16 March, 2014

කාම ධේනුවකවූ යුවතිය…!!


පසුගිය දිනෙක සති අන්ත 'මවුබිම' පුවත්පතේ පලවූ විශේෂාංග ලිපියක් නිසාවෙන් මෙවන් සිතුවිල්ලක් ලිවීමට සිත් විය.

එම විශේෂාංගයෙ සදහන් වූ කතාව නම් එක් සාර්ථක ව්‍යාපා‍රිකයෙක් හා අතිශය ක්‍රියාකාරී සමාජ සේවිකාවක වන අඹුසැමි යුවලකට දාව උපදින දියණියගේ කතාවය. එයට අනුව ඇය තම ව්‍යාපාරික පියාව දකින්නෙම දින කිහිපයකට වරකි. සමාජයටම මවක් වූ සමාජයටම සේවය කරන මවද එසේමය. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හැදෑරූ ඇය මවව දකින්නේද ඉදහිටය. ඒ දිනය උදාවන්නේද ඇයගේ රැස්වීම් උත්සව හෝ සරීර සුවතා ව්‍යායාම සදහා වෙන් කල දිනක් නොවේ නම් පමණි.

මෙසේ තිබියදී ක්‍රමයෙන් වැඩි වියට පත් දියණියට නිවසටම ගෙන්වා තරුණ ගුරුවරයෙකු ලවා ටියුෂන් දීමටද දෙමාපියන් පෙලඹී ඇත.

කෙසේ හෝ ඇයට දිනක ඇගේ පාසල් මිතුරියකගෙන් නිල් චිත්‍රපටයක් ලැබෙන අතර මව පියා නොමැතිව අසීමිත නිදහසක් ඇති නිවසේ ඇය එය නරඹන අතර ක්‍රමයෙන් ඇය අසභ්‍ය දර්ශණ නැරඹීමට ඇබ්බැහි වී ඇත. එපමණකින් නොනැවතුන ඇය ඇගේ ටියුෂන් ගුරුවරයා ගෙන් ඇගේ ආශාවන් සපුරා ගැනීමට පෙලඹී ඇත.

පසුව ඇගේ මව මෙය දැනගෙන අදාල සම්බන්දය බිද දැමූ පසු අදාල යුවතිය තවත් පි‍රිමින් පස් දෙනකු සමග නිවසින් පිටදී කම් සුව සොයා තහනම් ගහේ බඩ ගා ඇත.

මෙම සියලු විස්තර සවිස්තරාත්මකව දක්වන අදාල පුවත්පත් විශේෂාංගය තම මුග්ධ බාවය ප්‍රදර්ශණය කරමින් අවසානයේ මෙහි සියළුම වගකීම කැරෙනුයේ කොහේවත් සිටින 'අවතාරයකටය'. එයට අනුව යුවතියගේ ඇඟට රිංගා සිටින භූතයෙකුගේ ආනූභාවයෙන් දකින දකින පිරිමියා සමඟ ලිංගික ඇසුරක් පැවත්වීමට ඉඩ සලසා ඇත.

'ලිංගිකත්වය මැජික් එකක් විය යුතු නැත' යන තර්කය අපද පිළිගනී. නමුදු යෞවන යෞවනියන් එය අවබෝධයෙන් කල යුතුය. නැත්නම් සිදු වන්නේ කොතනකදී හෝ විනාශ වී යන්නටය.

මෙම යුවතියගේ ජීවිතය විනාශ වීම පිළිබඳව වගකිව යුත්තේ මූලික වශයෙන්ම ඇගේ දෙමාපියන් බවට අවිවාදිතය. නමුදු අවාසනාවට වගකීම් සහගත පුවත් පතකින් කර ඇත්තේ මෙවන් වරදකාරී දෙමාපියන්ට සුදු හුණු ගා කොහේවත් යන භූතයෙක්ගේ කර පිටට වරද දමා අත පිහදා ගැනීමයි.

කොහොටමත් අපේ මිනිසුන් නොපෙනෙන බලවේගවල එල්ලී තම ගෝත්‍රික බාවය බව පෙන්වීමට දක්ෂය. මෑතකදී සහෝදරද ඒ පිළිබද සටහනක් තබා තිබුනි.

මේ වන විට මුද්‍රිත මාධ්‍ය තොග වශයෙන් ගෙඩිය පිටින් මිත්‍යාව පතුරවමින් සිටී. අවාසනාව නම් ඉහත කී සිදුවීම වැනි කතිකාවතක් ඇරඹිය යුතු, අනෙක් දෙමාපියනුත් ආදර්ශයට ගත යුතු ගැටළු පවා ඔහුන්ගේ වාසිය තකා මිත්‍යාවේ කඩතුරාවෙන් වසා දැමීමය.

සැබවින්ම ඉහත කී සිදුවීමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ එම යුවතියගේ දෙමාපියන් දෙපළය. ඇය පිලිබද නිසි අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් ඇය ඇයගේ ආශාවන් සපුරා ගැනීමට දකින දකින පිරිමියා සමඟ නිදි වැදීමට කැමති යුවතියක බවට පත් විය.

මෙසේ තම එකම දියණියගේ අනාගතය අඳුරු වනතෙක් ඇස් පියා විසූ දෙමාපිය දෙදෙනාට තමන් කල වරද කොහේවත් යන භූතයෙක්ට පවරා ලෝක අපවාදයෙන් බේරුනත් තම හෘදය සාක්ෂියෙන් බේරිය හැකි වේවිද?????

© ප්‍රියා.


(පින්තූරයට ස්තූතිය……
http://sacredjourney.tv)

67 comments:

  1. වැරදි කාරයා පෙනී පෙනී අනික් මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්න දක්ෂම ජාතිය සිංහලයෝ වෙන්න ඕනා

    ReplyDelete
    Replies
    1. ඇත්ත මැලේ, මොනයම් හෝ වාසියක් තකා වැරදි කරුවන් නිවැරදි කරුවන් කර පෙන්වීමට අපි හරි දක්ෂයි.

      Delete
  2. ළමයෙක් හොද මාර්ගයක හරි වැරදි මාර්ගයක හරි ගමන් කරන්නේ දෙමාපියන්ගේ කල් ක්‍රියාවන් අනුව කියලයි මම නම් තරයේ විශ්වාස කරන්නේ....මේ වගේ දේවල් වලින් අපි ඉගෙන ගත යුතුයි අනාගතේදී අපේ ළමයි ගැන අවදානයෙන් කටයුතු කරන්න...ඇත්ත ලෝකය හදන්න අපිට බෑ ඒත් ඉතින් තම තමාගේ පවුල් තම තමාම ආරක්ෂා කර ගන්න උත්සහ කරොත් ලෝකයේ කොනක හරි මේ වගේ කතා බිහි නොවි තියෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ශානු, බොහෝ දුරට මාපියන්ගේ හැසිරීම දරුවන්ගේ අනාගතය වෙනස් කරනවා. ඒත් එසේ නොවන අවස්ථාද නැතිව නොවේ. අපි දැන ගත යුත්තෙ ඒ අනාගතය සුබවාදී කරන්නයි.

      ලෝකය හැදිය නොහැකීයි. අපි උත්සහා කල යුත්තෙ මෙවයෙන් ආදර්ශ ගැනීමයි.

      Delete
  3. කෙල්ල කොයි පළාතෙද දන්නෙ නෑ නේද ප්‍රියා

    ReplyDelete
    Replies
    1. ඕකුන් වැදගත්ම දේ වාර්තා කොරලා නෑනෙ හැලප අයියෙ. හි… ;)

      Delete
    2. ඇයි හැලපේ මේ නහින දෙහින කාලේ අතට අරන් පිඹ පිඹ ඉන්න හිතුනද ? :)

      Delete
  4. මේකනේ.. අපේ මිනිස්සු තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ වහගෙන අනිත් එකෙක්ගේ පොල් කෙන්ද දකින්නහරිම දක්ෂයි නේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නාඩි, අපේ මිනිස්සු තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ වහගන්නෙ අනුන්ගෙ ඇහේ තියන පොල්කෙන්දෙන්. උන්ට තේරෙන්නේ ටිකක් වැහුනට අනික්වා පේනවා කියලා.

      Delete
  5. ලංකාවෙ මිනිස්සු හරි දස්සයිනෙ බන් වැරැද්ද අනුන් පිට පටෝල තමුන්ගෙ අතපිහදාගන්න...දැන් ඉතින් කෙල්ලව බූතයටම දීල නිකා ඉන්න තියෙන්නෙ :D

    ReplyDelete
    Replies
    1. දැනටත් ඒ කෙල්ල බූතයන්ගෙ බාරෙ ඉන්න එකෙ නිල වශයෙන්ම බාර දෙන එක නම් සිරාවටම වටිනවා බං. අපෙ උන් කවදා හැදෙයිද මන්දා.

      Delete
  6. ඕවා තව ඉස්සරහට තවත් වැඩි මිසක් අඩුවක් නැහැ මල්ලි...මුධ්‍රිත මාධ්‍ය ගොන් පගර නැට්ටල හරි දෙයක් කරනවද බං ...දෙක තුනක් එක නමාගෙන පිස්සු කෙලිනවා මිසක්...
    පටං ගන්න අක්‍ෂරයෙන් ...තැනම ලොප්.... අපේ ..හුචක්කු මාද්දි අයියලාට ගොඩක් වැඩ කරන්න තියෙනවාය ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කෙන්ජි අයියෙ දැන් දැන් නම් තරුණ පරම්පරාව වෙනුවෙන් වෙන්වූ පුවත් පත් පවා ඔය මිත්‍යාව පතුරවන වැඩේට කර ගහනවා නොවැ.

      පුවත් පතක් ගත්තම ඒකෙ භූතයො, තක්කඩි කට්ටඩියො වැහි වැහැලා.

      Delete
  7. භූතයින්ට කරන්න බැරි දෙයක් නෑනෙ බලාගෙන ගියාම :)

    යොවුන් වයසෙ දරුවන්ගෙ හොඳම මිතුරන් විදිහටයි දෙමව්පියො ඉන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොගේ උඩ තියන බැනර් එක හරිම නිර්මාණාත්මකයි.. කවුද හැදුවෙ, ප්‍රියා ද ? :)

      Delete
    2. ඇත්ත චන්දන අයියෙ. භූතයන්ට මේ වන විට කල නොහැකි දෙයක් නෑ.

      ඇත්තටම දෙමාපියන් මිතුරන් සෙව් ලං වීම තමා කලයුත්තෙ.

      ඔය බැනර් එකට ෆොටෝ එක හදලා දුන්නෙ සිතුම් පැතුම් (රයිටර්) මම කලේ වචන ටික කොටා ගන්න එක විතරයි.

      බ්ලොගට ඔමා, රයිටර් ඇතුළු බොහෝ අයගෙන් මම උදවු අරන් තියනවා. :)

      Delete
  8. හ්ම් ඇත්තටම මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ.
    දෙමවුපියන්ගේ නුගත් කමද මෝඩ කමද නොතේරුම් කමද කියලා කව්ද දන්නේ.
    අපිට තියෙන්නේ මේවා අනිත් අයට දැනුවත් කරන එක.
    ඉතින් අන්තිමට ඒ ළමයට මොකෝ වෙලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ ඩොක් අයියෙ නූගත් කමටත් වඩා මෝඩ කම. එයාලා කරන මෝඩ වැඩ අන්‍තිමට යන්නෙ අසරණ දරුවන්ගෙ පිටින්. අවසානයේ ඔහුන්ගෙ ජීවිත කාළකන්නි වෙනවා.

      Delete
  9. කතාව ඇත්ත ප්‍රියෝ. පත්ත‍ර‍යක් ගත්තොත් කට්ටඩි කතා වැහිවැහැල. බූතයො වෙන කවුරුත් නෙමෙයි ඇස්කන් පියාන හිටපු දෙමවුපියො. මෙහෙමයි, සමහර එවුන් ඉන්නව ඉතින් දෙමවුපියො තියා සක්කරයටවත් හදන්න බෑ. ඒත් ගෑණු ළමේක් ගැන මිට වඩා සැලකිලිමත් වෙන්න එපැයි අම්මල තාත්තල උනාම.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බස්සි, ගොඩක් පත්තර වලින් පුම්බන පුහු වීරයො තමා ඔහොමකතා පතුරවන්නෙ.

      ඇත්තටම දරුවන් ගැන දෙමාපියන් මීට වඩා සැළකිලිමත් විය යුතුයි. එසේ නොවී අවසානයේ භූතයන්ට බැනලා වැඩක් නෑ.

      Delete
  10. මෙතන ඒ ළමයා, දෙමව්පියෝ, වරදට යොමු කරපු යාලුවො මේ හැමකෙනෙක්ම වැරදියි. හැබැයි අන්තිමට වැරද්ද පටවලා තියෙන්නෙ වෙනම තැනකට. හරියට කැකිල්ලෙ රජ්ජුරුවොන්ගෙ නඩු තීන්දුව වගේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි චාම්ස්, මේක කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ තීරණයක්ම තමා. ඒත් ඉතින් ඔය කාටවත් තමන්ගෙ හදවතින් නිදහසක් හම්බ වෙන්නෙ නම් නෑ කවමදාකවත්.

      Delete
  11. සමහර විට ඔය කේස් එක මේම වෙන්නත් පුලුවන් ප්‍රියා...
    ඔය දුවට සුදුහුණු ගාන්න හිතාන ඔය බොරු බූත කේස් එක පටලවල දැම්මද කියන්න පුලුවන්නෙ... මොකද ලංකාවෙ ඉන්න හුගක් අන්ධ විශ්වාස වල එල්ලිලා ඉන්න උංට ඕව ඇත්ත වෙනවනෙ.. එතකොට දුවටත් සුදුහුණු පාරක් ඉබේම ගෑවිලා... එයාලට එන චෝදනා වලිනුත් නිදහස්... ඒ වගේ දෙයක් වෙන්න බැයිද... මොකද බූතයන්ට පුලුවනෑ ඕම කරන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම මහේෂ්, ඒක තමා වී ඇත්තෙ. ඔය කතාව පිලිගන්න සමහරක් ටික හිතන්නෙ ඔය කා අතවත් වරදක් නෑ. මේ භූතෙයෙක් ඇඟට වැහුන නිසා තමා ඔය ඔක්කොම කියලා.

      Delete
  12. ලංකාවෙ මාද්‍ය වලට වඩා තියේනනෙ විචාරය කිරීමේ කලාවක්. ප්‍රවෘත්තියක් ගැන අැති බායිර තොරතුරු ඉදිරිපත් කරලා තීරණයක් ගැනීමේ අවකාශ්‍ය පාඨකයාට ඉදිරිපත් කරනාව‍වෙනුවට මෙහෙ අය තමුන් හිතන මතිමතාන්තර ලියන්න අරගෙන තියනවා.එයාල හිතනවා හැමදේ ගැනම විශ්ලේෂණ,නිගමන,විචාර ඉදිරිපත් කරන්න තරං සකල කලාවෙහි සකල විද්‍යාවන්හි අගතැන්පත් උදවිය තමයි ඒ අය කියලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම අමිල, එය නම් මුද්‍රිත මාධ්‍යට වගේම විද්‍යුත් මාධ්‍යටත් පොදුයි. ඔහුන්ම පුවත කියවා එම පුවත් විශ්ලේෂණය කර එයට අර්ථකතනයකුත් ඉදිරිපත් කිරීම තමා වත්මන් මාධ්‍ය වල ප්‍රධාන කාර්‍යය.

      Delete
    2. හරියටම හරි අමිල......වාර්තාකරනයයි.,විචාරයයි, විශ්ලේෂනයයි, මඩ ගැහීමයි,ගොනාට ඇන්දීමයි, ප්‍රබන්ධකරනයයි, කඩේ යෑමයි, අං පැළඳීමයි මේ ඔක්කොම කරන එක තමයි දැන් මාධ්‍යය කරන්නේ.

      Delete
    3. @ අරූ අයියා ~

      අර නයි. ටී. ඇන්. එකත් හොදම උදාහරණයක් තමා. ඔය කියපු ඔක්කොම ඒකෙ කරනවා නොවැ. :)

      Delete
  13. හදිසියේ දැක්ක ලිපියක්.
    දෙමාපියන් හරියට තමන්ගෙ දරුව ගැන බලන්නෙ නැති උනාම දරුවන්ට භූතයො වැහෙන්න පුළුවන් තමයි. :D
    ඔනෑම මානසික ඇද වැටීමකට ගොඩක් අය යකෙක් වැහිල නැත්තම් දිෂ්ටියක් වැහිල කියන්න හරිම කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් මාධව, බොහෝ තැන් වලදි මානසික ව්‍යාධියකට පත් වෙන පුද්ගලයින්ව හදුන්වන්නෙ දිෂ්ටියක් වැහුන අයෙක් හැටියට.

      දෙමාපියන්ගෙ වගකීම් යුතුකම් පැහැර හැරි විට, ඔහුන්ගෙ ආරක්ෂා වැට නැති වූ විට ඕනම භූතයෙක්ට දරුවා වෙත ලන් විය හැකියි. :)

      Delete
  14. ඔව්..ඔව්..සමහර දෙමව්පියන්ට නම් දැන් භූතයෝ වැහිලා තමයි ඉන්නේ...ඒ බව අහන්න ලැබෙනවා ඔය ලොකු මොන්ටිසෝරි, සමහර ඉස්කෝලවල් ලඟ ,ඉස්කෝල ඇරෙනකම් ගැවසෙන අම්මලාගේ සහ තාත්තලාගේ හැසිරීම් තුලින්.

    ReplyDelete
    Replies
    1. දුක තියෙන්නෙ අරූ අයියෙ, මුන්ට වැහෙන යක්කු අන්තිමට බිලි පූජාවට ගන්නෙ ඔය ගොන්නුන්ගෙ දරුවන්වනෙ.

      අන්තිමට වැරදි කාරයො දරුවයි, අර කොහෙවත් හිටපු භූතයයි.

      Delete
  15. මෙහෙව් භූතයොත් ඉන්න වග දන්නේ අදනේ....

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බං ඉන්නවා. මේකෙ දෙමාපියොත් භූතයො, මාධ්‍ය උතුමොත් භූතයො.

      Delete
  16. තමන්ගේ දරුව යන්නේ එන්නේ කොහෙද කවුද ආසරේ කරන්නේ ‍මොනවද කරන්නේ කෑවද බ්ව්වද.. මෙකී නොකී සියල්ලක් ම දෙමව්පියන් විසින් නියම්ව හෝ අනියම් ව සොයා බැලිය යුතුයි.. නැත්නම් ළමයා දඩාවතේ යනවා ඊට පස්සේ අහිංසක භූතයන් ට දොස් කියල වැඩක් නෑ...
    සිරා ලිපියක් ප්‍රියා...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත විදානෙ, ඔය දේ ඔය විදිහට කරන්න නම් හොදම විදිය දරුවට මිත්‍රයො වගේ ලන් වෙන එක. එයාලගෙ හොදම යහළුවො දෙමාපියො නම් ඒ අයට නොකියන රහසක් නෑ.

      ජය වේවා…!!!

      Delete
  17. ඇත්ත කතාව. අද මොනව වුණත් කියන්නෙ අපල කාලයක්, භූත දෝෂයක්, හූනියමක්... ඔන්න ඔහොම. කවද මෙව්ව වෙනස් වෙයි ද මන්ද....

    ReplyDelete
    Replies
    1. ඔව් දිලිනි, තමන්ගෙ අඩුපාඩුව, දු‍ර්වල කම ලෝක අපවාදයෙන් බේර ගන්න ලේසිම ක්‍රමය ඕකනෙ. නොපෙනෙන බලවේග.

      Delete
  18. දැන් කාලේ ඉතින් කාටද බූත දෝස නැත්තේ කිවුවලු.. කොහෙන් ගියත් අල්ල ගන්නේ එක්කෝ බූතයෙක්ව.. තාම හටියට නිකන් ඉන්නේ අර ගස් ගල් වලට වදින යුගේද මන්දා..

    ReplyDelete
    Replies
    1. අපි තාමත් ගස් ගල් වලට වදින යුගේ තමා දිනේශ්, වෙනසක් නෑ. කොටින්ම අර ඉංග්‍රීරීසි ගුරු උපදේශකවරු භූතයො එලවන්න දැරියොන්ගෙ කකුල් පුච්චද්දි කවර කතාද?

      Delete
  19. හ්ම්..ළමයෙකුට නිදහස දෙන්න ඕන ඒත් පැත්තක ඉඳන් ළමය යන පාර බලාන ඉන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඔව් සාශා, නිදහස උපරිමයෙන් දිය යුතුමයි. මේවා දඬ මීමා කරගෙන නිදහස සීමා කිරීම නොව, නිදහස දී සෙවිල්ලෙන් සිටීමයි කල යුත්තෙ.

      Delete
  20. ඔව් බන් මමත් ඕක දැක්කා ..අන්තිමට දෙමව්පියෝ වැරදි නෑ ..කොහෙවත් ඉන්න භුතයෙක් තමයි එකටත් පලි. ඕක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් නේ...එකඟ කියන්නේ අපේ මිනිස්සු වෙනස් ඒ වෙනසට ගරු කරන්න කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් මගෙත් ඇඟේ ලේ කෝප උනා ඕක දැකලා. සමහර විට දෙමාපියොම කාව හරි අල්ලලා ලියෙවුවද මන්දා.

      ඇත්ත බන් අපේ මිනිස්සු ගොඩක් තැන් වලදි වෙනස්. ඒත් අපි වෙනසට ගරු කරමු. :)

      Delete
  21. වැඩේ මේකනේ. බූතයට වරද පැටෙව්වම කාටත් ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රාජ් අයියෙ, කොහෙවත් ඉන්න භූතයව එල්ලුම් ගස් ඇරියම විත්තිකාරයො නිදොස්නෙ.

      Delete
  22. සිංහලයෝ බෞද්ධ වුනාට පරණ ගෝත්‍රික ගති තවම ලේවල තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෝරලේ බෞද්ධයන්ට පවා පැරණි යක්ෂ ගෝත්‍රික පුරුදු අතහැර ගන්න බෑ.

      Delete
  23. දෙව දරුවෝ වගේ භුත දරුවෝ ඉපදෙයිද දන්නෙ නෑ ;) ,මට තෙරෙන්නෙත් නෑ ප්‍රියා මේ මිනිස්සු පිලි ගන්න ආගම හරි දර්ශනය මොකක්ද කියලා මේවා අර සෙනාවට පෙන්නෙ නෑ ,උන් යන්නෙ රට හදන්න ,දැක්කාම කලකිරෙනවා ...

    ලින්කුවට ස්තුතියි.ඈ ..

    ReplyDelete
    Replies
    1. උන්ට මේවා පේන්නෑ බං, හරක් වෙනුවෙන් හෙලන කඳුල වත් මේ වගේදැරිවියො වෙනුවෙන් නැගෙන්නෑ. මුන්ට ආගම දහමක් නෑ සහෝ.

      ඕවා මොනවද බං. බොට සනීපද? :)

      Delete
    2. අසනිප කියන්නෙ ඇගේ ලෙඩක් නෙවි,නිතිමය ලෙඩක් :(( ඇගේ ලෙඩක් නම් බඩ ගාගෙන හරි එනවා නේ :)))

      Delete
    3. නීතිමය ලෙඩක්???? :o උඹද අලුත් අළුගෝසුවා. :)))

      Delete
  24. මිනිස්සු නොපෙනෙන බලවේග පිටිපස්සේ යන්නේ හැමදේටම ඇසට නොපෙනෙන යමකින් සහනයක් සිහියක් ලැබෙයි කියා සිතා. මා මීට පෙර ලියූ මහසෝනා, සූනියම් අප්පච්චී සහ වැරදුනු ගුරුකම් කියන ලිපියෙන් කීවාක් මෙන්, මනෝවෛද්‍ය වාට්ටු වලදී ඇති තරම් ඔවැනි බූතයන් හමුවී ඇති නමුත් ඔවුන් සියල්ලන්ම ඉන්ජෙක්ෂන් එකකින් බෙහෙත් පෙති ටිකකින් නැත්තටම නැතිවී ගියා. නමුත්, එය එසේ නොවන බවට තර්ක කරන්නන් බොහෝමයි. "රෑට සූනියං අප්පච්චි මගේ ළඟට එනවා දරුවෝ. එයා ඇවිදින් ඔය හැමෝම කරන දේවල් මට කියනවා. මගේ මේ.... වෙන්න හේතුවත් අපේ අයියගේ පවුලයි අම්මයි එකතුවෙලා මට කරන හූනියම් නිසා"

    ගුරුකම් කියන දේවල් දකින්නවත් දැනෙන්නවත් තියෙන දෙයක් නොවන බව අපි මුලින්ම ඔහුට සහ ඇයට පැහැදිලි කළෙමු. කවරෙක් හෝ කියූ පළියට, කරා යැයි කියූ පළියට ගුරුකම් පළ දරනවානම් එහෙනම් මේ ලොකේ මේ තරම් පොළිසි හමුදා හෝ අධිකරණ අවශ්‍ය නැහැ නේද ? අපි ඔහුට පැහැදිලි කර දුන්නෙමු. ගුරුකම් කියලා අන්තිමට තමන් විසින්මයි තමන්ට අවැඩ කරගෙන තියෙන්නේ. මනස සියල්ලටම පෙරටු වේ ! දුර්වල වුන හිත නිසා හිතේ ඕනෑ එපාකම් පිරිමහගන්න භූතයින් පිට ඒවා පටවන අයද, ගුරුකම් කොඩිවින කියා කරමින් අන් අය වෙත දුෂ්ඨ කම් කරමින් අතේ සතේ නැති කරගෙන අවසානේ තමන්ම නැසෙන මිනිසුන් මේ ලෝකේ කොයි තරම්ද ? හානියක් වුනානම් වුනේ ඒ නපුරුකම් දුෂ්ඨකම් කරපු අයටම මිසක් ඒවා දරාගත් අයට නොවන බව සැබැවි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අනිත් කොන, බොහෝ තැන් වලට මෙය අදාලයි. ගොඩක් තැන් වලදි රෝගීන් ශිෂ්‍යයන් ආදී බොහෝ දෙනා නොපෙනෙන බලවේග වල පිහිට පතන්නෙ තමන්ගෙ අඩුපාඩුවහෝ මානසික ආතතිය මගහරවා ගැනීමටයි. නමුත් අවසානයේ ඒ නිසාම තවත් ආතතියක් හදා ගෙනයි නවතින්නෙ.

      ඔබට හැකි නම් ඔබේ ලිපියේ ලිංකුව ලබාදිය හැකි නම් අගෙයි.

      Delete
  25. ඌ නං පුදුම භූතයෙක් නෙව !

    ReplyDelete
    Replies
    1. භූතයෙක් කියන්නෙ මධූ භූත යකෙක් !

      Delete
  26. මම හිතුවෙ ඔය භූත දෝස තියෙන්නේ නුගත්, ග්‍රාම්‍ය මිනිස්සුන්ට විතරයි කියල. බලාන ගියාම මේ කොලබ හතේ පොෂ් පවල් වලටත් භූත දෝෂ එනවා නේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් වීරෙ, දැන්නම් ඔය ගම් පළාත් වලට වඩා ඔය නගරෙ පැති වල තමා ඔය විකාර වැඩි.

      Delete
  27. මම ඔය ලිපියනම් දැක්කෙ න් මචො.මගෙ යාලුවෙක් ඉන්නව මෙ දවස්වල ප්‍රසිද්ද මනො චිකිත්සක කෙනෙක්.මිනිහ ගාවටත් එක සැරයක් කෙල්ලෙක් ඇවිත් තිබුන දවසට පස්දෙනෙක් විතර ඔනයි කියන.මනො ප්‍රතිකාරවලින් සුවවුනා ඇය.

    ReplyDelete
    Replies
    1. මේ ගෑණු ළමයටත් ඔය කියන මානසික ආබාධයම තමා තියෙන්න ඇත්තෙ දමිත් අයියෙ.

      ඒත් කරුමෙ මේ මිනිස්සු ඒකත් කොහෙවත් උන්නු යකෙක්ට පවරපු එකයි.

      Delete
  28. ලංකාවෙ මිනිස්සුන්ට අපලයක් නැති දවසක් හොයා ගන්න අමාරුයිනෙ චතුරංග.එහෙම සමජයක තමන්ගෙ දියනිය අතින් වුණ නින්දාව වහ ගන්න අපූරු ක්‍රමයක් දෙමව්පියො තෝරගන තියෙන්නෙ....මේවා ගොඩක් දෙනෙක්ට ඇත්ත.......මේවා වෙනස් කරන්න ටිකක් අමාරුවෙයි.........

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගී පවුර, මේවා වෙනස් ක‍රන්න ඇත්තෙන්ම අමාරුයි. මේ මිනිස්සු බොහෝ විට ගෝත්‍රික අදහස් වලින් සන්නද්ධ වීම තමා ගැටළුව.

      Delete
  29. "Rodi washi Gurukam" pitu pirenna...ape minisu kawda hadeiyda?

    ReplyDelete
    Replies
    1. ඒ පිටු වලට පින් සිද්ද වෙන්න තවත් මේ වගේ සිද්ධි නම් ඕන තරම් වේවි මෙන්ඩිස් අයියෙ.

      Delete
  30. මිනිස්සු මොන විදියට ඔය දේවල් විශ්වාස කලත් සමහර මිනිස්සු ඔය දේවල් ඉහටත් උඩින් විශ්වාස කරනව.මොකද ඒ දේවල් දැන් සමාජගත වෙලා ඉවරයි..මේ කතාව කියෙව්වම කාට කොහොම වරද කියන්නද කියල මටනම් හිතන්න අමාරුයි.මොක දෙපැත්තක් තියෙනව.හැමදේම විශ්වාසය මත පදනම් වෙලා තියෙන නිසා වරද කාගේද කියන දේ කියන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත උමේෂ්, දැන් මේ බොහෝ දේවල් සමාජ ගතවී අවසාන නිසාම මේව අපිට සාමාන්‍ය දේ ලෙසත් දැකිය හැකියි. විශ්වාසය යනු හැම විටම නිවැරදි දේ නොවේ කියලත් කියනවනෙ

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................