ගිනියම් වූ දහවල අවසන් කරමින් සන්ධ්‍යාව එළෙඹිමෙන් තිබෙන්නේ සිහින් පොදකින් මහ පොළව තෙමා දමමිනි. තම සැඩපරුෂ රෂ්මි කදම්බයෙන් ලෝකයම ආක්‍රමණය කරගෙන සිටි හිරු එක වරම අතුරුදහන් වූයේ තමාගෙන් පසු අණසක පැතිර වීමට සූදානමෙන් සිටි අන්ධකාරයට නියමිත කාලයටත් පෙරම ලෝකයේ පාලනය භාර දෙමිනි.
දුමින්ද තම ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය සෙමින් සෙමින් ධාවනය කරන්නට වූයේ දෙගිඩියාවෙනි. පෞද්ගලික සමාගමක ප්‍රාදේශීය අළෙවි කළමණාකරුවෙකු වූ ඔහු තමා සැළසුම් කල සංචාරය අවසන් කල බැවින් රාත්‍රියේම නිවසට යම්දෝ නැත්නම් නවාතැන්පළක රාත්‍රිය ගත කර පසුදා උදෑසන නිවසට යම්දෝ කියා තීරණයක් ගැනීමට තැවෙමින් සිටියි.
හිඟුරක්ගොඩ ආසන්න ප්‍රදේශයක රාජකාරියේ යෙදී සිටි ඔහු ගම්පහ තම නිවසට යාමට නම්, දැනටත් හාත්පස වෙලාගෙන සිටින අඳුරත්, නිතර අලි ගැවසෙන පාරත්, බලාපොරොත්තු නොවූ වර්ශාවත් සමඟ අවධානම් ගමනක් යා යුතු බව මතක් වූ නිසා රාත්‍රිය නවාතැන්පළක ගත කර උදෑසනින්ම නිවසට යාමේ තීරණය ජය ගන්නා ලදි.
"ඒ.සී. රූම් තියෙනවද අයියෙ?"
"ඒ.සී. තියා නන් ඒ.සී. වත් නැහැ මහත්තයා. අද වැස්ස නිසා ඔක්කොම රෙප් මහත්වරු කලින්ම රූම් බුක් කරලා" සැකෙන් මෙන් කෝකටත් කියා ගොඩ වී බලපු සිවුවෙනි නවාතැන්පළෙන් ලැබුනේද එකම පිළිතුරමය. උදේ සිට කර්කෂ අවුවේ තෙහෙට්ටු වී සිටි දුමින්ද උසස් තත්වයේ කාමර සෙවීම පසෙක ලා තරමක් හුදකළා අඩු පහසුකම් සහිත කාමරයක් සොයා ගැනීමට හිත නවා ගත්තේ ඇඟේ පතේ අපහසුවටත් වඩා තවත් රෑ බෝ උවහොත් කෙසේ වත් කාමරයක් සොයා ගැනීමට නොහැකි වන බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි.
ආරක්ෂිතව නවාතැන් ගැනීමේ හද ගින්න පරදා බඩතුල පෙරළි කරන කුස ගින්න ජයගත් බැවින් පාර අයිනේ වැඩි සද්ධ බද්දයක් නොමැති හෝටලයක් ඉදිරිපිට වාහනය නවතා රාත්‍රී ආහාරය ගැනීමට ඔහු තීරණය කලහ.
"මේ හරියෙ අද රෑට නවතින්න තැනක් හොයා ගන්න බැරි වෙයිද අයියෙ?" කිහිප දෙනෙක් ආහාර ගනිමින් සිටි කුඩා හෝටලයේ අයිති කරුගෙන් දුමින්ද විමසා සිටියේ ඒ පැත්තෙන් වත් උදව්වක් ගත හැකි වේ දෝයි බලාපොරොත්තුවෙනි
"ඔහොම්ම ඉස්සරහට යත්දි පාර අයිනෙ තව තැන් දෙක තුනක්ම හම්බ වෙනවා, හැබැයි මේ වගේ වහින දවස් වලට නවතින්න තැන් හොයන එක තමා අමාරුම වැඩේ. අනෙක දැන් නමයටත් කිට්ටුනෙ" ඔහුගෙන්ද ධනාත්මක පිළිතුරක් නොළැබු දුමින්ද වේලාව බැලුවේ ක්ෂණිකවය. එහි වේලාව රාත්‍රී අටයි පනහා ලෙස සටහවී තිබෙනු දුටු දුමින්දගේ ධෛර්‍යයද තත්පර කට්ටේ වේගයෙන් පහත බහින්නට විය.
ආහාරය ගෙන අවසන් කල දුමින්ද හෝටලයෙන් පිටත්වෙත්දී රාත්‍රී නමයයි විස්ස විය. හෝටලය පසු කර මීටර් දෙසීයක් පමණ යන විට වාහනයට අත දැමූයේ කෙට්ටු හීන් දෑරී පිරිමියෙකි.
"කාමරයක් හොයනවා කියලා ඇහුනා හෝටලේදි" පහත් කරන ලද පැති වීදුරුව තුලින් මෝටර් රථය තුලට එබී බැලූ ඔහු පැවසීය.
"අනේ ඔව්. කාමරයක් හොයා ගන්න පුළුවන් නම් ලොකුම උදව්වක්"
"අද හවස ඉදන්ම වැස්ස නිසා කාමරයක් හොයා ගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. මමත් කාමරයක් හොයා ගත්තෙ මාර අමාරුවෙන්"
"එතන තව කාමරයක් නැති වෙයිද බ්‍රදර්"
"ඒක නම් ශුවර් නෑ බොස්. මුකුත් හිතන්නැත්නම් පොඩි යෝජනාවක් කරන්නද?"
"ඒ මොකක්ද?"
"මමත් සිංගල් රූම් එකක් හෙවුවට හම්බ උනේ නෑ. අන්තිම එකක් තිබ්බෙ ඒක ඇඳන් දෙකක් දාපු ඩබල් රූම් එකක්. ගාණ පන්දාහක්. ඔයා කැමතියි නම් දෙන්නා දෙදහස් පන්සීය ගානෙ දාලා ඒකෙම ඉමු. මගෙ බජට් එකේ හැටියට මට පන්දාහා ටිකක් අමාරුයි. ඒත් කරන්න දෙයක් නැති කමට ගත්තෙ."
"හ්ම්ම්ම්ම් අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම නඟින්නකො කාර් එකට. මෙතන තව තියෙන තැන් දෙකක් තුනක් බලලා ඒවයෙත් එකක් වත් සෙට් නූනොත් ඒ ඔප්ෂන් එකට යමු. අවුලක් නැහැ නේද?"
"මට අවුලක් නෑ බොස් එහෙම කරමු" ආගන්තුකයා වාහනයට ගොඩ වූයේ එසේ පවසමිනි.
...........................................................................
"ඒකෙත් නැහැලු බ්‍රදර්. හරි යන්නෑ, අපි ඔයාගෙ තැනට යමු. මම තවම ඔයාගෙ නම දන්නෙත් නැහැනෙ. මගෙ නම දුමින්ද. කල්දේරා ඇන්ඩ් සන්ස් එකේ ඒරියා සේල්ස් මැනේජර් කෙනෙක්."
ආගන්තුකයා වාහනයේම සිටියදී විමසා බැලීමට ගිය දෙවනි නවාතැන් පලෙන්ද සුපුරුදු උත්තරය ලද පසු දුමින්ද ආගන්තුකයාට පැවසීය.
"මම සංඛ. මිස්සක ට්‍රේඩිං එකේ සේල්ස් රෙප් කෙනෙක්. බයික් එක ගෙස්ට් හවුස් එකේම දාලා පයින්ම කන්න ආවෙ. මේ මම නිතර නතර වෙන ඒරියා එකක්. වැඩි දුරක් නෑ. ඔය එහා පැත්තෙ තියෙන්නෙ"
"අයිතිකාරයට කියන්න වෙයිද මමත් ඉන්නවා කියලා."
"ඕන නැහැ. මම දන්න හැටියට උන් නමයහාමාර වෙත්දි නිදියනවා, දැන් දහයටත් කිට්ටුයිනෙ. උන්ට කරදර කරන්න ඕන නෑ."
සංඛ පෙන්වූ මාර්ගයේ ගොස් නවාතැන් පලට ආසන්න වූ දුමින්ද සැනසුම් සුසුම් හෙළුවේ මෙසේ හෝ නැවතීමට තැනක් හම්බ උන එක පෙර පිනක් සේ සළකාය.
දහවලට අයාලේ යන්නනුත් රාත්‍රියට අළෙවි ක්ෂේත්‍රයේ නියෙලෙන්නනුත් ඉලක්කකර ඉදිවූ මෙවැනි නවාතැන්පළ වල ඇති සුපුරුදු මුස්පේන්තු පෙනුම එයින් කිසිම අඩු පාඩුවකින් තොරව දකින්නට දුමින්දට හැකිවිය. වාහනය මිදුලේ නවතා ලොක් කර කාමරයට එන තුරු කවුරුත් මුණ නොගැසීම සැබැවින්ම සහනයක් විය.
"බ්‍රදර් රිපෝර්ට් හදනවා වගේ" දුමින්ද කාමරයට පැමිණ ස්නානය කර සැහැල්ලු ඇඳුමක් හැඳ ඇඳට එන විට සංඛ සිටියේ ඔහුගේ ඇඳට වී යමක් ලියමිනි.
"අනේ ඔව් බොස්. නැත්නම් ගොඩ ගැහෙනවා."
"මේ පොට් එක මාරම සයිලන්ට් නේද බ්‍රදර්."
"මේක ඉස්සර නම් මෙච්චර සයිලන්ට් නෑ බොස්. එක පාරක් මේකෙ නැවතුන මනුස්සයෙක් හාට් ඇටැක් එකක් හැදිලා මළා. ඊට පස්සෙ තමා මේක මෙච්චර සයිලන්ට්. බොස්ට බයක් එහෙම නැහැනෙ."
"මොකට බය වෙන්නද බ්‍රදර්, මම ඔය මනස්ගාත විස්වාස කරන්නෙ නෑ."
"එහෙනම් එච්චරයි. මමත් නිදාගන්නවා බොස්, දැන් නම් නිදි මතයි. ගුඩ් නයිට් බොස්."
"ගුඩ් නයිට් බ්‍රදර්."
...........................................................................................
"මහත්තයා,,, මහත්තයා,,, නැඟිටින්න. ඔයා කොහොමද මේ පාළු බිල්ඩිම ඇතුලට ආවෙ?"
ආගන්තුකයෙකුගේ හඬින් අවදි වූ දුමින්ද වට පිට බලන්නට වූයේ තමා කොහේ සිටින්නේදැයි සැක හැර දැන ගැනීමට මෙනි. වටින් ගොඩින් වැටෙන හිරු එළියෙන් තමා සිටි තැන දුටු දුමින්දට තරු පෙනෙන්නට විය. අවම වසර කිහිපයකින් වත් මිනිස් ප්‍රයෝජනයකට නොඟත් කාමරයක බිම ඔහු වැතිර සිටී. සංඛ පෙනෙන්නට නැත.
"ම.. මම්ම්.. මම මේ කොහේද ඉන්නෙ? කෝ මාත් එක්ක හිටපු සංඛ?"
"තව කවුරුත් නම් පේන්න හිටියෙ නෑ මහත්තයා. මමත් මේ මෙතනින් යත්දි මිඳුලෙ කාර් එකක් දැකලයි ඇතුලට ඔළුව දාලා බැලුවෙ."
"ඒ,,, එ.. එතකොට මේ.. මේ තැන මොකක්ද?"
"මේක දැනට අවුරුදු පහකට විතර කලින් වහලා දාපු ගෙස්ට් එකක් මහත්තයා. එක පාරක් මේකෙ නැවතුන රෙප් කෙනෙක් හාට් ඇටෑක් එකකින් මළා. ඊට පස්සෙ මොක කරලා වත් මේක ගොඩ ගන්න බැරි උනා. අර මැරුන රෙප් හොල්මන් කරනවයි කියලනෙ කියන්නෙ."
"ඒ... ඒ... ඒ කියන්නෙ සංඛ........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"
හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙත්දී තම පපුව අල්ලන් නැවත බිම වැතිරුන දුමින්ද වා තලයට මුසු කලේ ඔහුගේ අවසන් සුසුම් පොඳය.................
© ✍️ ප්‍රියා. 11/07/2024
❤🔥 ලයික් එකකින් කමෙන්ට් එකකින් ඔයාලගෙ අදහස කියන්න කියලා ඉල්ලන ගමන්ම, පේජ් එක ෆලෝ කරලා මගේ කතා දිගටම කියවන්න එකතු වෙන්න කියලත් ගෞරවයෙන් ආරාධනා කරනවා
