27 April, 2014
බිකිණියක් ඇන්දත් සාරියක් නම් අදින්න එපා……
වර්ශ දෙකදහස් විස්සක් වූ අප්‍රේල් මස විශි අත් වන ඉරිදා දින සවස……………
"තාම මැච් එකද බලන්නෙ? දාන්න දාන්න නිවුස්."
"අනේ තාත්ති හොදම හරිය… තව ඕවර් දෙකයි…"
"ඕවර දෙක බලලා කණට දෙකක් කන්න ඕනද? යන්න පාඩම් කරන්න"
"ආ ආ බලාගන්න…"
………………………………………
මෙන්න දවසේ පුවත……
ඊයේ දවල් සිදුවූ අංගොඩ බැංකු මංකොල්ලයේ CCTV වීඩියො පට මාධ්‍යට නිකුත් කෙරේ… යතුරුපැදි දෙකකින් කොල්ල කල්ලිය පැමිණ ඇත්තෙ සාමාන්‍ය ආකාරයෙ හෙල්මට් දමා යතුරුපැදි ධාවකයින් දූවිල්ලෙන් බේරීමට ගැටගසන ආකාරයට ලේන්සුවකින් මුහුණ ආවරණය කර ගැනීමෙන් බවට එම දර්ශණ වල සටහන්ව තිබේ… පසුගිය තෙමස තුල මෙසේ හෙල්මට් සහ ලේන්සු දමාගෙන් සිදු කල හැත්ත හත් වන මංකොල්ලය මෙය වන අතර මීට වසර හයකට පෙර ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට මුල් වූවේද මෙවන් හේතුවකි.
එසේම අද සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම ආකාරයේ හෙල්මට් භාවිතා කිරීම තහනම් කර ඇත… මේ පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට අප සමඟ සජීවීව සම්බන්ධ පොලොස් මාජ්ජ ප්‍රකා සක සුජිත් අවරෝහණ මහතා…
"මාජ්ජ ප්‍රකා සක තුමනි…"
"ඔව්… 2014දී ෆුල් ෆේස් හෙල්මට් දාල කොල්ලකත්දි ෆුල්ෆේස් හෙල්මට් එක තහනම් කරලා, ඔය දඩ ගහනවා කියලා බය කොරලා පනම් හතක් හොයා ගන්න මඟ පාදපු ලෙසම මේ පාරත් අපිට ඉහලින් නියෝග ලැබිලා තියෙනවා සියළුම වර්ගයේ හෙල්මට් තහනම් කිරීමට…"
"නමුත් මාජ්ජ ප්‍රකා සක තුමනි, ඒ කාලෙ ෆුල්ෆේස් හෙල්මටුත් තහනම් කලා. දැන් දූවිල්ලට ධාවකයො ලේන්සු ගැටගහන විදියට ඇවිත් කොල්ල කනවා කියලා ඒ හෙල්මට් එකත් තහනම් කරනවා… මේවා හරිද…??"
"ඕව් ඉතිං කොල්ල කනවා නම් ඕන දෙයක් තහනම් කරන වෙනවා. හෙල්මට් විතරක් නෙමේ ලේන්සු, රෙදිපටි, අව් කණ්නාඩි ආදී කිසිම දෙයක් හෙට පටන් ප්‍රසිධියේ භාවිතා කිරීම මෙයට සමගාමීව තහනම් වෙනවා… අපි මේ සියල්ල කරන්නෙ මහජනතාවගෙ යහා……………"
"හෝව් හෝව්, එතකොට අර මාර්ලිපේන්තුවෙ ඉන්න මහ හොරු ටික??? කොටින්ම 2014 ෆුල්ෆේස් වලින්ම කොල්ලකාලා ලැජ්ජ නැතිව පළා බබෙක් උන එකත් දැන් ඒ ගොඩේ. ඉතිං උන් ආ නෑ සොරි එතුමන්ලා ප්‍රාඩෝ වලින් ඉගිලෙත්දි මේ ෆිනෑන්ස් එකක් දාලා බයික් එක ගන්න පොඩි එකාට නේද මේකෙන් පහර වදින්නෙ????"
"ඒක ඉතිං වාසනාවන්ත අවාසනාවන්ත කමනෙ… වාසනාවන්තයා හොරකම් කලත් උන්වම පත්කරගෙන අවාසනාවන්තයො ටික අරුන්ගෙ වැරදිත් එක්කම කර ගහනවා… 'හිතට දුකයි තමයි, ඒත් ඔව්වා ඔහොම තමයි' තේරුණානෙ…"
"ස්තූතියි මාජ්ජ පර කාසක තුමනි.…"
මෙන්න තවත් දේශීය පුවතක්……
පසු ගිය දිනක ඕනාමි නම් කාන්තාව පිටුවහල් කිරීමෙන් පසු වත්තල ගුවන් තොටුපලට කෝටි 69ක් වටිනා යන්ත්‍රයක් ඉන්දියාවෙන් ගෙන්වීමට 'අපේ ආගම හෝ තොපේ මරණය' සංවිධානය තීරණය කර තිබෙනවා… ඒ අනුව මෙරටට ඇතුළුවන සියළුදෙනා නිර්වස්‍ත්‍රයෙන් එම යන්ත්‍රය තුලින් ගමන් කල යුතු අතර කිසිමාකාරයක ආගමික සංඛේතයක් පච්චයක් ලෙස කොටා තිබුනොත් ඒ අවස්ථාවේම හදුනාගැනීමට එම යන්ත්‍රය ඉවහල්වන බව එම සංවිධානයේ නායකයා අප හා පැවසීය. තවදුරටත් ඔහු පැවසුවේ එසේ පිටු වහල් කරන සැමගේ පශ්චාත් භාගයේ 'අපේ ආගම හෝ තොපේ මරණය' ලෙස පච්චයක්ද කොටන බවය.
දැන් විදෙස් පුවත්……
සිරි ලංකාව විදුලි පුටුව යන වචනය නිතර භාවිතා කරන රටවල් අතර ප්‍රමුඛත්වය ගනී… මෙහි විශේෂත්වය වන්නේ එල්ලුම් ගසවත් නොමැති රටක මේ වදන මෙතරම්ම භාවිතා වීමය… එසේම ඇමරිකානු සමීක්ෂණ වාර්තාවන්ට අනුව එම වදන වැඩි පුරම භාවිත වී ඇත්තේ මෙරට මැතිවරණ කාල සීමාවන් වලදීය.……
අදත් ක්‍රීඩා පුවත් ගෙන එන්නේ සංඛර පංදුසේන…
"ලෝක කුසලාන ගණනාවක් පරාජය වී මෙවරත් පරාද වීමට ඔට්ටු දමමින් සිහින මාළිගා මවමින් සිටි මෙ සිරිලක ක්‍රීඩා ලෝලීන්ගෙ අහිංසක සිහින මාළිගා බිඳ දමා ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ වරදට විනය පරික්ෂණයට කැදවූ මසිත් සාලිංග ප්‍රමුඛ සියළු ක්‍රීඩකයන් වරද කරුවන් වූ අතර ඔහුන් සියළු දෙනාට එක් අයෙකුට කෝටි දහය බැගින් දඬයකුත් ඊළග ආත්මයටත් බල පැවත්වෙන සේ තරඟ තහනමකුත් නියම කෙරේ.……
හෙටත් එකතු වන්න ක්‍රීඩා පුවත් සමඟින්………
අදට සමුගන්නම් ඔබේ නිවසෙන් හෙටත් මේ වේලාවට… ආ නෑ මේ වෙලාවට නිවුස් ඉවරනෙ… හෙටත් හතට සෙට් වෙමු නිවුස් එන්ජෝයි කරන්න…… එතෙක් ඔබ සැමට ගුඩ් රාත්‍රියක්………
………………………………………
"මදෑ ඔහෙන් ගියා…"
"ඒයි, නිවුස් බලලා ඉවර නම් ඔය කරන්ට් එක මේන් සුවිච් එකෙන් ඕෆ් කරන්න. දැනටම මේ මාසෙට ඒකක විස්ස පැන්නා ඕන්. තිහෙන් වත් නවත්ත ගන්න ඕන නැත්නම් මේ මාසෙත් බිල දහදාහා පන්නයි.…… ඔයා අඳින්නෙ මොකක්ද කියන්නකො… මට මැදලා තියන්න… යකඩ ඉස්තිරික්කෙ පොල්කටු අඟුරු ටික දාලා රත් වෙන්න තිබ්බා…."
"කොහෙ යන්නද…??"
"ඇයි අනේ පුතාගෙ පංති කවයනෙ හෙට…"
"හ්ම්ම්ම් අර කහ පාට කමිසෙයි කළු කලිසමකුයි මදින්න. මතක ඇතිව කමිස සාක්කුවට ලොකු පුළුන් කෑලි දෙකක් දාන්න.…?"
"පුළුන් මොකටද…?"
"ඇයි ඉතිං මේ යෝධයගෙ ටීචර් එක්ක කතා කරත්දි කණ් දෙකේ ගහ ගන්න.… මතකනෙ ගියපාර කණේ ඇඟිලි ගහන් ඉදලා ඇඟිලි හිරි වැටිලා බාරොන් වෙද මහත්තයාගෙන් බෙහෙතුත් ගත්තා……… ඒක නෙමේ තමුසෙ මොකක්ද අඳින්නෙ…?"
"ඇයි අර රෝස පාට සාරිය අඳිනවා…"
"තමුසෙට පිස්සුද ගෑණියෙ සාරි අඳින්න…!!!"
"ඇයි මනුස්සයො ඉස්කෝලෙකට සාරි නේන්නම් අඳින්න ඕන.…"
"තමුසෙට අමතකද ඕයි සාරි වල එල්ලිලා දිවි නසා ගන්නවා වැඩීයි කියලා සාරි අඳින එක තහනම් කලේ ගිය සුමානෙනෙ.…"
"එහෙම කියලා දරුවගෙ ඉස්කෝලෙට ආවට ගියාට ගියහැක් යෑ.……"
"දෙයියන්ගෙ නාමෙට මම උඹෙන් ඉල්ලන්නෙ, බිකිණියක් ඇදන් ගියත් සාරියක් නම් ඇඳන් එන්න එපා මයෙ දෙයියෝ… මොකද අන්තිමේ ඇඳන් යන බොට නෙමේ අරන් දුන්න මටයි හිරේ යන්න වෙන්න…………"
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
movies.sulekha.com)
13 April, 2014
නෑණන්ඩිය…………
ට්‍රීං… ට්‍රීං… ට්‍රීං………
"හෙලෝ…"
"ලොකු අයියෙ… මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන…"
"අද නම් මම නයිට් එක පොඩි මල්ලි… හෙට ඉන්නවා. මම එන්නද ඔයාගෙ බෝඩිමට…?"
"එපා ලොකූ ඔයා මහන්සි වෙන්න එපා… මම එන්නම් ඔයාගෙ බෝඩිමට…"
"හා පොඩී ඔයා එන්න එහෙනම්…"
………………………………………
"ආ එන්න පොඩී… කාලද ඉන්නෙ…?"
"ඔව් ලොකූ… කොත්තුවක් කෑවා එන ගමන්. ඔයා කෑවද…?"
"නෑ පොඩී, මම තව ටිකකින් කන්නම්. සුගත්ලා නයිට් මම විතරයි ඩේ එක නිසා අද උයා ගත්තෙත් නෑ.… ඔයා මොනවද කියන්න තියෙනවා කිවුවෙ…?"
"ඔයාගෙන් පොඩි උදවුවක් ඕන ලොකූ…"
"මොකක්ද…??"
"මේ…මේ… මේ ගෑණු ළමයෙක් ගැන ගෙදරට කියන්න ඕන… ඔයා හිමීට අම්මට කිවුවොත් අම්මා අහයි, නැත්නම් දන්නවනෙ අම්මගෙ හැටි…"
"හ්ම්ම්… ඒකත් එහෙමද…? කොහෙ ළමයෙක්ද…?"
"අපේ කැම්පස් ළමයෙක්, අපෙ වගේම ටිකක් දුප්පත් පවුලක්…"
"පවුලෙ දුප්පත් පොහොසත් කම නෙමේ වටින්නෙ, හැදියාවයි වැදගත්කමයි."
"එයා හොද ළමයෙක් අයියෙ…"
"හ්ම්… දැන් කොච්චර කල්ද…?"
"මාස හයක් විතර ඇති…"
"ඉතිං… ඔයත් තාම කැම්පස්නෙ…"
"නෑ අයියෙ… මම කැමති නෑ මේවා ඔයාලට හංඟන් ඉන්න… ඒකයි…"
"හරි මම අම්මාට කියන්නම්… එයාලගෙ ගෙදරින් මේක දන්නවද…?"
"එයත් ඒක ඉක්මනටම කියන්න ඉන්නෙ… ඒ ගෙදරිනුත් අකමැතිවෙන්නෑ…"
පොඩි මල්ලි පිටව යන විට ඔහුත් සමඟම ගොස් මිරිස් හොදිත් සමඟ පාන් භාගයක් කා ප්ලේන්ටිකුත් බී බෝඩිමට පැමිණි මා ලෑලි ඇඳ මත දමා තිබූ දිරාගිය කොහු මෙට්ටයට මත නිදි දෙවු දුව සෙවූ මුත් මොහොතකට හෝ ඇය හමු නොවූ දෑස් පියන් අඬවන් කර අයාලේ දුවන සිතුවිලි දැහැන ගමන් අරඹමින් සිටී.
ිදෛවය නම් පුදුමාකාර දෙයකි. අධ්‍යාපනය යන සාධකය මත ආදරය අහිමිවූ මාහට අධ්‍යාපනයෙන් ඉහලට ගිය දෙදෙනකුගෙ ආදරයට උදවු කිරීමට වරම් ලැබී ඇත. කුරුණෑගල ගම්පෙදෙස කරගෙන දුප්පත් පවුලක උපන් පිරිමි දරුවන් තිදෙනෙකුගේ වැඩිමලා වූයේ මමය. ශිෂ්‍යත්ව විභාගය සමත් වුවද ගමේ පාසලේම හයේ පංතියේ අධ්‍යාපනය ලබමින් සිටියදී උපත ලද පොඩි මල්ලි ඉපදී මාස කිහිපයකට පසු අප පියා මිය ගියේ ඔහුගේ ආයුෂ ඉවරවීද…? අපගේ අවාසනාවන්ත භාවය නිසා දැයි තෝරා ගැනීමට තරම් මා දිවි ගමනේ පරිණත වී සිටියේ නැත.
දරුවන් තිදෙනෙකුගේ බර කරට ගත් මවගේ සියුමැලි දෑතට බරක් වන්නට මට සිත් නොදුන් නිසාම ඔළුවට නොව පපුවට ඉඩදී අකමැත්තෙන් උවද අධ්‍යාපනයට තිත තබා රැකියා පසුපස හඹායාමට වූයේ දොලොස්වැනි වියේ සිටමය. නමුත් මට අහිමිවූ සම්පත මාගෙ බාල සොයුරන් දෙදෙනාට ලබා දීම මාගේ ඒකායන අරමුණ වී තිබුනි. බඩගිනි දැනෙන කුසවල් හතරක් පිරවීමට මව වෙහෙසෙත්දී දැනුම සොයන ඔළුගෙඩි දෙකක් පිරවීමට මා වෙහෙසිනි.
දින සති මාස ගණන් වලට පෙරලමින් ඉගිලෙමින් සිටී, මා කරමින් සිටි රැකියාවට ආයුබෝවන් කියා නව රැකියාවකට බියගමට පැමිණෙත්දී මා තරුණෙකි. බියගම ප්‍රදේශයේම බෝඩිමක තනි වූ මා හදවත ජීවිතයේ ප්‍රථම වරට ආදරයකින් පිබිදෙන්නේ එම බෝඩිමේ හිමිකරුගේ දියණිය සමඟය.
//රුවන් අයියේ,
මට අපි ගැන ටිකක් කතාකරන්න ඕන. අද මට Econ පංති 6.00ට ඉවරයි. ඔයා හය වෙත්දි වාසිටිය ළගට එන්න.
--සචී.… //
"කියන්න සචී…"
"බස් එකට නැගලම කතා කරමුද…?"
ි"ඉස්සරැහෙන් ගැඟපු අප සල්ලි ගන්න…"
"සියඹලාපෙ හංදිය දෙකක්…………… ආ හරි. දැන් ඉතිං කියන්න…"
"මේකයි… ඔයා මම කියන දෙයින් අවුල් වෙන්න නම් එපා. මම මේක ගොඩක් කල්පනා කලා…"
"කියන්න දරුවෝ…"
"හ්ම්ම් මේකයි රුවන් අයියෙ, අපී… අපි මේ කරන දේ වැරදියි.…"
"මොකක්ද සචී…"
"අපි… අපි මේ සම්බන්දෙ නවත්තමු අයියෙ… අපි දෙන්නා ගැළපෙන්නෑ… මම තාමත් ඉගෙන ගන්නවා…"
"මොකක්……!! ඉතිං සචී මම ඔයාට ඉගෙනගන්න එපා කිවුවයෑ… අනෙක මා තාම ඔයාගෙ අතකින් වත් අල්ලලා තියෙනවද…??"
"නෑ ඔයා වැරදි කෙනෙක් නෙමේ දෙවියනේ… මම ඔයාට ආදරෙයි… ඒත් අපි ගැළපෙන්නෑ කියලා මට හිතෙනවා…"
"ඒ ඇයි…?"
"නෑ… ඒවා ඕන්නෑ. අපි වෙන් වෙමු… එච්චරයි" ඇඟේ කටහඩ පෙර නොවූ විරු තරම් ආයාචනාත්මක බවකුත් තර්ජනාත්මක බවකුත් අතර අතරමන් වෙමින් පවතී.
"නෑ සචී මට දැනගන්න ඕන හේතුව…"
"නැහැ අයියෙ අපි ගැළපෙන්නෑ දෙවියනේ…"
"මො..ක..ක්..ද.. හේතුව…"
"කෑ ගහන්නඑපා දෙයියනේ… මේක බස් එක… මම කියන්නම්……… ඔය හයට විතරයි ඉඟෙන ගෙන තියෙන්නෙ මම තාමත් ඉඟෙන ගන්නවා.… ඕවා කවදා හරි ප්‍රශ්ණ…"
"ඔයාට දැන්ද දෙවියනේ ඕවා මතක් වෙන්නේ…? අහක හිටපු මට බලාපොරොත්තු දීලා මේක පටන් ගත්දී ඔයාට මේවා හිතුන් නැත්ද…?"
"මට… මට සමාවෙන්න… රුවන් අයියෙ……!!"
පසුදිනම එම නවාතැනට සමු දුන් මා මාගේ ප්‍රථම ප්‍රේමය වූ සචීට සමු දුන්නේ නම් හදවතින් නොවේ. කෙටි කලකින් දැනගන්නට ලැබුනේ සචීලාද නිවාස මාරුකර ගොස් ඇති බවය.
මේ වන විටද මම මගේ ප්‍රධාන අරමුණ යම්තාක් දුරකට ඉටුකර ගනිමින් සිටිමි. මද්දු මල්ලි උසස් පෙළ සමත්වී රට රැකියාවකට ඉගිල ගිය අතර පොඩි මල්ලි උසස් පෙළ සමත්ව කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් සිටී. කෙසේ හෝ මා මාගේ බාලම සොයුරාගේ ආදරයට අනුමැතිය මවගෙන් ලබාදිය යුතුය.
………………………………………
බීප්… බිප්… බීප්…
"හෙලෝ ලොකූ… කියන්න…"
"පොඩී මම ඊයෙ අම්මට කතා කලා… අර ගැන…"
"අම්මා මොකද කියන්නෙ…?"
"හප්පේ… මුලින් බැනලා බැනලා පස්සෙ යන්තම් හරි"
"බැන්නද……??"
"හ්ම්ම්… ඔව් ටිකක්… දැන් ඒවා හරි… අර ළමයගෙ ගෙදර මොකද…?"
"ඒ ගෙදර ශේප්… පුළුවන්නම් අම්මව ටිකක් එක්ක එන්න කිවුවලු. කතා කරන්න.…"
"ඇයි එයාලා ඉක්මන් කරනවද…?"
"නෑ…නෑ… එහෙම ඒකට නෙමේ… කතා කරලා තියන්න…"
"…… හරි මේ සෙනසුරාදා මාත් නිවාඩු දාන්නම්… දෙන්නම ගමේ යමු. ඉරිදට අම්මත් එක්කන් එහෙ යමු…"
"හා ලොකූ එහෙනම් එහෙම කරමු…"
මාගේ අරමුණු එකිනෙක ඉටු වෙමින් පවතී. අප වෙනුවෙන් මෑතක් වන තුරුම රැකියාවන් කරමින් වෙහෙසුන මවට හොඳ ලේලියක් මාගෙ අධ්‍යාපනය කැප කර ඉගැන්නූ සොයුරන් දෙදෙනාට යහපත් හෙට දිනකුත් මුණ ගැසෙමින් පවතී.
අප කුරුණෑගලින් පිටත්වී කිරිබත්ගොඩට පැම්ණ කරාඹුගස් හංදිය බලා පිටත් උනේ පොඩි මල්ලිගේ අනු දැනුමෙනි.
"තව දුරද පොඩි පුතේ……?"
"නෑ අම්මෙ තව ටිකයි… මේ ටික පයින් යන දුර…"
"මම කිවුවා මතකනෙ ලොකු පුතේ… මම උඹේ බල කිරීමටයි මේකට කැමති උනේ…"
"හරි අම්මෙ මේවා දැන්ම කතා කරලා තියන එක ලේසීනෙ.…" කවදත් ගමන් කිරීමේදි බිම බලා සෙමින් ගමන් කිරීම පුරුද්දක් කර ගත් මා මවට පිළිතුරු දුන්නේද බිමට බර කරගත් දෙනතින් යුතුවය.
"මේ වංගුවෙන් හතරවෙනි ගේ…"
"ඈ පොඩි පුතේ උඹට මෙච්චර මේවා මතක උඹ මෙහෙ නිතරම යනවා එනවද…?"
"මම ගේ දන්නවා උනාට අද තමා මුලින්ම යන්නෙම… මම හංදියෙන් බහිත්දි කෝල් එකක් දුන්නා…… ආ අර ඉන්නෙ ගේ දොරකඩ… අර එයයි අම්මයි තාත්තයි.…"
බිමට නැඹුරුවූ දෙනත ඉහලට එසවී ගමන් ඇරඹූයේ මාගෙ අනාගත නෑණන්ඩිය සොයාය.……… ඇගේ දෑසත් මගේ දෑසත් එකට පැටළුනේ එකම මොහොතකටය.… මාගේ දෑසින් ශරීර ගතවූ විදුලියක් මාගෙ රෝම කූප පවා දවාලනු දැනී මා සිටි තැනම සිට ගත්තේ ඇය කඳුළු පුරෝගත් දෙනත දරාගෙන නිවස තුලට දිව යත්දිමය.
"සචිත්‍රා………" යැයි කෑ ගසමින් ඇගේ මවද ඈ පිටුපස දිවයත්දී ඇගේ පියාත් මගේ මවත් පොඩි මල්ලිත් පුදුමයෙන් බලා සිටිනු සිහිනයෙන් මෙන් පෙනුනි……………………………
© ප්‍රියා.
පසු සටහන ~~ මතකනෙ දවස… ලබන ඉරිදා, ඒ කියන්නෙ හරියටම 2014 අප්‍රේල් 20 වෙනිදා උදේම හම්බවෙමු. හා හා මතක නැති කෙනෙක් ඉන්නවානම් මෙන්න මෙතනින් විස්තරේ බලා ගන්න………………
එතෙක් සිතුවිල්ල කියවන/නොකියවන සැමටම සුබ නව වසරක් වේවා…………!!!!!
(පින්තූරයට ස්තූතිය……
http://www.theatlantic.com)
Labels
කෙටි කතා (Keti kathaa)
06 April, 2014
අහිමි රැකියාව………
කර්‍යබහුල නගරයේ තවත් වෙහෙසකර දිනක නිමාව සනිටුහන් කරමින් නිවෙස් කරා ඇදෙන දෙනොදහක් අතර අතරමං වෙමින් මා ඉදිරියටම ඇදෙන්නෙ නිවසට නම් නොව. සියළු දෙනා රාජකාරි අවසන් කරන මොහොතේ මා ගමන් කරන්නෙ සුපුරුදු ලෙස රාජකාරි ඇරඹීමටය.
"හප්පට සිරි…අදත් උඹද බං නයිට…? මොකෝ සංඛ… මේ දවස් වල උඹටද දැඩි දඬුවම්?"
"අනේ මන්දා බං මඟුල… දවල්ට වැඩ කරලා නිදහසේ ගෙදර ගිය කාලයක් මතක නෑ…"
"ඇයි උඹත් ලොක්කත් එක්ක කොක්කක් දාගත්තද…?"
"අපෝ නෑ බං… එහෙම මුකුත් උනෙත් නෑ…"
"ඒකත් එහෙමද? මේ මම උඹෙන් අහන්නමයි හිටියෙ. මොකක්ද බං අර සීනි සීන් එක? මට එහෙන් මෙහෙන් ආරංචි උනා විතරයි."
ආනයනික සහ අපනයනික භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක පරීක්ෂකවරයෙකු ලෙස රාජකාරියට එක්වී වසර දෙකක කාලයක් තුල සෑම අවස්ථාවකම රටවල් දෙකක සමාගම් දෙකකට වගකිව යුතු රැකියාව කිසිමාකාරයක පැමිණිල්ලකින් තොරව කල නිසාම බොහෝ ප්‍රධානින්ගෙ පැසසුමත් තම සම තත්වයෙ මිතුරන්ගෙ නොමද ඉරිසියාවටත් සමසේ භාජනය වෙමින් දිවි ගෙවූ මා අවසන් මාස කිහිපය ගෙවා දැමුවෙ කවදාකවත් නොමැති තරම් වෙහෙසකරවය.
එය කිසිසේත්ම ස්වාභාවිකවූ කාර්‍යබහුලත්වයක් නොවීය. කොටින්ම අවසන් මස මා නිවසේ රාත්‍රිය ගත කොට ඇත්තේ දින 3ක් පමණි. ඉතිරි දින 27ම රාත්‍රී සේවය එක් එක් තැන්වලය. මා කිසියම් අදූෂමාණ හස්තයක සියුම් පලිගැනීමකට ලක් වෙන බව මා හට රහසක් නොවීය.
සේවා ස්ථානයේ එකාකාරීව ක්‍රියාත්මක වන යන්ත්‍රයක් දිගේ මගේ මතකය ආපස්සට ගමන් ඇරඹූයේ කොතෙක් සැඟවුවද මා සිතට වද දෙන සිදුවීම යලිදු මතක් කිරීමටය.
සීනි ආනයනය කරන සමාගමක කලක සිට ආනයනයේදී බහලුම තුලම සිදුවූ සීනි තොග අතුරුදන් වීමක් නිසා එය පරික්ෂා කිරීමට අප ආයතනයට භාරවූ අතර නොසිතූ ලෙස එය භාර වූයේ මෙවැනි පරීක්ෂණ වලට නම් දරා සිටි පතාක යෝධයින් අතර ලිලිපුට්ටෙකු බදු වූ මා හටය.
"සංඛ… පොඩි අප්සට් එකක්…"
"ඒ මොකක්ද…"
"ඊයෙ ආපු ටැංකි 5න් දෙකක් ඔයා එන්න කලින් අපේ උන් දන්නැතිව අන්ලෝඩ් කරලා…"
"මොකක්…!! දැන් අනිත් ටැංකි තුන කෝ…?"
"ඒවානම් තියෙනවා… අර ටැංකි දෙකේ කේස් එක…… ඒවයෙ දෙකේම බෑග් 30කට වැඩිය අඩුයි."
"විනාසයි…!! ඒ කියන්නෙ කිලෝ 1500කට වැඩී.… දැන් මොකද කරන්නෙ…?"
"හ්ම්ම් කරන්න පුළුවන් දේ නම් තියෙන්නෙ සංඛගෙ අතේ තමා…"
"ඒ මොකක්ද…?"
"මෙහෙමයි…ඔයාට… ටැංකි පහටම රිපෝට් දෙන්න පුළුවන්නම්……"
"එහෙම කොහොමද…? ටැංකි තුනනෙ. අනික මට පහම බලන්න ඕන. ඒවයෙ ෆොටෝස් ඕන."
"ඒක අවුලක් නෑ. ඔයාට රිපෝට් දෙන්න පුළුවන්නම් මම යාඩ් එකෙන් ටැංකිය පැය දෙකකට අරන් දෙන්නම්.… මගෙ රස්සාව බේර ගන්න වියදම් නොකරන සල්ලිද…? ප්ලීස් සංඛ… මට මේ උදවුව කරන්න… මම… ඔයාටත්… සළකනවා.…"
"බැහැ බැහැ… ඒක නම් කරන්න විදියක් නෑ. ටැංකි 3ක් චෙක් කරලා මම කොහොමද 5කට රිපෝට් දෙන්නෙ…?"
"ප්ලීස් සංඛ… මගෙ රස්සාව උනත් මේකෙන් ගහලා යන්න පුළුවන්…!!"
අවසානයේ වූයේ මා පරික්ෂා කල බහලුම් 3ට පමණක් වාර්ථා ලබා දීමෙනි. ඔහු වංචා කරුවෙකුද නැත්ද යන්න කෙසේ වෙතත් ඔහුගෙ රැකියාමය වගකීම නිසියාකාරව ඉටු නොකිරීමේ වරදට ඔහුට තම රැකියාවෙන් වන්දිය ගෙවා දැමීමට සිදු විය.
යන්ත්‍රයක් සමඟ තරඟ වදිමින් සිතුවිලි රැහැනේ වෙලී සිටි මා ඉන් මිදුනේ ජංගම දුරකථනයෙ කම්පනය ශරීරයට දැනීමෙනි.
"හෙලෝ…"
"සංඛ මල්ලියා… මම… මාර වැඩේ බං. NNS එකෙන් ඩැමේජ් වගයක් ගිහින්. අන්න කේස් එක ෆයිල් වෙලා… උඹෙන් තමා කේස් එක වෙලා තියෙන්නෙ…"
"මොකක්…!! කවද්ද…??"
"ගිය මාසෙ දාහත් වෙන්දා.…"
"පෝඩ්ඩක් ඉන්න………… නෑ නෑ. මම එදා NNS එක පැත්තෙ ගියෙ නෑ… මා ගාව ඩයිරියත් තියෙනවා…"
"අනේ මන්දා බං… කේස් එක තියෙන්නෙ නම් උඹේ නමට… හෙට උදේම ඔෆිස් එකට එන්න කියලා ලොක්කා කිවුවා…"
"හ්ම්ම්… හරි මම ගිහින් බලන්නම්. තෑන්ක්ස් අයියා…"
………………………………………
"ගුඩ් මෝනින් සර්…"
"ආ සංඛ… මොනවද මනුස්සයො මේ කරන වැඩ…??"
"සොරි සර්… ඔය කියන දවසෙ මම නෙමේ NNS එකේ ඩියුටි.…"
"නෑ කියන්නෙ කොහොමද…? මේ NNS එකේ Attendance බුක් එක තියෙන්නෙ… මේ බලනවා…"
"ඔහ්හෝ… !! සර් මේ මගෙ අකුරු නෙමේ. මේ සයින් එකත් මගෙ නෙමේ. බොරු නම් චෙක් කරවලා බලන්න."
"අයිසෙ සංඛ… තමුසෙ එතකොට දැන් කියන්නෙ එදා ඩියුටි හිටියෙ තමුසෙ නෙමේ කියලද…?"
"ඔව් සර්… මට ඒක ඔප්පු කරන්න පුළුවන්… NNS එකේ එදා මම නම් හිටියෙ එදා දවසට දාපු චෙක් ලිස්ට්, රිපෝට් දාලා තියෙන්නෙත් මම වෙන්න එපෑ. ඒවා කෝ……??"
"ඔහේ මගෙන් ප්‍රශ්ණ කරන්න හදනවද…?"
"එහෙම නෙමේ සර්… මේකේ සාධාරණේ…"
"කතා කරන්න එපා තමුසෙ… HR එකෙන් ලෙටර් එක අරන් යනවා. තමුසෙව මම සතියකට Interdict කරනවා. මාත් එක්ක කට ගැහුවට. සතියක පස්සෙ බලමු NNS එකේ කේස් එකට දෙන දඬුවම…"
"සොරි සර්… මම අදහස් කලේ එහෙම දෙයක් නෙමේ. ඒත් මම නොකල වරදකට මෙහෙම දඬුවමක් විදින්න ඕනද…??"
දිගින් දිගට ඇදී ගිය වාදය අවසන් වූයේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් වැඩ තහනමට ලක්වූ ලිපිය ලබාගෙන නොව මාගේ කැමත්තෙන්ම ඉල්ලා අස්වීමේ ලිපියක් එම අංශයට භාර දීමෙනි.
මා නොකල වරදකට දඬුවම් නියම වීම නිසා මා විසින්ම අහිමි කර ගත් රැකියාව වෙනුවෙන් මා නව රැකියාවක් සොයා ගත යුතුව ඇත. රැකියාව අහිමි වූවාට මාගෙ ආත්ම ශක්තිය අහිමිවී නැත.
නමුත් මගේ හිතට වද දෙන එකම ගැටළුව මා හට මෙසේ වූයේ මා කල කිනම් වරදක් නිසාද… අවංකකම උගසට තැබූ මිනිසුන් මැද උඩුගම් බලා පිහිනීමේ වරදද…??, මිනිසෙකුගේ රැකියාවක් අහිමි කිරීමේ පවද…??, රාජකාරිය දේවකාරිය ලෙස සිතා හැකි පමණ නිවැරදිව වැඩ කිරීමේ වරදද……?????
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
http://www.livingonadime.com)
Labels
කෙටි කතා (Keti kathaa)
Subscribe to:
Posts (Atom)