29 December, 2013

කොටුවක සිරවී කොටුවක් පනිමුද…??


හ්ම්ම්ම්…… 2013 අවුරුද්දත් ඉවරයි මේ අවුරුද්ද පටන් ගත්දි අපේ හිත් වල කොයි ත‍රම් හීන තියෙන්න ඇත්ද? මේ දවස් 365 ඇතුලෙ ඒ හීන කීයක් ඉෂ්ඨ උනාද? කීයක් බොඳ උනාද?

ඒ කතාව පෝඩ්ඩකට පැත්තකින් තියලා අද සිතුවිල්ලට හැරුනොත් දැනට සති දෙකකට පමණ පෙර රෑක යම් නාළිකාවක ගියා වැඩසටහනක්. මේකෙ සාකච්චා උනේ 'හදහන්, අත්ල රේඛා සහා එය විවාහයට බලපාන ආකාරය' පිලිබදවය. මාහට එතරම් 'ප්‍රිය' මාතෘකාවක් නොවූයෙන් කිසිම හැඟීමකින් තොරව බලා සිටියත් එවලෙහි ඒ සාකච්චාව වැදගත් පැමිණීමෙන් කුතුහලය නිසාම යම් උනන්දුවකින් එය නරඹන්නට විය.

ඒ වන විට සාකච්චා වෙමින් තිබුනේ විවාහයට නුසුදුසු යැයි සැලකෙන හදහන් පිලිබදවයි. ඒ පුද්ගල‍යා දැක්වූ ආකාරයට හදහන ඇති පුද්ගලයින්ට විවාහ වීමෙන් පලක් නැතැයිද එවැනි විවාහ අසාර්ථක වේ යැයිද ඔහු මුලින් කියන ලදි. එවිට නිවේදකයා ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස ඔහු නැවත කීවේ "එවන් හදහන් ඇති පුද්ගලන්ටද සාර්ථක විවාහ දිවියක් ගෙවීමට ක්‍රමයක් ඇත." කියාය.

සැබවින්ම මා හිතුවේ ඔහු එවන් පුද්ගලයින්ට ධනාත්මක පිළිතුරක් දෙයි කියාය. නමුත් ඔහුගෙ පිළිතුර වූයේ. "මෙවන් හදහන් ඇති අය තමන්ගෙ ආශාවන් බලාපොරොත්තු පැත්තකට දාන්න. කොහෙන් හරි හොයලා තමන්ගෙ හදහනට ගැලපෙන අයෙකුම විවාහ කර ගන්න. නැත්නම් අවිවාහකව ඉන්න." කියාය. ඔහු විශේෂයෙන් සදහන් කල තව දෙයක් වූයේ "ආදර විවාහයක් නම් කර නොගන්න" ලෙසය.

නැකත්, හදහන්, අත්ල රේඛා වැනි දේ පිලිබදව මා හට දැනුමක් නැත. ඒවායෙ සත්‍ය අසත්‍යතාව පිලිබදව නොදන්නවා සේම ඒ පිලිබදව මාගෙ උනන්දුවක්ද නැත. නමුත් මේ පුද්ගලයින් පවසන ආකාරයට නිකම්ම කොටු කිහිපයකට අපේ ජීවිතය පරාජය කල යුතුද? (මා දන්නා පරිදි හදහන සෑදී ඇත්තේ කොටු කිහිපයකිනි.)

මෙය කියවන හදහන පිලිබද විස්වාසයක් හා දැනුමක් ඇති පිරිස මා හට විරුද්ධ විය හැක. නමුත් වරදවා නොගන්න මා කිසි විටකත් හදහන් වැනි දේ බොරු යැයි නොකියමි. කිමද අදාල විශය පිලිබද මා හට අල්ප මාත්‍ර දැනුමක් වත් නොමැති නිසාය.

නමුත් එක දෙයක් මා දනිමි දෙදෙනකු ගතින් එක් කරන අත්ල රේඛා, හදහනට වඩා කොටින්ම නීතියෙන් එක් කරන විවාහයටත් වඩා මනසින් එක් කරන 'ආදරය' යන බැදීම බලවත් බවය.

ආදරය කර ඇතිවූ විවාහයක් බිඳ වැටිය නොහැක. දැන් ඔබට තර්ක කල හැක 'ආදරය කල ජෝඩුත් අනන්තවත් දික්කසාද වී ඇත' කියා. මා එය මෙසේ තේරුම් කරන්නම්. මා අදහන පරිදි විවාහයට ගැලපිය යුතු පොරොන්දම් කිහිපයක් ඇත.

1. ආදරය - එකිනෙකා පිලිබද ආදරයක් නොමැතිනම් ඒ පිලිබදව කතා වත් කර වැඩක් නැත.

2. තේරුම් ගැනීම - දෙදෙනාගෙ වුවමනා එපා කම්, රුචි අරුචිකම්, අදහස් තේරුම් ගැනීම අත්‍යාවශ්‍යය.

3. විශ්වාසය - තම සහකරු සහකාරිය පිලිබද විශ්වාසයක් තිබිය යුතුය.

4. ඉවසීම - මෙය ඉතා වැදගත් පොරොන්දමකි. සුළු සුළු අතපසුවීම් ඉවසීම වගේම ඉවසීමෙන් යුතුව එකිනෙකාට ඇහුම්කන් දීම ආදිය මෙයින් අදහස් කෙරේ

5. ආශාව - මෙය පලටවා නොගත යුතු අතිශයින්ම වැදගත් තැනකි. දෙදෙනෙකුගේ විවාහයක් සාර්ථක වීමට නම් අධ්‍යාත්මික මෙන්ම ශාරීරික බැදීමද වැදගත්‍‍ය. එය හුදෙක් වනචර කමක් හෝ ලිංගික ආශාවක් නොව ආදරය මුසු වූ ශෘංගාරාත්මක හැඟීමකි. දෙදෙනාට එකිනෙකා පිලිබදව ශෘංගාරාත්මක හැඟීමක් එනම් ආශාවක් තිබිය යුතුය.

ඉහත දැක්වූ පොරොන්දම් ගැලපීමෙන් පසු ඇතිවන විවාහයක් දෙදරා යා නොහැක. ආදර‍ය කර දෙදෙනකුගේ විවාහය බිද වැටුන කල හොදින් සොයා බැලුවොත් ඉහත පොරොන්දම් එකක් හෝ කිහිපයක නොගැලපීමක් දෙදෙනා අතර තිබිය යුතුය.

පෙර කියූ රූපවාහිනී වැඩසටහනෙ දැක්වූ විවාහයට නුසුදුසු හදහනක් ඇත්තෙකුට වුවද ඉහත කාරණා 5 සම්පූර්ණ කල අයෙකු හමුවුව හොත් ඉතාම සා‍ර්ථක විවාහ දිවියක් ගත කල හැක.

එසේම හදහන් 100% ගැලපුනද තම විවාහ දිවිය අසාර්ථක කරගත් ජෝඩුද අනන්තවත් සමාජයේ ඇත. තවද හදහන් ගලපා විවාහ වී සමාජ තත්වය, ලැජ්ජාව හෝ දරුවන් යන කුමන හෝ සාධකයක් නිසා වෙන් වී ගත නොහැකිව විදීම වෙනුවට ජීවිතය විදවමින් එකට වසන ජෝඩුද අප අනන්තවත් දැක ඇත.

අවසන් වශයෙන් කීමට ඇත්තේ මා හදහන් ගැලපීම සත්‍ය අස්ත්‍ය බාවය නොදනිමි. ඒවා විශ්වාසද නොකරමි. කොටින්ම මාගේ විවාහය වූයේද හදහන්, පොරොන්දම් කිසිවක් ගැලපීමෙන් නොවේ. එසේ කියා ඔබටත් ඒවා බැලීමට එපා කියනවා නොවේ. නමුත් විවාහයකදී හදහනට වඩා වැදගත් මූලිකත්වය දිය යුතු අවශ්‍යතා රාශියක් තිබේ.

එසේ නොමැතිව හදහන 'පමණක්' ගලපා විවාහ වීම තුලින් සිදු වන්නේ තම සහකරුගෙන් සහකාරියගෙන් නොලැබෙන ආදරය, ලිංගිකත්වය සොයා ජීවිත කාලයම හොර අඹුවන්, හොර සැමියන් සොයා යාමට සිදුවීමයි. සැහැල්ලු භාෂාවෙන් කියනවානම්
"අදහස් නොගැලපෙන දෙදෙනෙකුට හදහනේ කොටු පමණක් ගලපා විවාහ වී ජීවිත කාලයම 'කොටු පනිමින්' ජීවත් විය හැක."
එබැවින් ඔබත් ඔබේ ජීවිතය කොටුවක් තුල සිරගත නොකරන්න.

සැ. යු. -
1. ඉහත කාරණා 5න් එකක් දෙකක් නොගැලපුනද උවමනාව ඇත්නම් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
2. හදහන් පමණක් ගලපා විවාහ වූ ජෝඩුද පසුව ආදරෙන් බැදී එකිනෙකා තේරුම් ගෙන ක්‍රියා කලහොත් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.
3. සාර්ථක විවාහ දිවිය යනු ගැටුම් කිසිවක්ම නොමැති ඔහේ ගලා යන සුරංගනා කතාවක් නොවේ. විවාහ දිවිය නම් ගංඟාව හැඩ වීමට ගල්, මුල්, වංගු, දිය ඇලි වැනී බාධකද පැමිණිය යුතුමය. බාධක හමු වූවාට මුහුද බලා යන ගංඟ නවතින්නේ නැත.

ප. ලි. -
මා විවාහ දිවිය අරඹා තවමත් මුල් අවදියය. මා හට ඇති අත්දැකීම්ද අල්පය. මා හැකි පමණින් අමුනා ලියූ මේ පොරොන්දම් 5ට අමතරව ඔබ හිතෙත් ගැලපිය යුතු පොරොන්දම් පවතී නම් අන් අයටත් දැන ගැනීමට සටහන් කර තබන්න.

ප. ප. ලි. -
අර මුලින්ම කියපු 2013දී බොඳ වුන සිහිනත් 2014දීි ඉටුකරගැනීමට දකින සිහිනත් සැබෑකරගත හැකි ධෛ‍ර්‍යවන්ත වූ
……සුභම සුභ නව වසරක් වේවා!………යි පතමි.


(පින්තූ‍රය ගූගල් දෙවියාගෙන් ණයට ඉල්ලා ගත්තකි.)


© ප්‍රියා.

55 comments:

  1. මතු කරපු තර්කයට එකඟ වෙනවා අනිවාර්යෙන්ම. අර කාරණා වල යම් ගතයුත්තක් ඇති. හැබයි ඒ මත්තේ අපේ මුලු ජීවිතේම ඔට්ටු තියන්න ඕනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පුමා, ඔය කරුණු පහම අවශ්‍යයි කියලා මාත් හිතන්නෑ (සැ.යු. 1කරුණ). උවමනාව තියෙනවනම් දෙදෙනටම සාර්ථක කර ගත හැකී තම විවාහය. ඒත් ඔය 5න් එකක් වත් නැත්නම් ජීවිතේ අනිවාර්‍ය දුකක් තමා.

      Delete
  2. සිරාවටම ඇත්ත කතාව.දෙන්නා අතර ආදරයේ බැදීම වැඩිනම් කේන්දර මුකුත් ඕන වෙන්නෙ නැහැ.ඒ දෙන්න අතර තියන අන්‍යොන්‍ය බැදීම තමයි හොදම ගැලපිල්ල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නාමල් මල්ලි ආදරේ කියන දේට කරන්න බැරි දෙයක් මේ ලෝකෙ නෑ. වැදගත්ම දේ ආදර‍යයි, තේරුම් ගැනීමයි.

      Delete
    2. ඒ ආදරේ කරන කාලෙනේ ඔක්කොම ගැලපෙන බව පේන්නේ.. බැදලා බලන්න එපැයි මල්ලි ඒවා හැමදාටම තියෙයිද කියලා

      Delete
    3. ඒක ඇත්ත ඔමා, ඒත් මන් දකින මෝඩම වැඩේ තමා කෙනෙක්ව ලබා ගන්න බොරු කරන එක. ඒකෙන් වෙන්නෙ දෙන්නටම පසු තැවෙන්න වෙන එකයි.
      ඒත් මන් හිතනවා සැබෑවටම ආදරේ කරන දෙන්නෙක්ට එකිනෙකාට බොරු කරන්න අමාරුයි කියලා.

      Delete
  3. පිළිගන්නද නැද්ද උභතෝකෝටිකයක් කොහොම නමුත් සුබ නව වසරක් වේවා ඔබට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නලින් අයියෙ.
      ඔබටත් සුභ නව වසරක් වේවා!

      Delete
  4. සත්‍ය කාරණා මම නම් ඔය කේන්දර කාරයෝන්ව විශ්වාස කරන්නේ නැහැ මගෙත් තියෙනවා හොඳ අත්දැකීමක්. පස්සේ ලියලම දාන්නම් කෝ.

    ReplyDelete
    Replies
    1. මගෙත් විශ්වාසයක් නම් නෑ කෝරලේ ඕවා ගැන. විවාහයෙදි මම විශ්වාස කරන මූලිකම දේ ආදරයයි.

      අර කතාවත් ඉක්මනටම ලියන්න.

      Delete
  5. මේ කපේදී ගොඩබහින්නවත් බැරි ග්‍රහලෝක, කොහොමද බං අපේ ජීවිතේ ගැන තීන්දු තීරණ දෙන්නේ.?

    යස අගේට ආදරෙන් ඉන්න, ගෙවල් වලින් කැමැත්ත අරගෙන ඉන්න එවුන් කේන්දර බලපුහාම පොරොන්දම් ගැලපෙන්නේ නෑලු. මොන කුප්ප කතාවක්ද බං ඒක ඈ..?. ඉතින් හිතේ සැකේ තියාගෙන නොබැඳ ඉන්න බැරි නිසා ආදරේ හින්දම බඳිනවා. ඔන්න එහෙන් මෙහෙන් අහේනි කාල එනවා..(ඒවා ඉතින් කාටත් එනවනේ කාලෙන් කාලෙට) ඔන්න ඉතිං හිතනවා කේන්දරේ කතාව ඇත්ත නේද කියල...ඕක කටින් කට තව පරම්පරාවකට යනවා. ඔන්න උනුත් කේන්දර බලන්න යනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රයිටර්, කාලයක් ඕවා අවිශ්වාස කරපු උන් පවා පස්සෙ ඕවා මත්තෙම නහින්න දගලන හැටි මාත් දැකලා තියෙනවා.

      ආදරේ කරලා බැදලත් දෙන්නා තේරුම් ගන්න බැරිව පවුල අවුල් කර ගත්ත උන් තමන්ගෙ වැරදි ඔක්කොම භාර දෙන්නෙ හදහනට.

      Delete
  6. මන් කලින් යාලුවෙලා හිටපු කෙනාගෙයි මගෙයි හදහන් මාර විදිහට ගැලපුනා, එත් අයිය කිව්ව පොරොන්දම් 5 අපිට හරියට ගලපගන්ඩ බැරි උනා, අන්තිමට අපි වෙන් උනා තවදුරටත් සම්බන්ධයක් තියාගෙන තේරුමක් නැති නිසා...
    ඒ නිසා අයිය කිව්ව කරුණු වලට මම 100%ක් එකගයි...
    අයියටත් සුබ නව වසරක් වගේම සාර්ථක යුග දිවියකට සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් සුභ නව වසරක් වේවා මල්ලි.

      මන් හිතන විදියට ඔය කරුණු 5 ගලප ගන්න බැරිනම් එකතු වෙලා විදවනවට වඩා දුකෙන් උනත් වෙන් වෙන එක අනාගතයට හොදයි.

      Delete
  7. හැක..හැක...හැක්..කේන්දර ...පොඩ්ඩක් ඉදිං..ආපහු කියවල එන්න.

    ReplyDelete
    Replies
    1. හි හි ඇත්තටම කෙන්ජි අයියෙ, ඕවා අනවශ්‍ය තරමට ඔලුවෙ තියන් ඉන්න මිනිස්සු දැක්කම හිනා යනවා නේන්නම්.

      තව පාරක් කියවන්නකො එහෙනම් අයියෙ.

      Delete
  8. කේන්දර හඳහන් ගැන ඕනවට වඩා විශ්වාසයකුත් නෑ අවිශ්වාසයකුත් නෑ,
    ප්‍රියාට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැඩිහිටියො එහෙම මැදහත්ව හිතන්නැති එකනෙ ප්‍රශ්ණෙ හැලප අයියෙ.

      ඔබටත් එසේම වේවා කියලා පතනවා.

      Delete
  9. මටත් මේවා විශ්වාස නෑ ප්‍රියෝ....

    අපෙත් ඔය කීයක්ද මංදා ගැලපුනා.නැන්දම්මලා ට ඕන නිසා බැලෙව්වා......50%ක් සමගියට බාධා වෙනවයි කීවේ...කේන්දර හන්දා ජීවිත කාලෙම දෙපැත්තකට වෙලා නිකරුණේ දුක් විඳින එවුන් ඉන්නවා.පව් ඉතිං

    මේ ළඟදී ඇඹිලිපිටියේ මරණයක් උනා.නොවැ: 22 වෙඩින් එක තිබිලා නොවැ:25 හෝම් කමින් තිබුණලු.දෙසැ :22 ඒ ගෑණු ළමයා ඇක්සිඩන්ට් වෙලා මැරුණා.භූමදානය තිබුණේ 25 හරියටම. දැන් මොකද්ද දන්නවද ඒකට හේතුව? බඳින්න කලින් කේන්දර බලද්දි කිව්වලු දෙන්නගෙන් එක්කෙනෙක් මැරෙනවා කියලා.ඒත් ආදරේ කරේ ඕවා බලලා නෙවෙයි නිසා බැන්දලු. ( මිනිස්සු දැන් කියන කටකතාව )

    ReplyDelete
    Replies
    1. ඇත්‍තටම කණගාටුදායක සිදුවීමක් රෙහානි. ඔය වගේ කටකථා පතුරවන්න සමහර මිනිස්සු සැදිපැහැදීම ඉන්නවා. අර ගෙදර මිනිස්සු උනත් දුක මැද්දෙන් ඕවා තේරුම් කර කර ඉන්න යන්නෑනෙ.

      ඔවයෙන් කියන ඒවා හිතේ කොටාගෙන එ අනුව ජීවත් උනොත් තමා ප්‍රශ්ණෙ.

      Delete
  10. මා අදහස් පලකරන්න අකමැතිම මාතෘකාවක් අයියේ ,, ඇස් වලට නොදකින සහ මගේ මානයන්ට ගෝචර නොවෙන දේවල් ප්‍රතික්ෂේප කිරීම මං නවත්තලා ගොඩක් කල්,,, හැමදේටම පිළිතුරක් තියෙනවා හරිම පිළිතුරක්,,එත් මිනිස්සු විදියට අපි හැමෝම අපේ අත්දැකීම් ,දැනුමේ සහ සමාජීය පසුබිම ,සංස්කෘතිය අනුව අපිට ගැලපෙන පිළිතුරු හොයාගන්නවා .... ලෝකේ කොහෙවත් නැතිතරම් ජෝතිෂ්‍ය සහ වෙලාවල් කලාවල් වලට වැඩ කරන අපේ මේ ආසියාවේ මොකක්ද ඒවා නොබලන නොතකන මිනිස්සුන්ට වඩා ඉහලින් තියෙන්නේ ?? සියදිවිහානිකරගැනීම් ,,ළමා අපචාර ඕවා නේද ? කේන්දර ගැලපීමේ යම් සත්‍යතාවක් තියෙන්න හෝ නොතිබෙන්න පුළුවන්,,, හැමදේටම වඩා මානසිකව කායිකව දෙන්නා ගැලපෙන්න ඕනේ,,,

    ඒ වගේම තැලසීමියා පොරොන්දම බලවගන්නවනම් තවත් හොදයි ....පොරොන්දම් කේන්දර මොනාගැලපුනත් මහා තැලසීමියා රෝගය සහිත දරුවෙක් ඉපදුනාට පස්සේ ජිවිත කාලෙම කදුළු බොන්න වෙනවා ... කේන්දර එපා කියනවනම් තාක්ෂණයේ පැත්තෙන්වත් තියෙන දේවල් ලබාගන්න ... :)

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඔමා, කේන්දරේ ගැලපුනත් නැතත් සිතින් ගතින් දෙන්නා ගැලපෙන්නම ඕන.

      අර පොරොන්දම 6 වෙනි එක කියලා එකතු කරමු.

      6. රුධිර පරික්ශාවක් අනිවාරෙන්ම කර ගන්න.

      ඊයෙත් 'හිරු නිවුස්' වලට පෙන්නුවා දුප්පත් පවුලක් ලේ විවාහයක ලමයි නිසා අසරණ වෙලා තියෙන තරම. සසරම එපා වෙනවා ඒ අහිංසක පැටවු විදින දුක දැක්කම.

      Delete
    2. ඇස් වලට නොදකින දේ කිවුවම ඔමා, මටත් තියෙනවා පොඩි අත්දැකීමක්. ඒක කොහොමද උනේ කියලා මන් අදටත් හොයනවා. ඒක නොපෙනෙන බලවේගයක් කියල මම විස්වාස කරන්නෑ ඒත් කුතුහලය තාම තියෙනවා. ඒ කතාවත් ඉක්මනටම ලියන්නම්

      Delete
  11. ජෝතිශයට අනුව ගැලපුනත් අදහස් වලින් නොගැලපෙන දෙන්නෙක් සෙට් වුනොත් සාර්ථක වේද?
    ඔබගේ අදහස් අගය කරමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කළු සිංහලයො.

      එහෙම උනොත්නම් ඉතින් විනාශයක්ම තමා.

      Delete
  12. ../////2. හදහන් පමණක් ගලපා විවාහ වූ ජෝඩුද පසුව ආදරෙන් බැදී එකිනෙකා තේරුම් ගෙන ක්‍රියා කලහොත් සාර්ථක විවාහ දිවියක් ගත කල හැක.///////මෙන්න මේ කතාවට නම් සීයයට සීයක් එකග වෙන්ට පුලුවන් අද්දැකීමෙන් කියන්නේ ඕංංංං,,,,,,,,,,
    ප්‍රියාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම් ඒ කතාවත් එහෙමයි එහෙනම්.

      ඇත්තටම ශානු දෙන්නා බුද්ධිමත් නම් දෙන්නා අතරෙ ආදරේ ගොඩ නගා ගන්න එක ඒ තරම් දෙයක් නෙමේනෙ. හැබැයි එහෙම ජෝඩු ගොඩක් වාසනාවන්තයි ශානු.

      ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

      Delete
  13. +++++++++++

    අලුත් පොරොන්දම් පහ මල් මසුරන්. හඳහන් නොගැලපෙන නිසා ආදරයට පොලු වැටේ යයි බියෙන් ගෙදරට පෙන්වන්නට බොරු හඳහන් හදවාගෙන කෙසේ හෝ අවසන විවාපත් වී තවමත් අපූරුවට විවාහ දිවිය ගත කරන අපේ තාත්තලාගේ වයසේ යුවලක් ගැන දනිමි.
    හඳහනට ජීවිතය භාර දෙන්නෙ තමන්ගෙ ජීවිතේ ගොඩනගාගන්න ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු.

    සුභ නව වසරක් වේවා ප්‍රියෝ...!!!

    ReplyDelete
    Replies
    1. අපිටත් ඒ තරම් ලොකු අත්දැකීම් නැති නිසා මේකට මොනවා අහන්න වෙයිද කියලා බයෙනුයි ඔය ටික ලිවුවෙ.
      ඔහොම කියනවා අහන්නත් සංතෝසයි බස්සි.

      අර ජෝඩුව නම් ආදහන්න වටිනවා. හොදම දේ ඒ දෙන්නා හොදට ජිවත් වෙලා පෙන්නපු එකයි.

      ඔබටත් සුභ නව වසරක් වේවා.!

      Delete
  14. කේන්දරේ වෙලාවකට හොදා කියල හිතෙනව බං සාත්තර ගැන අහපුවම..මිනිස්සු රවට්ටලා කොච්චරනම් හම්බ කොරනවද හොර කපුවො...විවාහයට හදහනට වඩා ප්‍රියා කියපු දේවල් වංගු නැතුව කෙලින්ම බලපානව...

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි රජ වීදියො, දැන් කාලෙ හැටියට හොදම දේ තමා ඔය පොරොන්දම් 5යි ඔමා කියපු එකය්ි 6 ගලපලා බඳින එක.

      Delete
  15. අපේ තාත්තා ජෝතිශ්‍යය වැඩ කරන කෙනෙක්. මම කේන්දර විස්වාස කරනවා. ඒ ඒ දේවල් වල යම් සත්‍යතාවක් තියෙනවා කියලා මං අත්දැකීමෙන්ම අවබෝධ කරගෙන ඉන්න නිසා. ඒත් මං තාත්තගෙන්ම ඉගෙන ගත්ත දෙයක් තමයි ජෝතිශ්‍ය කියන්නේ කරගහගෙන ඉන්න ඕනි දෙයක් නෙවෙයි, ඒවා දැනගෙන ඒවා වෙනස් කරන්න කටයුතු කරන්න කියලා.

    ආදරය කරලා විවාහ වෙන්න හදන දෙන්නෙක්ගේ පොරොන්දම් පරීක්ෂාවකට ආපු සමහර වෙලාවල් වලට එයාලගේ පොරොන්දම් ගොඩක්ම හොද නැති වෙනවා, කේන්දර ගැලපෙන්නේ නැති වෙනවා. එහෙම වුණාම අපේ තාත්තා ඒ දෙන්නව ගෙන්නලා අවවාද දීලා විවාහය කළයුතුයි කියන දේ පෙන්නලා දෙනවා. ජිවිතය යනු කේන්දර නොවේය කියන දේ පෙන්නලා දෙනවා. කොටින්ම අපේ අම්මගෙයි තාත්තගෙයි පොරොන්දම් 20න් 8යි ලු ගැලපෙන්නේ....ඒත් අදටත් ඒ දෙන්නා සතුටින් ඉන්නවා......

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++

      ඇත්තටම ස්තූතියි රනිඳු, ඔය විශයට කෙලින්ම සම්බන්ද කෙනෙක් විදියටත් ඒ පිලිබදව යම් විශ්වාසයක් ඇති කෙනෙක් විදියටත් ඔයා ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් ධනාත්මක සුභ පිළිතුරක්.

      මන් හදහන් ආදියෙ ඇත්ත බොරු දන්නෑ. ඒ වගේම මන් ඒවා බලන්න එපා කි‍යන්නෙත් නෑ. මගේ අදහස ඔබේ කමෙන්ටුව තුලම තියෙනවා. 'ඒවා කරගහ ගතයුතු නෑ'

      ඔබේ පියත් ඉතාම ගරුකල යුතු මහත්මයෙක්.

      Delete
  16. මොනවා උනත් හොඳ කාරණයක් මතු කරලා තියනවා මල්ලියෝ, මම බොහොම සන්තෝසයි මේ වගේ විවුර්තව කතා කිරීම ගැන. කොටින්ම කිව්වොත් අපිට හඳහන් නැහැ, අපේ දරුවන්ටත් නැහැ, ලෝකේ අනිත් රටවල ඉන්න සෙනගටත් නැහැ, ඕක ලංකාවට විතරක් නේ තියෙන්නේ. එකනේ මේ ඔක්කොම.

    ඔයා කියපු කාරනා 5 හොඳයි, ඒ වගේම තවත් දේවල් තියනවා ඕකට එකතු කරන්න පුළුවන්, මම ගොඩක් විවාහක යුවළවල් වලට කවුන්සලින් කරනවා, ඒ අය ඔය කියන හඳහන් පොරොන්දම් 100 ට 100ක් ම ගැලපුන අය, නමුත් මණ්ඩලේ කචල්. ඕවා ඔක්කොම බොරු මනස්ගාත, ලංකාවේ ආදී කාලේ මිනිස්සුන්ට ආවේනික වෙච්ච බහු බුත. අද කාලේ ඕවා ඔක්කොම බොරු කරලා ඉවරයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩොක් අයියෙ, මාත් පෞද්ගලිකව හදුනන පවුල් තියෙනවා ඔය ඔක්කොම තිතට මැච් කරලා විවාහ වෙලත් අන්තිමට වැඩේ ලෙඩේ කරගෙන දුක් විදිනවා.

      Delete
  17. මෙහෙමයි....ජෝතිෂ්‍ය කියන්නෙ යම් ශක්තිමත් පදනමක් තියෙන විද්‍යාවක්...බුදුන් උපදින්නටත් පෙර සිට මෙය පැවති බව බුද්ධ චරිතය ආශ්‍රිතව එන ඇතැම් කථා වලින් අපිට පැහැදිලි වෙලා තියෙනවා. අර්ථ ශූන්‍ය පදනමක් නැති විෂයක් වසර 2600 කටත් වැඩි කාලයක් පවතින්න කිසිම ඉඩක් නෑ...ඒ අනුව ජෝතිෂ්‍ය තුල යම් වටිනාකමක් තියෙන බව පැහැදිලියි. නමුත් විෂය හරිහැටි හදාරපු නැති රූපවාහිනී මාධ්‍ය වල පොර වෙන්න ගිය ජෝතිෂ්‍යකාරයො නිසා තමයි මේ විෂයට නිසි වටිනාකම නොලැබෙන්න හේතුව...

    විවාහ වෙන්න කිසිසේත් නොහැකියි...කියලා කිසිවෙකුට කියන්න බෑ කියන එකයි මගේ අදහස...කලින් ආත්මයක අපි කල පින් පවු මත අපේ මේ ආත්මයේ ජන්මය තීරණය වුවත් එහි පවතින අඩුපාඩු මේ ජීවිතය තුල රැස් කරන කුසල් මගින් වෙනස් කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔබටත් පැතුම් ඉටුවෙන නව වසරකට ආසිරි පතනවා ප්‍රියා....

      Delete
    2. මාත් හිතන්නෑ සිරා ඕවා බොරුයි කියලා. මොකද මට ඒ සම්බන්දයෙන් කිසිම දැනුමක් නෑ. ඇත්තද බොරුද කියන එකට වඩා මන් වැරද්දක් විදියට දකින්නෙ ගොඩක් මිනිස්සු අහිංසකයන්ව ඔය කාරණාව මුලට දාලා වෙන් කරන එකයි.

      ඔබටත් සුභ නව වසරක් වේවා.!

      Delete
  18. ඔය කොටු හන්දා විනාස වෙන ජීවිතත් අනන්තවත් තියෙනවනේ මචං.. වැරැද්ද හැබැයි කොටුවේ නෙමෙයි, කොටුව උඩින් පල්ලෙන් බලන එවුන් හන්දා..

    කිවුව වගේ අර කිවුව කාරණා 5 හොදට ගැලපෙනවනම් අනිත්වා වැඩක් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඔව් දිනෙශ්, උදාහරණෙකට කංසා කියන්නෙත් බෙහෙතක්ලුනෙ. ඒත් අපේ මිනිස්සුනෙ ඒවට ඇබ්බැහි වෙන්නෙ.
      ඒවගේ තමා හදහන ඇතම් විට යහපත් දෙයක් විය හැකී අපේ මිනිස්සු ඒක භාවිතා කරන විදිය තමා අයහපත්

      ඉක්මනින් සුවපත් වීම ගැන සතුටුයි දිනෙශ්.

      Delete
  19. Replies
    1. සුභ නව වසරක් වේවා දේශකයො.

      ගෙවී ගිය වසරේ සේ විටින් අතුරුදන් නොවන ප්‍රීතිමත් වසරක් වේවා!!

      Delete
  20. නියම කතාව ප්‍රියා ඔය හැම දේම විකුණ ගෙන කන තැනට ඇවිත් එකයි මේ ,

    ඔය කියන විදිහට උසාවි වල දික්කසාද නඩු නැති වෙන්න ඕනි ,එ වුණාට පෙනවා නේ ඔය මොකුත් බලන්නෙ නැතුව බදින අය හොදට ජිවත් වෙන්නෙ මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ නෑ .හැබැයි ඕවා බලන්නෙ නැතුව බැදලා මොකක් හරි පොඩි දෙයක් වුණොත් ඒ කතාව රටම දන්නවා ,දැන් ඕය දික්කසාද වෙන අය පොරොන්දම් බලන්නෙ නැතුව බැදපු අය වෙන්න ඇති .
    අපේ මිනිස්සුන්ට මොකක් හරි ඕනි හේතුවක් වැරැද්දක් වුණාම . ඔය නිසා මේ වටිනා දෙවල් නැති වෙලා යනවා .මේ දෙවල් වල සත්‍ය පැත්ත අද නැති වෙලා, මිනිස්සු තව කාලයක දි මේ දේවල් ප්‍රතික්ෂෙප කිරිම පුදුමයක් නෑ ,හැබැයි ප්‍රියා අපි මේ නැති කර ගන්නේ අපේ සoස්කෘතිය ..

    ReplyDelete
    Replies
    1. මමනම් මේ දෙවල් 100%ක් බැහැර කරන්නෙත් නෑ ,100% පිලිගන්නෙත් නෑ මම කලින් මේ වගේ දේයක් ගැන ලිව්වා

      http://sahodarage.blogspot.com/2013/12/blog-post_9.html

      Delete
    2. සුභ නව වසරක් වේවා ප්‍රියා අයියේ ...

      Delete
    3. අන්න හරි සහෝ ඔහොම මැද මාවතක හිටගෙන බලනවා නම් මේ ප්‍රශ්ණයක් නෑනෙ.

      මන් ඔයාගෙ ලිපි‍යත් කියෙවුවා. ඇත්තෙන්ම ඒක වැදගත් ලිපියක්.

      සුභ නව වසරක් වේවා!!! සහෝ.

      Delete
  21. ඔය වාගේ අත්දැකීම් මට කවදහරි ප්‍රයෝජනවත් වෙයි..
    අත්දැකීම් තියෙන උදවියනේ කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව…… දැන්ම ඉදන් ඕවට සුදානම් ශරීරෙ කියලා ඉන්න එක හොදානෙ මධූ. :-)

      Delete
  22. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා කියා පතනවා. සුභ නව වසරක්.

      Delete
  23. අපි නම් හඳහන් බලලා නෙවෙයි බං බැන්දේ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි ඩූඩ් අයියෙ, එත් බැලිය යුතු යැයි හිතන අය බැලුවට කමක් නෑ. ඒත් ඕවා මත්තෙම නහින එකනම් වැරදී.

      Delete
  24. උඹට කියන්න ප්‍රියා මම දත් මදින්නෙත් හඳහනට අනුව...දතක් සුද්ධ කරන්න තියෙනවා. ග්‍රහයා මාරුවෙනකම් ඉන්නේ.: D

    ReplyDelete
    Replies
    1. හි…හි… මාත් දන්න හදුනන බුවෙක් ඉන්නවා අරූ අයියෙ. නම්බරේ දෙන්නැයි?? :-D

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................