"නෑ බං මම නම් කියන්නෙම ඔහොම උන්ට කවදා හරි සහ ගහනවා. කාට උනත් ඒක පොදුයි. යකෝ තමන්ගෙ අම්මා තාත්තාට සලකගන්න බැරි දරුවො දරුවොද බං" රුවන්ගේ උද්වේගකාරී හඩින් ආපනශාලාවෙ අසල සිටි දෙතුන් දෙනකුම එදෙස බලා නැවතත් හැරුනෙ සිනා මුසු මුහුණෙනි
"ඒත් රුවා බලපන් තමන්ට බලාගන්න අමාරුයි නම් ඉතිං වැඩිහිටි නිවාසයකට හරි දාන්න වෙනවනෙ බං. මහපාරට දානවට වඩා ඒක හරි වටිනවනෙ. උඹට ඕවා තෙරෙන්නෑ උඹ බැඳලා ළමයි හම්බවෙන කාලෙදි උඹේ අම්මා තාත්තා දෙන්නම නැති වෙලා ඒ වගේද බං අපිට?" ශාන්ත පවසන්නෙ හඩ බාල කරමිනි.
කෑම පැයෙදී ඇතිවෙන මෙවන් කතා බහට ජගත්ද සක්‍රීයව දායක වන නමුත් අද දින ඔහුගේ නිහඩ බව මිතුරන්ට ගැටළුවක් නොවූයේ ඔහු දින දෙක තුනක පටන් වැඩි කතාවක් බහක් නොමැති නිසාවෙනි.
"මේ ඒක නෙමේ අපෙ ලොක්කන්ටත් පිස්සු මචං අර මග යන්න පණ නැති වයසක මනුස්සයෙක්ව ක්ලීනින් වලට අරන් තියෙන්නෙ."
"අන්න බලපං මන් කිවුවෙ බොරුද දැන් ඒ ගෑණු මනුස්සයාගෙ දරුවො ඒ මනුස්සයව පාරට දාපු නිසානෙ ඒ මනුස්සයට යන එන මන් නැති වෙලා තියෙන්නෙ. මඩමකටවත් දාලා තිබ්බා නම් ඔහොම වෙන්නෑනෙ" ශාන්ත තවමත් සිටින්නෙ තමා කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාව සාදාරණීකරනය කරමිනි.
'දඩාස්' හඩ නන්වමින් භාගයක් ඉතිරිව තිබූ කෑම එකත් ගෙන නැගී සිටි ජගත් ආපන ශාලාවෙන් පිටව ගියේ වේගයෙනි.
"මොකෙක්ද බං ඌට වැහුන යකා"
"අනේ මංදා රුවා ඕකා දවස් දෙක තුනක ඉදන් ඔහොම්මයි."
................................................
"මේ මගේ මේසේ යට පොඩ්ඩක් මොප් කරලා දෙන්න කුසුමා. මගෙ අතින් තේ ටිකක් හැලුනා. ඉන්න හම්බවෙන්නෑ දැන් ඇඹලයො වහයි." කාන්ති වයසක පිරිසිදු කිරීමේ සේවිකාවට පවසමින්ම නැගී සිටියහ.
"කුසුමාට ළමයි එහෙම නැත්ද?" එහා මේසයේ සිටින ශාන්තගෙන් පැනයකි. "අනේ මගෙන් ඒ ගැන අහන්න එපා රත්තරන් මහත්තයෝ."
"ඇයි ඒ දරුවෝ සලකන්නැත්ද?"
"අනේ එහෙම නෑ මහත්තයෝ ඒ දරුවන්ටත් ඒ දරුවන්ගෙ පවුල් තියෙනවා නොවැ."
"අනුන්ගෙ මගුල් හොයන්නැතුව වැඩක් කර ගනිල්ලා බං" හිදගෙන සිටි පුටුව පසෙකට ඇද දමමින් නැගී සිටි ජගත් කාර්‍යාලයෙන් පිටතට ගියේ කේන්තිය සිතේ දරා ගනිමිනි.
.............................................................
"කොහෙද සමන් මේ ගාල කඩා ගෙන වගේ දුවන්නෙ?"
"හරි වැඩේනෙ ශාන්ත මහත්තයා අර කුසුමා බාත්රූම් එක හෝදන්න ගිහින් ලෙස්සිලා වැටිලානෙ. GM මහත්තයාගෙ වාහනේට දාලා ඉස්පිරිතාලෙට යැවුවා රුවන් මහත්තයත් එක්ක."
"එහෙමද? අපේ ජගත්ව දැක්කෙ නැත්ද?"
"හ්ම්ම්.. කුසුමාව ගෙනිච්ච වෙලාවෙ ඔෆිස් එකේ දැක්කා.. ඊට පස්සෙ නම් නෑ"
............................................................
කාර්‍යාලය තුලට පිවිසෙන ශාන්තට දක්නට ලැබෙන්නෙ තම මේසයට වී ඔළුව තබාගෙන සිටින ජගත්‍ය.
"මොකෝ මචං අසනීපයක්ද?." "නෑ බං ඔළුව ටිකක් කකියනවා කැරකිල්ල වගේ."
"පැන්ඩෝල් දෙකක් ගහනවද? ගෙනත් දෙන්නද්ද?"
ට්‍රීං...ට්‍රීං... ට්‍රීං...ට්‍රීං...
නාද වෙන කාර්‍යාල දුරකථනයට පිළිතුරු ලැබෙන්නේද ශාන්තගෙනි.
"හෙලෝ....ආ...ඇත්තද මචන් හරි හරි මං කියන්නම්...... ඕකේ උඹ ඔය වැඩ ටික කරලා දාලම වරෙන්.....ඕකේ රුවා ඕකේ."
"හරි වැඩේනෙ ජගා.... අර කුසුමා වැටිලා රුවන් ඉස්පිරිතාලෙ ගෙනිහින්නෙ. ඒ මනුස්සයා දැන් නැති වෙලා. GM සර්ට කියන්නලු. උඹ ඔහොම්ම හිටපන් මම සර්ට පණිවිඩේ දීලා එන්නම්"
"මො...මො...මොකක්ද උඹ කිවුවෙ".
"අර කුසුමා නැති වෙලා බං.......ඒ උඹට මොන යකෙක් වැහුනද?....ජගත්....ජගත් නැගිටපන් බං...මොකද මේ.. ඇයි මේ නැගිටපන් මනුස්සයෝ.....අර කාන්තිලත් මේ පැත්තට එනවා........ඇයි බං මේ....??"
ජගත් කතා කිරීමට උත්සහා ගත්තද ඔහුගේ වදන් පිට වන්නේ කඩින් කඩය "ඒ....ඒ....කුසුමා...කුසුමා වෙන කවුරුත් නෙමේ.....වෙන කවුරුත් නෙමේ.... මගේ.... මගෙ.... අම්මා... මගෙ අම්මා."
"මොකක්!!"
ී
ඉගිල ගිය විනාඩි දෙක තුනකින් පසු ඔහුන් දෙදෙනාම යම් දුරකට සංසුන් වී සිටි අතර දෙදෙනාම එකවර මුහුණට මුහුණ බලා ගත්තේ මීට දින දෙක තුනකට පෙර තමන් දෙදෙනා ඇසූ යම් කතාවක් දෙදෙනාටම එක්වර මතක් වීමෙනි.
"මම නම් කියන්නෙම ඔහොම උන්ට සහ ගහනවා."
© ප්‍රියා *