08 July, 2014

ඩෙංගු සුව කරන හොදම බෙහෙත මුත්‍රාද?


ගිය මාසෙ අන්තිම හරියෙදි අපෙ මල්ලිට ඩෙංගු මදුරුවෙක් පොඩි පහේ තෑග්ගක් දීලා රෝහල් ගත වෙන්න උනා නොවැ. කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඩෙංගු ශ‍රීරගත වී ඇත‍යි හදුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලෙත් කිහිප දිනක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ අතර ඒ දින තුනක් එක දිගට ඔහු ලග ඉන්න උනෙත් මටයි.…

කොහෙද ඉතිං ආචාරියතුමා ගස් බැදීමේ සහා ගස් බැදගැනීමේ සංදර්ශණ දැක්වුවට ඕවැයෙ ඇත්ත ප්‍රථිපල විදින්නෙ අපි නොවැ…… ඒවා කතා කොරලා වැඩක් නැහැ. කොහොම උනත් ඒ රෝහලේ ඉන්න ටිකෙත් අපරාදෙ කියන හොද අත්දැකීම් ටිකක් නම් ලැබුනා…… ඒකම මදෑ…

පඳුරකට පයින් ගැහුවත් වැඩිහිටි නිවාස හත අටක් විසිවෙන කාලෙක අපි රෝහලට ගිය වෙලාවෙ පටන් පිටව යන තුරුම එක දිගට එක වයසක සීයා කෙනෙක් අසනීපෙ අමාරුව නිසාම ඉවක් බවක් නැතිව දොස්තරලට, හෙදියන්ට, තමුන්ට තමන්ලගෙ අම්මට, බිරියන්ට, දරුවන්ට පමණක් නොව දකින දකින සියල්ලන්ට සිංහල හොදම සභ්‍ය වචනයෙන් සංග්‍රහා කරමින් ඒ මදිවට ලෝකෙ නැති දස වධ දෙත්දිත් කිසිම වෙනසක් නොපෙන්වා ආදරෙන් බොහොම පරිස්සමට ඔහුගේ පුතුන් දෙදෙනා මාරුවෙන් මාරුවට පියාව බලා ගන්න හැටි දුටු වාරයක් වාරයක් පාසා මගෙ සිතට දැනුන හැඟීම කියා ගන්න බැරි තරම්……

එය එසේ වෙත්දී ඇතම් පිරිස් රෝගීන් අසල නතර කරවන පිස්සු චරිත පිස්සු වැඩ දැක්කම නම් කළකිරුණු අවස්ථා අනන්තයි. විශේෂෙන්ම මුදල් දී කුලියට අයකු තබන අවස්ථා පිළිබදව නම් කතා කර වැඩක්ම නැති තරමය.… එක් අයෙකු දෙදෙනකු හැර අන් සියල්ල වැඩ 'හොරු'ය.

තමන්ගේ කෙනෙකු අසනීප වූ විට ළග තැබීමට කෙනෙකු සොයා ගත නොහැකිම අවස්ථාවක් උදාවුව හොත් කුලියට අයකු තබයි නම් ඒ පවුලේ උදවියට වගකීමක් ඇත විශ්වාස වන්ත වගකීමක් ඇති තැනකින් සේවය ලබා ගැනීමට.

කුලියට රෝගීන් බලා ගන්නා බොහෝ අය කරන්නේ රාත්‍රී 7.30 වන විට නාගෙන 8.30 නමය වන විට කෑමට කියා ගොස් 10.30 / 11.00 වන විට පැමිණ වටේ රවුමක් දෙකක් කැරකී 12.00 / 12.30 වන විට නිදා ගැනීමය.… අවශ්‍ය සියල්ල රෝගීයා කෙසේ හෝ කරගත යුතුය…

තවත් පිරිසක් වාට්ටුවේ සියළු රෝගීන් අසලට ගොස් ඒ ඒ රෝගියාගෙ විස්තර සොයමින් ඇවිදියි. තවත් සම හ‍රක් පැය ගණනම රෝගියා අසලම සිටියත් ශත පහක වැඩක් ඇති පිරිසක් වත් අඩුම තරමෙ රෝගියා පිළිබඳව අනුකම්පාවක් වත් ඇති උන් නොවේ. එයට හොදම උදාහරණයද ඒ රෝහලෙන්ම ලැබුනි.

28 වන සෙනසුරාදා දින උදෑසන අවුරුදු දහතුනක දරුවෙකු ඩෙංගු වැළදී ඇති බවට හඳුනාගෙන රෝහල් ගත කල අතර ඔහු සිටියේ මගෙ බාල සොයුරාගෙ ඇඳට එහා ඇඳේය. වාට්ටුවට ඇතුලත් කරන සියළු ඩෙංගු රෝගීන්ට පැයකට වරක් බීමට නියම කරන ප්‍රමාණයක් ඇති අතර පොතක පැයකට වරක් බීමට ගත් ප්‍රමාණය, වේලාව සහ වර්ගය සටහන් කල යුතුය. එසේම පැය දෙකකට වරක් පිටවන මුත්‍රා ප්‍රමාණය සටහන් කල යුතුය. එ‍ය විටින් විට හෙදියන් පැමිණ ඇඳ ඉහ වාර්ථාවේ සටහන් ක‍ර තබයි.… මේ දෙක ඉතාම වැදගත් අතර අනිවාර්‍යෙයෙන්ම කල ‍යුතුය.

එම දරුවා රෝහලට ඇතුලත් කර දහාවල පියා ලග සිටි අතර රාත්‍රිය සිටීමට කුලියට අයෙකු පැමිණි හෙයින් ඔහුටද අර උපදෙස් සියල්ල දී පහදා දෙන ලදි.

මොහුද සුපුරුදු ලෙස වටේ ඇවිදිමින් පැයකට වරක් පමණ දරුවා අසලට පැමිණ යමින් සිටි අතර රාත්‍රී 11.30ට 12.00 ට පමණ හෙදියක් පැමිණ පොත ඉල්ලා සටහන් කිරීමේදී මුහුණ දුන්නෙ විශාල ගැටළුවකටය.

"මේ මුත්‍රා දිගටම එකම ගාණට යන්නෙ කොහොමද…?? අන්තිම හතර පාරම ගිහින් තියෙන්නෙ එකම ප්‍රමාණෙනෙ…"
"එහෙම තමා මිස් මෙයා දාන්නෙ එකම තරම…"
"මේවා හරියට මනින්න… වරද්දන්න නම් එපා… කෝ බීපුවා ලියපු ටික??"
"ඔය තියෙන්නෙ මිස් අනිත් පැත්තෙ…"
පානය කල දේ පරික්ෂා කල හෙදියගේ දෑස් නලලට යන්නට ගියෙ ඉබේමය.
"මේකෙ 10.15ට පෙවුවෙ මොනවද…????!!!!"
"ඕ…ඕකෙ තියෙන ජාති තමා මිස් පෙවුවෙ……"
"අනේ මේ ඔයාට මෙයාව බලා ගන්න බැරි නම් වෙන කාව හරි ති‍යන්න… පිස්සු කරන්න එන්න එපා මෙතන… දැන් ටිකට් එක බලලා ඩොක්ටර් අහන ඒවාට උත්තර දෙන්න බලාගෙන ඉන්න…"
හෙදිය පිටවූ වහාම කුටු කුටු ගසමින් බැනීමට පටන්ගත් ඔහුගෙන් මා පොත ඉල්ලාගෙන බැලුවේ කුතුහලය නිසාමය……
"අනේ බලන්න මල්ලි මේ ගෑණිට පිස්සුද කොහෙද? ඔක්කොම හරියට ලියලා තියෙත්දි……"
පොත බැලූ මටද දෙවියන් සිහි විය………

පැයට මිලිලීටර් අසූවක් (80ml) බීමට නියම නියම කර තිබූ දරුවාට ඒ ඒ පැයට පෙවූ වර්ගය ලියන තීරුවේ ජලය, ජීවනී, පළතුරු යුෂ අතර 10.15ට පානය කල බවට සටහන් කර තිබුනේ මුත්‍රාය.

© ප්‍රියා. {07/07/2014}

(පින්තූරයට ස්තූතිය……
http://www.madhyamam.com)