05 January, 2026

කාමරය (කෙටි කතාව)


ගිනියම් වූ දහවල අවසන් කරමින් සන්ධ්‍යාව එළෙඹිමෙන් තිබෙන්නේ සිහින් පොදකින් මහ පොළව තෙමා දමමිනි. තම සැඩපරුෂ රෂ්මි කදම්බයෙන් ලෝකයම ආක්‍රමණය කරගෙන සිටි හිරු එක වරම අතුරුදහන් වූයේ තමාගෙන් පසු අණසක පැතිර වීමට සූදානමෙන් සිටි අන්ධකාරයට නියමිත කාලයටත් පෙරම ලෝකයේ පාලනය භාර දෙමිනි.


දුමින්ද තම ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය සෙමින් සෙමින් ධාවනය කරන්නට වූයේ දෙගිඩියාවෙනි. පෞද්ගලික සමාගමක ප්‍රාදේශීය අළෙවි කළමණාකරුවෙකු වූ ඔහු තමා සැළසුම් කල සංචාරය අවසන් කල බැවින් රාත්‍රියේම නිවසට යම්දෝ නැත්නම් නවාතැන්පළක රාත්‍රිය ගත කර පසුදා උදෑසන නිවසට යම්දෝ කියා තීරණයක් ගැනීමට තැවෙමින් සිටියි.


හිඟුරක්ගොඩ ආසන්න ප්‍රදේශයක රාජකාරියේ යෙදී සිටි ඔහු ගම්පහ තම නිවසට යාමට නම්, දැනටත් හාත්පස වෙලාගෙන සිටින අඳුරත්, නිතර අලි ගැවසෙන පාරත්, බලාපොරොත්තු නොවූ වර්ශාවත් සමඟ අවධානම් ගමනක් යා යුතු බව මතක් වූ නිසා රාත්‍රිය නවාතැන්පළක ගත කර උදෑසනින්ම නිවසට යාමේ තීරණය ජය ගන්නා ලදි.

 

"ඒ.සී. රූම් තියෙනවද අයියෙ?"


"ඒ.සී. තියා නන් ඒ.සී. වත් නැහැ මහත්තයා. අද වැස්ස නිසා ඔක්කොම රෙප් මහත්වරු කලින්ම රූම් බුක් කරලා" සැකෙන් මෙන් කෝකටත් කියා ගොඩ වී බලපු සිවුවෙනි නවාතැන්පළෙන් ලැබුනේද ‍එකම පිළිතුරමය. උදේ සිට කර්කෂ අවුවේ තෙහෙට්ටු වී සිටි දුමින්ද උසස් තත්වයේ කාමර සෙවීම පසෙක ලා තරමක් හුදකළා අඩු පහසුකම් සහිත කාමරයක් සොයා ගැනීමට හිත නවා ගත්තේ ඇඟේ පතේ අපහසුවටත් වඩා තවත් රෑ බෝ උවහොත් කෙසේ වත් කාමරයක් සොයා ගැනීමට නොහැකි වන බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි.


ආරක්ෂිතව නවාතැන් ගැනීමේ හද ගින්න පරදා බඩතුල පෙරළි කරන කුස ගින්න ජයගත් බැවින් පාර අයිනේ වැඩි සද්ධ බද්දයක් නොමැති හෝටලයක් ඉදිරිපිට වාහනය නවතා රාත්‍රී ආහාරය ගැනීමට ඔහු තීරණය කලහ.


"මේ හරියෙ අද රෑට නවතින්න තැනක් හොයා ගන්න බැරි වෙයිද අයියෙ?" කිහිප දෙනෙක් ආහාර ගනිමින් සිටි කුඩා හෝටලයේ අයිති කරුගෙන් දුමින්ද විමසා සිටියේ ඒ පැත්තෙන් වත් උදව්වක් ගත හැකි වේ දෝයි බලාපොරොත්තුවෙනි


"ඔහොම්ම ඉස්සරහට යත්දි පාර අයිනෙ තව තැන් දෙක තුනක්ම හම්බ වෙනවා, හැබැයි මේ වගේ වහින දවස් වලට නවතින්න තැන් හොයන එක තමා අමාරුම වැඩේ. අනෙක දැන් නමයටත් කිට්ටුනෙ" ඔහුගෙන්ද ධනාත්මක පිළිතුරක් නොළැබු දුමින්ද වේලාව බැලුවේ ක්ෂණිකවය. එහි වේලාව රාත්‍රී අටයි පනහා ලෙස සටහවී තිබෙනු දුටු දුමින්දගේ ධෛර්‍යයද තත්පර කට්ටේ වේගයෙන් පහත බහින්නට විය. 


ආහාරය ගෙන අවසන් කල දුමින්ද හෝටලයෙන් පිටත්වෙත්දී රාත්‍රී නමයයි විස්ස විය. හෝටලය පසු කර මීටර් දෙසීයක් පමණ යන විට වාහනයට අත දැමූයේ කෙට්ටු හීන් දෑරී පිරිමියෙකි.


"කාමරයක් හොයනවා කියලා ඇහුනා හෝටලේදි" පහත් කරන ලද පැති වීදුරුව තුලින් මෝටර් රථය තුලට එබී බැලූ ඔහු පැවසීය.


"අනේ ඔව්. කාමරයක් හොයා ගන්න පුළුවන් නම් ලොකුම උදව්වක්"


"අද හවස ඉදන්ම වැස්ස නිසා කාමරයක් හොයා ගන්න එක නම් ලේසි වෙන්නෙ නෑ. මමත් කාමරයක් හොයා ගත්තෙ මාර අමාරුවෙන්"

 

"එතන තව කාමරයක් නැති වෙයිද බ්‍රදර්"


"ඒක නම් ශුවර් නෑ බොස්. මුකුත් හිතන්නැත්නම් පොඩි යෝජනාවක් කරන්නද?"


"ඒ මොකක්ද?"


"මමත් සිංගල් රූම් එකක් හෙවුවට හම්බ උනේ නෑ. අන්තිම එකක් තිබ්බෙ ඒක ඇඳන් දෙකක් දාපු ඩබල් රූම් එකක්. ගාණ පන්දාහක්. ඔයා කැමතියි නම් දෙන්නා දෙදහස් පන්සීය ගානෙ දාලා ඒකෙම ඉමු. මගෙ බජට් එකේ හැටියට මට පන්දාහා ටිකක් අමාරුයි. ඒත් කරන්න දෙයක් නැති කමට ගත්තෙ."


"හ්ම්ම්ම්ම් අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලාම නඟින්නකො කාර් එකට. මෙතන තව තියෙන තැන් දෙකක් තුනක් බලලා ඒවයෙත් එකක් වත් සෙට් නූනොත් ඒ ඔප්ෂන් එකට යමු. අවුලක් නැහැ නේද?"


"මට අවුලක් නෑ බොස් එහෙම කරමු" ආගන්තුකයා වාහනයට ගොඩ වූයේ එසේ පවසමිනි.

...........................................................................

"ඒකෙත් නැහැලු බ්‍රදර්. හරි යන්නෑ, අපි ඔයාගෙ තැනට යමු. මම තවම ඔයාගෙ නම දන්නෙත් නැහැනෙ. මගෙ නම දුමින්ද. කල්දේරා ඇන්ඩ් සන්ස් එකේ ඒරියා සේල්ස් මැනේජර් කෙනෙක්."


ආගන්තුකයා වාහනයේම සිටියදී විමසා බැලීමට ගිය දෙවනි නවාතැන් පලෙන්ද සුපුරුදු උත්තරය ලද පසු දුමින්ද ආගන්තුකයාට පැවසීය.


"මම සංඛ. මිස්සක ට්‍රේඩිං එකේ සේල්ස් රෙප් කෙනෙක්. බයික් එක ගෙස්ට් හවුස් එකේම දාලා පයින්ම කන්න ආවෙ. මේ මම නිතර නතර වෙන ඒරියා එකක්. වැඩි දුරක් නෑ. ඔය එහා පැත්තෙ තියෙන්නෙ"


"අයිතිකාරයට කියන්න වෙයිද මමත් ඉන්නවා කියලා."


"ඕන නැහැ. මම දන්න හැටියට උන් නමයහාමාර වෙත්දි නිදියනවා, දැන් දහයටත් කිට්ටුයිනෙ. උන්ට කරදර කරන්න ඕන නෑ."


සංඛ පෙන්වූ මාර්ගයේ ගොස් නවාතැන් පලට ආසන්න වූ දුමින්ද සැනසුම් සුසුම් හෙළුවේ මෙසේ හෝ නැවතීමට තැනක් හම්බ උන එක පෙර පිනක් සේ සළකාය.


දහවලට අයාලේ යන්නනුත් ‍රාත්‍රියට අළෙවි ක්ෂේත්‍රයේ නියෙලෙන්නනුත් ඉලක්කකර ඉදිවූ මෙවැනි නවාතැන්පළ වල ඇති සුපුරුදු මුස්පේන්තු පෙනුම එයින් කිසිම අඩු පාඩුවකින් තොරව දකින්නට දුමින්දට හැකිවිය. වාහනය මිදුලේ නවතා ලොක් කර කාමරයට එන තුරු කවුරුත් මුණ නොගැසීම සැබැවින්ම සහනයක් විය.


"බ්‍රදර් රිපෝර්ට් හදනවා වගේ" දුමින්ද කාමරයට පැමිණ ස්නානය කර සැහැල්ලු ඇඳුමක් හැඳ ඇඳට එන විට සංඛ සිටියේ ඔහුගේ ඇඳට වී යමක් ලියමිනි.


"අනේ ඔව් බොස්. නැත්නම් ගොඩ ගැහෙනවා."


"මේ පොට් එක මාරම සයිලන්ට් නේද බ්‍රදර්."


"මේක ඉස්සර නම් මෙච්චර සයිලන්ට් නෑ බොස්. එක පාරක් මේකෙ නැවතුන මනුස්සයෙක් හාට් ඇටැක් එකක් හැදිලා මළා. ඊට පස්සෙ තමා මේක මෙච්චර සයිලන්ට්. බොස්ට බයක් එහෙම නැහැනෙ."

"මොකට බය වෙන්නද බ්‍රදර්, මම ඔය මනස්ගාත විස්වාස කරන්නෙ නෑ."

"එහෙනම් එච්චරයි. මමත් නිදාගන්නවා බොස්, දැන් නම් නිදි මතයි. ගුඩ් නයිට් බොස්."

"ගුඩ් නයිට් බ්‍රදර්."

...........................................................................................

"මහත්තයා,,, මහත්තයා,,, නැඟිටින්න. ඔයා කොහොමද මේ පාළු බිල්ඩිම ඇතුලට ආවෙ?"

ආගන්තුකයෙකුගේ හඬින් අවදි වූ දුමින්ද වට පිට බලන්නට වූයේ තමා කොහේ සිටින්නේදැයි සැක හැර දැන ගැනීමට මෙනි. වටින් ගොඩින් වැටෙන හිරු එළියෙන් තමා සිටි තැන දුටු දුමින්දට තරු පෙනෙන්නට විය. අවම වසර කිහිපයකින් වත් මිනිස් ප්‍රයෝජනයකට නොඟත් කාමරයක බිම ඔහු වැතිර සිටී. සංඛ පෙනෙන්නට නැත.


"ම.. මම්ම්.. මම මේ කොහේද ඉන්නෙ? කෝ මාත් එක්ක හිටපු සංඛ?"

"තව කවුරුත් නම් පේන්න හිටියෙ නෑ මහත්තයා. මමත් මේ මෙතනින් යත්දි මිඳුලෙ කාර් එකක් දැකලයි ඇතුලට ඔළුව දාලා බැලුවෙ."

"ඒ,,, එ.. එතකොට මේ.. මේ තැන මොකක්ද?"

"මේක දැනට අවුරුදු පහකට විතර කලින් වහලා දාපු ගෙස්ට් එකක් මහත්තයා. එක පාරක් මේකෙ නැවතුන රෙප් කෙනෙක් හාට් ඇටෑක් එකකින් මළා. ඊට පස්සෙ මොක කරලා වත් මේක ගොඩ ගන්න බැරි උනා. අර මැරුන රෙප් හොල්මන් කරනවයි කියලනෙ කියන්නෙ."

"ඒ... ඒ... ඒ කියන්නෙ සංඛ........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙත්දී තම පපුව අල්ලන් නැවත බිම වැතිරුන දුමින්ද වා තලයට මුසු කලේ ඔහුගේ අවසන් සුසුම් පොඳය.................


© ✍️ ප්‍රියා. 11/07/2024


❤‍🔥 ලයික් එකකින් කමෙන්ට් එකකින් ඔයාලගෙ අදහස කියන්න කියලා ඉල්ලන ගමන්ම, පේජ් එක ෆලෝ කරලා මගේ කතා දිගටම කියවන්න එකතු වෙන්න කියලත් ගෞරවයෙන් ආරාධනා කරනවා

23 May, 2025

යුවතිය සහ බිළිඳිය

 


රාත්‍රී අඳුර පොළව වෙලාගෙන අවසන්ය. එක් පසෙකින් ගමන් වෙහෙසය තවත් පසෙකින් කුස ගින්නය. සියල්ලටම වඩා මෙතරම් දුරක් පැමිණි ව්‍යාපාර කටයුත්ත සාර්ථක නොවීමෙන් ඇතිවූ කේන්තියය.


සාර්ථක වේයැයි ඉඟියක්වත් නොවූ කටයුත්තක් වෙනුවෙන් මෙතරම් දුරක් පැමිණීම පිළිබඳව මටම සිතෙන් ශාප කරගනිමින් සිටි නිසාදෝ මෝටර් රථයේ වේගය වැඩිවන බවක් මා හට නොදැනුනි.


සාමාන්‍යෙන් කාර්‍යබහුල නගරයක් සේ සැළකෙන දෙල්ගොඩ නගරය පසුකරමින් සිටියත් මාගේ පිංමහිමයටදෝ කුසට යමක් දමාගැනීමට තරම් ප්‍රිය ස්ථානයක් මාගේ ඇස නොගැටුනි. කුසගින්න තවත් අධික වූ නිසා මා නොදැනුවත්වම වාහනයේ වේගය වැඩිවන්නට වූයේ ගමනාන්තය ඉක්මනින් දැකීමේ අරමුණෙනි. වාසනාවට දරණගම හංදියේ පිළිවෙලක් ඇති අවන්හලක් ඇස ගැටුනේ මගේ කුසගින්නට සහනයක් දෙමිනි. 


ඇණවුම් කල ඌරු මස් කොත්තුව සැබවින්ම රසවත්වූ නිසාම ඉක්මනින් අවසන් වූයේ මාගේ කුස ගින්න නිවා දමමිනි. නරක පුරුද්දක් උවද දුම් දමමින් ගෙනා තේ කෝප්පයද පානය කිරීමෙන් පසු ගතට කෙසේ වෙතත් සිතට දැනුන ප්‍රබෝධයත් සමඟ ඉක්මනින් නිවසට යා හැකි බව මා හට විස්වාසය.


නැවත ගමන් ඇරඹූ මෝටර් රථය මාදරාව වෙල්යාය පසුකරන විට ඇරදමා ඇති පැති වීදුරු අතරින් එතුලට අනාරාධිතව කඩා වඳින සුළං රැල්ල දෙබෑකරගෙන ඉදිරියට ඇදෙන්නේ දඟකාර කොලු ගැටයෙකු මෙනි.


හෙට්ටියාගම හංදිය පෙනෙන තෙක්මානයේ, වමතින් තඩි ගමන් මල්ලකුත් සුරතින් කුඩා දරුවෙකුත් ගත් කාන්තාවක් ඉතාම අපහසුවෙන් ගමන් කරණු මාගේ නෙත ගැටිනි. දකුණු කකුල ගස්සමින් වම් කකුලට බරදී ඇවිදින ඇයගේ ගමන් විලාසයට හේතුව ඇයගේ ගමන් මල්ල බව පැහැදිලිය.


මා ඇයව පසුකර මදක් ඉදිරියට ගොස් වාහනය නතර කලෙමි. 

"ඉස්සරහටද යන්නෙ?" 

"අනේ ඔව් අයියේ, යන්න ඕන නම් කිරිබත්ගොඩට."

"ආ මම යන්නෙත් කිරිබත්ගොඩ හරහා, නඟින්න මම ඔයාව කිරිබත්ගොඩින් දාන්නම්,"

රාත්‍රී අඳුර සමඟ පොරබඳමින් මහ පාරක අතරමංව විටි ඇයට මාගේ විනීත ආරාධනය ඉවත දැමීමට කිසිඳු උවමනාවක් නැතුවා මෙන් ඇය කලේ පසුපස අසුනට බර දීමය. කළු පැහැති දිගු ෆ්ලෙයාඩ් සායට කහ පැහැති බ්ලවුසයක් ඇඳි ඇය සැබවින්ම රූමත්ය. අවුරුදු විසිහයක විසිහතක පෙනුමක් ඇති ඇය අත රැඳි දරුවා මාස හයක පමණ බිළිඳියකි.


මෝටර් රථයේ ඉදිරිපස කණ්නාඩියෙන් පෙනෙන ඇගේ රුව දුටුවන් සිත් ඇඳ බැඳ ගන්නා තරම් ආකර්ශණීයය. පසුපස අසුනේ මැදට වෙන්නට වාඩිවී සිටි ඈ නිරික්ෂනාත්මක බැල්මක් මුළු මෝටර් රථය පුරා යවමිනි. නන්නාදුනන පිරිමියෙකු සමඟ ගමන් කරන රූමත් තැනැත්තියක ලෙස ඇයගේ හැසිරීම සාමාන්‍යය.


"මෙච්චර රෑ වෙලා, නංගි ගමනක්ද?"

"ඔව් අයියෙ, මම මේ කිරිබත්ගොඩින් නුවර බස් එක අල්ල ගන්න කියලා."

"මේ මහ රෑ??"

"ජීවිත වලට කරදර එන්නෙ රෑ දවල් බල බල නෙමෙයිනෙ අයියෙ."

එතනින් එහාට කිසිවක් හාර ඇවිස්සීමට හිත නොදුන්නේ ඇය මා ගැන වැරදියට සිතාවි යැයි හැඟුන නිසාය.


කිරිඟරුඩෙන් නෙළු පිළිමයක් මෙන් ඇගේ මුහුණ සැබවින්ම සරාගීය. කිසිඳු ආටෝපයකින් තොර ඈ තුල ඇත්තේ ස්වාභාවික ලස්සනකි. මෙවන් යුවතියක රෑ ජාමේ මෙලෙස තනි පන්ගලමේ ගමන් කිරීම අනතුරු වලට බලෙන් අත වැනීමකි. රස්තියාදු කාරයන් මෙන්ම විවිධ මානසික මට්ටම් වල අය බහුල සමාජයකය අප ජීවත් වන්නෙ.


මාගේ චිත්ත සන්තානය තුල ඈ පිළිබඳව නැඟී එන දහසකුත් එකක් සිතුවිලි සමුදාය සුනු විසණුවී ගියේ පසුපස බලන කණ්නාඩියෙන් මා දුටු දසුනෙනි.


ඇය කිසිදු බයක් හෝ සැකයකින් තොරව තම දරුවාට කිරි දෙමින් සිටී. ඇගේ පයෝදරයන් අනවශ්‍ය තරමට නිරාවරණය කරගෙන සිටින අතර ඇයද කණ්නාඩියෙන් එක එල්ලේ මා දෙස බලා සිටී. මම වහාම අහක බලා ගන්නා අතරම කණ්නාඩිය වෙනත් පසෙකට හැරවූයේ දරුවෙකුට කිරිදෙන මවක දෙස කාමුක ඇසින් බැලීම නොහොබිනා නිසාය.


වාහනයේ වේගයට සමානුපාතිකව මාගේ හදවතේ වේගයද වැඩිවෙමින් පවතී. පාදවල මහපට ඇඟිලි වලින් පටන් ගන්නා සීතලක් ඇඟපුරා ගමන් කරමින් ඇත. කියාගත නොහැකි නිහඬ ගුප්ත පරිසරයක අප අතරමං වූවා වැනිය. කිරිබත්ගොඩ ආසන්න වන විට කණ්නාඩිය නැවත සකසා ඈ දෙස බැලුවේ ඇය බසිනා තැන අසා ගැනීමටය.


ඒ වන විටත් ඈ කණ්නාඩිය තුලින් මා දෙස එක එල්ලේ බලා සිටී. වාහනයට ගොඩ වන විට පුහුආටෝප වලින් තොරවූ ඇගේ සිහින් දෙතොල මේ වනවිට රත් පැහැයෙන් දිලිසේ. ඇය තොල් ආලේපන ගෑවේ කුමන මොහොතකදැයි ගැටළුවෙන් සිත අතරමංව සිටි මොහොතේ මා දුටුවේ ඇගේ මුවේ වම් පසින් දියරමය යමක් වෑහෙන බවය. නැවත වරක් මා ඈ දෙස ඉතා උවමනාවෙන් බැලුවේ සැක සංකා දුරු කර ගැනීම පිණිසය.


අහෝ මා දකින්නේ කුමක්ද? ඇය ඈගේ බිළිඳිය අනුබව කරමින් සිටී. දරු පැටියා හරහට අල්ලා සිටින ඈ බිළිඳියගේ ගෙලින් කොටසක් කඩා ගන්නේ මුව දෙපසින් ලේ වැක්කෙරෙත්දීය.


කිසිවක් සිතාගත නොහැකිව අසරණ වූ මා වාහනය ඉදිරියට හැසිරවූයේ දෑස් පියාගෙන මෙන්‍ය. අධික වේගයෙන් පැමිණ කිරිබත්ගොඩ පොලීසියට ඇතුළු කර වාහනය නවතා දැමූ මා සුක්කානම මතම හිස තබා ගත්තේ පොලිස් නිළධාරින් කිහිප දෙනෙකු වාහන දෙසට දිව එත්දීය.


"කාර් එක මාර ඒමක්නෙ ආවෙ?"

"වාහනේ ඇතුල නම් මාර සීතලයි."

"මේ මනුස්සයගෙ බෙල්ල තුවාල උනේ කොහොමද දන්නෑ. බෙල්ලෙ පැත්තක්ම නෑනෙ."


ගෙලින් රුධිරය වෑහෙන මාගේ නිසල සිරුර වටකරගෙන සිටින පොලිස් නිළධාරින් අතර ඇති වන කතාබහ මා අසා සිටියේ පොලීසියට ඉහල ආකාසයේ සිටය.


✍️ ප්‍රියා.© 20/02/2025



23 October, 2014

ඔබත් බාත්රූම් එකට හෑන්ඩ් ෆෝන් එක අරන් යනවද?



බාත්රූම් එකකට යත්දි ගෙනියන බඩු භාණ්ඩ ගැන ඇහුවොත් මොන මොනවා මතක් වෙයිද? එක එක බඩු භාණ්ඩ ඇති. ඒත් ඉතිං මගෙනම් අත්‍යාවශ්‍යම භාණ්ඩය හෑන්ඩ් ෆෝන් එක.!! …… "නිවසෙන් පිට තැනක බාත්රූම් එකකට යනවා නම් ජංගමයා රැගෙන යාම" මම නම ගලේ කෙටූ අකුරක් වගේ හිතේ කෙටූ කාරණාවක්.

ඒ ඇයි කියන එකටත් ලොකූ නැති පොඩී නිධාන කතාවක් තියෙනවා. මේක සිද්ධ උනේ මම කලින් වැඩ කරපු තැනදි. මම කලිනුත් කියලා තියෙනවා වගේ මේ ආයතනය ආනයන/ අපනයන භාණ්ඩ වලට තත්ව සහතික නිකුත් කරන ආයතනයක් නොවැ. ඉතිං ක්ෂේත්‍ර නිළධාරින් වෙච්චි අපිට වැඩ කරන්න උනෙත් අපේ සේවය ලබන එක එක ආයතන වල. බොහෝ දවස් වලට දිවාරාත්‍රී දෙකම වැඩ කරන්නත් උනා. ඇතම් දවස් වල රාත්‍රී සේවයත් කලයුතුයි කියා පණිවිඩය ලැබෙන්නෙ දවලුත් වැඩ කරලා හවස හයට විතර. අනේ ඒ වෙලාවට අපේ බොසා වෙච්චි පළාත් පාළක වරයාගේ මවුපියන්ට පිංදිදී අපි දිවාසේවය නිම කරලා එහෙම්ම රාත්‍රී සේවය කරන තැනට බඩගානවා. එහෙම යන බොහෝ තැන්වල අපිට පවිත්‍ර වීමට පහසුකම් සපයා තිබෙන අතර අපෙත් බෑග් වල කොයි වෙලෙත් පොඩි තුවායක් ආදී අත්‍යාවශ්‍ය දේ තියෙනවා.

ඉතිං මේ කියපු පිංවත් දවසේ මම දහවල එක තැනක වැඩ කරලා රෑ වැඩට ආවා අර කෙල්ලෙක්ගෙ සායට යටින් අත් දාලා ෆොටෝ ගත්තු දවසෙ ගිය මහබාගෙ කිට්ටු ආයතනයට. ඔය ආයතනය මම නිතර ආගිය තැනක් නිසාම ඕකෙ පිස්සො ටික මම පිස්සත් එක්ක හොදට ෆිට්. ඕකෙ වැඩ කරත්දි එක එකාට දිරච්ච ලණුදෙන එක අපේ පුරුද්දක් වෙලා තිබුනා. මතකනෙ අර එකෙක්ව යවලා කෙල්ලෙක්ගෙන් වාජිකර්ණ ඉල්ලපු සීන් එක.!

කියන්න සතුටුයි පිංවතුනේ මේ කියන දවසෙ ලොතරැයි දිනුම ඇදුනෙ වෙන කාටවත්ම නෙමේ, ප්‍රියාට… අනේ ඉතිං මමත් රාත්‍රීසේවයට වාර්ථා කොරලා ප්‍රඩක්ෂන් රූම් එකෙත් පැයක් හමාරක් රවුම් ගහලා මුහුණ එහෙම හෝදන් අර පිස්සො සෙට් එකත් එක්කම රෑ 8ට විතර කෑමත් කාලා ආයෙත් ටිකක් වෙලා ප්‍රඩක්ෂන් චෙක් කරලා හිටියා.

එදා දවසෙ ඔය ආයතනයෙ සේවය කරපු මණ්ඩලේ කචල් උනු කාර්‍ය මණ්ඩලය ටිකක් බිසී නිසත් මට ක‍රන්න තරම් වැඩක් එදා නොතිබුන නිසත් උදේ ඉදන් වැඩ කරලා මහන්සියට ගියා පොඩ්ඩක් නාගන්න බාත්රූම් එකට. මේ බාත්රූම් එක ටිකක් ඈතට වෙන්නයි තියෙන්නෙ. අරුන් ටික බිසී නිසා උන්ටත් නොකියා, මගේ හෑන්ඩ් ෆෝන් එකත් චාජරේට ගහලා මම ගියා දියකෙළියට.

අනේ මගේ කරුමෙට ඒ දියකෙළිය, මළකෙළියක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ ඕන්!. මමත් නාගෙන ඇඟපතත් පිහදගෙන දවල් ඇදන් හිටපු ඇඳුම් ටිකම ආයෙ ඇදගෙන (දහඬිය ඇදුම් තමා ඉතිං, මක් කරන්නද) අනේ එළියට එන්න බලත්දි කියන්න සංතෝෂයි සහෝදරවරුනි, මටත් වැඩේ සිද්ධ වෙලා.…… ඔව් ඔව් මොකෙක් හරි යකෙක් බාත්රූම් එක එළියෙන් ලොක් කරලා.

මටත් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කර ඇතිබව මගේ බොක්කට දැනෙත්දි විණාඩි දහයක් පමණ සිංහනාද කරමින් "දොර ඇරපන් යකෝ!" කියමින් කෑගැසුවත් සිංහනාදය බලුකෙඳිරියක් වීමට කලින් මම නිශ්ෂබ්ද උනේ මගෙ මියුරු හඬ ඇසෙන මානෙ එකෙක් තියා යකෙක් වත් නොවූ බව මගේ ටිකිරි මොලේට වැටහුන නිසයි.

අනේ ඊට පස්සෙ මක්කරන්නද?? නැව ගිළුනත් ගැට්ටෙ බජවු කියලා මාත් මට නෙමේ වගේ අයිනට වෙන්න තියෙන කොමඩ් එක උඩ වාඩි වෙලා පොඩීම පොඩියට නින්දෙයි සුවනින්දෙයි වෙනස හෙවුවා…!!

කොහොමින් කොහොම හරි දවසම බිසී වෙලා පස්ස කැඩිච්ච කඩියො රැල වගෙ හිටපු අරුන් ටිකට ඉස්පාවුවක් ලැබිලා තියෙන්නෙ රෑ 12ට කිට්ටුවෙත්දි. ඉතිං ඒ වෙලාවට එන පොඩි බඩගින්නට මොනාහරි බඩට දාගමු කියලා සෙට් වෙත්දි තමා උන්ට මම අතුරුදහන් නේද කියලා මීටර් වෙලා තියෙන්නෙ.… අනේ අපරාදෙ කියන්න කෂ්ටිය සික්කො ටිකත් කැඳවලා හැම අස්සක් මුල්ලක් ගානෙම හොයලා අන්තිමේ මහා මෙහෙයුමක් කරලා මාව බාත්රූම් එකෙන් මුදා ගත්දිත් මම මදි නොකියන්න නිදි.

ඒත් ඉතිං ඔය මහා මුදා ගැනීමේ මෙහෙයුම දියත් කරපු උන් අතරෙ මේ අවලම් වැඩේ කරපු එකා හිටියා කියන එක හෙටත් ඉර පායනවා වගේ විශ්වාසෙන් දැනන් හිටියත් ඌව හොයා ගන්න එක නිධානයක් හොයා ගන්නවට වඩා අමාරු බව දන්න නිසාම වැඩේ අතහැරලා දැම්මා.………

කොහොම උනත් එදායින් පස්සෙ නම් මම ගෙදරින් පිට කොහෙ බාත්රූම් එකකට ගියත් හෑන්ඩ් ෆෝන් එක ගෙනියන්න නම් අමතක කරන්නෑ………………… අහවල් දේකට නෙමේ බොලවු අර වගේ වැඩක් උනොත් එළියෙ ඉන්න එකෙක්ට කෝල් එකක් දෙන්න…!!!.




© ප්‍රියා. [22/10/2014]

(පින්තූරයට ස්තූතිය……
www.fnbworld.com / www.numbertwoguide.com)