20 October, 2013

වැදගත් වංචාකරු.......


මෙම සටහන තැබීමට පෙර පැවසිය යුතු දෙයක් ඇත. එනම් මේ සටහන තබන්නේ පෞද්ගලිකව අප නිවැසියන් මුහුණ දුන් අත්දැකීමක් නිසාවත් අපට අහිමි වූ මුදල (එයද අද කාලයෙ හැටියට ඉතාමත් සොච්චම් මුදලකි) නිසාවත් නොව මා අදහන දෙයකි 'වරදනම් කවුරු කලත් වරද වරදමයි' යන්න. එසේම වංචාවකට ලොකු පොඩි කියා භේදයක් නැත. එබැවින් මා මේ සටහන තබන්නෙ මෙවැනි වංචාකරුවෙක්ගෙන් සමාජයේ තව එක් පුද්ගලයෙකු හෝ ගලවා ගැනීමට සමාජය දැනුවත් කිරීමේ අරමුණෙන් පමණි.

කථාව නම් මෙසේය. මීට මසකට පමණ පෙර දිනක දහවල් 11ට පමණ යතුරු පැදියක් තල්ලු කර ගෙන අප නිවසට පැමිණ ඇත්තේ හොදින් හැද පැලද ටයි පටයක්ද දමාගත් වැදගත් පෙනුමැති අයෙකි. මොහු අපගේ මවට පවසා ඇත්තේ "තමා කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි කිරිබත්ගොඩ රැකියාව කරන අයෙකු බවත් තම මාස ගණනක් වයසැති දරුවා නෝනා වාට්ටුවෙ (රිජ්වේ ආර්‍යා ළමා රෝහල) ප්‍රථිකාර ලබන බවත් කෙටි නිවාඩුවක් දමා දරුවා බැලීමට යන අතර තුර පෙට්‍රල් ඉවරවීම නිසා පෙට්‍රල් ගැසීමට බලන විට තම පසුම්බිය රැකියා ස්ථානයේ දමා ආ බව දැන ගත් බවත් තමා ප්‍රමාද වුවහොත් තමාට දරුවා බැලීමට නොහැකි වී දරුවා ලග සිටින තම බිරිදටද කුස ගින්නේ සිටීමට සිදුවන බැවින් පෙට්‍රල් ගසා ගැනීමටත් කෑම පාර්සලයක් ගැනීමටත් රු.500ක මුදලක් ඉල්ලා ඇති අතර එය පසු දින උදෑසනම නැවත ලබා දෙන බවට දස අතේ දිවුරා ඇත." ඒ මුළු කථාවම ඔහු කර ඇත්තේ හැඩූ කදුළෙනි. කුඩා දරුවෙකු ගැන පැවසූ නිසාත් අප නිවසේද කුඩා දරුවෙකු (මගේ පුංචි සුරංගනාවි) සිටින නිසාත් වැදගත් පෙනුමැති පිරිමියකු මෙසේ හඩා වැළපෙන නිසාත් මව රු.500 ඉක්මනින් ලබා දී ඇත.

රාත්‍රියේ අප සමග සිද්දිය පැවසූ මව ඔහු පිලිබදව දුක් වූ අතර අප කථා වූයේ ඔහු මුදල් ගෙන ආවත් එය භාර නොගැනීමටය. නමුත් ඔහු ඉන්පසු පැමිණියේ නැත. කෙසේ වෙතත් ඒ මුදල අප මව පිං තකා දුන් මුදලක් සේ සලකා සිටි නිසා අපටද එය අමතකම විය.

ටික දිනකින් දැන ගන්නට ලැබුනේ අප නිවසට මීටර් 500ක් පමණ දුරින් පිහිටි අපගේම ඥාති නිවසකටද පෙර දැක්වූ 'මහත්මයා' එදිනම 11.30ට පමණ ගොස් ඇත. ඒ නිවැසියන්‍ට ඔහු පවසා ඇත්තේ "තමා කිරිල්ලවල බවත් රැකියාව කරන්නේ පෑලියගොඩ බවත් කිරිබත්ගොඩ පෙර පාසලක ඉගෙනුම ලබන තම දරුවා ගෙන නිවසේ අසනීපයෙන් සිටින තම බිරියට කෑම එකකුත් රැගෙන යා යුතු නමුත් තම පසුම්බිය රැකියා ස්ථානයේ දමා ආ බවත් යතුරු පැදියේ පැට්‍රල්ද ඉවර වී ඇති බැවින් රු.500ක් ඉල්ලා ඇත්තේ නැවතත් එදින සවසම ගෙනවිත් දෙන පොරොන්දුව පිටය". නමුත් ඒ නිවසටද ඔහු පැමිණ නැත.

මෙය දැන ගැනීමෙන් අප ඔහුගේ වංචාව දැනගත් අතර මෙයින් අප මව විශාල ලෙස කළකිරිනි. ඒ අදාල මුදල පිලිබදව නම් නොවේ කිමද යත් අදාල මුදල ඉතා කුඩා මුදලක් නිසාත් නැවත දුන්නද එය භාර නොගැනීමට සිතා සිටි නිසාත් මුදල පිලිබද ඇයට කිසිදු ගැටළුවක් නැත. ඇත්තේ වංචාකරුවෙකුට රැවටීම නිසා ඇතිවූ කළකිරීමය.

මා හට ඇති ගැටළුව මොහු වැන්නන් තව කොතෙක් නම් සමාජයේ ඇත්ද? අපෙන් වංචා කලේ රු.500ක මුදලක් වුවාට ඊට වඩා විශාල මුදල් වංචාවන් ඔහු වැන්නන් නොකරයිද? වැදගත් පෙනුමෙන් තව දුරටත් මිනිසුන් මැනිය නොහැකිද?

මොහු මේ වංචාව කලේ ඇතම් විට යහළුවන් සමග 'සෙට් වීමට' විය හැක. නැත්නම් තම පෙම්වතිය සමග පොඩි රවුමක් ගැසීමට විය හැක. නමුත් මොහුන්ට රැවටෙන්නන් මුදල් ලබා දෙන්නෙ බොහෝවිට තමන්ට අත්‍යාවශ්‍ය කටයුත්තකට තබාගෙන සිටි මුදලක් විය හැක.

අනෙක් ගැටළුව වන්නෙ මෙසේ රැවටෙන පුද්ගලයින් නැවතත් සැබැවින්ම අසරණ වූ පුද්ගලයෙකු උපකාරයක් ඉල්ලා පැමිණි විට අහක බලා ගැනීමය. බොහෝ විට අප මවගෙන් වුවද එවන් තත්වයක් ඇති විය හැක.

අනෙක් අතට මොහු තම පිරිමි කඳුළින් සෝදා හැර ඇත්තේ තම දරු පෙමයි. පිරිමියකු ලෙසත් දරුවෙකුගේ පියකු හැටියටත් මට ඇති ගැටළුවක් වන්නේ පිරිමියකුට මෙසේ බොරුවට හඩා වැලපිය හැකිද යන්නත් තම වංචාවන් වෙනුවෙන් තම දරුවන් භාවිතා කල හැකිද ‍යන්න‍ත්‍‍ය (මොහු පියකු නොවීමටද හැක.)

එසේම එදින මොහු මේ වංචාව කලේ අප නිවාස දෙකට පමණක් විය නොහැක. රු500 බැගින් නිවාස පහකින් වංචා කලත් රු.2500කි. ඇතම් විට මෙය මොහුගේ ස්ථී‍ර රැකියාවම විය හැක.

මෙවන් වංචා කරුවන් ඔබ අවටද සැරිසැරිය හැක ඔහුන් ඔබටද දැල එළිය හැක. මෙවන් වංචා කරුවන්ට හසුනොවන්න. ප්‍රවේසම් වන්න.

"වරද නම් කවුරු කලත් වරද ව‍රදම‍ය."
එසේම
"ලොකු වුවත් පොඩි වුවත් වංචාව වංචාවම‍‍ය."

අවශන් වශ‍යෙන් මාගේ බාල සහෝද‍ර‍යා මතක‍යේ රදවාගෙන තිබූ මේ 'වැදගත් වංචාකාර මහත්ම‍යා' ගේ යතුරු පැදි අංක‍ය මෙසේ සටහන් කර තබමි.

{ XJ - 9540 }


© ප්‍රි‍යා *

16 comments:

  1. අන්න ඒක හොදයි. හැබැයි බයික් එකත් කාගේ හරි එකක්ද දන්නෑ.. පොලෝසියට කියහං බං...

    ReplyDelete
    Replies
    1. වෙන රටක නම් කරන්න තිබුනා දේශකයො ඒත් ලංකා පොලීසිය තාම ඒ තරම් දියුණු නෑ නොවැ. තොපි රු500ට අපේ කාලෙ කන්න ආවද කියලා අපිට රු1000ක් දඩ ගහයි.
      :-)

      Delete
  2. නිමක් නැති වංචාවල් සහ නිමක් නැති අසුවීම්......රටම වංචා කරනවා.....රටම අහුවෙනවා......මැතිවරන වගේ බං......

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ මෙහෙම ගිහින් 'වංචාවන්ට හසු වූවන්ගේ සංගමය' කියලා එකකුත් අටෝ ගන්න වෙයි.

      Delete
  3. මම හිතන්නේ ප්‍රියා ඔය නොම්මරෙත් බොරු එකක් වෙන්නැති. මොකද කාට හරි ඔය නොම්මරේ පොලියට දෙන්න හිතෙන්න පුලුවන් නිසා.

    ඇත්තෙන්ම ඔය වගේ කාලකන්නි හන්දා තමයි අවංකවම අමාරුවේ වැටිලා මුදලක් ඉල්ලන කෙනෙකුට වුනත් චාන්ස් එකක් නැත්තේ.

    අපි හිතුවට ඌ දිනුවා කියලා, දැන් බලාපං උගේ ජීවිතේ ඌ කොච්චර අමාරු කරගත්තද කියලා. ඌට පාරේ යන්න වෙන්නෙත් සැකෙන්.

    ReplyDelete
    Replies
    1. පොලියට = පොලිසියට

      Delete
    2. ඔව් Dude, මෑන් දින්නා කියලා හිතුවට ඇත්තටම බැලුවොත් පරාදයි. ඔක්කෝටම වඩා වටින්නෙ හිතේ නිදහසනෙ. මෑන්ට එහෙම හිතේ නිදහසෙන් ආයෙ දළුගමට එන්න පුලුවන් යෑ.

      Delete
  4. මේ වගේ දේවල් ගැන මෙහෙම හරි කියන එක හොඳ යි. ඔයාලට 500ක් වුණාට මෙහෙම 500 ඒවා කීයක් ද? මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි නේ. මේ වගේ දේවල් නිසා වෙන්නෙ ඇත්තට ම අසරණ වුණු මිනිස්සුන්ට උපකාරයක් කිරීමෙන් පවා සමාජය වැළකෙන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි දිලිනි ඔතන තමා ලොකුම ගැටළුව තියෙන්නෙ. මට ඒක අපේ අම්මාගෙන්ම පේනවා. ඒ වගෙ කළකිරෙන මිනිස්සු ආපහු ලේසියෙන් කාටත් උදවු කරන්නෑ. ඒකයි දුක. එක අතකට ඒකට දොස් කියන්නත් බෑ. ගිනි පෙල්ලෙන් බැටකෑ එකා කණාමැදිරියටත් බයයි කියනවනෙ.

      Delete
  5. දැං හොදයි පැහැදිලිව ලස්සනට පේනවා පෝස්ට්කටුව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතීයි දේශකයො. ඊයෙ 'ඔමා' කිවුවට පස්සෙයි මං හදා ගත්තෙ. ඒ වගේ වැරදි අඩු පාඩු දැක්කොත් කියලා දෙන්න. මං තාම බ්ලොග් වල හෝඩි පොත කියවන්නෙ. දිග ගමනක් යන්න ආසයි. ඒකට ඔයාලගෙ උදවු තමා ඕන.
      ආයෙත් පාරක් තැන්කූ කියුවා. :-)

      Delete
  6. වැරැද්ද නං කාට උනත් වැරැද්ද... නමුත් වැරැද්ද තමා හැමදාම පොඩි එකාට විතරයි දඩුවම් විදින්ඩ වෙන්නේ මහ එවුන් කොහොමහරි ගැලවෙනවා.
    මගේ බ්ලොග් එකේ කමෙන්ට් අඩි පාරේ ආවේ. ෆලෝ කරලා දිගටම එන්නම්. :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත මධූ, අපේ නීතියෙ තේමාව 'උස් තැන් දැක හැකිලෙන්නෙ මිටි තැන් දැක පුප්පන් නේ'. අන්න ඒකයි ලොකුම වැරද්ද.
      බොහොම ස්තූතීයි මේ පැත්තෙ ආවට. දිගටම එන්න.
      මාත් ආසාවෙන් කියවන බ්ලොගයක් තමා "සිතක සංකල්පනා".

      Delete
  7. හැමෝටම දැනගන්න මෙහෙම දාපු එක හොඳයි...හැමදාම ඔය සෙල්ලම් නටන්න බෑනේ...කාගෙන් හරි කාලා තමයි නවතින්නේ..

    ජරාම වැඩේ කියන්නේ අනුකම්පාව අරගෙන සල්ලි ගලවගන්න එකනෙ..
    සමහර කෙල්ලො කොල්ලොත් ඔය වගේ දුක කියලා සල්ලි ගලවගන්නවා නේද? ෆෝන්වලට එහෙම :D

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමා රෙහානි සමහර අහිංසකයො මාසෙම දුක් මහන්සි වෙලා හම්බකරන සල්ලි කවුරු හරි වංචා කාරයෙක්ට අහු වෙලා උන්ගෙ ෆෝන් රීලෝඩ් වලට පුදනවා. පවු අහිංසකයො.

      Delete
  8. //අනෙක් ගැටළුව වන්නෙ මෙසේ රැවටෙන පුද්ගලයින් නැවතත් සැබැවින්ම අසරණ වූ පුද්ගලයෙකු උපකාරයක් ඉල්ලා පැමිණි විට අහක බලා ගැනීමය//

    මේකනම් සිරාම කතාව අයියේ....මූනම් මහ පුදුම සක්කිලියෙක් පොඩි එකා විකුනනවනෙ

    ReplyDelete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................