19 June, 2014

සුහදානනේ… සුබ සාමයේ… තීරකයා ඔබම තමයි……


"ඉගෙන ගන්ට අපි යන මේ පංතියට……
යම්දෝ නොයම්දෝ කියලා සිතුනි මට……
කට් පාරක් දැමුමට අද ක්ලෑසියට……
පිංවත ඔබේ අදහස් මට පවසන්න……"
"ආ…ආ… පිස්සු නම් කෙළින්න එපා සුමියා, ගිය සතියෙ ගියෙත් නෑ. යමන් යකෝ ක්ලාස්…"
"සුමියා කියන්නත් වගේ මටත් අද කම්මැලී කම්මැලී වගේ බං…"
"තොපි දෙන්නටම පිස්සුද යකුනේ… මෙන්න මෙහෙ වර…"
"ඔය කිවුවට ECON කියත්දි මටත් ඇලජික් කියලා උඹලා දන්නවනෙ, ඒත් ගිය සතියෙත් නොගි‍ය එකේ අද යමන්ලා…"
එකම පාසල සිසු පිරිසක් වූ අප හතර පස් දෙනා කිරිබත්ගොඩ පෞද්ගලික පංති පැවත්වෙන ගොඩනැගිල්ලට යන අතර වූ වාදයට තිත තැබුනේ සියළු දෙනා පංති යාමට එකඟ වීමත් සමඟය.

"හප්පට ඩෙඟ… කළු සුමනව බල්ලො කන්ඩ. යකෝ මම පංති කාඩ් ගත්තෙ නෑ. ගිය සතියෙ පංති සල්ලිත් වියදම්…"
"තෝ වෙනුරයා මොකක් හරි *ත්තක් කියලා කට් එක දාන්න නේ හදන්නෙ… වර චිට් එකක් ගමු කාඩ් එක ගෙනාවෙ නෑ කියලා…"
"අද මොලේ ඇලේ දාලද ආවෙ ගොනෝ… නොගත්ත කාඩ් එක ගෙදර කියලා චිට් ගන්නෙ කොහොමද?"
"තොගේ එක නෙමේ මගේ එක ගෙනාවෙ නෑ කියලා චිට් එක අරන් මම ඒකෙන් යන්නම්. ඉදා උඹ මගෙ කාඩ් එකෙන් වර…"
මත ගැටුම් හැළහැප්පීම් මැද අතක් පයක් නොකඩාගෙන තවත් විනාඩි කිහිපයකින් අපි ආර්ථික විද්‍යාව පංතියේ අපිට සුපුරුදු දෙවනි පේළියේ… එනම් පංතිය මුල සිට බැලූ විට අවසන් පේළියට පෙර අසුනට වැටුනේ සුපුරුදු වල්පල් මැදමය…

"අඩෝ උඹලා දන්නවද වැඩක්… අර අරූ බං… ලොයිඩා……"
"ඇයි ඌ ගෙට වෙලාද…?"
"නෑ ඌ බඩ වෙලා…… අහපියලකො… මෑනුත් ආමි එකට ගිහින්ලු බං…" ඒ සුමිත්ගේ ගොරහැඬි හඬය.

"බොට කියලා තියෙනවා නේද නයි අරිත්දි පෙර දැනුම් දෙන්න කියලා අපිට කකුල් උස්සගන්න…"
"බොරු නෙමේ යකුනේ සිරාවටම… ඇයි ඌ එක පාරක් අපි එක්කත් කිව්වෙ… අනික ඌ අපෙගෙවල් හරියෙනෙ. ට්‍රේනිං ඉවර වෙලා ඩියුටිත් දාලා. ඊයෙ මට හම්බ උනේ නිවාඩු ඇවිත් ඉත්දි…"
"කොහෙද ඩියුටි…?"
"දැන් ඉතිං ගන්න ඔක්කොම යවනවා ඇත්තෙ ගේමටනෙ බං…"
"පිස්සුද බං… ඔය වගේ උන්ව ගනීද යුද්ධ කරන්න.… මූව ගන්න ඇති යුද්ධෙ කරන කොල්ලන්ට තේ හදන්න…"

විදුරගෙ හඬ පිට වූයේ අප සැම සිනහ සයුරක ගිල්වමිනි… ඒ හඬ අවසන් වීමට පෙර ගුරුවරයා පැමිණි හෙයින් ඒ කතාබහා එතකින් අවසන් උවද ආර්ථික විද්‍යාව කියනා විටම ඇඟේ අසාත්මිකතාවක් හට ගන්නා මාගේ සිතුවිලි දැහැනට නම් එය බාදාවක් නොවීය…

ලොයිඩ් යනු අප පාසලේම අප වයසේම අපේ පංති වලම සිටි ශිෂ්‍යෙයෙකි. කුඩා කල මාද සබකෝලයෙන් පිරි, අමුතු හිපාටු චරිතයක් උවද දහය වසරෙන් පසු ඒ සියල්ල වෙනස් වූ මුත් ඒ චරිත ලක්ෂණ වලින්ම හෙබි ලොයිඩ් නම් උපන්ගෙයි සිටම ගෙන ආ කොන් වීමට තිබූ ආශාවත් සමඟම වැඩෙන්නට විය.

ඇතම් අවස්ථා වල අප කරන වැරදි වලට පවා ඔහු දඬුවම් වින්දේ බලෙන්මය. ඒ ඉගෙනීමට තිබූ අකමැත්ත මත පංතියෙන් එළියට වී සීටීමට තිබූ උවමනාව නිසාය. ඇතම් විටක ගුරුවරිය පංතියට ඒමට පෙර රටහුණු කැබැල්ල කුඩු කර ගුරු පුටුවෙ අතුරා තැබීම, කොහෙන් හෝ ඔසවාගෙන පැමිණි හිස් මල් පෝච්චියක් ගුරු පුටුව යටින් තැබීම වැනි වැඩද ඔහු අතින් සිදු විය. කෙසේ උවද අපට සිංහල හා බුදුදහම ඉගැන්වූ හාමුදුරුවන් හැර අන් බොහෝ ගුරුවරු ඔහු හදුනාගෙන සිටියේ දඬබ්බරයෙකු ලෙස පමණි.

කෙසේ හෝ අවසානයේ සියළු දෙනා සාමාන්‍ය පෙළ ලියූ අතර ඇතමෙක් උසස් පෙළට ගණිතය හෝ විද්‍යා විශය ධාරාවන් තෝරාගෙන වෙනත් පාසල් වලට ගිය අතර, වාණිජ්‍ය තෝරා ගත් අපත් කලාව තෝරා ගත් පිරිසත්, තවත් අවට පාසල් කිහිපයකින් පැමිණි සිසු පිරිස සමඟ තනි කරමින් කිහිප දෙනකු සාමාන්‍ය පෙළ අසමත් වී තිබුනි. අවාසනාවට ලොයිඩ් සිටියේද අවසන් ගොඩේය.

විභාගයෙන් පසු මුලින්ම අප හට ලොයිඩ්ව මුණගැසුනේ උසස් පෙළ අරඹා ටික කලකිනි.

"ආ… ඩෝ… ලොයිඩා… කොහෙද මේ…?"
"පොඩි ගමනක් ගියා බං…"
"දැන් මොකෝ කරන්නෙ…?"
"මම දහ අට සම්පූර්ණ උන ගමන ආමි එකට යන්නයි ඉන්නෙ…"
"නෑ… හප්පට සිරි වෙනවා… හරි හරි ඕන එකක්. පරිස්සමෙන්.… මේ අපිට පරක්කු උනා… එහෙනම් අපි ගියාවෙ ඈ…"

"ඕකගෙ කෙප්ප බං.… ඔහොම චාටර් යක්කු හමුදාවලට ගන්නවද බං… මූව යවන්න ඕන ඉතියෝපියාවට"
"එහෙම්ම කියන්නත් එපා බං.… මොක උනත් මෑන් හිත හොද එකා…"…………………………………………………………

"යකෝ… තෝ සර්ගෙ මූණ බලාගෙන පිළිකුල් භාවනාව වඩනවද……?? මනෝ ගහලා ඉන්නැතිව නෝට් ටික ලියා ගනින්……" ඉබාගාතෙ දිවූ සිතුවිලි වලට සීමා වැටුනෙ කණ ළගම ඇසුන වෙනුරගේ කෙඳිරිලි හඬිනි.……………

තවත් මාස කිහිපයක් ගෙවී යනු නොදැනුනේ විභාගය නිසාවෙන් දිවා රෑ නොබලා මහන්සි වූ නිසා නම් නොව සුපුරුදු කෙළිලොල් දිවිපෙවතම ගෙවූ අපට දිවා රෑ ගෙවී යාම නොදැනුනු නිසාය.……

සෑම වර්ශයක මෙන්ම අපද විභාගයට ආසන්න වෙත්දී පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර දැමුවේ විභාගයට පාඩම් කිරීම අරමුණු කරගෙන උවද ජීවිත පාඩම් ලබා ගත්තා මිස පොත පත පාඩමක් නම් නොවූ තරම්ය.

"කෝ බං මේ හිපාටුවා… තාම නෑනෙ?"
"මුගෙ ෆෝන් එකත් ඕෆ් බං… රෙද්ද…"
විභාගය පෙනි පෙනිත් නොනැවතුන අපගේ රස්තියාදුව නිසාම රාගම තේවත්තට යාමට සිටි ගමන කැළණිය දුම්රියපලේ ප්‍රමාද වූයේ සුමිත්ගේ සුපුරුදු ප්‍රමාදය හේතුවෙනි.…

"ආ අර එන්නෙ… අස්සයා විකුණපු කව්බෝයි වගේ දුවගෙන…"
"මොකක්ද මීමො, තෝ කරන්නෙ… ෆෝන් එකත් ඕෆ් කරගෙන"
"ඒ රෙද්ද බැට්රි බැහැලා බං… මේ වරෙල්ලා පොඩි ගමනක් යන්න… හදීසියක්…"
"හදීසියක්!!! ඇයි උඹට බොගක් සෙට් වෙලාද… *ත්තො ස්ටේෂමෙ ටොයිලට් පිරිසිදු නෑ. කරගන්න මඟුලක් ගෙදරින් කරන් එන්න එපෑ…"
"උඹලට ආරංචි නැත්ද බං…??"
"මොකක්ද…?? බොට බොගක් සෙට් වෙලා කියලද? හි… හි…"
"බං මේ ලොයිඩ්… නැතිවෙලා බං…!!!!!!"

වනවාසල දෙස සිට කොටුව බලා ඇදෙන දුම්‍‍රියේ නළා හඬත් සමඟම කණ වැකුණු ආරංචිය එක්වරම භාර ගැනීමට තරම් අප කාගේවත් සිත් නැමුනේ නැත. යාමට පැමිණි ගමන දුම්‍‍රිය පලේම දමා පට්ටිය හංදියෙන් හැරී යා යුතු ලොයිඩ්ලාගේ නිවස කරා දිව ගියේ ඒ ආරංචිය කාගේ හෝ විහිළුවක් වේවායි පතමිනි.…… නමුදු ඒ පැතුම ඉටුනොවනා බවට පළමු සාධකය දුන්නේ ලොයිඩ්ගේ නිවසට හැරෙන අතුරු පාරේ ඉහල ලෙල දෙමින් තිබූ සුදු පැහැ කොඩි කිහිපයය………


නිවසට ලං වන විට ඇස හතර වටේ දිව ගියේ යුධ හමුදාවේ බැනරයන් මතය… ඉදිරිපස දොරෙන් ඇතුලු වූ අප දුටුවේ මිනීපෙට්ටියකි. ගෙවුනු තත්පර කිහිපයකින් පසු අප ඒ පෙට්ටිය වටාය…

එකල හිපාටුවෙක් ලෙස හංවඬු ගැසී සිටි අපිළිවෙල ලොයිඩා එහි නැත. ඒ වෙනුවට නිවසෙ සාලය මැද මිනි පෙට්ටියක නිදන්නේ නිළ ඇඳුමක් හැඳගත් ගාම්බීර පෙනුමැති සොල්දාදුවෙකි.… අප නිදහසේ විනෝද වන විට, අධ්‍යාපනය ලබන විට ඒ වෙනුවෙන් අපේම වයසේ කොල්ලන්ද ඇතුලුව දහස් ගණනක් දිවි කැප කොට ඇත.

'වගකීමක් නැති එකා… , මහ පොළවටත් බරක් උන එකා' ලෙස නම් ලැබූ ඔහුට ඒ නම් පැළදූ ඇතම් ගුරුවරියන්, ගුරුවරුන් පවා පැමිණ ගරු බුහුමන් දක්වා යනු දුටු විට. එපමණක් නොව ඔහු ලද හමුදා උත්තමාචාරයන් දුටු විට දැනුනේ අමුතුම හැඟීමකි. අප අතරම සිටි ඔහුව අපි හදුනා නොගත්තාට ඔහු දැන් රටටම විරුවෙකි.

ජීවිත ගඟ ඉදිරියටම ගලයි.… ගෙවෙනා හැම තත්පරයක්ම ජීවිතයේ ඉදිරි ගමනට අත්දැකීමකි… ඔහුගේ මරණයද අප ලැබූ දුක්ඛිත අත්දැකීමකි… එයින් අප මිල කල නොහැකි ජීවිත පාඩමක් උගත්තෙමු.…

ලොයිඩ් කසුන් සංජීව මිතුර… ඔබට නිවන් සුව පතමි.……!!!!!

ප. ලි. ~ හදීසියෙම මේ අත්දැකීම අකුරු උනේ පීරෙගෙ මේ පෝස්ටුව නිසයි.

ප. ප. ලි. ~ මා සිතනා පරිදි අවුරුදු ගණනාවක යුද්ධයක් අවසානයේ අසා බැලුවොත් බොහෝ අයට තමන්ගෙ ඥාතියෙක්, මිතුරෙක්, හිතවතෙක් කුරිරු යුද්ධය නිසා අහිමි උනා. ආයෙත් පාරක් යුද්ධයක් අපිට අවශ්‍යද????

සැ. යු. ~ අපි යනුවෙන් ආමන්ත්‍රණය කෙරුවේ සිංහල වේවා දමිළ වේවා මුස්ලිම් වේවා තවත් ජන කොටස් වේවා සියළුම ආකාරයේ මනුස්ස ජාතියටයි.

© ප්‍රියා.
** 18/06/2014

(පින්තූරයට ස්තූතිය……
https://www.flickr.com)

99 comments:

  1. ලොයිඩ්ට නිවන් සුව අත්වේවා...

    ReplyDelete
  2. සුභ ගමන් ලොයිඩ්...

    ReplyDelete
  3. මේක ඇත්ත කතාවක් වෙන්න ඇති නේද...
    යුද්ධය ඉවරයි...
    අවුරුදු පහක්... ඒත් අපේ මිනිස්සුන්ගෛ හිතෙන් උංව මැකෙන්නෙ නෑ... ඒකට වේනන ඇති කෘතඥතාව කියන්නෙ..
    ඒත් කණගාටුව කියන්නෙ කිස්ම දේකින් අපේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නෙ නැති එක...
    මළ මිනී ආයෙමත් ගොඩගැහෙයි...
    උඹට අඩන්නට කදුළු නැතිවෙයි..
    ආ මග කෙටියි පුතේ...
    යා යුතු මග දුරයි..

    උඹ අගේට අකුරු කරල තියේ ප්‍රියා

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාවක් මහේෂ්. මගෙම ජීවිතේ එක පිටුවක්…

      ඇත්ත බං, ඔය කාලය අපිට ජීවිතේට අමතක වෙන්නෑ. ඒත් ලේ රහට ඉව අල්ලන පොඩි කොටසට තාමත් ඉන්නවා.

      මේ අවුරුදු පහට මෙහෙම නම් ඉදිරිය ගැනත් බයයි බං.

      Delete
    2. එත් ලේ රහට ඉව අල්ලන පොඩි කොටසක් තාමත් ඉන්නවා .ඔව් බන් සහතික ඇත්ත .

      Delete
    3. ඒකනෙ බං මේ ‍යුද්දෙම ආපහු ඉල්ලන්නෙ.

      Delete
  4. ආයිත් කවදාවත් යුද්ධයක්නම් එපා

    ReplyDelete
    Replies
    1. මුළු ලෝකයෙම හැම හදවතකම පැතුම ඕක වෙනවා නම්……………

      Delete
  5. උඹ මේවා කොච්චර ලිව්වත් මුන් හැදෙන්නෙ නෑ ප්‍රියා අපරාදෙ උඹේ කාලෙ.

    ReplyDelete
    Replies
    1. එක අතකට ඒකත් ඇත්ත හැලප අයියෙ. මේකත් එක්තරා කාලය කා දැමීමක් අපේ මිනිස්සු එක්ක.

      Delete
    2. අඩුම තරමෙ එකෙක් හරි අලුතින් යමක් හිතයිනෙ.

      Delete
    3. එහෙම උනොත් මගේ අහිංසක උත්සාහය සාර්ථකයි බං.

      Delete
  6. යුද්දෙ ඕනෙ යුද්දෙ රඟ දන්න අයට නෙවෙයි යුද්දෙ වෙලාවෙ තමුන්ගෙ තම්මැට්ටම බලාගෙන හිටි ගොබ්බසේනලාටයි.. ඒකයි උන් භේද අවුස්සන්නේ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම ඇත්ත සරත් අයියෙ. යුද්දෙ ඉල්ලන්නෙ යුද්දෙ රස්නෙ තරම නොදන්න උන්. ඒත් කරුමෙ අන්තිමට පිච්චෙන්නෙ ‍යුද්දෙ ඉල්ලපු නොයිල්ලපු ඔක්කොමයි.

      Delete
    2. යුද්දෙ රස්නෙ තරම නොදන්න උන් නෙමෙයි අයියේ උං හොදටම දන්නවා...දැනගෙනත් තමංගේ වාසියටම වැඩ කරන පක්කු හංදා තමයි ආයි මේ වගේ අත්දැකීම් ඇතිවෙන්නෙ

      Delete
    3. එක අතකට ඒකත් වෙන්න පුළුවන් බං. යුද්දෙත් හිඟන්නගෙ තුවාලෙ වගේ වවාගෙන කන්න පුළුවන් එකක්නෙ.

      Delete
    4. අන්න හරි වවාගෙන කෑම තමයී අපි දකින්නෙ.. හිඟන්න කොහොම හිඟන්නද තුවාල වේළුනොත් ?

      Delete
    5. ඔව් සරත් අයියෙ, තුවාලෙ වේළිලා සුව වෙනවට ගොඩක් හිඟන්නො කැමති නෑ. පාර පාර ඒකෙන් ගලන කුණු ගඳ විකුණන් කන්න ආසයි.

      Delete
  7. ලොයිඩ් වැනි කී දාහක් තරුණයෝ මේ බිම මත රැහිරු හෙලන්නට ඇතිද? සටහන ලියල තියන විදියට ආයිත් මමත් පන්ති ගියා වගේ දැනුනා. අවසන කඳුලක් දැස අග රැදිලා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නලින් අයියෙ. අපි ගොඩක් අයගෙ ජීවිතේ තුල මේ වගේ එක ලොයිඩ් කෙනෙක් ගැන හෝ මතකයක් තියෙනවා. ආයෙත් අපිට කාව වත්ම අහිමි කර ගන්න ඕන නෑ.

      Delete
    2. ඇත්තෙන්ම, බදුල්ලෙ හයර් ස්ටඩී එකේ අන්තිම පේලියකට මාව ඇදගෙන ගියා මේ ලිපියෙ මුල් ටික.

      Delete
    3. ඇත්තෙන්ම ඔය මුල් ටික ලිවුවෙ පුදුමාකාර සැහැල්ලුවකින් බං. ඒ ටික කාලෙට මාත් ආයෙම ඒ කාලෙ ජීවත් උනා.

      Delete
  8. ප්‍රියා පළවෙනියට ම අපේ ප්‍රණාමය උඹට

    ගමේ ගොඩේ හිටපු කොල්ලෝ ගොඩක් යුද්ධය වෙනුවෙන් ජීවිත පූජාකළා. කවුරු කොහොම මේක අරුත්ගන්වන්න හැදුවත් ඒ යුද්ධය වෙනුවෙන් මැරිච්ච කොල්ලෝ රටට වීරයෝ තමයි. රට රකින්න යන වෙලාවේ වීරයෝ වුණ උන් බහුතරයක් අද වන විට කකුල් නැති, අත් නැති, ආබාධිතයෝ වෙලා. ඒත් බස් එකකට නැග්ගම උන්ට සීට් එකක් නොදෙන රටක් මේක. උන් එදා කරපු කැප කිරීම වෙනුවෙන් දැන් කළගුණ සලකන්නැති රටක් මේක. ආමි එකේ උන් දෙවියෝ නෙමෙයි. උන්ට අමුතුවෙන් සලකන්න ඕනේ නෑ. ඒත් උන්ව පාගන්නැතුව හිටියනම් ඇති. ආමි එකේ ඉන්නේ කොන්ද පණ තියෙන, හිතේ හයිය තියෙන කොල්ලෝ. ඒකනේ රටක් බේරගන්න වෙඩි වරුසා මැද්දට බය නැතුව ගියේ.. ඒ නිසා අනේ පව් වගේ සැලකීම් උන්ට ඕනේ නෑ...

    කොහොම වුණත් ප්‍රියා උඹ ලියපු මේ ලිපියට බොහොමත් ම ස්තූතියි. ආමි එක කියන්නේ රටක ආරක්ෂාවට ඉන්න, පවත්නා ආණ්ඩුව විසින් පාලනය කරන්නා වූ ප්‍රධානතම රජයේ සේවකයන් පිරිසක්. ඉතින් ආණ්ඩුව දෙන නියෝග වලට ඔවුන් අනිවාර්‍යෙයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආමි එක එක්ක තරහා වෙනවාට වඩා හොදයි උන්ට නියෝග දෙන උන් එක්ක ප්‍රශ්ණය විසද ගත්තානම්. ආමි එකේ ඉන්නෙත් අපේ ම කොල්ලෝ කියලා හිතුවානම් ඕක හරියයි......

    ReplyDelete
    Replies
    1. ඇත්ත කුරුටු,

      ගමේ ගොඩේ කොල්ලො අනන්තවත් කොල්ලො විනාශ කලා. එක වෙලාවකට හිතෙනවා මේ අපේ ශ්‍රී ලංකාවමද කියලා. ඒ තරමට අපිට කළගුණ අමතක වෙලා. මතකනෙ මගෙ අර ආගන්තුකයා කතාව.

      උඹගෙ කමෙන්ට් එකේ අන්තිම කොටස තමා මට නම් වැදගත්ම ටික මම ඒ ටිකට තමා යථාර්තය. +++++++++++++++++++

      මේ තියෙන්නෙ ආගන්තුකයා…

      Delete
    2. \\ආමි එකේ උන් දෙවියෝ නෙමෙයි. උන්ට අමුතුවෙන් සලකන්න ඕනේ නෑ. ඒත් උන්ව පාගන්නැතුව හිටියනම් ඇති.//

      සහතික ඇත්ත ගී පවුරේ.. අන්න ඒ ටික විතරක් කලා නම් ඇති. මේක මහ කාලකණ්නි රටක්.

      Delete
    3. ඒක ඇත්ත මනෝ, එයාලටත් තවත් මනුස්සයො කොට්ටාසයක් විදිහට ජීවත් වේන්න දෙන එකයි විය යුත්තෙ.

      Delete
    4. ප්‍රියා,

      අපි මේ කතා කරන දේ තුළ විචාරක සිටිය යුතුයි කියලා හිතනවා. ඔහුගේ අත්දැකීම් අපිට බොහෝ දේ කියාවි. ඒත් ඇයි ඔහු කමෙන්ටුවක් දැම්මේ නැත්තේ. මං මේ ලින්ක් එක දෙන්නම්. ඔහු බොහෝ දේ කියයි. ඒවා සැබෑ අත්දැකීම්...

      Delete
    5. සැබෑ අත්දැකීම් ඇති පිරිස ගේ අත්දැකීම් සෑහෙන්න වටිනවා තමා කුරුටු.

      Delete
  9. අපේ හිතේ තියෙන දහසක් බල පොරොත්තු වගේම දහසක් දේ ඔබේ හිතෙත් තියෙන්න ඇති.
    ගැහෙන හදවත, දැනෙන වේදනාව, අපිට වගේම දැනෙන්න ඇති.
    සමීපතමයන් ලග නැති පාළුව ඔබටත් දැනෙන්න ඇති,
    ඒ හැමදේම හිතේ මිරිකගෙන,
    ගැහෙන හදවතට විලංගු දාලා,
    දැනෙන වේදනාව අමතක කරලා,
    සමීපතමයන් වනුවෙන් නැතත්, අප වෙනුවෙන්,
    මාරයා හිදිනු දැක දැක,
    ඉදිරියට ඇදුනු ඒ එඩිතර කම,
    ජීවිතය.......

    අප වෙනුවෙන් දිවිදුන් ඔබ සැමට ප්‍රණාමය....!

    ප්‍රියෝ වටිනා පොස්ටුවක් මචන්.
    ලොයිඩ් නුබට සුබ ගමන්...!

    ReplyDelete
    Replies
    1. පට්ටයි මචෝ,

      මේ මාතෘකාව ගැන කතා කරත්දි අපි හැමෝගෙම හිත් මේ තරම් සංවේදී වෙන්නෙ අපේ හිත් වල ඔය චරිත වීර චරිත නිසයි බං. ඒ කොල්ලො කරපු කැප කිරීම් අපිට අමතක නැති නිසයි.

      ඔහුන් සැමට අපගේ ප්‍රමාණ‍ය………!!!

      Delete
    2. නිමෝ... ඇත්තෙන්ම විශිෂ්ඨයි. නොදුටු නොදන්නා අප වෙනුවෙන් ඔවුන් ඔවුන්ගේ සමීපතමයන්ගෙන් ඈතට ඇදිලා ගියා..

      Delete
    3. නිමෝ උඹේ කමෙන්ටුවත් නියමයි බන් .

      Delete
    4. @ මනෝ, සඳ ~ සිරාවටම. අද නිමෝගෙ කමෙන්ට් එක පට්ට.

      Delete
    5. ප්‍රියා, මනොෂ්, සද වෙන් වී, කොමෙන්ටුව අගය කලාට තැන්කු වේවා....!

      මගේ ඇස් වලටනම් ඔය චරිත වීරයෝ තමා බන්.
      තමන්ගේ බිරිද , කිරිකැටියා, අම්මා, තාත්තා, සහෝදරයෝ, මේ හැමදේම දාලා යන්න වෙනවා කියලා දැන දැන කොහොමද බන් ඉන්නේ. ඒ වේදනාව ගැන මටනම් හිතන්නවත් බැරි තරම්. ඒ නිහතමානී චරිත වලට අපි ගෞරව කරන්න ඕනේ බන්. වෙඩි හද මැද්දේ ජිවිත කි දාහක් මරණෙට මැදි වෙන්න ඇත්ද..?

      Delete
    6. ඇත්ත බං ඔය කැපකිරීම් කරපු කොල්ලන්ට අපේම උන්ට කරන්න පුළුවන් ලොකුම උපහාරය, තවත් පරම්පරාවක් ඔය කුණු ගඳ ගහන යුද්දෙට ඇදලා නොදාන එකයි. ඔය තරම් කැප කි‍රීම් ක‍රේ ‍රට විනාශ කරන්න නෙමේනෙ බං.

      Delete
    7. \\තමන්ගේ බිරිද , කිරිකැටියා, අම්මා, තාත්තා, සහෝදරයෝ, මේ හැමදේම දාලා යන්න වෙනවා...//

      නිමෝ..

      ඉන්න ලෝකෙක ඉඳන් මේ විරුවන් අද හූල්ලනව ඇති, තමන් කරපු මේ කැපකිරීම් ගැන පසුතැවෙනවා ඇති. තමන් මේ පරිත්‍යාග කලේ මේ වගේ මිනිසුන්ටද කියල හිතෙනවා ඇති. ඔවුන්ගෙ දරුවන්ටවත් අනාගතයක් නැති රටක්නෙ මේක.

      ප්‍රියා..

      ඇත්ත මචං.. අපිට පුලුවන් දේ අපි කරමු බං, වචනෙකින් හරි.

      Delete
    8. අනිවා බං ඒ කොල්ලො හූල්ලනවා ඇති.

      අපි අපිට පුළුවන් තරමින් කරලා බලමු.

      Delete
    9. කතාවටම පෑහෙන කමෙන්ටුව නිමෝ

      Delete
    10. නිමෝ සිරා බන් කියන්න දෙයක් නෑ සුපිරි බන් ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    11. අපි කවුරුත් සටන් බිමට ගිහින් නෑ බන්......
      මට ඒ නිසා ඒ දේ මොනවගේද දැනෙන්නේ නෑ........

      තමන්ගේ අය නැතිවෙන දුක දැනුනම හොර රහසේ කොච්චරනම් අඩලා ඇත්ද? අපි ඒවා දැකලා නෑ.
      ඒවා දකින්න තරම් අවාසනාවන්ත නැතුව ඇති.

      ගෙදර යන්නේ කවදද? අම්මා දකින්නේ කවදද? නංගි මොනවා කරනවා ඇත්ද? වැඩකරන තැන එයාට කරදරද? බිරිද....? පොඩිඑකා...? කොහොමද ජිවත් වෙන්නේ. තනිකම පාළුව. නිදි දෙව්දුව වෙනුවෙන් ගහක් යට, ගලක් උඩ. දවස් ගානක් බඩගින්නේ......!

      උන් රටට ණය නෑ බන්. අපි උන්ට ණයයි. එක දැන දැන අපේ කාලකන්නි කරන දේ බලපන්.

      Delete
    12. ටැංකු වේවා බස්සි..

      Delete
    13. ටැංකු වේවා සහෝදර..

      Delete
    14. අනිවා බං. අපි ඒ තත්වෙට පත් නූනෙ ඒ කොල්ලො දිවි කැප කරලා රට බේර ගත්ත නිසයි.

      ඒත් අපි දැන් කරන්නෙ උන් නිදහස් කරලා දුන්න රට ආයෙම යුද්දයක් ඉස්සරහ උගස් තියන එකයි.

      //උන් රටට ණය නෑ බන්. අපි උන්ට ණයයි.// +++++++++++++++++

      Delete
    15. අම්මටහුඩු නිමෝ !! පෝස්ට් එකත් හරි උඹේ කමෙන්ට් එකත් හරි මස්සිනා !! මෙන්න පත්තරයගෙන් උඹට සැලියුට් එක..
      ඕ යේස් !!!

      Delete
    16. යුධ බිමේ හැටි ගැන කියන්න නම් මටත් හරි හැටි දැනුමක් නෑ. ඒත් යුධ බිමේ ඉඳලා ආපු ගොඩක් මිනිස්සු ආශ්‍රය කරලා තියෙන නිසා, ඒ හිත් වල තිබුණු බලාපොරොත්තු නම් මේ විදිහම බව හොඳටම දන්නවා. නිමෝ එතන නොහිටියට ඒ හැඟීම ඒ විදිහටම ගලපලා තියෙනවා.

      බිග් සැලූට් ෆෝ යුව' කමෙන්ට් නිමෝ!!

      Delete
    17. නිමෝගෙ අදහසට අපි හැමෝගෙම ආචාරය………

      Delete
  10. ජිවිතයේ කලු සුදු පැති.
    කෙනෙක් විනෝදයෙන් කාලය ගත කරනවා. ඒ වගේම තවත් කෙනෙක් තමන්ගේ ජීවිතය පූජා කරලා රට රකින්න.

    ගොඩක් මිනිස්සුන්ට මේ තත්ත්වය මතක නෑ. මොලෙන් ගහන්න ඕනෙ දේටත් අතින් පයින් ගහන්න ගිහිල්ලා නිකං අතපය කඩා ගන්නවා.
    ඒ අතිං අපේ මිනිස්සු පව්. කරන දේ දන්නේ නෑ නේ.

    යාලුවෙක්ගෙ කවියකින් හරි ඔයාව මේ පෝස්‍ටුව ලියන්න උත්තේජනය කරන්න ලැබුණු එක මට ලොකු ගෞරවයක් අයියේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පීරෙ, ඒ කාලෙ අපි පුදුම විනෝදයකින් හිටියෙ. අපි එහෙම ෆන් එකේ ඉත්දි අපි එක්ක හිටපු උන් මහා ගිනි ගොඩක පිච්චිලා. අළු වෙලා.

      අපේ උන් ඔක්කොටම ඕන යුද්ධෙ විතරයි බං.

      Delete
  11. ඔය දැන් බෙදා ගන්න හදන්නේ ඒ ලේ වලින් පෙගිච්ච මහා පොලොව නේ

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නාඩියො. අපි උන්ගෙ ලේ වලට වටිනාකම ගෙවන්න යන්නෙ තවත් යුද්දෙකින්.

      Delete
  12. ඉතාම සංවේදී සටහනක් මචං. ජීවිතේ යම් යම් දේවල් ගැන අපිට අලුතින් යමක් හිතන්න ඉතිරිකරපු ලිවීමක්. මේක ප්‍රියාගෙ ජීවන අත්දැකීමක් කියල උඩ කියල තියෙනවනෙ. ඉතින් මේක උඹට වෙන කාටත් වඩා හැඟීම්බරව දැනෙන බව මං දන්නවා. ඇත්තටම සමාජෙ සමහර මිනිස්සු ඉන්නවා, අපි සත් පහකට ගනන් නොගන්න, සමහර වෙලාවට අපි උන්ව ජෝක් එකට ගන්නවා. ඒත් අපි නොහිතෙන ගැඹුරක් ඒ ජීවිත වල තියෙනවා සමහර විට. අපි ජීවිතේ සැහැල්ලුවට අරං බොහොම විනෝදන් කාලය අපතේ යවමින් ආතල් ගන්නකොට ඔවුන් සමහර විට අපි නොහිතෙන දේවල් කරනවා මේ ලෝකෙ වඩා යහපත් තැනක් බවට පත්කරන්න.

    මේ කතාවත් ඒවගෙ. හිටපු පුංචි කාලෙන් ඔහු ඔහුගේ උපරිමය සමාජය වෙනුවෙන් කැපකරල තියෙනවා. අපි ආතල් ගන්නකොට ඔහු නිහඬවම අපි අතරින් මැකී ගිහින්. ඒත් පරම්පරා ගානකට ඔහුගේ මතකය අමතක නොවන අයුරින් මැකී ගිහින්. මේ රණ විරුවා මිය ගියත් ඔහුගේ සුවඳ යහගුණය අපිට ඉතිරි කරලා. කාලය දිහා ආපස්සට බලනකොට අද අපි යථාර්තය තේරුම් ගෙන. ඒකම ගොඩක් වටිනවා. ඒ වගේම අපිට දැන් තියෙනවා ලොකුම ලොකු වගකීමක්, යුතුකමක් මේ ලෝකය වෙනුවෙන්. ඒ, ඔහු විසින් බේරගන්න ලද රට, ඔවුන් වෙනුවෙන් රැක ගැනීම. ඔහු ඔහුගේ යුතුකම කලා. දැන් තියෙන්නෙ අපේ වාරෙ. ඒ යුතුකමට වටිනාකමක් එක්කරන්න ඕනි කාලෙ.

    මේ කුණුවෙලා ගඳ ගහන සමාජෙ ආයෙ උඹ උපදින්න එපා ලොයිඩ්.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ යුතුකම වගකීම අපි තමා මනෝ ඉටු කරන්න ඕන. ඒ විරුවො අපිට ඉතුරු කරලා ගි‍ය රට ආයෙමත් යුද්දෙකට තල්ලු කරලා දාන්න වචනෙකින්වත් දායක නොවෙන එකයි අපි කල යුත්තෙ.

      ඔව් බං ඒ කාලෙ මම පවා වැරද්දක් කලේ ඒක කොලු කමද බලු කමද මන්දා බං. මේක ඔක්කොමට වඩා තදට මට දැනෙන්නෙ ඒ නිසාමයි.

      ඇත්තටම අපි ලොයිඩ්ගෙ මරණෙන් ඉගෙන ගත්තෙ ලොකු පාඩමක්.

      Delete
  13. ඔව් බන් අපි දන්නේ නැති උනාට නිහඬ හිත් තුල දහසක් දේවල් සැඟ විලා තියේ .


    ලොයිඩ් උඹ නැවත මේ අපත හිපටුවෝ ටික අතරම ඉපදීලා ඇති කියලා මා විශ්වාස කරනවා .

    ReplyDelete
    Replies
    1. කතාවකුත් තියෙනවනෙ නිසල මුහුදෙ රහස් වැඩියි කියලා. ඒක ඇත්තම තමා.

      ලොයිඩ් ඉපදිලා වෙන්නත් පුළුවන්.

      Delete
  14. ලොයිද්ට සුභ ගමන් ... මිනිසුන්ට හැමදේම අමතක් තියෙන්නේ සති දෙකයි , ලොයිඩ්වත් මිනිස්සුන්ට මතක් තියෙන්නේ එච්චරයි. එක තමයි අපි අකමැති කටුක යථාර්තය

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්… අපේ මිනිස්සුන්ට ඉක්මනටම මේ අතීතෙ අමතක උන නිසානෙ දැන් ආයෙම යුද්දයක් ඉල්ලලා නහයෙන් අඬන්නෙ. උන්ට දැනටම ලොයිඩ්ලව පමණක් නෙමේ අතීතෙම අමතකයි.

      Delete
  15. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි අර ආමි ඇඩ් එකේ තේමා පාඨය "අපි වෙනුවෙන් අපි" එක එහෙම කිව්වකිද බන් මට හිතෙන්නේ එක වෙන්න ඕනා "අපි වෙනූවෙන් උන්" කියලයි මට හිතෙන්නේ ..... අද අපි මේ ටික කරගෙන ඉන්නේ එදා උන් කරපු ඒ කැප කිරීම නිසා නේද
    ලොයිඩ් ඇතුළු ඒ විරුවන් සැමට නිවන් සුව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මැලයො, ඔය තේමා පාඨ‍ය නිවැරදි විදිහට නම් 'අපි වෙනුවෙන් උන්' කියලා නිවැරදි විය යුතුයි. මොකද අපි වෙනුවෙන් දිවි පුදකලේ ඒ විරුවොයි.

      අපි මේ විදින නිදහස උරුම ඒ විරුවන්ටයි.

      Delete
  16. ලොයිඩ්ට නිවන් සුව..!!
    ඇත්තටම බං මේ සමාජෙ පුදුම චරිත තියනව තේරුං ගන්න අමාරු.. පිටතින් නිදහස්ව සරළව පෙනුනට ඇතුළතින් ගොඩක් ගැඹුරු අදහස් තියෙන..

    ලොයිඩ් වගේ වීරයන්ගෙ ජීවිත පුදල තමයි මේ රටට නිදහසේ හුස්ම ගන්න ලැබිල තියෙන්නෙ..
    ඒත් මහලොකු දේශප්‍රේමියො කියාගන්න සම හරක් ටිකකට ඕන වෙලා ආයි මේ පොළොව ලේ වලින් තෙත් කරන්න.. උන්ට යුද්ධෙ නැතුව පාළුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අසංක,

      ඒ නිහඬ චරිත තුල ඇතම් විට ගැඹුරු මිනිසුන් ජීවත් වෙනවා.

      ඒ වගේ කොල්ලන්ගෙ ලේ කඳුළු වලින් තමා මේ නිදහස අපි අද විදින්නෙත්.

      Delete
  17. අපි මේවා ගැන කොච්චර ලිවුවත් ඒවයින් කවුරුවත් වැඩක් ගන්නේ නෑ බං.. උන් ඉන්නේ උන්ගේම මතකය..

    ReplyDelete
    Replies
    1. ඒ දේ මතක් වෙත්දි හිතෙන්නෙ. අපි මේවා ලියලා අපෙම ඇඟේ ලේ කෝප කර ගන්නවා කියලා බං

      Delete
  18. මෙ වගෙ විරුවො කරපු පරිත්‍යාග හැල්ලු වෙනව දැන්වෙන දෙවල් වලින්.වනවාසල කියන්නෙ මට හුගක් හුරුපැත්තක්.උබ එ හරියෙද.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා ලොකුම දුක දමිත් අයියෙ. එක යුද්දයක් ඉවර කලේ තව යුද්දයක් පටන් ගන්නද?

      මම අයියෙ, දළුගම. නුවර පාරෙ.

      Delete
  19. ලොයිඩ් වගේ උන් රටට ණය නැති උදවිය ,මටත් මතක් වුනා ප්‍රියා එ දවස් .......
    හිතට වැදුනා ..(.ලොකු දෙයක් කියන්න බයයි මේ දවස් වල කොටන එවා හෙණ වගේ අනික් පැත්තට පත්තු වෙනවා ;))) )

    ReplyDelete
    Replies
    1. සිරාවටම ලොයිඩ්ලා රටට ණය නෑ බං.

      ඔන්න ඔහේ කියලා දාහන් සහෝ. ;)

      Delete
    2. ලියලා දාපං සහෝ!! ලියන්න බය වෙන්න එපා. ලියන දේ තමන්ට හරි නං ඒක කාට වැරදියට පෙනුණත් මොකෝ??

      Delete
    3. අනේ මන්දා බං සහෝට මක් වෙලාද කියලා.

      Delete
  20. ලොයිඩ්ට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  21. මුල ටික කියවන විට අපිව ඒ කාලයට ගෙන යන විදියට ලිවිම හරි අපුරුයි මල්ලියා....
    ආපහු කොල්ලන්ව බිල්ලට යවන්න වේස හැත්තක් දගලන හැටි පේනව නේද......
    මේව සේරම කරන්නෙ හීන වේගන යන බලය රැක ගන්න කරන ප්‍රයෝග......
    එවුන්ට නැති වෙන ජිවිත ගැන වැඩක් නැහැ.....
    ලොයිඩ් ....... සුව නින්දක්'''''''!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ.

      සම්පූර්ණයෙන් ඇත්ත. මුන්ට ඕන රටම බිලි දීලා හරි 'බලය'. කරුමෙ කියන්නෙ උන්ගෙ කපටි සැලසුම් අපේ උනුත් බහුතරය දොහොත් මුදුන් දීලා බාර ගන්න එකනෙ.

      Delete
  22. ඉතාම අපූරුවට අකුරු කළ සංවේදී කතාවක්. කුණු ගොඩවල් ලියන උන් අතරෙ මේ වගේ බ්ලොග් පෝස්ට් එකක් කියවන්න ලැබීමත් වාසනාවක් ප්‍රියා.
    ආපහු යුද්දෙකට මේ රට තල්ලු කරන්න ඉඩ නොදෙන එක අපි හැමෝගෙම වගකීමක්. දැන් පේ න හැටියට ඒකට නම් සෑහෙන්න මහන්සි වෙන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගම්ලත්.
      ආපහු මේ රට යුද්දෙකින් බේර ගන්න එක අපි හැමෝගෙම වගකීමක් කියන එක අපි හැමෝම තේරුම් ගත්ත දාට මේ ප්‍රශ්ණ ගොඩක් විසදේවි.

      Delete
  23. විරුවෙක් විලාසෙන්ම වෙන්වී දැයේ
    රතු මල් පිපේවී නාමෙන් ඔබේ..

    කියන්න දෙයක් නෑ යාලුවා.. ඔය එකෙක්. මැරුණා .එක අතකින් වාසනාවන්තයි.. අතපය නැතුව මැරි මැරි ජීවත්වෙන කොල්ලන්ට වඩා !!!!

    ReplyDelete
    Replies
    1. මතකයි එදා ඈත රණබිම් පුරා
      සටනේ වැදීලා දෙන්නා එදා
      නොසිතූ නිමේශෙන්.. මරු හා ගියේ
      මව් භූමියේ ලේ ගංගා ගලා


      ඥාතීන්ට හිතමිත්‍රයන්ට වගේම, නිකමට හිතන්න එතන එක ලඟ එකටම කාලා බීලා, එකටම නිදිවරලා, එකට දුවලා පැනලා එකටම බඩගාලා පෙරලිලා දුක් විඳලා එකටම ඉදලා මැරුණු සහෝදර සෙබලෙක් මතක් වෙද්දි, එතන ඉතුරු වුණ අනෙක් සෙබලාට දැනෙන විදිහ??
      යලුවා වෙඩි වැදිලා බිමට ඇදගෙන වැ‍ටුණු තැන දින පතා දකිනකොට, ඒ කටින් අන්තිම හුස්මත් එක්ක පිටවුණු අන්තිම වචන වල තිබුණු අහින්සක බලාපොරොත්තු මතක් වෙනකොට,කොහොම දුකක් ඇද්ද?? කොහොම හැඟීමක් දැනෙනවා ඇද්ද??

      Delete
    2. ආයෙ ඇවිත් මේකා :D

      ඔව් බං, ඒක අපිට හිතාගන්ඩවත් බෑ.. සිරාවටම !!!

      Delete
    3. @ පත්තරේ, එක අතකට ඔව් බං. දැන් අත පය නැතිව් දුක් විඳින කොල්ලො දැක්කම ඒකත් හිතෙනවා බං. මේ වගේ කීදාහක් ඇත්ද?

      Delete
    4. @ පීරෙ, ඒ ගැන නන් හිතත්දිත් අමාරුයි බං. අපිව ආස්සරේ කරපු එකෙක් මැරුණ එක අපිට මෙහෙම දැනෙනවා නම් ඇස් ඉස්සරහා මැරෙනවා දැක්කොත්??????

      Delete
    5. මං මේ කිව්වෙත් ඔය පත්තරේ කියලා තියෙන විදිහේ, අත පය නැතුව දුක් විඳින කොල්ලො ගැන තමයි බං. ඒ කොල්ලො ගොඩක් විඳවන්නේ උංගේ අත පය නැති අඩුව නෙවෙයි, උංගේ අතපය කැඩිලා අහකට විසිවෙද්දි, උංව බේරගන්න ඉස්සරහට ඇවිල්ලා, ජීවිතයම අහකට විසිවුණු ඒ සගයන්ව මතක් වෙනකොට ඇතිවෙන දුක තමයි උන්ටත් තියෙන්නෙ.

      පුළුවන්නං වෙලාවක "අභිමංසල" [අනුරාධපුර, මාතර, කුරුණෑගල], "මිහිඳු සෙත් මැදුර" [අත්තිඩිය], සහ රණවිරු සෙවන, කියන ආයතන වලට ගිහිල්ලා, ඒ තැන්වල ප්‍රතිකාර ලබන, රට වෙනුවෙන් අතපය කැප කල ඒ විරුවන් එක්ක පොඩ්ඩක් කතාබහ කරන්න.

      ඒ කොල්ලන්ට තමුන්ගේ නැතිවුණු අතපය ගැන තියෙන වේදනාවට වඩා, තමුන් එක්ක ඉඳලා මැරුණු සගයන් ගැන මතක් වෙන එක වේදනාවක් කියලා උංගෙම කටිං අහගන්න පුළුවං.

      ඕනෙම තදයෙකුගෙ ඇහැට කඳුලක් ගේන්න පුළුවං විදිහේ කඳුලු කතාවක් ඒ හැමෝටම තියෙනවා. ඒ එකක්වත් තමුන්ගේ අතපය ගැන නෙවෙයි, එකට ඉඳලා මැරුණු යලුවෝ ගැන කතාවක්.

      Delete
    6. //ඕනෙම තදයෙකුගෙ ඇහැට කඳුලක් ගේන්න පුළුවං විදිහේ කඳුලු කතාවක් ඒ හැමෝටම තියෙනවා. ඒ එකක්වත් තමුන්ගේ අතපය ගැන නෙවෙයි, එකට ඉඳලා මැරුණු යලුවෝ ගැන කතාවක්.// +++++++++

      එච්චර දේවල් වෙලත් තම්න්ටත් වඩා ඒ කොල්ලො අනිත් එකා ගැනයි දුක් වෙන්නෙ.

      Delete
  24. ලොයිඩ්ට නිවන් සුව පතනවා..........! නියමයි අයියා. කාලෙටම ගැළපෙනවා දාපු එක.

    ReplyDelete
    Replies
    1. අපිත් නිවන් සුව පතමු ලොයිඩ් ට.

      Delete
  25. මට මතක් උනා අසංක කියලා ගුවන් හමුදාවේ ඉදලා ජිවිතෙ න් වන්දි ගෙවපු අයියා කෙනෙක්..

    පෝස්ටුව ගොඩක් දැනුණා ප්‍රියා ඇයිද මංදා ...

    පාසල් කාලෙත් මතක් උනා ...

    ලොයිඩ් ට නිවන් සුව පතනවා :(

    ReplyDelete
    Replies
    1. හැමෝම දන්න කවුරුම හෝ කෙනෙක් ඒ කුරිරු යුද්දෙ නිසා වන්දි ගෙවුවා රෙහානි. දැන් ආයෙම පාරක් අපි අහිමි කර ගන්න යන්නෙ අපේම උන්වයි.

      Delete
  26. යුද්ධයේ අමිහිරි අත්දැකීම් බොහෝ අයට අමතක වී යන යුගයක මෙවැනි පෝස්ටුවකට හිමිවෙන වටිනාකම බොහොම වැඩියි. මේ තේමාවට ලිවිය හැකි සත්‍ය කථා මා සතුව තියෙනවා. ඒවා ඉදිරියේදී යුනිකෝඩ් බවට පත්වෙයි.

    කොහොමත් යුධ සෙබලා සමාජයේ ගෞරවය ලබන්නේ බොහොම කෙටි කාලයයි. ජයග්‍රහණයේ උණුසුම අවසන් වීගෙන යද්දි යුධ සෙබලා කියන චරිතයත් ඒ සමගම අමතක වෙනවා. නමුත් ඒ වැරැද්ද අප කල යුතු නෑ...ඔහුට හිමි නිසි ගෞරවය සදාකල් පුදන්නට අප වග බලා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිරා අයියෙ.

      යම් ‍යම් හේතූන් මත යුධ විරුවා ‍යන චරිතය අමතක වී 'හමුදා කාරයා' චරිතය ජන සමාජයේ මුල් බැසගනිමින් සිටින කාලයක්.

      බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ අත්දැකීම් ටිකත් ළගදීම ලියවෙයි කියලා

      Delete
  27. ලොයිඩ්ට නිවන් සුව පතමි!

    ReplyDelete
  28. සරත් කියන කතාව ඇත්ත. ඒ නිසා තමයි මුන් ලේම ඉල්ලෙන්නේ. බඩගින්නේ හිටිය කෙනෙක් තමයි බඩගින්නේ අමාරුව දන්නේ. දැන් වෙන්නේ පාර්ලිමන්ට් ජෝක්ස් නෙමේ ඉන්ටනැෂනල් ජෝක්ස්!!

    ReplyDelete
    Replies
    1. //ලේම ඉල්ලෙන්නේ///
      ලේ ඉල්ලන්නේ.

      Delete
    2. ඇත්ත අරූ අයියෙ. ඔය ආදායම් මාර්ගය අහිමි උන කාළකණ්නි තමා ආයෙත් යුද්දයක් ඉල්ලන්නෙ.

      උන්ට ඕන ආ‍යෙත් පාරක් ආදයමක්.

      Delete
  29. ෙලායිඩ් ට නිවන් සුව පතමි....

    ReplyDelete
  30. ලොයිඩ ට ආචාරය පිරිනමමු.

    එත් යුද්ධ එපා කියුවත්, නැවත නවමු ආකාරයක සංග්‍රාමයක් ආණුඩුව විසින් පෝෂනය කරමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නිර්මලා අක්කෙ.

      ඉක්මනටම අපිට ආයෙත් පසුතැවෙන්න කාලයක් උදා වේවි මෙහෙම ගියොත්.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................