24 November, 2013

පුංචී දෝණී මගේ… දෑස වේ ඔබ මගේ……


අදට හරියටම දවස් 377කට කලින් දවසක හවස පහට කොන්ඩෙ පිස්සෙක්ගෙ ත‍රම් අවුල් වෙච්ච දවස් ගානකින් නොකපපු රැවුල් කොට මුහුණ පුරා විසිරිච්ච කොල්ලෙක් 'කාසල් වීදියෙ කාන්තා රෝහලේ' වාට්ටුවක් දිගේ දුවගෙන යනවා. ඒ දවාලෙ සූතිකාගාරයට ගත්ත තමන්ගෙ බිරිදව දකින්න. ඒ කොල්ලාගෙ අම්මත් කොල්ලත් එක්ක ඉන්නවා.

ඒ යත්දි ඒ කොල්ලා දකිනවා තම බිරිද බිත්තිය අයිනක ඇදක ඉන්නවා. ඒ තනියම නෙමේ රෙද්දකින් ඔතපු පුංචිම පුංචි කිරි කැටියෙක් එයාගෙ පපුවට උණුසුමට තුරුල් වෙලා. ඒ කොල්ලගෙ අම්ම බිරිදගෙන් අහනවා "දුවෙක්ද? පුතෙක්ද?" කියලා. උත්තරේ ලැබෙනවා "දුවෙක්." කියලා.

ඒ කොල්ලා වෙන කවුරුත් නෙමේ 'ප්‍රියා' වෙච්ච මම ම තමයි. මං මගේ පුංචි සුරංගනාවිව දැකපු මුල්ම අවස්ථාවයි ඒ. හරියටම කියනවා නම් 2012 නොවැම්බර් මාසෙ 22 දා. එදා තමා මගේ පුංචි දුව ඉපදුනේ.

ඔන්න ඊට පස්සෙ ආවා නම් ‍තැබීමේ අවස්ථාව. මට ඒ දවස් වල පුදුම පිස්සුවක් තිබුනා අපිට ඉපදෙන දරුවටත් නමට 'ප්‍රිය' කෑල්ල එකතු කරන්න ඕන කියලා. මොකද මගේ නම් චතුරංග 'ප්‍රිය'ශාද්. මගේ 'ප්‍රිය'ම්බිකාවග්ගෙ නම නදීශා 'ප්‍රිය'දර්ශනී. ඒත් දැනට ඔය 'ප්‍රිය' කියන වචනෙ 'ප්‍රිය' උනාට තව අවුරුදු විස්සකින් විතර 'ප්‍රිය' වචනෙ 'අප්‍රිය' විය හැකි නිසා මගේ පූංචි පැටික්කිට නම ලැබෙනවා "දරණි යසස්මි" කියලා.

අවුරුද්දක් ගෙවිච්ච ඉක්මන....... මගේ පුංචි සුරංගනාවිට පෙරේදට අවුරුද්දක්...... මම දැන් අවුරුද්දක ළමයෙක්ගෙ තාත්තා කෙනක්.......

"ජීවිතය 'විදවන්නන්ට' කාලය ගෙවෙන්නේ ඉබි ගමනිනි. නමුත් ජීවිතය 'විදින්නන්ට' කාලය ගෙවෙන්නෙ අධිවේගයෙනි." ඒක මං දැන ගත්තෙ ඔයා ඉපදුනාට පස්සෙයි. ඔයා නිසා මං දැන් ජීවිතය විඳිනව චූටි දුවේ. මේ අවුරුද්ද ගෙවුනා වගේ ඉක්මනට තව අවුරුදු ගානක් ගෙවෙයි. තව අවුරුදු විස්සකින් විසි එකකින් ඔයා තරුණියක්. එදාට මේ 'බ්ලොග්' එක තිබුනොත් ඔයා මේක කියවයි කියලා මං හිතනවා. ඔයාට මං ආදරේ කරන තරම කියන්න බ්ලොග් එකක ලියන්නම ඕන නෑ. මොකද දැනටත් මං ඔයාට ආදරේ තරම ඔයා දන්නවා කියලා මම දන්නවා. ඔයාගෙන් මට ඒක දැනෙනවා. ඒක තමා දරු සෙනෙහස කියන්නෙ.

ඔයා ඔයාගෙ අම්මගෙ කුසට ආවා කියලා අපි දැන ගත්තෙ හරියටම 2012 අප්‍රේල් දෙවෙන්දා එදා ඉදන් ඔයාගෙ අම්මයි තාත්‍තයි විතරක් නෙමේ ඔයාගෙ ආච්චිලා සීයාලා හැමෝම ඔයාව ආරක්ෂා කරපු හැටි ඔයා බලන් ඉන්න ඇති.

දොස්තර මාමලා කිවුවේ ඔයා ඉපදෙන්නෙ නොවැම්බර් 18 කියලා. ඒත් එදා ඔයා අපිව බලන්න ආවෙ නෑ. නොවැම්බර 18 ඉදන් 22 වෙනකම් දවස් හතර ඔයාගෙ අම්මයි තාත්තයි උහුලපු ගින්දර දන්නෙ අපි දෙන්නා විතරයි පුංචි දුවේ. ඒ ගින්දර ඔයාට දැනුනා නම් ඔයාගෙ ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාට කොච්චර ආදරේ ක‍රනවද කියලා ඔයාට දැනෙයි. මොකද අපි ඔයාට ආදරේ කරන තරම කියන්න තරම් වචන මේ ලෝකෙ නෑ මගෙ පැටික්කියෙ.

මම කියන්නෑ මම මේ ලෝකෙ ඉන්න 'හොදම' තාත්තා කියලා. මොකද මට වඩා හොද තාත්තලා ඊ‍යෙත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉදී. ඒත් මං උත්සහ කරනවා 'හොද' තාත්තා කෙනෙක් වෙන්න. මොකද ඔයා තමා අපේ පණ. අපේ ලෝකෙම ඔයයි පුංචි දුවේ.

දුවගෙ තාත්තා කවියෙක් නම් නෙමේ. මගෙ හිතේ ඔයාට තියෙන ආදරෙන් එක දශමයක් තමා මේ අමුණලා තියෙන පද ටික. මේ කවි ටික ලියවුනේ ඔයා ඉපදුන අලුතමයි.


"දරණි' දුවේ නුඹ නිදනා විටදි ළයේ…
මහද මඩලෙ දරු සෙනෙහස පිරෙනු දැනේ…
පාළුව රජ කලත් පෙරදින අප දිවියේ…
සසරම එළිය ගැන්වී ඇත ඔබ ඇසුරේ…

මල් රොන් වලින් වත්සුනු ගෙන තවරන්නම්…
සඳකැණ් වලින් දෝතක්ගෙන නහවන්නම්…
තරු කැට පෙලක් අමුණා ගෙල පලදන්නම්…
'දරණි' දුවේ නුඹ රැජිණක් කරවන්නම්…

කනට තෝඩු පලදා හැඩ බලන්නම්…
ගෙලට මාල බන්දා හැඩ කරන්නම්…
රන්‍‍‍රිදියෙන් නුඹෙ වත සරසවන්නම්…
'දරණි' දුවේ මගෙ සිහිනය එයයි දැන්…

සිඟිති නෙතේ කඳුලැල් නොම ඇඳේවා…
පුංචි සිතේ දුක් ගිනි නොම දැවේවා…
දුක් වේදනා කිසිදා ලං නොම වේවා…
'දරණි' දුවේ නුඹ සතුටින් ඉදීවා!!…"


මගේ ආදරණීය 'පුංචි සුරංගනාවි'ට නිරෝගී, වාසනාවන්ත, සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!


© ප්‍රියා.

42 comments:

  1. මචන් තාත්තෙකුගේ හැඟීම් නියමට ලියල තියනවා.මටත් මගේ දෙන්නම ලැබුන දවස් ගැන ඔය වගේම සිතුම් තමා තියෙන්නේ.දැන් නම් මතක් වෙනකොට පුදුමත් හිතෙනවා . . . සුබ උපන්දිනයක් දුවට ,....

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් මගේ යාලු තාත්තෙක්

      Delete
    2. බොහොම ස්තූතියි මඟියෝ. ඇ‍ත්තටම ඒ දවස මතක් කරත්දිත් හීනයක් වගේ. මතක් කරත්දිත් ආසයි.

      Delete
  2. ප්‍රියා හරිම සතුටක් ඔයා වගේ යාලුවෙක් මට ලැබිච්ච එක , ඔයාගේ දරුවා හරිම වාසනාවන්තයි ඔයාව ලැබෙන්න , මේ ලෝකේ හොදම තාත්තා කියලා කෙනෙක් නැහැ ,, ඔය විදියට තමන්ගේ දරුවට ආදරේ කරන හැම තත්තෙක්ම හොදම තාත්තෙක් තමයි ,, ඔයාගේ දරුවට මේලෝකේ හොදම තාත්තා ඔයා තමයි ,, කවි ටිකත් හරිම ලස්සනයි .. දාරුවට අවුරුදු 7 ,8 වුනාම පෙන්නන්න තාත්තගේ බ්ලොග් එක , සතුටින් ඉන්න හැමදාම , ජේසු පිහිටයි පවුලටම

    ReplyDelete
    Replies
    1. මාත් ගොඩක් වාසනාවන්තයි ඔමා ඔයාලා වගේ යහළුවො හම්බවෙන්න. ඒ වගේම මන් දැකලා තියෙන දෙයක් තමා බ්ලොග් ලෝකෙ ඉන්න ගොඩක් ගැහැණු දැරිවියො තාත්තලාට පුදුම විදියට ආදරෙයි. ඒ අතරෙ උඩම තැනක ඔයා ඉන්නවා.
      මන් මේ බ්ලොග් එක දුවට පෙන්නනවා. ඒ විතරක් නෙමේ ඔයාලා තාත්තලා අම්මලා ගැන ලියපු පෝස්ට්ටුත් පෙන්නනවා. 'විශේෂයෙන්අර ඔයා ඔක්තොමර් 31 ලියපු පෝස්ට් එක'.
      ඔයාටත් ජේසු පිහිටයි!

      Delete
  3. ammඅම්මෙක් තාත්තෙක් කියන වචන වල තේරුම හරි හැටි තේරෙන්නේ තමනුත් ඒ තත්වෙට පත් වුනාම. චූටි දෝනිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන අතරම ප්‍රියා ඔබටත් බිරිඳටත් සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කෝරලේ අපෙ අම්මලා තාත්තලා ගැන හරියටම දැනුනේ අපිත් ඒ තත්වෙට ආවමයි.
      සුභ පැතුමටත් ස්‍තූතියි.

      Delete
    2. ඒ වගේම කෝරලේ මාත් සුභ පතනවා. ලබන අවුරුද්දෙ ඔයාලා අතරට එන්න පෙරුම් පුරන ඒ චූටි පැටියාවයි ඔයාගෙ බි‍රිඳවයි තෙරුවණ් බලෙන් රැක්දේවා! කියලා.

      Delete
  4. ආදරය කියන දේ මොකක්ද කියලා දැන්නේනේ දරුවන්ගෙන් ආදරය ලැබෙනකොට, ඒ වගේම දරුවන්ට ආදරය කරනකොට. මේ දුක -සතුට මට හොඳට තේරෙනවා. දරණී දුවට සුභ උපන් දිනයක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුදීක අයියෙ දරු සෙනහස කියන්නෙ පුදුමාකාර දෙයක්.
      බොහොම ස්තූතියි සුභ පැතුමට.

      Delete
  5. නියම පියකු ගේ සිතිවිල්ලක්.
    කොහෙද බං උඹල ලියන ලිපි පෙන්වන්නේ.
    සින්ඩි වල එල්ලලා නැද්ද.
    එල....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෙන්ජි අයියෙ.
      මේක මාතලං අයියාගෙ සින්ඩියෙ එල්ලලා තියෙන්නෙ. තාම පටන් ගත්ත අලුත නිසා දකින්න නැතුව ඇති.
      ආයෙත් බොහොම ස්තූතියි.

      Delete
  6. මේ පෝස්ටුව මගේ හිතට තදින්න වැදුනා, වතූ අයියේ. මගේ තාත්තා මට ලියපු එකක් විදියට යි දැනුණේ. මොකද "ධාරා" කියන නමින් ලිව්වට මගේ නමත් "ධරණි" :) ඒ නිසා මේ පෝස්ටුව මට විශේෂ යි. චූටි දෝණිට සුභ ම සුභ උපන්දිනයක් වේවා! හ්ම්ම්, ධරණි කියන කොට නං තේරුම් මහ පොළොව කියන එක යි. දරණී කිව්වමත් එහෙම ද? නැත්තං අකුරු පොඩ්ඩක් එහා මෙහා වෙලා ද? චූටි දෝණිට සතුට පිරුණ වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා හද පතුලෙන් ම!

    //හරියටම කියනවා නම් 2012 සැප්තැම්බර් මාසෙ 22 දා. එදා තමා මගේ පුංචි දුව ඉපදුනේ.// මේ වැරැද්දත් නිවැරදි කළා නං. මම හිතන්නේ නොවැම්බර් කියන එක පොඩ්ඩක් එහා මෙහා වෙලා වගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නංගි. ඔව් ඒ ‍තේරුමත් ඒකම‍යි. මගෙ චූටි පැටියගෙ නම තියෙන ඔයා මේක කි‍යවපු එකත් අහම්බයක් නේද?

      අරක වැරදීමක් තමා ඒක මං දැක්කෙත් ඔයා පෙන්නුවමයි. ඒක හැදුවා. ඒක පෙන්නුවටත් බොහොම ස්තූතියි.

      Delete
  7. පුංචි දුවට ඔයාගේ හිතේ තියෙන ආදරේ මහ මෙරක් වගේ ප්‍රියා මේ ලිපියෙන් ඒක හොදටම පේනවා .....මට මගේ තාත්තව මතක් උනා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ශානු.
      මං ඔමාට කියපු අර තාත්තාලාට ගොඩක් ආදරෙ කරන බ්ලොග් ලියන දුවලා අතරෙ ඔයත් ඉන්නවා. මං ඒක දැන ගත්තෙ ඔයාගෙ අර 'ගඩොලක කතාව' පෝස්ට් එකෙන්.

      Delete
  8. බොහොම සන්තෝෂයි ප්‍රියා...මමත් අවංකව ඔය සතුට විදින්න ඉතාමත් කැමැත්තෙන් ඉන්න එකෙක්...ඒත් තව ටික කාලයක් බලාන ඉන්න වෙනවා...ඔය හිතේ පිරිලා තියෙන සතුට ඒ වගේම දිගටම රැදී තියෙන්නයි මගේ ප්‍රාර්ථනාව...

    පුංචි දියණියට සුභම සුභ උපන් දිනයක් වේවා....තෙරුවන් සරණයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සිරා අපි දැන් ගොඩක් සතුටින්
      ඉක්මනින්ම ඒ අත්දැකීමත් ලබා ගන්න කියලා සුභ පතනවා!.

      සුභ පැතුමටත් බොහෝම ස්තූතියි සිරා. තෙරුවණ් සරණයි!.

      Delete
  9. ප්‍රියා......බොහොම සතුටුයි......මීට අවුරුදු 24කට ඉස්සෙල්ලා නොවැම්බර් 29දා මමත් ජයවර්ධනපුර රෝහලේ දාහක් සිතුවිලි එක්ක අතරමං වෙලා හිටිය මතක්වුනා..අම්මලා ලඟ හිටියා. උඹලා දෙන්නාටත් ආදරණීය දුවටත් වාසනාවක්ම වේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අරූ අයියෙ. ඇත්තටම අපිටත් තව අවුරුදු ගානක් ගියත් ඒ දවස මතක් කරලා සතුටු වෙන්න පුලුවන්.

      අරූ අයියාගෙ දුවටත් (දුවෙක් නේද?) සුභම සුභ උපන් දිනක් වේවා. (ඔන්න කලින්න සුභ පැතුවා. තව දවස් 5යි නෙ.)

      සුභ පැතුමටත් ස්තූතියි අයියෙ.

      Delete
  10. තාත්තා කෙනෙක් ගේ හැඟීම එන්නේ තාත්තා කෙනෙක්ට විතරයි. ඒ අවස්ථාව ඔයාට ඔයාගේ දෝනි දුන්න දායාදයක්. තාත්තෙක් වෙන්න හැමෝටම බැහැ. ඒ වගේම හොඳ තාත්තෙක් වෙනවා කියන එක ලේසි නැහැ, බාදක කරදර ඕනෙතරම් එන්න පුළුවන් ඒ හැමදෙයක්ම ජයගෙන ඉදිරියට යන්න ඔයාට දෙවියන්වහන්සේගේ ආරක්‍ෂාව සහ රැකවරණය නොමසුරුව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඩොක් අයියෙ. මට ලැබුන ලොකුම දායාදය තමා මගෙ චූටි දුව. මං එයාව පණ වගේ බලා ගන්නවා.
      සුභ පැතුමටත් බොහොම ස්තූතියි. දෙවි පිහිටයි!

      Delete
  11. අඩේ උඹ තාත්තා කෙනෙක්ද බං.. මම දැනන් හිටියෙම නැහැනේ.. ඔන්න මගේ සුභ පැතුම්.. මමත් ආස දුවෙකුට.. බලමුකෝ ඉතින්..

    ReplyDelete
    Replies
    1. මාත් ආසාවෙන්ම හිටියෙ දුවෙක්ට. ඒත් බබා හම්බවෙන්න ඉත්දි හිතුනා කවුරු ලැබුනත් මොකද අපේනෙ කියලා. අල්ට්‍රා සවුන්ඩ් එකෙන් බැලුවෙත් නෑ. අන්තිමට දුවෙක්ම ආවා.
      සුභ පැතුමටත් ස්තූතියි.
      ඔන්න මාත් පතනවා උඹේ බලාපොරොත්තුවත් ඒ විදියටම ඉශ්ඨ වෙන්න කියලා.

      Delete
  12. හරිම සතුටුයි ප්‍රියා..දුවට සුබම සුබ උපන්දිනයක් වගේම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව..කවි ටිකත් මගෙ හිතට වැදුන ගොඩක්..

    ReplyDelete
    Replies
    1. ඔය කව් ටික ලිවුවේ දුව හම්බ උන කාලෙමයි.
      බොහොම ස්තූතියි රජ වීදිය සුභ පැතුමටත්.

      Delete
  13. මේන් මාතලන් සීයාගේ සුපැතුම්......!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි මාතලං අයියෙ.

      Delete
  14. අඩේ ප්‍රියා තාත්තා කෙනෙක් නෙව. දැන් නේ දන්නේ..
    තුන් දෙනාටම නිදුන් නිරෝගී චිර ජීවණය පතමි ! දළදා සමිදු සරණයි !

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මධූ.
      ඔයාටත් දළදා සමිදු පිහිටයි!

      Delete
  15. දෝනිට සුභම සුභ උපන් දිනයක් වේවා !!!

    අනේ මටත් ඒ දවස ඉක්මනට එනවනම් ^_^

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මචං.

      හිත හිත ඉන්න එපා ඉක්මනට පෙළවහක් වෙයන් රයිටරයො. ;-)

      Delete
  16. සැබෑ පියෙකු ගේ හරි ම හැඟීම්බර කතාවක් මේක නම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් දිලිනි. මං හිතන විදියට ඕනම කෙනෙක් තමන්ගෙ දරුවන් සම්බන්දයෙන් පුදුමාකාර විදියට හැඟුම්බරයි.
      බොහොම ස්තූතියි දිලිනි.

      Delete
  17. චූටි දුවට සුභ උපන්දිනයක් පතනවා..!

    ඔයා වගේ තාත්තා කෙනෙකුගේ ආදරේ ලබන්න ඒ දූ වාසනා කරලා ඇති... තාත්තාටත් අම්මාටත් දූටත් ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..!

    ReplyDelete
    Replies
    1. ඇත්‍තෙන්ම කියනවනම් එයාව ලබපු අපියි වාසනාවන්ත. අපි ගොඩක් පිං කරලා තියෙනවා

      සුභ පැතුමටත් ගොඩාක් ස්තූතියි.

      Delete
  18. දූට සුභ උපන්දිනයක් පැතුව කියන්න. කියෙව්වම ඇස්වලට කදුලු ආව.
    තව ටික දවසයිනෙ... ඉන්නකො මාත් මේ වගේ එකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම චුටි පැටියට කියන්නම් සිඟිති.
      ඉක්මනටම ඔයා ලියන එකත් බලන්න අපි බලන් ඉන්නවා.
      ස්තූතියි සිඟිති.

      Delete
  19. පුංචි දියණියට සුබ උපන් දිනක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුර.

      Delete
  20. මචෝ.. ගී පවුරෙ දාල තිබුනෙ ලින්ක් එකෙන් ආවෙ. උඹේ මේ පෝස්ට් මට කියවන්න ලැබිල නෑ. පට්ටයි කියන්නෙ බං පට්ට එකෙත් හොඳම එක. මේ වගේ සතුටින් ඉන්න, ආදරණීය අහිංසක පවුල් දකිනකොට හිතට හරිම පහන් හැඟීමක් දැනෙනවා බං. උඹලට මං ඉත සිතින්ම සුබපතනවා..වාසනාවන්ත අනාගතයක් වේවා!

    ReplyDelete
  21. ප්‍රියා..ඔබ මෙය දැක්කොත් කරුණාකර ගී පවුරේ මම ( අසංක ) දැමූ කමෙන්ට් එක බලන්න...

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................