27 October, 2013

සමාවෙන්න අම්මේ.....

"නෑ බං මම නම් කියන්නෙම ඔහොම උන්ට කවදා හරි සහ ගහනවා. කාට උනත් ඒක පොදුයි. යකෝ තමන්ගෙ අම්මා තාත්තාට සලකගන්න බැරි දරුවො දරුවොද බං" රුවන්ගේ උද්වේගකාරී හඩින් ආපනශාලාවෙ අසල සිටි දෙතුන් දෙනකුම එදෙස බලා නැවතත් හැරුනෙ සිනා මුසු මුහුණෙනි

"ඒත් රුවා බලපන් තමන්ට බලාගන්න අමාරුයි නම් ඉතිං වැඩිහිටි නිවාසයකට හරි දාන්න වෙනවනෙ බං. මහපාරට දානවට වඩා ඒක හරි වටිනවනෙ. උඹට ඕවා තෙරෙන්නෑ උඹ බැඳලා ළමයි හම්බවෙන කාලෙදි උඹේ අම්මා තාත්තා දෙන්නම නැති වෙලා ඒ වගේද බං අපිට?" ශාන්ත පවසන්නෙ හඩ බාල කරමිනි.

කෑම පැයෙදී ඇතිවෙන මෙවන් කතා බහට ජගත්ද සක්‍රීයව දායක වන නමු‍ත් අද දින ඔහුගේ නිහඩ බව මිතුරන්ට ගැටළුවක් නොවූයේ ඔහු දින දෙක තුනක පටන් වැඩි කතාවක් බහක් නොමැති නිසාවෙනි.


"මේ ඒක නෙමේ අපෙ ලොක්කන්ටත් පිස්සු මචං අර මග යන්න පණ නැති වයසක මනුස්සයෙක්ව ක්ලීනින් වලට අරන් තියෙන්නෙ."

"අන්න බලපං මන් කිවුවෙ බොරුද දැන් ඒ ගෑණු මනුස්සයාගෙ දරුවො ඒ මනුස්සයව පාරට දාපු නිසානෙ ඒ මනුස්සයට යන එන මන් නැති වෙලා තියෙන්නෙ. මඩමකටවත් දාලා තිබ්බා නම් ඔහොම වෙන්නෑනෙ" ශාන්ත තවමත් සිටින්නෙ තමා කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාව සාදාරණීකරනය කරමිනි.

'දඩාස්' හඩ නන්වමින් භාගයක් ඉතිරිව තිබූ කෑම එකත් ගෙන නැගී සිටි ජගත් ආපන ශාලාවෙන් පිටව ගියේ වේගයෙනි.

"මොකෙක්ද බං ඌට වැහුන යකා"

"අනේ මංදා රුවා ඕකා දවස් දෙක තුනක ඉදන් ඔහොම්මයි."

................................................

"මේ මගේ මේසේ යට පොඩ්ඩක් මොප් කරලා දෙන්න කුසුමා. මගෙ අතින් තේ ටිකක් හැලුනා. ඉන්න හම්බවෙන්නෑ දැන් ඇඹලයො වහයි." කාන්ති වයසක පිරිසිදු කිරීමේ සේවිකාවට පවසමින්ම නැගී සිටියහ.


"කුසුමාට ළමයි එහෙම නැත්ද?" එහා මේසයේ සිටින ශාන්තගෙන් පැනයකි. "අනේ මගෙන් ඒ ගැන අහන්න එපා රත්තරන් මහත්තයෝ."

"ඇයි ඒ දරුවෝ සලකන්නැත්ද?"

"අනේ එහෙම නෑ මහත්තයෝ ඒ දරුවන්ටත් ඒ දරුවන්ගෙ පවුල් තියෙනවා නොවැ."

"අනුන්ගෙ මගුල් හොයන්නැතුව වැඩක් කර ගනිල්ලා බං" හිදගෙන සිටි පුටුව පසෙකට ඇද දමමින් නැගී සිටි ජගත් කාර්‍යාලයෙන් පිටතට ගියේ කේන්තිය සිතේ දරා ගනිමිනි.

.............................................................

"කොහෙද සමන් මේ ගාල කඩා ගෙන වගේ දුවන්නෙ?"
"හරි වැඩේනෙ ශාන්ත මහත්තයා අර කුසුමා බාත්රූම් එක හෝදන්න ගිහින් ලෙස්සිලා වැටිලානෙ. GM මහත්තයාගෙ වාහනේට දාලා ඉස්පි‍රිතාලෙට යැවුවා රුවන් මහත්තයත් එක්ක."

"එහෙමද? අපේ ජගත්ව දැක්කෙ නැත්ද?"

"හ්ම්ම්.. කුසුමාව ගෙනිච්ච වෙලාවෙ ඔෆිස් එකේ දැක්කා.. ඊට පස්සෙ නම් නෑ"

............................................................

කාර්‍යාලය තුලට පිවිසෙන ශාන්තට දක්නට ලැබෙන්නෙ තම මේසයට වී ඔළුව තබාගෙන සිටින ජගත්‍‍ය.

"මොකෝ මචං අසනීපයක්ද?." "නෑ බං ඔළුව ටිකක් කකියනවා කැරකිල්ල වගේ."
"පැන්ඩෝල් දෙකක් ගහනවද? ගෙනත් දෙන්නද්ද?"

ට්‍රීං...ට්‍රීං... ට්‍රීං...ට්‍රීං...

නාද වෙන කාර්‍යාල දුරකථනයට පිළිතුරු ලැබෙන්නේද ශාන්තගෙනි.

"හෙලෝ....ආ...ඇත්තද මචන් හරි හරි මං කියන්නම්...... ඕකේ උඹ ඔය වැඩ ටික කරලා දාලම වරෙන්.....ඕකේ රුවා ඕකේ."

"හරි වැඩේනෙ ජගා.... අර කුසුමා වැටිලා රුවන් ඉස්පිරිතාලෙ ගෙනිහින්නෙ. ඒ මනුස්සයා දැන් නැති වෙලා. GM ස‍ර්ට කියන්නලු. උඹ ඔහොම්ම හිටපන් මම සර්ට පණිවිඩේ දීලා එන්නම්"

"මො...මො...මොකක්ද උඹ කිවුවෙ".
"අර කුසුමා නැති වෙලා බං.......ඒ උඹට මොන යකෙක් වැහුනද?....ජගත්....ජගත් නැගිටපන් බං...මොකද මේ.. ඇයි මේ නැගිටපන් මනුස්සයෝ.....අර කාන්තිලත් මේ පැත්තට එනවා........ඇයි බං මේ....??"

ජගත් කතා කි‍රීමට උත්සහා ගත්තද ඔහුගේ වදන් පිට වන්නේ කඩින් කඩය "ඒ....ඒ....කුසුමා...කුසුමා වෙන කවුරුත් නෙමේ.....වෙන කවුරුත් නෙමේ.... මගේ.... මගෙ.... අම්මා... මගෙ අම්මා."

"මොකක්!!"

ඉගිල ගිය විනාඩි දෙක තුනකින් පසු ඔහුන් දෙදෙනාම යම් දුරකට සංසුන් වී සිටි අතර දෙදෙනාම එකවර මුහුණට මුහුණ බලා ගත්තේ මීට දින දෙක තුනකට පෙර තමන් දෙදෙනා ඇසූ යම් කතාවක් දෙදෙනාටම එක්වර මතක් වීමෙනි.


"මම නම් කි‍යන්නෙම ඔහොම උන්ට සහ ගහනවා."



© ප්‍රියා *
ප්

21 comments:

  1. කෙටි වුණාට ලොකු කථාවක්,,,අපේ සමාජේ ඔය හිඩැස් කවද වැහෙයිද ,,, තනියම කිසිම දෙයක් කරගන්න බැරුව හෙළුවෙන් මේ ලෝකෙට ආපු අපිට පුංචි හීතලක් බදිගින්නක්,රිදුමක් නොදී බලාගත්ත අම්මා තාත්තා ,,,,,,,අපි කොහොම සලකන්න ඕනෙද එයාලට ,, අපේ පරම්පරාවේත් ඔය දේම වෙයි ප්‍රියා ,, ගොඩක් දුක හිතුණා ,,

    ඔබට ජය ,,දැන් බ්ලොග් එක හොදයි ,,

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔමා. ඔයාලගෙ උපදෙස්, සහයෝගෙ මාත් දිගටම බලාපොරොත්තු වෙනවා.
      අපේ පරම්පරාවටත් ඕක නොවෙයි කියලා අපට සහතික වෙන්න නම් බෑ. ඒත් මං හිතන විදියට අපි අපේ දෙමාපියන්ට සලකන විදිය අපේ ලමයි ආදර්ශෙට ගනී නේද?

      Delete
    2. අනිවා අපි කරන්න ඕනේ

      Delete
  2. ප්‍රියා, මෙහෙත් ඔය වගේ වයසක මිනිස්සු ‍රැකියාවල් වල යෙදෙනවා. සමහර වයසක මුර කාරයෝ දැක්කාම හිතෙනවා ඒ මිනිස්සුන්ට කාගෙවත් දේපලක් ‍රැකබලා ගන්නේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් Dude, මෙහෙත් තත්වෙ ඊට දෙවැනි නෑ. කොටින්ම මං වැඩ කරන තැන මීට මාස දෙකකට විතර කලින් සිකියුරටි සර්විස් එකෙන් දාලා හිටපු මනුස්සයාට අවුරුදු 74යි!!.
      බස් වෑන් තියෙන පුත්තු ඉන්නවා. සලකන් නෑ.
      අපේ ලොක්කොත් කොයි තරම් හොදද කියනවා නම් තුවාලයක් නිසා එක දවසක් සපත්තු නොදා හිටියා කියලා ඒ අහිංසකයව එලෙවුවා.

      Delete
  3. ප්‍රියා මෙහේ වයසක අයට ලැබෙන රැකවරනය ඉතා ඉහලයි. පහසුකම් අතින් බොහොම හොඳයි. බොහොමයක් අය ඉන්නේ සාත්තු නිවාසවල. අරකී වැඩ කරන්නේ එහෙම තැනක. අපි දෙන්නා ඔය ගැන හරියට කතා වෙනවා. මොනවා තිබුනත් වැඩක් තියෙනවාද ....දරුවෝ ලඟ නැතිඋනාම. ළමයි ඇවිත් බලලා යනවා...මේ සමාජය ඒකට හැඩ ගැහිලා තියෙන්නේ. දරු පවුල් වැඩට යනවා, හදිස්සියක් උනොත් එහා ගෙදර එකා දන්නේ නැහැ. ඊට වඩා හොඳයි මේ ක්‍රමය මේ රටට. අපේ රටත් ක්‍රම ක්‍රමයෙන් ඒ දෙසට යනවා. මිනිස්සු ජීවත් වෙන්න සටනේ.

    ReplyDelete
    Replies
    1. ''මිනිස්සු ජීවත් වෙන්න සටනේ'' ඒක ඇත්ත. එහෙම යි කියලා මේ වගේ දේවල් කරන්න පුළුවන් ද? මම හිතන්නේ වයසක අය බලාපොරොත්තු වෙන්නේ සැපසම්පත්වලට වඩා ආදරය, සෙනෙහස.

      Delete
    2. ඇත්ත අරූ, හැමෝම ජීවිත රේස් එකේ. ඒ රේස් එක දුවලා හති හරිත්දි හතිය පමණක් ඉතුරු වෙලා අපිට ගොඩක් දේවල් මග හැරිලා.
      ඔයාගෙ කතාවෙන් මට මතක් වුනේ අසංකගෙ අර සිංදුව
      "බඩගින්නට රස මසවුළු ලැබුනත් මොකටද?....
      නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කො මට......."

      Delete
    3. මං හැබැයි ඔය කතාවෙ මෙහෙම දේකුත් දකිනවා අරූ කියන විදියෙන් ගෙදර තනියම ඉන්න එක අනාරක්ශිථ නිසා නම් ඔහුන්ට ආරක්ශිත වැඩ පිලිවෙලක් හදන එක වටිනවා. ඒත් සමගම ඔහුන්ට තම දරුවන් සමග මුහු වීමේ වැඩ පිලිවෙලකුත් තියෙනවා නම් වටිනවා.

      Delete
  4. හ්ම්ම්............දැන් සමාජේ තියන ලොකු ගැටළුවක් ප්‍රියා ඕක.දරුවෝ ලොකු මහත් උනහම තමන්ව උස් මහත් කරන්න දෙමව්පියෝ දුක් වින්ඳ හැටි අමතක වෙනවා.

    පොඩි කතාවක් ඇතුළේ ලොකු පාඩමක්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රෙහානි,
      අපේ සමාජෙ ගොඩක් ප්‍රශ්ණ වලට මුල 'මුල අමතක කිරීමයි.' දෙමාපියො කරපුවා දරුවන්ට මතක නෑ.

      Delete
  5. කතාව පොඩි උනාට එකෙන් දෙන පාඩම නං පොඩි නෑ...
    මගේ නං පුද්ගලික අදහස තමා දෙමව්පියන්ට දුක් දෙන එවුන්ට කවදාවත් හරි යන්නේ නම් නෑ...

    ReplyDelete
    Replies
    1. ඔවු මධූ ඒක ඒ අයගෙ දරුවන්ගෙන් හරි කවදා හරි රිටන් එක හම්බ වෙනවා. ඒක අනිවාර්‍යයි.
      "ඔහොම උන්ට කවදා හරි සහා ගහනවා"

      Delete
  6. බොහොම හොද රේණුවක් අහුවෙලා තියේනේ කතාව ගොඩ නගන්න.. ඇත්තටම කෙටි උනත් ඒක හොදට ගොඩ නගල තියෙවා සරල විදියට. ජය වේවා.. ඉදිරිය සුභයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශකයෝ.
      තැන්කූ වෙරි මච්.
      :-)

      Delete
  7. ම්.... කුමක්ද මේ කතාව පිළිබඳව මා කියන්නේ. මේම කතා සිද්ධියට ඍජව ගැලපිය නොහැකි උනත්, වෙනත් කොණයකින් මෙහෙම දෙයකුත් කියන් පුළුවන්.
    “දෙමාපියන්ද දැන ගත යුතුයි සමාජයට වටිනා දරුවන් තැනීමට. සමාජයට වටිනා යන්නෙන් බොහෝ දෑ කියැවේ. එන් එක් පැතිකඩක් දේමාපියන් දෙස දරුවන් ආදරයෙන් බැලීම. දෙමවුපියන්ගෙන් පෙර ලැබෙන පූර්වාදර්ශ, දරුවන් සමාජයේ ආශ්‍රය කරන පුද්ගලයින්, .... වැනි සාධක මතු කලෝත් ඔබ විරුද්ධ නොවේ යැයි කියා සිතමි.“ නමුත්, මා දෙමාපියන්ට දෝෂාරෝපණය කළායැයි සිතන්න එපා. මා තවත් පැතිකඩක් ගැන පමණයි කියුවේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කයත් සමග 100%ක්ම නැත්තත් මාත් සෑහෙන දුරට එකගයි. අපි ගහක් හිටෙවුවත් ඒක පොහොර දාලා කප්පදු කරලා වතුර දාලා හරියට හැදුවොත් තමා ඒ ගහෙන් උනත් ප්‍රොයෝජනයක් ගන්න පුලුවන්.

      කොහොම උනත් ඔබව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා. ඒ වගේම දිගටම එන්න කියලත් ආරාධනා කරනවා.

      Delete
  8. තමන් තමන්ගේ දෙමව්පියන්ට ඒ වගේ දෙයක් කලොත් තමන්ටත් තමන්ගේ දරුවන්ගේ අතින් ඒ දේ නොවෙයි කියල හිතන්න බෑ.. වයසක කෙනෙක්ට කන්න අඳින්න දෙන්න මහා ලොකු ගානක් යනවද.. නෑනෙ... තියන හොද්දයි බතයි එක්ක කන්න දෙනවා මිසක්... මොකද වේලකට පොඩ්ඩක් කන්න මදි වුනා කියල ඒ මිනිස්සු දෙස් තියයි කියලාද...

    ReplyDelete
    Replies
    1. අනිවා රයිටර්, අපි අපෙ දෙමාපියන්ට සලකන විදිය තමා අපෙ දරුවින්ගෙන් අපි සැලකුම් ලබන විදිය තීරණය වෙන්නෙ. ඒකත් හරියට බූමරංගයක් වගේ

      Delete
  9. Replies
    1. සාදරයෙන් පිලිගන්නවා නෙරංජි සිතුවිල්ලට....

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................