23 March, 2014
ස්ත්‍රී දූෂකයා………
දෙනෙතින් ගිලිහී මගේම දෑතට කඩා වැටුන කඳුළු බිඳ මා තවමත් මියගොස් නැතයි කියා මා හටම මතක් කර දේ. අළුයම දෙක පසු වුවත් නින්ද අසලටවත් නොආ දෙනතට කඳුළු උනන්නේ සවස උන සිදුවීම මටත් හොරෙන් මාගේ සිත මෙනෙහි කරන නිසාවෙන් විය යුතුය. සිතත් නෙතත් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි.
අළුයමද ගෙවමින් සිටියත් තවමත් වෙනසක් නොමැතිව වාහන ගමන් කරන ගුවන් පාලම යට අඳුරු කොනකට වී මා රාත්‍රිය ගෙවමින් සිටිමි. මා මෙතනින් නැඟිටිය යුත්තේ අලුත් මිනිසකු ලෙස නමුත් එම සිදුවීම කෙලස අමතක කරන්නද…?
මා දන්නා පරිදි මෙයට වසර 25කට පෙර මා උපත ලබා ඇත්තේ මේ ගෙන්දගම් පොළවේමය. දරුවන් බිහි කිරීමට මිස ඔහුන් රැකීමට නොදත්තාවූ මගේ පියාට දාව උපන් දරුවන් හය දෙනෙකුගෙන් අංක හය හිමි වූයේ මටය. මට පෙර සහෝදරයින් දෙදෙනකු සිටින මුත් ඔහුන් මා දෑහටවත් දැක නැත්තේ ඒ පියාගෙන් වෙන්වූ ඔහුගේ පෙර බිරියගේ දරුවන් බැවිනි. මගේ මවගේ පළමු දරුවා වූ මට පසුව සොහොයුරෙකුත් ඔහුටත් පසු සොයුරියන් දෙදෙනෙකුත් උපන් මුත් වැඩි වන සාමාජික ප්‍රමාණයට සරිලන ලෙස ඉහල නොගිය අප පැල්පත් නිවසේ අඩි ප්‍රමාණයත්, පහල නොගිය අප පියාගේ බීමත්ත නිසා සැපවත් දිවියක් යන්න අපට සිහිනයක් පමණක්ම විය.
යන්තම් වසර තුනක් පමණ පාසල් භූමියක පහස ලැබූ මා අවුරුදු 11 වන විටම විවිධ රැකියාවන් සොයමින් යන්නට වූයේ තදින්ම බීමට ඇබ්බැහි වී සිටි පියා දිවි ගමනට නවතා දැමූ බැවිනි. එදින පටන් අද දිනයේ සවස වනතුරු මා දිවිගෙවූයේ මාගේ පවුල වෙනුවෙන්ම පමණි.
මට මගේ ජීවිතය අහිමි වූවාට මට අවැසි වූයේ මාගේ සොයුරියන්ට හිමි ලොව ඔහුන්ට සොයා දීමටය. මගේ පණ වූයේ මගේ නැගණියන් දෙදෙනාය. නමුත් මගේ ආශාව සුන් වූයේ ලොකු නැගණියගේ පෙම්වතා යැයි කියමින් තරුණයෙක් පැමිණි දිනය.
"ඔයා කොහෙද මල්ලි පදිංචි…?"
"මම දහඅටේ වත්තෙ…"
"ලොකූ තාම ඉගෙන ගන්නවනෙ… අනික මේ වගේ දේවල් අපි කතා කරන්න ඕන වැඩිහිටියො එක්කනෙ…"
"අපේ අම්මලා නම් මේකට කැමති වෙන්නෑ. ඒත් මම කල්පනාව බඳිනවා…"
"ඒක හරිනෑනෙ මල්ලි. මේවා පිළිවෙලකට කෙරෙන්න ඕන. එක්කො ඔයා දෙමාපියො එක්ක එන්න නැත්නම් නංඟිගෙ ඉගෙනීමෙන් පස්සෙ බලමු…" මාගේ දැඩි බව හමුවේ සිත් අමනාපයට පත් වූයේ කේන්තියෙන් පිටව ගිය ඔහුත් ලොකු නංගිත් පමණක් නොව අම්මා පවා මා සමඟ අමනාප වී ඇති බවක් දැනුනි.
ඒ අදට දින පහකට පෙරය. අද දින හවස මා වැඩ ඇරී නිවසට පැමිණෙන මොහොතේ කුඩා පැල්පත් නිවසේ කුඩා කල සිට හුරතලේට හැදුන ලොකු නැගණිය පෙම්වතා තුරුලේ හුරතල් වනු දැකීමට තරම් මා සොයුරෙකු ලෙස අවාසනාවන්ත විය.
"ලොකූ… මම උඹලට කිවුවා නේද බඳිනකම් ඉන්න කියලා…… කො… කෝ… අම්මා…"
"ඇයි… ඇයි මේ කෙල්ලව කන්න හදන්නෙ…?" එවිටම කොහේදෝ සිට නිවසට කඩා වැදුන මවගේ කෝපය නොසිතූ ලෙස මා දෙසට යොමු වෙත්දී නැගණියගේ පෙම්වතාද හොර රහසේම පලා ගොස් අවසන්ය.
"ඔයා මුන් හිටපු විදිය දැක්කෙ නෑනෙ. තාම මුන් බැඳලත් නෑ… මේවා හරිද…?"
"අම්මා වෙච්චි මට නැති අමාරුවක් උඹට කොහෙන්ද…?"
"මොකක්ද ඒකෙ තේරුම…?"
"මගේ මඟුල් තමුසෙට වැඩක් නෑ. තමුසෙට ලවු ගැන තේරෙන්න තමුසෙ ජීවිතේට කාටවත් ලවු කරලා තියෙන එකක්‍යෑ…"
"ඔව් මම උඹලා ගැන බැලුවා මිසක් මම ගැන බැලුවෙ නෑ තමා…"
"තෝ කාළකණ්නියා කන්න දීපුවා කියලා පෙන්නනවද යකෝ…" එතනින් එහාට මට හිමි වූයේ මවගේ ගුටි බැට පූජාවක්ය. එය මාහට අමතක කර දැමිය හැක. ඒ මාගේ මවය. නමුත් මා ඉගැන්නූ මා ආදරයෙන් හදාගත් මගේම නැඟණිය මා හට අත එසවීම මා කෙසේ ඉවසන්නද? මා ඇය හට අත් එසවූයේ ඇයට ගැසීමට නොව ඇය ගැසූ පහරක් වැළක්වීමටය.
"මෙන්න මූ මගේ කෙල්ලව මරන්න හදනවා. බේරගනියෝ……" එතනින් එහාට සිදුවූ සියල්ල සිහිනයක්ම පමණි. නිවසෙන් එලියට බට මා දුටුවේ නිවාස පේළියේ කට හැකර ගැහැණුන්, අබිලිං වැනි පිරිමින් එලියට බැස බලා සිටිනාකාරයය. මා පිස්සෙකු මෙන් ඇවිද ගොස් නැවතුනේ වත්ත කෙළවර පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසේය.
"මම ගිහින් ඒ පැත්ත බැලුවා… දැන්නම් ෂේප්. ඒ…ත්…… උඹලගෙ අම්මා පොලිසියෙ ඇන්ට්‍රියක් දාලා…"
"මම ගිහින් බාර වෙනවා බං…"
"උඹ දන්නවනෙ අලුත් OIC කාරයගෙ හැටි… අනික…… අනික උඹලෑ අම්මා ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උඹ නංඟිව දූෂණය කරන්න ආවා කියලා……… ඔය දැන් උඹ කොහෙද යන්න හදන්නෙ…"
"……බලමුකො මොකද වෙන්නෙ කියලා… මම වැරදී නෑ කියලා මගෙ පපුව දන්නවනෙ…"
"පිස්සු නොකෙළ මෙහෙන් හිටපං… උඹට ස්ත්‍රී දූෂණ කේස් එකක් තියෙන්නෙ… තොගෙ අඬු කඩයි යකෝ…"
"ඒ රෑට බාර උනොත්නෙ… උඹ බය වෙන්න එපා……" ඔහුගේ නිවසෙන් එළියට බට මා අවසානයේ නතර උනේ ගුවන් පාළම යටය. හෙට උදෑසනම මා පොලිසියට බාර විය යුතුය. පැල්පත් පේළි නිවාසයක මුඩුක්කු ජීවිතයක් ගත කල අප පවුලට යහපත් හෙට දිනක් උදා කරලීමට උඩුගම් බලා පිහිනූ මට ඒ ගත් වෙහෙස වෙනුවෙන් ස්ත්‍රී දූෂකයා නම් ගෞරව නාමය ලැබී ඇත. දුක මා මෙලොවට බිහිකල අම්මාම මට එම නාමය ලබා දීමය.
"මට ඔයාගෙ ලේ කිරි කරලා පොවන්නැතිව ඔය ලේම වහ කරලා පොවලා පොඩි කාලෙම මරලා නොදැම්මෙ ඇයි අම්මෙ……………………………"
පසු සටහන ~~ ඇහුන්කන් දෙන්න ඔබ අවට සිටින රජතුමාගේ සිට යාචකයා දක්වා ඕනෑම තරාතිරමක අයෙකුට වෙනසක් නැතිවම… බලන්න නිරික්ෂණාත්මක දෑසින් ලෝකය දෙස…… දකීවී… ඇසේවි… මෙවන් දේ අනන්තවත්………
මෙයත් එවැනිම මේ පුණ්‍යවන්ත මිහිතලය මතම සිදුවූ තවත් එක් අවාසනාවන්ත සත්‍ය කතාවකි.
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
http://postgradproblems.com)
Labels
කෙටි කතා (Keti kathaa)
10 March, 2014
වඳ ගෑණී……….....
"ඇයි අනේ ඔයා තාමත් කතා නැත්තෙ…?"
"හ්ම් කතා කරන්නයි වාහන පදින්නයි දෙකක් බෑනෙ."
"ඔයා අකමැත්තෙන්ද මේ ගමන එන්නෙ…? ඔයාට දරුවෙක් එපාද?"
"මට දරුවෙක් ඕන. ඒත් ඒ දේ ඔහේගෙන් නොලැබෙන එක තමා ප්‍රශ්ණෙ…"
කේන්තියටම මාගේ දෑතට හිරවූ සුක්කානම තවත් තදට හසු වත්දී මාගේ දෑසම කුඩා විය.
"මොකක්ද සුමේධ… මට විශ්වාසයි අපි දෙන්නා ඒ තරම් අවාසනාවන්ත නෑ…"
"ඔව් ඔව් අපි අවාසනාවන්ත නෑ. තමුසෙ විතරයි අවාසනාවන්ත… මට දැනටත්……" මාගේ මුවින්ම පිට වීමට ගිය රහස ගිලගත්තේ ඉතාම අපහසුවෙනි.
………………………………………
"O.K. Mr. සුමේධ… දවස් තුනකින් රිපෝට් එයි. ඔයාලා Next Week එන්න."
"සොරි ඩොක්ටර්… සතියක් ඉන්නැතුව මට කලින් රිපෝට් ගන්න බැරිද…?"
"හ්ම්ම්ම් හරි… සාමාන්‍යයෙන් අපි එහෙම කරන්නෑ. ඒත් Mr. සුමේධට උදවු කරන්නත් එපෑ… මම ඔයාට කෝල් කරන්නම්."
"තැන්ක් යූ ඩොක්ටර්…"
නවලෝක රෝහලෙන් පිටතට පැමිණි මා ගයනිව බස්නැවතුම් පලෙන් දමා මෝටර් රියට නැගී කාර්‍යාලය බලා ඉගිලුනේ හිතේ ආවේගය නිසාමය.
"ගුඩ් මෝර්නින් මචං"
"මොර්නින් බං… මෝර්නින්…"
"හි… ඇයි උඹට ගුඩ් නැත්ද?"
"මොන ගුඩ්ද බං? අර මළහෝන්තුවත් එක්ක උදේ පාන්දරම ටෙස්ට් එකකට ගියා"
"යකෝ… ගයනි කියන්නෙ තෝ ලවු කරලා බැඳපු කෙල්ල නේද? අනික් උඹලා දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් ටෙස්ට් එකකට යන එකේ වැරැද්ද මොකක්ද?"
"උඹත් හොදටම දන්නවනෙ මට එහෙම ආබාධයක් නැති බව. ශානිකාට පුලුවන් උනා මාව තාත්තා කෙනෙක් කරන්න. ගයනිට අවුරුදි 4ක් වෙලත් තාමත් බෑ…"
"මචං, ශානිකා ගැන නම් කතා කරන්න එපා. අනික උඹ කොහොමද හරියටම කියන්නෙ ඒ ළමයා උඹෙයි කියලා…"
"කැත කතා කියන්න එපා බං. ඒ දරුවා මගෙයි… මගේ කරුමෙට ශානිකාව හම්බවෙන්න කලින් ගයනිව කරගහා ගත්තෙ…"
"බැඳපු ගෑණි ඉත්දි තව ගෑණු එක්ක නිදියන එක හරි ලස්සන වැඩක්නෙ… හික්… උඹ ශානිකා පත්තිනි අම්මා කෙනෙක් කියලද හිතන්නෙ? බොල බූරුවො… මම පෙරේදත් දැක්කා ඒකිව ෆුඩ් සිටියෙ. නිකන් නෙමේ අර කොට තඩියගෙ අතේ එල්ලිලා…"
"ඒ ශානිකාගෙ මල්ලි කෙනෙක් යකෝ… ගෙදර කවුරුත් නැති නිසා මමයි ආරක්ෂාවට ඌව එහෙ නතර කලේ…"
"පුහ්හු… බලමුකො… ඒකි උඹේ කරේ එල්ලිලා ඉන්නෙ උඹෙ සල්ලි කඩා ගන්න කියන එක උඹට තේරෙන්නැ…?"
"උඹට විකාර බං…"
"ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං. මට බය එදාට උඹ ලග අර අහිංසකිත් නැති වෙයි කියලයි…"
………………………………………
"ඔයාට නාන්න උණු වතුර එකක් රත් කරන්නද?" මා කෙතරම් වෙනස්කම් කර මැයව හැර දමා ශානිකාවත් මගේ දරුවා වත් මාලගට ගැනීමට තැත් කලද ගයනිගෙ ගතිගුණ වෙනස් නොවීම මා හට හිසරදයකි.
"නාන්න ගෙනෙන් මට ගිනි වතුර එකක්."
"ඔයා තාමත් තරහින්ද අනේ…"
"නැතුව… තමුසෙට තියෙන අසනීප වලට මාව ටෙස්ට් වලට ඇඳගෙන යත්දි කේන්ති යන්නැත්ද ඕයි…"
"මොකක්ද අනේ ඔය කතා කරන කැත… අනික කාට අඩුපාඩුවක් තිබුනත් දැන් බෙහෙත් තියෙනවා…"
"තමුසෙම ඔය බෙහෙත් බී ගන්නවා."
"කාට උනත් බෙහෙත් තියෙනවා…"
"වහගනින් කට… මට බෙහෙත් බීලා ළමයි හදන්න දෙයක් නෑ ඕයි. මට දැනටත් ළමයෙක් ඉන්නවා." එතැන් පටන් මාගෙ මුවින් පිටවූ හැම වදනක්ම අසමින් ඇය මා දෙස බලා සිටියෙ කඳුලකින් තෙත්වූ දෙනෙතනි.
පසුදා උදෑසන දෙනෙත හැර බලනවිට සුපුරුදු තේ කෝප්පය ඇති මුත් ඒ තේ කෝප්පය හැදූ තැනැත්තිය පේන්නට නැත.… ඇය ඇගේ මහ ගෙදර යන්නට ඇත. හ්ම්ම් කමක් නැත මා ඇගේ බන්ධනයෙන් නිදහස්වීමම ලොකු දෙයකි.
………………………………………
ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙලෝ…"
"සුමේධ පුතා…"
"ආ… ඔව්… ඔව් අංකල් කියන්න…"
"පුතා පොඩි කරදරයක්… ගයනිව ජෙනරල් එකේ ඇඩ්මිට් කලා…"
"ගයනි එහෙද හිටියෙ…?"
"ඇයි පුතා, දුව කිවුවෙ පුතා ඔෆිස් වැඩකට පිට යන නිසා පුතාම එයාව එවුවා කියලනෙ…"
"ආ… ආ… ඕ… ඔව්… ගයනිට මොකද අංකල්…?"
"මේ පිස්සි කෙල්ලෙ නිදි පෙති වගයක් බීලා පුතා… හේතුවක් දන්නෑ…ඔයා ටිකක් එනවද පුතා…"
"හ හරි… හරි අංකල් මම් දැන් එන්නම්…"
………………………………………
"කෝ අංකල්… ගයනි"
"එන්න එන්න අමාරු වෙනවා පුතා… දැන් ICU දැම්මා… මේ ලිවුම ඔයාගෙ නම ලියලා කවරෙ අලවලා තිබුනෙ…"
ඇලවූ ලිවුමද අතින් ගෙන මා පසෙකට වූයේ ගැහෙන හදිනි.
'මගෙ සුමේධ,,,,,,,,
මම ජාති ජාතිත් ඔයා එක්ක තරහක් නෑ රත්තරන්. මම දන්නවා ඔයා ඔයාගෙම දරුවෙක්ට කොයි තරම් ආසද කියලා. ඔයාට ඒ සතුට දෙන්න මට බැරි උනා. මම මහ කාළකණ්නි ගෑණියෙක්. ඔයා ඔයාගෙ දරුවයි එයාගෙ අම්මයි එක්ක සතුටින් ඉන්න. මේ කාළකණ්න් වඳ ගෑණි ඔයාගෙන් සදහටම ඈතට යනවා………
ඔයාට තෙරුවණ් සරණයි රත්තරනේ……………………'
මට කිසිවක්ම සිතාගත නොහැක. පසුව කෙසේ වුවද මේ මා කලක් මගෙ පණ දෙවැනි කොට ආදරය කර බැඳගත් කෙල්ලය.
ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං… ට්‍රීං ට්‍රීං…
"හෙ..ලෝ…"
"හෙලෝ Mr. සුමේධ, මා ඩොක්ටර් ජයතිලක… ඔයාලගෙ රිපෝට් නම් ඇවිත්… හ්ම්ම්……"
"ප්‍රශ්ණයක් නෑ. කියන්න ඩොක්ටර්…"
"හ්ම්ම්… ඔයාගෙ වයිෆ්ගෙ රිපෝට් එකෙ හැටියට එයාට කිසිම ප්‍රශ්ණයක් නෑ… එයාට දරුවෙක් හදන්න පුලුවන්. ඒත්……"
"ඔව් ඩොක්ටර්……"
"ඔයාගෙ රිපෝට් එක ගොඩක් දුර්වලයි… මේකෙ හැටියට ඔයාට දරුවෙක් බලාපොරොත්තු වෙන්න අමරුයි. ඒත් දැම්ම ප්‍රතිකාර ගත්තොත්…………
මාගේ දෑතින් ගිලිහුන දුරකථනය තුලින් වෛද්‍යවරයාගෙ හඩ සිහින්ව ඇසේ. මා වියරුවෙන් මෙන් පිය නගා ඇත්තේ දැඩි සත්කාර ඒකකය දෙසටය.
"පුතේ… මගෙ දුව අපිව දාලා ගියා පුතේ… ඔයාගෙ ගයනි අපි ඔක්කොමව දාලා ගියා දරුවෝ………"
ගයනිගේ පියාගෙ විලාපය හමුවෙ මුළු රෝහලම මා වටා භ්‍රමණය වන්නක් සේ දැනෙන්නට විය. මීට දින තුනකට පෙර කපිල මා හමුවේ දෙඩූ වදන් නැවත මා දෙසවන රැවු පිළිරැවු දෙන්නට විය.
"""ඒවා තේරෙත්දි උඹ පරක්කු වැඩි වෙයි මචං… මට බය එදාට උඹේ ලඟ අර අහිංසකිත් නැති වෙයි කියලයි………"""
© ප්‍රියා.
(පින්තූරයට ස්තූතිය……
http://smoothfox-stock.deviantart.com)
Labels
කෙටි කතා (Keti kathaa)
Subscribe to:
Posts (Atom)