01 December, 2013

අහෝ දෙවියනේ ඔබ කොහෙ ගියාදෝ…


ලිපිය ලිවීමට පෙර පලමුව කිව යුත්තේ මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික අරමුණකින් නොවන අතර අප රටේ සාමාජීය දේශපාලනික පමණක් නොව ආගමික පරිහානිය පිලිබද කළකිරීමෙනි.

මා කතාවට මෙසේ එන්නම්. "අපේ ගම් පළාත වෙච්ච 'කැළණිය' කියපු ගමන් මතක් වෙන්නෙ බුදුන් වැඩිය කැළණිය පුරව‍රයයි."… මං එහෙම කියයි කියලා හිතුවද… පුහු…… ඒ ඉස්සර. දැන් මතක් වෙන්නෙ ආචාර්‍‍ය තුමාව (ඔව්..ඔව් එතුමා තමා.).

එතුමා අපේ ප්‍රදේශයට පැමිණි පසු අප පළාතේ විවිධ වෙනස්කම් සිදුවිය. ඉන් එකක් නම් දළුගම 6කණුවෙ දර්ශනීය විශ්ණු දේවාලයක් ඉදිවිය. අපගේම බදු මුදලින් ඉදිකලත් එය කරවීම පිලිබදවනම් එතුමන්ට ස්තූතී වන්ත විය යුතුය. සිදුවූ තවත් වෙනසක් නම් කැළණිය ප්‍රදේශයෙන් ගව ඝාතනය නවතා දැමීමය. එතුමන්ට අනුව ගව ඝාතනය 'මාරම' පවකි. කොහොමත් සත්ව වේවා මිනිස් වේවා ඝාතනය යනු පවකි. එහි කිසිම තර්කයක් තිබිය නොහැක.

එසේම ගවයා යනු විශාල සතෙකු නිසාත් කකුල් හතරක්ම ඇති සතකු නිසාත් ගවයා මැ‍රීම යනු පණ පිටින් අපාගත වන පාප කර්මයකි.

කුකුලා කුඩා සතෙකු නිසාත් එළුවා සහ ඌරාට කකුල් 4ක් තිබුනාට ශරීරයෙන් ගවයාට වඩා කුඩා නිසාත් හාල්මැස්සන් ඇතුලු සියළුම් මත්සයින්ට එකදු පාදයක් හෝ නොමැති නිසාත් ඒ කවර සතකු ඝාතනය කලත් කම් නැත. කොටින්ම කකුල් දෙකක් පමණක් ඇති නිසා මිනිසෙකු ඝාතනය කලද කකුල් හතරේ ගවයෙකු ඝාතනය කිරීම තරම් පවක් නොවනු ඇත. එයට හොදම උදාහරණය එකදු ගවයෙක් හෝ ඝාතනය නොවන සිල් සුවද දස අතේ විසිරෙන පුන්‍ය භූමියේ 'හසිත මඩවල' ඝාතනය වීමය. එය ගනන් ගත යුතු තරම් පවක් නොවේ.

මෙම ලිපියේ අරමුණ ගව ඝාතනය පිලිබද කතා කිරීම නොවන නිසාත් එය ගැඹුරින් වෙනම සාකච්චා කලයුතු කරුණක් නිසාත් ඒ පිලිබදව කතා බහා එතනින් නවතා දමමි.

මෙම ලිපිය ලිවීමේ ප්‍රධාන අරමුණට එන්නේ නම් ආචාර්‍යය තුමා භක්තිය උතුරා යමින් සැදු ශ්‍රී උපුල්වන් විශ්ණු දේවාලයට මීටර් 100ක් වත් නැති තරම් ආසන්නයේ නුවර පාර අයිනේම මදි අඩුපාඩුවට 'බියර් ශොප්' එකක්ද විවෘත විය.

එය බලපත්‍ර සහිතව පවත්වාගෙන යන්නක් බව සත්‍යකි. නමුත් පලමු සිල් පදය කැඩෙන නිසා කැළණිය හතර සීමාව තුල ගව ඝාතනයට බලපත් නොදෙන පිරිසම පස්වන සිල් පදය කැඩීමට බා‍ර් විවෘත කිරීමට බලපත්‍ර දෙන්නේ තම තමන්ම ගොඩනැගූ පුන්‍ය භූමි වලට වලට මීටර සියයක් වත් නොමැති දුරිනි. මේ සියල්ල බලා සිටින්නන්ට හිනා යන්නේ කටින් පමණක්නම් විය නොහැක.

මා දන්නා නීතිය පරිදි 'ප්‍රසිද්ධියේ' දුම්බීම හෝ මත්පැන් පානය දඩුවම් ලැබිය හැකි වරදකි. සාමන්‍ය පුද්ගලයෙකු කාටත් කරදරයක් නොමැති තැනක 'අප්‍රසිද්ධියේ' තොල කට ගෑවත් එය පොලීසියට ලොකු 'කේස්' එකකි. මෑතකදි එවන් අත්දැකීමක් තමා 'නොබී' තම මිතුරන් පිරිසක් බොන ස්ථානයක සිටි 'රජ වීදිය' බ්ලොග් අඩවිය ලියන රජ වීදියද ලබා තිබුනි. [ රජ වීදියෙ අත්දැකීම (මෙතනින්) කියවන්න. ]. එය මා ඔබ වැනි සාමාන්‍ය පුද්ගලයින්ට බලපාන නීතියයි. ලොකු ලොක්කන්ගේ ආශිර්වාද සහිතව පවත්වාගෙන යන බාර් වලට එම නීති වලංගු නැත.

එයට ඉහත කියූ බාර් එක හොද නිදසුනකි. එහි පාරිභෝගිකයින් බියර් පානය කරන්නේ ලංකාවේ ප්‍රධානම පාර (A 01) වන නුවර-කොළඹ පාරේ යන දහසකුත් ජනතාවට අතවනන ගමන්ය. ඒ බොහෝ විට බියර් බෝතලය කටේ තබාගෙනමය. එපමණක් ඇතමෙක් බියර් සැර මදි නිසා තවත් මීටර 500ක් වත් දුර නැති ෆුඩ් සිටියේ බාර් එකෙන් සැරබීමද ගෙනවිත් පානය ක‍රන්නේ විශ්ණු දෙවියන්ගේ මුහුණ වුවද පෙනෙන තරම් ලගින් පිහිටි දේවාල භූමියටම අයත් නුවර පාරටද පෙනෙන විවෘත ස්ථානයකය.

ඒ බොන පුද්ගලයින් 'බයිට්' එකට පූජා භූමියට ගෙනෙන්නේ ඇතම් විට හරක් මස්ම විය හැක. කිමද ඝාතනය හා විකිණීම තහනම් වූවාට මෙහි අනුභවය තහනම් නොමැති නිසාවෙනි.

පෞද්ගලිකව මා මත්පැනට හා දුම්වැටියට විරුද්ධ අයෙකි. මා ඒ කිසිවක් භාවිතා නොකරන මුත් වෙනත් අය තමන්ගේ පාඩුවේ සෙට් වී පොඩි සොට් එකක් දමා ෆන් එකක් ගන්නේ නම් එයට උදැල්ල දැමීමට තරම් මට මානසික ආබාධයක් නැත. (යහළුවන් සෙට් වෙන තැන සෙට් වී 'නොබී' බයිට් එකට වග කියන ජාති‍යෙ බුවෙක් තමා මාත්.). නමුත් මේ ස්ථානයේ සිටින බේබද්දන්ගෙන් පූජා භූමියට පැමිණෙන සහ අවට මාර්ගයෙ ගමන් ගන්නා පිරිස් වලට හිරිහැර සිදුවීම නම් ඉවසාගත නොහැක.

මේ විනාශ වන්නේ අප ගමය, අප රටය. "නීතිය සැමට සමානයි" යන්න යල් පැන ගිය කියමනකි. නීතිය ඕනෑ ප්‍රමාණයටත් වඩා තදින් ක්‍රියාත්මක වන්නේ මා ඔබ වැනි සාමාන්‍ය මිනිසුන් කෙරේ පමණි. ලොකු ලොක්කන්ට අදාල නීති ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ වන්නේ පොලිසියේ වත්මන් තේමාව "උස් තැන් දැක හැකිලෙන්නෙ… මිටි තැන් දැක පුප්පන්නේ…" වන නිසාය. පෞද්ගලිකව මා පවා එක් වරක් '119' අමතා පැමිණිලි කර මේ ස්ථානයට පොලිසිය ගෙන්වා ඇතිමුත් නීතිය ක්‍රියාත්මක වීමක් තබා වැ‍රදිකරුවන්ට අවවාද කි‍රීමක්වත් ඒ එන 'ඇවිදින පොල්පිති' වලින් සිදු වන්නේ නැත.

තත්වය මෙසේ තිබියදී පසුගිය නොවැම්බර් 18 දිනට යෙදුන අප කීර්තිමත් ශ්‍රී රාජෝත්තමයානන් වහන්සේගේ (ඔව්.. ඔව්.. මහ රජතුමා තමා) උපන් දිනයට එතුමා විශ්ණු දෙවියන් බැහැදැකීමට පැමිණි අතර එතුමාට නිදහසේ වන්දනා උදෙසා එදින නම් අදාල බාර් එක වසා දමා තිබුනි. මට ඇති ප්‍රධානම ගැටලුව 'මහ රජානන් වහන්සේට වන්දනා මාන කිරීමට බාධාවක් වූ බාර් එක සාමාන්‍ය ජනතාවට බාධාවක් නොවන්නේ කෙසේද? යන්නය.

අවසන් වශයෙන් කීමට ඇත්තේ නීතිය ක්‍රියාත්මක වනවානම් සැමට සමානව ක්‍රියාත්මක විය යුතුය. එයට ඇති නැති බලවත් දුබල ලෙස භේද තිබිය නොහැක. නමුත් අප රටේ පිරිහෙන සාමාජීය දේශපාලනික වටපිටාව තුල සිදු වන්නේම එයයි. ඉතාම දුඛ්කදායක කරුණ නම් ඒ ජරාජීර්ණ තත්වය ආගමික පරිසරය තුලටද කා වැදෙමින් පැවතීමයි.


ප. ලි. ~~~~

කාලය ශ්‍රමය පමණක් නොව මුදල්ද(දත්ත) වැය කරමින් මෙවන් ලිපියක් ලීවේ ගව ඝාතනය නැවැත්වීමට විරෝධය පල කිරීමටවත් මත්පැන් පානයට විරෝධය පල කිරීමටවත් නොව හුදෙක් "නීතිය සාදාරණත්වය රජයන හෙටක් බලාපොරොත්තුවෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන්" පමණි.

නමුත් මෙය පලවීමෙන් පසු මාගේ කිසිදු ප්‍රථිචාරයක් නොමැති වුවහොත් මා විශ්ණු දෙවියන්ගේ දේව උදහසට කෙසේ වෙතත් මහ රජතුමාගේ හෝ ප්‍රාදේශීය රජෙකුගේ රාජ උදහසට ලක්වී සුදු පැහැති දෝලාවක විනෝද චාරිකාවක් ගොස් ඇති බව කරුණාවෙන් සලකන්න.


© ප්‍රියා.

54 comments:

  1. හ්ම්ම් අනේ අප්පේ මෙවුවා ප්‍රියෝ

    ReplyDelete
    Replies
    1. අපිටත් ඕවා දකින ගානෙ 'අනේ හපොයි' කියවෙනවා ඔමා.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මගුළක් කතා කරනවා. උඹ විතරක් නෙමෙයි අපිත් කැළණියේ. හරක් මරණ එක නැවැත්තුවේ....., තමන්ගේ එකා මරණ කොට මොකාද බන් කැමති.

    බාර් දාලා තියෙන්නේ, ඒක සුරයන්ගේ පානය නිසා.. බොතල් හවුස් කරෝකේ දාලා තියෙන්නේ, අන්ගනාවන්ගේ රැඟුම් බලා සසර කළකිරී, කැළණිය වැඳ නිවන් අවබෝධ කර ගැනීම සඳහා. අනික ඉතින් මක්කා කලාම මොකද. ඔක්කෝම පව් යන්න. එක පාරක් කැළණි වැන්දාම හොඳටෝම ඇති.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමානෙ මාතලං අයියෙ. ඒක තමා ඔය හරක් ක්‍රෙඩිට් එක තමන්ට ගන්න ආචාර්‍ය තුමායි ප්‍රාදෙශීය සභා බුවාලයි මරා ගන්නෙ. දෙගොල්ලොම 'හරක්'.

      මුන්ටනම් හැබැයි කරන පවු ගෙවා ගන්න කැළණි පංසලේ පදිංචි වෙන්නම වෙයි

      Delete
    2. වන්දාමි මාතලන් කීවලු ඉදගෙන :)

      Delete
    3. @ ඔමා.
      හි… හි… කොහෙන්ද අප්පේ ඒක හොයා ගත්තෙ? :-)

      Delete
  4. අනෙ බන් උබට තෙරෙන්නෙ නැද්ද මෙක ආසියාවෙ අස්චරිය වැගිරෙන අම්මට සිරි ලන්කාව.

    ReplyDelete
    Replies
    1. හි… හි…
      ඇත්තම තමා දමිත් අයියෙ. අපේ රට ආශ්චය බලා සීග්‍රගාමී ගමනක. කොහේ ගිහින් නවතීද දන්නෑ.

      Delete
  5. ලිපියෙ කොච්චර ඇත්ත ලියල තියනවද කියනව නං ෂුවර් එකටම ප්‍රියා අයියට සුදු දෝලාවක විනෝද චාරිකාවක් ලැබෙනව හොදේ...
    මමත් නිතර කල්පනා කරන දෙයක් තමා ඇයි මේ මිනිස්සු ගව ඝාතනයට විතරක් ගිරිය පුප්පං කෑ ගහන්නෙ කියල. කුකුල්ලු, ඌරො, එළුවො මරනවටවත්, මූදෙ මාළු අල්ලනවටවත් කවුරුත් කිසි දෙයක් කියන්නෙ නැත්තෙ උන් අර ප්‍රාණ ඝාත අකුසලයට යටත් නොවෙන හින්දද..?
    අනේ මන්ද.. ආශ්චරිය තමයි අයියෙ ආශ්චරිය...

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිඟිති නංගි ගවයට දක්වන අනුකම්පාව සියළු සතුන්ට දක්වන්න බැරි ඇයි?
      ඒකට හේතුව විදියට පේන්නෙ මාතලං අයියා කියනවා වගේ ඒ මිනිස්සු කැමති නෑ තමග්ගෙ සනුහරේ උන්ව මරනවට

      Delete
  6. මේ ආශ්චර්යය කිරුළු පලඳින්නේ අපි අපේම රටේ වහල්ලු වෙලා .(අපි කිව්වෙ සාමාන්‍ය ජනතාව ,රජුඇතුළු රාජසභාවේ උදවිය එහෙම නෙවෙඉ හොඳේ)

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ. දැනටත් අපි උන්ගෙ වහල්ලු වෙලා ඉවරයි. අපේ මනස ඒකට හැඩගස්වලා ඉවරයි දැන්. 1948 ඉදන්ම උනේ ඒක තමා.

      Delete
  7. දැන් දැන් ලංකාවේ සිද්ධ වෙන දේවල් නම් හරි අමුතුයි ප්‍රියා . කවුරු කොහොම බලයට ආවත් ඔය වැරදි හරි ගස්සන්නේ නෑ. (ඇයි ඉතින් ජන්ද අඩු වෙනවා කියලයි,ඔය බාර් කාරයෝ දිනන පක්ෂෙට හූමිටි තියලා පක්ෂපාති බව පෙන්නනවානේ)යමක් කරන්න පුලුවන් මහ ජනතාවටම එකතු වෙලා අදාල තැන් වලට බලපෑම් කරල විතරයි කියල මට හිතෙන්නේ. ඒත් ඉතින් රතුපස්වල වගේ මැරුම් කන්න කවුරුත් අකමැති නිසා ඔය පලාතේ ජනතාව සද්ද නොකර ඉන්නවා ඇති කියලා හිතනවා

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් ශානු අපේ රටේනම් කවුරු බලේට ආවත් ඔය තත්වෙ වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ.
      අනික අපේ මිනිස්සු එකතු වෙලා විරෝධය දක්වන්න බයයි දැන් නම්

      Delete
  8. ඕවා ගැන ඔච්චර හිතන්න එපා මලේ, බලන්නකෝ තව ඉදිරියට තව මොනවගේ දේවල් වෙයිද කියලා. ඕකට තමා කියන්නේ ආශ්චර්යමත් සුබ අනාගතයක් කියලා.

    සුදු වැන් වලට බය වෙන්න එපා, දැන් උන්ටත් එපාවෙලා තියෙන්නේ මේ රස්සාව.

    හැබැයි එක දෙයක් මතක තියාගන්න, අපි වපුරන දේ අපිම කපා ගන්නවා. ඒ නිසා එයාලගේ අස්වැන්නේ ප්‍රතිපලය අපිට ඉක්මනට බලාගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඩොක් අයියෙ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙනවා කියලත් කියනවනෙ.

      සුදු වෑන්වල යවපු සෙනගෙ හැටියට දැන්නම් ඒ මිනිස්සුන්ටත් ඒ සෙල්ලම එපා වෙලා ඇති තමා.

      Delete
  9. ඔය එකක් පමණයි,නිකං කියල කට ගෙවාගන්නව විතරයි බං,ඕනනං බොට දෝලා චාරිකාවක් ලැබෙයි අනේ හුකේ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා හැල්ප අයියෙ. ඔය එකක් විතරයි. ඔය වගේ තැන් දැන් රට පුරාම. එක අතකට මේවා කතා කරලා අපි කට රිද්දගන්නවා විතරයි.

      Delete
  10. //ඒ ඉස්සර. දැන් මතක් වෙන්නෙ ආචාර්‍‍ය තුමාව (ඔව්..ඔව් එතුමා තමා.)// මේ කතාව නං සහතික ඇත්ත! ඕවට ඉතින් අපි මොනවා කරන්න ද? ජම්බුගස්මුල්ලේ බෝ ගහ යටත් හරක් මස් කඩයක් තිබුණා. මිනිස්සු විරුද්ධ වුණා. අන්තිමට හරක් මස් කඩේ වැහුවේ නෑ පාර පළල් කරන්න ඕනේ කියලා බෝ ගහ කැපුවා. ආශ්චර්යය තමයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ධාරා. හැමදේම ජන්ද ගුණ්ඩු. මෙහෙත් හරක් මස් කඩ වැහුවේ ආගම ජාතිය රැකගන්න නෙමේ. එහෙමනම් බාර් අරී යෑ. ආශ්චර්‍ය තමා ඔක්කොටම මුල.

      Delete
  11. ප්‍රියා බය නැතුව ඇත්ත කතා කරපු එක නියමයි.කතාවටත් කියනවනෙ ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියල.පෝස්ට් එකට රජ වීදියත් මතක් වුනු එක ගැන සතුටු වෙනව.මුන්ට ගිය රටයි මුන්ට ගිය නීතියයිනේ මේක.මමත් දැකල තියෙනව ප්‍රිය ඔය කියන පොට් එක.මිනිස්සු දැන් රජ කලාට මිනිස්සු ඕව විදවන්න ගත්තම කෙළවරක් නැහැ.හොදට බලන්න බහුතරයක් ජරා වැඩ කරන පොලිස් මහත්වරුන්ට වෙන්නෙ මොකද කියල.ඒවා එහෙම නොවී බැහැ..එහෙම විය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත රජ වීදිය ඔය දාන සෙල්ලම් ඔක්කොම ලෙල්ලම් වෙන්නෙ යුනිෆෝම් එක නැති උන දවසටයි. එදාට උන්ට අණ දෙන ලොක්කො කවුරුත් නෑ. අර රූකාන්තලගෙ සිද්දියෙදි උනෙත් එහෙමනෙ.

      Delete
  12. ඔය දේවාලෙ හැදුවා කියන්නෙ මහ රජතුමාට තිබ්බ අපලයකින් බේරෙන්නෙ දෛවඥයො දීපු උපදෙස් අනුව...වගුරු බිමක් ගොඩකරලා නේද ඒක හදලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් සිරා ඒ කතාව ඇත්තලු. මහ රජතුමාගෙ අපල දැන් ඉවරයිලු. වෙලක් තමා ගොඩ කලේ ඒත් ‍තාමත් වැස්සට එතන යට වෙනවා.
      මහ රජතුමත් නිතරම ඔතනට එන්නෙ අපලෙ ගෙවා ගන්න වෙන්න ඇති

      Delete
  13. අනේ ප්‍රියා ඔය ගැන නම් කතා වැඩක් නැහැ.
    බුදු සාදුගේ දතේ පන්සල අවට කොච්චර දේවල් වෙනවද අප්පා...

    ReplyDelete
    Replies
    1. අපෝ ඔව් කෙන්ජි අයියෙ.
      දළදා මාළිගාව අවටත් කෙරෙන දේවල් එක්ක බලත්දි මේවා මොනවද? ඒ වටේ 'ලැම්බෝගිනි' රේස් පවා යන්නෙ. කුමාරවරු නයිට් රේස් ඔර්ගනයිස් කරන්නෙත් මාළිගාව වටේනෙ.

      Delete
  14. ප්‍රියෝ යන ගමනක් ඇස් කන් වහගෙන යමන් අප්පා . . . ආශ්චර්‍යය දැක්කත් නොදැක්ක වගේ.නැත්නම් . . හැබයි මතක ඇතිව චන්දේ දාට ඇහැරියන්

    ReplyDelete
    Replies
    1. ඒකනම් සිරා කතාව මඟියො. දැන්නම් ඇහැ කන පියන් ඉන්න තරමට සැපයි.

      Delete
  15. ඔවුවනම් මොනවද බං වෙන දේවල් වල හැටියට

    ප.ලි. ඒ උඹ ඉන්නවද බං?

    ReplyDelete
    Replies
    1. දැනට නම් ඉන්නවා බං. ඒත් ඉස්සරහට කියන්න බෑ.

      Delete
  16. මේවා ගැන කං කතා කරලා වැඩක් නෑ.. කොයි වැරැද්දකත් කොහෙන් හරි දේශපාලන බලපුලුවන්කාරකමක් ගෑවිලා ඇති :)

    ReplyDelete
    Replies
    1. ඔව් මධූ රටේ වැරද්දක් වෙන්නෙ කොතනද එතන දේශපාළුවෙක් ගෑවිලා ඉන්නවා. ඉදිකට්ටට නූල වගේ තමා :-D

      Delete
  17. සුදු වෑන් එකක් වත් එයි ද මන්දා මෙව්වට කමෙන්ට් කරලා :DD

    ReplyDelete
    Replies
    1. අපොයි පුලුවන් දිලිනි. කෝකටත් කමෙන්ට් කරලා හැන්ගෙන්න. මාත් හැන්ගෙනවා

      Delete
  18. දැන්ම ගිහින් බාරයක් වෙයන් අර දේවාලෙට කියලා... නැත්තම් හොඳ ගහක් කල් ඇතිව සුදානම් කරගෙන ඉඳපන් ආ.. ඕව ලියන එකත් රාජ උදහසට ලක්වෙන්න පුළුවන් කාරණාවක්.

    උන්ට බෙදන හැන්දයි අපිට බෙදන හැන්දයි දෙකම එක වගේ වුනාට අපිට බෙදන හැන්දේ හිල්, එහෙම නැත්තම් වටේ ෆ්‍රේම් එක විතරයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රයිටරයො අපිට බෙදන හැන්දෙ දාර හිලක්.

      ගස් බැන්දත් කමක් නෑ බං. ඊට පස්සෙ මම මයි ගස් බැදගත්තෙ කියන එකනෙ කර ගන්න බැරි. :-D

      Delete
  19. හරක් ගැන කතාකරන මීහරකාට නම් ලඟදි බඩු බනිස් වෙන බවට ආරංචියක් තියෙනවා...මහ රජ විශ්ණු කෝපවෙලාලු....තනියෙන් කාලා අහුවෙලා වෙන්නැති. යකෝ ප්‍රියා මේ රට තව දුරටත් අපේ නෙවේ...ඒක මැදමූලන හාමුලාගේ බූදලේ...එක එකාට එක එක පැති ලියලා දීලා තියෙන්නේ. පැත්තෙන් පැත්තට නීතිය වෙනස්.

    මීහරකාව අයින් කරලා දැන් කැළණියට දාලා ඉන්නේ කොහෙන් කැපුවත් කිලෝ එකයි සයිස් එකේ කුළුහරකෙක්. ඉන්න බාර් කාරයා එලවලා උගේ එකෙක්ව දායි. ඔච්චරයි වෙනස් වෙන්නේ. විශ්ණු ගොයියා දේවාලෙට වෙලා බලන් ඉඳියි ඉතින් අපිට කෙලවෙනකම්ම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අරූ අයියෙ. දෙවියන්ටත් කරන්න පුලුවන් බම්බුවක් නෑ කියලා හිතෙන්නෙ මේ වෙලාවට තමා. නැත්නම් මේ වගේ දේවල් දිහා ඇහැ පියන් බලන් ඉදීයෑ.

      අරකත් ඇත්තම තමා දැන් රටම රජ පවුල බෙදාගෙන නොවැ. අපිට හුලන් තමා.

      Delete
  20. kelani pure siri varune wenas aarakin liyalaa thiyenne :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රෙහානි.
      දැන්නම් කැළණි පුරේම විනාසයි.

      Delete
  21. "නීතිය සාදාරණත්වය රජයන හෙටක් බලාපොරොත්තුවෙන් සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන්"

    ඒ හෙට කියන දවස කවදා උදාවෙයිද දන්නෑ බං.....අන්න එතන ලොකු ප්‍රශ්නාර්ථයක්??????

    ඇත්තටම ලිපිය අගේ කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මේ යන විදියට ඒ දවස සිහිනයක් විතරක් වෙයි වගේ.
      ඒත් අපේ දරුවන්ට වත් ඒ දවස ලැබුනොත් ඇති.

      Delete
  22. මල්ලි කියන කාරණේ ඇත්ත.. ඒත් ඔය හරක් මරණ එකට විරෝධය දක්වන්නන් ගැන තියෙන ආකල්පයේ නම් වෙනසක් වෙන්ට ඕන කියලා මට හිතෙනවා..
    ලංකාවෙ හරක් මරන්ට, හරක් මස් කන්ට මැළි වෙන අයට ඒවාට ප්‍රධාන හේතු එකක් හෝ කිහිපයක් තියෙන්ට පුළුවන්.. මේ තියෙන්නෙ ඉන් කීපයක්..
    1. හින්දු ආගමේ හරකා ට තියෙන ඉහළ ගෞරවය... ආගමික කලවම් වීම තුළින් රට පුරා ම පැතිරීම.. හා ඒ හරහා ම ඇති වූ මිථ්‍යා සංකල්ප මඟින් හරක් මැරීම හා හරක් මස් කෑම තුළින් අසාමාන්‍ය පවක් සිදුවෙනවා යැයි ඇතැමුන් සිතීම..
    2. මීට කලකට ඉහත තරමට ම නැතත් තවමත්.. හරකා මිනිසාට ඉතාමත් කිට්ටු හිතවතෙකු වීම.. (සී සෑම, ගොන් කරත්තය, තිරික්කලය, ගොම, මී කිරි, එළ කිරි, යෝගට්, ගිතෙල් ..... සැපයීම නිසා) හරහා හරකා හෙළ සමාජය තුළත්.. කෘතගුණ සැළකිය යුතු සතෙකු ලෙස සැලකීම.
    3. බෞද්ධ ඉගැන්වීම් අනුව යමින් අවිහිංසාවාදය තේරුම් ගෙන ඕනම සතෙකු මැරීම පවක් බව අවබෝධයෙන් දැන ගව ඝාතනයටත් විරුද්ධ වීම.

    ඉතින්.. 2 හා 3 නිසා ගව ඝාතනයට විරුද්ධ වන අය කෙරෙහි අප ගෞරව කළ යුතුය.. තව ද 1 නිසා ගව ඝාතනයට විරුද්ධ වන්නාට ද අගෞරව කළ යුතු නැත. ඔවුහු තමන්ගේ ආගමෙන් තමන් ලද දැනුම (හරි හෝ වැරදි) යොදාගෙන හරක් මැරීමට විරුද්ධ වීමෙන් අවැඩක් සිදු වන්නේ නැත.. සිදුවන්නේ යමෙකු ප්‍රාණඝාත අකුසලයෙන් ගැලවීමක් හා සතෙකුට අභය දානය ලැබීමකි..එනිසා අප අනෙක් සතුන් ඝාතනයටත් විරුද්ධ නම් කළ යුත්තේ ගව ඝාතනයට විරුද්ධ වන්නන්ට.. අනෙක්වාටත් විරුද්ධ වන්නැයි බල කිරීම නොව.. අප ඒ වෙනුවෙන් නැඟී සිටීමය..

    ReplyDelete
    Replies
    1. පලමුව ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      මං පසු ලිවීමෙත් ඔය දේ ගැන ලිවුවෙ කවුරුම හරි ඔය විදියට හිතයි කියලා තමා. "ගව ඝාතනය තහනම් කරනවාට මා විරුද්ධ නැත."
      නමුත් කැළණියේ සිද්ධ වූයේ ජන්දය පදනම් කරගත් ගොන් ආතල් ගැනීමක් විතරයි.

      මොකද සද්භාවයෙන් ගව ඝාතන‍ය තහනම් කල පි‍රිසට කොහෙත්ම බෑ බාර් වලට අවසර දෙන්න ඒකත් පූජා භූමියක් ආසන්නයෙම.
      මට පෙන්වය යුතු උනේ අන්න ඒකයි.

      අනෙක මා ගව ඝාතනය පමණක් තහනම් කරනවාට නම් අකමැති‍ය. "මෙලොව සියලු සත්වයන්ට ජීවත් වීමට අවසට තිබේ".

      ස්තූතියි.

      Delete
    2. //අනෙක මා ගව ඝාතනය පමණක් තහනම් කරනවාට නම් අකමැති‍ය. "මෙලොව සියලු සත්වයන්ට ජීවත් වීමට අවසට තිබේ"//
      මේකෙම තියෙනවා නේද මලයා.. මං ලියපු උත්තරේ අසාධාරණ නෑ කියන එක..

      සියලු සත්වයන්ට ජීවත් වීමට ආසාව තිබෙන බව ඇත්ත..කට්ටියම ඝාතනය කොරන එක නවත්තනවා නං හොඳ බවත් ඇත්ත.. ඒත් Something is better than nothing කියනවනේ.. අඩු ගානෙ ගව ඝාතනය වත් නවත්තගත්තොත් කොච්චර දෙයක් ද?

      Delete
    3. එක වැරැද්දක් නවත්තන එක වැරදී නෑ ඒත් ඒ ගමන් වැරදි කිහිපයකට මග පාදන විදියට බාර් වගෙ ඒවට අනුග්‍රහය දක්වන්නෙ ඇයි??

      බීමත නිසා පවුල් කී දාහක් කඩා ඉහිරෙනවද??
      ජීවිත කීයක් විනාශ වෙනවද??

      හරක් මරන එක නවත්තන එක වරදි නෑ. ඒත් "හරකගෙ විනාශය පිලිබදව මෙතරම්ම සංවේදී පාලකයන් මිනිසාගෙ විනාශය නොදකින්නෙ මන්ද???"

      මේ සියල්ල ඔහුන්ගේ ජන්ද ගුණ්ඩු පමණි.

      Delete
  23. කියවන්න වෙලාවක් නෑ ප්‍රියා පස්සේ කියවන්නම් .....

    ReplyDelete
    Replies
    1. ඕකේ සහෝ. හිමින් ඇවිත් කියවන්න.

      Delete
  24. ප්‍රියා කතාව නම් මල් 7ය. කියන්න තියෙන දේ කෙලින්ම කියන ඔබට මගේ සුභ පැතුම් ..පෞද්ගලිකකව මම සෙට් වන තැන් වල බයිට් එකට විදින උන්ට කැමති නැත ,
    ඝාතනය කුමන සතාට උවද පොදු කරුණකි එක මිනිසාට හෝ කුකුළාට කියා අපි එවා කකා එවාට විරුද්ධ වුවාට වැඩක් වෙද ????

    ReplyDelete
    Replies
    1. Aththama thama saho, ape minissu harakunta abaya dhanaya dila e sathutata set vela bait ekata ganneth ahinsaka sathekva.

      Delete
  25. මේ කරන හැම ක්‍රියාවකම තියෙන අරමුණ තමයි විපාක වලට හේතු වෙන්නේ. ගව ගාතනය හෝ වැළකීම හොඳයි. අනෙක් ඒවාත් නවතිනවානම් හොඳයි. සුරාසල්, සූදු පොළවල් නැති විය යුතු දේවල්. ඔයාගේ තර්කෙ හරි.

    ReplyDelete
    Replies
    1. අන්න හරි සුදීක අයියෙ, ඕක තමා මාත් කියන්නෙ බොරුවට ‍රටට ලෝකෙට පේන්න හරක් මස් කඩ වහන ගමන් මේ හරක් බාර් අරිනවා. අන්න එතනයි වැරැද්ද.

      Delete
  26. "යහළුවන් සෙට් වෙන තැන සෙට් වී 'නොබී' බයිට් එකට වග කියන ජාති‍යෙ බුවෙක් තමා මාත්" මාත් එහෙමම තමයි :D
    අදයි මේ පැත්තෙ ආවෙ, ඉතින් මේ මුල ඉඳන් අගටම කියවන් යන ගමන්. හරිම ලස්සනට ලියන සහ වැදගත් බ්ලොග් එකක්. මේ කතාවත් ඒ වගේම තමයි.
    මම මේ කල්පනා කරේ ප්‍රියා මේ කතා කරල තියෙන දේවල් වල හැටියට අර කියපු "සුදු දෝලාව" ගැන ටිකක් පරිස්සමින් හොඳේ.

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................