොත් දැනගන්න ඕනේ සිදුහත් කුමරු දහසයේදි බැන්දානම්, දැං එවුන්ට ඒවෙනකොට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලන්න නොදෙන එක හරි නෑ කියලා. ඇයි දෙයියනේ, එහෙම අවහිරතා ඇතිවුණාම තමයි වැඩිපුර ඒකට යොමු වෙන්නෙ.

      වෙනත් උදාහරණයක් කියන්නම්, මම දන්න කෙනෙක් දුම්පානයට ඇබ්බැහි වෙලා හිටියා. එයා සාමාන්‍යයෙන් දවසකට එකක් නැත්නම් දෙකක් විතර තමයි ගත්තෙ. ඒත් ඒක ගෙදරින් දැනගෙන එයාට තහනම් කලා. ඒපාර එයා එයාට ලැබෙන හැම සුලු අවස්ථාවකම ගන්න උත්සාහ කලා. හේතුව වුණේ, එයාට ඒ ලබෙන අවස්ථාවෙම දුම්වැටියක් නොගත්තොත් ආයෙත් කවද ලැබෙයිද කියලා අවිශ්වාස නිසාලු. ඒකෙන් වුණේ එයා දිනකට තුනහතරක් පවා දුම්වටි පාවිච්චි කිරීම. එයටත් නොදැනීම ඒක වඩිවුණා තහනම නිසා.
      අනවශ්‍ය තහංචි වලින් කාටත් කොයි දේටත් වෙන්නෙ මේක තමයි.

      Delete
    4. @ ගයාන් ~~ ඔව් ගයාන්, සම්පූර්ණ ඇත්ත ඔබේ කතාව ලැබෙන සුළු නිදහසක් ලැබුන ගමන් ඒකෙන් අයුතුවිදිහට භාවිතා ක‍රලා සමාජයම ගඳ ගස්සන පිරිසත් නැතුව නොවේ.

      අනික ඔබ කියපු සිදුහත් කුමරුගෙයි යශෝදරා දේවියගෙයි කතාවත් මන් සම්පූර්ණයෙම පිලිගන්නවා. ඒකෙ තේරුම ඒ යුගයෙ පවා තමන්ට අවශ්‍ය වනතුරු ගැබ් ගැනීම් වළක්වා ගන්න දැනුවත් භවක් තිබුනා. ඒත් සියල් දැනුමෙන් සන්නද්ධයි කියා පාරම් බාන දැන් කාලෙත් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීම කියන දේ නොදන්න එක නම් හරිම ඛේදනී‍යයි.

      ඒ වගේම ඔබ කියූ තහනම් කලවිට එය වැඩියෙන් සිදු කරන එකට තව ලොකුම උදාහරණයක් තියෙනවා. අපේ රටේන සෙක්ස් සයිට් තහනම් කලා. ඒත් ටික කාලෙන්ම ගූගල් එකේ සෙක්ස් සර්ච් කරලා පලවෙනි තැනට ආවා.

      Delete

  13. මගේ මුල්ම ප්‍රශ්නය මෙහි කතුවරයා සහ ලිපිය අවසානයේ අදහස් දැක්වූ අය මේ ලිපියේ සඳහන් සිද්ධියේ ප්‍රශ්නය ලෙස සලකන්නේ කුමක්ද කියන එකයි.

    නව යොවුන් වයසේ පසුවන යුවලක් ආදර සම්බන්ධයක් ආරම්භ කිරීමට පෙළඹීමද,
    මල්වත්තේ සිටිය මුරකරුවන් විසින් ඒ යුවල එළවා දැමීමද,
    ඒ යුවල ලිංගිකව එක්වීමට ගත් තීරණයද,
    යම් හේතුවක් නිසා ඒ තරුණිය අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වීමද
    ගබ්සාව කිරීමට ගත් තීරණයද,
    නැත්නම් ගබ්සාව කරගන්න ගිය තරුණියව වෛද්‍යවරයා අතවරයකට ලක් කිරීමද,

    ඒ අනුව මේ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි. ඊට පසු මම මගේ අදහස් දක්වන්නම්

    නව යොවුන් වයසේ පසුවන යුවලක් ආදර සම්බන්ධයක් ආරම්භ කිරීව වරදක්ද ?
    මල්වත්තේ සිටිය මුරකරුවන් විසින් ඒ යුවල එළවා දැමීම ගැන ඔබ සිතන්නේ මොකක්ද?
    ඒ යුවල ලිංගිකව එක්වීමට ගත් තීරණය වැරදියි යැයි ඔබ සිතනවාද? ඒ ඇයි?
    අනවශ්‍ය ගැබ් ගැනීමකට ලක් වීම ගැන සහ එයට හේතු ගැන ඔබේ අදහස් මොනවාද ?
    ගබ්සාවට ගත් තීරණය සහ ගබ්සාව ගැන ඔබේ අදහස් මොනවාද ?
    අතවරයට ලක් වීම ගැන ඔබේ අදහස මොකක්ද ?

    මෙහි මා දකින ප්‍රශ්න නම්,

    මේ ප්‍රශ්නයට හේතුවක් ලෙස දෙමාපියන් විසින් ඔවුන් ගැන සොයා නොබැලීම ඔබලා ප්‍රශ්නයක් කර ගැනීම.
    මල්වත්තේ මුරකරුවන් ඔවුන්ව එලවීමෙන් කියැවෙන දේ ගැන මෙතන එක්කෙනෙක්ගේ වත් කල්පනාව යොමු නොවීම
    ලිංගිකත්වය මැජික් එකක් වීම නිසා යුවලවල් ලිංගිකව එක්වනවා යැයි ඔබ කියන ප්‍රකාශය තුලම ඔබ ලිංගිකත්වය මැජික් එකක් සේ සලකන බව සැඟව ඇති බව මෙතන කිසිවෙක්ට නොතේරීම
    ගබ්සාව ගැන ඔබ බහුතරයකගේ මතය..
    අනවශ්‍ය ගැබ් ගැනීම් වැලක්වීමට ඇති ප්‍රායෝගික සහ හොඳම ක්‍රමය ලිංගිකව එක්වීම නැවැත්වීම නොව උපත්පාලන ක්‍රම ගැන දැනුවත් කිරීම සහ ඒවා දිරිගැන්වීම කියන එක එක්කෙනෙක්ටවත් නොපෙනීම
    මෙවන් දේවල් දිහා මේ අයුරින් අසම්මත, වපර ඇහින් බැලීම තුලින් මෙවන් දේවල් වලට වක්‍රාකාරව වග කිව යුත්තේ මේ අදහස් දරන ඔබලාම බව ඔබ කිසිවෙක්ට නොතේරීම..

    මගේ අදහස ගැන ප්‍රතිචාරය වලට හෝ විව්වෙචන වලට පසු මම සියල්ලටම එකවර ප්‍රතිචාරයක් දක්වන්නම්

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීම පිලිබදව හදවතින්ම සතුටු වෙන අතර එයට ඔබට ස්තූතිවන්ත වෙමි.

      පලමුව මෙය කෙටිකතාවක් වන නිසා මෙයින් පාඨකයාට හිතීමට යමක් එක් කලා මිසක් එක් එක් පාඨකයාට ඇඟිල්ලෙන් ඇන මෙන්න මේ දේ ගැන හිතපන් මේවයි ප්‍රශ්ණ කියා පෙන්වීමේ කිසිදු අරමුණක් මාතුල නැත. නමුත් ඔබ ඇසූ නිසාම ඔබේ ගැටළු වලට මා පිලිතුරු ලබා දෙමි.

      මම දකින ලෙස මෙහී නූපන් දරුවා හැර සියළුම චරිත යම් යම් ප්‍රමාණ වලට වැරදි කරුවන්. එය මා Chamsට ලබා දුන් පිලිතුර තුලත් තියෙනවා. එයින් මා අදහස් කලදේ පැහැදිලි කරන්නම්.
      1. දෙදෙනාගේම දෙමාපියන් (තම දරුවන් පිලිබද නිසි අවධානය යොමු නොකිරීම.)
      2. සුධාරිගෙ අයියලා දෙන්නා (තම සහෝදරීට ඔහුන් දෙදනා රාක්ශයින්. ඔහුන් තම නව යොවුන් වියෙ නංගිව නිසි ආකාරව හදුනා ගත්තානම් ඇය ඔහුන්ට බියේ පාරෙ ඉන්න බෑ කියා කාමර ගානෙ ‍රිංගන්නෙ නැත.)
      3. මුරකරුවන් (ආදර වදන් දොඩමින් සිටි ප්‍රේම වන්තයින්ව එළවා දමා අසරණ කිරීම අන්තනෝමතිකව)
      4. අනෙක් ප්‍රේම වන්තයො ටික (කවීෂ පමණක් මුරකරුවන්ට එරහිව නැගී සිටියදි ඔහුව තනි කිරීම. අසාධාරණයට එරහිව හඩක් නොනගා මුනු මුනු ගාමින් පිටව යාම)
      5. ගෙස්ට් හවුසය හිමිකරු (අධ්‍යාපනය හදාරන බාල වයස් කරුවන් දෙදෙනකුට නවාතැන් දීම.)
      6. වෛද්‍යවරයා (නීති විරෝධී ක්‍රියාවක් කරනවා මදිවට ඇයගෙන් අවස්ථානුකූලව ප්‍රයෝජන ගැනීම.
      7. හෙදිය (මුදල් වෙනුවෙන් කාන්තාවක් ලෙස තවත් කාන්තාවක් අසරණවූ අවස්ථාවෙ අර වෛද්‍යවරයාට ඇයව බිලි දීම.)
      8. කවීෂ (ඇයව කාමරයක් තුලට ගෙන ගොස් ලිංගිකව එකතු වීමට පණ තිබුනාට ඇය අසරණ වූ විට ඇයව භාර ගැනීමට කොණද පණ නොතිබීම සහ අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වා ගැනීමට දැනුවත්වී නොතිබීම)
      9. සුධාරි (ආරක්ශිතව ලිංගික එක් වීමකට දැනුවත් නොවී ලිංගිකව එක් වීම.)

      එසේ මා දකින ආකාර‍යට අර නොදරුවා හැර සියළුම දෙනා වැරදි කරුවන්.

      මා තරුණ පරපුරට ලිංගිකත්වය මැජික් එක වී යැයි පැවසුවෙ ඔහුන් අර ඉබේ තේරෙන නිසාදො ලිංගික එකතුවීමකට හැර ආරක්ශිත ලිංගික ක්‍රියාවලින් පිලිබදව නොදැනුවත් නිසයි. කොන්ඩම්, උපත් පාලන් පෙති, ලිංගිකව එක්වූ පසු යම් කාල සීමවක් තුල ගන්නා පෙති සියල්ල ඔහුන්ට මැජික්. ඒ කිසිවක් නොතකා ඔහුන් කරන්නෙ චාන්ස් එකක් ආපු ගම්න් මල් රොන් උරන එකයි. අන්තිමට ගහේ පොහ්ට්ටු එත්දිම පොහොට්ටුව කඩලා විසික් කරනවා.

      Delete
    2. මේ කතාවට අනුව මෙතන වැඩිම පෙළඹවීම ඇති වී තිබෙන්නේ තරුණ තරුණියන් ඉලක්ක කරගෙන කාමර සපයන්නන්. ඔවුන් සම්බන්ධ නීති රීති වල ඇති අඩු පාඩු. ඔවුන්ද උපත් පාලනයට තම සේවා දායකයන් යොමු වන ආකාරයෙන් කටයුතු කල යුතුයි.

      Delete
    3. @ සුදීක අයියා
      ඒක ඇත්ත සුදීක අයියෙ ඇතම් ලැගුම් හල් තියෙනවා මෙවන් අසරණ උන තරුණ තරුණියන්ම ඉලක්ක කරගත්.

      Delete
  14. නියමයි ප්‍රියා.. ගබ්සාව කියන දේ මාත් ප්‍රතික්ශේප කරන එකක්.. ඒත් මේ වගේ අවස්ථාවන් වල ඔවුන් මේ දේ කරනවා ඇරෙන්න වෙන මොනවා නම් කරන්නද? හැඟීම් වලට නැවතුමක් නෑ කියනවනේ.. ඒකේ වරදක් නෑ.. ඒත් ප්‍රවේසම් වෙන්න ඕන කියන දේ මතකේ තියා ගන්න ඕන කියන එක මගේ මතය.. කතාව ලස්සනයි ප්‍රියා..

    ඔය 16+ කැල්ල අයින් කරපං බං.. මේවා කෝමත් කියවන්නම ඕන දේවල්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ් අගය කිරීමට.

      ඇත්ත මේ වළක්වා ගැනීමට තියෙන නොදැනුවත් භාවයත් මෙවැනි දේ වීමට හේතුවක්. ඒ අතින් නම් අපි හරි පසුගාමියි.

      ඔබයි දිලිනි දෙන්නම කියන නිසා 16+ එක අයින් කරන්නම්.

      Delete
  15. ලංකාවේ මෙහෙම දොස්තරල ඉන්නව ද බං.. හැක් හැක්..

    උඹ නියමෙට ලියල තියෙන වගනං කියන්න ඕන.. තව කාලයක් යනකොට ඕවා නීතිගත වෙන්නත් ඉඩ තියෙනවා බං..

    ReplyDelete
    Replies
    1. හප්පේ ලංකාවෙ නෙමේ බොල මෙහෙම උන් ඉන්නෙ එකෝමත් එක රටක. හි… හි… :-D

      ස්තූතියි දේශකයො අගය කිරීමට. ඒක ලොකු හයියක්.

      Delete
  16. පවු ඉතිං... ඉපදෙන්න ඉන්න එකාව මරන එක මිනිමැරුමක්.. !

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මධූ, ගබ්සාව මිනීමැරීමක්!. එය වළක්වා ගත යුතුමයි.

      Delete
  17. යකඩෝ මෙහෙමත් වෙනවද අබෝෂන් වලදී? හත් ඉලව්වේ කිව්වලු.............

    ReplyDelete
    Replies
    1. අපෙම සමාජයෙ තවත් එක අඳුරු පැතිකඩක්නෙ කෝරලේ. මේ වගේ ඒවත් වෙන එක ඇත්තටම මිනිස් කමටත් නිගාවක්.

      Delete
  18. කියන්න දෙයක් නෑ උඩ කස්ටිය ඔක්කෝම කියලා ,කොම වුණත් ඔය වගේ දෙවල් වලින් පෙන්නන්නේ අපේ සමාජේ එක් පැත්තක අඩුවක් ,නිසි අධ්‍යපනයක් හා ගබ්සාව කියන දේ නිසි ප්‍රමිතිකරනයක් හා රජය අනුමත ක්‍රමයකට එන්න ඕන කාලේ හරි ...

    අපේ උන් දේයක් ගත්තොත් ගන්නෙ වැරදි පැත්ත නිසා ඉස්සෙල්ලාම අධ්‍යපනය වැදගත් මම හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ වැදගත්ම දේ අධ්‍යාපනය. ඒත් පෞද්ගලිකව මන් ගබ්සාවට නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

      ආතල් එකක් ආවම පෙරලගෙන වැඩේ කරන්න කලින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගැනීම කියනදේ ගැනත් දැනුවත් වී සිටිය යුතුයි.

      Delete
    2. ආතල් එකක් ආවම පෙරලගෙන වැඩේ කරන්න කලින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගැනීම කියනදේ ගැනත් දැනුවත් වී සිටිය යුතුයි./////

      මම එක තමා කිව්වෙ අධ්‍යපනය මුලින්ම ඕන කියලා ...ප්‍රියා නොදන්න දෙයක් මම කියන්නම් ,මම ලිoගිකත්වය හා ප්‍රජනන සෞඛ්‍ය කියලා වැඩසටහනකට පාසැල් කාලයේදී වසර තුනක කාලයක් සම්බන්ධ වෙලා කටයුතු කලා ,ඉස්කෝල වල ළමයි එක්ක ගම් වල ඇවිද්දා ,මටත් ඔය වගේ සිද්ධි තියෙනවා කියන්න ,ඇස් දෙකෙන් දැක්ක එවා

      Delete
    3. ඇත්ත සහෝ ඒකෙ කිසිම තර්කයක් නෑ. නිසි අධ්‍යාපනය මගින් පමණයි මේ ගැටළුවට විසඳුමක් දිය හැක්කේ. මම කියන්නෙත් ඒකයි.ලිංගිකත්වය ගැන අපෙ රටේ තියෙන දුර්වල අධ්‍යාපනය තමා මේ සියල්ලට හේතුව.

      Delete
  19. නියමයි ප්‍රියා..මචෝ දිගටම මේ වගේ කතා ලියපන් උබට හොදට ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ් අගය කිරීමට. ඉස්සරහටත් කෙටි කතා ටිකක් ලියන්න අදහසක් තියෙනවා. බලමු.

      Delete
  20. ප්‍රියා.. ලංකාදීප පත්තරේ මෙවැනිම කතාවක් කියෙව්වා මතකයි..

    වැරැද්ද බොර දියේ මාළු බාන්නං ගෙද ?
    සැමට හොරා වැට පනින පෙම්වතුන්ගේද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන්,
      මමනම් දකින විදියට ඔය දොගොල්ලොත් ඇතුලුව සියල්ලන්ම පාහෙ වැරදී.
      ජෝඩුවෙ වරද කොටු පැනීමටත් එහා ගිය එකක්.

      Delete
  21. niyamai malli.....dukai...tharahai......

    ReplyDelete
  22. මම නම් බන් මේ වගේ කතා කියවන්න කැමැත්තක් නෑ ඇත්තටම.නමුත් සිද්දවෙන දේවල් නොකියවා හිටිය කියල වැහියකිය. . තම තමන්ගෙ යාලුවන් අතරෙවත් ඔයවැනි දේවල් වලකන්න පුලුවන්නම් හොදා. . .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මඟියො. ඒත් අපිවත් මේවා ගැන කතා කල යුතුයි.

      Delete
  23. මේකයි වැඩේ කොල්ලො කෙල්ලො ඔය තත්තෙට පත්තෙන්නෙ අපේ සමහරක් නිලධාරීන් එතකොට බොරු සුචරිත වාදීන් වගේ උන්නෙ නොපනත් කම් හිංදමයි. කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ඉන්න තැනත් වටපිටාවක් හැදෙනව නං කවදා වත් ඔය වගේ තත්වයක් උද්ගත ‍වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. අන්න සම්පූර්ණ කතාව. ඇත්තටම ඔය ප්‍රශ්ණෙ තමා මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණෙ. ලවු කරන්න තැනක් නැතුව අඟුපිල් ගානෙ රින්ගන්නෙ තරුණයන්ගේ වරදින්මද කියලා හිතා බැලිය යුතුයි.

      Delete
  24. අනේ මන්දා මලයා.. කතාව සංවේදී වැඩියි වගේ.. ජය පතමි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුර අයියෙ අගය කිරීමට.

      Delete
  25. කමෙන්ට් කිහිපයක් මග ඇර කමෙන්ට් කරන්නේ. ඇත්තටම මේ වගේ ආකාර්ෂණීය ලෙස පණිවුඩයක් දෙන ලිපි පුවත් පත් වලයි පල වෙන්නේ ඕනේ. මේවා ඒ වයසේ පසුවන තරුණ තරුණියන්ට යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක අයියෙ අගය කිරීමට. ඇත්තෙන්ම අපි මේවා නොසගවා කතා කිරීම තමයි කල යුත්තෙ.

      Delete
  26. ශික් කියලා හිතෙනවා ප්‍රියා . එත් මොනා කරන්නද මේ ලෝකේම අපි ජීවත් වෙන්න එපැයි. ගබ්සාවට මං විරුද්ධ නෑ . ඒත් මිනිස්සු තුල මානුෂික හැගීම් තියෙන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕනේ අයි මේ පැත්තේ ආවේ උඹේ බ්ලෝග හොයාගන්න බැරුව හිටියේ මම

      Delete
    2. මානුෂිකත්වය තමා ඉවාන් හැම දේටම විසදුම ඉවාන්.

      සාදරයෙන් පිළිගන්නවා සිතුවිල්ලට.

      Delete
  27. දන්න කෙල්ලෙක් උන්නා, රස්සාවට යන්න වෙන ගෙදරක නැවතිල. එයා ලැබුන නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරන්, කොල්ලත් එක්ක රට වටෙ ගියා. අන්තිමට දරුවෙක්. කොල්ලා බැහැම කිව්වා ළමයව බාර ගන්න. ඉන් පස්සේ කෙල්ල ඒ ළමයව නැති කරගත්ත. අනේ මන්ද... ඕවා අපරාධ. :(

    ReplyDelete
    Replies
    1. ගබ්සාව කියන්නෙ නම් හෙලා දැකිය යුතුම අපරාධයක් මිනී මැරුමක්. පවක්, වරදක්. ගොඩක් ජෝඩු ලැබෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන අරන් අන්තිමට නතර වෙන්නෙ මේ ගුබ්බෑයම් වල. :-(

      Delete
  28. වහල්වීමක් - හැගීම්වලට්

    ප්‍රෙයා්ජයට ගැනීමක් - අසරණ කමින්

    ReplyDelete
    Replies
    1. ඇත්ත සෑම්, හැගීම්වලට වල්වී ගන්න ඇතම් තීරණ නිසා කරල පැහැන්නෙකොහෙවත් ඉන්න උන්ගෙ.

      Delete
  29. :( හිතම ක් ශොක් වුනා :( මහා ජරා මිනිස්සු.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් මොණරි, මෙහෙම මිනිස්සු කොහෙත් ඉන්නවා. :(

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................