18 October, 2013

ඇදහීම සහ බලෙන් ඇදහවීම.



මෙවන් ලිපියක් ලිපියක් ලිවීමට බොහෝ කලක සිට සිතා කාලය හරස් වූ බැවින් ලිවීම කල් ගිය මුත් 02/10/2013 සිදුවූ සිදුවීමක් නිසා කෙසේ හෝ කාලය සොයාගෙන මෙම ලිපිය ලිවීමට සිත් විය.

එම සිදුවීම නම් ඉවැන්ජලික ආගමක් පතුරවමින් සිටි කාන්තාවන් පිරිසක් භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ අතුරුගිරිය ගම් වාසින් විසින් අත් අඩංගුවට ගෙන පාර දිගේ පෙරහැරෙන් ගෙන ගොස් පොලිසියට භාර දීමයි.

පලමුව පැවසිය යුත්තේ මාද බෞද්ධයෙකි. එසේම මා සියළුම අන්තවාදයන්ට විරුද්ධ අයෙක්මි. ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් සහ බෞද්ධ යන සියළුම ජාතියේ අන්තවාදින්ව මා කොන්දේසි විරහිතව විවේචනය කලේ කලක සිටය.

අප බොහෝ දෙනකු පටලවා ගන්නා දෙයකි මේ ඉවැන්ජලික ආගම් බොහෝ විට ක්‍රිස්තියානි ස්වරූපයෙන් පැමිනෙණ මුත් මේ ක්‍රිස්තියානි ආගම නොවේ. යෙහෝවාගේ සාක්ෂිකරුවෝ නමින් ගෙන් ගෙට සැරි සරමින් තම දහම පතුරවන මේ පි‍රිස නිසා මා දකින ආකාරයට වැඩිම හානියක් සිදු වන්නේද ක්‍රිස්තියානි ධර්මයටය.

මා දකින ආකාරයට කිසිදු ආගමක් බලෙන් ඇදහවීම කල නොහැකිය. එය සම්පූර්ණයෙන්ම විශ්වාසය මත පදනම් ක්‍රියාවලියකි. ඒ ඒ පුද්ගලයා අදහන ආගම ඒ ඒ පුද්ගලයාගේ විශ්වාසය මත තීරණය වෙයි. නිරාගමිකයෙකු ගෙන බැලුවද එයද ඔහුගේ විශ්වාසයය. විශ්වාසය යනු බලෙන් ඇති කල හැකි දෙයක් නොවේ.

තත්වය එසේනම් බලෙන් ආගමකට හැරවීම යන්න කෙතරම් ප්‍රායෝගිකදැයි යන්න සිතා බැලිය යුතුය. යම් අයෙකුට මෙසේ තර්ක කල හැක. 'මුල් ආගම මුසාවක් යැයි පවසා අනෙක් ආගම ඉගැන්වීම' බලෙන් ආගමට හැරවීමක් යන්නය. නමුත් සත්‍ය ලෙසම එසේ පැවසීමෙන් යම් අයෙක් අර දෙවැනි ආගමට යනවා යනු ඔහු තුල පලමු ආගම පිලිබද ඉහත දැක්වූ කිසිම විශ්වාසයක්වත් දැනුමක්වත් නොතිබූ අයෙකි. එනම් ඔහු මුල් ආගමේ සිට ඇත්තේ ඉන්නන් වාලෙ නාමිකව පමණි.

නිදසුනක් ලෙස බෞද්ධයෙකු වන මා හට යම් අයෙකු පැමිණ බුදු දහම බොරුවක් ලෙසත් තම ආගම වැලද ගන්නා ලෙසත් ඇරයුම් කලහොත් මා ඒ තීරණය ගත යුත්තේ විශ්වාසය හා බුද්ධිය තුලිනි. එහිදී අනිවාර්‍‍යෙන්ම තරාදියේ බුදු දහමේ පෙදෙස බර වැඩි වනු ඇත. ඒ මාගේ බුදු දහම පිලිබද ඇති දැනුම හා විශ්වාසයයි.

එසේම තවත් සිදුවන දෙයකි මුදල් දී හා වෙනත් වරප්‍රසාද දී මෙම ඉවැන්ජලික ආගම් වලට හරවා ගැනීම. එය නම් සෑහෙන දුරට කල්පනා කල යුතු ගැටළුවකි. එනම් මෙසෙ මුදල් දුන් පලියට තම ආගම වෙනස් කරන පුද්ගලයන් යනු මුදලට තම ආත්මය වුවද පාවා දීමට කැමති පුද්ගලයන්‍‍ය. එවන් පුද්ගලයින් රදවා ගැනීමෙන් අදාල මුල් ආගමට අගතියක් මිස කිසිදු සුගතියක් නම් සිදු නොවේ.

නිදසුනක් ලෙස යම් ආගමක් රු.10,000ක් දුන් විට ඒ ආගමට යන පුද්ගලයා තවත් ආගමක් රු20,000ක් දුන් විට ඒ ආගමටද අනිවාර්යෙන්ම යයි. එවන් පුද්ගලයින් මුල් ආගමේ රදවා ගැනීමෙන් ඒ ආගමට කිසිදු සෙතක් නැත.

පසුගිය කාලයේ විශාල ලෙස කථා බහට ලක්වූ මාතෘකාවකි 'අන්‍යාගමීකරනය වැලක්වීමේ පනත' නමුත් මානම් මෙය දකින්නේ අනවශ්‍ය ක්‍රියාවක් ලෙසටය. කිමද ඉහත දැක්වූ ලෙස තම ආගම ධර්මය පිලිබද කිසිදු දැනුමක් විශ්වාසයක් නැති පුද්ගලයින්ව වත් මොණර කොල දෙක තුනකට තම ආගම වුවද අතහැර යාමට සුදානම් පුද්ගලයින් මෙසෙ නීති වලින් බැද දමා ආගමේ රදවා ගත්තාට කිසිදු පලක් නැත.

ඔළු ගෙඩි ගණන වැඩි පමණින් ආගමක් රැකෙන්නෙවත් බැබලෙන්නෙවත් නැත. අවශ්‍ය වන්නේනියමාකාරව ධර්මය අදහන පිළිපදින පිරිසය. එම පි‍රිස නීති මගින් ගොඩ නැගිය නොහැක. එය අධ්‍යාත්මයෙන්ම ඇති විය යුතු දෙයකි.

මා සිතන ආකාරයට තමා අදහන ආගම නීතිය මගින් තීරණය කිරීම යනු මානව හිමිකම් කඩකිරීමකි. එය එසේ විය යුතු නැත. තමන්ට කැමති සහා විශ්වාසය ඇති ආගමක් ඇදහීමට ඕනෑම පුද්ගලයෙකුට නිදහස තිබිය යුතුය. මෙහිදී මා බෞද්ධ භික්ෂූන් වහන්සේලාටද යම් චෝදනාවක් කිරීමට කැමත්තෙමි. නමුත් එය සියලුම භික්ෂූන් වහන්සේලාට අදාල නොවේ.

වර්ථමානයේ බොහෝ භික්ෂූන් වහන්සේලා 'රට ජාතිය බේරා ගැනීම' වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ඔහුන්ගේ මූලික වගකීම අමතක කොට දමාය. එනම් ධර්ම ප්‍රචාරණයයි. ගමේ පංසලෙන් හාමුදුරුනමක් බණට වැඩියත් උන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය නොවේ දේශපාලනයය. බණ අසන්නන්ට ධර්මය කා වැද්දීමක් උන්වහන්සේලා නොකරයි. එසේ කර වෙනත් පි‍රිස් නිසි ධර්ම අවබෝධයක් නැති බෞද්ධයන් ඩැහැ ගෙන ගිය විට බෞද්ධාගම විනාස කරනවා යැයි කෑ මොර දෙයි.

එසේම මා හට මෙවන් ගැටළුවක්ද ඇතිවේ. "අපේ රට බෞද්ධ රටක් අපේ රටේ වෙනත් ආගම් වලට ඉඩ නෑ. අපේ රටේ වෙනත් ආගම් පතුරවන්න ඇතම් පිරිස් උත්සහ දරනවා. ඔහුන් හදන්නේ බුදු දහම විනාස කිරීමටයි" යන්න පවසන පිරිසම ඇමරිකා වැනි බටහිර රටවල බෞද්ධ විහාරස්ථාන ගොඩ නැගීමට විශාල වෙහෙසක් දරයි. ඒ රටවල ධර්මය ප්‍රචාරණය කිරීමට මහත් වෙහෙසක් දරයි (එය වැරද්දක් නොවේ. විය යුත්තේද එයයි. 'සියළු දාන‍යන් ප‍රදවා ධ‍ර්ම දාන‍ය ජ‍ය ගනී') දිනෙන් දින බුදු දහම වැලද ගන්නා සුද්දන් ගැන මහා ඉහලින් කතා කරයි.

බුදු දහමේත් අන් ධර්මයන්ගේත් යථාර්තය හා ගෙනයන ප්‍රචාරක ක්‍රමවේදය හාත්පසින්ම වෙනස් වුවත් මේ දෙකෙදිම සිදුවන්නෙ ධර්ම ප්‍රචාරයක්‍‍ය, ධර්මය පැතිරවීමක්‍‍ය. මේ ක්‍රියාවන් දෙක එකම තරාදියකට දමා මැන බැලීමට අදාල පි‍රිසට නොහැකිවීම සැබවින්ම අභාග්‍යකි.

එසේම මේ පිරිස ගෙන එන තවත් තර්කයකි 'සෞදිය' ඇතුලු අරාබි රටවල අන්‍ය ආගමික රූපයක් වැනි දෙයක්වත් තබා ගැනීමට නොහැකිය යන්නයි. ඒ ඔහුන්ගේ ගෝත්‍රීක භාවයයි ඔහුන්ගේ රට තුල නිදහස නැතයි ඔහුන්ව විවේචනය කරන ගමන් අපද ගමන් කිරීමට උත්සහ දරන්නෙ ඔහුන්ගේම මාර්ගයේද?

නැවතත් පැවසීමට ඇත්තේ ඔලු ගෙඩි ගණන වැඩි වූ පමණින් කිසිම ආගමකට සුගතියක් සිදු නොවේ අවශ්‍ය වන්නේ නියමාකා‍රව ධර්මය අදහන පිරිසය. ඒ සදහා බෞද්ධ වේව ක්‍රිස්තියානි වේවා හින්දු වේවා ඉස්ලාම් වේවා ඒ ඒ ආගමික පූජකයින් තම ආගමිකයින්ට නිසි ධර්මාවබෝධය ලබා දිය යුතුය. ඕනෑම ආගමක් රැකෙන්නෙ නමට ආගම අදහන පිරිස නිසා නොව අවබෝධයෙන් ධර්මය තේරුම් ගන්නා පි‍රිස අනුවය. නියමාකාරව තිසරණ සරණ ගිය නිසි ධර්මාවබෝධය ඇති බෞද්ධ එක් පුද්ගලෙකුවත් අන්‍යාගමීකරනය කල නොහැකිය. එය මා පවසන්නෙ ඉතා වගකීමෙනි.

එසේම මේ ආගම් පතුරවන්නන් කරන අනෙක් ආගමට අපහාස කිරීමේ පිලිවෙතද ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය. කුමන ආගමකට වුවද අපහාස කිරීමෙ අයිතියක් කවරෙකුටවත් නැත. එයට යම් දඩුවමක් ලබා දිය 'යුතුම නම්' එය නීත්‍යානුකූලව සිදු විය යුතුය. එසේ නැතිව අප ඔහුන්ටත් වඩා පහත් තත්වයට වැටී කාන්තාවන් අල්ලා අපහාස කරමින් පාර දිගෙ ඇදගෙන යාම වැනි විකාර ක්‍රියා වලින් දඩුවම් දිය යුතු නොවේ. කිමද නියම බෞද්ධයින් අටලෝදහමින් කම්පිත නොවේ. 'නින්දා' යන්නද අටලෝ දහමේම එක් දහමකි.

අවසන් වශයෙන් මෙසෙ පවසනු කැමැත්තෙමි

"පිං මද පුතුන් සියයක් ලැබුවත් නිසරූ...
ගුණනැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරූ..."
එසේම මෙසේද පවසනු කැමතිය
"නමට ආගමිකයින් දාහකට වඩා එක් නියමාකාර ධාර්මික පුද්ගලෙකු අගනේය."

© ප්‍රියා *

8 comments:

  1. //නැවතත් පැවසීමට ඇත්තේ ඔලු ගෙඩි ගණන වැඩි වූ පමණින් කිසිම ආගමකට සුගතියක් සිදු නොවේ අවශ්‍ය වන්නේ නියමාකා‍රව ධර්මය අදහන පිරිසය.// මෙන්න මේක බොහෝ දෙනා තේරුම් නොගන්නා ඒක නේ ගැටලුව.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිලිනි අපේ මිනිස්සු ඕක තේරුම් ගන්න කැමති නෑ. බහුතරයක් හිතන්නෙ හමුදාවකට සෙබළු බදවා ගන්නවා වගෙ ආගමේ මිනිස්සු වැඩි උනාම ආගම දියුණුයි කියලා.

      Delete
  2. ඔළු ගෙඩි ගණන වැඩි පමණින් ආගමක් රැකෙන්නෙවත් බැබලෙන්නෙවත් නැත. අවශ්‍ය වන්නේනියමාකාරව ධර්මය අදහන පිළිපදින පිරිසය. එම පි‍රිස නීති මගින් ගොඩ නැගිය නොහැක. එය අධ්‍යාත්මයෙන්ම ඇති විය යුතු දෙයකි.

    ඇත්තටම මල්ලි මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි, මොකද තමන් අදහන ආගම ගැන හරි වැටහීමක්, ඇදහිල්ලක් සහ පැහැදීමක් තියන කෙනෙක් කිසිම දවසක වෙනත් ආගමකට මාරුවෙන්නේ නැහැ. මේක මේ පන්සල් වල ඉන්න සමහර හාමුදුරුවරු තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නය, ඒ වගේම ඔවුන් අර ගමේ ඉන්න ගම්වැසියන් අවුස්සා ගමතුල අසමදානය වැඩිකරන එකයි කරන්නේ. මේකට පොලිසිය එයාලගේ වාසියට ක්‍රියා නොකළහොත් ඊළගට කරන්නේ පොලිසියට විරුද්ධව පෙළපාලි යාමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමා ඩොක් අයියෙ. අපේ ආගම විනාශ කර ගන්නෙ අපිමයි. වෙන කාටත් අපේ ආගම් විනාශ කරන්න බෑ. අපි හරියට ධාර්මික උනොත් දහම ඉබේම ‍රැකෙනවා.
      ඔබව මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  3. බෞද්ධ දර්ශණයේ මූලික හරයවත් නොසලකන එවුන් බුද්ධාගම දේශනා කරන රටේ තව මොන කතාද ප්‍රියා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත 'අරූ' මූලික හරය කෙසේ වෙතත් දැන් දේශනා වෙන්නෙත් අපෙ උපාසක ඇත්තන් ඉල්ලන්නෙත් 'රැඩිකල් බුදු දහමකුයි'. ඒකයි මේ ගැටළු වලට මුල.

      Delete
  4. අද නේ දන්නේ මේක ගැන.. දැං ඉතිං බේරෙනවා බොරු දිගටම එනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම සාදරයෙන් පිලි ගන්නවා දේශකයො. දිගටම එන්න කියලත් ආරාධනා කරනවා.

      Delete

ප්‍රියා ගෙ සිතුවිල්ලට ඔබේ සිතුවිල්ලත් එකතු කරලම යන්න.............
එය මගේ සිතුවිල්ලට ඉතා වැදගත්..............

සිතුවිල්ල කියවූ ඔබ සැමට බොහොම ස්තූතියි........................