01 June, 2014

නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……



කඳුලු පිරී තෙරපෙන මගේ දෙනෙතට පෙනෙන ඒ බොඳ උන රුව ඇගේම දැයි හදුනාගැනීමට මට අපහසු නැත. මා රැවටුනාට මාගේ දෙනෙත රැවටී නැත. ඒ ඇයමය. මා පණසේ ආදරය කල ඇයමය, මා දෑසසේ ආරක්ෂා කල ඇයමය. මාගේ දෙනෙත රැවටී නැත නමුත් මා රැවටී ඇති බව මා දනිමි.

ඈත අනුරාධපුරයේ ඉපදි හැදීවැඩෙන මා කොළඹට පා තබන්නේ මෙයට වසර පහකට පමණ පෙරය. ඒද බියගම වෙළද කලාපයේ ඇගලුම් කම්හලක රැකියාවක් සොයාය.

"සුමිත්ගෙ වැඩ හොදයි කියලා මං බොස්ටත් කියලා තියෙන්නෙ. ඔහොම වැඩ කරන් ඉන්න. ඔයාට දියුණු වෙන්න පුලුවන්."

සහයකයකු ලෙස එක්වූ මා ක්‍රමයෙන් ලයින් ලීඩර් ලෙසත් පසුව වැඩ පරික්ෂකයකු ලෙසත් උසස් වීම් ලැබුවෙ මා තුල රැකියාව පිලිබඳ වූ උනන්දුව නිසාද මාගෙ හැකියාව නිසාද එසේත් නොමැතිනම් මාගේ අසරණ දෙමාපියන්ගේ වාසනා මහිමය නිසාදැයි මා අදටත් නොදනිමි.

උසස් වීම් වලට සමගාමීව ඉහල යන මාගේ වැටුපෙන් සෑහෙන්න කොටසක් වෙන් වූයෙ මාගෙ දුප්පත් දෙමාපියන් වෙනුවෙනි. මා මාගේ දෙමාපියන්ට එතරම්ම ආදරය කලෙමි. ඒ ආදරය බෙදාදීමට කෙනෙකු මට ඒ දිනය වනතෙක් මෙලොව සිටියෙ නැත. නමුත් එදිනෙන් පසු…………………

"ආ මෙන්න සුමිත්ගෙ ටීම් එකට අලුත් ළමයෙක්… නම කාව්‍යා… සුමේධාගෙ ලයින් එකට දාන්න හෙල්පර් කෙනෙක් විදියට. කලින් වැඩ නම් කරලා නෑ…"

"හරි මිස්… අපි හදලා ගමු…"

"මොකක්ද නංඟි නම කිවුවෙ?"

"සර්, මම කාව්‍යා…"

"මට සර් කියන්න එපා ළමයො මාත් ඔයාලා වගෙ හෙල්පර් තමා ආවෙ… මට සුමිත් කියන්න ඒ ඇති…"

ම්ම්ම් ඒ දිනය අදටත් මගේ මතකයේ ඉහලම ස්ථානයක තැන්පත්ව ඇත්තේ මාගෙ දිවියම වෙනස් කල දිනය එදින වන බැවිනි. නිතඹෙන් පහලට වැටුන දිගු වරලස තනි කරලට ගොතා, චීත්ත ගවුමක් ඇඳ සිටි ඇය මා දුටුවේ මා වෙනුවෙන්ම ඉපදුන එකියක ලෙසිනි.

මෘදු සිනහවෙන් කෝල කතාවෙන් දිනෙන් දින මා සිත් ගත් ඇය අවසානයෙ මගෙ අදරවන්තිය වූයේ මාගේ බලාපොරොත්තුවේ පහන් දල්වමිනි.

මා ගෙවමින් තිබූ සරල සැහැල්ලු ජීවිතය කෙමෙන් වෙනස් වෙමින් පුහු ආඨෝපයෙන් පිරි දිවියකට මා කෙමෙන් හැඩ ගැහෙමින් සිටියේ ඇගේ වුවමනාවටය.

කෙමෙන් කෙමෙන් ඈ තුල සිටි මල් මල් චීත්ත ගවුම් ඇදි අහිංසකාවිය පලාගොස් ඇත. ඒ තනිවම නොව වයසක දෙමාපියන්ට සලකමින් අහිංසක දිවි පෙවතක් ගෙවූ සුමිත් නම් මාගේ සැහැල්ලුවද රැගෙනය. නමුත් මට ඇයව අතහැර දැමීමටද නොහැක. මා එතරම්ම ඇයට බැඳී ඇත.

ඇය වැනිම තවත් කෙල්ලන් දෙදෙනකු සමග බෙදාගන්නා ඇගේ බෝඩිම් ගාස්තුවේ සිට ඇයගේ සියලු වියදම් පමණක් නොව ඇගේ දෙමාපියන්ට සහා අධ්‍යාපනය හදාරන සහෝදරයාට යන වියදම පවා පියවී ගියෙ මගෙ පඩි පතෙනි. එයට මා එතෙක් ආදරයෙන් බලාගත් දෙමාපියන්ගෙ කෑමට තිබූ මුදල් පවා අඩු වීම මට කොතෙක්ම ගැටළුවක් වූයේ නැත.

මා එතරම්ම ඇයට ආදරය කලෙමි. ඇය මාගේ පණ වීමට එතරම් කලක් ගත වූයේ නැත.

"මොනවද සුමිත් මේ වෙන්නෙ, බලන්න මේ පාරත් ඔයාගෙ ටීම් එකේ ප්‍රඩක්ෂන් අඩුයි. මේ පිට පිට දෙවනි වතාව. ටාගට් වත් කවර් කරගන්න බැරිනම් සුපවයිසර් කමෙන් වැඩක් නෑනෙ… අනික ඔයාලගෙ පෞද්ගලික සම්බන්ධකම් පිට තියා ගන්න. ඒවා මෙතනට ගෙනත් වැඩ පාඩුකරගන්න එපා…"

"සොරි මිස්… ආයෙ එහෙම වෙන්නෙ නෑ. මම බලා ගන්නම්…"

"එහෙම කියලා බැහැනෙ සුමිත්, මේ දෙවනි වතාව බොස්ලා මගෙනුයි අහන්නෙ. මම මේක ඇතුලෙ වෙන ඔක්කොම දන්නවා. මට කරන්න දෙයක් නෑ… කාව්‍යා ඔයා යන්න රුවන්ගෙ ටීම් එකට, රුවන්ගෙන් චන්ද්‍රලතාව දාන්නම් සුමිත්ගෙ ටීම් එකට."

මා එතෙක් උනන්දුවෙන් කල රැකියාවෙන්ද මා පසු බැස්සේ ඇය නිසාය. එදිනනම් මට දැනුනේ සියල්ලන් ඉදිරියේ මා නිරුවත් වූවා වැනි හැඟීමකි. එයටත් වඩා දුක කාව්‍යා මගෙ කණ්ඩායමෙන් වෙන් වීමය.

"මම සුමිත් අයියව හම්බ වෙන්නමයි හිටියෙ… මේක කොහොම කියන්නද මට තේරෙන්නෑ…"

"කියන්න උත්පලා, මොකක්ද ප්‍රශ්ණෙ…?"

"මම කියන දේ අහලා දුක් වෙන්න එපා, මං ගැන වැරදියට හිතන්නත් එපා!"

"හරි… හරි කියන්නකො."

"සුමිත් අයියා පොඩ්ඩක් හොයලා බලන්න කාව්‍යා ගැන…… අපිට දැන් එයාගෙ පොඩි වෙනසක් තේරෙනවා…"

"ඒ කිවුවේ……!!!"

"මේ…කයි…… කාව්‍යා රුවන් සර් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. පොඩ්ඩක් හොයලා බලන්න…"

"හ්ම්… ආ… හරි… හරි උත්පලා… මම බලන්නම්…"


කාව්‍යාගේ කාමරය බෙදාගත් මිතුරියකගේ පණිවිඩය හමුවේ මා කාව්‍යා සමග සැදූ සිහින මාලිගය බිඳ නොවැටුනේ මා එතරම්ම ඇයව විශ්වාස කල නිසාද, නැත්නම් මා ආදරයෙදි මෝඩ අඥානයෙකු වූ නිසාද?

නමුත් අද… අද… අද සවස මා දැක්කේ සිහිනයක්ද… නැත මා දුටුවේ සිහිනයක් නම් නොවේ…

මා අද සවස කාව්‍යාගේ බෝඩිමට ගියේ ඇය සමග නිදහසේ කතා කිරීමට ඇයත් සමග කොහේ හෝ යාමටය. ඒ ඇයගේ බෝඩිම් සහයිකාවන් දෙදෙනාම වැඩට ගොස් බැවින් කාව්‍යා තනියෙන් සිටින නිසාවෙනි. නමුත් ඇය අද සිටියේ තනිව නම් නොවේ. මා පණ සේ ආදරය කල ඈ මා දෑස මෙන් රැක ගත් ඈ මාගේ දෑස ඉදි‍රිපිටම සිටියේ රුවන්ගේ තුරුලේය.

සිටි තැනම ගල් ගැසුන මා දුටු ඇයව මා දුටුවේ දඩයම්කරුවෙකු දැක සැඟවෙන මුවැත්තියක මෙනි. මා හට මුහුණ දී ගත නොහැකිව රුවන්ද ඇයද මුහුණ බිමට බර කරන් සිටි අයුරු මට දැනුදු මැවී පෙනේ.

එකඳු වදනක් හෝ පිටකරගත නොහැකිව මා අසරණ උන තරමක් දන්නේ මා පමණකි. අවසාන‍යේ වචනයක් හෝ නොදොඬා කඳුලු පිරි දෙනතින්ම මා මාගෙ නවාතැන් පලට පැමිණි අයුරු කෙසේ දැයි මට මතකයක් නැත.

මා දැන් කලයුත්තේ කුමක්ද? වසර පහක් පමණ තිස්සෙ දුක් මහන්සි වී හම්බ කල සතයක්වත් මා හට නැත. මාගේ රැකියාව පවා ඇත්තේ අවිනිශ්චිත තත්වයකි. ඒ සියල්ල ඇයට පිංසිදු වීමටය.

නමුදු මා එකම එක කාරණයක් දනිමි. එනම් මා පණසේ ආදරය කල ඇයට වෛර කිරීමට නම් මා සිත එකඟ නොවන බව පමණි.


දුක් සුසුම් තෙරක් නැත පෙළු මා පෙර දිනේ……
නිමක් නැත කඳුළු වැල් ගලා ගිය මා නෙතේ……
කමක් නෑ ඉවසන්න හැකිය මට මේ ලෙසේ……
'නුඹ තුටින් සිටිනු මැන නුඹට හිමි ලෝකයේ……'

© ප්‍රියා.
*13/11/2013

ප. ලි. ~  ලියවී මාස ගණනක් පසු උවද පබ්ලිෂ් කි‍රීමට සිත නොදුන් එකම කතාව මෙයය. ඒ සැබැවින්ම මෙවන් පෙම්වතුන් මේ කාලෙයේ මෙළොව සිටීද යන පැනය නිසාය.
(පින්තූරයට ස්තූතිය……pastorchrisjordan.wordpress.com)